වින්සන්ට් ලංකාතිලකගේ අපස්මාරික ගැස්ම නැවතිනි. ඔහුගේ ශරීරය නිසල විය.
නමුත් ඔහු ගැඹුරෙන් හුස්ම ගත්තේය. සුදු පැහැති කබායක් ඇඳ සිටි වෛද්‍යවරයා
ඔක්සිජන් වැස්මක් මගින් වින්සන්ට් ලංකාතිලකට
නොකඩවා ඔක්සිජන් ලබා දුන්නේය.
****************************************************
වින්සන්ට් ලංකාතිලක කැපචීනෝ කෝප්පයක් ඇණවුම් කලේය. ඔහුගේ අතේ දාලියා ඇලෝනි
විසින් සුභ පැතුම් සමග එවන ලද උපන් දින කාඩ් පතකි. ඔහු නැවත වරක් උපන් දින සුභ පැතුම් කාඩ් පත යළි කියවීය. දාලියාගේ කුරුමිණි අකුරු ඔහුට කියවීමට අපහසු විය. දාලියා ඉංගිරිසි අකුරු ලියන්නේ හීබෘ අකුරු
මෙනි. සමහර විට ඉංගිරිසි එච් අකුර හීබෘ අකුරක්
මෙන් දාලියා ලියන්නීය. නමුත් ඇයට
ඉතා චතුරව ඉංගිරිසි කථා කල හැකිය.
ඔවුන් මුලින්ම හමු වූයේ මීට වසර එක හමාරකට පමණ පෙර මොන්ට්‍රියෝල්
නගරයේදීය. දාලියා ඉංගිරිසි කථා කලේ සැන් ෆ්‍රන්සිස්කෝ නාගරික උරුවටය. මේ නිසා
මුලදී වින්සන්ට් සිතුවේ දාලියා ඇල්බනි හෝ බෙල්මොන්ට් වලින් පැමිනෙන්නට ඇතැයි
කියාය. නමුත් දාලියා තමන් ගේ ඉශ්‍රායෙල් සම්භවය නොසැඟවුවාය.
“ මම මුලින්ම යාළු වෙලා හිටියේ ස්කොට්ලන්තේ
ඇබර්ඩීන් වල ඉංජීනේරුවෙකු සමග. ඔහු වැඩ කලේ Strongfield Aviation කොම්පැනියේ.
ඔහුගේ නම ඇන්ඩි. මුලදී ඔහුගේ යාලුවෝ ඇන්ඩිට විහිළු කළා මොසෑඩ් එකේ ලස්සන
කෙල්ලෙක් ඇන්ඩි එක්ක යාළු වෙලා ගුවන් යානා කර්මාන්තයේ නව සොයාගැනීම් හොරෙන් ඉශ්‍රායෙල් වලට යවන්න කියලා.
මුලින් මුලින් මේක විහිළුවක් හැටියට තමයි ආවේ. ඇන්ඩි ,ඇන්ඩිගේ පවුලේ අය ,ඇන්ඩිගේ යාලුවෝ මේක කියලා හිනා උනා. මමත් මේක
කිව්වා. මගේ ලිප්ස්ටික් එක කුඩා රහස්
කැමරාවක් කියලා මමත් ඔවුන් සමග හිනා උනා. පස්සෙ පස්සෙ සිනහව අඩුවී යනවා මම දැක්කා.
ඇන්ඩිගේ කොම්පැනියේ යාලුවෝ මේක බරපතල විදියට කියන්න ගත්තා.
දවසක් සවසක ඇන්ඩි මාව හමු වෙන්න ඇවිත් කිව්වා එයා බලාපොරොත්තුව හිටපු
උසස්වීම නවත්තලා කියලා. හේතුව හැටියට කීවේ ඇන්ඩි මොසෑඩ් එකේ කෙල්ලෙක් ආශ්‍රය කරනවා
කියලා. මම හීනෙකින්වත් නොහිතපු දෙයක්. මිනිසුන් ගේ පැරනොයිඩ් අදහස් ගැන මට
කළකිරුනා. මම ඊට සුමානයකට පස්සේ ඇන්ඩිටවත් නොකියා කුබෙක් වල බේමවුන්ට් වලට ආවා. මම
ෆ්‍රෙන්ච් දැනගෙන හිටපු නිසා රස්සාවක් හොයා ගැනීම අමාරු උනේ නැහැ. මම කුබෙක් වලට
කැමතියි. මෙහෙ මිනිසුන්ට මම ඉශ්‍රායෙල් වීම ප්‍රශ්නයක් නෙවෙයි. වින්සන්ට් මම ඉශ්‍රායෙල් වීම ඔබට ප්‍රශ්නයක්
ද? දාලියා ඇසුවාය.
“ කොහෙත්ම නැහැ” වින්සන්ට් ඇයට පිළිතුරු දුන්නේය. මිනිසෙකුගේ
සම්භවය ප්‍රශ්නයක් විය හැක්කේ කොහොමද ?
“ සමහර විට එය ප්‍රශ්නයක් විය හැකියි ඇයි ඔබට අමතකද අවුට්ස්විච්, බෙල්සන්, බ්‍රීන්ෙඩාන්ක් , බුකන්වල්ඩ් , ග්‍රීනි , කෙම්නා, සැලාස්පිල්ස් ..... දාලියා නම් වැලක් කියාගෙන ගියාය.
ඇයගේ මිත්තනිය මිය ගියේ වර්සෝ ගෙටෝවේදී නිරාහාරයට ලක් වීමෙනි.
දාලියාගේ මිත්තනිය පෝලන්තයේ වොලොමින් හි ධනවත් පවුලකට අයත් වූවාය. යුදෙව්
පවුලක් වූවද ඔවුන් ජීවත් වූයේ ප්‍රාදේශිය
ප්‍රභූන් ලෙසටය. එකල දාලියාගේ මිත්තනිය රූපයෙන් අග තැන්පත් රුවැත්තියක් වූ අතර
සාර් රජුට අයත් වූ යාබද මාලය රූස්
(වර්තමාන යූක්‍රේනය) හි සිට ඇයගේ අත පතා කුමාරවරු පැමිණියහ. නමුත් වාසනාවන්තයා
වූයේ ජාකොබ් ඇලෝනිය. ජාකොබ්
ලිතුවේනියාවේ යුදෙව් ප්‍රභූ පවුලක
සාමජිකයෙකු විය.
සිහින් උසැති තරුණයෙකු වූ ජාකොබ් ඇලෝනි පෝලන්තයේ වර්සෝ විශ්ව විද්‍යාලයේ
නීති උපාධිය හැදෑරීම පිණිස පැමිනියේය. 1816 ස්ථාපිත කරන ලද වර්සෝ විශ්ව විද්‍යාලය එවකට යුරෝපයේ ප්‍රධාන පෙලේ විශ්ව
විද්‍යලයක් විය. නමුත් 1818 දී පෝලන්තය
නිදහස් ලැබීමෙන් පසුව වර්සෝ විශ්ව විද්‍යාලය සීග්‍ර දියුණුවක් ලැබීය. පෝලන්තය
රුසියානු සාර් පාලනයට නතු වූ සමයේ පාවෙන විශ්ව විද්‍යාලය නමින් හැඳින් වූ Uniwersytet
Latający නම් විශ්ව විද්‍යාලයේ (
පැරිස් විශ්ව විද්‍යාලයට යාමට පෙර Uniwersytet
Latający නම් විශ්ව විද්‍යාලයේ මාරි කියුරි ද
ඉගෙනුම ලැබුවාය) රහසිගතව ඉගැන් වූ මහචාර්‍යවරුන් ද වර්සෝ විශ්ව විද්‍යාලයට පැමිණ ඉගැන්වීමේ
කටයුතු කළහ. මේ නිසා බෝල්ටික් ප්‍රදේශ වලින් ද සිසුන් අධ්‍යන කටයුතු සඳහා වර්සෝ විශ්ව විද්‍යාලයට පැමිණියහ. ජාකොබ් ඇලෝනි ද එසේ පැමිණි සිසුවෙකි.
නීතිය හදාරන සමයේ ජාකොබ් ඇලෝනි
සමහර විට ආහාර ගත්තේ වර්සෝවේ පැරණි
සුඛෝපභෝගී යුදෙව් අවන්හලකිනි. වරක් දිවා
ආහාරය පිණිස අවන්හල වෙත ගිය ජාකොබ් සිය අනාගත සහකාරිය ප්‍රථම වතාවට
දැක්කේය. ඇය පැමිණ සිටියේ ඇයගේ මව සමගිනි. යාබද මේසයේ සිටි රූපිකාව දෙස වරින් වර
නෙත් හෙලූ ලිතුවේනියාවෙන් පැමිණි තරුණයා ඔවුන් ආහාර කිස නිමවා අශ්ව කරත්තයට ගොඩ වන
තෙක් බොරුවට පුවත් පත බලමින් කාලය මැරුවේය. ඔවුන් පිටත්ව ගිය වහාම පෝලිෂ් මර්කා
නෝට්ටුවක් වේටර්වරයා අත තැබූ ජාකොබ් සුරූපිනිය ගේ වතගොත අසා දැන ගත්තේය.
වේටර්වරයාගෙන් ලද තොරතුරු අනුව ඒ සතියේ ඉරිදා දිනක ජාකොබ් වොලොමින් වෙත
ගියේය. මෙම ගමන සඳහා අස් රියකරු අසාධාරණ මුදලක් අය කලද ඔහු ඒ ගැන තැකීමක්
නොකලේය. රූපිකාව යළි දැකීම ඔහුගේ අභිප්‍රාය විය. නමුත් හිම පතනය ආරම්භ වූ නිසාත්
කරුවල ගතිය වැඩිවූ නිසාත් ඔහුට තරුණිය හෝ
ඇයගේ පවුලේ සාමාජිකයෙකු හෝ දැකගත නොහැකි
විය. ඔහුට බලා ගත හැකි වූයේ තරුණිය ජීවත් වූ සුවිසල් නිවස හා විශාල යකඩ
ගේට්ටුවයි.
එලැඹුණු සතිය පුරා ජාකොබ් තරුණිය ගේ පවුල පිලිබඳ තොරතුරු සෙව්වේය. ඇයගේ නම
සාරාය. ඇය පොහොසත් වෙලෙන්දෙකුගේ
දියණියකි. වත් පොහොසත්කම් වලින් ජාකොබ්ටද අඩුවක් නොවීය. ඔහුගේ පියා ලිතුවේනියාවේ
ධනවත් දුම්කොල වියාපාරිකයෙකි. එසේම ප්‍රාදේශිය ආණ්ඩුවේ උප ඇමතියෙකි.
ප්‍රභූ යුදෙව් පවුල් වල අවහා විවහා එකල සිදු වූයේ ප්‍රදේශයේ රබීන්වරයාගේ
මාර්ගයෙනි. විවහා වීමට සුදුසු තරුණියක් සිටින බවත් ඇයගේ පියාට රබීන්වරයා
මගින් පණිවිඩයක් යවන ලෙසටත් ඉල්ලා ජාකොබ්
තම පියාට ලිපියක් ලීවේය. ලිපිය පියාට යවා
මාස දෙකකට පමණ පසු රබීන්වරයාගෙන් පණිවිඩයක් ලැබුනි. විවහාය සඳහා සාරාගේ පියාගේ
අනුමැතිය ලබී තිබේ.
ඔවුන් විවහා වූයේ 1923 දීය. ඒ වන විට සාරා දහ අට හැවිරිදි වියේ
පසු වූ අතර ජාකොබ් විසි දෙහැවිරිදි වියේ පසු විය. විවහාය සිදු වූයේ වර්සෝ වලය. විවහායෙන් පසු මධු සමය ගත කිරීම සඳහා ඔවුන් ලිප්සිග් වෙත
ගියහ.
1924 දී
ජාකොබ් නීති උපාධිය නිම කලේය. එම වසරේ සාරා දියණියක් ප්‍රසූත
කළාය. ඇයට එලියානා ලෙස නම් තබන ලදි. එලියානා තුන් හවිරිදි වන විට ජේකොබ් පියාගේ
වෙලඳ කටයුතු වලට සම්බන්ධ වීම සඳහා ලිතුවේනියාවේ කව්නාස් නගරයට ගියේය. ඔහු සමග
සාරාද ගිය හෙයින් කුඩා එලියානා (මෙහෙකාරියන් ගේ සහායෙන් ) බලා ගන්නා ලද්දේ සාරාගේ මව විසිනි. එලියානා නිතරම දෙවෙලේ වියළි
අයුරින් කහින සීයාට බිය දැක්වූ අතර ඊසාක් මාමාට (සාරාගේ එකම බාල සොහොයුරා) ඇළුම්
කලාය.
ඉන් වසර දෙකකට පසු පෝලන්ත හමුදාවේ නිලධාරියෙකු ලෙස බැඳීමට ඊසාක් වර්සෝ
නගාරයට ගියේය. ඊසාක් ගෙදර පැමිණියේ වරකි නැතහොත් දෙකකි. අවසාන වර ඔහු නිවසට
පැමිණියේ 1933 වසරේදීය. ඒ වන විට ඔහු පෝලන්ත හමුදාවේ
කපිතාන්වරයෙකු විය. එලියානා ඊසාක් මාමා දුටු අවසන් වතාව එය විය. ඉන්පසු ඉතා
දීර්ඝ කාලයක් ඔහු පැමිණියේ නැත. යටත් පිරිසෙන් 1938 දී සාරාගේ පියා මිය ගිය විට මළගමට සහභාගි වීමට පවා ඔහුට
නිවාඩු නොලැබුනේය.
1939 රතු හමුදාවෝ පෝලන්තය ආක්‍රමණය කලහ.
ඊසාක් ඇතුළු 22,000 පමණ පෝලන්ත හමුදා නිලධාරීන් රතු හමුදාවේ අත් අඩංගුවට පත් වූ අතර පසුව
ඔවුන්ව කත්යාන් වනයේදී සෝවියට් එන්. කේ .
වී. ඩී පොලිසිය විසින් හිස පසු පසට වෙඩි
තබා ඝාතනය කරන ලදි. ඊසාක් ගේ මරණය පිළිබඳ තතු සාරා දැන ගන්නේ බොහෝ කාලයකට පසුවය.
පියාගේ මරණින් පසු සාරා වොලොමින් හි නිවසට පැමිණියාය. ජාකොබ් නිතරම කව්නාස් නගරයටත් වොලොමින් වලටත් ගමනේ යෙදී සිටියේය. වියාපාර
පාඩු ලැබීම නිසා ඔහු සිටියේ සිත්තැවුලෙනි. මහළු පියා දැන් රජයේ සේවයෙන් විශ්‍රාම
ලබා තිබේ. ඔහු වෙලඳ කටයුතු වලට පවා සහභාගි වූයේ කළාතුරකිනි. ක්‍ෂයරෝගය සෙමෙන්
සෙමෙන් මහල්ලාව භක්ශනය කරයි. සියළු කටයුතු දැන් ජාකොබ් ගේ උරමත පැටවී ඇත.
ලිතුවේනියාවේ මෙන් පෝලන්තයේද දැන්
යුදෙව් විරෝධී වියාපාර හිස ඔසවයි. මුලින් මුලින් යුදෙව්වනට සුදුළුනු භක්‍ෂකයන් ලෙස
අපහාස කළ පිරිස් දැන් ක්‍රිස්තුස් ඝාතකයන්
ලෙසටද අපහාස කරයි. මුලදී හිට්ලර් පෝලන්තය
ආක්‍රමණය කිරීමට සැරසෙතැයි දූසුමාන ආරංචි පැතිර
ගියේය. බොහෝ දෙනෙකු එය බැහැර කලේ හිට්ලර් පෝලන්තය ආක්‍රමණය කලහොත් එඞලන්තය
පෝලන්තය ආරක්ශා කිරීමට එන බව කියමිනි.
හිට්ලර් පෝලන්තය ආක්‍රමණය කලහොත් එය පෝලන්ත යුදෙව් ජනයාගේ අවසානය වන බව එක්
පෝලන්ත නීතිවේදියෙක් සතුටු සහ කුරිරු සිනහවක් මුව රඳවාගෙන පැවසීය. සැබවින්ම එය
සිදුවිය. ඔවුන් අහසින් සහ ගොඩින් පෝලන්තයට පහර දුන්හ. ස්ටාලින් සහ හිට්ලර්
පෝලන්තයේ ගෙල සිර කළහ. එඞලන්තය පෝලන්තය ආරක්ශා කිරීමට පැමිනියේ නැත.
පෝලන්තයේ යුදෙව් ජාතීන් ගේ දේපළ කොල්ල කන ලදි. වොලොමින් නගරයේ පරම්පරා
ගනනාවක් සාරාගේ පියා සහ පියාගේ පියා දැන සිටි පෝලන්ත ජාතික අසල්වැසියන් ඔවුනට
පරිභව කලහ. “පාහර යුදෙව්වනි පළයව්” මේ ඔවුන් නික්මයාමේදී අසල්වැසියන් ගෙන් ඇසූ වදන් වූහ.
ජාකොබ් , සාරා එලියානා සහ සාරාගේ මව ජර්මානු හමුදා විසින් වර්සෝ ගෙටෝවට ගෙන එන ලදි. දිනපතා යුදෙව්වන් විශාල ප්‍රමාණයක් වර්සෝ
ගෙටෝවට ගෙන එන ලදින් ගෙටෝවේ තදබදය දිනපතා ඉහල නැග්ගේය. ආහාර වල මිළ දරාගත
නොහැකි තරම් ඉහල ගොස් තිබේ.
අතීතයේ ධනවතෙකු වූ ජාකොබ් දැන් දිළින්දෙකි. ලිතුවේනියාවේ තිබූ ඔහුගේ ධනය නට්සීන්ට
සහාය දුන් ලිතුවේනියානුවන් කොල්ල කන ලදි . එම කොල්ල කෑමේදී එක් ලිතුවේනියානුවෙක් ජාකොබ්ගේ මහළු පියා
කෙටේරියකින් ගසා මරා දැම්මේය. මොහු පියා යටතේ කාලයක්
සේවය කල කම්කරුවෙකි. ඔහුගේ පුතා බෞතීස්ම කළ දිනයේ
ජාකොබ් ගේ පියා කුඩා බිලිඳාට කුඩා සුරුවමක් සහිත රන් මාළයක් තෑගි ලෙස
දුන්නේය. නමුත් වසරක් ගත වීමටත් පෙර ඔහු
දරුවාගේ රන් මාළය විකුණා සුරා බීව්වේය. පාදඩයෙකු තැනින් තැන වැඩ කරමින් සොරකම් කරමින් සිටි ඔහු ජර්මානු
හමුදා ලිතුවේනියාවට එන විට හිස ඔසවමින්
තිබුණු යුදෙව් විරෝධී රැල්ලට නායකත්වය දෙන ලදි.
ආහාර හිඟය නිසා වර්සෝ ගෙටෝවේ පළමු ශ්‍රීත ඍතුව මරණීය විළාපයකට සම විය. පළමු ශීත ඍතුවේම සාරාගේ මහළු මව මිය ගියාය. යන්තම්
රෙදිකඩකින් දවටා ගෙටෝවේ කුඩා සුසාන භූමියක ඇයව වළ දමන ලදි.
ශීත සමය අවසන් වන්නට ප්‍රථම නට්සීන් ශරීර ශක්තිය ඇති පිරිමින් වහල් කඳවුරු
වලට පැටවීය. ජාකොබ් ඇතුළු ගෙටෝවේ සිටි පිරිමින් බොහෝ දෙනෙකු කබල් ලොරි වල පටවා
දෝල්නියි ස්ලස්ක් වහල් කඳවුරට ගෙන එන ලදි. දෝල්නියි ස්ලස්ක් වහල් කඳවුරේ ඔහු කයට
ඔරොත්තු නොදෙන බර වැඩ කිරීමට නියම විය. කඳවුරේ බිත්තියක විශාල අකුරු වලින් Arbeit macht frei (වැඩ කිරීම මගින් නිදහස ලැබේ) යන වැකිය ලියා තිබුණි.
නමුත් වැඩ කිරීම ඔවුනට ගෙන ආ නිදහසක් නම් නොමැත. ඔවුනට ආහාර ලෙස ලැබුනේ පාන්
අවුන්ස කිහිපයකි. නමුත් ජාකොබ් තව වසර දෙකහමාරක් පමණ ජීවිතය දරගෙන සිටියේය. නමුත්
ටයිෆස් උණ උත්සන්න වීම නිසා ගිම්හානයේ රැයක ඔහු මිය ගියේය.
සාරා සහ එලියානා වර්සෝ ගෙටෝවේ ඉතා
අසීරුවෙන් දිවි ගෙවූ නමුත් ආහාර හිඟය නිසා ඔවුන් දෙදෙනා දරුණු කුපෝෂණයට ලක්වී
සිටියෝය. 1942 වන විට නට්සීන් වර්සෝ ගෙටෝවේ යුදෙව්වන් ට්‍රිබ්ලෙන්කා ඝාතන කඳවුර වෙත
පැටවීම ඇරඹූහ. පැටවීම ඇරඹීමට දෙසතියකට
පෙර ආහාර නොලැබීමෙන් සහ ශීතට අසු වීමෙන් දුර්වලව ගිය සාරා පදික වේදිකාවේ බිම ඇද
වැටනාය. එලියානා දුර්වළ දෑත් වලින් සාරා එසවීමට තැත් කලද එය
පහසු කාර්යයක් නොවීය. කිසිවෙකු ඔවුන්ට
උපකාර පිණිස පැමිණියේ නැත. බිම වැටුණු සාරා අවසන් හුස්ම හෙළා තිබුනාය.
තනිවූ එලියානා මුළු රැයක්ම මව වෙනුවෙන් වැළපුනාය. කුපෝෂණය නිසා ඇයගේ
දෙනෙත් වලින් කඳුළු වැටුනේ නැත. ඇය උගුරින් වරින් වර ශබ්දයක් පිට වූවා පමණි. ගෙටෝවේ සිටි යාගෝ නම් යුදෙව් තරුණයා ඇය වෙත පැමිණියේය. ආහාර හිගය නිසා ඔහු
කෘෂවී ගොසිනි. ඔහු තම දුබළ දෑත් වලින් එලියානාට නැගිටීමට උපකාර කලේය.
ඉන්පසු එලියානා සම්බන්ධ වන්නේ වර්සෝ ගෙටෝවේ කැරලිකරුවන් සමගය. යාගෝ ද කැරලිකරුවන් සමග
සටන් කල නමුත් ඔහු නට්සීන් ගේ වෙඩි පහරකට ලක් වී මිය ගියේය. ගෙටෝවේ කැරැල්ල අසාර්ථක
වීමත් සමගම ඉතිරි වූ සුළු පිරිස සමග එලියානා යටිබිම්ගත වන අතර ප්‍රැක්සීව් වනයේ
සැඟවී සටන් කරන යුදෙව් පර්ටිසාන් කන්ඩායමක් සමග ඇය එකතුවේ. අණතුරුව යුද්දය අවසන්
වන තෙක් එලියානා සහ පිරිස ප්‍රැක්සීව් වනයේ සැඟවී වරින් වර ජර්මානුන්ට පහර දෙති. යුද්ධය අවසානයත් සමගම එලියානා තමන් සමග ප්‍රැක්සීව් වනයේ
සැඟවී එකට සටන් කල සුහෘදයෙකු වන ශිමෝන් සමග ඊශ්‍රායෙලය බලා යයි. එහිදී ඔවුන්
කිබ්බුට්ස් සාමූහික ගොවිපලක වැඩ කරති. ඔවුන් දෙදෙනා විවහා වන්නේ මෙම
ගොවිපලේදීය.
ඉන්පසු ශිමෝන් සහ එලියානා හගනා හෙවත් ඊශ්‍රායෙල ආරක්ශක බළ මුළුව සමග සම්බන්ධ වෙති.
දාලියා උපත ලබන්නේ මේ කාලයේදීය. දාලියාගේ කුඩා කාලය ගෙවී යන්නේ යුද ගැටුම්
අතරිනි. 1967 සය දින යුද්දයේදී දාලියාට පියා අහිමි වේ. දාලියාට පියා අහිමි වූයේ ජූනි 7 වන දිනයකය. සෑම වසරකම පියා මියගිය දිනය ඇය සිහිපත්
කරන්නීය. ජූනි 7 වින්සන්ට් ලංකාතිලකගේ උපන් දිනයයි.
පියාගේ මියගිය දිනය සමරණ ඇය වින්සන්ට් ලංකාතිලක උපන් දින සුභ පැතුම් කාඩ්
පතක් එවා තිබේ.
(පරිකල්පනික අතික්‍රමණය- වෛද්‍ය රුවන් එම් ජයතුංග)
:O තේරුනේ නෑ වගේ. ආයෙම කියවන්ට ඕනි.
ReplyDeleteDeconstruction තේරුම සොයා ගන්න
Deleteඅපි කවුරුත් එකවගේම වෙනස් මිනිස්සු.
ReplyDeleteඇත්ත
Deleteයුදෙව් ජාතිකයන් ඉතාම දැඩි ලෙස දුක් වින්ද ජර්මානුවන් මෙන්ම ඔවුන්ට සහය දෙන අනිත් ජාතින් අතින්. තවමත් සමහරුන්ට පප්‍රශ්න තිබෙනවා යුදෙව් වීම නිසාම.
ReplyDeleteඒක නම් එහෙම තමයි අජිත්
Deleteපුද්ගලයක් අද්දැකීම් වලින් මුහුකුරා යාමේදී ඔහුට/ඇයට හිතෙනවා තමා එක රටකට/ජාතියකට අයත් නැති බව. විශ්වයම තමන්ගේ නිවහන බව. සමස්ත මානව වර්ගයාම තමන්ගේ බව.
ReplyDeleteඔබ හරි
ReplyDeleteඅති විශිෂ්ට ලියමනක්. ස්ථාන,පුද්ගලයන්, වකවානු ආදියෙහි ගැලපීම පුදුමාකාරයි.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDelete