Sunday, May 15, 2016

සැබෑ මිනිසෙකුගේ කතාවක්





මට ජීවිතයේ සැබෑ මිනිසුන් හමුවී තිබෙන්නේ අතේ ඇඟිලි ගනනටය​. මේ සැබෑ මිනිසුන් අතර එයා චීෆ්මාෂල් හැරී ගුණතිලක මුලින්ම සිටියි.  චීෆ් මාෂල් හැරී ගුණතිලක සැබෑ මිනිසෙකු බව මම කියන්නේ අවංකකම , නිරහංකාර බව , චාම් බව , මානව දයාව මා ඔහු කෙරෙන් දුටු බැවිනි.

හිටපු ගුවන් හමුදාපති එයා චීෆ් මාෂල් හැරී ගුණතිලක මහතා සමග වැඩ කිරීමේ භාග්‍ය මට ලැබුනි. ඒ කාලයේ එතුමා රණවිරු වැන්දඹුවන් පුනරුථාපන වැඩසටහන භාරව සිටි අතර උපදේශන කටයුතු සඳහා මට ආරාධනා කලේය​. එතුමා සමග මම කොලඹ , කුරුණෑගල , මාතර , නුවර , අනුරාධපුරය යන ප්‍රදේශ වලට යමින් රණවිරු වැන්දඹුවන් සහ දරුවන් හමු වෙමින් ඔවුන් සඳහා මානසික උපදේශනය ලබා දුනිමි. එසේම එතුමාගේ මූලිකත්වයෙන් මේ රණවිරු වැන්දඹුවන් වෙත ආදායම් උපයා ගැනීමේ වැඩසටහන්, වෘත්තීය පුහුණුව , අධ්‍යාපනය​, ළමුන්ට ශිෂ්‍යත්ව යනාදියද ලබා දෙන ලදි. 

මේ වැඩසටහන් වලදී මම එතුමා සමග දිවයිනේ නොයෙකුත් ප්‍රදේශ වල සංචාරය කලෙමි. එසේම අදහස් හුවමාරු කර ගතිමි. එමගින් වඩ වඩාත් එතුමාට සමීප වීමට මට හැකි විය​. 

එයා චීෆ් මාෂල් හැරී ගුණතිලක මහතා ගුවන් හමුදාපතිව සිටියදී සතයක්වත් අයථා ලෙස උපයා නොගත්තේය​. එතුමාට පෙර සහ පසු කාලයක සිටි ගුවන් ගුවන් හමුදාපතිවරුන් සමහරක් කොමිස් වලින් මුදල් උපයා මන්දිර තනා ගත්හ ​. එසේම ගුවන් හමුදාවේ සෙබලියන් අන්තහ්පුර ළළනාවන් මෙන් රිසිසේ භාවිතා කලහ​. එහෙත් එයා චීෆ් මාෂල් හැරී ගුණතිලක මහතා නොකැලැල් සේවයකින් විශ්‍රාම ගියේය​. 

විශ්‍රාමව සිටියදී එතුමා ජීවත් වූයේ කුඩා නිවසකය​. වරක් විදුලි බිල ගෙවීම ප්‍රමාද වීම නිසා විදුලිබල මණ්ඩලයෙන් එවන ලද රතු බිලක් ගෙවීමට එතුමා මා සමග ගිය අයුරු මතක් වේ. විදුලිබල මණ්ඩලයෙන් රතු බිලක් ලද එකම ගුවන් හමුදාපතිවරයා එතුමා විය යුතුය​. 

හැරී ගුණතිලක මහතා රණවිරු වැන්දඹුවන් ගේ දුක තේරුම් ගෙන සිටි අයෙකි. ගුවන් නියමුවෙකුව සිටි එතුමාගේ පුත් බලඝන නායක ශිරන්ත ගුණතිලක 1995 අප්‍රේල්   29 යන දින ක්‍රියාන්විතයේ මිය යන ලදි. ඔහු පැදවූ ගුවන් යානයට කොටි විසින් මිසයිල ප්‍රහාරයක් එල්ල කරන ලදි. එතුමාගේ ලේලියද යුද වැන්දඹුවක් වූයෙන් රණවිරු වැන්දඹුවන් ගේ ලෝකය ගැන එතුමාට අවබෝධයක් තිබුණි. එම නිසා ආරක්‍ෂක අමාත්‍යංශය සමග ගැටෙමින් රණවිරු වැන්දඹු සුභසාදනය වෙත වඩාත් එලදායී සේවයක් ලබා ගැනීමට එතුමා සමත් විය​. 

තම පුතාගේ මරණයෙන් වසර ගනනාවකට පසු (2004 වසරේදී පමණ) මම එතුමා සමග මහනුවර පොදුරාජ්‍ය මණ්ඩල සුසානභූමි නරඹමින් සිටියෙමි. ඒ අවස්ථාවේදී හැරී ගුණතිලක මහතා පියෙකු ලෙස තම දරුවා අහිමිවීමේ ශෝකය මා සමග කථා කලේය​. ක්‍රිස්‍තු භක්තිකයෙකු වූවද ඒ වන විට හැරී ගුණතිලක මහතා බුදු දහම සහ අනිත්‍ය පිලිබඳ කියවා තිබූ හෙයින් පුතුගේ මරණය කෙරෙහි ඒ අවස්ථාවේදී එතුමා තුල තිබුනේ පෘථුල අදහසකි. එහෙත් තම බිරිඳ තවමත් මේ ක්‍ෂිතිමය සිද්ධියෙන් මුලුමනින්ම ප්‍රකෘති ස්වභාවයට පත් නොවී ඇති බව එතුමා මට වැඩිදුරටත් කීවේය​. 

තවද වරක් අප කොග්ගල ගුවන් හමුදා කඳවුරට ගියෙමු. එහිදී අදහස් දැක්වූ ගුණතිලක මහතා යම් ලෙසකින් තම දෙවන පුතු රොෂාන් ගුණතිලක ගුවන් හමුදාපති ධූරයට පත් වුවහොත් එය ලෝක වාර්තාවක් (පියා සහ පුතා ගුවන් හමුදාපති ධූරයට පත්වීම ) වන බව කීය​. වසර කීපයකට පසුව එය එතුමාගේ දෑස් ඉදිරියේම සැබෑවක් විය. ​එසේම එදින සවස එතුමාට තවත් ගුවන් හමුදා නිලධාරියෙකු හමුවූ අතර ඔහු ශිරන්ත ගුණතිලකගේ සමකාලීන නිලධාරියෙකු විය​. තමා ශිරන්ත සමහ හදිසියේ කොලඹ ඇවිත් රගර් තරඟයක් නැරඹූ අවස්ථාවක් ගැන එම නිලධාරියා හෙළි කල අතර ගුණතිලක මහතා එයට ඉතා ආශාවෙන් සවන් දුන්නේය​. 

ඊලාම් යුද්ධයේ අවසන් අදියර ඇරඹූ විට යුද්ධය පිළිබඳව ඔහු දැරුවේ මිශ්‍ර අදහස්‍ ය​. කොටි සංවිධානය යුදමය වශයෙන් පරාජය කල නොහැකි බව වරක් ගාල්ලට ගිය ගමනකදී එතුමා මට කීවේය​. මම එම අදහස අභියෝගයට ලක් කල හෙයින් කොලඹට එන තෙක් අප වාද කර ගත්තෙමු. එතුමාගේ අනාවැකිය සාවද්‍ය කරමින් එතුමාගේ පුත් රොෂාන් ගුණතිලක ඇතුළු ත්‍රිවිධ හමුදාව කොටි සංවිධානය යුදමය වශයෙන් පරාජය කලහ​. ඒ වන විට එතුමා ජීවතුන් අතර නොවීය​. නමුත් අද දිනයේ එයා චීෆ් මාෂල් හැරී ගුණතිලක මහතා ගේ වැරදුන අනාවැකිය මම තව දුරටත් විශ්ලේෂණය කරමින් සිටින්නෙමි. මට තේරුම් යන අන්දමට  තම පුතා අහිමි වීමෙන් සහ හමුදා සහ සිවිල් වැසියන් රැසකගේ ජීවිත විනාශය දැකීමෙන් යුද්ධයේ නිරර්ථක භාවය එතුමා අපටත් වඩා ගැඹුරින් අවබෝධ කරගෙන සිටියේය​. කොටි සංවිධානය යුදමය වශයෙන් පරාජය කිරීම යනු මුල්ලෙවෛක්කාල්හිදී ප්‍රභාකරන් මරා දැමීම කියා අප බහුතරයක් සිතුවාට බෙදුම්වාදී වෛරසය සහ සිංහල සහ දෙමල ජාතීන්වල ස්වෝත්තමවාදයන් බොහෝ කාලයක් විනාශ නොවී පවතින බව එතුමා දැන සිටියේය​. එම නිසා එතුමාගේ එදා අණාවැකිය සාවද්‍ය නොමැත​. 

අප අවසන් වරට හමු වන්නේ එතුමාගේ මරණයට දින හතරකට පමණ පෙරය​. එදින අප අනුරාධපුරයේ පැවති වැඩසටහනකට ගියෙමු. එම වැඩසටහන නිම කිරීමෙන් පසුව ජය ශ්‍රී මහා බෝධියට භාරයක් වීමට එතුමාට අවශ්‍ය විය​. එම නිසා අප ජය ශ්‍රී මහා බෝධියට ගියෙමු. පසු දින මම කොලඹ ආවෙමි. එතුමා තව දිනක් අනුරාධපුරයේ සිටියේය​. ඉන් දින කීපයකට පසුව රණවිරු  වැන්දඹුවන් පුනරුථාපන වැඩසටහනේ සේවය කල නිලධාරිනියක් මට දුරකථනයෙන් කතා කලාය​. " සර් ඉතාම කණගාටුදායක ආරංචියක් දෙන්න කතා කලේ හැරී ගුණතිලක සර් නැතිවෙලා " මම මොහොතක් ගල් ගැසුනෙමි. 

බොරැල්ලේ ජයරත්න අවමංගල මධ්‍යස්ථානයේදී මම අවසාන වශයෙන් එයා චීෆ් මාෂල් හැරී ගුණතිලක මහතාට සමු දුන්නෙමි. එදින සවස "සැබෑ මිනිසෙකුගේ නික්ම යාම " යනුවෙන් ලිපියක් ලියා රාවය පුවත්පතට යැවුවෙමි. 

එයා චීෆ් මාෂල් හැරී ගුණතිලක මහතා සැබෑ මිනිසෙකි. ක්‍රිස්තියානිය ආගම මගින් ඔහුගේ චරිතය නිර්මානය කරනු ලැබීය​. අවංකකම, චාම් බව, නිරහංකාර බව , අන්‍යන් කෙරෙහි කැපවීම වැනි ගුණාංග ඔහු ජීවිතයට අවශෝශනය කර ගන්නේ  ක්‍රිස්තියානි සභ්‍යත්වය හරහාය​. එසේම බුද්ධ දර්ශනය පුද පූජා පවත්වන ආමිස දහමක් ලෙස නොව දර්ශනයක් ලෙස අධ්‍යනය කිරීමෙන් ඔහුගේ විශ්වය තව දුරටත් පුලුල් විය​. එසේම යුද්ධය විසින් තම පුද්ගලික ජීවිතයට ඇති කල ක්‍ෂිතිමය සිද්ධීන් නිශේදනය කර ගැනීමට බුද්ධ දර්ශනය ඔහුට උපකාරී වූ බව මම සිතමි. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

26 comments:

  1. ශ්‍රේෂ්ඨ මිනිසෙකු බව පෙනේ!
    බාරයක් වීම නම් විහිලුවකි. නමුත්, සසල සිත් ඇති විට එසේ කිරීමට සිතේ. ඒ ගැන රුවන් ගේ මනෝ විශ්ලේෂණයක් නැද්ද?

    ReplyDelete
    Replies
    1. කාකා බාරයක් වෙන එකේ තියන විහුලුව මොකක්ද කියලා මට හිතගන්න බැහැ ඉටත් වඩා ජය ශ්‍රි මහා බෝදියට
      පොඩි මෙන්ඩ සදුගේ බඩේ ඉද්දි නැති වෙලා කියලා wash කරන්න අනුර්ධපුරේ ඉස්පිරිත්ලෙට යවපු වෙලාවේ මම හිතුවේ ඒක දෙයයි "මම ජය ශ්‍රි මහා බෝදියට ගිය පලවෙනි දවෙසේ ඉදලා ඉල්ලුවේ කවදා හරි මට හොද පුතෙක් "
      දොස්තර මහත්තුරු කිව්වේ "මේක ලක්කෙස්කට ඒක සැරයක් වෙන දෙයක් ඒ වාසනාවන්තයා ඔයා කියලා

      Delete
    2. අනගි උදාහරණයට ස්තුතියි.
      Q.E.D.

      Delete
    3. මිනිසුන් ජීවත් කරවන්නේ බලාපොරොත්තුව බව මම සිතමි. බාරය එසේ තිබියදී ම, අපි අපගේ කටයුත්ත දෙවියන්ට ම බාර නොදී පෙරසේම කරගෙන යන්නේ නම් තමාට හෝ අනුන්ට හෝ පරිසරයට හෝ විශාල හානියක් නොවී ඉටු කල හැකි බාරයක් වීම විහිළුවක් යයි මම නම් නොසිතන්නෙමි.

      අතිශය නවීන විද්‍යාත්මක පර්යේෂණ වලදී පවා වාසනා ගුණය අත් ගුණය වැනි විස්තර කල නොහැකි අපැහැදිලි දුර්වල ඡායාවන් වල බලපෑම් නොමැත්තේ ම නොවේ යයි මම විශ්වාස කරමි.

      Delete
    4. මගේ යාලුවට අවුරුදු 11ක් බබාලා නැහැ දවසක් අනුරාධපුරේ ආපු වෙලාවක මම එයාට ජය ශ්‍රි මහා බෝදිය ගැන කිව්වා මිනිහා රට රටවල් වල ඇවිදපු කෙනෙක් එත් එයා මගේ වචනේ විස්වාස කරලා දවස් 7ක් පේ වෙලා ඒක දිගට දවස් 7ක් ජය ශ්‍රි මහා බෝ හාමුදුරුවන්ට බාර උනා ඊට මාස 6 යකට පස්සේ එයා තාත්තා කෙනෙක් වෙන්න යන බව එයා දැන ගත්තා. පස්සේ කලෙක එයා මට ගන්න හදලා පෙන්නුවා එයාලා අනුරාධපුරේ හිටපු දව්ස7 දී තමයි පිලිසිදගෙන තියෙන්නේ කියලා.

      Delete
    5. @ මෙන්ඩා

      ඒ දවස් හත ඇතුළත මේ යුවල සංසර්ගයේ යෙදුනා ද නැද්ද කියලා කීවේ නැද්ද?

      ඔවුන් සංසර්ගයේ යෙදුනා නම් ඒ කියන්නේ ඉතිං අර සාමාන්‍යයෙන් වෙන විදියට ශුක්‍රාණුවක් පීනලා ගිහින් ඩිබ්බය ඇතුළට ගිහින් කලලයක් හැදෙන්න ඇති.

      දෙන්නා සංසර්ගයේ යෙදිලා නැති නම් ඉතිං අපිට සම්පූර්ණ ක්‍රෙඩිට් එක දෙන්න පුළුවනි ඇසතු ගහට. මොකද එහෙනම් ඒ පිළිසිඳගැනීමත් අර Immaculate Conception වගේ එකක් නේ.

      සමහර විට බිරිඳ සිල් අරන් නිදා ගත්තු වෙලේ ඇත් පැටියෙක් කලු හොඬවැලෙන් අවපාට නෙළුම් මලක් දකුණු ගැබට ඇතුල් කළා වෙන්නත් පුළුවනි!

      Delete
    6. විශ්වාස කරනවානම් හිතට හොඳයි.
      මටත් හිතිල තියනවා හොඳයිනෙ කියල ඒත් විශ්වාස කිරීමට ඇති නොහැකියාව නිසා කරන්න බෑනෙ. විශ්වාස කරන්නෙ කොහොමද කියලවත් ම්ට හිතාගන්න අමාරුයි. ඒත් විශ්වාස කරන අයට හිතට ලොකු සහනයක් ලැබනවා කියන එකනම් දන්නවා.මට නම් හිතෙයි ඉස්සර බුදුහාමුදුරුවරු විවිධ ගස් ( සල්, බුරුත, නා, උණ ආදී ) යට බුදු වුනයි කියන නිසා නිසා ඒ ගස්වලටත් පුලුවන්ද කියල.එතකොට උණගස වුනත් පූජනීයයි. ඒත් විශ්වාසකරන අයට ඒක ලොකු දෙයක්නෙ.
      පිලිසිඳ ගැනීමටත් මානසික සුවය (reduce stress) වැදගත් කියනව නේද? ඒ නිසා විශ්වාස කරන අයට මොනවහරි වෙනව ඇති
      ගුණතිලක මහතා කතෝලිකද වෙනත් ක්‍රිස්තියානි denomination එකකද? කතෝලික නම් භාරවීම /wows ඉතා හුරු පුරුදු දෙයක්

      Delete
    7. බබෙක් නැති ගැනු කෙනෙක් කතරගම දෙයියන්ට බාරයක් වුනා බබෙක් දෙන්න කියලා. කාලෙකට පස්සේ බබෙක් ලැබුනා. ඒ ජොලියට දෙන්නා කතරගම ගියා. ගෑනි නටන්න පටන්ගත්තා බබාවත් උස්සගෙන දෙයියෝ දුන්න බබා...දෙයියෝ දුන්න බබා කිය කියා.

      මිනිහට මල පැන්නා. මිනිහා සරම කරට අරන් "බබා දුන්න දෙයියෝ...බබා දුන්න දෙයියෝ" කිය කිය නටන්න පටන්ගත්තා අහවල් එක එලියට දාගෙන.

      Delete
    8. බාරය සංස්කෘතික දෙයක් ලෙස මම දකිමි

      Delete
    9. @ එල ද බ්‍රා මෙන්ඩා
      වඩාත් හොද පිංවත් දරුවෙක් හදාගන්න නම් ජය ශ්‍රී මහ බෝධිය යටම වැඩේ කරන්න.

      Delete
  2. ගුණතිලක මහතා ගුවන් හමුදාපතිව සිටියදී, ඉතා දැඩි පාලකයකුව සිටියා. ඒ, 1976-1981 වකවානුවේ. එහෙත් කොමිස් ගැනීම ගැන නම් කිසිකලෙක ඔහුට චෝදනා තිබුනේ නැහැ. (ඊට පෙර සිටි හමුදාපති වරුනුත් ඔහු වගේම අවංක අය බවත් මෙහිදී සඳහන් කල යුතුමයි. මුලින්ම සිටි, බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාවෙන් අනුයුක්ත කර සිටි හමුදා පති වරුන්ගේ කාලයේ කොමිස් ගැනීමක් ගැන කිසිවෙක් දැන හිටියෙත් නැහැ. ඔවුන් 100% ක් ම අවංක පාලකයින්) ගුණතිලක මහතාගෙන් පසුව මුලින්ම එම පදවියට පත් හමුදාපති වරුන් කිහිප දෙනෙකුත් එවැනි චෝදනා නොලැබූ අයයි.

    දැඩි පාලකයකුව සිටිමින්ම, ගුණතිලක මහතා ගුවන් හමුදා නිලධාරීන් හා භටයන් වෙනුවෙන් මහත් සේවයක් කළා. වැටුප් වැඩි කිරීම, අලුත් නිල ඇඳුම් ලබාදීම, ගුවන් හමුදාවට ප්‍රතිපාදන ලබා ගැනීමට අරගල කිරීම ඔහු විසින් කරනු ලැබූ සේවයන්. ඒත් සමගම, ගුවන් හමුදාව පලාලි, අනුරාධපුරය, වවුනියාව යන නව කඳවුරු පිහිටවීමත් ඔහුගේ කාලයේ සිදු වුනු වැදගත් දේයි.

    අනිත් අතට, හමහර ඉතා හොඳ නිලධාරීන් ඔහුගේ දැඩි පිළිවෙත් නිසා හමුදාව හැර ගියා. ඒ එක්කම, භටයන් උසස් කිරීමේදී පුරප්පාඩු නොබලා උසස් කිරීම නිසා පසුව පරිපාලනමය ගැටළු ඇති වුනා. ගුණතිලක මහතාගේ තවත් වැරදි කිහිපයක් තිබුනත්, ඒවා මෙහිදී දැක්වීම අභාවයට පත් නායකයකුට අගෞරව කිරීමක් වන නිසා සඳහන් නොකර සිටීම වඩාත් සුදුසු යයි සිතනවා.

    ReplyDelete
    Replies
    1. ගුණතිලක මහතාගේ තවත් වැරදි කිහිපයක් තිබුනත් /// ඔබ ඒවා සඳහන් කරන්න සමහර විට ඔහු නිවැරදි ඇති. ඒවා දන්න වෙන අයෙකුට චැලෙන්ජ් කල හැකියි

      Delete
  3. වැන්දඹුවන් යනු අපේ රට වැනි යුද්දයෙන් බැට කෑ දකුණු ආසියාතික රටවල සංවේදී ප්‍රශ්නයක් යයි මම සිතමි. යුධ ජයග්‍රහණ ගැන උදම් අනන අය ඒ බරින්ම මේ පරාජයන් ගැන නිසි අවධානය යොමු නොකිරීම අවාසනාවකි.

    බෙදුම්වාදී වෛරස සමාජය පුරා බෙදාහරින්නේ එය ජීවිකාව සිංහල සහ දෙමල දේශපාලන කල්ලි දෙකොටසම විසින්ය. සෙමෙන් නිවී යන අළු යට ගිනි වරින් වර උඩට ගෙන නැවත අවුලා ගතහොත් දහස් ගණන් මිනිසුන් එයින් පිලිස්සෙද්දී මේ දේශපාලක දෙපිරිසටම දෙපසට වී සුවසේ ගිනිතැපිය හැකි වනු ඇත.

    එයා චීෆ් මාෂල් හැරී ගුණතිලක මහතා වැනි සැබෑ මිනිසුන් ලගින් ඇසුරු කිරීමට ලැබූ වෛද්‍ය රුවන් සැබෑ වාසනාවන්තයෙක් යයි සිතමි

    ReplyDelete
    Replies
    1. එයා චීෆ් මාෂල් හැරී ගුණතිලක මහතා වැනි සැබෑ මිනිසුන් ලගින් ඇසුරු කිරීමට ලැබීම වාසනාවක්

      Delete
  4. http://www.sundaytimes.lk/120429/News/nws_32.html

    http://www.thesundayleader.lk/2010/08/08/air-force-commander-lays-siege-to-a-world-heritage-site/

    ReplyDelete
  5. ඇත්තටම සැබෑ මිනිසෙක්.. ඒ වගේම වැන්දබුවන් සඳහා උපදේශනය වගේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ලොකු සමාජ සත්කාරයක්..

    ReplyDelete
  6. පුත්තරයානං එහෙම නැ මයේ හිතේ

    ReplyDelete
    Replies
    1. නොට්ටිගේ පුතෙක් :D

      Delete
    2. සමහර විට ගුවන් හමුදාවෙන් කරන දේවල් වල වගකීම ඔහුට යනවා. උදා හැටියට රක්‍ෂිතයේ නිවාඩු නිකේතන කතාව​. වෙන ඔෆිසර් කෙනෙක් නිර්දේශ කරලා යැව්වහම ඔහු අනුමත කරනවා. අවසාන විග්‍රයේදී ඔහු නිවාඩු නිකේතන ගෙදර ගෙනියැව්වේ නෑ එය ගුවන් හමුදාවට අයත්

      Delete
  7. හැරි ගුණතිලකගේ පුතා මෙන්ම ඔහුගේ මුණුපුරා රෙහාන් ගුණතිලකද ගුවන් හමුදාවට සේවය කලානේද?

    ReplyDelete
    Replies
    1. ඔහුත් නිලධාරියෙක් බව ආරංචි

      Delete
  8. අපේ මිනිස්සු හිතන්නෙ පගා ගැහුවෙ නැතිනම් ඒක මෝඩකමක් හෝ දුර්වලකමක් විදිහටනේ.

    එහෙම බැලුවොත් අසාර්ථක මනුස්සයෙක් :-D

    ReplyDelete
  9. රෙහාන් සර් SLAF Commandet වුනොත්, බ්දිය නොහැකි ලෝක වාර්තාවක්. එසේම වේවායැයි ප්‍රර්තනා කරමු.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook