Tuesday, July 14, 2015

තක්සලාවක් වු ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව


වෛද්‍ය රුවන් එම් ජයතුංග

ඒ 1985 සැප්තැම්බර් මාසයයි. අපොස උසස් පෙළ විභාගය ලිවීමෙන් පසු ලැබෙන දිග නිවාඩුව මම ගත කරමින් සිටියෙමි. මා සමග කොළඹ නාලන්දා මහා විද්‍යාලයේ උසස්පෙළ හැදෑරු සිසුන් බොහෝ දෙනෙකු පරිගණක , විදේශීය භාෂා අධ්‍යයනය වැනි කාර්යන් වල නිරත වී සිටියහ. නිකරුනේ ගෙදර කාලය ගත කිරීම නුසුදුසු බව සැලකු මගේ පියා තාවකාලික පදනම මත ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ඉංග්‍රීසි අංශයේ බාහිර නිෂ්පාදකයෙකු ලෙස වැඩ කොට අත්දැකීම් ලබා ගන්නා ලෙසට මා උනන්දු කළේය. එම නිසා ඒ සඳහා ඉල්ලුම්පත්‍රයක් මම යැව්වෙමි. මා විසින් යවන ලද ඉල්ලුම්පත්‍රය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ලිවී විජේමාන්න මහතා අනුමත කළේය. 


ලිවී විජේමාන්න මහතා මට මුලින්ම හමු වුයේ නාලන්දා විද්‍යාලයේ ඉන්ටර්ඇක්ට් සංගමය විසින් සංවිධාන කල වැඩමුළුවකට ආරාධිත කථිකයා ලෙස සහභාගී වු අවස්ථාවේදී ය. මම එම සංගමයේ කොමිටියේ විධායකයෙකුව සිටියෙමි. ඔහුට මා මතක තිබුනද වැඩි මිත්රශීලි මුහුණක් නොපෙන්වා මාව අධ්‍යක්ෂ ජෙනරාල් වීරමන් මහතා වෙත යොමු කළේය. ලිවී විජේමාන්න මහතා සේවා ස්ථානයේ තද විනය පාලකයෙකු වු නිසා එසේ හැසිරුණු බව මා පසුව අවබෝධ කර ගත්තෙමි. ඔහු ඉතා ව්‍යක්තව ඉංග්‍රීසි භාෂාව කතා කළේය. එසේම අගය කල හැකි පෞරුෂයක් ඔහුට තිබුනේය. ඔහු ගුවන් විදුලියේ උන්නතියට බොහෝ දේවල් කළේය. එෆ් එම් රේඩියෝ සේවාව ලංකාවට හඳුන්වා දීමට ඔහු පුරෝගාමී විය.

මම වීරමන් මහතාගේ කාර්යාලයට යන විට ගන්ධර්ව අමරදේව ද එහි සිටියේය. පත්තර වලින් සහ රූපවාහිනියෙන් දැක සිටි පණ්ඩිත් අමරදේවයන් සජීවීව ප්‍රථම වතාවට මා දුටුවේ එදාය. මම අමරදේවයන් අසල පුටුවක වාඩි වුයෙමි. මට ඇලෙක් රොබට්සන් මහතා සමග වැඩ කිරීමට නියම කෙරුණි. වීරමන් මහතාගේ කාර්යාලයෙන් එලියට පැමිණි මට ගුවන් විදුලි සංස්ථාව පිලිබඳ අනුස්ථාපනයක් ලබා දෙනු වස් ඇලෙක් රොබට්සන් මහතා ගුවන් විදුලි සංස්ථාවේ නොයෙකුත් අංශ වෙත මා ගෙන ගියේය. ඔහු මට අරුන් ඩයස් බණ්ඩාරනායක , ජිමි බරුචා සහ ගයි බිබිලේ හඳුන්වා දුන්නේය.අරුන් ඩයස් මට ගුවන් විදුලි නිවේදනය පිළිබඳව කියා දුන්නේය. ජිමි බරුචා ඒ දින වල බීබීසීය සමග වැඩසටහන් වගයක් කිරිමට සැලසුම් කරමින් සිටියේය. ගයි බිබිලේ විහිලුකාරයෙකි. තැන නොතැන බලා විහිළු කථා කියන්නෙකි. ඔහු විහිළු කථා කියා අපව ප්‍රබෝධමත් කළේය. එදින ඇලෙක් රොබට්සන් මහතා මහාචාර්ය රැල්ෆ් බුල්ජන්ස් සමග සම්මුඛ සාකච්ඡාවක් පැවැත්විය. මෙම වැඩසටහන් නිෂ්පාදනය කිරීමට මට සිදු විය. ඇලෙක් රොබට්සන් මහතා ගේ මග පෙන්වීම මත මම ඒ කාර්යය සාර්ථකව නිම කලෙමි.


මෙලෙස උසස් පෙළ නිම කල සිසුවෙකුව සිටින අවධියේ මහාචාර්ය රැල්ෆ් බුල්ජන්ස් ,මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර , මහාචාර්ය ලිලී ද සිල්වා, මහාචාර්ය ජෝතිය ධීරසේකර (මෙතුමා වර්තමානයේ භික්ෂුවකි) , මහාචාර්ය නිනියන් ස්මාර්ට් , ආචාර්ය ලීල් ගුණසේකර , වැනි උගතුන් සමග සංවාදයේ දීමට , ඔවුන් සමග අදහස් හුවමාරුවට අවකාශය ලැබුණි. පණ්ඩිතයන්ගේ සෙවනැල්ල අසල සිටීමත් දැනුම වඩවන කරුණක් බව මට ඒ කාලයේදීම අවබෝධ විය. දැනුම සොයා යාම කෙරෙහි මා යොමු වන්නේ මෙවැනි උගතුන්ගේ අභාෂණය නිසා බව මට සිතේ.

වරක් මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මට ඇමරිකානු නාට්‍යවේදී ආතර් මිලර් ගේ ඩෙත් ඔෆ් එ සේල්ස්මන් කෘතිය පිලිබඳ පැයක පමණ දේශනයක් ගුවන් විදුලි සංස්ථා ඉදිරිපස ගොඩනැගිල්ල ඉදිරිපිට දී කළේය. ජනමාධ්‍ය කලාව ඉගෙන ගැනීමට ඔහු මට උනන්දු කළේය. නමුත් මම යොමු වුයේ මනෝ වෛද්‍ය විද්‍යාවටය. එහෙත් මා තුල විකසනය නොවූ නිර්මාණකරුවෙකු සිටින බව මටත් පෙර ඔහු අවබෝධ කරගෙන සිටින්නට ඇති. ඉන් වසර 24 කට පසු මා විසින් ලියන ලද බුදු දහම සහ මනෝ විද්‍යාව සංසන්දනාත්මක කෘතිය ගැන ඔහු කෙටි ග්‍රන්ථ විචාරයක් ඩේලි නිවුස් පත්‍රයට ලිවීය. ආචාර්ය ලීල් ගුණසේකර පිලිබඳ මා දැන සිටියේ ඔහුගේ පෙත්සම , අත්සන යන කෘති මගිනි. එම පොත් දෙක මා කියවුයේ පහේ පන්තියේ ඉගෙනුම ලබන කාලයේ දිය. ඔහු හමු වු විට මට දන්නා හඳුනන කෙනෙකු හමු උනාක් බඳු හැඟීමක් මට ඇති විය. මම පෙත්සම කෘතියේ චරිත ගැන ඔහුගෙන් ඇසුවෙමි. ඔහු ඉතා සතුටින් මට පෙත්සම , අත්සන යන කෘතීන් ලිවීමට පාදක වු කරුණු හෙළි කළේය. පසු කාලයක 71 කැරැල්ල පිළිබඳව මා විසින් ලියන ලද විමර්ශනාත්මක ග්‍රන්ථයේ පෙරවදන ලියන ලද්දේ ආචාර්ය ලීල් ගුණසේකර විසිනි.


වරක් මගේ වැඩසටහනකට ගාමිණී ඊරියගොල්ල මහතා පැමිණියේය. ඒ කාලයේ ඔහු උතුරේ ත්රස්තවාදී ක්‍රියා නැවැත්වීමට සීමිත දේශපාලන සහ හමුදා බල සහිතව තමන්ව යාපනයට යවන ලෙසට ජනාධිපති ජේ ආර් ජයවර්ධන මහතා වෙත ඉල්ලීමක් ඉදිරිපත් කොට තිබුණි. වැඩසටහන් පසු මම මේ පිළිබඳව ඔහුගෙන් විමසුවෙමි. ගාමිණී ඊරියගොල්ල මහතා පැයකට අධික කාලයක් මට උතුරේ ගැටලුව පිළිබඳව එතුමාගේ අදහස් ඉදිරිපත් කළේය. 2002 වසරේ මා විසින් ලියන ලද ප්‍රභාකරන් සාධකය පිලිබඳ මනෝවිද්‍යාත්මක විශ්ලේෂණයක් කෘතියට එතුමා විසින් පවසන ලද යම් යම් කරුණු ගැන විශ්ලේෂණයක් ද අඩංගු විය, නමුත් එම කෘතිය පිට වු සමයේදී දී එතුමා ජිවතු අතර නොසිටියේය. 1986 ජනවාරි මාසයේදී පමණ පුනරුත්පත්තිය පිලිබඳ වැඩසටහනක් කිරීමට අපට මහාචාර්ය කාලෝ ෆොන්සේකා අවශ්‍ය විය. එම වැඩ සටහනට ආරාධනා කිරීමට මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා හමු වීමට කිරීමට මම වෛද්‍ය විද්‍යාලයට ගියෙමි. එම කාලයේ රාජ්‍ය මාධ්‍ය මගින් මහාචාර්ය කාලෝ ෆොන්සේකා ට නිල නොවන වාරණයක් පනවා තිබුනේය. ඔහුගේ පැමිණීම අපට ප්‍රශ්නයක් විය හැකි බව කියූ මහාචාර්ය කාලෝ අපගේ ආරාධනාව කාරුණිකව ප්‍රතික්ෂේප කළේය. මම 2009 වසරේදී පුත්තලම නියෝජ්‍ය පළාත් සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂක කාර්යාලයට අනුබධිතව දිස්ත්‍රික්කයේ මානසික සෞඛ්‍යය සම්බධිකරණ නිලධාරී ලෙස සේවය කරන විට මා ඇතුළු වෛද්‍ය බුද්ධික විජේගුණරත්න , වෛද්‍ය දිනේජ් චන්ද්‍රසිරි සෞඛ්‍යය අධ්‍යාපන නිලධාරී ධර්මදාස පින්නවල විසින් ලියන ලද දුම්කොළ භාවිතයේ ආදීනව විස්තර කෙරෙන “දුම්කොළ මාරයා ” සෞඛ්‍යය අධ්‍යාපන කෘතිය දොරට වැදීමේ උළෙලට මහාචාර්ය කාලෝ ෆොන්සේකා පැමිණියේය. එදින මට එතුමා සමග නිදහස් ව කථා කිරීමට හැකි විය. අපගේ 1986 වසරේ හමුවීම ගැන මහාචාර්ය කාලෝ ට මතක තිබුණි.


මට රිචඩ් සොයිසා සහ රවී ජෝන් ගුවන් විදුලි සංස්ථාවේ තැටි අංශයේ දී නිතර හමු වේ. රිචඩ් ශාස්ත්‍රීය සංගීත තැටි සොයන අතර මම ඊගල්ස් , ඩීප් පර්පල් වැනි රොක් සංගීත කණ්ඩායම් වල තැටි සොයමින් විදුලි සංස්ථාවේ තැටි අංශයේ සේවය කරන ගුණසේකර ව වෙහෙසට පත් කරමි. ඒ අතර වාරයේ රවී ජෝන් එවකට ජනප්‍රිය සින්දුවක් ව පැවති එල්ටන් ජෝන් ගේ නිකිටා සින්දුව මහා හඬින් වාදනය කරයි. රිචඩ් සොයිසා සහ රවී ජෝන් අකාලයේ ජීවිත වලින් සමු ගත්හ. මොවුන් දෙදෙනා තුල තිබු ප්‍රතිභාවට සම කල හැකි කුසලතාවන් තිබු කිසිවෙකු මට පසුගිය දශක කිහිපය පුරා හමු වී නැත. අනාගතයේද හමු නොවන බව මගේ විශ්වාසයි. රිචඩ් සොයිසා රැඩ්යඩ් කිප්ලින් ගේ පොතක ජේදයක් කියවන හඬ මට දැනුදු මතකයට නැගේ. ඔහුගේ ඉංග්‍රීසි සාහිත්‍ය උච්චාරණ හැකියාව අන්තර්ජාතික මට්මක තිබුණි. මෙලෙස කුලතාපූර්ණ මිනිසුන් ගණනාවක් අපගේ දෑස් ඉදිරිපිට මිලිනව ගියහ. ඒ අතර අපගේ පරම්පරාවේ ළමුන් අතර ජනප්‍රිය වු ලන්දේසි දුපත ගුවන් විදුලි නාට්‍යයේ දිල්ජෝන් චරිතයට පණ පෙවූ කරුණාතිලක හඳුවල ද විය. ඔහු ඒ කාලයේ නොසෑහෙන්නට මධුවිත ගත්තේය. පසු කාලයක ඔහු අකාලයේ මිය ගිය පුවත මට ආරංචි විය. ඝාතනය කරන ලද මාධ්‍යවේදී ප්‍රේමකිර්ති ද අල්විස් මා ගුවන් විදුලිය දැක සිටි නමුත් මට ඔහු සමග කිට්ටුවෙන් කතා කිරීමට අවස්ථාවක් නොලැබිණි. නමුත් සාගරිකා ගෝමස් මා සමග කථා කොට තිබේ. කුඩා කාලයේදී සාගරිකා සහ මම සෝමා කිරිඇල්ල මියගේ රන් කුකුළයි කථා දෙකයි ළමා නාට්‍යයේ රඟ පෑවෙමු . ඇය ප්‍රධාන චරිතය වන පුසාගේ චරිතය කල අතර මම කුකුල් පැටවෙකුගේ චරිතය රඟපෑවෙමි. මෙම නාට්‍යය ලුම්බිණි රඟහලේ පෙන්වන ලදී. සාගරිකා ගෝමස් 88 භීෂණ සමයේදී කුරිරු ලෙස මරා දැමුණාය.


මෙලෙස ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ බාහිර නිෂ්පාදකයෙකු ලෙස මාස තුනක් පමණ සේවය කරන විට බීබීසීයේ කීර්තිමත් නිවේදකයෙකු වු ස්ටුවර්ට් වේවල් මහතා විසින් පැවැත්වීමට නියමිතව තිබු පුහුණු වැඩසටහනට මාව තෝරාගෙන ඇති බව වීරමන් මහතා ඉංග්‍රීසි සේවයේ අධ්‍යක්ෂක සරත් ප්‍රනාන්දු මහතා මාර්ගයෙන් මට දැනුම් දුන්නේය. එය සෑම මාධ්‍යවේදියෙකුගේ සිහිනයකි. මෙම පුහුණු වැඩසටහනට බර්ටි ගලහිටියාව වැනි ජ්‍යෙෂ්ඨ ගුවන් විදුලි ශිල්පින් ද පැමිණ සිටියහ. එහි සිටි ලාබාලම තැනැත්තා වුයේ පාසල් අධ්‍යාපනය නිම කොට මාස හයක්වත් නොඉක්මවූ මා ය. 


බර්ටි ගලහිටියාව බොහෝ අත්දැකීම් ඇති ගුවන්විදුලි ශිල්පියෙකි. ඔහු තමන්ගේ රසවත් අත්දැකීම් අපට පැවසිය. මෙම පුහුණුවට දමිළ සේවයෙන් නඩරාජා සිවම් සහ තවත් දමිළ මධ්‍යවේදිනියක් පැමිණ සිටියාය. ඇයව පසුව එල් ටී ටී ඊ සංවිධානය විසින් මරා දැමු බව මට ආරංචි විය. ඒ කාලයේ නඩරාජා සිවම් දු දරුවෝ ටෙලි නාට්‍යයේ මහේෂ් ගේ චරිතය රඟපාන කාලයයි. අප ඉඳහිට නඩරාජා සිවම් ගේ සිංහල උච්ඡාරණය අනුකරණය කරමින් ඔහුට විහිළු කළෙමු. ඔහු සිනාමුසු මුහුණින් අපගේ විහිළු ඉවසා සිටියේය. අපගේ පුහුණුව පැවත් වු ස්ටුවර්ට් වේවල් මහතා සහ එච් එම් ගුණසේකර මහතා අපට අසන්නන් ගේ සිත් ඇදගන්නා ලෙස දේශන කරන අයුරු ඉගැන්විය. එම අධ්‍යනයේ වටිනාකම මට වැටහුනේ පසු කාලයකදී ය. 2006 වසරේදී මම ඇමරිකා එක්සත් ජනපදයේ කැන්සාස් හි වොෂ්බර්න් විශ්ව විද්‍යාලයේ යුද ආතතිය පිළිබඳව ආරාධිත දේශනයක් කලෙමි. එසේම 2008 වසරේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කොළඹ පවත්වන ලද මානසික සෞඛ්‍ය ප්‍රවර්ධන වාර්ෂික සම්මේලනයේදී පුත්තලම් දිස්ත්‍රික්කයේ ප්‍රජා මානසික සෞඛ්‍ය ගැටළු පිලිබඳ දේශනයක් කලෙමි. මෙම දේශනයෙන් පසු සෞඛ්‍ය සංවිධානයේ මානසික සෞඛ්‍ය පිලිබඳ උපදේශක වෛද්‍ය ජෝන් මැහෝනි මගේ දේශනය පිළිබඳව මට ප්‍රසංසා කළේය. එම දේශන සාර්ථකව කිරීමට මට පදනම මම ලබා ගත්තේ 1985 වසරේ ස්ටුවර්ට් වේවල් සහ එච් එම් ගුණසේකර යන මහතුන් ගෙන් ලැබුණු මගපෙන්වීම මගිනි. එම නිසා මම ඔවුනට අද පවා කෘතඥ වෙමි.

මුවන් පැලැස්සේ මැණිකේ (රත්නාවලී කැකුණවෙල ) මා සමග සිනාසුනද ඇය මා හඳුනාගත්තේ නැත. මම ඇයගේ පුත් ඉන්දිකගේ මිතුරෙකි. අප දෙදෙනා අපොස සාමාන්‍ය පෙළ පන්තියේ ඉගෙන ගන්නා කාලයේදී වැල්ලවත්තේ චැපල් පාරේ ගණිතය සඳහා ටියුෂන් ගියේ එකටය. ඔහු ඉගෙන ගත්තේ මහානාම විද්‍යාලයේදීය. ඉන්දිකගේ නිවසට ගිය විට රත්නාවලී කැකුණවෙල මහත්මිය මට තේ පැන් වලින් පවා සංග්‍රහ කොට තිබේ. ඉන්දික ගේ නම කියූ විට ඇය මා හැඳින ගත්තා ය. අප සෙසු ශිල්පින් සමග මුවන් පැලැස්ස ගුවන් විදුලි නාට්‍යයේ ඉතිහාසය ගැන කථා කළෙමු. මුවන් පැලැස්ස ට පාදක වු ගම ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයේ ගල මුදුන ගම්මානය බව කෙනෙක් කිවේය (සමහරු එය මී මුරේ යැයි ද කියති). කෙසේ නමුත් 1995 වසරේ මම කොලොන්ගොඩ රෝහලේ ස්ථාන භාර වෛද්‍යවරයා ලෙස සේවය කලෙමි. කොලොන්ගොඩ රෝහලේ සිට මට දිනපතා ඈතින් පිහිටා තිබෙන දර්ශනීය ගලමුදුන ගම්මානය පෙනේ. එය මනස්කාන්ත දර්ශනයකි. එවැනි දසුනක් මම යළි මා දුටුවේ මොන්ට්‍රියල් හි මවුන්ට් රෝයල් ශිඛරය අසලය. නමුත් මවුන්ට් රෝයල් ශිඛරයට වඩා ගල මුදුන උස ය. අලංකාරයෙන් ඊට වඩා අනූනය.


සිරි අයියා නොහොත් නීතිඥයූ.එස්. පෙරේරා සහ ලලිත් එස් මෛත්‍රිපාල දිනක් මට අහම්බෙන් කුමාරතුංග මැදිරිය අසලදී හමු විය. මම නාලන්ද විද්‍යාලයෙන් කියූ විට ඒ දෙදෙනාම මා සමග ලෙන්ගතුව සිනා සී අතට අත දුන්නේය. ඔවුන් දෙදෙනාටම නාලන්දා විද්‍යාලය සමග ඉතා කිට්ටු සම්බන්ධතාවන් තිබුණි. ලලිත් එස් මෛත්‍රිපාල මහතා සෑම විටම වැඩසටහන් නිමාවකදී කියන ආයුබෝවන් වාසනාවන් යන වචන යුගල දැනුදු මට ඇසෙන්නාක් මෙන් දැනේ .


ගුවන් විදුලි සංස්ථාවේ පුස්තකාලයේදී මට සුගතපාල සිල්වා මහතා මුණගැසී තිබේ. ඔහු ඒ දිනවල මානසික රෝහලක සිටින මානසික රෝගීන්ගේ චර්යාව අඩංගු ගුවන් විදුලි නාට්‍යක් කිරීමට යන බව කිවේය. ඔහු මානසික රෝග ගැන පොත පත කියවීය. ඔහු වන් ෆ්ලිව් ඕවර් ද කුකූස් නෙස්ට් චිත්‍රපටයේ කතාව වැනි අමුතු අන්දමේ නාට්‍යක් සැදීමට යනවා දෝ මට සිතුනි. ඔහු ජිවත් වුයේ ඉතා සරලවය. ගුවන් විදුලි සංස්ථාවේ ඉදිරි පිට ඇති පෙට්ටි කඩයෙන් ප්ලේන් ටී එකක් සහ වඩයක් කමින් ඔහු නාට්‍ය , පොත් ලිව්වේය. මගේ ලෝකයේ දොස්තයෙව්ස්කි සුගතපාල සිල්වා ය. නමුත් සමහර අවස්ථා වල දොස්තයෙව්ස්කි පෙන්නුවාක් මෙන් මෙන් සුගතපාල සිල්වා කුරිරු රළු ගති නොපෙන්විය. ඔහු ඉතා මිත්‍රශීලි නිහතමානී පුද්ගලයෙකු විය. ඒ වන විට මම සුගතපාල සිල්වා ගේ “බල්ලෝ බත් කති ” පොත කියවා තිබුණි. නමුත් මා එය ඔහුට නොඇඟවුයේ මන්දැයි නොදනිමි. සමහර විට එම කෘතියේ පුසති මැණිකේ ගේ ජිවිතයේ ලිංගික පාර්ශවය නිරාවරණය කර තිබු නිසා යන්තම් පාසල් අධ්‍යාපනය නිම කොට දැලි රැවුලවත් හරි හැටි නැති කොලු ගැටයෙක් සුගතපාල සිල්වා ගේ “බල්ලෝ බත් කති “කෘතිය කියවා තිබුනා කිවොත් එය ඔහු විශ්වාස නොකරයි යන අඥාන නිගමනයට මා එළැඹ සිටියා විය හැක.


මට දයානන්ද ගුණවර්ධන මහතා මතකයට නැගේ. එතුමා ගැන හැඳින්වීමක් කිරීමට අවශ්‍ය නැත. දයානන්ද ගුණවර්ධන යනු කවරෙක්ද කියා රටම දනිති. මම හමුවූ සෑම අවස්ථාවකම එතුමා සමග අදහස් හුවමාරු කර ගැනීමට පුරුදුව සිටියෙමි. සේවය නිම වීමෙන් පසු අප දෙදෙනා ඇතැම් විට නිදහස් චතුරශ්‍රය හරහා බස් නැවතුම් පොළ වෙත ඇවිදගෙන යාමට පුරුදුව සිටියෙමු. ඒ අතරවාරයේ දයානන්ද ගුණවර්ධන මහතා නාට්‍ය ගැන කථා කරයි. මෙම කාලය ඔහු මධුර ජවනිකා නාට්‍ය නිෂ්පාදනය කරන කාලය විය හැකිය. ඔහු මට මධුර ජවනිකා නාට්‍ය බැලීමට ආරාධනා පතක් දෙන බවටද පොරොන්දු විය. ඔහු බොහෝ ඇසූ පිරූ තැන් ඇති මිනිසෙකි. සමාජ විශ්ලේෂකයෙකු ලෙස දයානන්ද ගුණවර්ධන තුල තිබු දක්ෂතාවය අති මහත් ය. ඔහු අප සමාජය විශ්ලේෂණය කලේ නාට්‍ය කලාව තුලිනි. ඔහු සමග පැයක් කථා කිරීම පොත් විසිපහක් කියවුවා වැනිය. බුද්ධි කලම්බනයට බොහෝ කරුණු ඔහු ලබා දෙයි. මගේ හැඟීම අනුව දයානන්ද ගුණවර්ධන මහතාගුවන් විදුලි සංස්ථාවේ සේවය කලේ යම් සඟවාගත් කලකිරීමකින් යුතුවය. ඔහුගෙන් වැඩක් ගැනීමට ගුවන්විදුලිය අසමත් වීම අවාසනාවකි. ඔහු කුඩා මේසයකට කොටුවී වැඩ කලේ මානසික සිරකරුවෙකු ලෙසින්දෝ කියා මට අද සිතේ. ඒ කාලයේ අග්‍රාමාත්‍ය ඒකකය කියා නොනිල සේවයක් තිබුණු අතර එම අංශයේ වැඩ කල සමහරුන්ට තිබුනේ හැකියාවට වඩා පන්දම සහ බෙලි කැපීමේ දක්ෂතාවය ය. එම නිසා කුසලතාව තිබු දයානන්ද ගුණවර්ධන වැනි දක්ෂයන් පසෙකට තල්ලු වී යන ලදී. මෙය ගුවන් විදුලි සංස්ථාව ලත් පරාජයන්ට එක් හේතුවක් ලෙස මම දකිමි. අද දිනයේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව අභිබවා අනෙකුත් පුද්ගලික නාලිකා උඩට ඒමට පදනම වැටෙන්නේ මේ හේතු නිසාය. දක්ෂතා සඟවාගත් මිනිසෙකු ලෙස පුර්ණ ආත්මසාක්ෂාත්කරණයක් නොලබා දයානන්ද ගුණවර්ධන මහතා මිය ගියේද යන කුකුස අද දවසේ මා තුල ඇති වේ.


ගුවන් විදුලියේදී මට සීලරත්න සෙනරත් මහතා හමු වුවද අප එකිනෙක සමග කථා කොට නැත. පසුකාලීනව ගුණසිරි සිල්වාගේ පිහාටු පෑන කෘතිය කියවූ විට සීලරත්න සෙනරත් මහතා තුල සිටි සොඳුරු මිනිසා මට මග හැරී ගිය බව වැටහිණි . 2008 වසරේදී පුත්තලම නියෝජ්‍ය පළාත් සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය ආර් එම් එස් කේ රත්නායක මහතා සමග කරුවලගස්වැව රෝහලේ අධීක්ෂණ චාරිකාවක නිරත වු අපට හිටපු ජාතිය ගොඩනැගීමේ අමාත්ය ද. මු දසනායක මහතාගේ අවමගුල ආරංචි විය. දේශපාලකයෙකු ලෙස ද මු දසනායක කෙරෙහි මට ධනාත්මක හැඟීමක් නොවූ බව මම අවංකව හෙළි කල යුතුය.ඊට හේතුව 2001වසරේදී හලාවත රෝහලේ මම සේවය කරන කාලයේදී ද .මු දසනායක විසින් පහර දෙනු ලැබූ මිනිසුන්ට මා ප්‍රතිකාර කිරීමයි. මා විසින් නිර්වින්දනයට ලක් කල එක් කාන්තාවකගේ අත පහර දීම නිසා තැන් දෙකකින් කැඩී තිබුණි. ඒ කාලයේදී ද මු දසනායක මන්ත්‍රීවරයා වෛද්‍ය ආර් එම් එස් කේ රත්නායක මහතාටද සැරයක් දමා තිබුණි . එම නිසා ද .මු දසනායක ගැන මට ගරුත්වයක් නොවිය. එහෙත් ඔහු පසු කාලයක ආසනයේ දියුණුවට වෙහෙසී වැඩ කළේය. මැර ගති වලින් වෙන් විය. ද මු දසනායක මහතාගේ අවමගුලට යා යුතු බව වෛද්‍ය ආර් එම් එස් කේ රත්නායක මහතා කියා සිටියේය. වෛද්‍ය ආර් එම් එස් කේ රත්නායක ඉතා යහපත් මානුෂික ගතිගුණවලින් පිරිපුන් මිනිසෙකි. එම නිසා අප පැරණි තරහවල් අමතක කොට ද මු දසනායක මහතා ගේ අවමගුලට ගියෙමු. එහිදී මම සීලරත්න සෙනරත් මහතා දුටුවෙමි. නමුත් ඒ මහතා සමග කථා කිරීමට අපට අවකාශයක් නොවිය. අවමගුලට පැමිණි සෙනග නිසා සීලරත්න සෙනරත් මහතා දෙවන වරටද මග හැරුණි. යලි තෙවන අවස්ථාවක් අනාගතයේ දී ලැබේද කියා මම නොදනිමි.


ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව තක්සලාවක් වුවා කිවහොත් නිවැරදිය. එහිදී මට නානා ප්‍රකාරයේ මිනිසුන් හමු වී තිබේ. ගුණදාස ලියනගේ මහතාගේ දෝන කමලාවතී කෘතියේ අඩංගු චරිත වල සිට ගෝර්කිගේ මිනිසුන් අතර ස්වයං චරිතාපදානයේ දැක්වෙන ස්මුරි වැනි අධ්‍යාත්මය අවධි කල චරිත ද මට හමුවී තිබේ. නමුත් මට මෙම චරිත තනිකර කළු හෝ සුදු කියා වෙන් කල නොහැකිය. මම අවසන් වරට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට ගියේ 2002 වසරේ මා විසින් ලියන ලද අධ්‍යාපන ප්‍රතිකාර ග්‍රන්ථයේ අඩංගු කරුණු පිලිබඳ සාකච්ඡාවකටය. එම සාකච්ඡාව මෙහෙයුවේ කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සරත් විජේසුරිය මහතා විසිනි. මා ගුවන්විදුලි ශිල්පියෙකු , මාධ්‍යවේදියෙකු නොවුවද මගේ වෘත්තිය අනුව මම එක්තරා ආකාරයකට විශේෂිත රාමුවක් තුල මිනිසුන් සමග සන්නිවේදනයේ යෙදෙමි. එම සන්නිවේදන කුසලතාවලින් අඩකට වඩා මා ලබා ගත්තේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව තුලිනි. මට එහි දිගු කාලයක් සේවය කිරීමට අවකාශයක් නොවිය. උසස් පෙළ ප්‍රතිපල පැමිණි වහාම මම ජිවිතයේ ඊළඟ කඩඉම වෙත ගියෙමි. නමුත් ලංකා ගුවන් විදුලි සංස්ථාව මට සැමදාම තක්සලාවකි.

17 comments:

  1. මේක කලින් කියවලා තියෙනවා නේ! නැවත පළ කිරීමක් ද?

    ReplyDelete
    Replies
    1. රසික මේ දවස් වල මහාචාර්‍ය දයා සෝමසුන්දරම් එක්ක පේපර් එකක් ලියනවා, කාලය අඩුයි. ඉක්මනින් අළුත් එකක් දාන්නම්

      Delete
    2. මේ ලිපිය අරුණට යැව්වා කොමෙන්ට් එකක් ලෙස

      Delete
  2. to rasika

    does this matter whether its re-publish or not???

    get a life bro!!!!!!

    Rohan

    ReplyDelete
    Replies
    1. @ රොහාන්

      මා රුවන්ගෙන් ඇසුවේ සුහදශීලි ප්‍රශ්නයකි.

      බ්ලොග්කරුවාගෙන් විවාදාත්මක ප්‍රශ්නයක් අසන්නට ද, අභියෝගයක් කරන්නට ද, නිර්දය විවේචනයක් කරන්නට ද පාඨකයෙකු ලෙස මට අයිතියක් ඇත.

      එහි ප්‍රශ්නයක් වෙතොත් එය ලේඛකයා සහ පාඨකයා අතර එකකි. තුන්වැනානෙකු වෙන ඔබ ඒ ගැන වෙහෙසිය යුතු ඇයි දැයි මට නොතේරේ.

      Delete
  3. https://www.youtube.com/watch?v=9KDF9n0oRvk

    ReplyDelete
  4. මේ ලිපිය මා තුන්වරක් කියෙව්වා. මේ ලිපියේ සෑම ඡේදයක්ම නැවත විකාශය කොට ලිපි මාලාවක් ලෙස සකස් කරන්න පුළුවන්. එහෙම නොකළ එක ගැන කණගාටු වෙනවා.

    ඔබේ සාහිත්‍ය හැකියාවන් වර්ධනය වීම කෙරෙහි මේ 'ගුවන් විදුලි ජීවිතය' තදින්ම බලපා ඇති බව පෙනෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒ අත්දැකීම් පසුකාලීනව ඉතා වැදගත් වූවා

      Delete
  5. ගුවන් විදුලිය රුවන්ට නම් තක්සලාවක් වෙලා තියෙන බව ඉතාම පැහැදිළියි. වතාවක් මමත් ඔතනට ගියා ඉංග්‍රීසි සහන නිවේදකයෙක් හැටියට සම්මුඛ පරීක්ෂණයට. ඒ දවස්වල මම අතගහන හැමදේම ඈලියාවට යන ගතියක් තිබ්බ නිසාදෝ මාව තේරුනේ නෑ.

    රවි ජෝන් මගෙත් ප්‍රියතම පුද්ගලයෙක්. නමුත් රුවන් සඳහන් කරපු වෙනත් චරිත ගැන මගේ තිබ්බ ආකල්පය සමහර විට ඉඳුරාම වෙනස්. ඒකට කමක් නෑ.

    ඉතාම රසවත් මතක සටහන් ගොන්නක්.

    ReplyDelete
    Replies
    1. ස්තූති ,Dude මතකද චන්න පෙරේරා කියා FM නිවේදකයෙක් හිටියා ?

      Delete
    2. ඇයි එහෙම ඇහුවේ. නිකම් ලාවට මතකයක් තියෙනවා නමුත් හරියටම මතක් වුනේ නෑ. ඔය වගේම සිපිරි නිවේදකයෙක් තමයි විජය කොරයා. ඇයි නොඑලීන් හොන්ටර්?

      Delete
    3. විජය කොරයා., නොඑලීන් හොන්ටර් හමුවෙලා තියනවා

      Delete
  6. අනර්ඝයි. ඒ සියලු උදාර චරිත සමග කතා කළා වගේ දැනෙනවා. මහාචාර්ය ජෝතිය ධීරසේකර හෙවත් හන්තානේ ධම්මවිහාරී හිමි අපවත් වී වසර පහක් වන බව ඔබ දන්නවා ඇතැයි සිතමි.

    ReplyDelete
    Replies
    1. කසුන් මම ඒ ගැන දැන සිටියේ නැහැ. අන්තිමට හන්තානේ ධම්මවිහාරී හිමි මුණ ගැසුනේ 2002 විතර යුද හමුදා රෝහලේ බණ දේශනාවකට වැඩම කළ විට

      Delete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook