ස්වභාවික ආපදා වලින් පසුව හාණි නොවී තිබූ බුදු පිලිම පිලිබඳ චායාරූප බුකියේ සංසරණය වනවා දුටුවෙමි. ස්වභාවික ආපදා වලින් බුදු පිලිම වලට හාණි සිදු නොවූයේ විශ්මිත බලයකින් බව ඇතැමෙකු සිතති.
ස්වභාවික ආපදා වලින් පසුව හාණි නොවී තිබූ බුදු පිලිම පිලිබඳ කථිකාව මනෝ විද්‍යාවේ සඳහන් වන "Confirmation Bias" (තහවුරු කිරීමේ නැඹුරුව) පිලිබඳ අනගි නිදසුනකි. මෙහිදී චායාරූප උලුප්පනු ලබුවේ ස්වභාවික ආපදා වලින් පසුව හාණි නොවී තිබූ බුදු පිලිම පිලිබඳ චායාරූප පමණි. ස්වභාවික ආපදා වලින් පසුව හාණි වී තිබූ බුදු පිලිම මෙහිදී පෙන්වනු ලැබුවේ නැත. එසේම ස්වභාවික ආපදා වලින් පසුව හාණි නොවී තිබූ වෙනත් ආගමික , පිලිම දේව පිලිම හෝ ක්‍රියාන්විතයේදී මිය ගිය රණවිරුවන් ගේ පිළිම මෙහිදී සලකා බැලුවේ නැත. තවද අනෙකුත් ආගම් වල බැතිමතුන් ද මෙවැනි ආකාරයේ ආගමික විශ්වාසයන්ට නැඹුරු බවක් දක්වති. සුනාමියේදී හාණි නොවූ ක්‍රිස්තුස්වහන්සේ ගේ පිලිම දේව මෑණියන් ගේ පිලිම වල චායාරූපද එකල ක්‍රිස්තියානි ජනයා ජීවත් වූ ප්‍රදේශ වල සංසරණය විය..
මෙහිදී වරණීය අර්ථකථනය සහ ආඛ්‍යාන රාමු කිරීම (Selective Interpretation and Narrative Framing) සඳහා අඩු තාර්කික ඥාණයක් ඇති (වැඩි ආගමික භක්තිය සහ අඩු තාර්කික බුද්ධිය) පුද්ගලයෝ යොමු වෙති. ඔවුන් ආගමික සංකේත නොනැසී පවතින අවස්ථා කෙරෙහි අවධානය යොමු කිරීමට නැඹුරු වන අතර විනාශ වූ ඒවා කෙරෙහි අඩු අවධානයක් යොමු කරති. මෙය මෙය තෝරාගත් අර්ථකථන ආකාරයකි (Selective Perception) එහිදී විනාශ නොවූ පිළිම කෙරෙහි අවධානය යොමු කිරීමෙන් එය සංඛ්‍යානමය හැකියාවක් (statical probability) වෙනුවට අද්විතීය, දිව්‍යමය බලපෑමට ලක් වූ සිදුවීමක් ලෙස පිලි ගනිති.
මිනිස් ජීවිත සිය ගනන් බිලි ගෙන නිවාස රැසක් විනාශ කල සුනාමියකදී සමහරක් බුදු පිලිම ආරක්‍ෂා වීම විද්‍යාත්මකව විග්‍රහ වන්නේ පිලිමයේ රවුම් ස්වභාවය සහ එහි අනෙකුත් භෞතික ව්‍යුහය මතිනි. මේ ස්වභාවය නොගත් විනාශ වූ පිලිම මිනිසුන් ගේ අවධානයට යොමු වන්නේ නැත.
ලෝකයේ අනෙකුත් ජාතීන් අතරද තම තමන් ගේ ආගමික සංකේත ස්වභාවික ආපදා වලින් විනාශ නොවී තිබීම මෙලෙස හරහා අර්ථ දැක්වීම කෙරෙනු දැකිය හැක. ඉන්දියාවේ , මෙක්සිකෝවේ හෝ අප්‍රිකානු රට වල මෙම තත්වය බහුලව දැකිය හැකි වෙයි.
බුදු දහම යනු ප්‍රාතිහාර්‍යන් පිලිබඳ දහමක් නොවේ. බුදු දහමේ මූලික අංගය අනිත්‍යතා ධර්මයයි. විශ්වයේ සියලුම දේවල් අනිත්‍ය වන අතර එය බුදු පිලිමයටද අදාලය. එසේම බුදුන් ගේ ශරීරයද අනිත්‍ය වූ බව ධර්ම පුස්තකයන් කියවීමේදී පෙනීයයි. එක් අවස්ථාවකදී බුදුන් තම ශරීරය උපමා කරන්නේ දිරා ගිය විනාශ වෙමින් පවතින ගැලකටය.
මිනිසුන් මෙලෙස බුදු පිලිම වලින් ප්‍රාතිහාරයන් අපේක්‍ෂා කරන්නේ බුදු දහමේ හරය වටහා ගැනීමේ නොහැකියාව නිසාය. තමන් තුල පවතින අනාරක්‍ෂිත බව සඳහා මිනිසා ස්වභාව ධර්මයෙන් නොබඳවම යම් ගැලවීමක් අපේක්‍ෂා කරයි. මේ නිසා සම්භාවිතාව අමතක කොට තහවුරු කිරීමේ නැඹුරුව ඔස්සේ මිනිසුන් පිලිම වලින් ප්‍රාතිහාර්‍යන් දැකීමට ඔවුන් උත්සුක වෙති. බුදු පිලිම වලින් බුදු දහමේ හර පද්දතිය වටහා ගන්නට යන්නන් වැටෙන්නේ මේ මිත්‍යා ආවාටයටය. ඔවුන් බුදු දහම අවබෝධ කර ගන්නේ පිලිම හරහාය. ඒ නිසා ඔවුන් "Confirmation Bias" (තහවුරු කිරීමේ නැඹුරුව) කෙරෙහි පහසුවෙන් ගොදුරු වෙති.

No comments:
Post a Comment
Appreciate your constructive and meaningful comments