Wednesday, July 20, 2016

රෝහලේ සමාජවාදය


සමාජවාදී රාජ්‍යක් වූ සෝවියට් දේශයේ වෛද්‍ය පීඨයක ඉගෙනුම ලැබූ අපට රෝගියා කේන්ද්‍ර කොට ගත් වෛද්‍ය ආචාර ධර්ම මෙන්ම රෝගී සත්කාරය ,රෝගියා සමග සන්නිවේදනය පිලිබඳව පුහුණුව ලැබුණි. එසේම සෝවියට් රෝහල් වල වෛද්‍ය අධ්‍යක්‍ෂකවරයාත් රෝහලේ කම්කරුවාත් අතර ලොකු පන්ති හිඩැසක් ද නොවීය​. එසේම රෝහලේ විවිධ වෘත්තීන් අතර ගැටුම් වලින් තොර එකිනෙකාට ගරුත්වයෙන් සලකන පරිසරයක් තිබුනේය​. 

නමුත් ලංකාවේ තිබෙන්නේ රෝගියා කේන්ද්‍ර කොට ගත් සත්කාරක ක්‍රමයක් නොවේ. එහි වැඩවසම් බව , වෘත්තීන් අතර කුලල්කාගැනීම් , වෛද්‍ය ආචාර ධර්ම කඩ කිරීම් , රෝගියා සමග  සන්නිවේදනයේ හීන  බව කැපී පෙනෙයි. රෝගියා ඉදිරියේ වෛද්‍යවරයා  බොහෝ අවස්ථා වලදී පෙනී සිටින්නේ මවාගත් ගාම්භීර භාවයකිනි. සමහර වෛද්‍යවරු රෝගියාගේ මුහුණ දෙසවත් නොබලති. රෝගියාට වෛද්‍යවරයාගෙන් ප්‍රශ්න ඇසිය නොහැක​. රෝගියා සහ වෛද්‍යවරයා අතර විශාල වැඩවසම් පරතරයකි , Power Difference  එක විශාල එකකි. වෛද්‍යවරයා රදලයෙකු මෙන් හැසිරෙන අතර රෝගියා යටත් සහ පහත් වැසියෙකි, ප්‍රවේණි දාසයෙකි. ලංකාවේ වෛද්‍යවරු සියල්ල මෙසේ රෝගීන් ඉදිරියේ හැසිරෙනවා කියාමම නොකියමි. එහෙත් බොහෝ විට මේ තත්වය රෝගීන් විසින් අත් දැක තිබේ. 

මා විසින් නිරීක්‍ෂණය කල අන්දමට බොහෝ විට මෙම වැඩවසම් පරතර සිතාමතාම පවත්වා ගන්නේ පහළ සමාජ ආර්ථික ස්ථර වලින් පැමිනි දිස්ත්‍රික් කෝටාව නිසා වෛද්‍ය පීඨයට  තේරී වෛද්‍යවරු බවට පත් වූ පුද්ගලයන් වෙති. එසේම මෙවැනි කොටස් තුල ග්‍රාමීය පසුගාමීත්වයද  උග්‍ර වශයෙන් දක්නට තිබේ. 

සාමාන්‍ය පෙළ   දක්වා ග්‍රාමීය පාසල් වල අධ්‍යාපනය ලබා රාජකීය , ආනන්ද නාලන්ද පාසල් වලින් උසස් පෙළ නිම කොට වෛද්‍ය පීඨ වලට ගිය සමහර වෛද්‍යවරු ගමේ යහපත් දේ වෙනුවට කරට ගන්නේ ග්‍රාමීය හීනමානය සහ පසුගාමීත්වයයි. එසේම කොලඹ ඉහල පාසල් වල නවීනත්වය වෙනුවට ඔවුන් ආදේශ කර ගන්නේ නාගරික තුප්පහිභාවයන් වෙති. මේ නිසා දරුණු අනන්‍යතා අර්බුධයකට මැදිවන ඔවුන් දුප්පත් රෝගියා ඉදිරියේ දෙවිවරු ලෙස මහන් තත්වයකින් හැසිරෙති. රෝගියාගේ ආත්ම ගරුත්වය ගැන නොසලකා ක්‍රියා කරති. 

ග්‍රාමීය ප්‍රදේශ වලින් විත් වෛද්‍යවරු වන සෑම පුද්ගලයා තුලම මෙම තත්වය තිබෙන බව මම නොකියමි. ග්‍රාමීය ප්‍රදේශ වලින් විත් වෛද්‍යවරු වූ නියම යහ ගති ගුණ තිබූ මහත්වරු මම දුටුවෙමි. 

වරක් මගේ බිරිඳගේ රෝගී තත්වයකට ප්‍රතිකාර ගැනීම සඳහා සෙන්ට්‍රල් පුද්ගලික රෝහලේ නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත ගියෙමි.  ඔහු රෝගියා සමගවත් මා සමගවත් මුහුණ දෙස බලා කතා කලේ නැත​. මවාගත් ගර්වයකින් ඔහු අපගේ හිස් උඩින් බලා නියෝග දෙන්නාක් මෙන් කතා කලේය​. සැමියා වෛද්‍යවරයෙකු සහ බිරිඳ නීතීඥවරියක වූ වෛද්‍යවරයා සමග ඉංග්‍රීසි භාෂාවෙන් තකා කල යුවලකට මෙසේ කලේ නම් චීත්තයක් සරමක් ඇඳගෙන එන දුගී සැමියෙකුට සහ බිරිඳකට ඔහු කෙසේ සලකත්ද යැයි මට කල්පනා විය​. යම් ලෙසකින් කැනඩාව වැනි රටක රෝගියෙකුට මෙයාකාර ප්‍රතිචාරයක් ඔහු ලබා දුන්නේ නම් ඔහුගේ වෛද්‍ය ලියාපදිංචිය පවා අහෝසි වීමට ඉඩ තිබුනි. 

දෙවන අත්දැකීම ලැබුවේ මගේ පුතා පාක් රෝහලේ විශේෂඥ ළමා වෛද්‍යවරයෙකු වෙත ගෙන ගිය අවස්ථාවේදීය​. ඔහු මම වෛද්‍යවරයෙකු බවත් ඔහුගේ පුතා සහ මගේ පුතා රාජකීය විද්‍යාලයේ එකෙම පන්තියේ ඉගෙනුම ලබන බවත් දැන සිටියේය​. එහෙත් ඔහුගේ රෝගී වෛද්‍ය සහ සබඳතාව මෙන්ම වෛද්‍ය සන්නිවේදනය ඉතා පහත් මට්ටමක තිබුනි. සමහරක් විට මිත්‍රශීලී අයුරින් රෝගියාගේ දෙමාපියන් සමග ගනුදෙනු කලහොත් චැනල් මුදල යළි භාර දීමට සිදුවෙතැයි කියා ඔහු සිතුවා විය හැක​. 

නමුත් පසුව සොයා බැලීමේදී ඔහුගේ වෛද්‍ය සන්නිවේදන කුසලතා පහළ මට්ටමක තිබෙන බව පෙනී ගියේය​. තවද මම මේ කරුණ ළමා රෝග විශේෂඥ  මහාචාර්‍ය හරේන්ද්‍ර ද සිල්වා මහතා සමග කී විට උක්ත විශේෂඥ ළමා වෛද්‍යවරයා තමා යටතේද වැඩ කල බවත් ඔහු තුල හීන වූ සන්නිවේදන කුසලතා තිබෙන බවත් එතුමා පිලිගත්තේය​. 

ලංකාවට පැමින වෛද්‍යවරයෙකු ලෙස සේවය කිරීමට ගත් කාලයේ මම රෝහලේ සමාජවාදී අන්දමට ක්‍රියා කලෙමි. මිනිස් ගුණාංග බැහැර කල අපගේ බොහෝ වාමාංශිකයන් සමාජවාදය කියා සිතන්නේ ධනවත් වියාපාරිකයෙකුගේ වියාපාර ගිනි තබා ඔහු මෙන්ම ඔහු විසින් රැකියා දී තිබෙන දරු පවුල්කාරයන්ද මහ මඟට බස්සවා සියල්ලන්ම හිඟන්නන් කිරීමෙන්  පන්ති රහිත සමාජයක් ගොඩනැගීමේ සිහිනයයි. නමුත් මා මේ කියන සමාජවාදය ඔය සමාජවාදය නොවේ. 

මම රෝහලේ අනෙක් වෛද්‍යවරුන්ටත් රෝහල් කම්කරුවන්ටත් සමාන ගරුත්වයකින් යුතුව සැලකුවෙමි. එසේම අනෙකුත් වෛද්‍යවරුන් මෙන් විශාල පන්ති පරතරයක් තබා නොගත්තෙමි. මෙය අනෙකුත් වෛද්‍යවරුන් ගේ දෝෂ දර්ශනයටද හේතු විය​. නමුත් කල් යාමේදී මට පෙනී ගියේ රෝහල් කම්කරුවන් ඇටෙන්ඩන්වරු රෝගීන් සම්බන්ධයෙන් මම දෙන නියෝග වලට වඩා කුඩා මිනිසුන් පෙළමින් විශාල පන්ති පරතරයක්  සහිතව ආරූඩ කරගත් මහන්තත්වකමක් පවත්වාගෙන යන වෛද්‍යවරුන් දෙන නියෝග හිස් මුදුනින් පිලි ගෙන ඒවා නොපිරිහෙලා ඉටු කරන බවයි.  ඉන් මම තේරුම් ගත්තේ සමහර විට සමාජවාදී ජීවන රටාවකට යාමට අපගේ මිනිසුන් තුල මානසික වශයෙන් සූදානමක් නොමැති බවයි. වැඩවසම් භාවයෙන්   තැලී පොඩි වන මිනිසුන් ද වැඩවසම් ක්‍රමයට පෙම් බඳිති, එම ක්‍රමය ආරක්‍ෂා කරති. 

මා ජීවත් වූ ආර්ථික සහ සමාජ ආකල්ප වලින් දියුණු රටවල වෛද්‍යවරු රෝගීන් සම්බන්ධයෙන් අනුගමනය කරන්නේ සෝවියට් ක්‍රමයටත් වඩා උසස් මානවීය ක්‍රමයකි. මෙම ක්‍රමය රෝගියා මූලික කොට ගොඩ නගා තිබේ. මෙම ක්‍රමයේ දී රෝගියා අපයෝජනයට හිරිහැරයට ලක්වීමේ සම්භාවිතාව අවමය​. එසේ රෝගියා ගේ අයිතීන් උල්ලංඝනය වුවහොත් රෝගියාට වෛද්‍යවරයාට , හෝ හෙදියට විරුද්ධව වෛද්‍ය සභාවට පැමිනිලි කල හැකිය​. සියලුම පැමිනිලි අපක්‍ෂපාතීව විමර්ශනයට ලක් කෙරේ. සමහර විට චෝදනා ඔප්පු වුවහොත් වෛද්‍යවරයාට එරෙහිව පියවර ගනු ලැබේ. 

මෙම තදබල නීති ක්‍රමය තිබුනා හෝ නැතා මෙම සමාජ වල මිනිසුන් , වෘත්තිකයන් එකිනෙකා කෙරෙහි ගරුත්වයකින් සහ ආචාර ධර්ම , වෘත්තීය කඩඉම් බිඳ නොහෙලමින් ක්‍රියා කරති. මෙවැනි සමාජ වල වෛද්‍යවරු රෝගීන් සමග ප්‍රශස්ථ සන්නිවේදනය මෙන්ම රෝගී සත්කාරය රෝගියා කේන්ද්‍ර කොට සිදු කරති. මෙවැනි සමාජ වඩාත් සමාජවාදී යැයි කියා මට සිතේ. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

33 comments:

  1. රෝගියා කේන්ද්‍ර කොට ගත් වෛද්‍ය ආචාර ධර්ම මෙන්ම රෝගී සත්කාරය ,රෝගියා සමග සන්නිවේදනය
    මේවා ලංකාවේ උගන්වන්නේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. උගන්නනවා ඒත් බොහෝ විට භාවිතයේ නෑ

      Delete
    2. ඒවා උගන්නවන අයත් රෝහලේදේ ඒවා භාවිත නොකරන බව සිසුන්ට හොදින්ම පෙනෙනකොට, එම සිසුන් වෛද්‍යවරු වුනහම ඒවා භාවිත කරාවි යයි සිතීම මුලාවක්. සමහර විට ඒවා උගන්නවන අයත් උගනවන්ව ඇත්තේ විෂය නිර්දේශයේ තිබෙන නිසා පමණක් වෙන්න ඇති.

      Delete
  2. පහුගිය දවසක ශික්ෂණ රෝහලක අක්ශි වයිද්‍යවරයෙක් එක්ක පොඩි කතාවක් දාන්න අවස්ථාවක් ලැබුනා.ඔහු කියනවා ඔහුගේ ආසනයට ඉහලින් 'අනවශ්‍ය කතාබහින් වලකින්න' යනුවෙන් දැන්වීමක් සටහන් කර ඇති බව.ඒ හා සමඟින්ම රෝගීන් හා කතා බහ ඉතා සීමා සහිතව සිදු කරන බව.
    ගස්ලබ්බා ගේ වැඩිදුර ප්‍රශ්ණ කිරීම් හමුවේ හෙලි උනේ ඔහු රජයේ සායනය තුල පැය තුන හමාරක හතරක කාලය තුල රෝගීන් සියයක් පමණ පරීක්ශා කරන බව.
    පරීක්ශාකිරීම්,ප්‍රතිකාර සටහන් කිරීම් ඈ සියලු කටයුතු සඳහා එක් රෝගියෙකුට විනාඩි දෙකහමාරක් පමණයි.
    ඔහු ගස්ලබ්බගේ ඇසූ ප්‍රශ්ණය තමයි මේ මිනිත්තු දෙක හමාර තුල රෝගීන් හුරතල් කරන්නේ කෙසේද? යන්න.
    පහසුකම් සමඟින්ම ආකල්පමය වෙනසක් අවශ්‍යයි.තනි ගමනක් නම් නෑ.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. හසුකම් සමඟින්ම ආකල්පමය වෙනසක් අවශ්‍යයි +++++++

      Delete
    2. වෙලාව සීමිතවීම, පහසුකම් අවමවීම, වෛද්‍යවරුන්ගේ හා මහජනතාවගේ යල් පැන ගිය ආකල්ප ඔක්කොම කම්බිනේශන් එකක්.

      Delete
  3. මාසයකට කලින් ජපානෙදි මුහුනපෑ අත්දැකීමක් කියන්නම්.
    මගේ වම් කකුලේ පිටිපතුල එක වරම ඉදිමී රිදුම් දීම ඉවසන්න බැරි තැන ඩොක්ටර් කෙනෙකුට පෙන්නුවා.
    X-Ray ත් බලල, බ්ලඩ් ටෙස්ට් එහෙකුත් කරල, අතිනුත් එහාට මෙහාට මිරික මිරික බලල කිව්ව "ත්සුෆූ" වෙන්න පුලුවන් කියල.
    කියල ඇහුව "ත්සුෆූ" කියන්නෙ මොකද්ද දන්නවද කියල. මම් දන්නෙ නෑ කිව්ව.
    ඉන් පස්සෙ නර්ස් කෙනෙකුට කියල ඩික්ෂනරියක් ගෙනත් පෙන්නුවා, ඉන්ග්‍රීසියෙන් කියන්නෙ "Gout" කියලා.
    මම ඒත් දන්නෙ නෑ, ඇහුවමයි එහෙම ලෙඩක්.
    පස්සෙ Internet එක සර්ච් කරල එක එක පෙන්නුව හැදෙන්නෙ මෙහෙමයි කියලා.
    බය වෙන්න එපා බෙහෙත් තියෙනවා කියල සතියකට බෙහෙත් දුන්නා.
    ඊළඟ සතියෙ ගියාම කොල 10 ක් විතර printouts අරන් තියල දුන්නා කියවන්න කියල.
    ඒ වෙනකොට මම ඒ සේරම කියවල තිබුනෙ.

    ReplyDelete
    Replies
    1. in Sri Lanka වරක් එක් මවක් (සිංහලෙන් නොව ඉංග්‍රීසියෙන්) ළමයාගේ රෝගී තත්වය ගැන ප්‍රශ්නයක් ඇසූ විට වෛද්‍යවරිය කිව්වේ ' I am not here to give you a lecture on pediatrics " කියලා

      Delete
    2. e wage lankawe kawada weida.kawadawath wena ekak na.

      Delete
  4. නියම ලිපිය.

    මගේත් රෝගී අත්දැකීම් මේ ආකාරයේ ම තමයි.

    පුතාව ලංකාවෙදි හොඳ ඉස්කෝලෙකට යවලා නේද? ;-)

    ReplyDelete
    Replies
    1. පුතාව ලංකාවෙදි නාලන්දාවට දාන්න හිටියේ එක් ආදි ශිෂ්‍ය මාෆියා කාරයෙක් මගේ ළමයාගේ නම කපලා පගාවක් දූන්න බිස්නස් කාරයෙක් ගේ ළමයෙක් දැම්මා

      Delete
    2. ඒක තමා මාත් අහනන් ගියේ ලොකුට නාලන්දේ ගැන කතාකරන්වා ලමයා ය්වන්නේ රෝයල්..ඕකම තමා සුමතියා කරන්නෙත්...ලොකු ලොකු ඇමතිලා කරන්නෙත්,...හැබැයි ආනන්දේ ඔය ගතිය අඩුයි...

      Delete
    3. ඉරිසියාවක් වගේ දැනෙනවද ?

      Delete
  5. //මිනිස් ගුණාංග බැහැර කල අපගේ බොහෝ වාමාංශිකයන් සමාජවාදය කියා සිතන්නේ ධනවත් වියාපාරිකයෙකුගේ වියාපාර ගිනි තබා ඔහු මෙන්ම ඔහු විසින් රැකියා දී තිබෙන දරු පවුල්කාරයන්ද මහ මඟට බස්සවා සියල්ලන්ම හිඟන්නන් කිරීමෙන් පන්ති රහිත සමාජයක් ගොඩනැගීමේ සිහිනයයි. නමුත් මා මේ කියන සමාජවාදය ඔය සමාජවාදය නොවේ.//
    +++++++++

    ReplyDelete
    Replies
    1. මෙහේ සමාජවාදය ගොඩ නගන්නේ ගල් කටස් වලින් එහේ ඒක කරන්නේ මානව දයාවෙන්

      Delete
    2. මෙහෙ සමාජවාදය හදන්න එන එකාට තියෙන්නෙ ඉරිසියාව හා ඇරියස් කවර් කිරීම. වලිගෙ කඩාගත්ත නරිය හැමෝගෙම වලිග කපා දමන්න හැදුව වගෙ තමා.

      Delete
  6. නමුත් ලංකාවේ තිබෙන්නේ රෝගියා කේන්ද්‍ර කොට ගත් සත්කාරක ක්‍රමයක් නොවේ.

    රෝගියාට වෛද්‍යවරයාගෙන් ප්‍රශ්න ඇසිය නොහැක​. රෝගියා සහ වෛද්‍යවරයා අතර විශාල වැඩවසම් පරතරයකි , Power Difference එක විශාල එකකි. වෛද්‍යවරයා රදලයෙකු මෙන් හැසිරෙන අතර රෝගියා යටත් සහ පහත් වැසියෙකි, ප්‍රවේණි දාසයෙකි.

    මා විසින් නිරීක්‍ෂණය කල අන්දමට බොහෝ විට මෙම වැඩවසම් පරතර සිතාමතාම පවත්වා ගන්නේ පහළ සමාජ ආර්ථික ස්ථර වලින් පැමිනි දිස්ත්‍රික් කෝටාව නිසා වෛද්‍ය පීඨයට තේරී වෛද්‍යවරු බවට පත් වූ පුද්ගලයන් වෙති. එසේම මෙවැනි කොටස් තුල ග්‍රාමීය පසුගාමීත්වයද උග්‍ර වශයෙන් දක්නට තිබේ.

    සැමියා වෛද්‍යවරයෙකු සහ බිරිඳ නීතීඥවරියක වූ වෛද්‍යවරයා සමග ඉංග්‍රීසි භාෂාවෙන් තකා කල යුවලකට මෙසේ කලේ නම් චීත්තයක් සරමක් ඇඳගෙන එන දුගී සැමියෙකුට සහ බිරිඳකට ඔහු කෙසේ සලකත්ද යැයි මට කල්පනා විය​.

    ලිපියේ ඇති ශුද්ධ වූ වාක්‍ය තමයි මා උපුටා දැක්වූයේ.
    "සැමියා වෛද්‍යවරයෙකුවන බිරිද නීතීඥවරියක වන ඉංග්‍රීසි කතාකලහැකි යුවලකට මෙහෙම නම් "
    මේ තමයි යථාර්තය.

    ගම්වලින් කෝටාවෙන් එන අයට තමයි ගමේ උන්ට පවර් පෙන්නන්න දොස්තරකම අවශ්‍ය වෙන්නෙ. ඉහල මධ්‍යම පාන්තිකයන්ට මෙහෙම උනක් නෑ. ළමය උපන් දා ඉදන් දොස්තර කෙනෙක් කරන්න හත් මුතු පරම්පරාවක්ම සිහින දකිනවා. ඔවුන්ට මෙය තවත් රැකියාවක් නොව ආභරනයක්.

    නමුත් කල් යාමේදී මට පෙනී ගියේ රෝහල් කම්කරුවන් ඇටෙන්ඩන්වරු රෝගීන් සම්බන්ධයෙන් මම දෙන නියෝග වලට වඩා කුඩා මිනිසුන් පෙළමින් විශාල පන්ති පරතරයක් සහිතව ආරූඩ කරගත් මහන්තත්වකමක් පවත්වාගෙන යන වෛද්‍යවරුන් දෙන නියෝග හිස් මුදුනින් පිලි ගෙන ඒවා නොපිරිහෙලා ඉටු කරන බවයි.// මෙය නම් මමත් අත්විද ඇති දෙයක්. තරාතිරම් නොබලා හැමෝටම මනුස්සයන් සේ සලකා පුහු නම්බුව පසෙක දා වැඩකරන අය පහල සේවකයන් විසින්ම අවතක්සේරුකරනවා. අපේ සමාජයටම පුනරුත්ථාපනයක් අවශ්‍යයි.

    මගෙ මතය වෛද්‍යවරුන් වැනි දීර්ඝකාලීන පුහුණුවක් සහිත රැකියා කරන අයට පමනක් නොව සෑම තැනකම මෙය දැකිය හැකි බවයි. කෙටිකාලීන පුහුණුවක් අවශ්‍ය වන සමාජයේ එතරම් වන්දනාවට ලක් නොවන රැකියා කරන අයත් සෙස්සන් පෙලීමට කැමතියි.එනිසා වෛද්‍යවරුන්ට පමනක්ම දොස් කියන්නට බෑ.

    මහ රෝහලේ මගේ අත්දැකීම බලන්න. මගේ දෙමවුපියන්ට කඩාපැන්න වෛද්‍යවරිය කවුද කියාවත් දන්නෙ නෑ. කාන්තා මහරෝහලේ නැති බව පසුව දැනගන්න ලැබුනා.රෝගියාට අවශ්‍ය තොරතුරු දෙන්න මේ අය සූදානම් නෑ.



    ReplyDelete
    Replies
    1. මහ රෝහලේ මගේ අත්දැකීම බලන්න. මගේ දෙමවුපියන්ට කඩාපැන්න වෛද්‍යවරිය කවුද කියාවත් දන්නෙ නෑ. කාන්තා cardiothoracic surgeon කෙනෙක් මහරෝහලේ නැති බව පසුව දැනගන්න ලැබුනා.වැඩබලන්න දාපු කෙනෙක් හෝ පුහුණුවන කෙනෙක් විය හැකියි.

      Delete
    2. පේ සමාජයටම පුනරුත්ථාපනයක් අවශ්‍යයි.///// ++++++++

      Delete
  7. "නමුත් කල් යාමේදී මට පෙනී ගියේ රෝහල් කම්කරුවන් ඇටෙන්ඩන්වරු රෝගීන් සම්බන්ධයෙන් මම දෙන නියෝග වලට වඩා කුඩා මිනිසුන් පෙළමින් විශාල පන්ති පරතරයක් සහිතව ආරූඩ කරගත් මහන්තත්වකමක් පවත්වාගෙන යන වෛද්‍යවරුන් දෙන නියෝග හිස් මුදුනින් පිලි ගෙන ඒවා නොපිරිහෙලා ඉටු කරන බවයි."
    -------------------------------------------------------------------------

    අපේ අය අදටත් කෝටුවට හා වහල් කමට කැමතිය්. අපේ office මේ දේම මම අත්දකිමි.!

    ReplyDelete
  8. බුද්ධධර්මය සහ සිංහල බුද්ධාගම කියා දෙකක් ව්‍යවහාරයේ තියනවා වගේ ලංකාවේ වාමාංශිකයන්ගේ සමාජවාදයටත් නමක් දාමුද?

    මේ ළඟකදී ජනප්‍රිය ගීත රචක වෛද්‍යවරයකු හමුවෙන්න ගියා රැකියාවේ අවශතාවකට, කාරුණිකව කතාකරන ඔහුට මගේ වැඩේ සාර්ථකව කර දෙන්න බැරිවුනා එතැන ඔෆිස් එනේ අය ඔහුව තුට්ටුවකටවත් මායිම් නොකළ නිසා.

    ReplyDelete
    Replies
    1. බුද්ධධර්මය සහ සිංහල බුද්ධාගම කියා දෙකක් ව්‍යවහාරයේ තියනවා වගේ ලංකාවේ වාමාංශිකයන්ගේ සමාජවාදයටත් නමක් දාමුද?///// ha ha ha ha

      Delete
  9. පෝස්ට් බර ගානකට හේතු සපයන ලිපියක්.. නියමයි.

    //නමුත් කල් යාමේදී මට පෙනී ගියේ රෝහල් කම්කරුවන් ඇටෙන්ඩන්වරු රෝගීන් සම්බන්ධයෙන් මම දෙන නියෝග වලට වඩා කුඩා මිනිසුන් පෙළමින් විශාල පන්ති පරතරයක් සහිතව ආරූඩ කරගත් මහන්තත්වකමක් පවත්වාගෙන යන වෛද්‍යවරුන් දෙන නියෝග හිස් මුදුනින් පිලි ගෙන ඒවා නොපිරිහෙලා ඉටු කරන බවයි. ඉන් මම තේරුම් ගත්තේ සමහර විට සමාජවාදී ජීවන රටාවකට යාමට අපගේ මිනිසුන් තුල මානසික වශයෙන් සූදානමක් නොමැති බවයි. වැඩවසම් භාවයෙන් තැලී පොඩි වන මිනිසුන් ද වැඩවසම් ක්‍රමයට පෙම් බඳිති, එම ක්‍රමය ආරක්‍ෂා කරති. //

    මේ කොටස හැම තැනදිම අදාලයි ලංකාවේ. ඩෝක්ටර්.. ඔබගේ ලියමන් වලට ජය..

    ReplyDelete
  10. අපේ සමාජවාදය හැම ඒකවම නැති කරවන එකක්.

    වෛද්‍යවරයෙක් එක්ක කතා කරන්නත් අපේ සාමාන්‍ය මිනිස්සු බයයිනේ.රෝගීන් දැනගන්න ඕනෑ වෛද්‍යවරුන් යැපෙන්නේත් රෝගීන් ඉන්න නිසා බව.මේ නිසා දෙගොල්ලොම වැඩ කරන්න ඕනෑ සහ-සම්බධතාවයකින්.

    ReplyDelete
  11. ඔය විදියට නැති එක් විරල අවස්තාවක් මට කියන්න පුළුවන්. අපි දැනට castle street එකේ ප්‍රසව හා නාරිවේද 1 වෙනි පුහුණුව (appointment) ලබනවා. නම අවශ්‍ය නැහැ, එත් අපිට විශේෂඥ වෛද්‍යතුමා දුන්නු පලවෙනි අවවාදය තමයි වාට්ටුවේ වැදගත්ම පුද්ගලයා රෝගියා කියන එක. රෝගියා තමන්ගේ අම්මා හෝ සහෝදරිය වුනානම් සලකන විදියට සලකන්න කියන එක. ඒ වගේම කොච්චර කාර්ය බහුල වුනත් , මොන වැඩේ කරමින් , කොහේ හරි යමින් හිටියත් රොගී අම්මා කෙනෙක් කතා කරොත් අනිවාර්යෙන් නැවතිලා ඒ වැඩේ කරලා දෙනවා. වෛද්‍ය ශිෂ්‍යයන්, අනෙක් වෛද්‍යවරුන්ට කොච්චර සැර උනත් රෝගීන් ගැන අර වගේ ආකල්පයක් තියෙන එක අගය කලයුතුයි." I don`t mind if you give me hundred nuisance calls, if one life could be saved by that"

    ReplyDelete
    Replies
    1. ඔබගේ කන්සල්ටන්ට් හොඳ වෛද්‍යවරයෙක්

      Delete
  12. ඒත් එකම ආයතනෙ තමන්ට වඩා පහළ ශ්‍රේණි අතර පරතරය අඩු වැඩි කරගන්න එක කරද්දි අනික් කෙනා කොහොම කෙනෙක්ද කියලා අවබෝධ කරගත්තෙ නැත්නම් අනික් කෙනා අපේ ඔලුවට අතහෝදන එක අනිවාර්යයි. ඒක මම වැඩ කරන තැනදි මම අත්දැකීමෙන් දැකලා තියෙනවා.
    සතිපතා කවුන්ටරයට ඇවිත් පාස්පොතින් සල්ලි ගන්න කෙනෙක් මාත් එක්ක හිතවත් වෙලා හිටියා. දවසක් පාස්පොත නොගෙනා අවස්ථාවකදිත් මම ගිණුමෙන් මුදල් අරන් දුන්නා. ඒ කෙනා දවසක් මම කවුන්ටරේ නොහිටි වෙලාවක පාස්පොත නැතිව සල්ලි ගන්න ඇවිත් එතැන හිටපු නිළධාරියා සල්ලි ගන්න දෙන්න බෑ කීවම වෙනදා ඉන්න කෙනාට පුලුවන්නම් ඔහේට බැරි ඇයි කියලා රණ්ඩු වෙලා. ඊට පස්සෙ ඉතින් පාස්පොත නැති කිසිකෙනෙකුට සල්ලි ගන්න ඕන නම් කළමනාකාරතුමා හමුවීම අනිවාර්ය කළා ඉතා සුලු මුදලටත්.
    ආයෙ කෙනෙක් හිටියා බිස්නස් එකට අදාල සල්ලි ගන්න වෙනත් තැන්වලින් සල්ලි දානකන් බැංකුව ඇතුලෙ වාඩි වෙලා ඉන්නවා. අපි ශාඛාව වහන්නෙ හවස 3ට වුනත් හවස 3.30 පහුවෙනකනුත් ඉඳලා සල්ලි ගත්තු අවස්ථා තිබුනා. ඒ කෙනා දවසක් මම කන්න ගියපු වෙලාවෙ සල්ලි ගන්න ඇවිත් (මම හැමදාම කන්න යන්නෙ එකම වෙලාවට මොකද ඒ වෙලාවට බැංකුවට එන පාරවල් 3 ම එක බස් එකක්වත් එන්නෙ නෑ වගේම ගණුදෙනුකරුවන් ආවත් විනාඩි 5ට-10ට එක්කෙනෙක් විතර එන වෙලාවක්. එක කවුන්ටරයක් විතරක් තියෙන නිසා කළමනාකාරතුමා ඒ එන අයත් එක්ක කතා කරකර ඉන්නවා මම කාලා එනකන්. ) ඒ කෙනා කෑ ගහනවා ඇහුනා කවුන්ටරේ අයට කන්න යන්න කියලා වෙලාවක් වෙන් කරලා නෑ අපේ සල්ලි ගන්න එයා කාලා එනකන් ඉන්න බෑ. ගිණුම වහගෙන යනවා කියලා. කළමණාකාරතුමා ඒ කෙනාට පැහැදිලි කළා අපිට කන්න කියලා පැයක් තිබුනත් කවදාවත් විනාඩි 10ට වඩා කෑම කන්න ගත නොකරන බවත් හවස තුනෙන් පස්සෙ කන්න යන්නත් විදියක් නෑ සමහර වෙලාවට එන අය පිටත් වෙන්නෙ හවස 3.30 පහුවෙලා බවත් එහෙම වුනාම ගෙදරින් ගෙනෙන කෑම එක විසි කරන්න වෙන බවත්. කළමනාකාරතුමා මට කීවා හෙමීට කාලා එන්න කියලා. ඉතින් එදා ඉඳලා ඒ ගණුදෙනුකරුට හවස 3න් පස්සෙ බැංකුව ඇතුලෙ ඉන්න තහනම් වුනා.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook