වෛද්‍ය රුවන් එම් ජයතුංග
වේගයෙන් ඇදී යන උමං දුම්රියේ දොරටුව අසල සිටගෙන සිටි අප එකිනෙකාගෙන් ඈත් වූයේ අඟල් කිහිපයකිනි. මම ඇගේ දෙනෙත් දෙස බැලුවෙමි. ඇය ඉවත බලා ගත්තාය. උමං දුම්රියේ ජනේල අතරින් බලන විට විදුලි ආලෝකය නිසා දිලිසෙන කොන්ක්‍රීට් බිත්ති සිහිපත් කළේ සොහොන් කොත්ය. මම යලිත් වරක් ඇය දෙස බැලුවෙමි. ඇය කල්පනාවක නිමග්නව සිටියාය. දිලිසෙන සොහොන් කොත්, ජෙනී ගේ මලානික වූ දෙනෙත්, අඳෝනාවක් වැනි උමං දුම්රියේ ශබ්දය මගේ සිත තුල ඇති කළේ මලානික හැඟීම්ය.
අප බොහෝ වේලාවක් නිහඬව සිටින්නට ඇත. අප සිටි මැදිරියේ ඇත්තේ අතේ ඇඟිලි ගණනටත් වඩා අඩු මිනිසුන් ගණනකි. ඔවුන් අප දෙස හෝ අප ඔවුන් දෙස හෝ බැලුවේ නැති බව සහතිකය. මළගමකට සහභාගි වන පිරිසක් මෙන් එකිනෙකාගේ දෙනෙත් මගහැර සිටියෙමු. අප ගමනාන්තයට පැමිණ ඇත. ජෙනී තවමත් නිහඬය. අප දෙදෙනා පාලු උමං දුම්රිපලේ පියගැටපෙළ මත පය තැබුවේ සෙමෙනි. අප දෙදෙනාගේ පාවහන් යකඩ පියගැට පෙළ වදිත්ම ඉකිබිඳින්නාක් මෙන් හඬක් නැගිණි.
අප දෙදෙනා උමං දුම්රියපලෙන් පිටතට යන දොරටුව අසලට යත්ම මහලු ගායකයා දකින්නට ලැබුණි. ඔහු මෙහි සිටීම සුලබ දසුනකි. මා නිතරම මෙම මහලු ගායකයා දැක තිබේ. ඔහු නිතරම වාදනය කළේ කර්ලෝස් සන්ටානාගේ ගීතය. ඔහුගේ අතේ තිබූ පැරණි ගිටාරය මගේ දෙනෙතට ලක් විය. එය පැරණි ස්පැනිෂ් ගිටාරයකි. ඔහු කුඩා කනප්පුවක් වැනි පුටුවක වාඩි වී, හිස් බැල්මකින් යුතුව අප දෙස බලා සිටියා මිස කිසිදු ගීතයක් වාදනය නො කළේය. මම පසුම්බිය ඇර ඩොලර් කාලේ කාසියක් ඔහුගේ දෙපා අසලට විසි කළෙමි. ඔහු කාසිය දෙස කාන්සිය මුසු බැල්මක් හෙලීය. හෙතෙම මට ස්තූතියක් වත් නොකර හිස් බැල්මකින් අප දෙස බලා සිටියා පමණි. අප ඔහුව පසු කරන විට ගායකයා දුක්මුසු ගීයක් ගායනා කිරීම ආරම්භ කළේය. ගිටාරයේ වැළපීම සහ මහලු ගායකයාගේ සෝබර හඬ බොහෝ දුරක් යන තෙක් අපට ඇසුණි.
උමං දුම්රිය පොලෙන් ඉවතට පැමිණි අප නිහඬව ගමන් කළෙමු. මම ජෙනීගේ අත අල්ලා ගත්තෙමි. හිම මෙන් ශීත ජෙනීගේ ඇඟිලි තුඩු වල පහස මට දැනුනි. ශීත සුළඟ අප පීඩාවට පත් කළ නිසා මම ඇයත් සමඟ කෝපි පානය සඳහා අවන්හලකට ගොඩ වූයෙමි. එය කුඩා අවන්හලකි. බොහෝ කාලයකට ඉහතදී මා මෙම ස්ථානයට පැමිණ තිබේ. එය කොතරම් වසරකට ඉහත දීද කියා මට මතක නැත. එකල එහි තිබූ ප්‍රාණවත් ගතිය අද දක්නට නැත. අප අවන්හලේ පුටු වලට බර දුන් විගසම අකලට වයසට ගියා යැයි සිතිය හැකි තරබාරු පුරුෂයෙක් අප අසලට පැමිණ අපට කෝපි සමග සැන්ඩ්විච් හෝ වෙන යමක් අවශ්‍යද කියා ගොරෝසු හඬකින් ඇසීය. ජෙනී කිසිවක් ඇණවුම් කළේ නැත. මම කෝපි සමග ක්‍රීම් චීස් යෙදූ සෙසමි බේගල් එකක් ඉල්ලුවෙමි. කිසිවක් නොදොඩා ඔහු ඉවතට ගියේ කෝපි වත්කිරීම සඳහා විය හැක.
ජෙනී තවමත් මා සමඟ කතාබහක් නැත. ඇගේ දෙනෙත් අවන්හලේ බිත්තියක වූ විශාල චිත්‍රයක් වෙත යොමු වී තිබුණි. නිහඬතාවය බිඳින්නේ කෙසේදැයි මම කල්පනා කළෙමි.
මීට වසර කීපයකට පෙර මෙම අවන්හලට පැමිණි අවස්ථාව මට සිහිපත් විය. එකල මෙම අවන්හල කොපමණ ප්‍රීතිමත් හා ප්‍රාණවත් තැනක්ද? ඒ පැමිණි අවස්ථාවේදී මට සංග්‍රහ කළේ රූමත් කාන්තාවකි. ඇගේ රුව ඡායාවක් සේ මට මතකය. එම කාන්තාව දැන් මෙම ස්ථානයේ සේවය නොකරනවා විය හැකිය. තරුණ ක්‍රියාශීලී වේටර්වරියක්වත් නොමැතිව මෙම ගොරහැඩි පුරුෂයා කෙලෙස මෙම ස්ථානයේ වැඩ කරනවාද යන්න මට සිතුණි. ඔහු මෙම අවන්හලේ හිමිකරුවා විය හැක.
මා විසින් ඇණවුම් කළ බේගල් එක සහ කෝපි රැගෙන ඉබි ගමනින් ඔහු පැමිණියේය. කිසිවක් නොදොඩා ප්‍රිය නූපදවන ලෙස අප දෙස බලා ඔහු කෝපි කෝප්පය මා ඉදිරියේ තැබීය. මම ඔහුගේ මුහුණ බැලුවෙමි. ඔහුගේ වයස අවුරුදු පනහක් පමණ විය හැක. එහෙත් ඔහු තුලින් දිස් වූයේ මහල්ලකුගේ පෙනුමය.
"මේ අවන්හලේ වෙන කවුරුවත් වැඩ කරන්නේ නැද්ද?" මම ඔහුගෙන් ඇසුවෙමි.
ඔහු කිසිවක් නොකීය. මම යලිත් වරක් එම ප්‍රශ්නය ඔහුගෙන් ඇසුවෙමි.
"නැහැ." ඔහු මගේ මුහුණට ගසන්නාක් මෙන් පිළිතුරු දුන්නේය.
මම නිහඬව බේගල් එක අතට ගත්තෙමි. එය මිනිසකුට අනුභව කළ නොහැකි තරමට ඝනය. එසේම උණුසුම් බවින් තොරය.
"ඉස්සර මෙතන වැඩ කරපු කාන්තාව දැන් මෙතන වැඩ කරන්නේ නැත්ද?"මම අපට පිටුපා යන පුරුෂයාගෙන් විචාළෙමි. ඔහු එක්වරම ඉද්ද ගැසුවාක් මෙන් නැවතී හිස හරවා මා දෙස බැලීය.
"ඔහේ එයාව දන්නවාද?" ඔහු රළු හඬකින් ඇසුවේ පොලිස්කාරයෙක් ප්‍රශ්න කරන්නාක් මෙනි.
"මම එයාව අඳුරන්නේ නැහැ. ඒත් මීට කලින් මෙතනට ආවහම එයා තමා මට කෝපි අරගෙන ආවේ." මම ඔහුව කුපිත නොකරන විලසින් කීවෙමි. නමුත් ඔහුගේ දෙනෙත් කෝපයෙන් දිලිසෙනවා දැක ජෙනීද තැති ගත්තාය. කාන්තාව ගැන ඇසු මෝඩකම යැයි මට සිතුණි. ඇය සහ මෙම පුරුෂයා අතර යම් සම්බන්ධයක් ඇති බව මට හැඟුණි. එම කාන්තාව ගැන ඇසීමෙන් මම මෙම පුරුෂයාගේ සැකයට ලක් වූයේද?
ඔහු කවුන්ටරය වෙත ගියේ දුම් දමන පැරණි දුම්රියක් සේය. කවුන්ටරය මත තිබූ අත පිස්නාව ගත් ඔහු දෙ අත් පිසදැමුවේය.
"මොනවද ඔහේ එයා ගැන දන්නේ ?" ඔහු මෙවර ඇසුවේ සෙමිනි.
"මොකුත් විශේෂයක් නැහැ. පාරක් දෙපාරක් දැකල තියනවා. වැඩි කතා බහක් කෙරිලා නැහැ. ඇරත් එයා දැන් මට වැඩි මතකයක් නැහැ." මම ඕනවට එපාවට මෙන් පිළිතුරු දුන්නෙමි.
පුරුෂයා නිහඬව කවුන්ටරය මත දෙඅත් තබා ගත්තේය. ඔහු ස්වල්ප වේලාවක් භාවනා කරන්නාක් මෙන් එකම ඉරියව්වක සිටියේය. ඉන්පසු සෙමෙන් අප දෙසට හැරුනේය.
"එයා දැන් මෙහේ නැහැ." ඔහු සන්සුන් ස්වරයකින් කීවේය. ඉක්බිතිව ඔහුගේ මුහුණේ ඉතා දුක්බර පෙනුමක් ඇති වූ නිසා පුරුෂයා බිම බලා ගත්තේය. ඔහුගේ දෙනෙතට ඉනූ කදුළු අපිරිසිදු අත පිස්නාවෙන් පිස දැමුවේය.
"මොකක්ද එයාගේ නම?" මම ඔහුගේ දුක තුනී කිරීමට මෙන් ඇසුවෙමි.
"ලීසා." ඔහු දුන්නේ කෙටි පිළිතුරකි.
"ඉතින් මොකද ලීසාට උනේ ?" එම කාන්තාව පිළිබඳව කුතුහලය නිසා මම ඇසුවෙමි.
"ඒක දිග කතාවක්." ඔහු දුක්බර ලෙස අප දෙස බැලීය.
"ඉතින් ලීසා කෝ දැන් ?" මම මිනිසාගෙන් එක එල්ලයේ ඇසුවෙමි.
ඔහු මදක් නිහඬව සිටියේය.
"ලීසා ගොඩක් කල් මෙතන හිටියා. එයා හොඳට මේ අවන්හල කරගෙන හිටියා. මම එතකොට හිටියේ මිලිටරියේ. අපිට සල්ලි බාගෙන් අඩුවක් තිබ්බේ නැහැ. එකම අඩුව ළමයි හිටපු නැති එක. අපේ අවන්හලට ගොඩක් පිරිස ආවා. බිස්නස් හොඳට කෙරුණා. ලීසා කරුණාවන්තයි. හැමෝටම හිතවත්. සමහර පිරිමි ලීසාට වැඩිපුර ලෙන්ගතුකමට යන කොට මට තරහා ගිය බව ඇත්ත. මේ නිසා අපි නිතරම රණ්ඩු වුණා. අවන්හලට නිතරම ආවා නයිජල් කියලා අයිරිෂ්කාරයෙක්. අයිරිෂ්කාරයන්ගේ හැටි දන්නවානේ. උන් ළඟ අයරිෂ් මායාවල් පිරිලා. නයිජල් නිතරම රෑ වෙනකම් අවන්හලට වෙලා ලීසා එක්ක කතා කර කර ඉන්නවා. දවසක් මම රෑ එනකොට නයිජල් ලීසා එක්ක බර කතාවක. අවන්හලේ වෙන කවුරුවත් නැහැ. මට තරහ ගියා. මම නයිජල්ට වහාම පිට වෙන්න කියලා නියෝග කරා. නයිජල් ගිය හැටියේම මම ලීසාත් එක්ක රණ්ඩු කරන්න පටන් ගත්තා. එයා මට දොස් කිව්වා නයිජල් ව එළියට දාපු එකට. මගේ තරහා ඉහවහා ගිහිල්ලා මම ලීසාව තරප්පුවෙන් පහලට තල්ලු කරා."
"ඉතින් මොකද වුණේ?" මම කම්පිතව විමසුවෙමි. මිනිසා බිම බලා ගත්තේය. කිසිදු හැඳුනුම්කමක් නැති දෙදෙනකුට තමන්ගේ ආත්මය නිරාවරණය කරන මෙම පුද්ගලයා ගැන දැනුනේ මහත් විමතියකි.
"තරප්පුවෙන් පහලට වැටුණු නිසා එයාගේ කොන්ද කැඩුණා. එයා එකතැන් උනා. ලීසා අබ්බගාතව අවුරුද්දක් විතර ඉඳලා පසුගිය වසන්ත කාලේ මළා."
"අපෝ, ඒක කොච්චර අපරාධ ක්‍රියාවක්ද?" ජෙනී හිස අත ගසා ගත්තාය."ඔහේට හොඳටම විස්වාසද එයා අර අයිරිෂ්කාරයා එක්ක හාදකමක් පැවැත්තුවා කියලා?"
මිනිසා භයානක විලසින් අප දෙදෙනා දෙස බැලීය.
"මේ ඔහේලා යන දිහාවක මකබෑවෙලා යනවා." මිනිසා අතපිස්නාව විසිකර දමා අපට පස්ස හැරවීය.
මෙම මිනිසා තවත් කුපිත වේ යන බිය නිසා අප වහාම අවන්හලින් පිටත්ව යාම සඳහා නැගිට්ටෙමු. මම ඩොලර් විස්සේ නෝට්ටුවක් මේසය මත තැබුවෙමි. අප අවන්හලින් එලියට ආවේ මෙම මිනිසා දෙසවත් නො බලමිනි. ඔහුද අපට පිටුපා කවුන්ටරය දෙසට හැරී සිටියේය.
"හරිම භයානක මිනිහෙක්." ජෙනී මට තුරුලු වී පැවසුවාය. මම කිසිවක් නො කීවෙමි.
කතාව තව ටිකක් දුර ඇදුනා නම් හොඳයි කියලා හිතෙනවා.
ReplyDeleteකෙටි කතාවට අගක් හෝ මුලක් නොමැත RMJ
DeleteThis comment has been removed by the author.
ReplyDeleteඅනගි කෙටි කතාවක්. නම්, ගම් නිසා විදෙස් කෙටිකතාවක පරිවර්තනයක් සේ හැඟෙයි. කෙසේ නමුදු ඔබගේ භාෂා ශෛලිය නිර්මාණය කියවන්නට සිත දිරිමත් කරයි. පුෂ්පා රම්ලනී
ReplyDeleteස්තූතියි පුෂ්පා
DeleteOthello syndrome?
ReplyDeleteපුෂ්කින්ගේ තානායම්කරුවාගේ දියණිය ළඟින් යනව.
Deleteehemada ?
Deleteලස්සන කෙටිකතාවක් !
ReplyDelete++++++++++++++++++
DeleteThe end brings Jennie and the lead character together. May be Jennie realized the humaneness in her companion.
ReplyDeleteagree
Delete