Wednesday, July 6, 2016

දඹාන ගමන


1996 කාලයේ මම මහියංගන දඹාන ආදිවාසී ජනතාව බැලීමට ප්ලෑන් ආයතනය හෙවත් ජාත්‍යන්තර සැලසුම් ආයතනයේ  ජයරත්න මහතා සමග ගියෙමි. එවකට මම මිනිපේ ප්‍රාදේශීය සෞඛ්‍යය සේවා අධ්‍යක්‍ෂකවරයා වූයෙමි. මේ කාලයේ වැදි නායක තිසාහාමිද ජීවතුන් අතර විය​. අප බුලත් දුම්කොළ සහ පුවක් මගදී මිලට ගත්තේ තිසාහාමිට දීමටය​. මේ ගමනේදී දඹානේ ගුනවර්ධන මුණ ගැසීමට මට අවශ්‍යතාවයක්ද තිබුනේය​. දඹානේ ගුනවර්ධන ප්‍රථම ආදිවාසී උපාධිධාරියා විය​. එසේම ඔහුගේ දඩබිමෙන් දඩබිමට කෘතියද මම කියවා තිබුණි. නමුත් අවාසනාවකට මෙන් අප ගිය දින දඹානේ ගුනවර්ධන සිටියේ නැත​. 

අපට වැදි නායක තිසාහාමි හමු විය​. ඔහු දුර්වළව සිටියේය. ​තිසාහාමි අසල සිටි වර්තමාන ආදිවාසී නායක උරුවරිගේ වන්නියලැ ඇත්තෝ තිසාහාමි වැදි භාෂාවෙන් කියන දෙය ඉතා හොඳ වියත් සිංහලට පෙරලා කීවේය​. 

මම උරුවරිගේ වන්නියලැ ඇත්තෝ සමග කතා කලෙමි. ඉතා චතුර ලෙස සිංහල කතා කල ඔහු මගේ ප්‍රශ්න වලට පිලිතුරු දුන්නේය​. මම ආර් එල් ස්පිට්ල් මහතාගේ මැකී ගිය දඩමං පොතේ එන වැද්දන් වූ පොරමලා, ගාමා , කයිරා ,  ගෝඹා,  පොරමලා සකා , යනාදීන් ගැන ඇසුවෙමි. උරුවරිගේ වන්නියලැ ඇත්තෝ මේ වැද්දන් දන්නවාක් මෙන් කරුණු කීවද ඔහු පවසන්නේ සත්‍යක් නොවන බවත් ඔහු ආර් එල් ස්පිට්ල් මහතාගේ මැකී ගිය දඩමං පොත කියවා නැති බවත් මට වැටහුණි. 

අප දඹානෙන් පිටත ඒමට හදන විට වැදි කොල්ලන් රැලක් අප වට කරගෙන දුනු හී , මීපැණි හා වේලපු දඩමස් විකිනීමට උත්සහ කලහ​. අප මීපැණි හා වේලපු දඩමස් මිලට ගත් නමුත් මීපැණි යනු සීනි උණුකර වතුර දමා සැදූ පැණියක් ද වේලපු දඩමස් යනු මහියංගන හන්දියේ හරක් මස් කඩයෙන් මිලට ගත් හරක් මස් තීරු කපා වේලා ගත් ඒවාත් බවත් කියා පසුව ප්‍රත්‍යක්‍ෂ විය​. මේ වැදි ගැටව් සරම් කැහැපොට ගසාගෙන සිටියද සමහරුන් ගේ සරම් යටින් රනිං ශෝට් පවා පෙනුනේය​. 

ඔවුන් සිංහල වචන මැදට පොජ්ජ , මංගච්චනවා , පාහිනවා වැනි වැදි භාෂාවේ යොදා අප සමග කතා කලහ​. නමුත් මේ අය කරන්නේ රඟපෑමක් බව මට තේරුණි. මම ඔවුන් ගෙන් කළුදැවා කියන වැදි භාෂාවේ වචනයේ තේරුම ඇසුවෙමි. ඔවුන් එක් අයෙකුවත් එය දැන සිටියේ නැත​. පසුව මමත් ජයරත්නත් සිනාසෙමින් දඹානෙන් පිටත් වී  ආවෙමු. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

32 comments:

  1. ඊයෙ ලාස් වේගාස් අද දඹානෙ.

    ReplyDelete
    Replies
    1. නියමෙට ගැලපෙන සටහන් දෙකක්. එකම දේ (සංචාරකයන්ට විනෝදාස්වාදය සැපයීම) දෙවිදිහකට සපයන තැන් දෙකක් විතරක් නොවේ, මිනිසුන් තමන්ට තියන සම්පත් වලින් එකම අරමුණක් සපුරා ගන්න හැටිත් කියනවා. (රුවන් සංචාරය කියල, ලියන කලින් ලියූ මගේ ප්‍රතිචාරය කළු කුහරයක ගියා) :)

      Delete
  2. කොතනත් දැන් මවාපෑම විතරයි මම හිතන්නේ තියෙන්නේ.

    ReplyDelete
  3. හැම වචනෙටම පොජ්ජ පොජ්ජ කිව්වනං වැදි බාසාව.නියම වැද්දන් නැතිවුනේ අද නෙවෙයි මීට අවුරුදු හැට හැත්තෑවකට ඉස්සෙල්ලයි.දැන් ඉන්න අය කරන්නෙ රඟපෑමක් පමණයි.

    ReplyDelete
  4. කොටින්ම තිසාහාමි කියන්නෙත් මාතර පැත්තෙ ඉපදිලා මිනීමැරුමකට අහුවෙලා පැනල ආපු කෙනෙක් කියල මම අහල තියෙනවා.ඇත්තටම අද වැදි ජනතාව කියන්නෙ බිස්නස් එකක් විතරයි.මං හිතන්නෙත් අපේ ඇත්ත ආදිවාසීන් වඳවෙලා ගොඩක් කල්.මේවා ගැන විද්‍යාත්මක ගවේෂණයක් තවම සිදු වෙලා නැහැ නේද ?

    ReplyDelete
    Replies
    1. ඔය කතාව මමත් අහලා තියනවා

      Delete
    2. ඒ තිසාහාමි සහ හිටපු වැදී නායක තිසාහාමි කියන්නේ දෙන්නෙක් නේද...
      මිනීමරු තිසාහාමි හිටියේ ස්පිට්ල් වැද්දන් බලන්න ගිය අවධියේ...

      Delete
    3. ඒ තිසාහාමි සහ හිටපු වැදී නායක තිසාහාමි කියන්නේ දෙන්නෙක්

      Delete
    4. උරුවරිගේ වන්නියලැ ඇත්තන්ගේ පියා උරුවරිගේ තිසාහාමි ය.

      ඔය කියන්නේ ස්පිට්ල් ගේ තිසාහාමි. එයා වන්නකු තිසාහාමි ය. ස්පිට්ල් මහතා ගේ වනසරණ පොතේ තියෙන්නේ එහෙමය.

      ප්‍රියන්ත

      Delete
  5. අපේ අඬන පුංචම්මා දඹානේ ගිහිං වැද්දන්ගෙං සුද්ද සිංහල අහගත්තා

    ReplyDelete
    Replies
    1. පුංචි අම්මගෙ කතාව ලියන්න ශ්‍රංග.

      Delete
  6. ස්පිටල් දැකල තිබුනෙත් නියම වැද්දන්ගෙන් එකයි, ඒ තමයි ගමා. ඔහුටත් තිබුනේ 100% ක්ම වැදී ලේ නොවන බවයි ස්පිට්ල් කියෙව්වම මට හිතුනේ...
    එතනින් එහාට හිටපු වැදී ජනතාව එහෙට මෙහෙට කළවම් වෙලා කියන කාරණය ඇත්ත උනත්, ඔවුන් ඔවුන්ගේ සංස්කෘතිය සහ අනන්‍යතාවය බොරු කිරීමක් වශයෙන් හෝ පවත්වාගෙන යාම හොඳ දෙයක් බව මට හිතෙනවා...

    ReplyDelete
    Replies
    1. ගමා තිසාහාමිගේ දරුවෙක් කියල ස්පිටල් අතින් ලියවිලා තියෙනවා.ලොකු ඒක දැකල තියෙනවද?

      Delete
    2. ගමා තිසාහාමිගේ දරුවෙක් ඒ කියන්නේ නියම වැදි නෙවෙයි

      Delete
    3. මම හිතන්නේ තිසාහාමිලා ගොඩක් ඉඳලා තියෙනවා... විජයභාහුලා වගේ...

      Delete
    4. ඔව් හැලපේ අයියේ, මට ඒක හරියටම මතක නැති නිසා තමයි මම කිව්වේ කලවම් කියලා...

      නියම වැද්දෝ ගැන ලියල තියෙනවා සෙලිග්මාන්, හැබැයි ඒ යක්සයා පොත ලියන්න වැද්දෝ අස්සේ රිංගන්න ගිහින්ද දන්නේ නැහැ උන්ට පරංගි හැදිලා වැදී සනුහරේට කෙලවෙලා ගියේ...

      Delete
  7. මම ටි වී එකේ දැක්කා වැද්දෝ වගයක් පුකෙන් හැලෙන ඩෙනිම් ට්‍රබල් එක්ස් ටී ෂර්ට් බල්ලෝ බඳින චේන් එහෙම දාලා අත් දෙක බිමට ඔබ ඔබා සින්දු කියනවා... නෑ නෑ... ඕයේ ඔජායේ නෙමෙයි... සුදු ඇඳුමින් සැරි මුව හසරැල්ලේ කියලා සින්දුවක්...

    ReplyDelete
  8. ඔය දැන් ඉන්න එක්කෙනාට ජර්මනියෙත් වැදි පැටියෙක් ඉන්නවා..

    ReplyDelete
    Replies
    1. ඌ ජර්මන් වැද්දෙක් වෙයිද ?

      Delete
  9. ලොකුම අවනඩුව තමා මේ අය ආදිවාසීන් කියලා හැඳින්වීම. මොවුන් පැහැදිළි අනන්‍යතාවක් නැති සුළු ජනකොටසක් විතරයි.

    ReplyDelete
    Replies
    1. සමහරු අමු සිංහල ඒත් බොරුවට වැදි අයි.ඩී අරගෙන

      Delete
  10. නියම වැදි පරපුර 1900 වගේ කාලයකදි තුරන් වෙලා ගිය බව තමා ස්පිට්ල් සඳහන් කරන්නේ. මැකී ගිය දඩමන් පොතේ තිබෙන්නේ මේ ගැන මම හිතන්නේ.

    ඒ වගේම බින්තැන්න ඒ කාලයේදීත් නගරයට කිට්ටු වෙලා තිබුනු බව කියවෙනවා. ස්පිට්ල් හොයන් ගිය වැද්දන් බොහෝ විට නුවරගල ආශ්‍රිතව සිටිය අය කියා හිතන්න පුලුවන්.

    ReplyDelete
  11. ඒකත් ලස්සන නාට්ටියක්... ඇත්තටම වැදි ජනතාව ඉන්නවා නම් ඔවුන්ව බලන්න විනෝද ගමන් යන එක ගස්ලබ්බගෙ මතය අනුව වැරදියි.
    ජයවේවා..!!

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook