Saturday, December 13, 2014

හරාකිරි










 හරාකිරි කාව්‍ය සංග‍්‍රහය - වෛද්‍ය රුවන් එම් ජයතුංග 


හරාකිරි 

පස් වන ශතවර්ශයේ කවි ලිවූ අප 
වර්තමානයේ කවි පොතක් ලියන්නට දරන වෙර 
ඉන් පොත් සියයක් හෝ විකුණා ගැනීමට නොහැකිව  
ලතවෙන කවීන් ගේ අප්ක්ශා භංගත්වය 
කවි පොතක් පළ කලා යනු
සියතින්ම බඩ කපා ගැනුමක් නොහොත් 
එනම් හරාකිරි කර ගැන්මක් ද ?  





වැන්ගෝ මිතුර 


තිරිඟු කුඹුරට ඉහලින් පියඹා ගිය කවුඩනි 
නොදුටුවේද රන් පැහැති තිරිඟු 
සුළඟට වැනෙනා අයුරු 
තෙලි තුඩින් නිම වූ 
ගෙඩි පිරුණු ප්ලම් ගස 
දුඹුරු පැහැති අතු විහිදා
බලා සිටියි ඔබ එනතුරා 

කහ පැහැයෙන් පිරිපුන් 
සුරියකාන්ත මල් කිනිති 
මවයි දසුනක් 
සිත් වසඟකරවනා 

රාත්රිය එළඹී ඇත 
විහිදේ චන්ද් කාන්තිය 
අහසේ දිලෙයි තරුකැට 
මවමින් විසිතුරු රටා 

මලානිකවූ ලන්තරුමේ පිහිටෙන් 
රුදුරු කුසගිනි නිවාගන්නට 
අර්තාපල් බුදින දුගී පැල්පතේ නිවැසියන් 
දැන සිටියේද ඔහු ගැන යන්තමින්වත් 

තම තෙලිතුඩින් නිමකළ 
අසමසම චිත්රයනට 
ඔහු කොතෙක් ඇලුම්කලද
එම මනස්කාන්ත චිත්රයන් 
ඇළුම්කලේද ඔහු හට 

සිත්තරෙකුගේ ඉරණම 
මෙතරම් කටුක වුයේ මන්ද 
අහෝ වැන්ගෝ මිතුර 
ඇයි නුඹ අත් හැරියේ ජීවිතය 
අවසන් නොකළ චිත්රයක් සේ









මරිසාගේ නෙත්සැර

 මරිසාගේ නෙත්සැර 
තණ්හා රතී  රඟා 
මෙට්‍රෝපියා දිගහැරුම  

තොල ගැටෙන බ්ලඩි මේරි  පානය   
ශරීර රිද්මය සංගීතය සහ ස්පර්ශය  
නියෝන් එළියෙන් ලොව දකිනා සත්‍යය   

යමෙක් ආසක්ත වුයේද 
ඉන්ද්‍රියයන් පිනවීමට  
වටහා ගත්තේද ස්පර්ශය සහ 
ගැටීමෙන්  පැන නගින දුහුළු යථාර්තය   

රාත්‍රිය  දිගුය 
හිරු තවමත් පායා නැත  
නොමැතිමුත් හිරු එලිය  
පායා ඇත  නියෝන් චන්ද්‍රයා  

සිහිනයත් යථාර්ථයත් අතර මායාව  
නොමැත කඩඉමක් දකින්නට  
අඳුරට මුවා වූ චංචල සිත  ග්‍රහණය කරයි 
මරිසාගේ නෙත්සැර

(කැනේඩියානු තිර රචක Jill Golick ගේ  Metropia  ටෙලි නාට්‍යය ඇසුරෙනි )










සරසවි  අධ්‍යාපනය 

කළු පැහැති  ලෝගුවක්  
ඇඳගත් කෙනෙක්  වදාරයි දේශනාවක්  
දෑත් දෙපස වනමින්    

දැනුම වනපොත් කරන  
මානවක මානවිකාවන්  
වහ වහා ලියාගනියි සටහන්  
කිසිදු අකුරක් ගිලීගි යන්නට ඉඩනොදී     

ලෝකය ගෝලාකාරයි  
පවසයි ඔහු  ගිරිය  පුප්පා 
අසා සිටියි සියක් දෙන නොවිමසා  
කිසිදු එක ප්‍රශ්නයක්   

කුතුහල සිත් ඇති එක් මුග්දයෙක්  
අසයි දේශකයාගෙන් පැනයක්  
ඇයි ලොව ගෝලාකාර  
නොවෙනට බැරිද එය හතරැස්   

ගිරා පෝතකයන් සිනාසෙයි  
දේශන ශාලාවේ  වහල දෙදරන්නට  
ගිනි පුපුරු විසිවෙයි  දේශකයාගේ නෙතු වලින්    

එම්බා මුග්දය  ලියාගනු සටහන්  
නොවිමසා ප්‍රශ්න  
තට අවශ්‍ය දැනුමද  
විභ​හග  සමර්තයද    

නොපිහිනනු  කිසිදා උඩුගං බලා  
සිටිනු එකත්පස්ව කට අයාගෙන  
නොවිමසා කිසිදු පැනයක්   
 පිළිගනු සියල්ලම සත්‍යසේ 
උදෑසන හිරු එලිය මෙන්  

වනපොත් කරනු දැනුම   
ගිරවුන් ලෙසින්  
වමාරනු එය නිසි කල  
පරීක්ෂණය පැමිණි විට   







සුදු හිම පියළි

හිම පියළි වැටී
සුදුම සුදු වූ භුමියේ
කාලය හා අවකාශයෙන් මිදී
ඇවිද යමි දේවදාර ගස් අතරින්

වසන්ත සමයේ
චෙස්නට් ඇට සොයමින්
එහි මෙහි දිව ගිය
ලේන්නුනි නුඹලා කොහීද ?
ගස් බෙනවල සැගවී
යලි වසන්තය උදා වන තෙක්
යලි බලා ඉන්නවාද ?

සීතල සුළඟ නිසා
තුරු ගොමු මුදුනින්
ඇද වැටෙන හිම කැට
වැස්සක් සේ විසිරී යයි
මවමින් මනස්කළු රටා

උණුසුම සොයා
ඈත දේශයට පියඹා ගිය සියතුනි
හිමවලින් වැසී ගිය
තුරු ගොමුවල අලංකාරය
නුඹලාට කියා දෙන්නේ කවූද?





පීතෘ භුමිය

හිරු රැසින් නැහැවුන මිටියාවත කඳු මුදුන් සිට ගලා හැලෙන දියඇලි
ගීත ගයමින් ගලා  යන ගංගා 
සියොතුන් පියාඹන නිල් අහස 
වීය අප සැමගේම පොදු වස්තුවක්   

කිසිවෙකුට අයත් නොවූ භුමිය 
වීය සැමදෙනාටම රක්ෂා ස්ථානයක්  
සැමදෙනා සමගිව සිටියෙමු 
භුමියේ වැඩෙන ගස් වැල් ලෙස 

කාලයක් මෙලෙස  ගිය විට 
ඇතැමෙකු භුක්තියට  ගත්හ භුමියේ සරු ඉඩම් 
බෙදා වෙන්කර ගනිමින්
මගෙයි මගෙයි කියමින් 

භූමියට කුරිරු ලෙස  වධ  දී  
උපයාගත් රන්මසු වලින් 
මිලට ගත්තෝය වහලුන් 
කඹුරන්නට උන්ගේ  ජීවිත  යමින් බැඳ 

බෙදා වෙන්කරගත් භුමියේ 
පහල විය නීති රීති 
ගරු කල යුතුයි දේපලට 
අසල්වැසියාගේ 

නීතිය කැඩුවන්
කුදලාගෙන ගියහ නිරී සතුන් සේ 
සින්දෝය ඇතැමෙකුගේ අතපය
 තියුනු අසිපත් වලින් 

 අහසින් කඩා  වැටුනෝය පැලැන්තියක් 
පූජකයන් කියාගත් 
පෙන්නා දෙව්ලොව අපට 
සින්දෝය උන් අපගේ සාක්කු 

කූඩැල්ලන්  මෙන් ගිජුව 
සාරය උරාගත් භුමිය 
දෙවියන් විසින් අපටම තිලින කල
 භූමියක් බව ඇතැමෙකු කීහ 

සමහරෙකු එය පීතෘ භුමිය ලෙස නම් කලෝය 
දිවි පුදා එය ආරක්ෂා කල යුතු බව මුර ගෑහ 
භුක්තිය ඇත්තේ   අපට මිස  අන් අයට නොවන බව 
තරයේ අවධාරණය කළහ 

පීතෘ භුමිය ආරක්ෂා කරනු 
ඔවුන් අපට  විධාන කළහ 
බයිනේත්තු  ඇමිණු තුවක්කු  අතට ගෙන අප 
පීතෘ භුමියේ සතුරන් සොයා ගියෙමු 

මඩ වතුර පිරුණු අගල්වල 
අප සතුරන් දුටිමු 
ඔවුනටද කවා තුබුණි විස 
අපව දුටු  තැන නසන්නට 

වෙන බසක් කතා කල 
වෙනත් නිල ඇඳුමක් ඇන්ද 
අප වැනිම මනුෂ්‍යන් කොටසකගේ ශරීර වලට 
ඇන්නෙමු  බයිනේත්තු වලින් 
ඔවුන්ගේ  ප්‍රාණය  නිරුද්ධ වන තෙක් 

දසත ගලා ගිය 
මිනිස්  රුධිරය 
එක්විය ගංගා වලට 
එකෙහින්ම නිල් ජලය රත් පැහැ විය 
දේව ශාපයක් සේ 

කාලතුවක්කු දුමාරයෙන් පිරී ගිය අහස 
ඇද වැටුණු මහා වෘක්ෂ 
නිසලවූ මිනිස් සිරුරු  වැතිරුණු භූමිය
මිනිස් විෂ එකතු වුනු  ගංගා 
මැව්වේ අමු සොහොනක දසුන්ය 

කුමක් වී ද ඒ  රම්‍ය භූමියට 
මිනිස් ගිජු බවේ සාපය වැදුණු 
දියඇලි  සිඳුනි මැලවුනි  ගස්වැල් 
හැර ගියහ සියොතුන් ශාපලත් භුමිය 

අවසානයේදී  සිදුවූයේ  කුමක්ද 
කිසිවෙකු නැත දැන සිටියේ 
කියා දෙන්නට අවසන් ජවනිකාවේ රඟ 
නොවීය  පනැති  කිසිවෙකූ  එම භුමියේ 




සුසාන භූමිය 

සුසාන භූමියේ දෙකොටසකි 
බුදුනුවන් ගේ කොටස සහ 
කිතුණුවන් ගේ කොටස් ලෙස 
ජීවත් වෙන කාලයේ 
ආගම් වශයෙන් බෙදී ජීවත් වූ මිනිසුන් 
මරණින් පසුවද බෙදී වැතිර සිටිති නිහඞව 




මට රැග දුන් ජ්‍යේෂ්ඨ උතුමා

එදා තක්සලාවේ දී සමානාත්මතාවය සඳහා කියමින්
මට ඩිප්ස් ගැස්සවූ උඹ 
"තෝ කොළඹ ඉස්කෝලෙක" කියා
කුනුවතුර බකට් කල උඹ
ටයි පටියක් බැඳ
ඉඳියි මාව නාඳුනන විලස අද

ශිෂ්‍ය අරගල කියා
අපිට පෝස්ටර් ගැසීමට බලකළ උඹ
පරිපාලකයන්ට හූ කියන්න නියම කල උඹ
අද උන් එක්ක එක පතේ කයි

උඹේ බස් අසා
උද්ඝෝෂණය කර
බැටන් පොලු පාරවල්
කොස්සන්ගෙන් කෑ අපව
දැන් අමතකද

පන්ති වර්ජනය කර
තක්සලවටම නාකි වූ අපට
ජොබ් කට්ටක් හොයාගන්නට
පාර කියනවද?





මූසිලගේ අභියාචනය




 සෞන්දර්ය අංශයේ නිළධාරි මහතුන් වෙත ලියා දන්වන වගනම්,
දස වසක් නොකඩවා ගාන්ධර්ව සේවයේ යෙදුණු නමුත්
තවමත් ස්ථිර නැත මගෙ රැකියාව
සේවය කරන්නෙමි අනියම් පදනමට
නැත ස්ථිර වැටුපක් මා හට
ලැබෙන්නේ දීමනාවක් පමණි.

ලැබෙන සොච්චමින්
දරුපවුලක් නඩත්තු කරන්නේ කෙසේද?
මහ ඇදුරු ගුත්තිල
මගේ ගුරුතුමා බව සැබැයි.
එතුමා දැන් මහළුය
හන්දිරුදාව නිසා නිතරම රැුකියාවටද නොඑයි.
එතුමන්ගේ වැඩකොටසද
ඉටුවන්නේ මා අතිනි

පසුගිය වසරේ රාජ්‍ය ප‍්‍රසංගය
සියළු වැඩකළේ කවුරුන්ද කියා
දන්නෝ දනිති.
මගේ හමගියත්
නම ගියේ ගුත්තිල මහ ඇදුරුගේය

දර පැළුවා, දිය ඇද්දා
අත පය මිරිකා තෙල් ගැල්වූවා
කැඹුරුවා ගුත්තිලයන්ට
උගැන්වූ ශිල්පයට
මුළු ජීවිතයම මෙලෙස
වහල්බවේ රඳවාගන
ගුරුපූජා දියයුතුද?

නැද්ද මටත් දිනාගන්නට ලෝකයක්
ගොඩනගන්නට මගේම ශිල්පයක්
එළිදක්වන්න මගේම තනුවක්
මෙම කරුණු සලකා බලා
මහ ඇදුරු ගුත්තිල විශ‍්‍රාම ගන්වා
මට හිමි තැන සහ
නිසි වැටුප් ලබා දෙනු මැන
 මේ වගට ගාන්ධර්ව මූසිල



 ලීලසේන

පොඩි උනත් ලීලසේන
වරක් කිව්වා
ලොකු අදහසක් රූපවාහිනියෙන්
බිහි කෙරුවත් උසස් නිර්මාණ
නිර්මාණයෙන් පෙන්වන යහගුණ
තිබේද? සැකයි.
නිර්මාණකරුවා ළඟ



නීලව්නා අම්මා
(ගෝර්කිගේ අම්මා නවකතාවේ එන චරිතයකි*

නීලව්නා අම්මේ උඹ කොහිද?
අන්න පාවෙල්ගේ සිරුර
දැවෙනවා ටයර් සෑයක හන්දියේ
හොහොල් ගේ මිනිය
ගසාගෙන යයි කුණු ඇලේ



වියට්නාම් ගම්මානය

ධූලි නංවාගෙන
පහතින් පැමිණි
බෙල් හෙලිකෙප්ටරයේ
එම් 16 ගිනි අවිය දරාසිටි
මැරීන් සෙබලාගේ
රුදුරු දෑස්
බිමට යොමු උනා

සී සී කඩ දුවන මිනිසුන්, ගැහැණුන්, ළමයින් දෙසට
එල්ල වූ ගිනිබටයෙන්
ගිනිපුපුරු සී සී කඩ විසි උනා

ගිනිතැබූ පිදුරු ගෙවල්
අඟුරු වූ කෙත්වතු
නාපාම් සුවඳ
දසත පැතිරුණා



මාදවන් ඇවිල්ලා

මාදවන් ලංකාවට ඇවිල්ලා
එස්. කේ. එස්. සුදර්ශන් මුදලාලිගේ
පුතා මාදවන්, අපේ පරණ යාළුවා ඇවිල්ලා
උස ගිහිල්ලා – සුදු වෙලා
අපිත් එක්ක පොඩිකාලේ සෙල්ලම් කරපු
හැංගිමුත්තන් සෙල්ලන් කරපු මාදවන්
අපි එකට ඉස්කෝලේ ගිය හැටි මතකද?

අසූ තුනේ කලබල – හමුදාවේ දහතුනක් මරා දාලා
දෙමළුන්ට පාඩමක් උගන්වමු
පොඩිකඬේ මුදලාලි හා පිරිස
එකතුවෙලා කැඩුවා එස්. කේ. ස්ටෝර්ස්
මැරුවා කඬේ වැඩට හිටපු වේළු අයියාව
වේළු අයියාගේ සිරුර – ගිනිගත්තා දවස් බාගයක්
හවස ආපු හමුදා රථයක් අඟුරු අරගෙන ගියා

අපේ ගෙදර හංගාගෙන හිටියා මාදවන්ගේ මුළු පවුලම
කඩ වහලා, ගෙයි තිබුණේ මුං ඇට විතරයි
තිබ්බ හාල් කිලෝ එක උයලා දුන්නා මාදවන්ලාට
අපි කෑවේ මුං ඇට

ඊට පස්සේ නැවෙන් යාපනයට ගිය මාදවන්ලා
අපි ආපහු දැක්කේ නැහැ
සුදර්ශන් මුදලාලි අංශබාගේ හැදිලා මැරුණාලූ
මල්ලී ඇල්. ටී. ටීයට බැඳුනාලූ
මාදවන් ජර්මනියට ගියාලූ
අම්මා සහ අක්කා යාපනයේ සිටිමුත්
අක්කාව බිලිගත්තාලූ ඉන්දීය සාම හමුදාව
අක්කාගේ ඔලූව නරක්වෙලා, බයවෙලා
එහෙ මෙහෙ දුවනවාලූ
අම්මත් ලෙඩගානේ

අවුරුදු ගණනකට පස්සේ මාදවන් ජර්මනියේ සිට
ලංකාවට ඇවිල්ලා
ලෝකය වෙනස් වෙලා
පරදෙමළුන්ට පාඩමක් උගන්වමු කිව් පොඩිකඬේ මුදලාලි
එස්. කේ. ස්ටෝර්ස් කඩය
කුණුකොල්ලයට මිළට ගෙන දැන් ලොකු මුදලාලි කෙනෙක්
ආරංචියේ හැටියට නාදන් මුදලාලි එක්ක කුඩු බිස්නස් කරනවාලූ
බිස්නස් වලට ජාතිබේද නැහැ
දෙන්නා එකට විස්කි තොලගානවා
එ්ත් පරණ පුරුද්දට, සුදුවත් ඉදහිට ගන්නවාලූ
හෙට අනිද්දා කවුන්සලේට යන්න අදහසක් තියෙනවාලූ

එ්ත්… මාදවන්ලාගේ ලෝකය බිඳවැටිලා
තාමත් අපිත් එක්ක මාදවන් හිනාවෙනවා
උඹ අපිත් එක්ක තරහද මාදවන්?
ජර්මනිය සීතයි
කෑම  ඕන තරම් ඇතිමුත්
බර්ලිනය පාළුයි
ලංකාවට අපි කොයිතරම් ආදරේද
අපි ඉපදුනේ ලංකාවේ
ලංකාවෙන් ගිය දහස්ගණන් කුණු අදිනවා
ඩෙනිම් ඇඳගෙන සවලෙන් ගසා කුණු ලොරියට දානවා
හවසට කාමරයට ඇවිල්ලා බියර් එකක් බීලා
?ට කාලා ඇඳ උඩට වෙලා කල්පනා කරනවා

ජාතිවාදය නිසා අපි ලංකාවෙන් ආවා
එ්ත් අපි නිදහස් නැහැ
සවස හතෙන් පස්සේ අඳුරු වැටුණු වීදී භයංකරයි
නියෝනට්සි කණ්ඩායම් අපිව දැක්කොත් ගහනවා
බෝතල්, යකඩ දම්වැල්, චේන්, බෝල්ට් පිහි
අපේ කෙට්ටු ශරීරවලට ඔරොත්තු දෙන්නේ නැහැ
පොලිස් සයිරන් හඬ නිසා ජීවිතය බේරුණා
උන් අපට පහරදෙන්නේ අපි දෙමෙල්ලූ නිසා නොවෙයි
අපි කළු ආසියාතිකයන් නිසා
එ් කියන්නේ උඹටත් එ් සැලකිල්ලමයි
මාදවන් කියාගෙන යනවා

කැමල් සිගරැට් පැකට්ටුවෙන් සිගරටයක් පත්තුකරගෙන
දුම් එක්ක හදවතේ වේදනාව එළියට දානවා
එතකොට ජාතිවාදය තියෙන්නේ කොහේද?
ලංකාවේද? යුරෝපයේද?
මාදවන් අහනවා
අපි මොහොතක් ගොළු උනා

ඉස්සර වගේ ක‍්‍රිකට් ගහන්න, ඔට්ටු දුවන්න, මාබල් ගහන්න
ආසයි මාදවන්
අජිත්ලා, සඳුන්ලා, ජූඞ්ලා
රිස්විලා, සුරේෂ්ලා
එක්ක සෙල්ලම් කළ හැටි මතකද?

දවසක් කටුස්සෙක් මරලා
සුදර්ශන් මුදලාලි මට
බැන්නා මතකද?
ඊට පස්සේ වේලූ අයියා අපට සක්කර දුන්නා
කකා ගෙවල්වලට යන්න
දඟ කරන්නේ නැතුව

අපේ ලෝකය වෙනස් වෙලා මාදවන්
අපේ ලෝකය වෙනස් වෙලා




රත්නකූටව යකෙක් එන්නේ

 රත්නකූටය යන - පාර්ලිමේන්තුවේ උපන් 
නමින් රකුසෙක් රුදුවන - අපම චන්දෙන් පත් කරගත්තෙමු 
මහත් හඬ ගසමින - වන්දි භට්ටයන් ගේ සක් හඞ
ඇවිත් සබයට වදී විගසින - හිස් ප්‍රලාප දොඩවන්න​ට
බිරන් වෙස් රැුගෙනා - යථා ස්වරූපය වෙනස් කරමින් 
දනන් බිය කරවමිනා - ධවල වැනට්ටු ඔබ මොබ යමින් 
තිරස යසි දරමිනා -  මුගුරු වලින් හිස් පතබාවමින් 
වදී සබයට රකුසු තොසිනා -මර බය පතුරුවන්නේය 
සෙන හඬ ගුගුරමින - ඩිෆෙන්ඩර් රථ යන්නේය 
විලස රුදු හඬ ගසමින - විලාප හඞ යටපත් කරයි 
යකුන් බිය කරවමින - අහසින් වැටුණු පරිප්පු සිහිකරවයි 
මොහුට සරිවන යකෙක් නැත වෙන - අනාගතේ පහළ වූවොත් මිසක 
සිත් තුටු කරන්නේ -  වර දාන දෙමින්නේ 
ගත් උරිරු වෙසෙකින්නේ - සුදු පිළියෙන් සැරසෙන්නේ 
මෙත් ගුණ නොදන්නේ - නමුත් මහණුන් ගුණ ගයන්නේ 

බෙර ගොස නද අසා - සිහි විකල්ව 
ආලය කරයි විගසා - පත් කරගන්නේය  ඉස්මොළ නොමැති පබාවතියන් 
වෙසමුනි අන නිසා - ඝාතනය කරන්නේය නිදොසුන් 
මෙනර ලොව බැස කෙලී සතොසා - පාමංකඩින් විගසා 
දිලෙන තුරුවකී - එදා පත්කරගත් 
තිරස නයි පෙන පසකී - පසුව වටහාගත් 
රුදුරු ගුණ යකෙකී - මෙල්ල නොවනා 
මෙරඟ මඬලට  සැනෙකි - නෙළුම් පොකුණ තුලින් උපන් 
අසුරයා - පුලතිසිපුර වටා
සුරන් දුන් වරමින -සහල් නැළියක් ඔත් හොවා 
බිරන් වෙස් ගෙන නොලසින - රවටමින් බත් කන මීමුන් 
නරන් බිය කරමින - අහසට වෙඩි තබමින් 
මෙ දැන් එයි අසුර යකු විගසින -වින කටින්න​ට




පහන් පින්කම

පින්කම් කරන්නේ මේ පුදුම රටේ
අමුතු විධියකටයි
දැල්වෙන පහන්
ගංඟා දියේ ගලා යවන්නේ
ඉතිරෙන භක්තිය නිසයි
විචාර බුද්ධියෙන් තොර හිස් මිනනිසුනේ
ජලාශ අපවිත‍්‍ර කරන්නේ
පහන් ලක්ෂයේ පූජාවන් තෙල්මංඩි සමග


රූපවාහිනියේ දෙබඩි බව

එක් චැනලයකින් – ඇටකටු ගැසුණු ළමයින්
නියඟයට වියළීගිය මිනිසුන්
පෙන්වන අතර – අනෙක් චැනලයෙන්
අධිපෝෂණය නිසා
කළගෙඩි වැනි බඩවල් අඩුකර ගන්නට
එකතැන බයිසිකල් පදින
ගැහැණු මිනිසුන් පෙන්වයි


කුඩා කළ සිට උගන්වමු ආගම ධර්මය ළමයින්ට

කුඩා කල සිටම උගන්වමු ආගම ධර්මය ළමයින්ට
තමන්ගේ ආගම උසස් බවත්
අනෙකාගේ ආගම පහත් බවත්
අප සම්‍යයක් ද්‍රෘෂ්ටි බවත්
අනෙකා මිථ්‍යා ද්‍රෘෂ්ටි බවත්
නොවරදවාම උගන්වමු

උගන්වමු ඔවුන්ට ආගමේ නාමයෙන් බෙදී සිටින්නට
උගන්වමු ආගම් භේදයෙන් ඔළුව පළාගන්නට
නොවරදවාම උගන්වමු ආගම් ඇත්තේ තම විමුක්තියට නොව
භේදභින්නව එකම ලෝතලයේ කුලල් කා ගන්නට බව…


සාහිත්‍යයට පිටුපෑම

ජීවන සටන නිසා
වල්මත් වී ගිය
පොතක් පතක් කියවන්නට
ගීතයක් අසන්නට
වෙලාවක් කලාවක් නැති
ගෙන්දගම් පොළොවට
ඇලූණු දෙපා නිදහස් කරගැනීමට
වෙර දරණ මැළවුණු මුහුණින් යුත්
දනන් හට සාහිත්‍ය්‍ය එපාවීද?


හරාකිරි කාව්‍ය සංග‍්‍රහය පිළිබඳව……
 දෛනික ජීවිතයේදී මිනිසාගේ යහ පැවැත්මට එරෙහි බලවේග ංසිද්ධින් බොහොමයක් ඔහුගේ විෂය පථයට හසු වී ඇත.
මහාචාර්ය සෝමරත්න බාලසූරිය කැළණිය විශ්ව විද්‍යාලය

 වෛද්‍ය රුවන් එම්. ජයතුංගගේ කවි බසෙහි ප‍්‍රකාශන ශෛලිය සෘජුය. නාටකීය ආකෘතියක් එ් කවි වල තිබේ.
තිඹිරියාගම බණ්ඩාර -මාධ්‍යවේදී

 හරාකිරි කාව්‍ය සංග‍්‍රහය වර්තමාන මිනිස් සමාජයේ හරස්කඩ නිරූපනය කරයි.
ආචාර්ය එච්. එ්. පී. අභයවර්ධන -ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය

1 comment:

  1. ලස්සනයි ! කවි පොත නොවිකුනත්...තමන්ගේ සතුට හුඟක් වටිනවා !

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook