Wednesday, July 29, 2015

වැඩපොලේ මහත්තයා



වැඩපොලේ මහත්තයා නැති වුනා කියලා ආරංචිය මට කිව්වේ ධම්මිස්සර හැමුදුරුවෝ. උන්වහන්සේ වැඩපොලේ මහත්තයා ගොඩාක් කාලයක් තිස්සේ දැනගෙන හිටියා. වැඩපලේ මහත්තයත් පන්සලට උදව් උපකාර කළා. හාමුදුරුවන්ගේ අවාස ගෙයි ටයිල් අල්ලන්ටත් උන්නැහේ තමයි සල්ලි වියදම් කළේ.

වැඩපොලේ මහත්තයා වැඩපොල පටන් ගන්නකොට අපි හත් අට දෙනෙක් පමණයි හිටියේ. මම, සේතන්, සඳලතා, හේමමාලි, විතාන සහ සීබට් වැඩපොළ පටන් පටන් ගත්තදා ඉඳන් වැඩ කළා. විතාන නම් අවුරුදු දෙක තුනකට පස්සේ අස්වෙලා ගිහිල්ලා තේ කඩයක් දා ගත්තා. දැන් මිනිහට සරුයි. සුහද හෝටලේ මිනිහගේ. සීබට් නම් දැන් අවුරුදු දෙක තුනකට උඩදි මළා.

මට අද වගේ මතකයි 1950 ගණන් වල මහත්තයා වැඩපොල පටන් ගත්තේ අත් යන්ත්‍ර දෙක තුනක් දාලා. සඳලතායි හේමමාලියි තමයි රෙදි විව්වේ. මම කළේ වැඩපොල අස්පස් කරන එක. සීබටුත් මැසිමක් දාගෙන කලිසම් මැහුවා. අපරාදේ කියන්ඩ බැහැ මහත්තයත් හරි හරියට අපිත් එක්ක වැඩ කළා.

වැඩ කරන විට අපට වෙලාවක් තියා තිබුණේ නෑ. උදෙන්ම වැඩ පොලට එනවා. ගිනිකසයට වැඩ. ගෑණු දෙන්නා ටක ටක ගගා රෙදි වියනවා. සීබට් රෙදි ගොඩක් තියාගෙන මහනවා. සේතනුයි විතානයි වියපු රෙදි අඩුක් කරනවා. මහත්තයා වැඩපොලේ ඉස්සරහා තියන මේසය ලඟ වාඩි වී ලෙජර් පොත බලනවා. මම අත් උදවු දෙන කටයුතු කරනවා.

ටික කාලෙකට පස්සේ මහත්තයා අත් යන්ත්‍ර තුනක් ගත්තා. හේමමාලිගේ නෑයෝ වෙන ගෑණු ළමයින් තුන්දෙනෙකුත් ඇවිත් වැඩ කළා. ඒ කාලේ විහිලූ තහලූ කරමිනුයි අපි වැඩ කළේ.  විතාන කා එක්කවත් වැඩිය බජනයට ගියේ නැහැ. "මිනිහා හරි ලෝබයා, සල්ලි එකතු කරන එකමයි වැඩේ"  කියලා දවසක් සීබට් කිව්වා. සේතං නම් කිසි වැරැද්දක් නැති මිනිහා.ඒත් ඉදහිට  රා˜ අඩ්ඩක් ගහනවා. දවසක් බීලා ඇවිල්ලා මහත්තයාගෙන් බඩපුරා බැනුම් ඇහුවා. 

එකදාස් නවසිය පනස්හයේ ඉලෙක්ෂන් එකට මහතතයා වැඩකළේ බණ්ඩාරනායක උන්නැහේට.  ඒ බව මට මතකයි. බණ්ඩාරනායක මහත්තයා පයිප්පයක් කටේ ගහගෙන ඉන්න පින්තූරයක් මහත්තයාගේ මේසේ වීදුරු යට තිබුණා.  අපරාදේ කියන් බැහැ, මහත්තයට හොදට අත්ගුණේ තිබුණා. අවුරුදු දෙක තුනක් යනකොට මහත්තයා වැඩපොලත් පළල් කරා. තවත් අත් යන්ත්‍ර  මහන මැෂින් ගත්තා. තව කට්ටිය වැඩට ආවා.  ඒත් මහත්තයා අපි කට්ටියට විශේෂ සැලකිල්ලක් දැක්කුවා. අපි පරණ මිනිස්සු නිසා වෙන්ට ඇති.

කට්ටිය වැඩි වෙනකොට මගේ වැඩත් වැඩි වුණා. දැන් තේ හදනවා. අස්පස් කරනවාට අමතරව සතියකට සැරයක් මම විල්ෆ්‍රඩ්ගේ වෑන් එකේ පිටකොටු යනවා  කඩවලට රෙදි  දාන්න. ඔය අස්සේ තමයි මට කයිමන් දොරකඩ තැඹිලි විකුණපු මැගිහාමිගේ දුව සිරියාවතී මුණ ගැසුණේ. මැගිහාමිගේ කට සැරයි. පාට් දාන්ඩ ආපු ඕනෑම ජගතෙක්ට හොඳවැයින් දෙකක් කියලයි පස්ස බලන්නේ.  ඒත් සිරියාවතී වැඩිය කථාබහක් නැහැ. තැඹිලි ගෙඩියක් වගේ හැඩයි.

මම සිරියාවතී කැන්දගෙන ආවාම සාක්කියට අත්සන්කළේ වැඩපොලේ මහත්තයා. උන්නැහේ මගුලට වියදමට මට පහේ කොල මිටියක්ම දුන්නා. සිරියාවතීටත් වැඩපොලේ රස්සාව දුන්නා. සල්ලි හම්බ උනා කියලා වැඩපලේ මහත්තයා ඔළුව උදුම්මවා ගත්තේ නැහැ. කට්ටියට හොඳට සැලකුවා. අපිත් මහත්තයට පණ වගේ.

මහත්තයට එක පුතෙක් හිටියා. ඉඳහිට පුතා වැඩපළට එනවා. එතකොට පුතාට අවුරුදු දහයක් විතර ඇති. හරියට තරහ යනවා. දවසක් මහන මැෂින් කටුවක් ඉල්ලලා මම එය දුන්නේ නෑ කියලා තරහ ගිහින් මට මිට මොළවලා නාහෙට ඇන්නා. පුතාට නම් මහත්තයාගේ ඉවසීම කරුණාව ගෑවිලාවත් තිබුණේ නැතිබව අපට ඒ  කාලේදීම තේරුණා. ඒ සන්දියේ අපේ කොළුවත් පොඩියි. අවුරුදු පහක් විතර ඇති. කොළුවා පොඩි  නිසා සිරියාවතී ගෙදර නැවතුණා.

මහත්තයා වැඩපොළ හොඳට දියුණු කරා. යාන වාහන ගත්තා. අපේ පඩියත් වැඩිකළා.  හැත්තෑ හතෙන් පස්සේ මහත්තයාගේ බිස්නස් වැටුණා. රට රෙදි එන්න පටන් ගත්තට පස්සේ මහත්තයාගේ රෙදි විකිනෙන එක අඩුවුණා.   ඒකට මහත්තයා හිටියේ හිතේ අමාරුවෙන්. වැඩකරන කට්ටියත් ටික ටික අඩුකළා. පරණ පිරිස විතරයි අන්තිමට හිටියේ. අත් යන්ත්‍ර පාලූවෙලා තියෙනවා දකින කොට මහත්තයට ගොඩක් දුක දැණුනා. මහත්තයා වැඩිය වැඩපළට ආවෙත් නැහැ.

මේ වෙනකොට මහත්තයාගේ පුතා රට ගිහිල්ලා ඇවිල්ලා. ඉගෙන ගෙන ඇවිත්. මහත්තයාගේ වැටිලා තියෙන බිස්නස් එකට අත ගැහැව්වා. අපරාදේ කියන්න බැහැ පුතාටත් හරියට අත්ගුණේ පිහිටලා තිබුණා. උන්නැහේ තාත්තගේ පරණ මැෂින් අයින් කරලා, ජුකී මැෂින් ගෙනල්ලා රට රෙද්දෙන් ඇඳුම් මහන්න ගත්තා. අවුරුදු දෙක තුනක් යනවිට කලින්ටත් වඩා බිස්නස් සරුයි.

වැඩපොළට අල්ලපු ඉඩම අරගන තට්ටු තුනක බිල්ඩිමක් ගැහැව්වා. ජුකී මැෂින් දෙසීයක් විතර අරගන ගාමන්ට් එකක් දැම්මා.  ඒකේ ගෑණු ළමයි හාරසීයක් වැඩ. වැඩපොලේ මහත්තයත් ඉඳහිට එනවා.   ඒ ආවහම අප සමඟ ලෙන්ගතුව කතා කරනවා.  ඒ ආපුවහම තමයි මම අපේ කොලූවා කරුණාපාල ගැන කිව්වේ. මහත්තයා  ඒ වෙලාවේම  මැනේජර් මහත්තයාට කතා කරලා කිව්වා අපේ කොලූවාව වැඩට ගන්ඩ වෙයි කියලා.

මහත්තයා වැඩ කරපු කට්ටියට දැක්වූ කරුණාව පුතා ලඟ තිබුණේ නැහැ. උන්නැහේ වැඩ කරන කට්ටියට සැලකුවේ වහල්ලූන්ට වගේ. නිතරම බනිනවා. අපි පරණ කට්ටියට පොඩි ගණනකුත් එක්ක විශ්‍රාම යන්න ලැබුණෙත් මහත්තයා නිසා වෙන්න ඇති. නැත්නම් ඔයතරම් ගානක් නම් අපට දෙන්නේ නැහැ.

කරුණාපාල පැක්ටරියේ වැඩට ගියාට වැඩි මනාපෙකින් නොවේ හිටියේ. මහත්තයාගේ පුතා වැඩ කරන අයට කරන අසාධාරණකම් ගැන නිතර කථා කළා. කරුණාපාල ආස්සරය කළෙත් රතු කමීස අඳින රැවුල්කාරයෝ. කථා කළේ බර වචන වලින්, හුරා කනවා කියයි. ධනපතියෝ කියයි. සමහර වචන මට තේරුණෙත් නැහැ.

ලෙඩ ගතිය නිසා මහත්තයා ගෙදර නැවතුණා. පුතා තමයි දැන් සම්පූර්ණ පාළනය කරේ. මට දැනගන්නට ලැබුණ හැටියට මහත්තයා දක්කපු කරුණාව  පුතා ළඟ  දශමයක්වත් තිබුණේ නැහැ. මිනිසුන් වැඩකළේ කළකිරීමෙන්. මේ අතරවාරයේ තමයි පැක්ටරියේ ස්ට්‍රයික් එකක් ගියේ. මට මතකයි ඉස්සර ඇන්. ඇම්. පෙරේරා උන්නැහේ කම්කරු ස්ට්‍රයික් කරවනවා. මෙදා පොටේ ස්ට්‍රයික් එක කවුරු කළාද මන්දා.

ස්ට්‍රයික් එක කාලයේ පැක්ටෙරියේ ගේට්ටු වහලා තිබුණා. සේවකයෝ කොඩි බෝඩ් එල්ලගෙන සටන් පාඨ කිව්වා. පොලීසියෙනුත් දාලා හිටියා. මමත් ස්ට්‍රයික් එක බලන්ට ගියා. මෙන්න බොලේ සේතනුත් එතන. සේතං මට කණට කරලා කිව්වා ස්ට්‍රයික් එකට නායකත්වය දෙන්නේ අපේ කරුණාපාල කොලූවා කියලා.  ඒ ආරංචියට මගේ කන් වලින් දුම් පිටවුණා.

එදා රෑ මම කොලූවට නොසෑහෙන්ට බැන්නා.  අපට කන්ට බොන්ට දීපු වැඩ පොලේ මහත්තයාට එදිරිව මිනිස්සු උසිගන්වලා ස්ට්‍රයික් එක කළාට. කරුණාපාලයා මට කිව්වේ නැතෑ ධනපතීන්ට පක්කලි කම් කරන්ට  එපා කියලා. මට තරහා ගිය ගමන පුවක් කප කපා හිටපු ගිරෙන් ඌට දමලා ගැහැව්වා.

ස්ට්‍රයික් එක සුමාන දෙක තුනක් ඇදුණා.  ඒ  අතරවාරයේ බස්, ඉස්කෝල, ඉස්පිරිතාලත් ස්ට්‍රයික්. ඉන්දියන් හමුදාව ආවා කියලා මුළු රටම ගිනි ගන්නවා. කරුණාපාලත් දැන් ගෙදර නැහැ. එන්නෙත් රෑ දෙගොඩ හරියේ.

මේ අවු අස්සේ පොලීසියෙන් ඇඳිරි නීතිය දාලා. මිලිටරිකාරයෝ පාර පුරා. වැඩපොලේ මහත්තයාගේ පුතා කරුණාපාල එක්කල වෛරයි. පරිස්සමින් ඉන්න කියල සේතන් ගෙදරට ඇවිත් කිව්වා.  මගේ හිතටත් බයක් ආවා. 

ටික දොහයි ගියේ. දවසක් රෑ දෙගොඩහරියේ පොලිස් ජීප් එකක් අපේ ගෙදර ළ`ග නැවැත්තුවා. අපි හිටියේ නිදාගන. මම ලාම්පුව පත්තු කරා. තුන් හතර දෙනෙක් දොරට ගහගෙන ගහගෙන ගියා. දොර කඩන්ට වගේ.
මම දොර ඇරියා. මැෂින් තුවක්කු ගත්ත පොලිස්කාරයෝ වගයක් ගේ ඇතුළට කඩා වැදුණා. පිස්තෝලයක් අතේ තිබුණු පොලිස්කාරයෙක් කෙලින්ම කොළුවාගේ කාමරේට ගිහින් කොළුවාගේ ඛෙල්ලෙන් අල්ලා ගත්තා. 

" තෝ නේද කරුණාපාල කියන්නේ˜ කියලා  ගොරෝසු හඞකින් ඇහැව්වා.       

"ඔව්, මම  කරුණාපාල˜  කොලූවා බයාදුකමක් නැතිව කිව්වා. මේ අතර වාරයේ අනිත් පොලිස් කාරයෝ  ගේ අනිත් පැත්ත පෙරලනවා.

" සර් මෙන්න බඩු "  එක පොලිස් කාරයෙක් පිස්තෝලකාරයා ළඟට පත්‍රිකා  මිටියක් උස්සගෙන ආවා.      

" වරෙන් යන්ඩ, අපිත් එක්ක, පෝස්ටර් අලවන්ඩ.˜  පිස්තෝලකාරයා කොළුවට පයින් පාරක් දමලා ඇන්නා. 

 මට ඉහිලූම් නැතිනිසා මම කිව්වා කොළුවට ගහන්ඩ එපා  කියලා. ඒ පාර ළඟ හිටපු  පොලිස්කාරයෙක්  "නාකියා අහකට පල"  කියා මට තුවක්කු මිටෙන් ඇන්නා.   ඒ පාරට මාව බිම ඉන්ද වුනා. සිරියාවතී මොරදෙද්දී උන් කොළුවාව ජීප් එකේ දාගෙන ගෙනිච්චා.

බිං එළිය වැටෙනකං මමයි සිරියාවතියි අඳෝනා කිය කියා හිටියා. උදේ එළිය වැටුණ ගමන් මම වැඩපොලේ මහත්තයාගේ ගෙදරට ගියා.  මම යනකොට උන්නැහේ පත්තර බලනවා.  මම උන්නැහේට මගේ දුක කිව්වා. මහත්තයා ඒ වේළාවේම පොලීසියට ටැලිපෝන් කළා. පොලීසිය කිව්වේ එහෙම කෙනෙක් ඊයේ  රෑ අත්අඩංගුවට ගත්තේ නැහැ කියලා.  

" මේක හතර බීරි කථාවක්. කෝකටත් ඕ.අයි.සී. මහත්තයා හමුවෙන්ට" කියලා අපේ මහත්තයා මට ලියුම් කෑල්ලක් දුන්නා.

මම පොලීසියට යන්න හදනකොට  සේතං දුවගෙන ඇවිත් කිව්වා කරුණාපාලටයි, තව දෙන්නෙකුටයි වෙඩි තියලා කියලා. ඔරලෝසු කණුව ළඟ  හෙලිවැල්ලෙන් දාලා තියෙනවා කිව්වා. මම සේතං එක්ක ඔරලෝසු කණුව ළඟට ගියා. අපේ කොළුවා උඩුබැලි අතට ඉන්නවා. ඔලූවේ හිලක්. මට තවත් බලාගෙන ඉන්න බැරි වුණා. මම කෑ ගහ ගහ පාර පුරා දිව්වා. සේතං මාව අල්ලගෙන ගෙදර ගෙනිච්චා. ඒ යනකොට කරුණාපාලගේ මරණය ආරංචිවෙලා සිරියාවතී ලතෝනි දි දී අඞනවා.

කොළුවාගේ මරණින් පස්සේ අපි හරියට කෑමක් බීමක් ගත්තේ නැහැ. සිරියාවතී බලාගත්තු  අත බලාගෙන හිටියා. මට පස්සේ ආරංචි වුනා මහත්තයාගේ පුතා පොලීසියට ගතු කියලා කොල්ලව මරලා දැම්මා කියලා. මම හිටියේ පලිගන්නවා ගන්නවාමයි කියලා. උන්නැහේ පැක්ටරිය විකුණලා රට ගියා කියලා සේතං පස්සේ මට කිව්වා.

කොළුවා මරලා අවුරුද්දක් ගෙවුණට පස්සේ මට වැඩපොලේ මහත්තයා පන්සලේදී හමු වුණා. වැඩපොලේ මහත්තයා දැක්ක ගමන් මගේ හිතේ තිබුණු තරහව දියවෙලා ගියා. මම උන්නැහේ ළඟට ගිහිල්ලා වැඳලා ආචාර කළා. මහත්තයා දැන් හරියට දුබලයි. ඇවිදින්නෙත් බොහොම අමාරුවෙන්.

" ධර්මදාස, මට පුතා ගැන දැන ගන්න ලැබුණා. මට බොහොම කණගාටුයි වෙච්ච දේට. මේක අමනුස්ස කාලයක් "  උන්නැහේ මට කිව්වා. ඉන්පසු සාක්කුවට අත දාලා සීයේ කොල වගයකුත් දුන්නා. මම මහත්තයව කාර් එක ළඟට එක්කරගෙන  ගියා.

" ධර්මදාස,  නිවාඩු පාඩුවේ මාව හමුවෙන්න එන්න."  උන්නැහේ මට කිව්වා. කාර් එක යනකන්ම මම හිටියා. කාර් එක ඈතට ඇදිලා යනකං මම බලාන හිටියා. ඒත් ඊට පස්සේ මට කවදාවත්ම වැඩපොලේ මහත්තයාව හමු උනේ නැහැ.


 වෛද්‍ය රුවන් එම් ජයතුංග 

15 comments:

  1. ඔය දෙවිදිහෙම වැඩපලේ මහත්තුරු හරි අඩුයි

    ReplyDelete
    Replies
    1. අටම් මහත්තයාගේ පුතා වගේ අය වැඩිපුර ඉන්නවා නේද ?

      Delete
  2. යෝධ රාජ්‍ය යාන්ත්‍රණයට එරෙහිව කරුණාපාලලා ඉදිරියට දැමූ දේශපාලන පක්ෂය ගැන පිළිකුල ,අප්‍රසාදය හා වෛරය මුළින්ම පළ කර සිටිමි.
    පැවැති රජයේ අයුක්තියට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදීව කළ හැකිව තිබූ විරෝධය කළ නොහැකිවුනේද ජවිපෙ මිනීමරන්නට පටන් ගත් බැවිනි. ජවිපෙට අවශ්‍ය වුනේ කැරැල්ලකට හේතු ය.ඔවුන්ට වෙන්දේසි කරන්නට මළමිනී අවශ්‍ය විය.

    එහෙත් ජවිපෙ යනු 5% ක් වත් ඡන්ද ගත හැකි පක්ෂයක් නොවේ. එබැවින් එය තරුණ කැරැල්ලක් ලෙස හැදින්විය නොහැක.

    සිදුවුනේ පොලීසියේ හා හමුදාවේ පරපීඩාකාමුකයන්ට තෘප්තිය ලැබීම පමණි. ඒ කාලයේ ඔවුන්ට කල්ලමරේ විය. ඇති තරම් මිනීමරන්නට ඇති තරම් ස්ත්‍රී දූෂන කරන්නට බැලය ලැබුනි.ඔවුහු මංකොල්ලද කෑහ.

    1990 කාලයේ හමුදාවෙ කෙනෙකු සමග කතා බහ කළොත් ඔවුන් මොනතරම් ම්ලේච්ඡද කියා තේරේ. 1009 න් පසුද ඒ තත්වය එසේම විය. උතුරේ තත්වය මේ තරම් උත්සන්න කළේද හමුදාවයි. අද යුධ අපරාධ චෝදනා එන්නේද හමුදාවේ සිටි ඇතමෙකුගේ සීමාව ඉක්මවූ ක්‍රියාකලාපයයි.

    කිසිදු විදේශීය සහායක් නැතිව කැරලි ගසන විට එහි භයානකකම ගැන කරුණාපාලලා ට දැනුමක් තිබිය යුතුය.

    මෙවැනි විනාශයක් වැළැක්වීමට වැදගත්වන ප්‍රධානම දේ දැණුමයි.ආරක්ෂක අංශවලින් හතරෙන් තුනක් අපි එක්ක,සෝවියට් දේශය චීනය උදව් කරනවා වැනි බේගල් විශ්වාස නොකරන මට්ටමට අවබෝධයක් කරුණාපාලලාට තිබිය යුතුය.

    ත්‍රස්තවාදීන් බොහෝ විට ඉලක්ක කර ගන්නේ පාසල් සිසුන්, නූගත් කම්කරුවන් වැනි අයයි. සෙස්සන් අතරින් තමන් තෝරාගනු ලැබීම, තමනට නැති බලයක් ලැබීමෙන් ලැබෙන අමනදානන්දය මෙහිලා ප්‍රයෝජනවත් වේ. එහෙත් කැරළිකරුවන් ඇත්තටම කරන්නේ මළමිනී වෙන්දේසියක් බවත් නායකයන් වතු අධිකාරිවරුන් සේ සැප විදින බවත් කරුණාපාලලා දැනගත යුතුය.

    ත්‍රස්තවාදය ගැන දේශපාලන අවබෝධය දීම තුලින් විනාශය වළක්වා ගත හැකිවේ.

    උක්ත කතාවේ ද ෆැක්ටරියේ ප්‍රශ්න විසදාගැනීමේ ප්‍රයත්නයන් ව්‍යවර්ථ කරන්නට ඇත්තේද පිටස්තර දේශපාලන බලවේගය විය හැක.ඔවුන්ට අවශ්‍ය ෆැක්ටරිය වහන්නටය. වසා වියවුලක් නිර්මාණය කිරීමටය. එම වියවුල තුලින් සිය ඒකාධිපති රාජ්‍ය බිහිකිරීමටය.

    ව්‍යසනයන් වළැක්වා ගත හැක්කේ දේශපාලන දැනුම සමාජයේ පහලම මට්ටම්වලට ගලා යාමාට සැළැස්වීමෙනි

    ReplyDelete
    Replies
    1. ඔබගේ අදහස් වල වැදගත්කමක් තිබේ

      Delete
  3. රංජිත් ධර්මකීර්තිගේ "මෝදර මෝල" එහෙම පිටින්ම මෙතන !

    ReplyDelete
  4. ඒකේ ලින්ක් එකක් නැද්ද මම ඒක කියවලා නැහැ. මේ කෙටි කතාව මුල් වරට පළ වුනේ මගේ ජොනතන් හාකර්ගේ මරණය කෙටි කතා පොතේ

    ReplyDelete
  5. මටත් ඒක දැනුනා. මේක මෝදර මෝල වගේ කියලා. link එකක්නම් දන්නේ නෑ. මෙය ඒ කතාව නොකියවා ලියූවක්නම් ප්‍රසන්සනීය ය.

    ReplyDelete
    Replies
    1. මම රංජිත් ධර්මකීර්තිගේ "මෝදර මෝල" කියවල නැහැ ස්කෑන් කරලා ඊමේල් කරන්න බැරිද ?

      Delete
    2. "මෝදර මෝල" වේදිකා නාට්‍යයක් නේද?

      Delete
  6. අපේ රටේ එක්තරා යුග පරිවර්තනයක් ගැන, අගතියෙන් තොරව කල විශ්ලේෂණයක් ලෙස, මා මේ නිර්මාණය අගය කරනවා.

    ReplyDelete
  7. ඇත්තෙන්ම යුගයක පරිවර්ථනය. නිර්මාණය නම් බොහොම සාර්ථකයි.

    ReplyDelete
  8. පාර්ශවයකට ගැති නොවී සිද්ධි යොදාතිබීම නිසා නිර්මාණයේ අගය වැඩියි..
    ජයවේවා..!!

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook