භින්නෝන්මාද පරිකල්පනය - වෛද්‍ය රුවන් එම් ජයතුංග
අපි හැමෝටම මානසික සුරක්ෂිතතාවය අවශ්‍යයි. මම වීථි දිගේ ඇවිදි නකොට දැක්කා දුප්පත් මිනිස්සු ඉලෙක්ෂන් පිස්සුවෙන් විකාර වෙන හැටි. මේ දුප්පත් මිනිස්සු ඉන්නවා නේද, අපි අත කැපුවත් යූඑන්පී නැතිනම් ශ‍්‍රී ලංකා කියාගෙන. ජීවිතය දීලා හරි අපේ මහත්තයාට වැඩ කරනවා. ඉලෙක්ෂන් එකෙන් පස්සේ හම්බ වෙන ලබු ගෙඩියක් නැහැ. මහත්තයා චන්දෙන් දින්නම මේ මිනිස්සුන්ට තියෙන්නේ උමතු ප්‍රීතියක්. රටක් රජයක් දිනාගත්ත අය වගේ පාර පුරා නටනවා , රතිඥා පත්තු කරනවා , ඔල්වරසන් දෙනවා නමුත් මේ මිනිසුන්ට ඒ දිනුමෙන් කිසිම පවත්නා දෙයක් ලැබෙන්නේ නැහැ. ඒත් ඊළඟ ඉලෙක්ෂන් එකටත් පැනගෙන අපේ මහත්තයාට සපෝට් කරන්න යනවා. ඒ මොකද කියලා ඔබතුමා දන්නවාද? මේ මිනිස්සු අපේ මහත්තයාගෙන් තමයි මානසික සුරක්ෂිත බව ලබාගන්නේ. මහත්තයා කවුන්සලේට ගිහිල්ලා හම්බකරගෙන අපිට මොනවත් නොදුන්නත් මේ මානසික සුරක්ෂිතතාවය වෙනුවෙන් ලබන ඉලෙක්ෂන් එකටත් අපි මහත්තයා වෙනුවෙන් වැඩ කරන්න ඕන කියන ගැම්ම තියෙනවා. මහත්තයා ඉලෙක්ෂන් එකට දෙන පාට තොප්පිය, මහත්තයාගේ පක්ෂයේ පාට ටී ෂර්ට් එක ඇඳගෙන, මහත්තයා දෙන බත් පැකට් එක කාලා, නොම්ලේ දෙන කසිප්පු වඩියෙන් උගුර තෙමාගෙන ජයවේවා කියලා කෑ ගහනවා.
මහත්තයා කොච්චර බලයේ හිටියත් මේ මිනිස්සුන්ගේ ජීවන මට්ටම ඉහළ යන දෙයක් කරන්නේ නැහැ. මොකද මේ මිනිස්සුන්ගේ ජීවන මට්ටම උඩට දැම්මොත් උන් පැය විසිහතරම තුන් වේලටම ඔට්ටුවෙන කාලය අඩුවෙලා ඒ අතිරේක කාලයේ පොත පත, පත්තර කියවලා වැටහීමක් ලබා ගන්නවා. එතකොට උන්ට මොලේ පෑදෙනවා. උන් වටහා ගන්නවා මහත්තයා දාන්නේ ප්‍රෝඩාව කියලා. ටිකෙන් ටික උන් මහත්තයාගෙන් හැලෙනවා. ඒක මහත්තයා දන්න නිසයි මිනිසුන්ගේ ජීවන මට්ටම ඉහළ යන පවතින දේවල් නොකරන්නේ. කරතොත් කරන්නේ නොමිලේ ටකරං ටිකක්, උළු ටිකක්, පෑනක්, පැන්සලක් දෙන එක. මේක නිසා ලංකාව එක තැන කැරකෙනවා. මම මේ මිනිසුන්ව දැනුවත් කිරීමට ඔවුන් සමග කතා කලා . නමුත් ඒ අය මට හිනා උනා මම පිස්සෙක් කියල. ඩොක්ටට මගේ තර්කය තේරෙනවද ?
මේ ආරක්ෂාව බලාපොරොත්තු වෙන්නේ දුප්පත් මිනිහා විතරක් නෙවෙයි. විශ්වවිද්‍යාල ආචාර්යය මහාචාර්යවරු හිටං මානසික සුරක්ෂිතතාව හදාගන්න ගුරුකුල බිහිකර ගන්නවා. එතකොට කොන්ද කෙලින් තියාගන්න පුළුවන්, විරුද්ධ අදහස් දරන එවුන්ට මුහුණ දෙන්න. තමන්ගේ ගෝලයෝ දාලා විරුද්ධ අදහස් දරන කෙනාට අපහාසකරන්න පෝස්ටර් ගහන්න පුළුවන්. මේකට හේතුව, තමා පිළිබඳ විශ්වාස නොකිරීම. තමාගේ හැකියාවන් පිළිබඳ තක්සේරුවකට නොඒම. ඒ නිසා ගුරුකුල අවශ්‍යයි. මේ ගුරුකුල හරහා ගෝල පිරිස් ඇති කරන්නේ ශ‍්‍රාස්ත‍්‍රයේ උන්නතියට නොව, තමාගේ ආත්මාර්ථකාමි අභිලාෂයන් මුදුන්පත් කරගන්න. මේවා කරන්න සමාජයේ හරක් වැඩිකර ගැනීම අත්‍යාවශයයි. මොලේ නැති එවුන් හිටපු තරමට වැඩ ගෙනියන්න ලේසියි. ඒ නිසා බුද්ධි වර්ධනයන් ඇතිකරන්නේ නැහැ. පණුවට අඹ ගෙඩිය කුණු වෙන්න කුණු වෙන්න රසවත්. ඒ වාගේ සමාජය කුරුවල් වෙන්න කුරුවල් වෙන්න මේවාගේ ව්‍යාපාර දියුණු වෙනවා.
***********************************
බුදුහාමුදුරුවෝ අත්හරින්න කිව්වා අන්ත දෙකක්. කාමසුඛල්ලිකානුයෝගය, ඒ වගේම අත්තකිලමතානුයෝගය. මම ඉන්දියාවේ බිහාර්වලදී දැක්කා මිනිස්සු දුප්පත්කමින් පීඩා විඳින හැටි. කන්න නැහැ. අඳින්න නැහැ. හොරකම් කරගෙන කන්නවත් දෙයක් නැහැ. ඇට ගැසුණු කෙට්ටු වැරහැලි ඇඳගත්ත මිනිසුන්. ඔවුන්ගේ දෙනෙත්වල අසරණකම, කුසගින්න පිරිලා. කකුල් අතපය වල හොරි , තුවාල , මැස්සෝ පිරිලා. හැමෝටම අත පානවා කන්න යමක් ඉල්ලලා. පාන් පෙත්තක් විසි කරාම එක සියක් විතර රැස් වෙනවා ඒ පාන් කෑල්ල උදුරාගෙන කන්න. පෙරේත ලෝකය වගේ දසුනක් තමයි මම දැක්කේ.
මම කාමසුඛල්ලිකානුයෝගය දැක්කා කැලිපෝනියාවල බෙවර්ලි ස්ටී‍්‍රට් පැත්තේ. මාළිගා වගේ ගෙවල්, දිලිසෙන කාර්, ස්විමිං පූල්, ලස්සනට ඇඳ පැළඳගත්ත මනස්කාන්ත ගෑනු පිරිමි. මේ අය හැම මොහොතේම භෞතික සැප විඳිනවා, නමුත් සිත මොකක්දෝ නොසන්සුන්තාවයකින් පිරිලා. මේ පැති දෙකේම මිනිසුන් නොසන්සුන්. එක අන්තයක දුක වැඩිවෙලා. අනික් අන්තයේ සැප වැඩිවෙලා. ක‍්‍රිස්තුත්වහන්සේ දිළින්දන් භාග්‍යවන්තයන්ය කීවේ ඉන්දියාවේ මම දුටුව හිඟන්නන්ට වගේ අයට නෙවෙයි මගේ හිතේ. ක‍්‍රිස්තුත්වහන්සේ භාග්‍යවන්තයන් කිව්වේ අල්පේච්ඡු ජීවිත ගතකරන පුද්ගලයන්ට. ඒ මිනිස්සු මේ අන්ත දෙකම අතහැරලා මධ්‍යම ප‍්‍රතිපදාවේ ඉන්නේ.
********************
මං ඔපෙරාවලට කැමතියි. චයිකොව්ස්කිගේ ස්වෝන් ලේක්. කේමදාසගේ ඔපෙරාවන් මගේ අභ්‍යන්තර හැඟීම් අවදි කරවනවා. මට මතකයි ඇමොඬේයස් මොසාට්ගේ ෆිගරෝ ඔපෙරා එක දැක්ක අවස්ථාව. තමන්ගේ මංගල රාති‍්‍රයට අවශ්‍ය ඇඳේ ප‍්‍රමාණය ෆිගරෝ මනිනවා. ජීවිතයට මිණිතයක් අවශ්‍යයි. මම හිතන්නේ ෆිගරෝගෙන් මොසාට් කියන්න හදන්නේ ඒක වෙන්න ඇති. වඩාත් හිත කැළඹෙන්නේ මොසාට්ගේ පියාගේ මරණය නිසා වරදකාරිබව සංකේතවත් කරන පීතෘ ආගමනය. භයානකයි ඩොක්ට. හදවත කම්පා කරනවා. උච්ච සංගීතයත් සමඟ මියගිය පියා නැවත පැමිණෙනවා. මොසාට් වගේ දක්ෂයෙක්ව ඇන්ටෝනියෝ සැලියේරි අකාලයේ මරා දැම්මේ ඇයි කියලා හිතන්න පුළුවන්. ඊර්ෂි්‍යාව. සැලියේරි මොසාට්ව අගය කළා. රහසින් ඒ වගේම මොසාට්ගේ දක්ෂතාවලට ඊර්ෂි්‍යා කළා. තමා ගැන ආත්ම අනුකම්පාවෙන් පෙළුනා. මොසාට් ණය තුරුස් වෙනකොට, බේබද්දෙකු වාගේ වයින් බොනකොට සැලියේරි සතුටු වුණා. ඒත් මොසාට්ගේ මරණයෙන් පසු සැලියේරි සන්තෝෂ උනාද? නැහැ. සැලියේරි මුළු ජීවිත කාලයම විඳවැව්වා. ඒ අතින් බලනකොට මොසාට් වාසනාවන්තයි. ජීවත් වුණේ කෙටි කාලයයි. ඒ කාලය තුලදී අමරණියත්වයට පත් වුණා.
*********************** *******
ඔබතුමා බෞද්ධයෙක්. ඔබතුමාගේ දර්ශනය අනුව කි්රස්තියානි, හින්දු, ඉස්ලා ම් ආගම් අදහන් පිරිස් මිථ්‍යා දෘෂ්ඨිකයෝ. ඒ අයට ඔබතුමා මිථ්‍යාදෘෂ්ඨිකයෙක්. අපට ආගම් ලැබුණේ දෙමාපියන්ගෙන්. පොඩිකාලයේ ඉඳලාම අපට වන්දනා කරන්න උගන්වපු සාත්තුවරයාව එහෙමත් නැත්තං පිළිරුවට අපි වඳිනවා. විශ්වාසය පුදනවා. අපි බොහෝ දෙනෙක් හිතන්නේ අපි අදහන ආගම හරියි කියලා. අන්ධ භක්තිය නිසා හරි, බය නිසා හරි, අපි අපි අදහන ආගම් ප‍්‍රශ්න නඟන්නේ නැතුව භාර ගන්නවා. තවත් සමහරු ආගම් නිසා ඔළු පලාගන්නවා. මිනී මරාගන්නවා. ඇයි මෙහෙම විකාර කරන්නේ. ඇයි අපට බැරි ළමයින්ට පොදුවේ ආගම් ගැන කියලා දීලා, ළමයින්ගේ විචාර බුද්ධිය මොට නොකර ඒ අය තව ටිකක් මනසින් මෝරපුහාම, ඒ අයට තර්කානුකූලව හිතලා බලලා ආගමක් අදහන්න මාර්ගය පාදලා දෙන්න. එහෙම වුණොත් තමයි අපට හිරු එළිය වගේ සත්‍ය දකින්න පුළුවන්. නැත්තං අපි අන්ධයෝ වගේ අඳුරේ අතපත ගානවා. එක අතකට බලනකොට අපි ඔක්කෝම ලියෝ පෝල්ඞ් මැසෝක්ගේ සවරින් චරිතය වගේ. වොන්ඩාගේ හිංසනයට ලක්වෙන්නේ කැමැත්තෙන්මයි. හිතාමතාම කැමැත්තෙන්ම දුක් පීඩාවලට ලක් වෙනවා. මෙම පීඩන වෙනස් කරගන්න ශක්තියක්, හැකියාවක් තිබ්බත් ඒකට උනන්දුවක් කැමැත්තක් නැහැ. ඇයි මොකටද අපි මහන්සි වෙන්නේ. මෙහෙම හොඳා කියන ආකල්පයි අපි හැමෝම ළඟ තියෙන්නේ. බලනකොට මේ සමාජයේ තියෙන්නේ අන්ත දෙකයි. අපි එක්කෝ මිටිය වෙන්න ඕන. නැතිනම් කිණිහිරය වෙන්න ඕන. මිටිය වෙච්චි පුද්ගලයෝ දෑත බදං පහර දෙනවා. එතකොට කිණිහිරය කිසිම මැසිවිල්ලක් නැතුව පහර කනවා. මේකයි යථා ස්වභාවය.
මේ තත්වය වෙනස් කරන්න කාටවත් බුද්ධියක් අවශ්‍යතාවයක් නැහැ. ඒත් ඉඳලා හිටලා වචනයක් දෙකක් කියනවා. හරියට මැතිවරණ කාලෙට විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් බලයට එන්න පුළුවන් පක්ෂයට සහාය පළ කරලා අත්සන් එකතු කරගෙන පත්තර දැන්වීම් දානවා වගේ. මතුපිටින් අතගානවා විතරයි. ඵලදායි විසඳුමකට යන්නේ නැහැ. හරියටම බලනවානම් මතුපිටින් අතගෑම ලේසියි. ඇයි ගැඹුරු විෂ්ලේෂණයකට යන්නේ. අපි කවුරුත් ඒකට කැමති නැහැ. වඩාම ලේසි, වඩාම ලාභදායක ගිවිසුම් වලට අපි යනවා. ජීවිතේ යථාර්ථයට පිටුපානවා. මතුපිටින් අතගාන ජීවිත. ගැඹුරක් නැති, අර්ථයක් නැති, දර්ශනයක් නැති ජීවිත.
චිකාගෝවල කොස්කොව්ට මීට වඩා පළල් දර්ශනයක් තිබ්බා. දැන් මගෙන අහන්න එපා කොස්කොව් කියන්නේ කවුද කියලා. හොඳයි මම යන්තම් කියන්නම්. කොස්කොව් එක්තරා විදිහක හොරෙක්. අහිංසක යහපත් හොරෙක් කිව්වානම් වඩාත් නිවරදියි. ඉපදුනේ යේකැතරින්බුර්ග්වල. ඉගෙන ගත්තේ ස්වෙර්ද්ලෝව්වල. බර්ලින් තාප්පය හරහා ජර්මනියට ආවා. ඒ වෙනකොට ජර්මනිය එක්සත් වෙලා. කොස්කොව් මියුනිච්වල කබල් හෝටලයක නැවතිලා හිටියේ වැඩිපුරම කෑවේ අර්තාපල්, ලිංගුස් හා තක්කාලි. ජර්මන්කාරයන් බියර් බොන ලොකු මග්වලින් බියර් බිව්වා. මිනිහා ජර්මන් ගෑනියෙක් එක්ක යාළුවෙලා හිටියා. ඒ අම්මණ්ඩිගේ පයෝදර විශාලයි. තට්ටම් දෙක විල්බැරැුක්කයක දාගෙන යන්න තරම් ලොකුයි. දෙන්නා එකට බියර් බොනවා සොසේජස් හප හපා. කොස්කොව් කෙට්ටුයි උසයි. ඒ වුණාට මිනිහා ගෑනිට වඩා කනවා බොනවා. කොස්කොව් බියර් බොන ගමන් සවිදිය පුරනවා. ඩොක්ට දන්නවානේ රුසියන්කාරයෝ සව්දිය පුරනකොට කියන්නේ මොකක්ද කියලා. ප‍්‍රන්සකාරයෝ කියන්නේ සොන්ටේ. රුසියන්කාරයෝ කියන්නේ නාස් දරෝවිය. කොස්කොව් බියර් ඔඩම උස්සලා කෑගහනවා. නාස් දරෝවිය කියලා. එතකොට ජර්මන් ගෑණි කියනවා මන්ලීහර්... මන්ලීහර් කියලා මම හිතන විදිහට මන්ලීහර් කියන්නේ ජර්මන් අත් තුවක්කුවක නමක් වෙන්න ඕන.
එතකොට කොස්කොව් බැරෑරුම් විදිහට හිටගන්නවා. දෙපා ළං කරගෙන සීරුවෙන්. ඒ පාර කොස්කොව් දකුණු අත උස්සලා කියනවා හයිල් හිට්ලර් කියලා. එතකොට ජර්මන් ගෑනිගේ මූණ අඳුරු වෙනවා. දිමිති‍්‍ර (කොස්කොව්ගේ මුල් නම දිමිති‍්‍ර කියලා කියන්න මට අමතක වුණා.) හිනාවෙනවා. උඹ වල් ඌරෙක්. ගෑණි කොස්කොව්ට බනිනවා. කොස්කොව් සොසේජස් කටේ හිරකරගෙන හයියෙන් හිනා වෙනවා. මේ විදිහට සන්ධ්‍යාව ගෙවිලා යනවා.
පස්සේ කොස්කොව් බර්ලින්වලට ඇවිල්ලා එතනින් චිකාගෝවලට ගියා. චිකාගෝවලදී මිනිහා ඉන්ෂුවරන්ස් එ්ජන්ට් කෙනෙක් විදිහට වැඩ කළා. ජර්මනියේ හිටියාට වඩා පිළිවෙලට ඇඳුම් පැළඳුම් කතා බහ එහෙම කළා. චිකාගෝවලදී කොස්කොව් යාළුවෙලා හිටියේ නබකොව්ගේ ලොලීටා වගේ ලාබාල කෙල්ලෙක් එක්ක. කෙල්ල බොල්ටිමෝ පැත්තේ. ඒ වෙනකොට කොස්කොව්ට අවුරුදු පනහක් විතර ඇති. ඒත් නාකි ඉලන්දාරියා. ලොලීටා එක්ක ඩියාබ්‍රෝ ස්ටැලියන් කාර් එකක යනවා. කෑවේ ප‍්‍රන්ස හෝටල්වලින්. මිනිහා බිව්වේ ප‍්‍රංශ වයින් ජාතියක්. ලොලීටාගේ ඉන වටේ අත දාගෙන කොස්කොව් යනවා රටක් රාජ්‍යයක් ජයගත්ත කුමාරයෙක් වගේ. වයින් බොනකොට මිනිහගේ ඇස් පුංචි වෙනවා. වේටර් ඉවතට ගිය හැටියෙම ලොලීටාගේ රතු දෙතොල්වලට ලස්සන චුම්බනයක් දෙනවා. ලොලීටා එක්ක මිනිහා කතා කළේ ප‍්‍රංශ. හැමෝම හිතුවේ කොස්කොව් හැදුනේ වැඩුණේ සෙන් ගඟ අසබඩ කියලා. ඒත් මිනිහා සේකැතරින්බුර්ග්වල ඉවාන් කෙනෙක්. අපේ මට්ටමෙන් හිතනකොට අපිට කොස්කොව්ව තේරුම්ගන්න බැහැ. ඒ ත් මට එකක් ඉඳුරාම කියන්න පුළුවන්. කොස්කොව් අපිට වඩා සතුටින් හිටියේ. මිනිහගේ හිත ස්වයං වරදකාරී බවින් තොරයි. දෘෂ්ඨිය අපිට වඩා පළල්. ජීවිතයේ සතුට හෝ සිත සතුටින් තියාගැනීම වරදක්, පාපයක් හැටියට කොස්කොව් දන්නේ නැහැ.
චිකාගෝවල නාරායන් කියලා කොම්පියුටර් ඉංජිනියර් කෙනෙක් හිටියා. මිනිහා මයික්‍රොසොෆ්ට් එකටත් වැඩ කළා. හරිම පොහොසත්. ඒත් නාරායන් දකිනකොට එකවරම පේනවා මිනිහා ඉන්නේ සතුටින් නෙවෙයි කියලා. සමහරවිට අපි හැමෝටම තියෙන ලෙඩේ නාරායන්ටත් තියෙනවා වෙන්න පුළුවන්. සිතට සතුට දැනෙනකොට ඒක හරහට දැනෙනවා වරදකාරී බවක්. අපට සතුට උරුම නැහැ. සතුටු වුණොත් ඊගාවට වෙන්නේ දුක් වෙන්න. සතුට වරදක්. ඒ නිසා අපි හැම තිස්සේම ඉන්න ඕන දුකක් හිතේ දරාගෙන. මම හිතන්නේ වසර දහස් ගණනක ආසියානු දර්ශනයක් අපේ සිත්වලට කා වැදිලා. අපි ලෞකික සතුටට බය වෙනවා. ඒ ත් කොස්කොව් වගේ මිනිස්සු ලෞකික සතුටට බයක් නැහැ. ඔවුන් ඒ සතුට ආදරයෙන් වැළඳගන්නවා. අපි ඒක දකින්නේ වරදක්, පහත් දෙයක් හැටියට. එතකොට ලෝකෝත්තර සතුට අපි ළඟ තියෙනවාද? ඒ කත් නැහැ. ඇයි අපි අපිටම තහනම් කරපු ලෞකික සතුට දිහා බලලා හූල්ලනවා. අපි මේ ලෝක දෙකෙන් එකකටවත් නැහැ.
************************************
වියනාවේ මගේ ඩොක්ට මාව යොමු කරා මනෝ විශ්ලේශකයෙකු ළඟට. මම ගිය වෛද්‍ය ශනයිඩර් හමුවීමට. මාව යොමු කරා මරියා තේරේසා රැජිනගේ ගේ උඩුකයේ පින්තූරයක් බිත්තියේ ගහලා තිබුණු විශාල කාමරයකට. ඒ කාමරයේ ඕක්වලින් හදපු මේසයක් තිබුණා. ඒ මේසය ලඟ ෆ්‍රොයිඩියානු වර්ගයේ කවිච්චියක්. මම ඒ කවිච්චියේ වැතිරුනා. යටි රැුවුලක් තියෙන මනෝවිශ්ලේෂකයා මගේ ඉහ අද්දර වාඩිවෙලා මට ඇහුම්කන් දෙන්න සූදානම. මම මගේ සිතේ පහළ වෙච්ච සියලූම අදහස්, හැඟීම් සංස්කරණයකින් තොරව විශ්ලේෂකයට කිව්වා. සෑම අදහසක්ම. නිව්යෝක් ටයිම්ස් පුවත් පත අධි වේගයෙන් ලේසර් මුද්‍රණ යන්ත‍්‍ර හරහා තොරතුරු පත්තර පිටුවල සටහන් කරනවා වගේ මගේ මනසේ විවිධ අදහස් සටහන් වුණා. මම ඒවා සියල්ලම බැහැරට ප‍්‍රකාශ කළා. මනෝවිශ්ලේශක හාන්ස් ශනයිඩර් මට සවන් දෙනවා. වියනාවේ ෆ්‍රොයිඩියානු ගුරුකුලයෙන් මනෝවිශ්ලේෂණය හදාරපු වියානා විශ්වවිද්‍යාලයේ එම්.ඞී. උපාධිය ලැබූ වෛද්‍ය ශනයිඩර් මගේ අදහස් දැනටමත් විශ්ලේෂණය කරනව ඇති කියලා මට හිතුනා.
ශනයිඩර් අපි වගේ ආසියාතිකයෝ එක්ක බලනකොට උස මහතයි. රවුම් කණ්නාඩි දෙකක් දාලා හිටියේ. ශනයිඩර් මගෙන් ඇහුවා මම මගේ පියාට වෛර කළාද, පියා මගේ ශිෂ්ණය ෙඡ්දනය කරයි කියලා ළමා කාලයේ බයක් තිබ්බාද කියලා. මේක පොදු බයක් වෙන්න ඕන. තමන්ම කප්පාදු කරයි කියලා මිනිසුන්ගේ හිත්වල අනවතර බයක් තියෙනවා වෙන්න ඇති. අපි බලමු ස්ත‍්‍රී චර්මෙඡ්දනය. සෝමාලියාවේ වාරිස් ඩයරි ලෝකයේ නොම්බර එකේ මෝස්තර නිරූපිකාවක්. වාරිස් ඇත්තටම මේ කටුක අද්දැකීම ලැබුවා. චර්ම ෙඡ්දනයෙන් මොනවද බලාපොරොත්තු වෙන්නේ පවිත්‍රතාව, ආත්ම පවිත‍්‍රකරගත්තා සේ ශාරීරිකවත් නුඹ පවිත‍්‍ර විය යුතුය. ඒ සඳහා නුඹගේ පාපකාරී ඉන්ද්‍රියන් ශරීරයෙන් ඉවත් කරනු. නුඹගේ ඇස නුඹගේ ආධ්‍යාත්මයට බාදාවක් නම් ඇස උගුල්ලනු. භගමනිය නුඹගේ ආධ්‍යත්මය අපවිත්‍ර කරයි නම් භගමනිය කපා දමනු. අධ්‍යාත්මික මාවත පුරන් නොකරගනු.
නමුත් ඇයි අපි ශාරීරික අවයව ඉවත් කරන්නේ. ඉසඩෝරා නලඟන අහපුදේමයි කියන්න වෙන්නේ. මගේ ශරීරයේ එක් අවයවයකට සාපේක්‍ෂව අනෙක් අවයවයට අසභ්‍ය වන්නේ කෙසේද? එක ශරීර අවයවයක් නිසා අධ්‍යා ත්මික මාවත පටු වන්නේ මන්ද? මට පෙනුනේ සිලිම , මනෝ විශ්ලේෂකයාගේ කටහඬ ඇහුනේ සත් සමුදුරින් එහා. ෆ්‍රොයිඩියානු කවිච්චියේ මම ගැඹුරටම කිඳාගෙන ගියා. මම නොකඩවා කතා කරනවා. මගේ කටහඬ මට ඇසෙන්නේ වෙනත් අයෙකුගේ කටහඬින්. මටසිලුටු සොෆාවේ වැතිරී සිටින මම ද්‍රව්‍යාත්මක වෙනස්කමකට ලක් වනවාද ?මගේ ආධ්‍යත්මය ම තුලින් ඉවත් වෙනවාද? මගේ දෙනෙත් වැසි ගියා, කටහඬ මලානික උනා.
ශනයිඩර් මාව විශ්ලේෂණය කළා. මම දන්නේ නැහැ ශනයිඩර්ගේ විශ්ලේෂණය කොච්චර දුරකට හරිද කියලා. සමහරවිට විශ්ලේශකයා විශ්ලේෂණය වන්නා අතින් විශ්ලේෂණයකට ලක් වෙන්න පුළුවන්. විශ්ලේෂණය තුළින් සත්‍ය සොයා ගන්න පුළුවන්ද? ෆ්රවුලීන් ඇනා ඕ පිලිබඳ සත්‍ය ෆ්රොයිඩ් සොයාගත් ද ? ඇනා ගේ මනස විශ්ලේෂණය
උනාද ? විශ්ලේෂණය උනේ විබණ්ඩනයට ලක් කිරීමෙන්ද ?
**********
මම ඉපදුනේ මන්ද? විශ්වයේ සිදුවූ තවත් අහඹුවක් නිසාද ? මම ජිවත් විය යුත්තේ ඇයි ? මගේ ජිවිතයේ පරමාර්ථය කුමක්ද? මගේ මුළු තරුණ කාලයම ගත උනේ මේ ගැටළු වලට පිළිතුරුසොයාගැනීමට. මගේ තරුණ කාලය වල්මත් එකක් වෙන්න ඇති. මම සොයා ගියේ බොහිමියානු දර්ශනයක් වෙන්න පුළුවන් , එහෙත් සංස්කෘතික බැමි සමාජ පීඩන මත මගේ ගමන සීමාවෙන්න ඇති. වුඩ්ස්ටොක් තරුණයන් වගේ අපිට ඒකායන අරමුණක් සංවිධානයක් තිබුනේ නැහැ. අපි ඔහේ පාවෙලා ගියා. අතරින් පතර සමාන සිතුම් පැතුම් තිබෙන අය හමුවුණා. ඒ වගේඅවස්ථාවල අදහස් හුවමාරු කරගත්තා. නමුත් සංවිධානාත්මක ස්වරුපයෙන් අපි එක්කාසු උනේ නැහැ. ඒ නිසා අපි අතර වේගවත් සනිවේදනයක් අදහස් වර්ධනයක් ඇති වීම පමා වෙන්න ඇතිකියලයි මට හිතෙන්නේ. අපි හැකි පමණ අවස්ථා වලදී සකච්ඡා කළා. අපි කුඩා කණ්ඩායමක් හදා ගත්තා. අපේ කණ්ඩායමේ හිටපු සමහරු කිව්වා අපි බිට්ල්ස් ලා පසු පස යා යුතුයි කියලා. ඔවුන්පෙන්වා දුන්නේ අපි ආගම කර ගත යුත්තේ බිට්ල්ස් සංගීතය බව. මෙහිදී ගැටලුවක් අවා අපි කොහොමද සංගීතයක් ආගමක් බවට පරිවර්තනය කර ගන්නේ කියලා. එහෙත් පිළිතුරක් තිබුණා.ඒක පෙන්නා දුන්නේ කානි. කානි කිව්වා භාව ගීතය අපි යොදාගමු කියලා සංගීතය ලෙස. ඒ සඳහා ඔහු නිදසුනක් දුන්නා. ඔහු යෝජනා කලේ ජෝජ් හැරිසන් ගායනා කරන මයි ස්වීට් ලෝර්ඩ්ගීතයයි. මේ ගීතයට කානි ආදී යන්න හේතු කීපයක් තිබුණා. එකක් තමයි ජෝජ් හැරිසන් මේ ගීතය මගින් වන්දනය කරන්නේ හින්දු දෙවියෙක් වන ක්රිෂ්ණා ව. කානි උප්පතියෙන්ප්රොතෙස්තන්ත නමුත් ඉන්දියාවට ගිය ගමනකදී හින්දු ආගම වැළඳගෙන තිබුනා. ක්රිෂ්ණා සියළු සත්වයාගේ ජිවන සාරය වන අතීතය, වර්තමානය හා අනාගත කාලයන්හි පාලකයා. ක්රිෂ්ණා පෙනී හිටින්නේ බටනලාවක් ගත කුඩා ළමයෙක් ලෙසට. කානි ශරීර ප්රමාණයෙන් කුඩයි. බටනලාව වෙනුවට නිතරම තිබ්බේ ගිටාරය. නමුත් සංගීත ආකෘතියෙන් කතා කරන විට ඒ දෙක අතරදැඩි වෙනසක් නැහැ. කානි කිව්වා ක්රිෂ්ණා අප සැමගේ පරම මහෝත්තම කියලා.
ක්‍රිෂ්ණාට නම් රාශියක් තියනවා. ඔහුට තියන නම් අතරින් පඬුරංග, පරතසාරතී, වාසුදේව , ගොවින්ධ හෙවත් ගවයන් සොයා දෙන්නා , ගෝපාල හෙවත් ගවයන්ගේ ආරක්ෂකයා යන නම් ප්‍රධානයි. ක්‍රිෂ්ණා ජගන්නාථ හෙවත් විශ්වයේ අධිපතියා. කානි ක්‍රිෂ්ණා භක්ති ව්‍යාපාරයට ඇදී ගියා. කානි ඉපදුන්නේ අයර්ලන්තේ වෙක්ස්ෆොර්ඩ් වල. ලිවර්පූල් වලබිට්ල්ස් ප්‍රත්‍යානයනය ඔහුට තදින්ම දැනුනා. ඔහු මුලින්ම ගියේ හිපි ව්‍යාපාරයට . අනෙකුත් හිපි තරුණ තරුණියන් මෙන් ඔහුත් වැඩිහිටි පරම්පරාවට දෝෂාරෝපණය කළා මහා යුද්ද දෙකක්මේ කොළ ග්‍රහ ලෝකයේ සිදු වීමට ඉඩ සැලසීම ගැන. ඔවුන් වැඩිහිටි පරම්පරාව විශ්වාස කලේ නැහැ. කානි ඉන්දියාවට වාර දෙකක් ගියා. එහිදී තමයි ඔහුට ක්‍රිෂ්ණා ගැන දැනගන්නේ. ඔහු යලි වෙක්ස්ෆොර්ඩ්වලට එනකොට අධ්‍යාත්මික විපර්යාසයකට මුහුණ දීලා. කානි ක්‍රිෂ්ණා ගැන භාජන ගීත ගයනා කිරීම නිතරම කළා. ඔහු ගිටාරය ගෙන ජෝජ් හැරිසන් කියන ස්වීට් ලෝර්ඩ් ගීතය වාදනය කළා. ගීතය අවසන් වූ වහාම මොලී සහ බියන්කා කානි ගේ දෙපා සිඹිනවා , ඔහු ශුද්ධත්වයට පත් වූ මිනිසෙකු ලෙසට. ඔවුන් කානි ව වන්දනා කළා මනුෂ්‍ය දෙවියකු ලෙසට. කානි තමයි ඔවුන්ගේ අධ්‍යාත්මික ගුරු.
මොලීආවේ මිඩ්ලන්ඩ් වලින් , බියන්කා අප්‍රිකානු ඇමරිකානු සම්භාවයකින් යුත් තරුණියක්. ඔවුන් දෙදෙනා එකවගේ කානිට ආදර බුහුමන් කළා. දෙදෙනා අතර තරඟයක්, මාත්සර්ය්‍යයක් තිබුනේනැහැ. ශ්‍රී ජයදේවයන්ගේ ගීත ගෝවින්දය ක්‍රිෂ්ණා වර්ණනාව ගැන සඳහන් වෙනවා. කානි ළඟ ගීත ගොවින්දයේ පිටපතක් තිබුනා. ග්‍රීෂ්ම ඍතුවේ සඳ පැය ඇති දවස් වළ ඔහු බියන්කා සහමොලී දෙපස තබාගෙන ගීත ගොවින්දයේ කාව්‍ය වර්ණනාවන් කියවනවා. එය අසා සිටීමට ඉතා මිහිරියි. ඔහු ඒ දෙදෙනා සමග ලිංගිකව හැසිරුනා කියලා මම දන්නවා. ඔහු ඒ දෙදෙනාව ශුද්ධත්වයට පත් කිරීමට ඔවුන්ගේ ගර්භාශයන්ට ඔහුගේ රේතස ඇතුල් කළා. ඔවුන් දෙදෙනා තමයි ඉන් පසු ඔහුගේ අග්‍ර ශ්‍රාවිකාවන්, ඔහුගේ අපෝස්තල්වරු ලෙස ක්‍රියා කලේ. ඔහු නිතරම ඔවුන් සමග යහනේ සිටියා, තිදෙනාම නිරුවතින්. කානි තුලින් ඔවුන් දුටුවා දෙවන ආගමනය. ශුද්ධ වූ පරමාත්මය ඔවුන් සෙව්වේ කානි තුලින්. මෝක්ෂය ලැබීමට දිනපතා ඔවුන් කානි සමග එක උණා. ඔවුන් ආත්ම ගවේෂණය කලේ මනෝභ්‍රමික ඖෂධ මගින්. දුමාරය හෝ නහර ගත කරන සමාසය හරහා ඔවුන් ද්‍රව්‍යාත්මක ශරීරය අත් හැරලා දිව්‍යමය ශරීරය එක්ක නභෝගත අවකාශයේ සැරිසරනවා. එවිට ඉන්ද්‍රිය චාලක සංවේදනයන් ඌන වෙනවා. ශරිරය පිලිබඳ සංවේදනය ඇත්තේම නැහැ. වේදනාවක් දැනෙන්නෙම නැහැ. ශරීර පුළුන් රොදක් සේ සැහැල්ලුයි. ඔවුන් එකට කිව්වේ ආත්ම විශුද්ධිය කියලා. ඔවුන් කාලය සහ අවකාශය අතර පාවී යනවා. තිදෙනාම එකම අධ්‍යාත්මික අවකාශයක සැරිසරනවා බාහිර ලෝකයේ අගාරික ආශවයන් නොතකා. ඔවුන් තිදෙනා ආශක්තව සිටිනවාතමන්ගේ ලෝකය තුල.
කානි ගයනා කරපු ජෝජ් හැරිසන් ගේ ස්වීට් ලෝ ර්ඩ් ගීතය මට දැනුත් ඇහෙනවා. සවන් දෙන්න.
Hm, my lord (hallelujah)
My, my, my lord (hare krishna)
My sweet lord (hare krishna)
My sweet lord (krishna krishna)
My lord (hare hare)
Hm, hm (Gurur Brahma)
Hm, hm (Gurur Vishnu)
Hm, hm (Gurur Devo)
Hm, hm (Maheshwara)
My sweet lord (Gurur Sakshaat)
My sweet lord (Parabrahma)
My, my, my lord (Tasmayi Shree)
My, my, my, my lord (Guruve Namah)
My sweet lord (Hare Rama)
ඔහුගේ ගිටාරය දිගටම වාදනය වෙනවා . කානි ගේ දිග රැවුල , කාන්තිමත් දෙනෙත් , මොලී ගේ සහ බියංකා ගේ කිංකිනි නාදයන් මගේ මතකයට එනවා. ඔවුන් තිදෙනා ආත්ම විමුක්තියසොයාගෙන පසුකාලයක නේපාලයට ගියා. නේපාලයේ බටහිරයන්ගේ මත්ද්‍රව්‍ය ක්ෂේම භූමියේදී කානි හෙරොයින් වලට ඇබ්බැහි උණා. හෙරොයින් ශිරා ගත කිරීමට නහර සොයා ගැනීමටනොහැකිව මුහුණට සහ දිව යටට පවා ඔහු හෙරොයින් එන්නත් විදගෙන තියනවා. එක දිනක් කානි හෝටල් කාමරයේ කිළුටු පොලව මත වැතිරී සිටියාලු. ඔහුගේ ආත්මය ජිව ශරීරය හැරගොසින්. ඔහුගේ ඉදිමි ගිය මුහුණ නිසා මළකඳ හඳුනා ගැනීමට පවා නොහැකි වෙලා. බියන්කා ඇමරිකන් සංචාරකයෙකු සමග හාද වී ඔහු සමග ගියාලු. මොලී මට මුණ ගැසුනේ වසරගානකට පසු ඒ වෙනකොට ඇය මත්ද්‍රව්‍ය පුනරුත්තාපන රෝහල් වල ඉඳලා අවසානයේ මිඩ්ලන්ඩ් වල මෙපල් වූඩ් මානසික රෝහලෙන් බාහිර ප්රතිකාර ගන්නවා. මට ඇයව එකපාරටමහඳුනාගන්නත් අමාරු උණා. මුහුණ ඇදිලා ගිහිල්ලා , අර ලස්සන තඹ කොණ්ඩය ඉදිලා ගිහිල්ලා. ඇය මා දුටු විගසම ඇයගේ කරේ තිබ්බ යකඩ කුරුසය අතට ගත්තා. යේසුස් ව විශ්වාස කරනු , සහ ඔහුගේ මාංශය වළඳනු ,ඔහුගේ රුධිරය පානය කරනු. ඒ මගින් තමයි නුඹට ආත්ම විමුක්තිය ලැබෙන්නේ කියා පැවසුවා.
මම කිසිවක් කිව්වේ නැහැ. නොයෙකුත් අංශ වලින් ආත්ම විමුක්තිය සොයාගෙන ගිහිල්ල අතරමං වූ ජිවිත. මම ඇයගෙන් සමුගෙන ගියා. පස්සේ කාලයක නන්දා මාලිනියගේ ක්රිෂ්ණා ගීතයඇසෙන කොට මට මට කානි , මොලී සහ බියන්කා සිහියට එනවා.
නළලත බබලන සඳන තලාවයි
සිරුරට ඝන නිල් මේඝ වළාවයි
මානස විල මැද රණ තිසරාණනි
වෘන්දා වනයේ වසන්තයයි
ක්රිෂ්ණා....ක්රිස්ණා.....ක් රිෂ්ණා
කානි අද ජිවතුන් අතර නැහැ. ඔහුගේ මරණය මා තුල ඇති කලේ ශූන්‍ය හැඟීම්. මරණය මේ සියලු දෑ ගේම අවසානය නේද ?
මට මතක් වෙනවා බණ්ඩරී නැන්දාගේ මරණය. ඇගේ මරණයට පුංචි රාළ මාමා දැක්වූ ප‍්‍රතිචාරය. ගොවීන්ගේ වේදනාව , ධනේෂ්වර රාජ්‍ය තන්ත්රය, පරිපාලකයන් හා ඔවුන්ගේ ඊනියා නීති රීති. ගොවීන්ව සැමදා පීඩනයේ වියගසට බැඳ තබන දේශපාලක සහ ඔවුන්ගෙන් යැපෙන සහචර පලිබෝධකයන්. මේ මජර පර්යාය පවත්වාගෙන යාමට උපක ාර වෙන සහ ඊට ආවඩන ගුජුප්සාජනක භික්ෂු පැලැන්තිය අතර පවතින පරස්පර විරෝධි එකමුතුව. මේ පරස්පර විරෝධි එකමුතුව අපේ ජීවිත වටාත් වෙලිලා තියෙනවා. අපි ඔක්කෝම වප් මඟුලට ගෙන ආ සර්ව පිත්තල ප‍්‍රදර්ශන භාණ්ඩ. අපිට ජයරත්නලා, පුංචි රාළළා, ගුණීලා , අංගෝ නැන්දලා මේ හැමෝම සර්ව පිත්තල කඩතුරාවෙන් පේන්නේ නැහැ. ඒ ගොල්ලෝ හැබෑ ලෝකෙම දියවෙලා ගිහිල්ලා. ඔවුන්ගේ භෞතික සහ අධ්‍යාත්මික ලෝක ක්ෂීණ වී ගොසින්.
සවුත් ඩැකෝඩාවල සූරියකාන්ත මල් පිපුණු ගොවිපළ හා ඩෙනිම් කලිසමෙන් සැරසුණු ගොවියා වප් මඟුලේ ගොවියාට වඩා කොච්චර වෙනස්ද? ඔහුගේ ශරීරය පුෂ්ටිමත් . මන්දපෝෂණය අහලකවත් නැහැ. ෆෝඞ් ට‍්‍රැක්ටර් එකකට නැගලා අක්කර විශාල ගණනකින් යුක්ත ගොවිපළ හානවා. ගොවියා, ගෙවිලිය , ගොවිපළ, ඩැල්මේෂන් බල්ලා. අපි හතු හැඩයට හදලා තිබ්බ ලී ආසනවල වාඩිවෙලා හැවිනා එක්ක ස්පාඤ්ඤ වයින් බෝතලයක් බිව්වා. ශීතත් උෂ්ණත් නැති සනීප හුළඟ. සූරියකාන්ත මල්. කිලෝ මීටර් දෙකක් විතර දිග ලී කණුවලින් තැනූ වැට. පිකප් රථය. මම ඩේව් දිහා බැළුවා. තෘප්තිමත් ගොවියෙක්. මට වප් මඟුල මතක් වුණා. පුන්චිරලා මාමගේ හකු ඇට පැදුණු මුහුණ. කෙරන් අපිට ඉතාලි ක‍්‍රමයට හදාපු මාළු පිඟානක් ගෙනාවා.
කෙරන් ගේ රන් පැහැති කොණ්ඩය. මට බණ්ඩරී නැන්දාගේ අව්වට කරවෙච්ච මුහුණ මතක් වුණා. අපි ගිනිමැලය වටේ එකතුවෙලා සින්දු කිව්වා. ඩේව් ගිටාර් එක වයමින් ඩොන් විලියම්ස්ගේ සින්දුවක් කිව්වා. කෙරන් තාලය ඇල්ලූවා. මම ඔවුන්ට ජෝන් ඩෙන්වර්ගේ ඇනීස් සෝං ගීතය තිළිණ කළා. විදේශීය උරුවකින් කියන ඇනීස් සෝං ඔවුන්ව කුල්මත් කරන්න ඇති. මට පාළුවක් දැණුනා. මට ගුණරත්බණ්ඩයියා මතක් වුණා. මට මහා පාළුවක් දැනුනා. මගේ අධ්‍යාත්මය හඬා වැටෙනවා. මම ගිනි මැලය ළඟින් ඉවත් වෙලා පාර දිගේ තනියෙන් ඇවිදගෙන ගියා. ඩේව් ගේ ඩැල්මේෂන් මගේ පස්සේ ගාටනවා. මගේ උඩ සාක්කුවේ රෝට්ස්මන් පැකට් එකක් තිබ්බා. මම එකක් පත්තුකර ගත්තේ කාන්සි ගතිය නිසයි. මම ඔහේ ඇවිදගෙන ගියා. ඒ පාළු ගතියට මම කවදත් ආසයි. සතුටට වඩා දුක සිතේ පැලපදියන් වෙනවා. පැල් කවියක එන දුක්මුසු රාවය, අමරදේවගේ හඬින් ගයන මහගම සේකරගේ ”මා මළ පසු සොහොන් කොතේ දුක් ගීයක් ලියනු මැනවි.... එතකොට ඒ ගී රාවය යාන්තමින් මට ඇසේවී......” යන හඬ මට ඈතින් ඇසුණා.
මගේ හිතට දුක ගලාගෙන එනවා. ඩොක්ටට මතකද දෙවෙන්දොරා සහ නොරිකො ? දෙවෙන්දොරාට නොරිකො පළමුවෙන් හමුවන්නේ අවන්හලක දී නේද ? මතකද ඒ අවන්හල ? නොරිකො ඒ අවන්හලේ සේවිකාවක්. මතකද ඔවුන් දෙදෙනා කබුකි බලන්න ගිය දවස? ඒ ආදරයට මොකද උනේ ? ඇයි දෙවෙන්දොරා නොරිකො අතහැරලා තෝකියෝ වලින් කියෝතෝ නගරයට ගියේ? දෙවෙන්දොරා සං නොරිකො ගෙන් සමුගන්නා අවස්ථාව මගේ මතකයට ආවා. මේ සිදුවීම් මට චිත්රපටයක් වගේ මැවී පේනවා. මට අමතක කරන්න බැහැ මේ සිදුවීම්. කියෝතෝ නගරයේදී දෙවෙන්දොරා ගණිකාවක් සමග එක් වීම මතකයි නේද? . කායික තෘප්තිය මගින් ප්‍රේමය යටපත් කිරීම. එය කල හැකි දෙයක්ද ? අවසානය ළඟ වෙලා. මළවුන්ගේ අවුරුදු දා දෙවොන්දරා සං සියදිවි නසා ගත්තේ ඇයි කියලා මට තේරුම්ගන්න බැරි උණා. නොරිකො දෙවෙන්දොරාව පවුලේ සුසන භුමියේ මිහිදන් කරනවා. පොලව යටට ගියේ දෙවෙන්දොරා ද ? නැතහොත් මමද ? නොරිකො දෙවෙන්දොරා සංගෙ මතක සමඟ ගෙවන ජීවිතය ගැන මගේ හිතට දැනෙන්නේ දුකක්, කම්පනයක්, පාළුවක්. හරියට ගරා වැටුන ගෙයක දොර හෙලවෙනකොට නැගෙන මුසල හඬ වගේ. අහස අඳුරුයි. එක තරු කැටයක්වත් අහසේ නැහැ. මුළු පරිසරයම මලානික වෙලා. මහපොළව ඉකිබිඳිනවා. හමන සුළඟ ඒ ශෝකී රාවය සෑම දිශාවකටම ගෙන යනවා. මිය ගිය පෙම්වතා ගැන මතකය , අතීතයක් පමණයි ඉතිරිව ඇත්තේ. හරියට ඔලිවර් ගොල්ඩ්ස්මිත්ගේ දුක්මුසු කවියක වගේ.
දහසක් ලෙඩුන් මිය ගිය මේ ඇඳ මත මම වැතිරී හිටියා. මගේ ශරීරය කෙට්ටු වෙලා. ඇටකටු ගොඩක් වගෙයි. දුෂ්කර කි‍්‍රයාවේ යෙදුණු සිදුහත් කුමාරයාගේ නැත්තම් බෙල්සන් කඳවුරේ යුදෙව්වෙකුගේ වාගේ. කරාතියෙව්ගේ අවංක හිත, ලෙවින්ගේ වෙහෙසට පත් නොවන දෑත්, මොනාලිසාගේ දෑස්, මික් ජගර්ගේ දෙතොල්, ට්රැවොල්ටාගේ කොණ්ඩය, මේ සියල්ලේම සංකලනය මගේ දෑස් ඉදිරියේ මැවුණා. මොහොතකදී මහා ධාරානිපාත වර්ෂාවක් එක්ක විදුලි කෙටුවා. දෑස් නිලංකාර වුණා. අඳුරු අහසේ කඩතොළු ආකාරයේ ඉරි වරින් වර මතුවුණා. මහා වර්ෂාව එක්ක විශාල සුනාමියක්. ජල කඳ පොල්ගස් තුන හතරක් උසයි. මහා තාප්පයක් නැත්තම් ප‍්‍රාකාරයක් වාගේ. ගෙවල් දොරවල් යටකරගෙන ජල කඳ ගලාගෙන ගියා. පොළවේ ගලාගෙන ගිය මුහුදු ජලය යළිත් මුහුද කරා ඇදී ගියා. අහස එළිය වුණා. වර්ෂාව නැවතුණා. සියල්ල සන්සුන්. යළිත් වරක් සූරියකාන්ත මල් පිපුණ ගොවිපළ මගේ දෑස් ඉදිරියේ. මම දැක්කා පිණි මුවෙක්. මට දුකක් හිතුනා ඩේව් ඌව වින්චෙස්ටර් රයිෆල් එකෙන් බිම දායිද කියලා. ඩේව් තුල දඩයකරයෙකුත් ඉන්නවා.
ඩේව් රයිෆලයෙන් ඉලක්කය ගත්තා. මම දුටුවේ ඩේව් නොවේ මයිකල් ව්රොන්ස්කි. ඔහු පැමිණියේ වියට්නාමයේ සිටයි. ඔහු තුල පුර්ණ පෞරුෂ වෙනස්වීමක්. වියට්නාමයට යාමට පෙර ඔහුට මුවා එක වෙඩි පහරින් බිම දාන්න පුළුවන්. ව්රොන්ස්කි මුවට ඉලක්කය ගන්නවා , ලා තණපත් කමින් සිටි මුවා හිස ඔසවා ව්රොන්ස්කි දෙස බැලුවා. ව්රෝන්ස්කිගේ දබර ඇඟිල්ල අක්‍රිය වෙලා වගේ. කොකා තද උනේ නැහැ. මුවා යලිත් තණ කනවා. නැවත වරක් ව්රොන්ස්කි මුවාට රයිෆලය එල්ල කළා. එහෙත් වෙඩිල්ල පිට උන්නේ නැහැ. මුවා සහ දඩයක්කරුවා එකිනෙකා දෙස බලාගෙන සිටිනවා. ටික වෙලාවකින් මුවා කැලය ඇතුලට නොපෙනී ගියා.
මීට අවුරුදු විසි දාහකට ඉස්සර අපි හැමෝම දඩයක්කාරයෝ. අපි සෑම කෙනෙකු තුලම දඩයක්කාරයෙක් ඉන්නවා. සිළිඳුට පිස්සා කිව්වට සිළිඳුත් දක්‍ෂ දඩයක්කාරයෙක්. දඩයක්කාරයා ශ්‍රේෂ්ඨ මිනිහෙක් වනයේ හැඩගැසීම එක්ක ජීවත් වෙන උදාර පුරුෂයෙක්. සිළිඳු බබේහාමිවයි, ප්‍රනාන්දුවයි මැරුවේ නැත්නම් උන් කොහොම හරි සිළිඳුගේ කෙල්ල විනාශ කරනවා. බබුන් හිරේ. කර්ලිනා හාමි වයසයි. සිළිඳු කලේ කෙල්ලව බේර ගන්න එකද ? ජීවිතය ගලායනවා. නිරීක්‍ෂකයෝ බලාගෙන ඉන්නවා. මම දඩයක්කාරයා වගේ ජීවිත අරණෙත් සක්මන් කරනවා. තඩි පර්වතයක් වගේ උස මහත ගෝමරී පොඩිකන්දයා, රං කිරි මේ ඔක්කොම පිරිවරාගෙන මම කස්තුරි මුවාව හොයනවා. දඩයක්කාරයා ගමේ මිනිස්සුන්ට වඩා හොඳයි. මිනිස්සු කුහක උපාසකයෝ. දඩයක්කාරයාට පවුකාරයා කිය කියා ඌ වෙඩි තියල ගේන දඩ මස් තළු මර මරා කනවා.
*******************************************
අපගේ ජීවිතයත් හරියට රෙස්ලිං වගේ, හැම දෙයක්ම තීරණය වෙලා ඉවරයි ජයග්‍රාහකයා කවුද පරාජිතයා කවුද කියලා. පරා භෞමිකයන්ට එහෙමත් නැත්තං Extra Terrestrial වර්ගයාට මිනිස් ශරීරය තුළට, මොළයට කා වැදිලා විධානා දෙන්න පුළුවන්. මට හිතෙන දේ කියන කියන දේ කරන දේ තීරණය කරන්නේ ආලෝක වර්ෂ දහස් ගණනක් ඈතින් ඉන්න පාරා භෞමිකයෙක්.
(මානසික රෝගියාගේ පරිකල්පනය)
මෙතන භාජන කියන්නේ භජන් වලට නේද?
ReplyDeleteපෙරටුගාමී පක්ෂයෙන් පල කල හිස්ටිරියාව පොත ඔබ කියවා තිබෙනවද? මේ මානසික විශ්ලේෂණයන් ගැන මේ විධිහට (වෙන පොත් තිබ්බ) මුලින්ම ලංකාවට හඳුන්වා දුන්නේ x කණ්ඩායම හා පසුව පෙරටුගාමී (සමාජවාදී අය නොවේ) පක්ෂය විසින්. ඔබේ ලියවිලි වල මම දකින්නෙත් එවන් විශ්ලේෂණයක්. බොහොම හොඳයි.
අජිත් මේ පොත ලියන්න අදහස ඇතිවෙන්නේ කෝට්ස්විල් රෝහලේ මම ගත කරපු කාලයේ. ඒ ගැන මානසික රෝගියාගේ පරිකල්පනය පොතේ ලියවිලා තියෙන්නේ මෙහෙමයි.
Deleteමනෝ භරාේ න්තීන් අත්විඳින මානසික රෝගීන්ගේ මනැස් තුළ කවර ආකාරයේ වියෝජනයක් සිදු වන්නේ දැයි වරක් ෆිලඩෙලිපියාවේ කෝට්ස්විල් මනෝ පරි ලතිකාර රෝහලේ සායනික මනෝ විද්යාාඥ එමී විල්ස් සමඟ මා ගැඹුරු සංවාදයක යෙදුනෙමි. එම මානසික පරෝහලතිකරිාර යාවල මනෝ රසායනික පාර්ශ්වය මෙන්ම දාර්ශනික පාර්ශ්වයද අපගේ විමසුමට ලක් වූ බව කිව යුතුය. වින්සන්ට් ලංකාතිලක යනු හුදු මනඃකල්පිත චරිතයකි. එම චරිතය වඩාත් සංකීර්ණව ගොඩ නගා ගැනීමට මට ආචාර්ය එමී විල්ස්ගේ සංවාදය උපකාරී විය. එම සංවාදය විසින් ඇති කරන ලද බුද්ධි කලම්බනය වින්සන්ට් ලංකාතිලක චරිතය නිර්මාණය කරන ලදී.
ලංකාවට ගිය වෙලාවක පොත ගන්න බලන්නම්.
DeleteThanks.
Delete