බුදුන් කිව්වේ කර්මය යනු චේතනාව කියලා. මම 88-89 කාලයේ මිනිසුන් වධයට පත් කල මිනිසුන් 20 ගේ පමණ ඝාතන වලට වග කිව යුතු PTSD තත්වයෙන් පෙලුනු interrogator කෙනෙක්ට ප්‍රතිකාර කලා. ඔහු තුල තදබල විශාද වරදකාරී බව තිබ්බා. ඔහු නිතරම කිව්වේ මා විසින් මරා දැමූ මිනිසුන් 20 දෙනාගේ පාපය මා පසුපස එනවා කියලා.
හිරෝෂීමාවට බෝම්බය දමා මිනිසුන් 100000 පමණ ඝාතනය කල පයිලට් විසින් අවසාන කාලයේ දුන් ඉන්ටවිව් එකක් මම කියෙව්වා. ඔහු ඒ මරණ නිසා සසල වෙලා තිබුනේ නෑ. ඔහුගේ අර්ථ කථනය මේ බෝම්බය නිසා ඇමරිකන් ජීවිත ලක්‍ෂ ගනනක් බේරුනා කියන එක. මේ අනුව එකී පයිලට් තුල විශාදයේ සේයාවන් පවා පේන්නට නෑ. කර්මය යනු තමන් තමන් ගේ ක්‍රියා පිලිබඳ කරන ධනාත්මක හෝ සෘණාත්මක අර්ථකථනය ද ?
අතීතයේ මිනිසුන් නැරටිව් භාවිතා කලා. යම් කිසි අණතුරක් මරණ සිදු වුනාට පසු ඔවුන් ඒවා පිලිබඳ තම තමන් ගේ දැණුම අත් දැකීම් මත කතන්දර බිහි කලා. මේ කතා වලට කර්ම තියරිය , මරනින් මතු ජීවිතය පිලිබඳ විශ්වාස එකතු කලා. උදාහරණයක් ලෙස භික්ෂූන් හත් නමක් ගල් ලෙනක සිරවී දුක් විඳි කථාව බලන්න. ඒකට ඌන පුරාණයක් එකතු කරනවා ඒ අය අතීතයේ කරපු ක්‍රියාවක් නිසා මේ දේ උනා කියලා. මේ භික්‍ෂූන් හත් නම පෙර ගොපළු දරුවන් වී සිටිය දී තලගොයෙකූ තුඹසක සිරකර තැබූ පවින් මෙසේ ආත්මභාව දාහතරක් ම ආහාර පාන කිසිවක් නොමැතිව දින 07 ක් ගල් ලෙනක සිරවී දුක් විඳි බවට. මේ කතා වැලිඩේට් කරන්න මේක බුදුන් කිව්වා කියලත් කියනවා.
මීට වසර කීපයකට පෙර තායිලන්තයේ ගුහා බලන්න ගිහින් සිසුන් කණ්ඩායමක් ගුහා තුල සිර වෙනවා. මේ සිද්ධියටත් අර වගේ නැරටිව් එකක් එකතු කරන්න පුලුවන් ඔවුන් අතීත භවයක කරපු දෙයක් නිසා සිර වුනා කියලා. ඊයේ පෙරේදා ඩක්කුවේ කේබල් එක කැඩිලා භික්‍ෂූන් පිරිසක් මාරාන්තික අණතුරට පත් වීමටත් නැරටිව් එකක් මේ වගේ දෙන්න පුලුවන් දීපංකර බුදු සමයේ මේ භික්‍ෂූන් සිසුන් පිරිසක් ඔවුන් බල්ලෙක් පැසක දාලා පර්වතයකින් පහලට තල්ලු කලා. ඒකේ විපාක ආත්ම ලක්‍ෂයක් පුරා විඳවනවා කියලා.
මිනිසා තුල කතා ගෙතීමට ඇති හැකියාවක් තියනවා. එය මිනිස් මොලය පරිනාමය ඔස්සේ ලබා ගත් පරිකල්පන චින්තනයේ ප්‍රතිඑලයක්.
සොරකම් කිරීම - පුද්ගලික දේපල සංකල්පය සමාජයට ආ පසු තමයි සොරකම කියන එක පාපයක් ලෙස ආගමික සංස්ථා එස්ටැබ්ලිෂ් කරන්නේ. ඒ කියන්නේ සොරකම කියන පාපය යුනිවර්සල් කොන්සෙප්ට් එකක් උනේ නෑ. අපාය සහ දිව්‍ය ලෝක කොන්සෙප්ට්ස් සෑම ආගමකම තියනවා සෑම සමාජයකම තියනවා. අප්‍රිකා කලාපයේ ඉන්න මිනිසුන් විශ්වාස කරන අපාය අධි රස්නෙයි. ටිබෙට් මිනිසුන් විශ්වාස කරන අපාය අධි ශීතයි. සෑම සමාජයක්ම කර්මය අපාය දිව්‍ය ලෝකය පිලිබඳ නැරටිව්ස් හදලා තියනවා. කර්ම කොන්සෙප්ට් එක ආවේ ජයින ආගමෙන් ද ? ඇන්ත්‍රපොලොජි කෝණයෙන් බල කොට අපාය සහ දිව්‍ය ලෝක කොන්සෙප්ට්ස් මිනිසුන් විසින් හදපු දේවල් ලෙස පෙනී යනවා.
කර්ම එල පිලිබඳ කතා කිරීමේදී මේ කතාව මට මතක් වෙයි. සෝමේ නම් ගව ඝාතකයා තම ජීවිත කාලය තුල ගවයන් 200 පමණ ඝාතනය කල අතර ජීවිතයේ අවසාන කාලයේ ඉතා දුක් විඳ මිය ගියේය. තම ජීවිත කාලය තුල ගවයන් ලක්‍ෂ ගනනක් ඝාතනය කල ආජෙන්ටිනා ජාතික මස් කර්මාන්ත හිමියෙක් මිය යන්නේ සුව පහසු ලෙස ලොස් ඇන්ජලිස් නගරයේ රෝහලකය. කර්මය පසුකාලීන ආත්මයක පල දෙන බවට මෙහිදී ඇතැමෙකු විසින් කිව හැකිය. මා මෙහිදී පෙන්වා දෙන්නේ සෝමේ වැනි චරිත හරහා කර්මය ඒත්තු ගන්වන්නට උත්සහ කරන්නන්ට දෙන පිලිතුරක් ලෙසටය.
සමාජ විද්‍යාඥයකු, මානවවිද්‍යා පර්‍යේෂකයකු වූ මහාචාර්‍ය නන්දසේන රත්නපාල මහතා විවිධ පුද්ගලයන් ගේ අස්වාභාවික චර්‍යාවන් පිළිබඳව සවිස්තරව ලියා තිබේ. එහෙත් මේ චර්‍යාවන් ගේ මූලයන් ගැන මහාචාර්‍ය රත්නපාල දීර්ඝ වශයෙන් කරුණු දක්වා නොමැත්තේ මස්තිෂ්කය සහ ඒ හා බැඳුණු ජීව රසායණික ක්‍රියාදාමය පිළිබඳ එතුමා අධ්‍යනය නොහල නිසා විය හැකිය. සමහර අසාමාන්‍ය චර්‍යා සඳහා මූලය පෙර කර්මය ලෙසට එතුමා පෙන්වා දෙයි. එය තවමත් විද්‍යාත්මකව පෙන්වා දිය හැකිද කියා මම නොදනිමි. මෑතකදී ආචාර්‍ය එච්. එස් එස් නිස්සංක මහතා විසින් ලියන ලද බෞද්ධ මනෝ ප්‍රතිකාරය පිළිබඳව පොතක් කියවීමට ලැබුනි. මේ පොතේ අසාමාන්‍ය චර්‍යාවන් සඳහා හේතු ලෙස ආචාර්‍ය එච්. එස් එස් නිස්සංක සඳහන් කරන්නේ ක්ලේෂයන් ය. කර්මයන් හෝ ක්ලේෂයන් අසාමාන්‍ය චර්‍යා සඳහා හේතු කාරක වන බව බටහිර මනෝ විද්‍යාව පවසන්නේ නැත. ඒ සඳහා මස්තිෂ්ක රසායණිකයන් ගේ අව ක්‍රියාකාරීත්වය ඔවුන් පර්‍යේෂණාත්මකව පෙන්වා දෙති.
අසාමාන්‍ය චර්‍යාවන් පෙන්වන ලද රෝගීන් කිහිප දෙනෙකු මගේ මතකයට නැගේ. ඉන් එක් අයෙකු සොල්දාදුවෙකි. යුද හමුදා රෝහලේ මට හමුවූ මෙම රෝගියා මුලදී ව්‍යාජව රෝග ලක්‍ෂණ පෙන්වන බව වෛද්‍ය නීල් ප්‍රනාන්දුත් මමත් සිතුවෙමු. එම නිසා මොහුව රෝහලේ නවතාගෙන අප ඔහුව අධ්‍යනය කලෙමු. කල් යාමේදී මට පෙනී ගියේ මේ රෝගියා අසාමාන්‍ය හැසිරීම් පෙන්වන බවයි. වරක් ඔහු වනත් රෝගියෙකුගේ කකුලේ තුවාලයකින් ඉවත් කරන ලද සැරව අඩංගු වූ මණ්ඩාවක් පානය කලේය. මෙය ඉතා පිළිකුල් උපදවන කටයුත්තක් වූ අතර ඔහු ඒ ගැන වෙනසක් පෙන්වූයේ නැත. එසේම ඔහු එම ක්‍රියාව කලේ මන්ද කියා හේතුව වත් ඔහුට කියනු නොහැකි විය. පසුව මෙම රෝගියා භින්නෝන්මාදයෙන් පෙලෙන බවට විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන් දු මහතා රෝග නිර්ණය කලේය. ප්‍රති මනෝව්‍යාධික ඖෂධයක් වූ රෙස්පෙරිඩෝන් ඖෂධය ආරම්භ කිරීමෙන් පසුව ඔහුගේ අසාමාන්‍ය චර්‍යාව නිශේධනය විය. කර්මයන් හෝ ක්ලේෂයන් සංකල්පය මම සහමුලින් ප්‍රතික්ශේප නොකරමි. එහෙත් මගේ ගැටළුව වූයේ කර්මයන් හෝ ක්ලේෂයන් නිසා උක්ත සොල්දාදුවාගේ අසාමාන්‍ය චර්‍යාව හට ගත්තේ නම් එය ප්‍රති මනෝව්‍යාධික ඖෂධයක් වූ රෙස්පෙරිඩෝන් ඖෂධය මගින් නිශේධනය වූයේ කෙසේද ?යන්නයි.
මම උතුරු කොලඹ රෝහලේ සේවය කරන කොට තරුණයෝ දෙන්නෙක් ගෙනවා තියටර් එකට. ඔවුන් ගේ මෝටර් සයිකල් එක ටිපර් එකක හැප්පිලා. දෙන්නටම බරපතල තුවාලයි. දෙන්නම මිය ගියා. තියටර් එකේ හිටපු වයෝවෘධ හෙදියක් කිව්වා. " දෙන්නගේ කර්මය කියලා. මම මේ අණතුර ගැන වැඩි විස්තර ඇහුවා. සයිඩ් රෝඩ් එකකින් බලන්නේ නැතිව කෙලින්ම මහා මාර්ගයට මෝටර් සයිකල් එක දාලා. ඒ වෙලාවේ ටිපර් එකක් ගිහිල්ලා. මට හිතුනේ මේ මරණ කර්මයට බැර කලාට රෝඩ් සේෆ්ටි පිලිබඳ මහා මාර්ග නීති නොදත් කම නිසා උන දෙයක් නේද කියලා.
කර්මය ඉතා ඉක්මනින් පළ දෙන්නේ දුප්පත් සහ බලයක් නැති මිනිසුන්ට පමණද කියා විටෙක සිතනවා.මොකද කර්මයෙන් වැඩිපුරම බැට කන්නේ දුප්පතුන්.
No comments:
Post a Comment
Appreciate your constructive and meaningful comments