Thursday, July 2, 2015

සෝමසිරි කුමානායක -අප්‍රේල් මහ නඩුවේ නව වන විත්තිකරු




අප්‍රේල් මහ නඩුවේ 9 වන විත්තිකරු වූ සෝමසිරි කුමානායක සම්බන්ධකර ගැනීම තරමක අසීරු කටයුත්තක් වුවද, අවසානයේදී ඔහුගේ දුරකථන අංකය ලබාගැනීමට මම සමත්වූයෙමි. මූලික හඳුන්වාදීමෙන් හා අරමුණ පැහැදිලි කිරීමෙන් පසු පාඨකයන් වෙනුවෙන් කුමානායක මහතා තතු හෙළි කිරීමට එකඟ විය. ඔහු තම කථාව ආරම්භ කළේ මේ අයුරිනි.

මගේ ගම ඇල්පිටිය ඕමත්තේ. මුල් කාලයේ නිහාල් ඩයස්ලා සමඟ සමාජවාදී ශිෂ්‍ය සංගමයේ හිටියා. මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ගියේ 1966 වර්ෂයේදී. 1967 දි තමයි මට රෝහණ විජේවීරගේ  ව්‍යාපාරය ගැන අහන්න ලැබුණේ. මේ ව්‍යාපාරය ගැන පැහැදීමක් විශ්වාසයක් ඇතිවූ නිසා මම ඒ වසරේදීම විශ්වවිද්‍යාල අධ්‍යාපනය අත්හිටවලා පූර්ණකාලීනයෙක් බවට පත් උනා.

මම විජේවීරගේ  රෝහණ  කියන නම වඩාත් ප්‍රචලිත කළා. සමාජවාදී ශිෂ්‍ය සංගමයේ බුලටින් දෙකක් හරහා ඊට විජේවීර ගේ පින්තූර දැම්මා. ජනතා විමුක්ති පත්තරේ මුල් කලාප තුන කළේ මම. ග්‍රැන්මා පත්තරේ අරගන ඒ විධිහට පත්තරේ සකස් කළා. මට පොඩි ලකීගේ සහයත් ලැබුණා. පස්සේ පත්තරේ දිගටම කරගන යන්න සුභසීල කොඩිකාරට දුන්නා.

විජේවීර  අත්අඩංගුවට පත් උනහම නීතීඥ ආන්නද ප්‍රේමසිංහ සම්බන්ධ කර ගැනීමට මම කටයුතු කළා. විජේවීර ට අවශ්‍යවෙලා තිබුණා තමන්ගේ ඉදිරියට නෙරා ආ දත් පේරාදෙනියේ දන්ත වෛද්‍ය අංශයට පෙන්නලා ශල්‍යකර්මයකින් නිවැරදි කරගන්න. ඒ ගැන හිතලා විෙජ්වීර දේශපාලන වැඩ පවා අතපසු කරගන්න මට්ටමකට ගියා. මම කිව්වා මේ අවස්ථාවේදී බාහිර ස්වරූපය ගැන හිතන්න එපා විප්ලවය වෙනුවෙන් අපි වැඩ කළ යුතුයි යන්න.

විජේවීර තුළ තිබූ සැකය නිසා සනත්, කරුණාරත්න, ලොකු අතුල, ඉන්කම්ටැක්ස් කරු ඇතුළු මා කෙරෙහි යම් අප්‍රසාදයක් ඇතිකරගන තිබුණු බව මට කල්යන කොට තේරුම් ගියා. අපි කට්ටිවාදීව කටයුතු කරනවා කියන චෝදනාවෙන් තමයි දමා ගැසුවේ. සැකය හා මතභේද නිසා ලොකු අතුල බාරයේ තබූ බෝම්බ හා අනෙකුත් ආයුධ වෙන ස්ථානවල සඟවන්න කියලා පොඩි අතුලට කියා තිබුණා. අයුධ සඟවා තැබූ ස්ථාන වලින් ඒවා වෙනත් ස්ථානවලට ප්‍රවාහනය කරන්න ගිහිල්ලා ගොඩක් බඩු පොලිසියට අසු උනා. ඒ නිසා කැරැල්ල ගැන වේලසනින්ම පොලිසියට කරුණු අවබෝධ වූ බව කිව යුතුයි.

කෙසේ නමුත් අප්‍රේල් 5 පහර දීමට සංඝාරාමයේදී ගත් තීරණය අනුව අපට අයත්වූ කලාපවල ප්‍රහාරය දියත් කිරීමට අපි පොදු එකඟතාවයකට පැමිණියා. මට පැවරී තිබුණේ කඩවත පොලිසියට පහරදීම. එදා රෑ මම ලොකු අතුලගේ තාත්තාගේ ගෙදරට ගිහිල්ලා එහෙ තිබූ ලයිසන් තුවක්කුව ලබාගත්තා. අපි 30 විතර පිරිසක් 1971 අප්‍රේල් 5 දින රෑ 11.30 ට විතර කඩවත පොලිසිය දෙසට ගියා. ප්‍රහාර එල්ල කරන්න. අපිට තුවක්කු තිබුණේ 5 විතර. චීනච්චට්ටි බෝම්බ 30 ක් විතර තිබුණා. පොලිසියට පහර දෙන්න පිරිස තුන්පැත්තකින් යැව්වා. කඩවත මිල්ටනුත් මේ ප්‍රහාරයට සම්බන්ධ උනා.

කඩවත පොලිසියේ 20 විතර පිරිසක් සන්නද්ධව හිටියා. පොලිස් නිලධාරියකු වූ රොනී ගුණසිංහත් එතන ඉඳලා තියෙනවා. අපි ගෙයකට මුවාවෙලා කඩවත පොලිසිය දෙසට වෙඩි තිබ්බා. මිල්ටන් හිටියේ රාගම පාර පැත්තේ. අපි වෙඩිතියන කොට පොලිසියෙනුත් වෙඩි තිබ්බා. අපි හිටියේ මංකඩ පාර කිට්ටුව. මිල්ටන් උණ්ඩ හා බෝම්බ ඉවරවීම නිසා ප්‍රධාන පාර හරහා පැනලා අපි හිටපු පැත්තට දුවගන ආවා. අපි කෑගහලා කිව්වා ප්‍රධාන පාරෙන් පනින්න එපා කියලා. මිල්ටන් දිගටම අපි හිටපු දිහාට දුවගන ආවා. මිල්ටන් ඇඳගන හිටියේ සුදුපාට ටී ෂර්ට් එකක්. ඒ නිසා පොලිසියට පහසුවෙන්ම ඉලක්කය ගන්න හැකි උනා.

කඩවත පොලිසිය දෙසින් වෙඩිල්ලක් වැදුණා. මිල්ටන්ගේ පපුව පැත්තට. වෙඩි පාරත් සමඟ මිල්ටන් ඇද වැටුණා. ඒ මොහොතේම වගේ මිල්ටන්ගේ පණ යන්න ඇති. මම ගෝනහේනේ අමරසිංහටයි, ටයිටස්ටයි කිව්වා මිල්ටන්ගේ මිනිය ඇදලා අපි ළඟට ගේන්න කියලා. ඒ අය බඩගාගෙන ගිහිල්ලා මිනිය ගෙනාවා.

මිල්ටන්ගේ සාක්කුවල තිබුණු ලියකියවිලි ඇඩ්‍රස් අපේ භාරයට ගත්තා. මිනිය ගෙනියන්න විදිහක් නෑ. ප්‍රහාරය තදයි. මේ අතරතුරේ හෙලිකොප්ටරයකුත් ආවා. උදේ 3 වන තෙක් ප්‍රහාරය ගියා. මේ අතර වාරයේ පෑලියගොඩ පැත්තෙන් නිට්ටඹුව පැත්තෙන් බස් ඇතුළු වෙනත් වාහන එනවා. මුළු රටේම එකවර ප්‍රහාර එල්ල කෙරුවා නම් දෙපසින් වාහන එන්නේ කොහොමද? කියලා මට හිතුනා. ඒ එක්කම කැරැල්ල අසාර්ථකදෝ කියලා අශ=භ සිතිවිලිත් ආවා.

උදේ 3 ට විතර අපි බස්වලට මුවා වෙලා පැනගත්තා. මිනිස්සු පොළට එනවා ගෝනි කරේ තියාගන. මිනිසුන්ට මැදිවෙලා අපි ගියා. කෙලින්ම ගියේ ලොකු අතුලගේ තාත්තාගේ ගෙදරට. තුවක්කුව මම භාරදුන්නා. මමයි ටයිටසුයි, අමරසිංහයි, බැලූම්මහර ගියා ගෝනහේනේ අමරසිංහගේ නෑ කෙනෙක් බැලූම්මහර ඉන්නවා. අපි එහෙ යන්න පිටත් උනා. පාරේ යනකොට ආමඩ් කාර් යනවා. වැඩේ බරපතලයි. අපි බැලූම්මහර ගෙදරට ගියා. ඒක පාලූ ගෙයක්.

අප්‍රේල් 9 දක්වා අපි ඒ ගෙයි සැඟවිලා හිටියා. ගෝනහේනේ අමරසිංහට බිරිඳව බලන්න ගෝනහේනට යන්න උවමනාව තදින්ම තිබුණා. මම ඒක වැලැක්කුවා. ඒත් අමරේ යන්න ඕනැමයි කියලා ගියා. අමරසිංහ ගෝනහේනට යනකොට එවකට හිටපු කර්මාන්ත ඇමති කේ. කේ. සූරියආරච්චිගේ මැරයෙකු වූ සනී අමරසිංහව අත්අඩංගුවට අරගන පහරදීලා මරා දමලා.

පොලිසිය අපේ ඇල්පිටියෙ ගෙදරටත් ගිහිල්ලා. අපේ තාත්තා වත්තක කංකානම් කෙනෙක්. මගේ මල්ලී ප්‍රේමසිරිත් ව්‍යාපාරේ හිටියා. මල්ලි පොලිසියට බාර උනාටත් පස්සේ ඇල්පිටිය පොලිසිය අපේ ගෙදරට කඩා වැදිලා ගෙදර ගිනි තියලා. එක කොස්තාපල් කෙනෙක් මම මිලට අරගන තිබුණ මලලසේකර ශබ්දකෝෂය අරගන ගියා. ඉතිරි පොත් විනාශ කරලා. තාත්තවත් අත්අඩංගුවට ගන්න සූදානම.

මම රහසිගතව බාලා තම්පෝ හමුවීමට ගියා. බාලා තම්පෝ මාව වරායේ වෘත්තීය සමිති ලේකම් කෙනෙකුවූ කඩුවෙල ලියනගේ ගේ ගෙදර නැවැත්තුවා. බාලාතම්පෝ මට කිව්වා වසන්ත කනගරත්න සීඅයිඩී එකට ප්‍රකාශයක් දීලා තියෙනවා. ඒකේ ඔයා ගැන විස්තර තියෙන නිසා තත්වය එච්චර හොඳ නැති බව. මම දිගටම වසන්වෙලා හිටියා. ඒඑස්පී ෂන්මුගම් අපේ තාත්තා හොයාගන ඇවිල්ලා කියලා තියෙනවා පුතාට බාරවෙන්න කියන්න. නැත්නම් මරන්න සූදානමක් තියෙනවා. ඊට හේතුව කඩවත ප්‍රහාරයේදී රොනී ගුණසිංහගේ අතට වෙඩි වැදිලා. රොනී කඩවත ප්‍රහාරයේ හිටපු අය හොයනවා. ඉයන් වික්‍රමනායකත් කියලා තිබුණා බාරවෙන්න. නැත්නම් ජීවිතය නැතිවෙයි යනුවෙන්. 

ඒඑස්පී ෂන්මුගම් ගැන මට යම් විශ්වාසයක් තිබුණා. එයත් පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ සිටි කෙනෙක්. මේ වෙනකොට ඉඟිනිමිටියේදී ලොකු අතුලත් අත්අඩංගුවට අරගන. මම සැඟවී සිටීම තාත්තාගේ ජීවිතයටත් අන්තරාවක්. මම තීරණය කරා බාරවෙන්න. සිංහල නිලධාරියෙකුට බාරවෙනවට වඩා මට අවශ්‍ය උනා ද්‍රවිඩ නිලධාරියෙකුට බාරවෙන්න. මොකද සිංහලයාට බලය තියෙන කොට තවත් සිංහලයෙකුට කොයි අයුරින් සලකයිද කියන එක අවිශ්වාසයි. දෙමළ නිලධාරියා මනුස්සකම උඩ කටයුතු කරයි කියලා මට හිතුනා. ඒ අනුව මම සීඅයිඩී එකේ ජෙගනාදන් මහත්තයාගේ කිරිබත්ගොඩ ගෙදරට ගිහිල්ලා බාර උනා.

මාත් එක්ක මගේ මාමා කෙනෙක් හා ටී.ඩී. සිල්වාගේ පුතෙකුත් ගියා. ජෙගනාදන් අත්අඩංගුවේ හිටපු ටී.ඩී. සිල්වාට වරක් පහර දීලා පසුව සමාව ඉල්ලලා තිබුණා. මේ නිසා මට හිතුනා මේ මනුස්සයා ළඟ යම් මානව ගුණාංගයක් තිඛෙන බව. ඒකත් හේතුවෙනවා ඇති ජෙගනාදන්ට බාරවීමට.

අපි දවල් කාලයේ (1971 අගෝස්තු 08 දින) ජෙගනාදන්ගේ කිරිබත්ගොඩ ගෙදරට ගියා. ජෙගනාදන් හිටියේ සිවිල් පිට. ජෙගනාදන් අපි දිහා බැලූවා. මම කිව්වා මම කුමානායක කියලා. ජෙගනාදන් මගේ හිස සිට දෙපා දක්වා බැලූවා. ඒ කරලා කිව්වා වාඩිවෙන්න කියලා. ඒ එක්කම නෝනට සැලකරා අපට බොන්න මොනවත් ගේන්න කියලා.

මගෙන් ජෙගනාදන් මහත්තයා ඇහැව්වා කොහේද මෙච්චර දවසක් හිටියේ. අපි හැමතැනම තමාව හෙව්වානේ කියලා. මම උත්තර දුන්නා. මම හැංගිලා තැනින් තැන හිටියේ. ඒ හිටපු තැන්වල මිනිස්සු අහිංසකයි. මම කවුද කියලා දන්නේ නෑ. ඒ අයට හිරිහැර නොකරනවා නම් මම කියන්නං. මම අන්තිමට හිටියේ මහත්තයාගේ ගේ ඉස්සරහ තියෙන ගෙවල් පේළියෙන් එකක. මම එහෙම කිව්වම මහත්තයා උඩ ගියා. එයාගේ බිරිඳගේ ඇස්වලින් විශ්මය, බය මම දැක්කා. 

ජෙගනාදන් මාව ගෙනිච්චා කොල්ලූපිටිය පොලිසියට. මාව එහි ලොක් කරලා තිබ්බා. අනික් රාළහාමිලාට කියලා මට පහර දෙන්න එපා කියලා. මාව ඊට පසුවදා සීඅයිඩී 4වෙනි තට්ටුවට ගෙනගියා. 4වෙනි තට්ටුව මට අමුතු තැනක් නොවෙයි. 1970 දී මම zzදේශප්‍රේමීZZ පත්‍රයේ කතෘ. එහි පළමුවන කලාපය ටී. බී. ඉලංගරත්න මහත්තයා තහනම් කළා. මට සීඅයිඩී එකේ 4වන තට්ටුවට කැඳවීමක් කරලා තිබුණා. එහි යෑමට පෙර මාව නීතීඥ ප්‍රින්ස් ගුණසේකර මහතා 4 වන තට්ටුවේදී හැසිරෙන ආකාරය ගැන දැනුවත් කරලා තිබුණා.

1970 දී මගෙන් ප්‍රශ්න කළේ උපාලි සෙනෙවිරත්න මහත්තයා. ඔහු හොඳ නිලධාරියෙක්. ප්‍රශ්න කරලා මගේ ෆොටෝ එක හා ඇඟිලි සලකුණු අවශ්‍ය බව කිව්වා. මම පිළිතුරු දුන්නා උසාවි නියෝගයක් නැතිව එය කළ නොහැකි බව. ඒක උපාලි සෙනවිරත්න මහත්තයා පිළිගත්තා. ඒත් සීඅයිඩී එකේ මහත්තුරු සූක්ෂ්ම අය. මට තේ එහෙම දුන්නා. මම වීදුරුව ඇල්ලූවේ ඇඟිලි සලකුණු නොවදින විධියට. මේසය උඩ තිබ්බේ මගේ වැළමිට විතරයි. මම වීදුරුව ඇල්ලූවේ ලේන්සුව හරහායි. කිසිම ලිපියක් අතින් ඇල්ලූවේ නැහැ. ඒත් මම කථා කර කර ඉන්නකොට  ක්ලික්  ගාලා කැමරා හ~ක් ඇසුණා. ඒ අය මගේ ඡායාරූපය ඈත ඉඳන් ගන්න ඇති.

ඒත් මේ සැරේ එහෙම තර්ක කරන පසුබිමක නෙවෙයි මම හිටියේ. එහෙත් මේවර ප්‍රශ්න කළේ සර්නි විෙජ්සූරිය හා උපාලි සෙනෙවිරත්න. හොඳට සැලකුවා. ඒ අතර වාරයේ රොනී ගුණසිංහ ආවා, අත වෙලාගන. මාව දැකපු හැටියෙම  උඹව තමයි මම හොය හොයා හිටියේ, මගේ අතට වෙඩි තිබ්බේ උඹයි කියලා මාව ගෙනියන්න හැදුවා. උපාලි සෙනවිරත්න මහත්තයා ඒකට ඉඩ දුන්නේ නැහැ.

මෙරිල් ජයසිරි අත්අඩංගුවට ගත්ත වෙලාවෙදි කියලා තියෙනවා සීඅයිඩී එකේ නිලධාරින්ගේ පින්තූර හා ලිපිනයන් අඩංගු ලිපිගොනුවක් හැදුවා. ඒක මට දුන්නා කියලා. මේක බොරුවක්. මට එහෙම ෆයිල් එකක් දීලා තිබුනේ නැහැ. සීඅයිඩී එක හාර හාරා මේ විස්තර අහනවා. මම කිව්වා එහෙම ලිපිගොනුවක් මම සඟවලා නැහැ. ඒත් පිළිගත්තේ නැහැ. අන්තිමේදී මම කිව්වා මට මෙරිල් ඉදිරියේ මේක හගිස්සන්න ඕන බව. ඒකට ඉඩ දුන්නා. මෙරිල්ව රඳවලා තිබුණේ සීඅයිඩී එකේ කාමරයක. මෙරිල් හොඳටම ගුටි කාලා. මේසයක් යට මාංචු පිටින් හිටියා. මම මෙරිල් ඉදිරියේ මේ ලිපි ගොනුව ගැන ඇහුවා. ඒ අහනකොට සීඅයිඩී එකේ මහත්තුරුන්ට තේරුණා මා ළඟ මෙවැනි ෆයිල් එකක් නැති බව.

මාව සීඅයිඩී එකේ රඳවලා ඉන්නකොට රොනී නැවත වරක් මාව ගෙනියන්න උත්සාහ කළා.  උඹ කඩවත පොලිසියේ ඔත්තු බලන්න හරකෙක් දක්කගෙන පොලිසිය ඉස්සරහින් ගියා නේද? කියල ඇසුවා. ජස්ටින්, මැන්සලින් කියන අයත් ප්‍රහාරයට ආපු අය. ඒ අයගේ ප්‍රකාශ රොනී අරගන මගේ තුවක්කුවේ උණ්ඩයක් එයාගේ අතට වැදුණු බවට තීරණය කරලා. ඒත් රොනීට මාව ගෙනියන්න ඉඩ ලැබුනේ නැහැ. රොනී මාව ගෙනියන්න හැදුවෙ ඇටකටු කුඩු කරලා මරල දාන්නයි.

අපෙන් කටඋත්තර අරගන අපිව රිමාන්ඩ් කළා. නඩුව පටන් ගත් විට විජේවීර  යෝජනා කළා 13 වෙනි විත්තිකරු හැටියට මම උසාවියේදි ප්‍රකාශයක් කරන්නම්. අනෙක් අය නිහඞව ඉන්න කියලා. විෙජ්වීර ප්‍රහාරය පිළිබඳ වගකීම් අත්හැරීම හා ලොකු අතුල හා සනත් 71 ප්‍රහාරය දියත් කිරීම කළ බව කීම නිසා අපිට යම් සැකයක් තිබුණ, මේක අපිව නිහඞ කිරීමට ගන්නා උත්සාහයක්දෝ යනුවෙන්. එස්.ඩී. බණ්ඩාරනායක මගින් ප්‍රින්ස් ගුණසේකර ලවා විජේවීර  අපට සමාදාන යෝජනාවක් පවා ගෙනාවා.

මේ වෙනකොට විෙජ්වීරගේ ස්ථාවරය ගැන අපට තිබ්බේ සැකයක්. ඔහු එක්තරා ආකාරයක ආඥාදායකයෙක්. ඔහු කාටවත් සවන් දුන්නේ නැහැ. එහෙයියන් ලංකරගෙන හිටියා මිසක් විචාරශීලී සංවාදයකට ආවෙ නැහැ. ඒ නිසා අපි තීරණය කළා මේ යෝජනාවට එක`ග නොවී උසාවියේ දී පහත ප්‍රකාශය කරන්න.

මේ කැරැල්ල කළේ අපි. ඒක අපි ප්‍රතික්ෂේප කලේ නැහැ. කැරැල්ලේ යම් යම් අඩුපාඩු තිබුණා. රටේ නීතිය අනුව එය කුමන්ත්‍රණයක් විය හැකියි. එය එසේ නම් අපි වැරැද්ද පිලිගනිමු. අපි නඩුවෙදි එකිනෙකාගෙන් හරස් ප්‍රශ්න අහලා අසත්‍ය යටපත් කොට, සත්‍ය ඉස්මතු කරගන්නට වෑයම් කළා. 

නඩුවේ දී මට අවුරුදු 3ක හිර දඞුවමක් ලැබුණා. විධායකයේ අනුකම්පාව අපට ලැබීමට නියමවූ නිසා මම ලොකු අතුල, ඉන්කම්ටැක්ස් කරු, සමාව අයැද ජනාධිපති විලියම් ගොපල්ලවට ලිපියක් ලිව්වා.

හිරේදී වරක් විෙජ්වීර විවේචනය කිරීම නිසා ඔස්මන්ඩ් මට පහර දෙන්න පවා ආවා. ඒ වෙනකොට ඔස්මන්ඩ්ගේ කකුළ කඩලා කිහිලිකරු පිටින් ගියේ. මගේ විවේචනය නිසා ඔස්මන්ඩ් මගේ ඛෙල්ල මිරිකුවා. මම ඔස්මන්ඩ්ගේ අණ්ඩකෝෂ මිරිකලා තමයි ග්‍රහණයෙන් මිදුණේ.

1975 ජනවාරි 10 මාව නිදහස් කළා. නිදහස ලැබීමෙන් පසු මා එන්. යූ. ජයවර්ධන මහතාගේ කොම්පැණියක රැකියාවකට ගියා. මාව ඒ රැකියාවට ගත්තේ ඉන්ටවිව් එකක් තියලා. මාව ඉන්ටවිව් කළේ ලිවී විෙජ්මාන්න මහත්තයා. මම විවාහඋනේ 1976 දී. මට දරුවන් 3 දෙනෙක් ඉන්නවා.

71 දී අපට හරවත් ගමනක් යන්න තිබුණා. ඒ විශ්වාසය උඩයි මම විශ්ව විද්‍යාල අධ්‍යාපනය අත්හැරලා දාලා ආවේ. විජේවීරගේ  සංවාද මගින් ප්‍රශ්න විස\ ගත්තා නම්, ඔහු පසු කාලයක ඉතා දුක්ඛදායක ලෙස මරණයට පත්වන්නේ නැහැ. ඒ වගේම 88 දී නොමේරූ තරුණයන් උසිගන්වලා දංගෙඩියට යවන්නේ නැහැ.

71 සාර්ථක උනානම් අපිව ද්‍රෝහීන් හැටියට මරන්න පවා ඉඩ තිබුණා. ඒ ගැන පියසිරි කුලරත්නගේ කට උත්තරවල පවා තියෙනවා. ලොකු ලේ වැගිරීමක් වෙන්න තිබුණා. 88/89 පවා මට තර්ජන තිබුණා. මාව ගෝල්ෆේස් ගෙන්නලා අතපය කපන බවට පණිවිඩ එවලා තිබුණා.

අද මට ආයුධ අතට ගෙන කරන දේශපාලනය වැරදි, නොමේරු, ලාමක ක්‍රියාවක් ලෙසටයි දකින්නේ. 71 දී ප්‍රජාතන්ත්‍රවාදීව යෑමට හැකිකම තිබියදී අපි ආයුධ අතට ගත්තා. ඉන්දුනීසියාවෙ වගේ මර්ධනයක් තිබ්බේ නැහැනේ. ඒකනේ සත්‍යය. අපි ඉදිරිපත් උනේ මිනිසුන් වෙනුවෙන් නම්, අපි මිනිසුන් වෙනුවෙන් ජීවිත පුද කරන්න නොපසුබට වෙනවා නම් අපිට හැම දෙයක්ම ජනතාව වෙනුවෙන් කැප කරන්න පුළුවන් නම් ඇයි අපට බැරි ජනතාව පෙළ ගස්වලා ඔවුන්ගේ කැමැත්ත ඡන්දය දිනා ගන්න. ඒකට තුවක්කුව අවශ්‍ය නැහැ.

1972 දී මම අත්අඩංගුවේ ඉන්න කොට ප්‍රේමකීර්ති ද අල්විස් ගුවන් විදුලියේ වැඩසටහනක් කළා. ඒ වැඩසටහනේදි වාදනය කළා  නොමඟ නොයන් පුතේ  යන ගීතය. ඒක මට විශාල බලපෑමක් ඇතිකරපු ගීතයක්.

1977 දී අපි කිව්වා වගකිවයුත්තන් හට ප්‍රවනතාවක් තියෙනවා යළිත් මේ රටේ විනාශකාරී කැරැල්ලක් වෙන්න. ඒක කවුරුවත් ගණන් ගත්තේ නැහැ. ප්‍රතිඵලය 88 භීෂණ යුගය.

අපේ රට දියුණු කරන්න පුළුවන් ප්‍රායෝගික වාදයක් හරහා. මාක්ස්වාදය අපි ගෙඩි පිටින්ම ගතයුතු නැහැ. එහි හොඳ ලක්ෂණ සමඟ අපේ සංස්කෘතික වටිනාකම බලලා ඊට ගැලපෙන දේවල් අරගන, මාක්ස්වාදයේ යල් පැනගිය කොටස් අතහැරලා පොතේගුරු චින්තනයෙන් මිදී රට දියුණු කරන්න පුළුවන්. ඒකට බෝම්බ, ගල්කටස් අවශ්‍ය නැහැ.


(වෛද්‍ය රුවන් එම් ජයතුංග ගේ 71 කැරැල්ල ආරම්භයේ සිට අවසානය දක්වා පුර්ණ සමාලෝචනයක්   කෘතිය ඇසුරෙනි)

7 comments:

  1. විජේවීර අසාර්ථක පුදලයෙකු වූ බවත් ඔහු නිසා 1971 හා 1989 ඛේදවාචාක ඇතිවූ බවත් පේනවා.
    ඉතාම වැදගත් දේ තමයි කැරැල්ල සාර්ථක වුනානම් කුමානායකව මරන්න හිටි බව. මම මීට පෙර අසා තිබෙනවා මිල්ටන්වත් මරන්න හිටිය කියල.කැරැල්ල සාර්ථක වුනානම් දේශපාලන විරුද්ධවාදීන් දහස් ගනනක් ප්‍රතිවිප්ලවවාදීන් හෝ ද්‍රෝහීන් ලෙස සළකල මරන්න ඉඩ තිබුනා.
    රුසියාවෙ චීනයෙ එය සිදුවුනා. ලංකාවෙ සිදුනොවෙන්න බෑ. එහෙම වුනානම් ඒක මේ රටේ ජනතාවට අලුත්ම අත්දැකීමක් වේවි. 18818 න් පසු එවැනි සංහාරයකට ඔවුන් මුහුන දී නැති නිසා
    කුමානායකගෙ අදහස් වලිනුත් පේන්නෙ ලංකාව තවත් උතුරු කොරියාවක් වෙන්න ගිහින් අනූනමයෙන් බේරුන බව.

    ReplyDelete
    Replies
    1. විප්ලවය මුලින්ම ගිල ගන්නේ එහි දරුවන්වය

      Delete
  2. මහනඩුවේ විත්තිකාරයන් කිහිපයක් ඒක්කම වැඩ කරන්න ලැබුණා...... විශේෂයෙන් ම කෙලී සේනානායක ඒක්ක ගොඩක් ලගින් වැඩ කරන්න ලැබුණා... මේ මිනිස්සු හැමෝගෙන් ම මම දැකපු විශේෂත්වයක් තිබුණා... ඔවුන් ඒක්ක කතා කිරීම පවා අලුත් දැනුමක් සහ අලුත් විදිහකට දකින්න ඉගෙන ගන්න ලැබුණ අවස්ථාවක් වුණා...... මොවුන් තුළ හැබෑ විශේෂත්වයක් තියෙනවා.......

    ReplyDelete
    Replies
    1. කුරුටු ගෑ ගී පවුර : ඔවුන් තුල නිර්මාණශිලී බවක් මෙන්ම සමහර අංශ වලින් පසුගාමිත්වයක් ද දකින්න
      පුළුවන්

      Delete
  3. විජේවීරගේ ක්‍රම දෙකම 71, 88-89 අසාර්ථකයි කියල මම හැම වෙලේම කියනවා. විජේවීර 1970ට කලින් සොවියට්දේශයේ හිටි කෙනෙක්. ඔහුට අවබෝධයක් තිබුනේ නැහැ ඊට පස්සේ සෝවියට් දේශය හෙම වෙනස් වුනේ කොහොමද කියල. ජවිපෙ, පෙසප දෙගොල්ලටම මම නම් කියන්නේ මිට වැඩිය සංවාද කර තීරණය කරන්න කියල යන ගමන ගැන.විජේවීර හොඳ මනුස්සයෙක් බව ඇත්ත. නමුත් න්‍යායක වැරදි ගොඩක් තියෙනවා. අන්ධභාවයෙන් එයාව අනුගනමනය කිරීම තේරුමක් නැහැ. මේක ලිව්වට බනියි. නමුත් අපිට කවද හරි ඇත්ත පිලි ගන්න වෙනවා.

    ReplyDelete
    Replies
    1. 71 ජේවීපී කාරයකු ලෙස මේ අදහස් වලට එකඟයි. සන්නද්ධ විප්ලවයක් කියන එක විජේවීර අවබෝධ කරගෙන තිබුනේ පොතෙන් විතරයි. එවකට ලෝකයේ තිබුන එවැනි සංවිධාන යටතේ රහසිගත පුහුණුවක් වත් ලැබුවානම් සාර්ථක වෙන්න තිබුණා. එමෙන්ම ත්‍රිවිධ හමුදාවේ සහයෝගයක් ලබාගන්නට ඔහුට හැකිවුණේ නැහැ.

      71 දී අපේ ත්‍රිවිධ හමුදාව මෙවැනි අරගලයක මුහුණදී තිබුනේ නැති නිසා බොහෝ වාසි ගන්නට තිබුනත්, ජේවීපී සටන් සැලසුම් ඉතා දුර්වල පොඩි ළමයි හැංගිමුත්තන් කෙලිනවා වගේ තිබීමේ වාසිය ත්‍රිවිධ හමුදාවට ලැබුනා.

      විජේවීර 1989 දී අත්අඩංගුවට ගත් පසු බණ්ඩාරවෙල පිහිටි ඔහුගේ බංගලාවට මම කීපවිටක් ගියා. ඔහු ඉතා සුඛෝපභෝගී ජීවිතයක් ගතකර ඇති බව පැහැදිලිවම පෙනුණා.

      Delete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook