Thursday, December 25, 2014

යුද ආතතියේ මනෝ සාමාජයික බලපෑම -උතුර සහ දකුණ

 යුද   ආතතියේ මනෝ සාමාජයික    බලපෑම -උතුර සහ දකුණ    

                                     


උතුරේ යුද ගැටුම් නිසා මානසික කම්පනයන්ට ලක්වූ සොල්දාදුවන් පිලිබදව මා විසින් තොරතුරු වාර්තා ලියා තිබේ. එසේම විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා සහ මා විසින් ඒ සම්බන්ධයෙන් දීර්ඝ පරියේෂණ කොට ඇත. යුද ගැටුම් නිසා උතුරේ මානසික කම්පනයන්ට ලක්වූ මිනිසුන් ගැන නොලියන්නේ මන්දැයි ඇතැමෙකු අපගෙන් අසති. එයට හේතු කීපයක් තිබේ. අපගේ නියැදියන්ගෙන් බහුතරය අයත් වුයේ දකුණටය. අපට උතුරේ ජනතාවගේ මානසික ප්‍රතිකාර කටයුතු වලට සහභාගි වීමට අවස්ථාවක් මේ දක්වා ලැබී නැත.  

වෛද්‍යවරුන් වන අප මිනිසුන් අත් විඳින මානසික පීඩනයන් දකින්නේ දේශපාලනමය හෝ ජාතිවාදීමය කෝණයකින් නොවේ යුද කම්පනයේ දුර්විපාක වලට සිංහල හෝ දමිළය කියා වෙනසක් නැත සෑම මිනිසෙකුටම යුද ආතිතියයේ පීඩාකාරී   ව්‍යසනය  බල පැවැත්වේ. ලංකාවේ ගතවූ 30 වසර පුරා පැවැති යුද්ධයෙන් සිංහල දමිල හා මුස්ලිම් ප්‍රජාවන්  පීඩාවට ලක්වුහ.  මා විසින් ලියන ලද සංග්‍රාමයෙන්  පසු - සරසවි ප්‍රකාශකයෝ සහ Combat Stress - ගොඩගේ ප්‍රකාශකයෝ කෘති මගින් ඊලාම් යුද්දය නිසා දකුණේ සොල්දාදුවා ඇත විඳි කායික මානසික පීඩනය හෙළි කරනු ලැබීය එසේ හෙළි කිරීමට එක හේතුවක්  වුයේ ඇතැම් දමිල උගතුන් විසින් ලංකාවේ පැවැති යුද ගැටුම නිසා පීඩාවට පත් වුයේ උතුරේ ජනතාව පමණක් බවත් දකුණේ සොල්දාදුවන් එකී පීඩනය මුදාහැරිය පාර්ශවය බවටත් වාර්ගික අගතියෙන් යුතුව ලියනලද ලිපි හා පොතපත නිසාවෙනි.    

 ශී‍්‍ර ලංකාවේ සන්නද්ධ ගැටම් දෙස බලන කල සිවිල් වැසියන්හට යුද්ධයෙන් ඇති වූ බලපෑම හා තදබල ආතතිය පසුගිය වසර කිහිපය තුලදි විශේෂ අවධානයකට ලක්වුවද රණවිරුවන් විසින් අත් දකින ලද යුධ කම්පන තත්ත්වයන් පිළිබඳ ප‍්‍රමාණවත් පරිදි හෙලිදරව් වී නැත. පසුගිය දශක කිහිපය තුළ ප‍්‍රචණ්ඩකාරී කි‍්‍රයාවන් සිදු කළවුන් ලෙස සමහර අන්තවාදී වාර්තා මගින් රණවිරුවන්ගේ ප‍්‍රතිරූපය අමානුෂිකරණයට පත් කොට ඇත. එහෙත් යුධ කම්පනය අතිවිශාල සමානුපාතයකින් සෙබලූන්ට බලපාන ලද බව අවබෝධ කොටගෙන ඇත්තේ සුළු කොටසක් පමණකි. සටන්වලදී තම සගයින්  මරණයට පත්වනු දැකීම, ආදී කි‍්‍රයවලින් අන්තර්ගත වන බැවින්  යුද්ධය කම්පනසහගත කි‍්‍රයාවලියකි. යුද කම්පනයට නිරාවරණය වූ යුද සෙබළුන්ට මානසික ආබාධ, ප‍්‍රබල ආතතියට අදාළ රෝග ලක්‍ෂණ, සමාජ සබඳතාවන් පිළිබඳ ගැටලූ හා නොයෙකුත් වෙනත් ගැටළු ඇතිවීමට ඉඩ ඇත. 

යුද්ධයෙන් ඔවුන්ට සිදුවූ හානි රණබිමට පමණක් සීමා නොවීය. ඒවා ඔවුන්ගේ ගෘහස්ථ පරිසරයටද පරිණාමය වේ. හමුදා සාමාජිකයන්ගේ මානසික සෞඛ්‍ය ක‍්‍රමානුකූලව තක්සේරු කිරීම සඳහා අධ්‍යයනයක් අවශ්‍ය වන නමුදු පසුගිය වසර 30 තුල සිදුකර ඇත්තේ එබඳු අධ්‍යයන් කිහිපයක් පමණකි.යුද කම්පනය හා කායික සෞඛ්‍යයට අදාල ආබාධ එකිනෙක හා සම්බන්ධ වන බව පර්යේෂණ වලින් හෙලි වී තිබේ. අධිකතර ආතතියට නිරාවරණය වීමේ ප‍්‍රතිඵලයක් ලෙස ඇතිවන කායික සෞඛ්‍ය පිළිබඳ ප‍්‍රශ්න පිළිකා අවදානම් හා සටන් ආතති අතර පවත්නා සහසම්බන්ධතාව පර්යේෂකයින් විසින් පෙන්වා දී ඇත. එබැවින් ඊලාම් යුද්ධ අත්දැකීම් ලැබුවන් සෞඛ්‍යයට අදාළ දැඩි අවදානමකින් යුක්ත වේ. මෙම කරුණු සැලකිල්ලට ගෙන කම්පනය නිසා ඇතිවන කායික හා මානසික ගැටලූ අවම කරගනු පිණිස සෞඛ්‍ය බලධාරීන් විසින් අවශ්‍ය පියවර ගත යුතුය. යුද්ධයෙන් සිදුවූ මුලූ මානසික බලපෑම පිළිබඳව තක්සේරු කිරීමට උගහට වුවද, යුද්ධයෙන් ඇති වූ මානසික ආබාධ සුව කිරීම සඳහා පියවර ගත යුතු වේ.

 ශ‍්‍රී ලංකාවේ ඊලාම් යුද්ධයට සහභාගී වූ රණවිරුවන්ගේ මානසික සෞඛ්‍යයට ඔවුන් දෑසින් දුටු අතිශය ක්ෂිතිමය සිද්ධීන් අති විශාල ලෙස බලපා ඇත.  එම සෙබලූන් අත්දකින පොදු මානසික සෞඛ්‍යයට අදාළ ගැටළු වනුයේ පශ්චාත් කම්පන ආතති අබාධ   හා ඊට සම්බන්ධ මනෝ සමාජීය  අපහසුතාවන්, හා දිවිගලවා ගැනීම, වරදකාරී යයි සිතීම  ආදියයි. ශ‍්‍රී ලංකාවේ රණවිරුවන් තුල යුද්ධය හේතුකොට ගෙන ඇතිවූ දිගුකාලීන බලපෑම කුමක්දැයි අපි තවමත් නොදනිමු.  


  යුද ආතතිය (දකුණ) 
   යුද්ධය යන්න වීරක‍්‍රියාවක් ලෙස බොහෝ දෙනෙකු දකිතත්, ඊලාම් යුද්ධයට අදාළව නොකියවුණු වේදනාකාරී කතා දහස් ගණනක් ඇත. සමහර රණවිරුවන් ඔවුන්ගේ කම්පනසහගත කතා අප සමග බෙදාහදාගත් අතර ඒවා මගින් ඔවුන් විසින් විදින ලද දුක්පීඩාවන්ගේ දැවැන්තභාවය හෙලිවේ. ශ‍්‍රී ලංකාවේ රණවිරුවන්ගේ සටන් සම්බන්ධ වූ කම්පනකාරී ස්වභාවයේ සත්‍යතාවද ඉන් නියෝජනය කෙරේ. යුද්දය නිසා කම්පනයට පත් වූ සෙබළුන් දහස් ගණනකි එන එක සොල්දාදුවෙකි කෝප්රල් XXX 36 ඔහු වඩමාරච්චි මෙහෙයුමට  සහබාගි  වූවෙකි.  

 ‘‘විමුක්ති මෙහෙයුම  Operation Liberation නොහොත් වඩමාරච්චි මෙහෙයුම දියත් කරන ලද්දේ 1987 දීය. එය ශ‍්‍රී ලංකාව තුල සිදුවූ ප‍්‍රථම විශාලතම හමුදා මෙහෙයුමයි.  මෙම මෙහෙයුමට 8000ක් පමණ සෙබලූන් සහභාගී වන ලදි. LTTE ට එරෙහිව මෙම හමුදා මෙහෙයුමට අණ දෙන ලද්දේ ශ‍්‍රී ලංකාවේ යුද හමුදාව තුල සිටි ඉතාම ජනප‍්‍රිය හා ප‍්‍රචලිත නිලධාරියෙකු වූ ජනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව විසිනි. මෙම කි‍්‍රයාන්විතය සිදුවී දැනට වසර 21 ක් පමණ ගතවී ඇති අතර, බොහෝ දෙනෙකුට මෙම යුධ මෙහෙයුම අමතක වී ඇත. මේවන තුරුම ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම හමුදා කි‍්‍රයාන්විතය පිළිබඳව හා ඊට ආනුශංගිකව සිදුවූ මානසික බලපෑම් විද්්‍යානුකූලව අධ්‍යයනය කොට නැත.              

 කෝප්රල් XXX 36 යනු ‘‘ඔපරේෂන් ලිබරේෂන්’’ නිසා මානසික රෝගී භාවයට පත්වු එක් පුද්ගලයෙකි. සටන්වදින අතරතුර ඔහු බොහෝ ආතතින්වලට මුහුණදුන්නේය. ඔහු කායිකාව හා මානසිකව ද දැඩිලෙස වෙෙහෙසට පත්විය. වසර කිහිපයක්ම යුද හමුදාවේ සේවය කිරීමේදී කෝප්රල්XXX 36 බොහෝ කම්පනකාරී සිද්ධීන් දුටුවේය. ඔහු රාත‍්‍රී බියකරු සිහින දැකීම සිතුවිලි බලාත්කාරයෙන් සිතට ඇතුලූවීම සබඑරමිසදබඅධික සංවේදීතාව ආදී රෝග ලක්ෂන වලින් පෙලේ. ඔහුගේ කම්පන අත්දැකීමට අදළ පුද්ගලයින් හා ස්ථාන මගහැරිමට පටන්ගත් අතර, සංවේදීභාවයෙන් තොරබවට පත්විය. 2003 වර්ෂයේදී කෝප‍්‍රල් XXX36පශ්චාත් කම්පන ආතති අබාධයෙන් (PTSD) පෙලෙන බවට රෝග විනිශ්චය කරන ලදී තමාගේ වත්මන් චිත්තවේගී හා කායික අපහසුතවන් සම්බන්ධව කෝප‍්‍රල් XXX36විස්තර කරනුයේ මෙසේය :  

             1987 වඩමාරච්චි මෙහෙයුමට සම්බන්ධ වූ එක් සෙබලෙකි මම. අපගේ ප‍්‍රධාන ඉලක්කය වූයේ යාපනේ අර්ධද්වීපය නිදහස් කොටගන LTTE ය අල්ලාගෙන තිබූ ස්ථාන විනාශ කර දැමීමයයි. අප තොන්ඩමනාරු පාලම අසලට පැමිණෙන විට පුපුරන ද්‍රව්‍ය යොදාගනිමින් ඛඔඔෑ විසින් පාලම පුපුරුවා හැර තිබුනි. අප ඉදිරියට ගමන් කලේ ඉතා සෙමිනි. මර උගුලක්   පුපුරා යාමෙන් අප සමග ගිය එක් සෙබලෙකු මා ඉදිරියේම ජිවිතක්‍ෂයට පත් විය. ඔහුගේ ලේ තැවරුණු මුහුණ මට තවමත් මතකට නැගේ. එය දැඩි වේදනාකාරී සිද්ධියක් විය.   මෙම සිද්ධියෙන් මා අතිශය සන්ත‍්‍රාශයට පත් වූ බව නොකිවමනාය. නමුදු නිල ඇඳුම ඇන්ද ද මා ද මිනිසෙකු වන බැවිනි. මරණ හා විනාශවීම් දකිත්ම මා ඉමහත්සේ සසල විය. වසර ගණනාවකට පසුව වුවද මට ඒ සිද්ධීන් සිහිනෙන් පෙනේ. එම බියකරු සිහින පෙනීම වලක්වනු පිණිස මා මද්‍යසාර පානය කොට නින්දට යාමට පුරුදු වූයෙමි. කිසිදු උස් ශබ්දයක් මට දරාගත නොහැකි විය. මා දැඩි භීතියකින් පෙලූනු අතර, මගේ හෘදය ස්පන්දන වේගය ඉතාම වේගවත් බවට පත්විය. අතීත සිද්ධින් ගැන නොසිතා සිටීමට මම බොහෝ විට උත්සාහ දරමි. රූපවාහිනිය නරඹන විට සටන්වලට අදාළ කතාවක් හෝ චිතුපටයක් දුටුවේ නම් මම එය කි‍්‍රයාවිරහිත කරමි. පසුගිය සිද්ධින් විශේෂයෙන් යුද්ධයට අදාළ සිද්ධින් ගැන කතා කිරිමට මම ඉතා අපි‍්‍රය කරමි.  මාගේ සිරුරේ දැන් කිසිදු ශක්තියක් නැත. මගේ සන්ධි රුදා දේ. මට සැතපුමක් දුර හෝ ගමන් කල නොහැකිය. මා අකාලයේ වියපත්ව ඇත. මගේ මනස දොම්නස්සහගත සිතුවිලි වලින් පිරී පවතී. සතුට යන හැඟීම මා අසලකවත් නැත. වසර ගණනාවක් තුල මා ප‍්‍රීතිදායක හැගීම් අත්දැක නැත.  මට කිසිවකට අවධානය යොමු කළ නොහැකි අතර, අමතක වනසුළු ස්වභාවයක්ද පවතී. එකම ඛණ්ඩයක සේවය කළ මගේ සෙබල  සගයින්ගේ   නම් පවා මට අමතකය. විටෙක ජීවත්වීමේ ඵලක් නැතැයි මට සිතේ. දැඩිකෝපය නිසා පවුලේ සාමාජිකයින් මා මගහරී. මුල් කාලයේදී මෙන් නොව දැන් මට තරහව පාලනය කොටගත නොහැකිය. මා නොඉවනසුළු කිසිදු හැඟිමකින් තොර පුද්ගලයෙකු බවට පත්ව ඇත. අවස්ථා කිහිපයකදී මේ ලෝකයෙන් තුරන් විමට මම කල්පනා කළෙමි. එහෙත් මා අදහස දහමට අනුව එය පාපයකි. එබැවනි සියදිවි නසාගැනීමේ අදහස මවිසින් මර්දනය කොටගෙන ඇත.  


යුද   ආතතිය (උතුර)   

උතුරේ ගැටුම්වලට මැදිවූ මිනිසුන්ගේ මානසික සෞක්ය ගැන ඉතා සවිස්තරව යාපනය විශ්වවිද්යාලයේ මනෝවිද්යා අංශයේ මහාචාර්ය දයා සෝමසුන්දරම් විසින් ලියා තිබේ. මට මුලින්ම මහාචාර්ය සෝමසුන්දරම් හඳුනාගැනීමට ලැබුනේ 2002 වසරේ සායනික මනෝ  විද්යාඥ පද්මල් ද සිල්වා මහතා විසින් සංවීධානය කල සාමුහික වියසනයන් පිලිබඳ වැඩමුළුවකදීය ඉන්පසුව 2003 වසරේදී මා ශ්‍රී  ලංකා යුද හමුදාවේ 512 බල මුලස්ථානයේ දේශනයකට ගිය අවස්ථාවේදී යාපනය මහ රෝහලේදී එතුමා හමුවීමට  කතිකා කරගෙන තිබුනද මගේ ප්‍රමාදය  නිසා මහාචාර්ය දයා සෝමසුන්දරම් හමු වීමට නොහැකි විය නමුත් වරින් වර  විද්‍යුත් තැපැල් මගින් අප අදහස් හුවමාරු කරගන්නෙමු.  

 මහාචාර්ය දයා සෝමසුන්දරම්ගේ ඇතැම් අදහස් වලට මට එකඟ විය නොහැක ඔහුගේ පොත පත ගැන විවේචන පවා මම ලියා ඇත්තෙමි මීට වසර කීපයකට පෙර මා විසින් ලියන ලද ප්රභාකරන් සාදකය පිළිබඳව මනෝවිද්යාත්මක විශ්ලේෂණයක් කෘතියේ මහාචාර්ය දයා සෝමසුන්දරම්ගේ Scared Minds කෘතියේ ඇතැම් අදහස් මගේ තදබල විවේචනයට ලක්විය. එහෙත් එම විවේචන ගැන මා පිළිබඳව ඔහු තුල අගතියක් නැත මම යෝර්ක් විශ්වවිද්යාලයට පැමිණි විගසම ඔහු තම පැරණි සගයෙකු වූ ටොරොන්ටෝ විශ්ව විද්යාලයේ විශේසඥ මනෝ වෛද්‍ය අරුන් රවීන්ද්රන් අමතා මට කල හැකි උපකාරයක් වෙතොත් එය නොවහලා ඉටු කර දෙන ලෙස ඉල්ලා සිටියේය නමුත් කැනඩාවේ වෙසෙන තවත් සිංහල විශේසඥ මනෝවෛද්යවරයෙක් යටත් පිරිසෙන් උපකාරයක් නොව මගේ දුරකථන පණිවිඩයකට පවා දැක්වුයේ ඇල්මැරුණු ප්රතිචාරයකි මෙවැනි හේතු නිසා ජාතිවාදය කොතරම් පුහුද යන්න යලි යලිත් සනාථ වේ.    

යාපනය විශ්වවිද්යාලයේ මනෝවිද්යා අංශයේ මහාචාර්ය දයා සෝමසුන්දරම් විසින් රචිත උතුරේ ගැටුම්වලට මැදිවූ මිනිසුන්ගේ ජීවිතය ඔවුන්ගේ වචනයෙන්ම විස්තර කෙරෙන Vanni Narratives 30 වසරක යුද ගැටුමේ පීඩනය මිනිසුන්ට දැනුනු ආකාරය ගැන පැවසෙන විස්තර ප්රකාශනයකි.   ඔහු මිනිසුන් විසින් අත්දුටු සාමුහික වියසනය ගැන මෙසේ ලියයි. (මෙහි කථා නායිකාව දමිල කාන්තාවකි )   

 අපේ මුල් පදිංචිය යාපනයේ අලවෙඩ්ඩි ප්රදේශයයි. මාගේ පියා චුන්නාකම්හි තැපැල් ස්ථානාධිපතිවරයා විය. 1948දී ඔහු අනුරාධපුරයට මාරු කරන ලදි. අපි අනුරාධපුර නව නගරයේ තැපැල් නිල නිවාසවල පදිංචි වූයෙමු. මාත්, මගේ නංගිලා හතරදෙනා සහ මල්ලීත් ඉපැදුණේ අනුරාධපුරයේය. මාගේ අම්මා හොඳ ව්යවසායිකාවක් වූවාය. ඇගේ හොඳ කළමනාකරණය නිසා අපට ජීවිතයේ අන්දේවලට විය පැහැදම් කරනා අතරේම ඉඩමක් මිලදී ගන්නටත් එළදෙනුන් හිමිකර ගැනීමට සහ කුඹුරු අස්වද්දන්නටත් හැකියාව ලැබිණ. ඒ කාලයේ අපට අක්කර 20ක ඉඩම්, දෙනුන් 200කගෙන් සමන්විත හරක් පට්ටියක්, පොල් ගස් 100ක් පමණ හිමිවී තිබුණු අවස්ථා විය. ඒවායේ වැඩ කළෝ සිංහල මිනිස්සුය. 130 දෙනකු පමණ එසේ වැඩ කරන්නට ඇත. ඊට අමතරව අපේ ඉඩකඩම්වල සිංහල පවුල් 10ක් පමණ ජීවත් වූවෝය.  අපේ ඉඩම් තිබුණේ කලාවැව ඉවුර අසබඩ බැවින් ජල හිඟයක් තිබුණේම නැති තරම්ය. ඒ වගේම ඒ ඉඩම් අවුරුද්දට තුන් වතාවක්ම අස්වැද්දවීමටද අපට හැකියාව ලැබිණ. අපි ශාන්ත ජෝසප් පල්ලිය පිටුපස නිවසක් තැනූයෙමු. මම කන්යාරාමයේ සිංහල බසින් ඉගෙන ගත්තෙමි. දිගින් දිගටම සිංහලෙන් කතා කිරීම නිසා අපට අපේ දෙමළ බස අමතකව ගියේය. අපේ අසල්වැසියෝ වූවෝද සිංහල, මුස්ලිම් හා බර්ගර් මිනිස්සුය. ඔවුහු ඉතා යහපත් පුද්ගලයෝ වූහ. අපට ප්රශ්නයක්ද තිබුණේ නැත. අපි සියල්ලෝම භේදයක් නැතිව දුක සතුට ඛෙදාහදා ගත්තෙමු. ඔවුහු අපට නොසෑහෙන්න උදව් කළෝය. ගව පට්ටිය තිබූ බැවින් අපේ අම්මා එළකිරි වෙළෙඳාම් කළ අතර, එනිසා ඇයට "කිරි අම්මා"ලෙස නමක්ද පටබැඳී තිබුණි.   

  1983 කෝලාහලය අපට එතරම් බලපෑවේ නැත. එහෙත් 1977 කලබල අපට අමතක කළ නොහැකිය. එතෙක් අපෙන් කා බී ඇඳි පැළඳි මිනිස්සුම කඩු කිනිසි අමෝරාගෙන අප මරන්නට ආවෝය. එහෙත් කාරුණික වූ කිහිපදෙනකු විසින් අපි බේරාගන්නා ලද්දෙමු. අපි දින දෙකක්ම කිසිවක් නොමැතිව තිසාවැව වාරිමාර්ග පද්ධති ඇළක අසබඩ කැලෑවේ සැඟව සිටියෙමු. පසුව පොලිස් ආරක්ෂාව මධ්යයේ යාපනයට යවනා ලද්දෙමු. ඇඳිවත පමණක් සහිත අපි දොරේඅප්පා ක්රීඩාංගණයට ලොරියකින් ගෙනැවිත් දමනු ලැබූවෙමු.  අප වැනි තව බොහෝදෙනා එහි වූහ. අපි පරානිතුරෙයිහි කතෝලික පියතුමන්ලාගේ මිෂනාරි මැදුරෙහි සිටියෙමු. මගේ අම්මා යාපනයට කැමති වූයේ නැත. "අපි 1977 දීම කිලිනොච්චියෙන් ඉඩමක් ගෙන එහි පදිංචි වීමු.   එහෙත් 1977දී පටන් ගත් සරණාගත ජීවිතය අදටද අවසන් වී නොමැත. අපට සිංහලයන් සමග ජීවත්වීමට නොහැකි නිසා මෙම ප්රදේශවලට පැමිණියද, මේ ප්රදේශයද එලෙසම විය. අපට අයිතිව තිබූ ඉඩකඩම් දේපළ සියල්ලම වටාපිටාවේ විසූ මිනිසුන් විසින් අත්පත් කරගෙන තිබුණි. සිංහල කතා කළ සෑමවිටම මාගේ මව ශෝකයට පත්වූවාය. "උන් කාපු තැන පාවලා දුන්නායැ'යි ඇය බොහෝ අවස්ථාවලදී කීවාය. අප කිලිනොච්චියේ විසූ අතර ඇය ආපසු අනුරාධපුරයට යෑම තරයේම ප්රතික්ෂේප කළාය. "කහ රෙදි කෑල්ලකට තැල්ල බැඳපු මිනිහෙක්. අපට උන්ව විශ්වාස කරනවට වඩා හොඳයි අපේ ඉඩම්වල ජීවත් වෙන එක. ඒක ඉතා කෙටි කාලයක් විතරයි." ඇය නිරන්තරයෙන් පැවසූ අතර, ඒ අඩූ කඳුළෙන්ම මිය ගියාය.'අපිට එහේ ඉන්න බැරි නිසා මෙහෙ ඉඩම්වලට ආවා. ඒත් 1985 න් පස්සෙ ඒකත් අපායක් වුණායැ'යි ඇය පැවසූයේ අපට කවදා නම් සැනසිල්ලේ සිටිය හැකි දවස් උදාවේදෝ යන්න සුසුමක් හෙළමිනි.  

මාගේ සහෝදරිය නැවත අනුරාධපුරයට ගියද මම මාගේ දරුවන් සමග කිලිනොච්චියේම ජීවත් වූයෙමි. පාසල් නිවාඩු සමයේ මාගේ දරුවෝ අනුරාධපුර පිහිටි මාගේ සොහොයුරියගේ ගෙදර නිවාඩුව ගත කරන්නට ගියෝය. මාගේ දෙවැනි දියණියට වයස අවුරුදු 08ක් පමණ විය. 1985 මාර්තු පාසල් නිවාඩුව ගතකිරීමට ඇය මාගේ සොහොයුරියගේ ගෙදර ගොස් සිටියෝය. එක් දවසක් එල්ටීටීඊය සිංහල මිනිසුන් සමූහයකට වෙඩි තැබුවේය. ඔවුන්ට වෙඩි වැදුණු පසු ඔවුන් නිකම් සිටීද? ඔවුහු දෙමළ වැසියන් ලූහුබඳින්නට වූහ. අපි කෙසේ හෝ හමුදා කඳවුරුවලට ගොස් පිහිට පැතුවෙමු. එහිදී වියරු වැටුණු හමුදා භටයකු වෙඩි තැබීමට පටන් ගත් අතර බොහෝ දෙමළ වැසියෝ මරණයටද, තුවාලවලටද ලක්වූහ. ඒ අවස්ථාවේදී මාගේ අහිංසක දියණියද මරණයට පත්වූවාය. මට අඩුම තරමේ ඇයගේ දේහයවත් දකින්නට නොලැබිණි. ඇය එහිදීම වළලා තිබුණි. එදා සිටම මම ඇය ගැන සිතමින් හඬමි.    1990දී මගේ තුන්වැනි පුතා එල්ටීටීඊ ව්යාපාරයට සම්බන්ධ වූවේය. එදා සිට මාගේ සිතේ ඉතිරිව තිබූ සැනසිල්ලේ අවසන් අංශු මාත්රයද නැතිව ගියේය. මම උදේ දවල් ඔහුට කිසිදු අනතුරක් වෙන්නට එපායැ'යි දෙවියන්ගෙන් ඉල්ලා සිටයෙමි.  මට කිසිදු අනුකම්පාවක් හිමි නොවූ අතර 2000දී ඔහුද දෙවියන් විසින් උදුරා ගන්නා ලදි.  2001දී මාගේ සොහොයුරාගේ පුතා වව්නියාවට ගියේය. වෙන කාටදෝ සවිකළ ක්ලේමෝ බෝම්බයකට අසුවී ඔහුද මිය ගියේය. අපි දිගින් දිගටම අවතැන් වීමු. සාමය උදාවූ විට අපි නැවත අපගේ ස්ථාන කරා ආවෙමු. අප භූමිය සමග ජීවත් වන්නට මෙලෙස අප්රමාණ දුෂ්කරතා සහ වධහිංසාවලට මුහුණ දෙන්නට විය.  2002දී සාම ගිවිසුමෙන් පසු අප අපගේ ගෙවල් අලූත්වැඩියා කරගත්තේ සාමයෙන් සතුටින් ජීවත්වීමේ අරමුණ ඇතිව වුවද 2008 යුද්ධය ආරම්භවීමත් සමග ඒ සියල්ල යළිත් නැතිවිය. කාලතුවක්කු අපට නිදහසේ ඉන්නට ඉඩ දුන්නේ නැත. කෆීර් යානාවල හඬ ඇසුණු වහාම අපි බංකරවලට දිව්වෙමු. හමුදාව මන්නාරමින් පැමිණ ආකාරායාන්වලට ළඟා වන විට අපේ ජීවිත යහපත් අතට හැරෙමින් තිබුණි. තවදුරටත් කෆීර් සහ ෂෙල් වෙඩි ප්රහාරවලට මුහුණදීමට අපට ශක්තියක් නොතිබූ අතර අපි ගෙවල්වල දොර ජනේල් සියල්ල ගලවාගෙන විශ්වමඩුවලට ගියෙමු. අපට අඩුම තරමේ එහි මාස දෙකක්වත් සැනසිල්ලේ සිටීමට නොහැකි විය. අපි අපේ බඩු බොහොමයක්ම එහි අතහැර වල්ලිපුනාම්වලට ගියද සිංහල මිනිසුන් අපිට එහි සති දෙකක්වත් ඉන්නට ඉඩ දුන්නේ නැත. හොයාගන්නට හැකි අඩුම කුඩුම එකතු කොට තරුණයෝ මඩු හැදුවෝය. ඉන්පසු අපි ඉරාතෙයිපල්ලෙයිවලට ගෙන යන ලදිමු. අවසානයේ මුල්ලිවෛයිකාල්වලට එනතුරුම අප එලෙස කිහිප තැනකටම විටින් විට යන ලදි.  ඒ අතර මගේ අත මල්ටිබැරල් ප්රහාරයකට තුවාල විය. මාගේ දරුවන් මාව රතුකුරුස නැවක ත්රිකුණාමලයට එව්වේය.   මගේ දරුවන් මුල්ලිවෛයිකාල් සිට හමුදා සිටින වාඩ්ඩුවාන් ප්රදේශයට ගමන් කිරීමේදී නොයෙකුත් දුෂ්කරතාවලට මුහුණ දී තිබිණ.  ඔවුහු මැණික්ෆාම්හි මාස 04ක් විසූ අතර එහිදී නොයෙකුත් දුෂ්කරතාවන්ට මුහුණ දෙන්නට විය. 

දෙවියන් අපගේ ජීවිත අල්පේච්ඡ කර තිබුණි. නමුත් බොහෝ මිනිසුන් මිය ගොස්ය. දුක් මහන්සියෙන් හම්බ කරගත් දේපළ ද සුළඟත් සමග ගසාගෙන ගොස්ය.  ගිය මාසයේ අපි කිලිනොච්චියට ගියෙමු. සෑම දෙයක්ම බිමට සමතලා වී ගොස්ය අපේ තැන යන්න හඳුනාගත හැකි කිසිවක් එහි නොතිබිණි. සෑම දෙයක්ම වල්බිහිවී තිබූ අතර නටබුන් සේ දිස්විය. එහි ජීවත්වීම සිතට කලකිරීමක් විය. සෑම තැනම සිටියේ හමුදාවෙන් පමණි. එල්ටීටීඊ සාමාජිකයන්ගේ කනත්තද බිමට සමතලා කොට තිබුණි. මගේ පුතාගේ සොහොන් කොත තිබූ තැන මට සොයාගත නොහැකි විය. මම සෑම මසකම එක් දවසක් මෙම සොහොන් කොත ළඟට ගොස් හඬා වැළපුණෙමි. එහෙත් දැන් මහා විරු දිනයක් ආවේද යන්නවත් නොදනිමි. අපි කිලිනොච්චියේ සිටිනා කාලයේදී, මාගේ පුතාගේ යහළුවෝ පැමිණ මට 'අම්මායැ'යි නිරන්තරයෙන් කතා කළේය. නමුත් දැන් මට කවුද ඉන්නේ?  අපි ගෙවල් හැදීමට ආධාර ඉල්ලා තැන් 15කටත් වඩා ගියෙමු. කාගෙන්ද ඉල්ලිය යුත්තේ? 

1977 සිටන් දෙමළ වැසියන්ට සිදුවූ දේ පිළිබඳව බැලු විට දැඩි කලකිරීමක් ඇතිවේ. හරියට තමන්ගේ කොටස ලැඛෙන තුරු බලාවුන් ගිරවාගේ කතාව මෙන් අපේ කතාවද අවසන් වී ඇත. කොපමණ මිනිසුන් තම දිවි පුදන්නට ඇත්ද? කකුල් අතපය, ගෙවල් දොරවල්, දේපළ විනාශ වන්නට ඇත්ද? හරියට රටක් නැති මිනිසුන් වාගේ එහෙ මෙහේ දුවන්නට ඇත්ද? නිදහස ලබාගැනීමට මුහුණ දුන් කරදර සියල්ල නැවතත් යටත් වූ ජීවිතයක්ම රැගෙන ආවේය. දෙවියන්ද අන්ධ වී ඇත. පෙර මෙන් මම රොසරිය කියවන්නේද නැත. පල්ලියට යාමට හිතක් ද නැත. මට හැෙඟන්නේ තරහව සහ වේදනාව පමණි. වෙනදා අපි නත්තලත් ඉන්පසු අලූත් අවුරුද්දත් ඉතා ඉහළින් සැමරුවෙමු. මෙවර එය නිකම්ම උදාවිය. කේ්ක්ද රසකැවිලිද හැදුවේ නැත. හැදුවත් ඛෙදා දෙන්නට කෙනෙක්ද නැත. කිලිනොච්චියේදී නම් අපේ අසල්වාසීහුත් ගමේ මිනිස්සුත් එනු ඇත. දරුවන්ගේ පෙරැත්ත නිසා මම ඉරිදා පමණක් පල්ලියට යමි. කාට හෝ අප කර ඇති වරද කුමක්ද? අප වෙනම රටක් ඉල්ලා මිනිසුන් දහස් ගණන් දිවි පිදුවද අවසානයේ එය කෙළවර වූයේ ඇඳිවතද නැතුවය. (අඩුම තරමේ අමුඩය හෝ යට කලිසමද නැතිවිය.) මෙම අවසානය දකිනවාට වඩා සැනසීමක් අපට ෂෙල් වෙඩි ප්රහාරයකට ලක්වූයේ නම් අත්වනු ඇත. 

වෛද්‍ය රුවන් එම් ජයතුංගගේ Combat Trauma in Sri Lanka  ලිපිය ඇසුරෙනි පරිවර්තනය ඒ එස් වික්‍රමසිංහ / නදී  කදුරුවාන 

No comments:

Post a Comment

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook