Friday, December 19, 2014

ප්‍රභාකරන් සාධකය”

 

ප්‍රභාකරන් සාධකය 
ප්‍රභාකරන්ගේ තිස් වසරක යුදමය ක්‍රියාදාමය පරාජය කිරීම ශ්‍රී ලංකාව ලත් සුවිසේෂි ජයග්‍රහණයකි. මෙම ජයග්‍රහණය ලබා ගත්තේ දහස් ගණනක ජිවිත පරිත්‍යාගයෙනි. මෙම යුද්දය නිසා කායික සහ මානසික වශයෙන් ආබාධිත වූ සංඛ්‍යාව සටනින් මියගිය ප්‍රමාණයටත් වඩා අධික ය. එසේම එල්.ටී.ටී.ය විසින් ආර්ථික මර්මස්ථාන වලට කරන ලද පහර දීම් සහ සිදුකල විනාශයන්, යුද්දය සඳහා සිදු කල වියදම් මෙන්ම යුද්දය විසින් ඇති කළ ආර්ථික අවපාතය නිසා ගතවූ කාලය තුල ලංකාවට අහිමි වූ මුදල අතිශයින්ම විශාල ය. එම නිසා යුද්ධය ශ්‍රී ලංකාවට කළ විනාශය අති දැවැන්ත බව පැහැදිලි කරුණකි. මේ හේතුවෙන් තිස් වසරක යුද්දයක ශාපයෙන් ශ්‍රී ලංකාව මිදීම යනු, මේ රටේ සිංහල දෙමල, මුස්ලිම් ජනතාව ලත් ජයග්‍රහණයකි.

ශ්‍රී ලංකාව තුල ඇතිවූ යුද ගැටුම සමහරු අර්ථකථනය කරන්නේ ජනවාර්ගික ගැටලුවක් ලෙසට ය. සමහරු එය ත්‍රස්තවාදී ප්‍රශ්නයක් ලෙස දකිති. ඇතැමෙකු එය ඉන්දියානු ව්‍යාප්තවාදයේ අතුරු එලයක් ලෙස පෙන්වා දෙති. කුමන අර්ථකථන තිබුන ද යුද්දය සෑම ජන වර්ගයකටම විනාශයක් වූ බව ඇස් පනාපිට ඔප්පුවූ කරුණකි. දෙවන ලෝක මහා යුද්දයෙන් පසු ආසියානු කලාපයේ රටක දැවැන්ත ගරිල්ලා යුද්දයක් ඇති වුයේ කෙසේද යන්න අධ්‍යනයට, විමර්ශනයට සහ විශ්ලේෂණයට බඳුන් කළ කරුණක් වුවද ඊලාම් යුද්දය වාර්තාකරණය මිස හැදෑරීම පසුගිය දශක තුන පුරා ලක් කොට නොමැත. එය හැකි ඉක්මනිම සිදු කළ යුතු කර්තව්‍යකි.

සමාජ විද්‍යාත්මක කෝණයෙන් බලන විට අවිහිංසාව ගරු කළ උතුරේ දෙමල සමාජය තුල හිංසනය සහ ත්‍රස්තවාදය පැන නැගුනේ කෙසේ ද යන පැනයකි. පෘතුගීසි යුගය දක්වා ඉතිහාසය බලන විට දමිල ප්‍රජාව අතර රණකාමීන්ට සිටියේ සන්කිලියන් පමණි. සියවස් ගණනාවක් පුරා උතුරේ ද්‍රවිඩ සමාජය තුල ප්‍රචණ්ඩත්වය සඳහා හිතකර උපස්තරයන් නොවිය. නමුත් 1976 පමණ කාලය වන විට මෙම තත්වය උඩු යටිකුරු වන්නේය. මහාචාර්ය රාජන් හූල් පෙන්වා දෙන අන්දමට 1970 දශකයත් සමග ද්‍රවිඩ ප්‍රජාව තුලින් ප්‍රජාතන්ත්‍රවාදී පරමාර්ථ ක්‍රමක් ක්‍රමයෙන් ගිලිහි යාමට පටන් ගනියි. මේ සඳහා දකුණේ දේශපාලන ක්‍රියාකාරකම් ද ඉවහල් වූ බව නොරහසකි.

ප්‍රභාකරන් සාධකය යනු නිදහසින් පසු ශ්‍රී ලංකාව මුහුණ දුන් බරපතලම අර්බුදය විය. ශ්‍රී ලංකාවේ දේශපාලන ආර්ථික සහ සමාජ ගමන් මග වෙනස් කිරීමට ප්‍රභාකරන්ට හැකි විය. ඔහුගේ මරණින් පසුවද ප්‍රභාකරන් සාධකයේ තර්ජන අවසන් වී නැත. ප්‍රභාකරන් යනු ශ්‍රී ලංකික මිලිටරිවාදය විසින් ඇති කරන ලද්දක් බව මහාචාර්ය දයා සෝමසුන්දරම් ඔහුගේ Sacred Minds කෘතියෙන් පවසයි. නමුත් මෙය මුළුමනින්ම නිවැරදි ප්‍රකාශයක් නොවන බව මගේ වැටහීමයි. 2006 වසරේ මම ඇමරිකාවේ කැන්සාස් හි වොෂ්බර්න් සරසවියේ යුද ආතතිය පිලිබඳ ආරාධිත දේශනයකට ගියෙමි. එම දේශනයේදී එක් මහාචාර්යවරයෙකු මගෙන් මෙම ප්‍රශ්නය ඇසීය. මගේ අදහස අනුව ප්‍රභාකරන් යනු සාධක රැසකින් ජනනය වූ විනාශකාරී බලවේගයකි. සිංහල සහ ද්‍රවිඩ ජාතිවාද විසින් ප්‍රභාකරන් නමැති ප්‍රපංචය නිර්මාණය කරන ලදී. ඔහු තමන්ගේ ජනතාව පවා අනතුරේ හෙළුවේය. ඔහු ද්‍රවිඩ සමාජයේ අධ්‍යාත්මය විනාශ කළේය. ද්‍රවිඩ ඩයස්පෝරාව විසින් උපයන මිලියන ගණනක මුදල් සහ එකී මුල්‍යමය වාසි නිසා ඇතැමෙකු ප්‍රභාකරන් සාධකයේ පැවති විනාශකාරී පාර්ශවය ගැන කතා නොකල ද යම් දිනක ද්‍රවිඩ ජනතාව විසින් ම ඔහු පිළිබඳව විනිශ්චයක් දෙනු ඇත.



ප්‍රභාකරන් තුල ව්‍යාථවේදී පෞරුෂ සාධක දක්නට ලැබුණි. නමුත් මේ ගැන කතිකාවට බඳුන් වී ඇත්තේ ඉතාම අඩුවෙනි. 2004 වසරේ ප්‍රභාකරන් දේශපාලනමය සහ යුදමය වශයෙන් ඉතා බලවත්ව සිටි අවදියේ දී ඔහුගේ පෞරුෂ සාධක හෙළි කරමින් කරමින් ප්‍රභාකරන් සාධකය පිලිබඳ මනෝවිද්‍යාත්මක විශ්ලේෂණයක් යන කෘතිය මම එළි දැක්වුයෙමි. එම ගවේෂණාත්මක කෘතිය මගින් ළමා ප්‍රභාකරන් චර්යාත්මක අක්‍රමතාවයකින් (Conduct Disorder) පෙළුණු බවත් පසුකාලීනව වැඩිහිටි දිවියේදී ඔහු තුල සමාජ විරෝධී පෞරුෂ ලක්ෂණ (Antisocial Personality Disorder) තිබෙන බවද ඔහුගේ ජිවිත කතාව සහ චර්යාව මගින් පෙන්වා දුනිමි. මේ මතය ඇතැම් වියතුන්ගේ විවේචනයට ද ලක් විය. නමුත් 2011 වසරේ මම යාපනය විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යා අංශයේ මහාචාර්ය දයා සෝමසුන්දරම් මහතා අමතමින් 2004 වසරේ ප්‍රභාකරන් පිළිබඳව මගේ අධ්‍යනයන් ගැන තතු පැවසුවෙමි. වේලුපිල්ලේ ප්‍රභාකරන් සමාජ විරෝධී පෞරුෂ ලක්ෂණ වලින් යුතු පුද්ගලයෙකු බව මහාචාර්ය දයා සෝමසුන්දරම් ද පිලිගත්තේ ය.

ප්‍රභාකරන් තුල දැඩි ආත්ම කේන්ද්‍රියතාවක් (self centered) තිබුණි. ඔහු සංවෘත (introverted) පෞරුෂ ලක්ෂණ දැරිය. එසේම ධ‍්‍රැවගත සහ ඒකාකෘති චින්තනයකින් යුක්ත විය. හීන වූ සහකම්පනිය අවබෝධයක් සහිත නාසිස්ටික නිව්රෝසියතාවයේ (Narcissistic Neurosis) ලක්ෂණ ඔහු කෙරෙන් දැක ගත හැකි විය. (හීන වූ සහකම්පනිය අවබෝධය නට්සීන් තුලද තිබු බව හර්මන් ගෝරිඞ් ඇතුළු නට්සි නායකයන් මනෝවිද්‍යාත්මකව විශ්ලේෂණය කළ ගුස්ටාව් ගිල්බර්ට් පෙන්වා දෙයි) ඔහු මරණයට බිය විය. (මේ පිළබඳව ද්‍රවිඩ කවියෙකු වූ කාසි ආනන්දන් පවා කියා තිබේ) එම නිසා මරණය කල්ට් වන්දනාවක් ලෙස කරමින් මරණය උත්කර්ෂයට පත් කරමින් මරණය වන්දනා කරන කළු කොටි සංකල්පය ඔහු බිහි කළේය.

හිංසනය ප්‍රතික්ෂේප කල සම්ප්‍රදායික දමිල සමාජය උඩු යටිකුරු කරමින් සයනයිඩ් සංස්කෘතියක් ඇති කළේය. ළමා සොල්දාදුවන් ඇති කිරීම මගින් ද්‍රවිඩ සමාජයේ අනාගතය ද විනාශ කළේය. මේ සියලු විනාශකාරී ක්‍රියා සිදු කළමුත් නාභිගතවූ චින්තනයක් සහිත වූ ප්‍රභාකරන් දැඩි ආත්ම ශක්තියකින් යුක්ත විය. පුරා වසර 30 ඔහු ලංකාණ්ඩුවට එරෙහි ව්‍යාල යුද්දයක නිරත විය.

ප්‍රභාකරන් යුදමය වශයෙන් පරාජය කිරීම:

ප්‍රභාකරන් යනු හුදු එක පුද්ගලයෙක් පමණක් නොවිය. දෙස් විදෙස් බලවේග ඔහු වටා තිබුණි. එවැනි බලවේගයක් පරාජය කිරීම සුළු පටු ක්‍රියාවක් නොවිය. නමුත් ත්‍රිවිධ හමුදාවට ප්‍රභාකරන් යුදමය වශයෙන් පරාජය කිරීමට හැකි විය. වර්තමානයේ ප්‍රභාකරන් සහ එල්.ටී.ටී.ඊ. සංවිධානය පරාජය කිරීම ගැන බොහෝ වාද විවාද පවතී. ජයග්‍රහණයට පියවරු රැසකි. දේශීය මෙන්ම විදේශීය බලවේග ප්‍රභාකරන්ට සහය දීමට සිටියහ. ඔහු අපරාජිත බව යුද ප්‍රවීණෝපදේශකයන් පුන පුනා කිහ. නමුත් අවසානයේදී ප්‍රභාකරන් පරාජය කිරීමට ත්‍රිවිධ හමුදාවට හැකි විය.

එවැනි බලවේගයක් පරාජය කිරීමට හැකි වුයේ කෙසේද?

2002 වසරේ සිට 2006 දක්වා මම ශ්‍රී ලංකා යුද හමුදාවේ සංග්‍රාම ආතති ප්‍රතිකාර අංශයේ සංග්‍රාම විඩාවට ලක් වූ සොල්දාදුවන්ට සහ නිලධාරීන්ට ප්‍රතිකාර කලෙමි. මේ වකවානුව තුල හමුදාවේ උසස් නිලධාරීන් තුල පවා එල්.ටී.ටී.ය යුදමය වශයෙන් පරාජය කිරීමට නොහැකි බවට පොදු මතයක් තිබෙන බව මට වැටහුණි. මා සමග අදහස් හුවමාරුවේ යෙදුනු හිටපු යුද හමුදාපතිවරයෙක් පවා මේ අදහස දැරීය. යුදමය සහ දේශපාලන අනාවැකි සාර්ථකව කීමේ හැකියාව තිබු දේශපාලන විශ්ලේෂකයෙකු ලෙස නම් දරා සිටි හිටපු ගුවන් හමුදාපති හැරී ගුණතිලක මහතා පවා දැරුවේ මේ අදහසයි. එතුමාගේ රණවිරු වැන්දඹුවන් ගේ සුභ සාධන කටයුතු වලදී උපදේශන වැඩසටහන් පැවැත්වීමට මට ආරාධනා කර තිබු අතර හැරී ගුණතිලක මහතා සමග මම දිවයිනේ බොහෝ පළාත් වලට ගියෙමි.
එතුමාගේ මරණයට දින 5 පමණ පෙර (2008 අප්‍රේල් මාසයේදී) අප අනුරාධපුරයට ගියෙමු. එම චාරිකාවේදී ද එල්.ටී.ටී.ය යුදමය වශයෙන් පරාජය කිරීමේ අසීරුතාවය ගැන එතුමා මට කිවේය. නමුත් 2009 මැයි මාසය වන විට ගුවන් හමුදාපති ව සිටි එතුමාගේ පුත්‍රයා ඇතුළු යුද සහ නාවික හමුදාපතිවරුන් එල්.ටී.ටී.ය යුදමය වශයෙන් සහමුලින්ම පරාජය කළහ. මෙවැනි අසීරු ඉලක්කයක් සපුරා ගැනීමට හැකි වීමට හේතු කවරේද යන්න අපගේ සාකච්ඡාවට බදුන් විය යුතුය. අවසන් යුද මෙහෙයුම වන 2001 අග්නිකීල මෙහෙයුමෙන් පසුව සොල්දාදුවන් තුල පොදුවේ කලකිරීම්, සහ හීන වූ සටන්කාමිත්වයක් දක්නට තිබුණි.
ආබාධිත වූ සොල්දාදුවන්ගේ සුභසාදනය අක්‍රමවත් විය. 2001 – 2006 අතර කාලයේ සොල්දාදුවන්ගේ පුනරුත්ථාපන නිසි ලෙස සිදු නොවුනි. අබාධිත සොල්දාදුවන්ගේ නිදහස් ගමන් බලපත්‍ර පවා කපා දමන මට්ටමට නිලධාරිවාදය නරුම වී තිබුණි. මේ නිසා සටන් ඒකක වල සිටි සොල්දාදුවන් පවා යලි යුද්දයක් ඇති වුවහොත් ජිවිත අවදානමට පත් නොකර ගන්නා සෙයක් තිබුණි. යුද්දයේ දස්කම් දැක්වූ නිලධාරීන් වෙනුවට යුද්දයේදී බියගුළු වූ සහ සොල්දාදුවන් අතරමං කොට පලා ගිය නිලධාරීන්ට උසස්වීම් ලැබුණි. යුද ශිල්පය මනාව දත් නිලධාරීන් වෙනුවට අංජනම් බලන, අපල උපද්‍රව වලට සෙත් කවි කියන, ප්‍රභාකරන් පැරදීමට නම් හනුමා කෝවිල් තැනිය යුතු බව කියන නිල ඇඳුම ඇඳි අරිට්ඨ කී වෙන්ඩු ලා හමුදාපතිවරුන්ගේ උපදේශකයන් වුහ. මෙවැනි විකාරරූපී තත්වයක් තිබු හමුදාව 2009 වන විට ලෝකයේ අති දක්ෂ ප්‍රහාරාත්මක හැකියාවක් තිබු හමුදාවක් බවට පත් විය.  
  
පශ්චාත් යුද සමයේදී ප්‍රභාකරන් සාධකය ඉස්මතු වීම:

වේලුපිල්ලේ ප්‍රභාකරන් ශාරීරිකව විනාශ කලද ඔහු විසින් ලෝකය පුරා පතුරවා හරින ලද බෙදුම්වාදය නිශේදනය කිරීමට අසමත් වීම ශ්‍රී ලංකාව විසින් කරන ලද එක් වරදකි. ද්‍රවිඩ ඩයස්පෝරාව මුල්‍යම වශයෙන් ශක්තිමත් අතර දේශීය දේශපාලකයන්, සමාජ ක්‍රියාධරයන් මෙන්ම බටහිර රටවල මන්ත්‍රීවරු පවා ඔවුන් මිලට ගෙන තිබේ. මේ නිසා අද බෙදුම්වාදය ජිවන මාර්ගයකි. එබැවින් පශ්චාත් ප්‍රභාකරන් සාධකය පරාජය කිරීම සඳහා ලංකාණ්ඩුව විසින් සාර්ථක මූලෝපායන් භාවිතා කල යුතුය.



ඩයස්පෝරාව විසින් ලංකාව කොටු කර ගැනීම සඳහා ක්‍රියා කරති. මේ තත්වයට මුහුණ දීමට නම් මනා රාජතාන්ත්‍රික සබඳතාවන් අනෙකුත් රටවල් සමග පවත්වා ගනිමින් ප්‍රභාකරන් සහ එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් සිදු කල විනාශයන් පිළිබඳව අන්තර්ජාතික ප්‍රජාව දැනුවත් කල යුතුය. අවාසනාවකට මෙන් එල්.ටී.ටී.ඊ. සංවිධානය සිදු කල ජන ඝාතන ගැන අන්තර්ජාතික ප්‍රජාව නියමාකාර ලෙසින් දැනුවත් වී නොමැත. මේ නිසා ඊලාම් යුද්දයේ වග උත්තරකරුවන් අනියම් ලෙසින් ලංකාවට චෝදනා එල්ල වේ. නමුත් ඊලාම් යුද්දයේ සැබෑ ඉතිහාසය සොයා බැලුවහොත් මෙය ලංකාව මත පැටවූ යුද්දයක් බව පෙනී යයි. බෙදුම්වාදීන්ට ආයුධ පුහුණුව ලබා දෙන ලද්දේ ඉන්දියාව විසිනි. එසේම ඇතැම් බටහිර රටවල් විසින් ද එල්.ටී.ටී.ඊ. සංවිධානයට ආයුධ මෙන්ම තාක්ෂණය ලබා දෙන ලදී.

පුරා දශක තුනකට අධික කාලයක් එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් උතුරේ සහ දකුණේ සිදු කල විනාශය සහ ද්‍රවිඩ ජනතාව 20,000 අධික ප්‍රමාණයක් මරා දැමීම ගැන ගැන නියමාකාරයෙන් අන්තර්ජාතික ප්‍රජාව දැනුවත් කලේ නම් ලංකාව කොටු කර ගැනීම සඳහා ඩයස්පෝරාව දරණ වෑයම ප්‍රතිවර්තන කිරීමට ලංකාණ්ඩුවට හැකියාවක් තිබුණි. නමුත් මේ සඳහා යුද්දයෙන් පසු වැඩපිළිවෙලක් නොවිය. එය ලංකාවට අවාසිදායක විය. යටත් පිරිසෙන් ඉදිරි කාලයේදී ඊලාම් යුද්දය සහ ප්‍රභාකරන් සාධකයේ විනාශකාරී මුහුණුවර විද්‍යාත්මක වශයෙන් අධ්‍යනය කිරීමට ලංකාවේ මධ්‍යස්ථානයක් ඇති කල යුතුය. පොල්පොට් විසින් කරන ලද සමාජ වියසනය ගැන අධ්‍යනය කිරීමට කම්පුචියාවේ මෙවැනි මධ්‍යස්ථානයක් ඇති අතර එම මධ්‍යස්ථානයට විදේශීය සරසවි වලින් පවා පිරිස පැමිණෙති.

මෙවැනි මධ්‍යස්ථානයක් ලංකාවේ තිබුනේ නම් ප්‍රභාකරන් සාධකය ශක්තිමත් කරවමින් ද්‍රවිඩ ඩයස්පෝරාව විසින් මුදල් පොම්ප කරමින් උතුරේ කල භෞතික සහ සංස්කෘතික විනාශය ගැන පැහැදිලි චිත්‍රයක් අන්තර්ජාතික ප්‍රජාවට ලබා දීමට තිබුණි. මේ නිසා ප්‍රභාකරන් සාධකය අධ්‍යනය කිරිමටත් එහි විනාශකාරීභාවය ගැන දෙස් විදෙස් ප්‍රජාව දැනුවත් කිරීමත් අත්‍යවශයෙන්ම සිදු කල යුතු කර්තව්‍යකි. මේ හැර යලිත් මෙවැනි විනාශකාරී යුද්දයක් ලංකා භුමියේ යලි පැන නොනැගීමට අවශ්‍ය ප්‍රාග්ඥානයක් මෙවැනි අධ්‍යනයක් තුලින් සිංහල ද්‍රවිඩ සහ මුස්ලිම් ජනතාවට ලබා දිය හැකිය. එමගින් බෙදුම්වාදය මුල් කොට ගත් ප්‍රභාකරන් සාධකය සහමුලින්ම පරාජය කිරීමට අවශ්‍ය දැනුම සහ ශක්තිය ලැබෙනු ඇත.

 වෛද්‍ය රුවන් එම්. ජයතුංග


( ප්‍රභාකරන් සාධකය පිලිබඳ මනෝවිද්‍යාත්මක විශ්ලේෂණයක්   කෘතිය ඇසුරෙනි )



2 comments:

  1. ඉතා වටිනා කියවීමකි. මනෝ විද්‍යාත්මක ඇසකින් නිරීක්ෂණය කොට ලිවීම විශ්වසනීයත්වය රකියි. තව තවත් මෙබඳු පොත් ඔබතින් බිහි වේවා!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පුෂ්පා

      Delete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook