Monday, December 29, 2014

හැමන් හිල් සිර කඳවුරේ කතාව



හැමන් හිල් සිර කඳවුරේ කතාව 

වෛද්‍ය රුවන් එම් ජයතුංග  
  
 රෝහණ විෙජ්වීර නිදහස් කර ගැනීම සඳහා පියතිලකගේ නායකත්වයෙන් 500ක පිරිසක් යාපන බන්ධනාගාරයට එවන ලෙස ලාල් සෝමරසිරි අත යැවූ පණිවඩය පිළිබඳව විවිධ මත ඇතත් බර්ටි රංජිත්ගේ නායකත්වයෙන් යාපනය සිර ගෙදරට එල්ල කළ ප්‍රහාරය පිලිබඳව විස්තර ලබා ගැනීම සඳහා මෙම ප්‍රහාරයට සම්බන්ධ වූ පුද්ගලයන් සොයා ගැනීමට මම උත්සුක වූයෙමි. එම ප්‍රහාරයෙන් වසර 37 පසුව ඉතිහාසය හෑරීම අතිශයින්ම දුෂ්කරය. එම ප්‍රහාරයට සම්බන්ධ වූ ඇතැමෙකු අද ජීවතුන් අතර නැත. සමහරෙක් පිටරට ජීවත් වෙති. ලංකාවේ සිටින අය පවා නිහඩතාවය රකිනු මිස ඒ පිළිබඳව කථා කිරීමට එතරම් රුචියක් නොදක්වති. එවැනි වාතාවරණයක් යටතේ යාපනය හිරගෙදරට ගිය ගමන පිලිබඳව තතු පැවසීමට පුද්ගලයන් කිහිප දෙනෙකු ඉදිරිපත් විය.

මුලින්ම මගේ සම්මුඛ සාකච්ඡාවට ලක් වූයේ විෙජ්විර මුදා ගැනීම සඳහා ගිය විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසකගෙන් එක් අයෙකි. වර්තමානයේ නිතිඥයෙකු වන වනිගබදු ය. එදා යාපනයට ගිය ගමන ගැන ඔහු මට කරුණු හෙළි කලේ මෙලෙසටය.

zවිද්‍යෝදය විශ්ව විදයාලයේ ආර්ථීක විද්‍යා උපාධිය හදාරමින් සිටියදී සුනිල් රතනසිරි සිල්වා. ඩැනියෙල් ප්‍රනාන්දු හරහා තමයි මම සංවිධානයට එකතු උනේ. රෝහන විෙජ්වීර යාපනය සිර ගෙදරින් නිදහස් කර ගැනීමට 500ක පිරිසක් අවශ්‍ය කෙරුවත් මගේ අදහසේ හැටියට සොයා ගැනීමට හැකි වී ඇත්තේ 98 ක පිරිසක්. කොටසක් කෝච්චියේ ගියා. තව කොටසක් කරාටේ සැම්සන් එක් ඊබට් සිල්වා බස් එකක ගියා. එතන 45 විතර ඉන්න ඇති. තව කට්ටියක්  ලංගම බස් වල ගියා. පසුව අපට ලැබුණු විස්තර අනුව කෝච්චියේ ගිය පියතිලක මහවිලච්චියේ බැහැලා තියනවා. ඔහු යාපනය ප්‍රහාරයට ආවේ නැහැ.

යාපනය ගමන ගැන අපට කිව්වේ සුනිල් රත්නසිරි ද සිල්වා. ඒත් අපට විෙජ්විර ගලවා ගැනීම් ගැන විස්තරයක් කීව්වේ නැහැ. ගමනේ අරමුණත් අපිට කිව්වේ නැහැ. අපි නව දෙනෙකුට යාපනයට යන්නට නියමිත උනා. 1971 අප්‍රේල් 4 උදේ 6 ට විතර මම, ජයසුරිය. රත්නසිරි තිසේරා ඇතුළු විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෝ 9 දෙනෙක් කොළඹ කොටුවේ සිට යාපනය බලා යන ලංගම බස් රථයකට නැග්ගා.

ඒ කාලයේ අද වගේ මාර්ග බාධක නැති නිසා ගමන ඉක්මන්. ඒත් කිලිනොච්චියේදී අපි ගිය බස් රථය පොලිසියෙන් නවත්තලා චෙක් කළා. තරුන සිංහල කණ්ඩායම කෙරෙහි ඔවුන් සැක කරන්න ඇති. අපෙන් ඇහුවා කොහෙද යන්නේ කියලා. අපි උත්තර දුන්නා ටි්‍රප් එකක් යනවා කියලා. ඒත් පොලිසිය ඉන් සැනසීමකට පත් වුනේ නෑ. අපිව බස්සගෙන කිලිනොච්චි පොලිසියට ගෙනිච්චා. මේ වෙන කොට දවල් 2 ට විතර ඇති. අපිව පොලිසියේ කූඩුව ඇතුලට දැම්මා. අප්‍රේල් 4 දා සිට අපි හිටියේ පොලිස් අත් අඩංගුවේ. අප්‍රේල් 8දා අපි යාපනේ සිර ගෙදරට ගෙනාවා. ඊට පස්සේ හැමන්හිල්   සිර කඳවුරට ගිහිල්ලා දැම්මා.

මුහුද මැද තියන හැමන්හිල්   ් දූපතට අපිව ගෙනියනකොට එතන හිරකාරයේ 90 විතර ඉන්නවා. යාපනය පොලිසිය. යාපනය සිර ගෙදර ප්‍රහාර වලට ගිහිල්ලා අත්අඩංගුවට ගත් අය තමයි මෙතන හිටියේ. හැමන්හිල්   දූපත ඉස්සර ඕලන්දරකාරයන් වෙඩි ඛෙහෙත් ගබඩා කරන්න හදපු ගබඩා සංකීර්ණයක්. වටේට කොංක්‍රීට් තාප්පය නිසා දූපතට වෙරළක් නැහැ. ඒ තාප්පය ගාළු කොටුව වගේ ශක්තිමත් උසයි. නාවික හමුදාවේ බෝට්ටු නවත්වන්න තොටුපලක් තියනවා. කොටුව ඇතුලට ගියහම නාවික හමුදා භටයන් හිටපු ගොඩනැගිල්ලක් තියනවා. හිරකරුවන් රඳවලා තිබුනේ විශාල කුහර ඇතුලේ. කුහරයක් යෝධ බාල්දියක් විතර ඇති. මේවට කිව්වේ ඩන්ජන් කියලා. ඒ වගේ ඩන්ජන් 9 තිබුනා. නොම්බර 2 ඩන්ජන් එක තමයි වඩා විශාල ඒකේ 72 විතර හිටියා.

ඩන්ජන් ඇතුලේ සිරකරුවෝ හිටියේ එක පොදියට. හුස්ම ගන්න නෑ. රස්නේ නිසා කෑම කන තැටියෙන් පවන් ගහ ගන්නවා. ඇතුලේ දාඩිය මුත්‍රා, අසූචි ගඳ, මීයෝ විමානෙ.

අපි හැමන්හිල්  යනකොට යාපනය සිර ගෙදර ප්‍රහාරයට නායකත්වය දුන් බර්ටි රංජිත්. වීරසිංහ හෙවත් කළපු විෙජ්, කොටවල දේවසිරි, භද්දිය සාදු, ඇට්ලස් බන්ඩාර, ඇට්ලස් බණ්ඩාරගේ රියැදුරු බාල්දි සිරා, කතරගම සිරිපාල එහෙමත් හිටියා.

විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයේ නිමල් වසන්ත යාපනය සිර ගෙදර ප්‍රහාරයේදී මළ බව මට හැමන්හිල්හීදි දැනගන්න ලැබුනා. ගිය අයට පැය දෙකක් විතර හිර ගෙදර ඇතුලට යා ගන්න බැරි වෙලා. පොලිසිය යුද හමුදාව, නාවික හමුදාව  වට කරලා. මාරසිංහ සහ ඩැනියෙල් ප්‍රනාන්දු බේරුණා. මේ අයට දෙමළ පුළුවං. ඒ නිසා දෙමළ මිනිසුන් අතරට ගිහිල්ලා සැක නොහිතන පරිදි පලා ගියා.

ඩන්ජන් ඇතුලේ හිරකාරයෝ හිටියේ මිහිපිට අපායක වගේ. අංක 3 තමයි තර්ස්ටන් විද්‍යාලයේ ළමාහේවා කියන ශිෂ්‍යාව රදවලා තිබුනේ. එයාට අවුරුදු 17 විතර ඇති. යාපනය සිර ගෙදර ගේන්න පෙර ළමාහේවට පොලීසියෙන් පහර දීලා තිබුනා. පහර කෑම නිසා ළමාහේවා දුර්වල තත්වයේ හිටියේ. නැගිටින්න බැරුව ළමාහේවා වැතිරිලා ඉන්නවා. දොස්තර කෙනෙක් පේන තෙක් මානයක නැහැ. ගාඩ්ලා එන්නේ කෑම දෙන්න විතරයි.

1971 අප්‍රේල් අග හෝ මැයි මුල විතර දවසක ළමාහේවා මැරුණා. සිරකරුවන්ට නොතේරෙන විදිහට ගාඩ්ලා මිනිය අරගෙන ගියා. පසුව ලැබුනු තොරතුරු අනුව කයිට්ස් එලාර නේවි කෑම්ප් එක අසල ළමාහේවාව වලලලා තියනවා.

71 ජුනි විතර වෙන කොට ගුවන් හමුදාවේ රත්නපාල, මරදානේ ජයතිලක, අසෝක ගමගේ එහෙම හැමන්හිල්  ගෙනාවා. හිරගෙදර තිබුනෙ බාල්දි වැසිකිලි. පිටාර ගලන අසූචි සහිත බාල්දි හිරකාරයෝ දෙන්නෙක් නේවි එකේ සෝදිසිය ඇතුව බෝට්ටුවේ ගිහිල්ලා මුහුදට හලනවා. සිර ගෙදර සුද්ද කිරීම බලෙන් සිර කරුවන් ලවා තමයි කර ගත්තේ.

ළමාහේවාගේ මරණය නිසා සිරකරුවන් තුල නොසන්සුන්තාව වැඩි කරා. ගුවන් හමුදාවේ සිරකරුවන් ඒමත් හයියක් වෙන්න ඇති. සිරකරුවන් සන්නිවේදනය කලේ කඩදාසියෙ අඟ=රු වලින් ලියලා ඒ කඩදාසිය කොස්සේ ගහලා. මේ කොස්ස භාවිතා කරලා තමයි ඩන්ජන් ඇරගත්තේ.

සිරකරුවන් තීරණය කළා විරෝධතාවක් දියත් කරන්න. දැනුවත් කිරීම් කෙරුවේ කොස්සේ ගහපු පණිවිඩය හරහා. ඒ අනුව නොවැම්බර් 2 ඩන්ජන් එකේ හිටපු සිරකරුවන් එළිමහනට පැය භාගයකට ගත් අවස්ථාවේදී ඒ අය යළි ඇතුලට ගියේ නැහැ. කට්ටියක් කුස්සියේ වංගෙඩි හා මෝල්ගස් ගෙනල්ලා ඉතිරි වෙලා තිබූ යකඩ දොරවල් අගුල් කඩලා ඒවා ඇතුලේ හිටපු සිරකරුවන් නිදහස් කර ගත්තා.

අගුල් කඩාගෙන ආපු සිරකරුවන් හැමන්හිල්  කඳවුරේ තිබූ බෝ ගස යට වාඩිවී හිරු එළිය, නැවුම් වාතය ආග්‍රහනය කළා. බන්ධනාගාර නිලධාරින් පළා යද්දි මුරට හිටපු නාවික භටයන් තුවක්කු එල්ල කරා සිරකරුවන් දෙසට. ඔවුන් හිතුවේ අපි පළායන්න හදනවා කියලා. මෙහිදි එක් සිරකරුවෙක් නාවික හමුදාව ඇමතුවා. ඔහු කිව්වා අපේ අරමුණ හිරගේ කඩා පලා යන්න නොවේ මුලික මිනිස් අවශ්‍යතාවෙන් එකක් වන හිරු එළිය සඳහා බව.

හැමන්හිල්  බන්ධනාගාරයේ දොරගුළු කැඩීම නිසා බන්ධනාගාර අධිකාරින් පරීක්ෂණ ආරම්භ කළා. යකඩ දොරවල් කඩලා කරපු අලාභය බලන්න විශේෂ කණ්ඩායමක් ආවා. ඒ අතර යාපන දිස්ත්‍රික් විනිසුරු ක්ලැරන්ස් මහත්තයත් හිටියා. පිරිස සිරකරුවන් ඇමතුවේ උස තාප්පය මත සිටයි. පහත සිටි සිරකරුවන් ඔවුන්ට සවන් දුන්නා.

ක්ලැරන්ස් මහත්තයා කිව්වා හිරයේ ඩන්ජ්න්වල යකඩ දොරවල් කඩා කරපු හානිය රුපියල් 26 000 වෙනවා. ඒක සිරකරුවන්ගෙන් අය කර ගන්නවා. කියලා. මේ වෙන කොට හිරකරුවන්ට හොරි හැදිලා ඇඟවල් ඉදිමිලා තිබුනේ. අපි අතර හිටියා මහියංගනේ බස්නායක කියලා සිරකරුවෙක්. ඔහු සරම උස්සලා ලිංගය පෙන්නුවා. මේකෙන් 26.000 ගන්න කියලා. හොරි හැදිලා ඔහුගේ ලිංගය ඉදිමිලා වන වෙලා තිබුනේ. ඊට පස්සේ අලාභ අය කිරීම ගැන කවුරුවත් කථා කළේ නැහැ. අගුල් කඩලා හිරගෙදර ඇතුලේ සිරකරුවන් නිදහසේ හිටියා. බෝ ගහ යට හාන්සිවෙලා ඉන්නවා. වරක් ආරක්ෂක හේතු මත බෝ ගහ කපන්න හැදුවා. සිරකාරයන් ඊට ඉඩ දුන්නේ නැහැ

1972 දි මාව අකරයන්කුලම් කඳවුරට දැම්මා. එහිදි මට විරුද්ධව චෝදනා නොතිබූ නිසා මාව නිදහස් කලා. ඒ අනුව මම යළි විශ්ව විද්‍යාලයට ගියා. මට නිදහස භුක්ති විදින්න පුළුවන් වුනේ මාස 2 යි. යළි මාව අත්අඩංගුවට ගත්තා. ඒක උනේ මෙහෙම. මම විශ්ව විද්‍යාලයේ සිටියදී මාව බලන්න රෝහන විෙජ්වීරගේ සහෝදරයා, ආනන්ද විෙජ්වීර ආවා. මේ කාලයේ රොහණ විෙජ්වීර හිරේ සිට එවපු ලිපි වගයක් සි.අයිඩී. එකට අසු වෙලා තිබුනා. මේ අනුව යළි මාව සි.අයි.ඩී. එකේ උකුසු ඇසට ලක් උනා.

මෙවර මාව වසර 4කට රඳවා ගත්තා බෝගම්බර සිර ගෙදර. මම නිදහස ලැබුවේ 1975 දි. මම මගේ උපාධිය අවසන් කළා. නීතිය හැදෑරුවා. ජීවිතේ අනපේක්ෂිත  ගමනක යෙදුනා.


පියුමසේන, කන්නංගර

පියුමසේන, කන්නංගර බර්ටි රංජිත් සමඟ යාපනය හිර ගෙදර ප්‍රහාරයට සම්බන්ධ වූ අයෙකි. ඔහු මෙසේ පවසයි.

zzමම ව්‍යාපාරයට සම්බන්ධ වෙන කොට රැකියා විරහිත තරුණයෙක්. මට ඩ්‍රයිවින් පුළුවං. එස්.ඩී බණ්ඩාරනායක මහත්තයගේ ව්‍යාපාරෙ වැඩට දීලා තිබු අංක 1961 දරණ ෆොක්ස් වැගන් එක මම එලෙව්වා. වරක් සුමාන 2-3 විතර පොඩි අතුල සමඟ වාහනේ බෝම්බ පෙට්ටි ප්‍රවාහනය කලා.

බර්ටි රංජිත් ඉගෙන ගත්තේ හුනුමුල්ල සෙන්ට්‍රල් එකේ. මම හුනුමුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ. බර්ටි මගේ පාසල් කාලයේ සිටම දන්න මිතුරෙක්. අපි යාපනේ හිරගේ කඩන්න ගියේ අප්‍රේල් ප්‍රහාරයට දින 10
විතර පෙර මාර්තු මාසයේදී. කෝච්චියෙන් බර්ටි. මම, විරසිංහ හෙවත් පසුව කලපු වීරේ ලෙස නම් කල වීරේ, ධර්මසිරි ෆොන්සේකා යාපනයට ගියා. අපි නැවති හිටියේ කන්කසන්තුරේ පාරේ තිබු ගොඩනැගිල්ලක උඩ තට්ටුවේ. ඒකේ සිංහල පංති පවත්වනවා ඒ නිසා අපිට ගැටළුවක් උනේ නැහැ. මමයි වීරෙයි එහෙ තියලා බර්ටි යලි කොළඹ ගියා. යන්නට පෙර යාපනය හිරගෙදරට පහර දීම ගැන මට කරුණු හෙලි කළා.

අප්‍රේල් 3 දා මට මුත්‍රා අමාරුවක් හැදුනා. මට හොඳටම අසනීප වුනා. මමයි වීරෙයි අප්‍රේල් 4දා රෑ කොළඹ ආවා. උදේ වෙන කොට අපි දෙන්නා කොළඹ. අපි දෙන්නා කෙහෙල්ඇල්ලට ගියා. එහිදි විල්සන් ෆොන්සේකා අපිට හමු උනා. අපිව දැක්ක ගමන් විල්සන් කිව්වා ඇයි කොළඹ ආවේ අද රෑ අපි ගහනවා කියලා. ඒ අනුව එදාට (1971 අප්‍රෙAල් 5) දවල් අපි මීරිගම ස්ටේෂමට ගියා යාපනය කෝච්චිය අල්ල ගන්න. අපි මීරිගමින් දවල් 2ට විතර නැග්ගේ රෑ 10ට විතර යාපනයට යන්න පුළුවන් උනා.

අපි කෙළින්ම ගියේ යාපනයේ නාග විහාරය ලඟට. එතන බර්ටි ධර්මසිරි ෆොන්සේකා ඇතුළු 30-40 විතර. අපිව දැක්ක හැටියේම ධර්මසිරි ඇහුවා තොපි කොහේද යකෝ ගියේ කියලා. මං මට වෙච්ච මුත්‍රා අමාරුව ගැන කිව්වා. අපිට යන්න කිව්වා සෙන්ට් පෝල්ස්  පල්ලිය ලඟ කස්ටම් එකේ නිල නිවාස වලට. එහේ නිල නිවසේ හිටියා පියදාස කස්තුරිආරච්චි. එතන චීනච්චට්ටි බෝම්බ තිබුනා. මම ප්‍රථම වතාවට තමයි බෝම්බ දැක්කේ. මෙතෙක් කලේ බෝම්බ පෙට්ටි ප්‍රවාහනය කරන එක. චීනච්චට්ටි බෝම්බ අඹ ගෙඩියක් තරං ඇති. සේවා නූල අගට ගිණිකූරු 3 බැඳලා තිබුනා.

මේ බෝම්බ දැක්ක හැටියම මට පොඩි සැකයක් ආවා මේක වැඩ කරයිද කියලා. අපිට ලැබුණු උපදෙස් තමයි ගිනිකූරු 3 සහිත සේවා නූල පත්තු කරලා ගෙඩිය විසි කරන ගමන් බිම දිගා වෙන එක. කෝටුවකුත් ගෙනිච්චා කටේ ගහ ගන්න. අපි බෝම්බ අරගෙන යළිත් නාග විහාරයට ගියා. ඉන්පසු කොටුව පිට්ටනිය පැත්තට අපි විසිරිලා යන්නට පටන් ගත්තා. කොටුව පිට්ටනියේ පාස්කු සංදර්ශනය. ඒ නිසා අපි බන්ධනාගාරයට පහර දෙන එක ප්‍රමාද කළා. රෑ 12 විතර වෙන කං හිටියත් කානිවල් එක ඉවර වෙන පාටක් නැහැ. බර්ටි තීරණය කලා පහර ආරම්භ කරන්න. බර්ටි සාමාජිකයන් දහයකට විතර කිව්වා බන්ධනාගාරයේ ගේට්ටුව ලඟට යන්න කියලා. එක්කෙනාට බෝම්බ දෙක ගානෙ දුන්නා. නේවි  එකෙන්  ආයුධ අරගෙන තව පිරිසක් එයි කියලත් කිව්වා. නමුත් ඒ පිරිස ආවේ නැහැ.

අපි කොටුවට යන්නට පෙර එලියේ පොලිස්කාරයො 10-15 විතර හිටියා. අපි බෝම්බයක් දමලා ගැහුවම පොලිස්කාරයෝ දිව්වා. ඒ අතර වාරයේ පොලිසිය අපි දෙසට වෙඩි තිබ්බා. අපේ කෙනෙකුට වෙඩි වැදිලා වැටුනා සමහරෙක් පැනලා දිව්වා. බර්ටි කෑ ගැහුවා දුවන්න එපා. ඉදිරියටම යමු කියලා. අපි බන්ධනාගාරයේ පළවන ලී දොර අසලට ගියා. ඒක මහ තඩි ලී දොරක් අඩි 10 විතර උසයි. උළුවස්සේ පොඩි විවරයක් තියනවා. බර්ටි ඒක ඇතුලට ගෙඩියක් දැම්මා. ගෑණු කෑ ගහන්න ගත්තා. එතකොටයි අපි දන්නේ ඒක ගෑණු වාට්ටුව කියලා. බර්ටි කෑ ගහලා කිව්වා යටත් වෙන්න අපි මුළු ලංකාවම අල්ලලා තියෙන්නේ සමහර ගාඩ්ලා යටත් උනා. සමහරු සාමි සාමි කියලා පැනලා දිව්වා.

අපි වහලට නැගලා කොටුව තාප්පයට ගොඩ උනා. ඒක විශාල තාප්පයක්. තාප්පය හරි පළල් පස් හය දෙනෙකුට එක පෙලට ඇවිදගෙන යන්න උනත් පුළුවන්. අපි තාප්පෙටනගින කොට එලියෙ හිටපු පොලිස්කාරයෝ අපිට වෙඩි තිබ්බා. එන පොට හොඳ නෑ වගේ පොලිසිය හමුදාව අපිව වට කරනවා. සමහරු බර්ටිට කිව්වා පැනලා යමු කියලා. බර්ටි කිව්වා බලමු නේවි එකේ කට්ටියක් ආයුධ අරන් එනවා. නමුත් කවුරුවත් ආවේ නැහැ.

මේ අතර ඇට්ලස් බණ්ඩාර එහා පැත්තේ දොර ලඟ කෑගහනවා. අපිට කලින් කියලා තිබ්බේ කාර් එකක් එයි එතකොට විෙජ්වීරව දෙන්න කියලා. ඇට්ලස් තමයි කාර් එකේ ආවේ. ඇට්ලස් දොර ලඟට ඇවිත් කෑ ගැහුවා විෙජ්වීර සහෝදරයා ගත්තාද? අපි නෑ කිව්වා. විෙජ්වීර ගන්නව තියා හිර ගෙදර අහලකටවත් යන්න බැහැ. එතකොට කාර් එකක් යන සද්දේ ඇහුනා. ඇට්ලස් යන්න ගියා. මේ වෙන කොට අළුයම 1ට විතර ඇති.

ප්‍රධාන දොරටුවෙන් පොලිස් ජීප් එකක් ආවා. මේ අතර කයිට්ස් පාරේ වාහන නවත්තලා පොලිසිය කාර් චෙක් කරනවා. පොලිසිය හමුදාව පාරේ මුර. එළියට පැන ගන්න බැරි පාටයි. මම බර්ටිට කිව්වා තාප්පෙන් එළියට පනිමු කියලා එතකොට බර්ටි උත්තර දුන්නා පනින්න බැහැ අපට ලනුවක්වත් නැහැ. මේ වෙලාවේ මම දැක්කා කාලතුවක්කු රිංගවන කටක්. මේක විශාල ගුහාවක් වගේ. තණකොළ වැවිලා නිසා එළියට පේන්නේ නැහැ. මම මේක ඇතුලට ගියා. අපේ අනික් අය කොටුව උඩ ඒ් අයට තුවක්කු නැහැ අතේ තිබ්බේ ගෙඩි විතරයි. නේවි එකෙන් ආයුධ එනවා කියලා තිබුනත් මොනවත් ලැබුනේ නැහැ. ගහපු ගෙඩි පවා පිපුරුනේ නැහැ. පුපුරපු එවා ලොකු හානියක් කළේ නැහැ.

මෙහෙම පැය දෙක තුනක් යන කොට එළිය වැටුනා. මම තාම කුහරයේ හැංගිලා. මට ඇහෙනවා අපේ අයව අත්අඩංගුවට අරගෙන රයිෆල් මිටවල් වලින් පහර දෙන සද්දේ. කොටුව ඇතුලට ගිය කාටවත් එළියට පැනලා යන්න බැරි උනා. මම කුහරය ඇතුලේ 7 දා හිමිදිරිය වෙනකං හැංගිලා හිටියා. මගේ මුත්‍රා අමාරුවත් ප්‍රබල වෙලා. අප්‍රේල් 5 දා සිට ආහාරයක් ඇඟට වැටුනේ නැහැ. මගේ අතේ ආයුධයක්වත් නැහැ. අප්‍රේල් 7දා හිමිදිරියේ මම එළියට ආවා. තාප්පය අඩි 15 විතර උසයි. තාප්පයෙන් පැනලා එළියට යනවා කියන අදහසින් මම තාප්ප ගැට්ට ලඟට බඩගෑවා. තාප්පය අවට පවා මුර. තාප්පය උඩත් සෙබළුන්.

මම බඩගාගෙන යන කොට හමුදාවේ කෙනෙක් මාව දැකලා ්‍ය්කඑ කියලා තුවක්කුව මෑනුවා. මම අත්දෙක උස්සලා යටත් උනා. තව සෙබලෙක් දුවගෙන ඇවිත් රයිෆල් මිටෙන් මට පත බෑවා. මම ඇදගෙන වැටුණා. එතකොට මාව මුලින්ම දැක්ක සෙබලා මට පහර දෙන්න එපා කියලා කෑ ගැහුවා. මගේ ඇඳුම ගලවලා මාව පරීක්ෂා කළා. සෙබලෙක් පල්ලෙහාට පණිවිඩයක් දුන්නා. ටික වෙලාවකින් හමුදාවේ කපිතාන් කෙනෙක් ආවා. මගෙන් නම ගම විස්තර ඇහුවා. ඊට පස්සේ කිව්වා තමුසේව අපිට පොලිසියට දෙන්න වෙනවා පොලිසිය තමුසෙගේ කටු කඩයි. එත් අපිට කරන්න දෙයක් නැහැ කියල.

මාව ගෙනිච්චා යාපනය කොටුවේ තිබූ තාවකාලික හමුදා කාර්යාලයට. මම කපිතාන්ට කිව්වා සර් මම දවස් දෙකක් කෑවේ නැහැ කියලා. මට තේ එකක් ගෙනල්ලා දුන්නා. මම පුටුවෙ වාඩි වෙලා තේ එක බොනකොට යකෝ මූට පුටුත් දීලා කියලා සමහර සෙබළු මට ගහන්න ආවා. පැය භාගයක් විතර යන කොට පොලිසියෙන් ආවා. මාව ජීප් එකට දා ගත්තේ පයින් ගහන ගමන්. පයින් පාරට මාව ජීප් එකට වීසි වුනා. මාව කෙලින්ම ගෙනිච්චේ යාපනය පොලිසියට.

පොලිසියෙදි මගෙන් ප්‍රශ්න කළා. ආවේ කා එක්කද? මම කිව්වා බොරු නමක්, පෙරේරා කියන නායකයා එක්ක යාපනේ ආවා. එතකොට ඇහුවා තමා එක්ක තව කවුද ආවේ. මම මොහොතක් කල්පනා කරා. අපි යාපනය කොටුව ඇතුලට එන්න හදන කොට වෙඩි පහර වැදිලා වැටුනේ විරසිංහ බව මට හිතුනා ඒ නිසා මම වීරෙගේ නම කිව්වා.

වීරේ ඉඳලා තියෙන්නේ කොටුව එළියේ. බොක්කුවක් යට හැංගිලා ඉඳලා උදේ කලපුවට පැනලා පීනනකොට බෝට්ටු වලින් ගිහිල්ලා වීරේව අත්අඩංගුවට අරන් තියනවා. මම හිතුවේ වීරේ මැරිලා කියලා. පොලිසිය මට කිව්වා උඹත් එක්ක ආව අය මෙතන ඉන්නවනං කියපන් කියලා. මාව ගෙනිච්චා පොලිස් කූඩුව ලඟට. එතන එක පොදියට 30 විතර හිටියා. ප්‍රහාරයට පෙර අත්අඩංගුවට ගත් අයත් එතන හිටියා.

සිරිපාල අබේගුණවර්ධන යාපනය පොලිසියට ගහන්න ඇවිල්ලා හිටියේ පිලියන්දල සෙන්ට්‍රල් එකේ ශිෂ්‍ය පිරිසක් එක්ක. ඩැනියෙල් තමයි ඒක සංවිධානය කරලා තියෙන්නේ. බස් එක සිංහල විද්‍යාලයේ නවත්තලා හවස මේ අය පොලිසියට ගහන්න ගියේ. නමුත් ඇටෑක් එක හරි ගියේ නැහැ. මේ අය යළි සිංහල විද්‍යාලය ලඟට ඇවිල්ලා බස් එකේ කොළඹ යන්න උත්සාහ කරලා. ඊබට් සිල්වා බස් එකේ ඩ්‍රයිවර් පාරේ කලබලය නිසා වාහනය ගන්න බැහැ කියලා. එතකොට සිරිපාල අබේගුණවර්ධන
මම එලවනවා කියලා සුක්කානම ගත්තා. සිරිපාල හිටපු බස් රියැදුරෙක්. බස් එක පාරට දාන්නවත් ලැබුනේ නැහැ පොලිසිය මුළු බස්එකම අත්අඩංගුවට ගත්තා.

රංගල විමලවංශ සිවුර ගලවලා වීරසිංහ නමින් ගිය කෙනෙක්. මෙයා තව පස් දෙනෙක් එක්ක ගියා කරෙයිනගර් කෑම්ප් එක ලඟට. ඔවුන්ට කියලා තිබ්බා කඳවුරේ නේවිකාරයන්ට නිදි පෙති දීලා ඒ අය ගොරව ගොරවා නිදි. කඳවුරේ ලයිට් කපලා තියෙන්නේ. කඳවුර ලඟට ගියාහම ආයුධ දෙයි කියලා. මේ අය කරෙයිනගර් කඳවුර ලඟට යනකොට කිසි වෙනසක් නැහැ. ගාඩ්ලා මුර. කඳවුරේ ලයිට් පත්තුවෙනවා. ඒ අය යළි හැරිලා එනකොට අත්අඩංගුවට පත් වෙලා.

විරසිංහ හෙවත් කළපු වීරේ මලා කියලා මට හිතුනට වීරෙත් කූඩුවේ හිටියා. මම දිගටම කිව්වා මම ආවේ පෙරේරා එක්ක කියලා. පොලිසිය මට ගහනවා යකෝ කොයි පෙරේරද? පෙරේරලා සිල්වලා විතරද බොල කියලා. මේ අතර මට ඇහුනා කඩවත ප්‍රහාරයේදී මිල්ටන් මල බව. මම එතකොට කිව්වා මිල්ටන් තමයි මාව යාපනේට ගෙනාවේ කියලා.

පොලිසියේදී අපිට හොඳටම ගැහුවා. ඒ.එස්.පී. සුන්දරලිංගම් මහත්තයා ඇවිල්ලා පහර දෙන එක නැවැත්තුවා. හවස අපිට වෙනිවැල්ගැට තම්බලා දෙන්න කියලා නියම කරා. ඊට පස්සේ අපිව දැම්මා යාපනේ හිර ගෙදර. තලගල කියලා ගාඩ් කෙනෙක් ආවා. මිනිහා තමයි විෙජ්වීරගේ සෙල් එක මුර කළේ. තලගල මට තුවක්කුව වැනුවා. වෙඩි තියන්න වගේ. සමහරු ඇහුවා තොපි හිරගේ කඩන්න ආවා නේද බොල කියලා. යාපනේ හිර ගෙදර දවස් 5-6 විතර අපිව තියාගෙන ඉඳලා. හැමන්හිල්  වලට ගෙනිච්චා.

හැමන්හිල්   දූපතට යන්න කරෙයිනගර් කෑම්ප් එකට අපිව ගෙනියන කොට නේවිකාරයෝ අපිට බනිනවා. තොපි අපේ මිනිස්සු මැරුවා නේද යනාදී වශයෙන්. නේවි එකේ තිලකරත්න ගාඩ්ලට වෙඩි තියලා නාවික හමුදා කදවුරෙන් ආයුධ අරගෙන ජීප් එකේ එනකොට මගදී වෙඩි කාල මැරුණා. ඒ නිසා නාවිකයන් අපිට පෙන්නුවේ රළු මුහුණු.

බෝට්ටුවෙන් අපිව හැමන්හිල්   සිරකඳවුරට ගෙනාවා. එම ප්‍රහාරයෙන් පසු මුල් වතාවට බර්ටි මුණ ගැහෙන්නේ හැමන්හිල වලදි. බර්ටි දැක්ක හැටියෙ මම ඇහුවා අපිට මොකද උනේ කියලා. බර්ටි කිව්වා අපේ ප්ලෑන් එක ක්‍රියාත්මක උනේ නැහැ. පණිවිඩ හරියට එහෙ මෙහෙ ගිහිල්ලා නැහැ කියලා. යාපනේ සිරගෙදර ප්‍රහාරයේදී සමහරු මඟ ඇරියා. සමහරු හැංගුනා.

හැමන්හිල් වල අපි එක්ක 60 විතර හිටියා. තුවාල කාරයෝ දෙන්නෙක් විතර හිටි බව මතකයි. හැමන්හිල් වල හිටි අය තමයි දෙහිවල උපාලි, මහරගම තිස්ස ගාමිනි, භද්දිය සාදු, කොටවිල දේවසිරි හිමි, මයිකල් අමරසේකර, ඇටිලස් බණ්ඩාර, ළමාහේවා මහරගම, සිරා හෙවත් බාල්දි සිරා ඩ්‍රැයිවර් කොතලාවල, පේරලන්දේ රෙක්සි, මහරගම රොද්‍රිගු, පිලියන්දල සෙන්ට්‍රල් එකේ අනුර රත්නායක, දුනුගල ගුණරත්න, විෙජ්වීර සහ අම්පාරේ අත්අඩංගුවට ගත් සිරිල් වඩුතන්ත්‍රි හෙවත් ලාල් සෝමසිරි, කැලණියේ ෂෙල්ටන්, ගම්පහ පරාක්‍රම, ටෙක් එකේ අබේසිරි, ටෙක් එකේ සරත් කුමාර, මොරටුවේ තිසේරා, අම්බලන්ගොඩ සැම්සන් සිරිපාල, මොරටුවේ ශ්‍රී ලාල්, අම්බලන්ගොඩ තිලකසිරි, පිලියන්දල ලොකුගේ, අනුරාධපුරයෙ බබානිස්, ගම්පහ එස්.ඩී. හෙවත් සෝමරත්න
කළුආරච්චි, අනුරාධපුරයේ සුසිල් ගල්ගමුව, වවුනියාවේ පියරත්න, කේ.ඒ. සිරිසේන හෙවත් යකා. කුලියාපිටියේ රංජිත්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙ වැඩ කළ පානදුර සිල්වා සමහර අයගේ නම් මතක නැහැ.

අපි එක පොදියට ඩන්ජන් ඇතුලේ. සී.අයි.ඩී එක ආවා. මගෙන් කට උත්තර ගන්න. මම කිව්වේ මිල්ටන් මාව යාපනයට ගෙනාවා කියලයි. එතකොට ඇහුවා කවුද බොල මේ පෙරේරා. මම කිව්වා එයා මැරෙන්න ඇති කියලා.

හැමන්හිල් වලට ගුවන් හමුදාවෙ රත්නපාල සමඟ තව 6 දෙනෙක් ආවා. එයාර්ෆෝස් ඩයස්, සිල්වා ඒ අතර හිටියා. අපි හිර ගෙදර අගුල් කඩලා ආහාර වර්ජනයක් කලා. උපවාසයට පෙර අපි පාන් අරගෙන වේලලා හංගලා තිබ්බා. ඒවා හොරෙන් කෑවා. හිරගෙදර උද්ඝෝෂණ නිසා බර්ටි, මම, නාරාහේන්පිට චන්දරේට, බාල්දි සිරාට, අබේසිරිට එහෙම ගහලා යාපනේ සිරගෙදරට ගෙනිච්චා. අපිව බේස්මන්ට් සෙල් වල දාලා දින 20 වහලා තිබ්බා.

යාපනය සිර ගෙදරදි විෙජ්වීර හා බර්ටි අතර යම් මතභේද ඇති උනා. විෙජ්වීරව බේරගන්න අපේ කෙනෙක් වහලෙන් ගිහිල්ලා කථා කරත් විෙජ්වීර ආවේ නෑ කියන කථාව මම පිළිගන්නේ නැහැ. මම එදා බන්ධනාගාර කොටුවෙ හිටියා. අපට හිර ගෙදර ළඟට යන්න පවා අපහසු තත්වයක් තිබුනේ. අපි විෙජ්වීර රඳවා හිටපු ගොඩනැගිල්ලට මීටර් 20-25 ලඟට යන්න ඇති. නමුත් රෑ නිසා සිරකරුවන් හිටියේ ඇතුලේ. දකින්න විදිහක් නෑ. මම කොටුවෙ කුහරයට ගිහිල්ලා සැඟවෙන තෙක් මම දැක්කේ ඔය විස්තර. මමත් සැඟඋනාට පස්සේ බර්ටි තව ලඟට ගියාද දන්නේ නැහැ.

හැමන්හිල් වලින් පසු මාව යැව්වා බෝගම්බරට මම හිටියේ ටේලර් පාටියේ. මාස 8 විතර එහෙ ඉඳලා ගෙනිච්චා පල්ලෙ කැලේ එළිමහන් සිර කඳවුරට. එහෙ බර්ටිත් හිටියා. අපි පනින්න සැලසුම් කළා. බර්ටි පැන්නා. මාව යළි බෝගම්බර ගෙනාවා. මේ කාලයේ මහිංයගනේ අළුත්පාර ගාව රස්කින් ප්‍රනාන්දු වොලා්නා මුදලාලිට අයිති ඉඩමක හිර කඳවුරක් ගැහුවා. මෙතන 300 විතර ගිහින් දැම්මා. මාවත් ගෙනිච්චා.

නඩුවේදි මට අවුරුදු 2 සිර ද~ුවමක් ලැබුනා දඩුවම් කාලේ මම හිටියේ බෝගම්බර හා යාපනේ හිර ගෙවල් වල. මම නිදහස් උනේ 1975 දි. කොළඹ නගර සභාවෙ වැඩ කළා දැන් විශ්‍රාමිකයි.

බර්ටි දැන් ඉන්නේ ජර්මනියේ. ලංකාවට එනකොට අනිවාර්යයෙන්ම මාව බලන්න එනවා. බර්ටිගේ අවුරුදු 50 පිරිමේ උපන්දිනය වාද්දුවේ හෝටලයක තිබ්බා. ඒකට මටත් ආරාධනා කෙරුවා. පාටියේදි සේන කන්නංගරව මට මුණ ගැසුනා. සේන මටයි බර්ටිටයි කොක්ක ගහපු කෙනා. සේන කන්නංගර අපිව ව්‍යාපාරයට බඳවා ගන්න කොට මම හිටියේ රැකියාවක් නැතිව ගෙදර. බර්ටි තාත්තගේ තෙල් බිස්නස් එකට උදව් කරනවා. සේන එදා වාද්දුවේ පැවති උපන් දින උත්සවයේදි බර්ටිට කිව්වා මම උඹට කොක්ක ගැහුවෙ නැත්තං උඹ තාම තෙල් විකුණනවා
කියලා. අපි ඔක්කොටම ඒකට හිනා ගියා.


මාබෝලේ රෙක්සි

රෙක්සි හයසින්ස් වසන්ත ප්‍රනාන්දු ව්‍යාපාරයේ වැඩ කරගෙන ගියේ චමින්ද නමිනි. පසු කාලයක ඔහු හැඳින්වූයේ මාබෝලේ රෙක්සි නමිනි. සිරගෙදරදි ඔහු වසන්ත ප්‍රනාන්දු විය. විවිධ නම් නිසා රහස් පොලිසිය ද ව්‍යාකූළත්වයට පත්ව කැරැල්ලේදි ඔහු මිය ගිය බවට කාලයක් විශ්වාස කල බව පැවසේ. වර්තමානයේ වත්තල ප්‍රදේශයේ නාගරික මන්ත්‍රිවරයෙකු ලෙස කටයුතු කරන ඔහු දශක තුනකටත් වඩා එපිට ගිය ඉතිහාසය පවසන්නේ මේ අයුරිනි.

zමම ඉපදුනේ 1949 වසරේ. උත්පත්තියෙන් මම කතෝලිකයෙක්. සාමාන්‍ය පෙළ මාබෝලේ සාන්ත මරියා විද්‍යාලයෙන් කරලා උසස් පෙළ හදාරන්න කරුණාරත්න බෞද්ධ මහ විද්‍යාලයට ගියා. කුඩා කාලයේ සිටම මම කඩවත මිල්ටන්ගේ යාළුවෙක්. මිල්ටන් මට වඩා වැඩිමල් නමුත් ඒක අපේ මිත්‍රවයට බාධාවක් උනේ නැහැ. මිල්ටන් මාව ෂන්මුගදාසන්ගේ චීන පිලේ කාර්යාලයට ගෙනිච්චේ 1963 දි. එතකොට මට වයස අවුරුදු 14යි.

මම මුලින්ම විෙජ්වීර දැක්කේ 1964 දි මාබෝලේ වෙල්මුල්ල වෙල් යායෙදි. එතකොට මම වයස 15ක ශිෂ්‍යයෙක්. මේ කාලේ විෙජ්වීර හා මිල්ටන් දේශපාලන මිතුරන්. මිල්ටන් කුඩා කාලයේ සිටම දරිද්‍රිතාවය නිසා දුක් වින්ද කෙනෙක්. පියා කුඩා කාලයේදිම මැරුණා. ගෑණු සහෝදරියෝ 3 හිටියා. මිල්ටන් තමයි පවුලේ එකම පිරිමියා. ඔහුගේ නම එම්. මිල්ටන් ප්‍රනාන්දු. මිල්ටන්ගේ අමම්ා මිල්ටන්ට ඉතා ආදරෙයි.
මිල්ටන් නිහතමානි සාධාරණය ගැන සිතපු කෙනෙක්. ලාම්පු කුප්පිය තියාගෙන මිල්ටන් ගෙදර පොත් කියවන ආකාරය අදත් මගේ මතකයේ තියනවා. මිල්ටන්ට හොඳ දේශපාලන දැනුමක් තිබුනා. ඔහු නිතරම කිව්වේ මම සියල්ලන්ගේම ගෝලයා වෙන්න කැමතියි කියලා.

මට සිංහල ඉගැන්නුවේ අඹන්වැල්ලේ පඥ්ඥාසේකර හාමුදුරුවෝ. මම පොලිස් අත්අඩංගුවට පත් උනා කියලා හාමුදුරුවො හරියට දුක් වෙලා තියනවා. පස්සේ කාලයක හාමුදුරුවෝ මල්වතු පාර්ශවයේ නායක භික්ෂුවක් ලෙසට මහනුවරට වැඩම කලා. එහිදිත් චේගුවේරා එකට අහු වෙච්ච ළමයා කියලා මම ගැන නිතර කථා කලාලූ. 2008 දි මම හාමුදුරුවෝ බැහැ දකින්න ගියා. ඒත් හාමුදුරුවෝ වයසයි. මාව අදුරගන්න බැරි උනා.

විෙජ්වීර හා ලොකු අතුල අතර අර්බුධයේදි මිල්ටන් ලොකු අතුලගේ පිලට දාපු එක මට අදත් ගැටළුවක්. 1971 මුල පියතිලක මට කිව්වා පක්ෂයේ අභ්‍යන්තර ප්‍රතිගාමින් ඉන්නවා ලොකු අතුල, කුමානායක නම් ආදි වශයෙන් තව හය හතක්. පස්සේ කිව්වා. ඔයාගේ හිතවතා වෙච්ච මිල්ටනුත් එතෙන්ට තමයි දාන්න වෙන්නේ. විප්ලවේ ජයග්‍රහණයෙන් පසු මේ අය අයින් කරන්න වෙනවා.

මේ කාලයේදි මම විද්‍යෝදය කැම්පස් එකේ සංඝාවාසයේ අංක 35 දරණ කාමරයේ නැවතිලා හිටියේ පක්ෂෙ වැඩ වලට. උසස් පෙළ හදාරපු ගමන් තමයි මම 1970 දි පූර්ණකාලිනයෙකු වන්නේ. ඉන් පස්සේ දිගටම වගේ වැඩ වලට විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ සංඝාවාසයේ හිටියා. මේ කාලයේ මහින්ද විෙජ්සේකරට විශ්ව විද්‍යාලය ඇතුලේ බලයක් තිබුනා. මහින්ද තමයි අපට කාමර පහසුකම් ලබා දුන්නේ. ඒත් ව්‍යාපාරය මහින්ද විෙජ්සේකරව උපකරණයක් හැටියට පමණක් භාවිතා කරන්න කියලා දැනුම් දීලා තිබුනා. මහින්ද ඒ බව දැන ගත්තේ මහ නඩුවේදි.

සංඝාවාසයේ ඉන්න කොට මම මිණිපේ සෝභිතත් දැන හිටියා. මිනිපේ සෝභිතගේ කට උත්තරයේ මම ගැන සඳහන් වෙන්නේ විශ්ව විද්‍යාල ශීෂ්‍යයෙක් හැටියට. ඒත් කවදාවත් මම විශ්ව විදයාල ශිෂ්‍යයෙක් වෙලා හිටියේ නැහැ. ඒ නිසා පොලිසිය ව්‍යාකූල උනා.

මම සංඝාරාමයේ අංක 35 කාමරයේ නැවතිලා හිටියා. ඒ කාමරේට එන්න හැකියාව තිබ්බේ මටයි නායකයන්ටයි විතරයි. මම ඒ කාමරේ බෝම්බ හදලා රහසිගතව පැක් කරලා තිබ්බා. ශිෂ්‍ය අංශයේ මම හිටපු නිසා පියතිලක පියසිරි කුලරත්න එක්ක කිට්ටුවෙන් වැඩ කෙරුවා.

1971 මාර්තු 23 හෝ 24 වගේ දවසක මට නියම කෙරුනා යාපනය බන්ධනාගාරය කඩා රෝහණ විෙජ්වීර බේරා ගෙන බෝට්ටුවකින් මුහුදු මාර්ගය හරහා ගේන්න පුලූවන්ද කියන එක අධ්‍යයනය කරන්න යාපනයට යන්න. මේකට නියෝගය දුන්නේ පියතිලක.

මම මහේන්ද්‍ර කියන සාමාජිකයා එක්ක රෑ කෝච්චියේ මන්නාරමට ගියා. අපි බැස්සේ මඩු ස්ටේෂන් එකේ. එතකොට උදේ වෙලා. කෙලින්ම ගියා මුරුක්කන් පල්ලියේ ජයසීලන් පියතුමා මුණ ගැහෙන්න. මගේ ලඟ ලියුමක් තිබුනා ෆාදර් ලීනස් ජයතිලක දීපු. පල්ලියේදි අපිට උදේ කෑම දුන්නා ඉඳි ආප්ප හා අඹ මාළුවක්. උදේ කෑම කාලා මම මහේන්ද්‍රන් එක්ක මන්නාරම් ජැටියට ගියා. අපි ඇෙඟව්වෙ අපි විශ්ව විදයාල ශිෂ්‍යයෝ හැටියට. විශ්ව විද්‍යාල අධ්‍යයනයක් කරන්න ආපු බවයි අපි හැම තැනකදිම කිව්වේ.

මන්නාරමේ සිට යාපනයට බෝට්ටුවේ යන්න පුළුවන්ද කියලා මාළුකාරයෙකුගෙන් ඇහුවා. තමන්ගේ බෝට්ටුවේ ගෙනියන්න රු 400ක් අපෙන් ඉල්ලූවා. ඒත් බෝට්ටුව දෙන්න පුළුවන් ඉරිදා දවස් වලට විතර බව ධීවරයා අපට කියා සිටියා. මට අවශ්‍ය කරා ප්‍රදේශය ගැන අධ්‍යයනය කරන්න. අපි බස් එකේ යාපනයට ගියා ඒ 33 මාර්ගය ඔස්සේ. මේ පාර බොහෝ විට වෙරළට සමාන්තරව යනවා. සමහර විට මුහුද පේන්නේ නෑ. මම මේ පාරේ තිබූ බෝක්කු පාලම් සටහන් කර ගත්තා. මගේ ගෝලයා මහේන්ද්‍ර කංකෙදිරි ගානවා කොළඹ යං කොළඹ යං කියලා. මට මහා වදයක් උනා මිනිහා එක්ක ආපු ගමන.

අපි දවල් 2 විතර වෙන කොට යාපනයට ගියා. කෙලින්ම ගියේ යාපනය කොටුවට. යාපනය කොටුව නරඹන්නෙක් ලෙස කොටුව වටේට ඇවිද්දා. හවස් වෙලා යාපනය දුම්රිය පලට ඇවිත් රෑ කෝච්චියේ කොළඹ ආවා. මම විද්‍යෝදයට ඇවිත් පියතිලක මුණ ගැසුනා මහේන්ද්‍රගේ නාහෙන් ඇඬිල්ල නිසා හරියට වැඩේ කර ගන්න බැරි බව කිව්වහම මට යළිත් වරක් තනියෙන් යාපනේ යන්න නියම උනා.

1971 මාර්තු 27 යළිත් මම මන්නාරමට ගියා. මන්නාරමේ සිට සැතපුම් 69 පයින්ම යාපනය දක්වා ගියා. රෑ දෙකක් පමණ පාරේ ගත කළා මතකයි. මගේ ලඟ රු 200 විතර තිබ්බා. කෑවේ කඩ වලින්. කිලාලි කලපුවෙන් එතෙර උනේ පාලං පාරුවකින් මේ දිගු ගමනේ මම සියළුම වැදගත් ස්ථාන සටහන් කර ගත්තා. යාපනේට ගිහිල්ලා කෝච්චියේ යළි කොළඹ ආවා. විද්‍යෝදයට ඇවිත් සංඝාරාමයේදි පියතිලක මුණ ගැසුනා. පියතිලක මගෙන් විස්තර අහන්නත් කලින්ම කිව්වා සහෝදරයා දැන් නා ගන්න. මම දවස් දෙක තුනක් නෑමක් නැතිව එකම ඇඳුම පිටින් හිටියේ. මට මගේ දාඩිය ගද දැනෙන්න ගත්තා. ඉක්මනට ගිහින් නා ගත්තා.

මම මහන්සිවෙලා ගෙනාපු විස්තර පියතිලක බැළුවෙ නැහැ. මට පසුව තේරුනා මාව යාපනේ යැව්වේ මාව සංඝාරාමයෙන් දින කිහිපයක් පිට කරලා තියන්න නිසා බව. නමුත් ඒක මට ඒ කාලයේ එකවරම තේරුම් ගියේ නැහැ. නැවත වරක් මට යාපනයට යන්න වෙනවා 1971 අප්‍රේල් 4. මට රෑ කෝච්චියේ යාපනයට යන්න කියලා පියතිලක කිව්වා. මට කිව්වේ ඉස්සරහම තියන කෝච්චි පෙට්ටියට යන්න එතන අපේ අය ඉඳිය කියලා. මම දැනගෙන හිටියා යාපනය හිර ගෙදර ප්‍රහාරයට තමයි අපිව යවන්නේ කියලා. නමුත් සමහරු ඒක දැන ගත්තේ යාපනයට ගිය පසුවයි.

පියතිලකගේ උපදෙස් අනුව මම ඉස්සරහම කෝච්චි පෙට්ටියට ගියා. එතන දෙහිවල උපාලි ඇතුළු 27 විතර හිටියා. සමහරු මම අඳුනන්නේ නැති අය. යාපනයට 500ක් ගේන්න කිව්වට ගියේ 83- 90 විතර. තව කට්ටියක් ඊබට් සිල්වා බස් එකක ගියා.

අපි යාපනයට යනකොට උදේ 4ට විතර ඇති. කෙලින්ම ගියා යාපනයේ නාග විහාරයට. දවල් වෙන කොට තවත් කණ්ඩායමක් ආවා නාග විහාරයට. මට යාපනේ ස්ටේෂමට යන්න උනා ඒ අය ගන්න. දවල් ආපු කණ්ඩායම අත බෝම්බ එවා තිබුනා. අපේ කණ්ඩායම ආවේ ආයුධ මොකුත් නැතිව. දවල් වෙලා කෝච්චියේ ආපු අය අත චීනට්ටච්චි බෝම්බ 200ක් විතර තිබුනා. මේ අය යාපනේ ගේන්න බෝම්බ - හදලා.
මම එක බෝම්බයක් පරීක්ෂා කළා. පුපුරන ද්‍රව්‍ය පිරෙන්න කිටි කිටියේ තද වෙලා නැහැ. කොලිටි එක මදි. මම බර්ටි රංජිත්ට කිව්වා මේවා පුපුරන එකක් නැහැ කියලා. බර්ටි මාව පසෙකට අරගෙන ගිහිල්ලා කිව්වා මිනිස්සුන්ව අධෛර්යමත් කරන්න එපා යනුවෙන්.

මම බෝම්බ නවාතැනට ගෙනියලා පුපුරන ද්‍රව්‍ය නැවත පැක් කරා සමහර බෝම්බ වල. කස්ටම් පියදාස කළුතෙල්, දියතාර හා පෙට්‍රල් දෙන්නං කියලා තිබ්බ නිසා පෙට්‍රල් බෝම්බ හදන්න අලියා බීම බෝතල් ගෙන්නුවා. විශ්ව විද්‍යාල වලින් ආපු සාමාජිකයෝ රුපියල් 500 ලෝන් එක අරගෙන ඇවිත් හිටියේ ඒ නිසා හැමෝම අත වගේ සල්ලි තිබුනා.
බීම බෝතල් 24 විතර අරගෙන පුළුවන් තරමක් බීලා ඉතිරිය කානු වලට හැළුවා. මේවා වල පෙට්‍රල් පුරවලා මෝලටොව් හදන්න නියම කෙරුවා. ඒත් ප්‍රහාරයේදි එක පෙට්‍රල් බෝම්බයක් වත් ලැබිලා නැහැ.

මේ අතරේ මංජු මට කිව්වා රංගල, කොතලාවල, එස්. ඩී. සෝමරත්න කළු ආරච්චි, දෙහිවල උපාලි එක්ක කරෙයිනගර් නාවික බේස් එක අසලට යන්න එතෙන්ට නේවි එකේ තිලකරත්න වෙපන් අරගෙන එනවා. එතකොට මම උත්තර දුන්නා මට නියමිතව තියෙන්නෙ ඊ2 සෙක්ෂන් එකේ 8 මැදිරියේ ඉන්න විෙජ්වීර සහෝදරයාව බන්ධනාගාරය දොරටුව කඩලා ගන්න. විෙජ්වීර සහෝදරයාට ඕනම රැයක මාව අඳුර ගන්න පුළුවන් මම බන්ධනාගාර ඇටෑක් එකෙ ්ඉන්නම ඕන කියලා. ඒත්
මංජු කිව්වා අපිට තිලකරත්න ගේන ආයුධ වැදගත් ඒ නිසා ඉක්මනට එතෙන්ට යන්න කියලා.

මේ අනුව 1971 අප්‍රේල් 5දා රෑ 9ට විතර කරෙයිනගර් නාවික කඳවුරට යන ඩබල් ඩෙකර් බස් එකක නැග්ගා. ඒත් බස් එක යන පාටක් නැහැ. ඒ පාර අපි බස් එකෙන් බැස්සා. ගත්තා ටැක්සියක්. අපි හිටපු තැන ඉඳලා කරෙයිනගර් බේස් එකට හැතැම්ම 14 විතර ඇති. අපි ටැක්සිකාරයට ඇගෙව්වා අපි නැවියන් බව. හැකි ඉක්මනින් කෑම්ප් එක ලඟට යන්න කියලා දැනුම් දුන්නා. ටැක්සි රියැදුරා වාහනය එලෙව්වේ හයියෙන්. විනාඩි 15-20 විතර අවශ්‍ය තැනට ගියා. ගාස්තුව ගෙවලා ටැක්සිය පිටත් කළා.

එදා හඳ පායපු දවසක්. අපි තල් ගස් වලට මුවා වෙලා කෑම්ප් එක අසලට ගියා. මම  එස්. ඩී. සෝමරත්න හා කොතලාවල කෑම්ප් එකේ බැරියර් එක ආසන්නයේ අනික් අය මීටර් 3ක් විතර පසුපස. අපි තල් ගස් වලට මුවා වෙලා නිසා කවුරුත් දැක්කේ නැහැ. අපි බලාගෙන හිටියත් තිලකරත්න ආවෙ නැහැ. කඳවුරේ කිසිම වෙනසක් නැහැ. අපි හිතුවේ නිදිපෙති කෑමට දාලා නැවියන් නිදි ඇති දැන් තිලකරත්න ආයුධ අරගෙන එයි කියලා. කඳවුර හොඳට ක්‍රියාත්මකයි. නැවියන් මුර ආයුධ පිටින්.

අපි ලඟ තිබ්බේ චීනට්ටච්චි බෝම්බ 6යි. එස්.ඩී. ලඟ පිහි තලයක් තිබුනා. මේ ආයුධවලින් නාවික කඳවුර යටත් කරලා ආයුධ ගන්නේ කොහොමද? තිලකරත්න අපිට කණුවක් තිබ්බා කියලා තිලකරත්නට හිතෙන් බැන බැන යාපනේ බන්ධනාගාර ප්‍රහාරයට සම්බන්ධ වෙන්න අපි යළිත් යාපනය පැත්තට දුවගෙන ගියා. ඒ යන කොට කාර් එකක් ආවා. අපි අත් දාලා වාහනය නැවැත්තුවා. වාහනයේ ද්‍රවිඩ මිනිහෙක් ඉන්නවා. හොර බඩු අදින වාහනයක් වගේ.

මිනිහා අපිව දැම්මා කෝවිලක් ලඟට. දැන් වෙලාව උදේ 2.30 විතර ඇති. යාපනේ යන්න විදිහක් නැහැ. උදේ බස් එකක් ආවා අපි එකේ නැග්ගා. අපි එකට බෝම්බ එක්ක යන එක පරිස්සම් මදි නිසා අපි වෙන් වෙන්ව අතර මග බැස්සා. මම ස්ටෑන්ඩ් එක දක්වා ගියා.

නගරය ඇවිස්සිලා පොලිසිය හමුදාව මුර. මට දිව ගිලෙන්න තරමට පිපාසේ. මම කඩයක් දෙසට ගියා වතුර බොන්න. මාව දැකපු පොලිස්කාරයෙක් දෙමළෙන් ඇහුවා හිටියේ කොහේද? මම ඒක ඇහුනේ නෑ වගේ කඩේ ඇතුලට ගියා. යළිත් මගෙන් ඇහුවා. මම සිංහලෙන් උත්තර දුන්නා. එක පාරටම මට ඩෝං ගාලා රයිෆලෙන් ගැහුවා. මම බිම ඇදගෙන වැටුනා. එතකොට වටේ හිටපු හමුදා සෙබලූන් පොලිසිය මාව වට කරා. මගේ ඇදුම් ගලවලා නිරුවත් කළා. මම ලඟ තිබ්බේ ටෝච් එකක් විතරයි. ඒක විසි කරන්න කියලා රයිෆල් අමෝරලා කෑ ගැහුවා. මම ටෝච් එක විසි කරා. මට අතින් පයින් පහර දීලා නිරුවතින් බස් ස්ටෑන්ඩ් එක වටේ ගෙනියනවා. දැන් එළිය වැටිලා මිනිස්සු ටවුන් එකේ. මිනිස්සු ගෑනු පාර දෙපසට රොක් වෙලා මාව ගෙනයන අයුරු බලනවා.

මට ඇහෙනවා දෙමළ අම්මලා ආ~වනේ පාවන් සින්න පොඩියන් -(පවු පොඩි කොල්ලෙක්) කියලා දුක් වෙනවා. මේ සිද්ධිය මට ජීවිතය තියන තුරා අමතක වෙන්නේ නෑ. 1983 ජාතිවාදී කෝලහලයේදී මම දෙමළ මිනිසුන් බේරා ගත්තා. මට එදත් මේ වචන හිතේ රැදිලා තිබුනා.

මාව බස් ස්ටෑන්ඩ් එක වටේ ගෙනියලා දැම්මා ලංගම චෙකර්ලා ඉන්න පොඩි දැල් කූඩුවට. දෙමළ පොලිස්කාරයෝ වගයක් තොපි අපේ පොලිසියට ගැහුවා නේ කියලා රයිෆල් මිටෙන් මගේ දකුනු උරපත්තට ගැහුවා. එතකොට මට තේරුනා මංජුලා යාපනය පොලිසියටත් ගහලා බව.

මට දෙමළ පොලිස්කාරයෙක් පහර දෙන බව දුටු සිංහල යුද හමුදා භටයන් ඒක නැවැත්තුවා. ඊට පස්සේ ඔවුන් මට පහර දුන්නා තෝ දෙමළුන්ගෙනුත් ගුටි කනවා නේද කියලා. මගෙන් ඇහුවා උඹ කාත් එක්කද ආවේ? මට ඔළුවට ආවා සින්දු කියන සුසිල් ප්‍රේමරත්නගේ නම. මම කිව්වා සුසිල් එක්කයි ප්‍රේමරත්න එක්කයි කියලා. එතකොටම පොලිසියෙන් කොතලාවලයි, එස්. ඩී. සෝමරත්නයි අල්ලගෙන එනවා. ඒ පාර ඇහුවා මේ උන් දෙන්නද? මම ඔලූවෙන් නෑ කිව්වා. ඒ පාර පයින් ඇන්නා කටින් කියපිය කියලා. මම නෑ කිව්වා.

අපිව අරගෙන ගියා යාපනය පොලිසියට. අපි යන කොට බර්ටි රංජිත්. භද්දිය, කොටවිල දේවසිරි, කරාටේ සැම්සන්, සිරිපාල අයියා ඔක්කෝම කූඩුවේ. යාපනය පොලිසියේදි අපිට ගැහුවා නැතිවෙන්න. මැරෙන්නමයි
ගැහුවෙ. හොඳ වෙලාවට එස්.පී. සුන්දරලිංගම් මහත්තයා ආපු නිසා අපිව බේරුනා. සුන්දරලිංගම් මහත්තයා පහර දීම නවත්තලා තැලිලා තුවාල වෙලා හිටපු අපිට වෙනිවැල්ගැට දෙන්න නියම කරා. ඒ පාර වෙනිවැල්ගැට තම්බලා ටින් කිරි ටින් වලට දාලා උනු උනුවේම අපෙ කටවල් වලට හැළුවා.

සෙල් එකේදි මම දැනගත්තා ප්‍රහාර අසාර්ථක වූ බව. බර්ටි රංජිත් එක්ක යාපනේ හිරගෙදර ප්‍රහාරයට ගිය කොළඹ විශ්ව විද්‍යාලයේ වසන්ත හා සුමනරත්න මැරුණු බව දැනගත්තා. අපිට ගහලා යාපනය පොලිසියේ කූඩුවට දාලා ඉන්න කොට නේවි එකේ තිලකරත්න ආවා. මට මතක හැටියට 1971 අප්‍රේල් 6 විතර වෙන්න ඕනෙ. හවස 4ට 5ට විතර ඇති. තිලකරත්න හිටියේ යුනිෆෝම් පිට. කට්ටියටම ගහලා නේද කියලා මිමිනුවා. තිලකරත්නව අඳුර ගත්තේ මම ඇතුළු කිහිප දෙනෙක් විතරයි. මට තිලකරත්න දැක්කාම තරහා ආවා. රෑ අපිව මඟ ඇරීම පිළිබඳව. ඒත් මම සබඳතා හෙලි වෙයි කියලා මොකවත් කිව්වේ නැහැ. තිලකරත්න යන්න ගියා.

පසුව අපිට ආරංචි උනා තිලකරත්න 1971 අප්‍රේල් 5දින කඳවුරේ අවිගාරය භාරව හිටි නමුත් සැකය නිසා මුහුදේ ඩියුටි දාලා. ඒ නිසා 5 දින රෑ අපිව මුන ගැහෙන්න බැරි උනා. 7දා කඳවුරේ අවිගාරය භාරව ඉඳලා තියෙන්නෙ කොස්තා කියන තිලකරත්නගේ යාළුවා. තිලකරත්න කොස්තාගෙන් යතුර ඉල්ලලා තියනවා. කොස්තා කියලා තියනව මචං විහිළු කරන්න එපා කියලා. ඒ අවස්ථාවේ තිලකරත්න කොස්තාගේ හිසට වෙඩි තියලා ආමරිය ඇරලා එල්.එම්.ජී. වගයක් ජීප් එකේ දාගෙන
ගේන විට එලිෆ්න්ට්පාස් වලදි තිලකරත්න එලවපු ජීප් එකට වෙඩි තියලා. ඒ වෙඩි තැබීමේදී තිලකරත්න මිය ගියා. තිලකරත්න මැරුනේ 71 අප්‍රේල් 7 විතර.

මට දැන් හිතෙනවා තිලකරත්න අවිගාරයේ ආයුධ අරගෙන යාපනය පොලිසියට ඇවිත් අපිව එළියට ගන්න ට්‍රයි එකක් කලාදෝ කියලා. මම අන්තිිමට දකින කොට තිලකරත්න වරදකාරි ස්වභාවයකින් හිටියේ. තිලකරත්නට 1968 සිට ව්‍යාපාරය සමග සබඳතා තිබුණා. 67 දි ව්‍යාපාරයේ විශේෂයෙන්ම මිල්ටන්ගේ ඉල්ලීම මත මම නාවික හමුදාවට බැදෙන්න ගියා. නමුත් තේරුනේ නැහැ. හිරේදි මට ආරංචි වෙනවා මිල්ටන්ගේ මරණය ගැන.

යාපනයේ ප්‍රහාරයට පියතිලක එන බව කීවත් පියතිලක ප්‍රහාරය මඟ ඇරියා. පසුව 71 දි හිරේ ඉන්න කොට මට දැන ගන්නට ලැබුනා යාපනේ ගිය විරු සහෝදරවරුන්ට සොහොන් කොත් බදිනවා කියලා පියතිලක කියු බව.පියතිලකගේ ඇතැම් ගතිගුණ මම එදා අගය කලේ නැහැ. පියතිලක ඉන්දියානු ව්‍යාප්තවාදය දේශනය කලේ ජාතිවාදි ස්වරූපයකින්. මගේ දේශපාලන ගුරුවරයා වූ මිල්ටන් කෙරෙහිත්  පියතිලක දැරුවේ දුර්දාන්ත අදහස්.


යාපනය පොලිසියේ හිටපු අපිව හැමන්හිල්  දූපතේ හිර කරන්නට
නියෝග ආවා. අපි තමයි හැමන්හිල්  ගිය මුල්ම සිරකරුවෝ. අපි
60 විතර පිරිස ට්‍රක් වල දාලා කරෙයිනගර් ජැටියට ගෙනිච්චා. කරෙයිනගර් ජැටියේ සිට බලන කොට කිලෝමීටර් 1 පමණ දුරින් තියන හැමන්හිල්   දූපත පේනවා. හැමන්හිල් වල නේවි ලයිට් හවුස් එකක් තියනවා. ඒ එළිය එදා රෑ තිලකරත්න එනතුරු කරෙයිනගර් කඳවුර අසල තල් ගස අසල සිටි වෙලාවේ මම දැක්කා.

කරෙයිනගර් ජැටියේ සිට බෝට්ටු වල අපි කට්ටි කට්ටි හැමන්හිල් දූපතට ගෙන ගියා. එළියේ පෙනුම හතරුස් බලකොටුවක්. රැල්ල වදින්නේ තාප්පෙට වෙරලක් දැක්කේ නෑ. අපි හිර ගෙදරට ඇතුළු උනේ විශාල ආරුක්කු යකඩ දොරකින්. දොරෙන් ඇතුළු වෙලා ගියාම ඕලන්දකාරයෝ වෙඩි ඛෙහෙත් ගබඩා කරන්න ගහපු බිං ගෙවල් වගේ කුටීර 9 තියනවා. මේවාට කිව්වේ ඩන්ජන් කියලා. අංක 5 ඩන්ජන් එක ගබඩා කාමරය. මැද මිදුල වොලිබෝල් පිටියක් තරමට ඇති. මැද බෝ
ගහක් තියනවා. අපි යන කොට ආරක්ෂක හේතුන් මත බෝ ගහ බාගෙට කපලා.

මැද මිදුලේ සිට බැලූවහම වටේ හැමන්හිල් බලකොටුවේ තාප්පය. ඒක අඩි 20 පමණ වෙන උස් පළල් තාප්පයක්. මිනිසුන් 5-6 දෙනෙකුට පේලියට ඇවිදගෙන උනත් යන්න පුළුවන්. තාප්පේ උඩ ගොඩනැගිලි හදලා තිබුනා. එහි අපිව මුර කළ නාවික භටයන් හා බන්ධනාගාර නිළධාරින්. අපිව හැමන්හිල් වලට පිළිගත්තේ පහර දීලා. අපිව දැම්මා ඩන්ජන් ඇතුලට. මම හිටපු ඩන්ජන් එක අඩි 8-9 විතර උසයි. අඩි 12 විතර පළලයි. ගල්ගුහාවක් ඇතුලේ ඉන්නවා වගේ. වාතාශ්‍රය නැහැ. දරා ගන්න බැරි රස්නයක් දැනුනා. අපිව ඩන්ජන් අස්සට දමා යකඩ දොරවල් වලින් වසා දොරගුලූ දැම්මා.

රස්නේ නිසා අපි හිටියේ දාඩිය නාමින්. ලූණු සහිත වාතය නිසා අපේ ශරිර වල ලූණු බැදුනා. අපේ ඇඳුම් කඩමාලූ වෙලා. අපි හිටියේ නිරුවතින් වගේ. 1971 අප්‍රේල් 28 දින තවත් සැකකරුවන් 100 විතර නැවකින් ගෙනාවා ඒ අය බය උනා අපි හෙළුවෙන් චිම්පන්සින් වගේ ඉන්නවා දැකලා. හැමන්හිල් වල තදබදය ඉහල ගියා. දාඩිය, රස්නේ, වාතාශ්‍රය නැති කම මේ සියළු ගැටළු අපි දරාගෙන හිටියා. වැසිකිලි හැටියට තිබුනේ පෙට්ටි ගහපු බාල්දි වැසිකිලි.

1971 ජුලි වෙන කොට 210 විතර සිරකරුවෝ ඩන්ජන් ඇතුලේ. මට මතක් උනේ බිම්ගෙයි සිරකරුවා කෙටි කථාව. රෑ වෙන කොට කළුවරයි. අඳුර බින්ද තැනින් ඇන ගහපු ලැන්තූරුම් කිහිපයක්. පවුල් ප්‍රශ්න ඇති සිරකරුවන් අ~නවා, වැලපෙනවා. යාපනේ ප්‍රහාරයට නොදන්වා ගෙන්න ගත්ත අය නායකයන්ට බනිනවා. බර්ටි රංජිතුත් බැනුම් ඇහුවා.

එතන හිටියා සුසිල් ගල්ගමුව කියලා අනුරාධපුරයේ තරුණයෙක්. ඔහු තමාව අනතුරට හෙළීම පිළිබඳව ප්‍රසිද්ධියේ දොස් කිව්වා. (සුසිල් ගල්ගමුව අනුරාධපුරයේ තරුණයෙකි. ඊබට් සිල්වා බස් රථයේ පැමිනි ඔහුගේ යාළුවෙක් ටි්‍රප් එකක යාමට කියා සුසිල් ගල්ගමුව යාපනයට කැඳවාගෙන ගිය බව  ඔහුගේ ඥාතීහු පවසති.  ඔහු නිදහස ලබා අනුරාධපුරයේ ජීවත් වූ අතර පසු කාලයක කෝච්චියට පැන දිවි තොර කර ගත්තේය. - කත_ෘ)

අපේ ඉකිලි වල රෑෂ් දාලා ඉවසන්න බැහැ. අන්තිමේදි අපි සිරගෙදර
ඩන්ජන් වල අගුලූ කඩලා බෝ ගහ වටේ මඩුවක් ගසා එහි හිටියා.

අපි උත්සහ කළා ඩන්ජන් එකක් ඇතුලේ බිත්තිය විදලා තාප්පෙන් පැනලා යන්න. අදත් හැමන්හිල්  වල 6වන ඩන්ජන් එකේ අපි රහසින් හාරපු කුහරයක් තියනවා. මේ කුහරයට ටී.වී. එකක් දාන්න උනත් පුළුවන්. බිත්තිය හයියයි. තද ගලෙන් බැඳලා තියෙන්නේ. ඒ නිසා අපිට බැරි උනා බිත්තිය පසා කරගෙන යන්න.

හැමන්හිල් වලදි මතවාද නිසා සමහරු ගුටිකෑවා. ලාල් සෝමසිරි පහර කෑවා. බර්ටිට ගහන්න ප්ලෑන් කරා දැඩිමතධාරින්. නමුත් පසුව මේ ගැටළු සමතයකට පත් කරන්න අපි දැඩි උත්සාහයේ යෙදුනා.  මම, අසෝක ගමගේ, මංචනායක මහරගම ඩග්ලස් කරාටේ පුහුණු උනා.

අපිට කෑම දුන්නේ උදේ 7 ට දවල් 11ට හා හවස 4ට. කෑම උයන්නේ යාපනේ හිර ගෙදර. බත් වල ගල්. කෑම වල ලූණු, තුනපහ, ගෑවිලත් නැහැ. 1971 ඔක්තෝබර් 11 දා අපි ආහාර වර්ජනයක් කළා. ඊට පෙර රහසින් ගබඩා කාමරේ තිබු පොල් හා සීනි ඩන්ජන් අස්සේ සඟවලා තිබ්බා. අපි කෑම වේල් 14ක් වර්ජනය කළා. අමාරු වූ අයට සඟවා ගත් ආහාර දුන්නා. අපි විසිට් පවා ප්‍රතික්ෂේප කළා.

අපිව විසිට් ගෙනිච්චේ යාපනය සිර ගෙදරට. එතැනට ඥාතීන් එනවා. වරක් විසිට් එකකට මාව තනිව ගෙනිච්චා. ට්‍රක් 2 ආමඩ් කාර් 1 සහිත වාහන 5ක ගාඩ් එකක් පිට. විසිට් වලට අපි ගියේ නැති නිසා දෙමාපියන් බය උනා අපිව මරලා වල දාලා කියලා. ඒ අය මානව හිමිකම් ආයතනවලට දැනුම් දුන්නා හැමන්හිල් බන්ධනාගාරේ සිරකරුවන්ගේ ජීවිත අනතුරේ බව. මේ අනුව හැමන්හිල්   සිරකඳවුර වසා දැමිය යුතු බව බලධාරීන්ට වැටහුනා.

හැමන්හිල්   සිර කඳවුරේ දේශපාලන මතවාද වලට ගහ ගත්තට අනෙක් සිර කඳවුරු වල වගේ පාන් බාගයට, සෙරෙප්පු දෙකට ගහ ගත්තේ නැහැ. හැමන්හිල්  හරහා විප්ලවීය සාහිත්‍යයත් සින්දුත් ගොඩ නැගුනා. අපි හවස එකතු වෙලා සින්දු කියනවා. රත්නදීප ජන්ම භූමි සින්දුව තමයි නිතර කිව්වේ. අපි සින්දු කියන අයුරු වල්ලිපුරම් කියන වයසක ෙජ්ලර් අහගෙන ඉන්නවා. වල්ලිපුරම් යාපනේ මිනිහෙක්. සිරකරුවන් හැමන්හිල් වල ජීවිතය සදාකාලයට දිය වෙලා යයි දෝ කියන සාංකාව එක්ක ඉන්න කොට වල්ලිපුරම් කියනවා ඕගොල්ලෝ තරුණයි. ගෙවල් වලට යන්න පුලූවන් වෙයි කියලා.

අපි එක සින්දුවක් කිව්වා පන්ති සටන පන ගන්වව් විජය ධජය නංවව් කියලා. මේක වල්ලිපුරම් අහගෙන ඉඳලා මේ කෑල්ල නිතර මුමුණනවා. මිනිහට විජය ධජය නංවව් කියන්න බෑ කියන්නේ විජය දජය බව් බව් කියලා. අපි සමහර දවස් වලට නාට්‍ය කළා. නේවි එකේ භටයන් තාප්පය උඩට වෙලා පහත රඟදක්වන නාට්‍ය දිහා ආශාවෙන් බලාගෙන හිටියා. එදා හැමන්හිල්  වල රඳවලා හිටියේ තරුණයෝ. ඔවුන්ට ලිංගිකඅවශ්‍යතා දැනෙන්න අති. නමුත් තදබදය හා අඩු පහසුකම් නිසා රහසින් ස්වයංවින්දනය කිරීමට අවකාශයක් පෞද්ගලිකත්වයක් තිබුනේ නැහැ. ඒ නිසා ආවේග ක්‍රියා, දේශපාලනය ඉගෙනීම මගින් යටපත් කර ගන්න ඇති.

71 මුල් කාලයේදි මාව හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට ලක් කළා. සී.අයි.ඩී. එකේ කට්ටියක් ඇවිල්ලා මා ඇතුළු තව කිහිප දෙනෙක් තාප්පය උඩ සිට නිරීක්ෂණය කළා. එතන පොලිස් ඇදුම් අන්දපු වසන්ත කනකරත්න සිටි බවටත් කසු කුසුවක් අපි අතර ගියා. ඔවුන් මාව හඳුනා ගත්තා. ඒක මට ප්‍රහේලිකාවක්. මාව යාපනය පහරදීම් නඩුවේ 43 වන සැකකරු. ( සැබවින්ම වසන්ත කනකරත්න ට පොලිස් ඇඳුම් අන්දවා හැමන්හිල් හිදී   රහසින් පෙරෙට්ටුවක් කළ බව රහස් පොලිසියේ විශේෂ විමර්ෂණ ඒකකයේ නිලධාරියෙකු වූ ජෙගනාදන් මහතා 2009 දී සනාත කලේය-කත_ෘ)

අපිව ඉඳහිට යාපනය සිර ගෙදරට ගෙනයන කොට යාපනය පොලිස් වත්තේ තියන ඇට්ලස්ගේ කාර් එක හුළං ගිය ඊබට් සිල්වා බස් එක අපි දකිනවා. දවසක් කෙනෙක් කිව්වා ඇට්ලස්ගේ වාහනයේ චැසිය ගලවලා අනෙක්පැත්ත හරවලා බෝට්ටුවක් වගෙ මුහුදට දාලා පැදගෙන පළා යමු කියලා. මේකට ඇට්ලස් බන්ඩාරට කේන්ති ගියා.

මම 1972 සැප්තැම්බර දක්වා හැමන්හිල්  වල හිටියා. ඊට පස්සේ අක්කරායන්කුලම් වලට ගෙනිච්චා. 1972 10 වෙනි මාසය වෙන කොට හැමන්හිල්  සිර කඳවුර වසා දැම්මා. බර්ටි රංජිත් පල්ලේ කැලේ ගියා. ඉන් පසුව ඔහු එතනින් පළා යනවා.

මේ අතර කාලයේ අපට විරුද්ධව නඩු විභාග ඇරඹෙනවා. මට නඩුවේදි අවුරුදු 4 ක සිර ද~ුවමක් ලැබුණා. අවුරුදු 2ක් ගත වන විට බන්ධනාගාර නිලධාරින් අතින් සිදුවූ දෝෂයක් නිසා මාව 1974 පෙබවරවාරි 11 නිදහස් කරනවා. මම ජ.වි.පෙ සමඟ 2008 දක්වා හිටියා. 1970 සිට 2008 දක්වා හිටපු සාමාජිකයන් සුළු ප්‍රමාණයෙන් මමත් එක් අයෙක්.

බර්ටි රංජිත් යාපනේ ප්‍රහාරය ගැන පොතක් ලිව්වා. බක්මහා කඳුළු කියලා. ඒ පොතේ මම ගැන සඳහන් නැහැ. මගේ බන්ධනාගාර අංකය 577, බර්ටිගෙ 575. මට හිතා ගන්න බැහැ පොතේ මම ගැන සඳහන් නැත්තේ ඇයි කියලා. (මේ සම්බන්ධයෙන් 2009 පෙබරවාරි මාසයේදි දැනට ජර්මනියේ වෙසෙන බර්ටි රංජිත් මහතාගෙන් මම විචාලෙමි. රෙක්සි පිළිබඳව ඔහුගේ දෙවන පොතේ සඳහන් වන බව ඔහු මට කීය. -කත_ෘ)


ඒ කෙසේ වෙතත් යාපනය ප්‍රහාරය බර්ටි රංජිත් එදා දිවි පරදුවට තබලා කළා. ඒ ගැන බර්ටි කෙරෙහි මා තුළ ගෞරවයක් තියනවා. 71 කැරැල්ල පක්ෂ අර්බුදය මෝරලා පක්ෂය විනාශ වීමට කලින් කරපු හදිසි පහර දීමක් බවයි මගේ අදහස. අද දිනයේ ආයුධ සන්නද්ධ දේශපාලනය ගැන මට කිසිම විශ්වාසයක් නැහැ. සන්නද්ධ දේශපාලනය මගින් කළ හැක්කේ විනාශය පමණක් බවයි මගෙ අදහස.

(වෛද්‍ය රුවන් එම් ජයතුංග ගේ 71 කැරැල්ල ආරම්භයේ සිට අවසානය දක්වා පුර්ණ සමාලෝචනයක් ) කෘතිය ඇසුරෙනි)

7 comments:

  1. කරුනාකර සිංහල යුනිකෝඩ් වලට හරවා නැවත පළ කරන්න. කිසිවක් කියවීමට බැරිය.

    ReplyDelete
  2. http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/?maps=s_dlm-u.xml ආධාරයෙන් කියෙව්ව. මෙහේ කියැවෙන "බක්මහ කඳුලු" කලින් කියවල තියෙනව. එදා "සුන්දරලිංගම්" පොළිස් අධිකාරීතුමන්ල හිටියට 89දි "රොනී ගුණසිංහ"ල!

    ReplyDelete
  3. ඉන්දික ඔබගේ කතාවට මම දහස් වාරයක් එකඟයි. බලන්න ඔබ කියන පොලිස් නිලධාරීන් දෙදෙනාගේ අවසාන කාලය සංසන්දනය කර බලන්න

    ReplyDelete
  4. මේ විස්තර මේ ආකාරයෙන් එක්තැන් කර වෙනත් කෘති තිබේදැයි මා දන්නේ නැහැ. 1971 කැරැල්ලේ නඩු වාර්තා සංරක්ෂණය කොට එමගින් මේ කැරැල්ල ගැන විශ්ලේශයක් කිරීමෙන්, අපේ රටේ එවකට පැවති ආර්ථික සහ සාමාජික, දේශපාලනික තොරතුරු රැසක්, මතු පරපුරේ දැනගැනීම සඳහා සංරක්ෂණය කොට තබන්න පුළුවන්.

    මේ අයගේ විස්තර වලින් පෙනීයනවා සන්නද්ධ අරගලයක් කලයුත්තේ කෙසේද යන්න පිළිබඳව මූලික න්‍යාය පිළිබඳව දැණුමක්වත් නැතිව සමහර අවස්ථා වලදී කටයුතු කරඇති බව.

    ඔබේ මේ ග්‍රන්ථය ඉතිහාසගතවන කෘතියක් බවත් කිවයුතුයි.

    ReplyDelete
    Replies
    1. @ විචාරක -71 කැරැල්ල ආරම්භයේ සිට අවසානය දක්වා පුර්ණ සමාලෝචනයක් කෘතිය ලිවීමට පෙර මම 71 ට සහභාගි වූ පුද්ගලයන් 100 වඩා ඉන්ටවිව් කළා. ඉන් 99% ආයුධ මගින් කරන සමාජ වෙනස ප්‍රතික්ශේප කරනවා.

      Delete
  5. පොත කියවීමේ වාසනාව තවම ලැබුණේ නැහැ .71 අනිවාරතේ මියගිය අපේ සරසවි සගයන් සිහිවී මහා දුකක් දැනුණා .පොත ලිවීමෙන් ඔබ කර ඇත්තේ උතුම් සමාජ මෙහෙවරක් .

    ReplyDelete
    Replies
    1. ඉන්දු ටීච Thanks , 71 මියගිය ඔබේ සරසවි සගයන් බොහෝ සිටිත්ද ?

      Delete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook