Tuesday, June 30, 2015

උපමානය




කැනූලාවක් සහ tourniquet හෙවත් රබර් තිරිංගයක් ගෙන ආ සහායක හෙදිය තිරිංගය වින්සන්ට් ලංකාතිලකගේ අතේ මැණික්කටුවට ඉහලින් ඔතා ශිරාවක් පාදා ගැනීමට බොහෝ වේලාවක් උත්සහ කලාය​. ඇයගේ නලල දහදිය බිඳු වලින් පිරී තිබේ.  අවසානයේදී ශිරාවක් පාදා ගැනීමට ඇය සමත් වූවාය​. එම ශිරාව තුලින් කැනූලාවේ කටුව යවන ලදි. කැනූලාව නියමිත පරිදි ශිරාව තුලට ගිය බව සැක හැර දැනගත් හෙදිය කැනූලාවේ මධ්‍යයේ වූ කටුව සෙමින් ඉවතට ගත්තාය​. ඉන්පසු සේලයින් බටයේ අග කෙලවර කැනූලාවේ කොනට සවි කරන ලදි.

ඩ්‍රිප් එක හයියෙන් යවන්න වෛද්‍යාවරයා විධාන කලේය​.

හෙදිය සේලයින් බෝතලයේ දියර ගලා යාම උපරිමයට සිදු වන අන්දමට ප්ලාස්ටික් කුඩා රෝදය බුරුල් කලාය

දැන් ප්‍රෙශර් එක බලන්න  වෛද්‍යවරයා රෝගියාට දෙන ඔක්සිජන් ප්‍රමානය වැඩි කරමින් කීවේය​.


                         ****************************************************************************


වින්සන්ට් ලංකාතිලක , කරුනානායක සහ ජූඩ් උමං දුම්රියෙන් සිම්ප්ලොන් මෙට්‍රෝ ස්ටේෂම දක්වා ගියහ​. ඉන්පසු ටැක්සියක නැගි  ඔවුන් තිදෙනා  Rue Championnet හි අවන්හලක් වෙත ගියේ රාත්‍රී ආහාරය ගැනීම සඳහාය​. මුළු වේලාව තුලම කරුනානායක නිහඬව සිටියේය​. ඔහු කථා කලේ අතරින් පතර වචන කීපයක් පමණි. ගැස්ටන් ගැලිඔන් හමුවීමේ අපේක්ශාවෙන් සිටි වින්සන්ට් ලංකාතිලක ජූඩ් ඇසූ ප්‍රශ්න වලට පමණක් පිලිතුරු දුන්නේය​. විශේශ සල්ලාපයකින් තොරව තිදෙනා ආහාර ගත්හ​.

 “ වින්සන්ට් පැරිස්වල තව කොච්චර කාලයක් ඉන්නවද ? ජූඩ් ඇසීය​.

තව සති දෙක තුනක් විතර වින්සන්ට් ලංකාතිලක  පිළිතුරු දුන්නේය​.

වින්සන්ට්  ටෝර්සි වල ඉන්න සිරිමාන්න හමු වෙන්න යන්නේ නැද්ද ? ජූඩ් කුතුහලයෙන් යුතුව ඇසීය​.
ෆ්‍රෙඩ් සිරිමාන්න හිටපු විශ්ව විද්‍යාල මහාචාර්‍යවරයෙකි. ඔහු කාලයක් සැවෝයි විශ්ව විද්‍යාලයේද පසුව සෝබෝන් විශ්ව විද්‍යාලයේද ඉගැන්වීම් කලේය​. ඔහු දැන් කාලයක් පුරා වාසය කරන්නේ ටෝර්සිවලය​. වින්සන්ට් ජාන් බ්‍රයෝන්ව හඳුනා ගත්තේ ෆ්‍රෙඩ් සිරිමාන්න හරහාය​.  ඔහුට අවසන් වරට ෆ්‍රෙඩ් සිරිමාන්න හමු වූයේ මීට වසර කීපයකට උඩදීය​.

ෆ්‍රෙඩ් සිරිමාන්න  නිර්දය විවේචකයෙකි. ඔහුට ලාංකික සමාජය ගැන බරපතල විවේචන තිබුනේය​. එම නිසා දෝ ඔහු ලාංකික සමාජයෙන් ස්වයං පිටුවහලකට ලක්ව ප්‍රන්සයේ ජීවත් විය​. ඔහුගේ හඬ වින්සන්ට් ලංකාතිලකට දැනුදු ඇසෙන්නාක් මෙනි.

සමාජ  ඛේදවාචකයන්ට හේතුව සමාජය උසුලන අවිචාරශීලීත්වය වෙන්න පුලුවන්. කවදාවත් අපේ ර​ෙට් විචාරශීලී සමාජයක් තිබුනේ නැහැ නේ. අපේ සමාජයේ බරපතල සංස්කෘතික ඌනතා තියනවා. අපි දැවන්ත   ශිෂ්ටාචාරයක් ගොඩ නගලා නැහැ. අපේ මිනිස්සු හැමදාම අතීත කාමය එක්ක ජීවත් වූ මිනිස්සු. අතීත සංස්කෘතියක්  ශිෂ්ටාචාරයක් ගැන කථා කරනවා.  සංස්කෘතිය-ශිෂ්ටාචාරය කියන්නේ ජීවාමාන මේ මොහොතේ පවතින දෙයක්. හරියට මුදල් වගේ. යාචකයෙක් කියනවා මගේ මී මුත්තා හොඳ සල්ලිකාරයෙක් ජීවත් උනේ වලව්වක කියලා. ඒ කිව්වා කියලා යාචකයා ධනවතෙක් වෙනවද​? අපේ මිනිස්සුත් එහෙමයි. වර්තමානයේ ලාංකික සමාජය සංස්කෘතික වශයෙන් පසුගාමියි. නමුත් අතීත සංස්කෘතියක්-ශිෂ්ටාචාරයක් ගැන කියලා උදම් අනනවා. අපි  අපේම කිව හැකි මහා සංගීත නාට්‍ය හෝ සාහිත්‍ය සම්ප‍්‍රදායයක් මෙතෙක් බිහි කරලා නැහැ. ලෝකයට අද්විතීය සංගීත නාට්‍ය හෝ සාහිත්‍ය නිර්මාණ දීලා නැහැ. අපේ සමාජය තොල්ස්තෝයිලා බිහි කරලා තියනවද ? සාත්‍රේලා බිහි කරලා තියනවද ? තාගෝර්ලා බිහි කරලා තියනවද? දිවයින් මානසිකත්වයෙන් යුතු ගෝත්‍රික කුහකයන් හැර අප මෙතෙක් බිහි කලේ කවරුන් ද ලෞකික ජීවිතයේ සතුට මෙන්ම ආමිස ජීවිතයේ සතුට ගැන නොදන්නා, ජීවත් වීමේ සන්තුෂ්ටිය බෙදාගැනීමේ හුරුවක් නැති මිත්‍යාව අන්ධ භක්තිය ලුහුබඳින පසුගාමී සමාජයක් තමයි අප සැම දෙනා නිර්මාණය කරලා තියෙන්නේ. ඒ අර්ථයෙන් ගත් කල අපි සෑම දෙනා අසමත් ජාතියක සාමාජිකයෝ. ඒ නිසා තමයි මේ භූමියේ ජාතිවාදී කෝලහල පැන නැග්ගේ, තරුණ කැරලි දෙකක් නිසා ජීවිත විනාස උනේ. තිස් අවුරුදු යුද්දයකට රට මැදි උනේ. නූගත් මිනිසුන් විසින් උගත් මිනිසුන් පාලනය කරන රටක් මේක​. ඒ නිසා තමයි බොහෝ විට  උගතුන් රට හැරලා ගියේ. දේශප්‍රේමය කියන වියාජ කෝදුව තමයි උතුරේ මෙන්ම  දකුණනේත්  භාවිතා කලේ.   සෑම  සිදුවීමක්ම තර්කානුකූල මනසින් නොව කර්මයට හා කේන්දරයට පවරා  පරාජය භාර ගන්නා අලස සමාජයක් අද අප හමුවේ  තිබීම අරුමයක් නොවෙයි. සමාජය තුල​ පසුගාමීත්වය පිරිලා ර​ෙට් ජන වාර්ගික ආවේග කළමනාකරනය ඉතාම දුර්වලයි. අන් මත නොඉවසීම සහ සාමයේ නොහැකියාව ගෝත්‍රික ඌරුවක් . ඒක මිනිසුන් ගේ ජාන වලට කා වැදිලා.දේශපාලන නායකත්වය රට ගැනට වඩා හිතන්නේ ආත්මාර්ථය ගැන. මිනිසුන් තුල  මුග්ධත්වය උතුරා යනවා. විචාර බුද්ධියක් නැහැ​. ජනමාධ්‍ය පවා ජනතාවට විඥානභාවය ලබා දීම වෙනුවට කරන්නේ සදාකාලිකව ඔවුන්ව අඳුරේ තබාගනු වස් දේව ප්‍රාතිහාර , විශ්ව කිරණ  . මන්තර ගුරුකම් , ඉන්ඳ්‍රජාල මගින් රෝග සුව කිරීම වැනි ප්‍රලාප මගින් පත්තර පිටු පිරවීමයි.  එවැනි රටකට හෙටක් තිබෙනවාද?

වින්සන්ට් ලංකාතිලක බාදා කිරීමකින් තොරව ෆ්‍රෙඩ් සිරිමාන්නට   සවන් දෙයි. ෆ්‍රෙඩ් සිරිමාන්න යලිත් තම හඬ අවදි කරයි.

හොඳ මිනිහා සහ නරක මිනිහා එහෙමත් නැත්නම් දේශප්‍රේමියා සහ දේශ ද්‍රෝහියා යන්න තීරණය කරන උපමානයන් මොනවාද ?  ඔබ ස්ටාලින් ගේ සෝවියට් දේශයේ හොඳ මිනිහෙක් හෝ දේශප්‍රේමියෙක් නම් මාර්ක්ස් එන්ගල්ස් ලෙනින් ගේ භාෂිතය හිස් මුදුනින් පිලිගන්න අයෙක් වෙන්න ඕනේ , එසේම ස්ටාලින් ගේ සියළු ක්‍රියා මාර්ගයන් අනුමත කරන අයෙක් වෙන්න ඕනේ. බුහාරින් සිනවියෙව් වගේ හිටපු නායකයන් ජනතා සතුරන් කියලා විශ්වාස කරන්නටත් අවශ්‍යයයි. ගුලාර්ග් වලට තවාරිෂ් ස්ටාලින් දක්කන්නේ ජනතා සතුරන් සමාජ විලෝපිකයන් කියලත් අදහන්න ඕනේ. 

ඒ වගේම ඔබ හිට්ලර් ගේ තුන්වන රයිකයේ හොඳ මිනිහෙක් හෝ දේශප්‍රේමියෙක් නම් උසස් ආර්ය ජර්මන් ජාතියක් ගැනත් මේ ආර්ය ජාතිය අපමිශ්‍ර කරන දුෂ්ට මීයන් බඳු යුදෙව්වන් සිටිනවා කියලත් විශ්වාස කරන්න ඕනේ. ඔබ මාඕ ගේ චීනයේ හොඳ මිනිහෙක් හෝ දේශප්‍රේමියෙක් නම් අධිරාජ්‍යවාදීන් ගේ දේශීය නියෝජිතයන් වන ඉඩම් හිමියන් කියා කොටසක් සිටින බවත් ඔවුන් පොළවෙන් තුරන් කල යුතු බවත් අදහන්න ඕනේ. 

 ඔබ එඩ්ගා හූවර් එක්සත් ජනපදය අනියම්ව පාලනය කල කාලයේ එක්සත් ජනපදයේ සිටි හොඳ මිනිහෙක් හෝ දේශප්‍රේමියෙක් නම් ඇමරිකාවට එදිරිව කොමියුනිස්ට් කුමන්ත්‍රණයක් තිබෙන බවත් කළු ජාතිකයන්ටත් සුදු ජාතිකයන් මෙන් සමාන අයිතිවාසිකම් දිය යුතු බව කියන්නේ මේ කුමන්ත්‍රණ බලවේග බවත් විස්වාස කරන්නෙකු විය යුතුයි. 

මේ විශ්වාස පද්දති ඇදහිලි පිලිගැනීම්  බැහර කොට ඔබ ඔබගේ සහජ බුද්ධිය සහජාශය මත ක්‍රියා කිරීමට ගියහොත් ඔබ නරක මිනිසෙකු, දේශ ද්‍රෝහියෙකු වෙනවා. එවිට අන්ධ විස්වාසයෙන් ක්‍රියා කරන සමාජය ඔබව මහාමාරිය රෝගියෙකු මෙන් බැහැර කරනවා.

ෆ්‍රෙඩ් සිරිමාන්න  හමුවීමේ අවශ්‍යාතවක් වින්සන්ට් ලංකාතිලක හට ඇතිවේ. නමුත් ඊට ඇති ප්‍රධාන බාධකය කාලයයි. ගැස්ටන් ගැලිඔන්  අද හෙට හමු වූයේ නම් ෆ්‍රෙඩ් සිරිමාන්න  මුණ ගැසීම​ සඳහා ටෝර්සි වලට යා හැක​.


වින්සන්ට් , සිරිමාන්න මුණ ගැහෙන්න යනවනම් මාත් එන්නම් ජූඩ් පවසයි.

වින්සන්ට් ලංකාතිලක  ඒ සඳහා පිලිතුරක් නොදේ ඔහු මොහොතක් කල්පනා කරයි.

බලමු යනවනම් මම ජූඩ්ට කියන්නම්

වින්සන්ට් අද රෑ හොෙටල් එකට යන්න ඕනේ නැහැ. අපේ ගෙදර යමු. එහෙ නිදා ගන්න පුලුවන්. මේ දවස් වල කරුනානායකත් ඉන්නෙ මාත් එක්ක.

කමක් නැහැ ජූඩ් මට හොෙටල් එකට යන්න ඕනේ. මම කෙනෙක් මුණ ගැහෙන්න ඉන්නේ.

කවුද ගැස්ටන්ද ? ජූඩ් විමසයි. වින්සන්ට් ලංකාතිලකට දාලියා ගැන සියුම් කෝපයක් ඇතිවේ.

ගැස්ටන් මේ දවස් වල පැරිස් වල නැහැ. මිනිහා ජිනෝවා ගිහිල්ලා

එය අසුබ ආරංචියකි.

ජූඩ් කොහොමද දන්නේ ගැස්ටන්  ජිනෝවා ගියා කියලා ?

ජූඩ් කිසිවක් නොකියා මදහස පායි. පිටිපන උපත ලැබූ ජූඩ් ජීවිතය ආරම්භ කලේ ධීවරයෙකු වශයෙනි . ඉන්පසු මාළු මුදලාලි කෙනෙකුගේ ට්‍රෝලරයක ස්කිපර් ලෙස වැඩ කල ඔහු ඉතාලි පැන්නේය​. ඉතාලියේ සිට ප්‍රන්සයට පැමිනි ජූඩ් සුළු සුළු වියාපාර කීපයකට අත ගසා ධනයක් උපයා ගත්තේය​. ඔහු ලාංකිකයන්ට හිතවත්‍ ය​. ඕනෑම ලාංකිකයෙකුට උදව් කරයි. සමහර ලංකාවේ මිනිසුන් ජූඩ් ගෙන් මුදල් ගෙන යළි පියවා නැත​. නමුත් ජූඩ් ඔවුන් ගැන අහිතක් නොසිතයි. යළිත් ඔවුන් මුදල් ඉල්ලුවහොත් නොදී සිටින්නේ නැත​. ජූඩ් ඉටු කරන්නේ දුක් ගන්නාරාලගේ භූමිකාවයි. ඔහු මහ​ළු ෆ්‍රෙඩ් සිරිමාන්න   ගේ අවශ්‍යතා ගැන සොයා බලයි. 

 සාම්ප්‍රදායික මං ඔස්සේ  ගොස් අධ්‍යාපනය නොලැබුවද ජූඩ් ස්ව උත්සහයෙන් උගත්තෙකි. ඔහු ඉතාලි සහ ප්‍රන්ස භාෂා හොඳින් කථා කරයි. මිනිසුන් අතර ජීවත් වෙන ජූඩ් මානව විශ්ව විද්‍යාලයේ නිර්මාණයකි. ධීවරයෙකු  වීම ඔහුට නිගරුවට කරුණක් නොවේ. සාන්ත පීතරතුමාත් ධීවරයෙකි.

  ඔහු ඉතාලි පැමිණි කථාව වින්සන්ට් කිහිප වතාවක්ම අසා තිබේ. එම කථාව ජූඩ් පවසන්නේ විශාල අභිරුචියකිනි. 

“ මුදලාළි අපිට ගමන් වාර සෑහෙන ගානකට සල්ලි ගෙවලා තිබේ නැහැ​. ඒ නිසා තමයි අපි තීරණය කලේ  මුදලාළි ගේ ට්‍රෝලර් එක අරගන ඉතාලි පනින්න​. අපිත් එක්ක මීට කලින් ඉතාලි පනින්න ගිහිල්ලා නේවි එකට අහු වෙලා රිමාන්ඩ් එකේ හිටපු වෙන්නප්පුවේ කොල්ලෙකුත් හිටියා. මිනිහට හොඳටම ඉතාලි උණ. ඇප පිටින් ඉන්න ගමන් තමයි අපිත් එක්ක යන්න සෙට් වෙන්නේ. මිනිහා ලඟ කන්ටැක් එකක් තිබ්බා. අපි සූවස් ඇළ ලඟට යන්න ඕනේ ඉන් පස්සේ වෙන්නප්පුවේ හාදයාගේ කන්ටැක් එක බෝට්ටු වලින් අපිව ඉතාලියට පන්නවනවා. 

 වෙන්නප්පුව , මාරවිල , දන්කොටුව , හලාවත පැත්තේ රැකියා විරහිත තරුණයෝ ටිකකුත් අපිට එකතු උනා. ඒ වගේම එල්.ටී.ටී.ඊ එකේ බඳවා ගැනීම් වලින් බේරෙන්න වත්තලට පනලා හිටපු දෙමල කොල්ලෝ කීප දෙනකුත් දෙමල පවුල් තුනකුත් අපිත් එක්ක ආවා. ඒ කාලේ ඉතාලි ගමනට ලක්ශ තුන හමාරක් ගන්නවා. හැබැයි අපි ගත්තේ ලක්ශ දෙකයි. වතුර බෝතල් ,ත්‍රිපෝෂ , බිස්කට් , හාල් එහෙම ගේන්නත් ඕනේ. ට්‍රෝලර්  එකේ ඉතාලි පනින්න ආපු කට්ටිය තිහක්  විතර හිටියා  

අපි මීගමුව මුහුදු තීරයෙන් ගමන පිටත් උනා. සාමන්‍යයෙන් ලංකාවේ ඉඳන් ඉතාලියට මුහුදු සැතපුම් 4984 තියනවා. මේ ගමනට දවස් 21 විතර ගත වෙනවා. නමුත් අපි යන්නේ වෙරළ ආරක්ශක සේවා මග හැරල​. ඒ නිසා පරංගියා කෝට්ෙට් ගියා වගේ තමයි යන්නේ. ඒ නිසා ගමනට යන දින ගානත් වැඩියි.  

අපි කෑවේ මුහුදු වතුරින් උයපු බත්, කරවළ හා අතරින් පතර බිස්කට්. මුහුද හොඳට තියන කොට අපි මාළු ඇල්ලුවා . අල්ලපු මාළු මුහුදු වතුරින්ම තම්බලා කෑවා. අපි වතුර පරිස්සම් කර ගත්තා.  වහින කොට ෙටන්ට් රෙද්දක් දාලා වැහි වතුර එකතු කර ගත්තා.  

 අපි ගමන පටන් ගෙන සුමානෙකට පස්සේ ඉන්දියන් සාගරයේ ගොඩාක් දුරකට යාත්‍රා කලා. ගොඩබිමක් පේන තෙක් මානයක නැහැ.  මුහුද පුරුදු නැති එක සිංහල කොල්ලෙක්ට අසනීප උනා. උණ සහිත පාචනය​. කොල්ලා එන්න එන්න දුර්වල වෙනවා. මේ සිංහල කොල්ලට සාත්තු කලේ දෙමල පවුලක්. කොල්ලගේ කැත කුණු පවා මේ අය ඇද්දා. නමුත් අප්‍රිකාව කිට්ටු වෙනකොට කොල්ලගේ පණ ගියා. මොනවා කරන්නද අපි කොල්ලා වැතිරිලා හිටපු බෙඩ්‍ෂීට් එකේම බොඩිය ඔතලා යාතිකාවක් කියලා මුහුදට දැම්මා. 
 අප්‍රිකාව පේනතෙක් මානයේදි මහා කුණාටුවක් ආවා. මම හිතුවේ ට්‍රෝලර් එක පෙරලෙයි කියලා. කුණාටුව දවස් දෙකක් තිබ්බා. හොඳටම  වැස්ස , අපි තෙතබරිත වෙලා. කට්ටිය වමනේ දානවා. සුවාසේ වගේ තැන් තැන් වල වැටිලා. මම කට්ටියම ෙඩක් එකෙන් පල්ලෙහා තට්ටුවට දැම්මා. නැත්නම්  ට්‍රෝලර් එක අඩමාණ වෙලා පෙරලෙනවා.  මම අමාරුවෙන් ට්‍රෝලර් කන්ෙට්‍රෝල් කරගෙන ගොඩබිමට තරමක් දුරින් යාත්‍රා කලා. සුවස් ඇළ කිටටු කරන කොට වෙන්නප්පුවේ කොල්ලගේ කන්ටැක් එක බෝට්ටුවකින් ආවා. මමයි ගෝලයයි මිනිස්සු ටික බෝට්ටුවට දාලා අපි ගිය ට්‍රෝලර් එකෙ පතුලේ හිලක් හාරලා ට්‍රෝලර් එක ගිල්ලුවා. මුදලාලි ට්‍රෝලර් එක ගිල්ලුව එක ආරංචිවෙලා මාව මරනවාමයි කියලා කිව්වලු. ඒත් පස්සෙ කාලෙක මම මෙහෙන් ලක්ස දහයක් විතර මිනිහට යැව්වා ට්‍රෝලර් එකේ අලාබෙට.

වෙන්නප්පුවේ කොල්ලගේ කන්ටැක් එක අපිව සූවස් ඇළ ඔස්සේ ඉතාලියට අරගෙන ගියා. ඉතාලි පැනලා ගොඩක් දෙනෙක් ලංකාව ගැන බොරු කියලා දේශපාලන රැකවරණ ඉල්ලුවා. ඒත් මම ලංකාව ගැන බොරු කිව්වේ නැහැ​. කොහොම හරි කොලේ හදාගෙන ඉතාලියේ හිටියා. සල්ලි ටිකක් හොයාගෙන කාලකට පස්සේ ජීවිතය විඳින්න ඕන නිසා ප්‍රන්සෙට ආවා.

මම ජීවිතය දැක්කා වින්සන්ට් මහත්තයා. භීෂන කාලේ ගල්කටස් අරගෙන දේශපාලන අරමුණු වලට මිනී මරපු කොල්ලෝ ඉතාලි පැනලා කන්න නැතිව ඉන්නකොට මම උන්ට කෑම බීම දීලා රස්සා හොයලා දුන්නා. ජීවිතය මොකක්ද කියලා වැටහෙන්න ගත්තම , ජීවිතය විඳින්න ගත්තම උන් දේශපාලන අරමුණු වලට මිනිහෙක් මරා දමන්න හැකි තිරිසන් ගති වලින් ඈත් වෙනවා. එල්.ටී.ටී.ඊ එකේ හිටපු කොල්ලන්ටත් ජීවිතය විඳින්න මම උදව් කරලා තියනවා.

 ජීවිතය විඳින්න මාර්ගයක් නැති උනාම තමයි මිනිස්සු අන්තවාදී අරමුණු වෙනුවෙන් ජීවිතය පුදන්න ඉදිරිපත් වෙන්නේ. ඊලම කියයි, මාතෘ භූමිය කියයි , දෙවියන්වහන්සේ වෙනුවෙන් කියයි , රට ජාතිය වෙනුවෙන් කියයි පන්ති සටන වෙනුවෙන් කියයි , ගව ඝාතන විරෝධී කියයි. මේ සියල්ල අස්සේ ඉන්නවා ජීවිතය විඳින්න මාර්ගයක් නොමැතිව තමන් ගේ සිතිවිළි අරමුණු , අදහන දර්ශනය නිසා  මානසික සිරකරුවෙකු බවට පත් වූ අසහනයෙන් පෙලෙන මිනිසෙක්.  ඔහු දේශපාලන වේවා ආගමික වේවා අරමුණක් මතවාදයක් වෙනුවෙන් මිනී මරන්න මරාගෙන මැරෙන්න සූදානම්.  මේ මිනිසාට ජීවිතය වින්දනය කිරීමට ඉඩ දෙන්න . එතකොට තිරිසන් බව දියවෙලා මිනිස් බව උඩට එනවා. මම මේක හොඳින්ම දැක්කා.

ජූඩ් අපි දැන් යමු වින්සන්ට් පවසයි.

බිල ගෙවීම සඳහා වින්සන්ට් ලංකාතිලක තමාගේ ක්‍රෙඩිට් කාඩ්පත වේටර්වරයාට දුන්නද එය වේටර්වරයාගෙන් ලබා ගන්නා ජූඩ් නෝට්ටු කීපයක් වේටර්වරයා අතට දී ඉතිරිය වේටර්වරයාට ගන්නට කියයි. වේටර්වරයා දෙනෙත් සතුටින් බබලයි. ජූඩ්වින්සන්ට් ලංකාතිලක ගේ ක්‍රෙඩිට් කාඩ්පත  යළි  ඔහුට දෙයි. කරුනානායක නිදිබර විලාසයකින් දෑස් පොඩි කරයි.

"වින්සන්ට් අපේ ගෙදර යමු "  ජූඩ් කාරුණික ආරාධනයක් කරයි. නමුත් වින්සන්ට් ලංකාතිලකට හෝටලයට යාමට අවශ්‍යය​. ගැස්ටන් ගැලිඔන් හමුවීම දැන් අසීරු කරුණකි. ඔහුට ජුල්ස් හෝටලයට ගොස් අඩක් අවසන් කරන ලද ඊ. එල් ෙඩාක්ෙටරොව් ගේ  Ragtime   නවකථාව   කියවීමට අවශ්‍යාතවයක් තිබේ.

 ජූඩ් අපි හෙට හවස ෆ්‍රෙඩ් සිරිමාන්න   හමු වෙන්න යමු. ඔයා හොෙටල් එකට පහට විතර එන්න​.  දැන් මම ටැක්සියක් අරගෙන යන්නම්. කරදර වෙන්න එපා. ඔයා කරුනානායක එක්ක ගෙදර යන්න​වින්සන්ට් ලංකාතිලක ජූඩ් ගෙන් ඉල්ලීමක් කලේය​. අවසානයේදී ජූඩ් එයට එකඟ  විය​.




 (පරිකල්පනික අතික්‍රමණය​- වෛද්‍ය රුවන් එම් ජයතුංග)

13 comments:

  1. හොඳ මිනිහා සහ නරක මිනිහා තීරණය කරන උපමානයන් මොනවාද? නිරපේක්ෂ මිනුමක්නම් තියෙන්න විදිහක් නැහැ. සහජ බුද්ධිය සහජාශය මත හොඳ තෝරා ගන්නා ගමන්ම කෙනෙකුගේ නරක වෙනත් කෙනෙකුගේ හොඳ විය හැකි බවත් තේරුම් ගන්න වෙන්නේ ඒ නිසා තමයි. ඒ අතරම ගැටුම් අවම කර ගැනීමට සම්මත හොඳ (නීතිය වගේ) අනුගමනය කිරීමත් නරක නැහැ. සම්මත හොඳ වැඩි දෙනෙකුගේ නරක වෙන කොට සම්මත වෙනස් වෙයි.

    ReplyDelete
    Replies
    1. හොඳ මිනිහා යනු කප්පාදු කළ මිනිසා බව නීට්ශේ කියා තිබේ

      Delete
  2. Beautifully written. Ruwan you should write something about homosexuality. Most Sri Lankans as usual fail to understand it's a natural sexual orientation. Being "traditional buddhists', not sure why our people do not have compassion to another group in the society with the same ambitions and desires as them.

    ReplyDelete
  3. 'ජීවිතය විඳින්න...' ඔව්... ඔබ හරි.භෞතිකමය විදිහට කාමභෝගී ලෙසට හෝ අලෞකික විදිහට අධ්‍යාත්මික ලෙස විඳින්න... අන්තවාදීන් බිහි නොවේවි...
    ජයවේවා..!

    ReplyDelete
  4. මටනම් දැනුනේ ජී.බී සේනානායකගේ කතාවක් කියවනවා වගේ,

    "ජීවිතය විඳින්න මාර්ගයක් නැති උනාම තමයි මිනිස්සු අන්තවාදී අරමුණු වෙනුවෙන් ජීවිතය පුදන්න ඉදිරිපත් වෙන්නේ", මෙන්න මේ සත්‍යය තේරුම් ගන්න අද බොහෝ දෙනෙකුට බැරිවෙලා තියෙනවා. පාලකයන් පමණක් නෙවෙයි පාලිතයින්ට පවා. නැතිනම් පටු අරමුණු වෙනුවෙන් හිතාමතාම මේ සත්‍යය අමතක කරනවා, කරවනවා. මොකද ප්‍රශ්න නැති සමාජයකට වඩා හැම පර්ශ්නයක්ම ඔඩු දුවපු සමාජයක දේශපාලකයාගේ පැවැත්ම ස්ථිරයි

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්න නැති සමාජයකට වඩා හැම පර්ශ්නයක්ම ඔඩු දුවපු සමාජයක දේශපාලකයාගේ පැවැත්ම ස්ථිරයි ++++++++++++++++++

      Delete
  5. කිසිදු වෘත්තීය සුදුසුකමක් නැති සමහර මිනිස්සු, රටකින් රටකට පනින්නේ, ජීවත් වෙන්න බැරි නිසාමද නැත්නම් ඉක්මනින් සල්ලි ගොඩක් හොයන්නද? ඒ මිනිස්සු ගොඩක් සල්ලි හොයලා සැනසීමක්ද ලබන්නේ? ඒ මිනිස්සුන්ව ආදර්ශයට ගන්න අයට සැනසීමක් ලැබෙනවද? ඔක්කොමලා එකම රවුමක යනවා වගේ.

    ReplyDelete
  6. ඔක්කොමලා එකම රවුමක යනවා True

    ReplyDelete
  7. A well written 'fiction'! Congratulations, Ruwan. The million dollar questions are how can we and our society move away from the uncritical thinking tradition and what can we do to support such a tendency? I will post this on my social media pages. Thank you.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook