Tuesday, July 26, 2016

ද්නේපර් ගඟ දිගේ සවාරියක්

 


ග්‍රීෂ්ම සෘතුවක නිවාඩු කාලයක යූක්‍රයීනයේ ද්නේපර් ගඟ දිගේ සවාරියක් යාමට මමත් ශාන්ත කුලසේකරත් , කීව් නගරයේ ඩීන් අයියාත් , බන්දුල පට්ටියගේත් ජයන්තත් කතා කරගත්තෙමු. තවත් සිසුන් මේ සවාරියට එන බව කීවත් අවසානයේ සිටියේ ස්වල්ප දෙනෙකි. නමුත් ඉන් අපේ විනෝදයට හානියක් නොවූයේය​.  

අප මුලින්ම මෝටර් බෝට්ටු හිමියෙකුට කතා කොට ගඟ දිගේ සවාරියක් යාමටත් ගඟ මැද කුඩා දූපතක කඳවුරු ඉදි කිරීමටත් කතිකා කර ගත්තෙමු. ඩීන් අයියා මිත්‍රයෙකුගෙන් ඉල්ලාගත් විශාල මිලිටරි ටෙන්ට් එකක් ගෙනාවේය​. ශාන්තත් ඔහුගේ පෙම්වතිය වූ නිලන්තීත් කෑමට අවශ්‍ය හාල් තුනපහ , වියළි ආහාර මෙන්ම උයන පිහන භාන්ඩද ගෙනා අතර අවශේශ  අප ඒ .ඩ්බ් .ඩ්බ් හෙවත් අත වන වන ආවෙමු. නමුත් අප මේ අයට විනෝදය සැපයූයෙමු. 

අදාල දිනයේදී අප කීයෙව් දුම්‍ රිය ස්ථානයේදී හමු වූයෙමු. ඉන්පසු ද්නේපර් නදියේ තොටුපළකට ගොස් මෝටර් බෝට්ටුව එන තෙක් සිටියෙමු. 

ද්නේපර් ගංගාව යූක්‍රයීනයේ විශාලම ගංගාව වන අතර එය තෙවැනි වන්නේ යුරෝපයේ විශාලතම ගංගාව වන ඩැනියුබ් නදියටත් වොල්ගා ගංගාවටත් පමණි.  ද්නේපර් ගංගාවේ දිග කිලෝ මීටර් 2,285 කි.  ද්නේපර් ගංගාව ගැඹුරුය​. එහි නැව් පවා යති. මෙසේ ගලාගෙන යන  ද්නේපර් නදිය කළු මුහුදට එක්වේ. 

මෝටර් බෝට්ටුව පැදවූයේ යූක්‍රයීන තරුණයෙකි. අර්ධ රුසියන් බසින් කතා කල ඔහු අපව ද්නේපර් නදිය ඔස්සේ ගෙන යාමටත් පසුව ජන ශූන්‍ය කුඩා දූපතකට ගොඩබැස්ස වීමටත්  පොරොන්දු විය​. ඒ සඳහා අප ඔහුට ගෙවීම් කලෙමු. 

 අප සියළු දෙනා නංවාගත් තරුණයා විශාල මෝටර් බෝට්ටුව පැදවූයේ වතුර දෙබෑ කරමිනි. අප කිසිවෙකුට ජීවිතාරක්‍ෂක කබා නොවීය. සාන්ත ජෝසෆ් විද්‍යාලයේ ටෙම්ප්ලර් සහ අබේදාස යන පිහිනුම් ගුරුවරුන් ගේද පසුව ඔලිම්පික් පිහිනුම් උපදේශකයෙකු වූ සේන් මහතාගෙන් ද පිහිනීමේ ගුරුහරුකම් ලැබූ මා නදී ජලයට බිය නොවූයෙමි. එහෙත් අන්‍යන් පිහිනීමට දන්නවාද කියාමම නොදත්තෙමි. මේ තරුණ කාලයේ බරපතල භාවයක් නොබලා කරන ක්‍රියාය​. එහෙත් අප වාසනාවන්ත වූයෙමු. 

අපගේ මෝටර් බෝට්ටුව නදියේ යාත්‍රා කරන විශාල නැව් බත්තල් අතරින් ඇදී ගියේය​. අප නැව් වල සිටි මිනිසුන්ට අත වැනුවෙමු. මෙසේ දෙපැයක් පමණ ගඟ දිගේ ගිය අප සවස් වන විට ජනශූන්‍ය දූපතකට ගොඩ බැස්සෙමු. ඉන්පසු අපගෙ කළමනා ගොඩට ඇද රාත්‍රිය ගත කිරීමට විශාල ටෙන්ට් එක සවි කලෙමු. ඒ අතරවාරයේ ශාන්ත බෝට්ටුකරුවාට මුදල් දී තව දෙදිනකින් දූපතට එන ලෙස දැන්වීය​. ඔහු අපෙන් සමුගෙන ගියේය​. 

කඳවුර ගොඩ නංවා අප දර ලිපක් සාදා බත් ඉවුයෙමු. එසේම සැමන් ටින් කඩා සැමන්, මාළු මිරිස් සහ ලූණු සම්බෝලයක් සෑදුවෙමු. නිලන්තී කහ වැඩිපුර දමා පරිප්පුවක් ඉව්වාය​. ඒ අතරවාරයේ කොල්ලෝ කොන්‍ යැක් බෝතලයක් ඇර පාළු දූපතේ පාළුව මකා ගත්හ. 

ඩීන් අයියා නඩයේ නායකයා විය​. ඔහු ශාන්තට සහ නිලන්තීට කුඩා  ටෙන්ට් එකක් ද කොල්ලන්ට විශාල ටෙන්ට් එකක් ද ගෙනැවිත් තිබුනේය​. අප ගිණිමැලයක් ගසා  වටයට වාඩිවී ප්ලාස්ටික් පිඟන් වලට බත් සහ මාළුපිණි බෙදාගෙන කෑවෙමු. කෑම කන විට මට බාලදක්‍ෂ ජීවිතය මතක් විය​. 

රාත්‍රී ආහාරයෙන් පසු අඳුර මැකීම සඳහා අප ගිණිමැලය විශාල කලෙමු. ඉන්පසු ගීත ගයමින් බන්දුලට කාඩ් ගසමින් විනෝද වූයෙමු. මෙසේ පැය දෙක තුනක් යන විට නිදිමත දැනුනු අය නිදා ගැනීමට ගියහ​. මමත් ජයන්තත් 
නින්දට පෙර පොඩි ස්විම් එකක් ගනු පිණිස අඳුරේම ගස් ගල් වල හැපෙමින් ගඟ දෙසට ගියෙමු. 

එය උනුසුම් රාත්‍රියකි. ග්‍රීෂ්ම සෘතුව නිසා ගංගා ජලයද උනුසුම් විය​.  අප එහා කොන පෙනෙන නොපෙනෙන විශාල ගංගාවේ පිහිනුවෙමු.  මෙසේ පිහිනන විට මට ජෝස් චිත්‍රපටය මතක් විය​. දිය යටින් විශාල මත්සයෙක් ආවේ නම් අප ඌට ගොදුරු වේද යන කුකුස මා තුල ඇති විය​. එහෙත් ද්නේපර් නදියේ කිඹුලුන් හෝ මෝරුන් නොමැති බව මට සිහිපත් විය​. 

අප දෙපැයක් පමණ පීනා ගොඩට ආවෙමු. හාත්පස අඳුරය​. එහෙත් ඈතින් පෙනෙන ගිනි මැළය අපට දිශාව කීවේය​. අප ඒ දෙසට ගියෙමු. පිරිස ගොරව ගොරවා නිදිය​. මම ගිනි මැළයට තවත් දර කොටයක් දමා ටෙන්ට් එකට ගියෙමි. ඩීන් අයියා , බන්දුල ආදීන් රබර් ටෙන්ට් පොලවේ ඇඳ ඇතිරිල්ලක් අතුරා නිදාගෙන සිටියහ​. 

මම බන්දුල පොරවාගෙන සිටි බෙඩ් ෂීට් එක සෙමින් ගත්තෙමි. ඒ සමගම අනෙක් ඇළයට හැරුණු බන්දුල ශබ්දයක්  නගා වාතයක් ඇරියේය​. මමත් 
ජයන්තත් හිකි හිකි ගා සිනාසෙමින් බන්දුලට බොහෝ ඈත්වී නිදාගත්තෙමු. ඒ අතරවාරයේ ඩීන් අයියා ගොරවන්නට විය​. කෙසේ නමුත් ගංගාවේ පිහිනා වෙහෙසී සිටි අපට නින්ද ආවේය​. 

මධ්‍යම රාත්‍රියේ මට ඇහැරුනේ මදුරුවන් කෑම නිසාය​. මම නැගිට ගිනි පෙට්ටිය ගෙන ගිනි කූරක් ගැසුවෙමි. ටෙන්ට් එක පුරවා මදුරුවන් ය​. මේ මදුරුවෝ අසල වනයේ සිට තොග ගනනේ පියාඹා අප කරා ආවෝය​. මෙකී කාලකන්නි මදුරුවන් නිසා මට නිදා ගත නොහැකි විය​. මම ගිනිමැළය  අසලට ගියෙමි. තවත් වියළි දර දමමින් ගිනිමැළය විශාල කලෙමි. රස්නය සහ දුම නිසා මදුරුවන් ගිණිමැළය  අසලට ආවේ නැත​. මම මදුරුවන් කෑම නිසා සමේ පළු දැමූ ස්ථාන කැසුවෙමි. 

මම  ගිණිමැළය අසල හිඳගෙන දැවෙන දර දෙස බලා සිටියේ කෙසේ හෝ රාත්‍රිය නිම වෙනු ඇතැයි අපේක්‍ෂාවෙනි. මම ගිණිමැළය අසලට පැමින අඩ පැයක් ගත වෙත්ම අනෙකුත් අයද සෙමෙන් සෙමෙන් ගිණිමැළය අසලට ආවේ මදුරු කරදරය නිසාවෙනි. එහෙත් ශාන්තත් නිලන්තීත් සිටි ටෙන්ට් එක වැසිය හැකි වූ නිසා ඔවුන් සුවසේ නිදාගෙන සිටියහ​. අප ගිණිමැළය වටා හිඳගෙන මදුරුවන්ට බනිමින් උදෑසන හිරු පායනතෙක් සිටියෙමු. 

අරුණළු  ගලා එත්ම මදුරුවෝ වනයට පියඹා ගියහ​. එහෙත් නින්ද කැඩී සිටි අප තණ බිස්සේ වැතිර නිදා ගත්තෙමු. මට ඇහැරුනේ ශාන්ත විසින් මට ගැසූ වතුර බාල්දියක් නිසාය​. ශාන්ත ගේ අත්තාට මුත්තාට බනිමින් මම තෙත ඇඳුම් සමග නැගිට්ටෙමි. 

නිලන්තී උදෑසන ආහාරයට නූඩ්ස් සදා තිබුනාය​. අප නූඩ්ස් සහ රාත්‍රියේ ඉතිරි වූ සැමන් සම්බෝලය කෑවෙමු. ඉන්පසු ගඟට ගොස් පීනමින් විනෝද වූයෙමු. 

දහවල් ආහාරය අප ගත්තේ බොහෝ සවස් වීය​. බත් හා  බැද වියලා ගත් කුකුල් මස් වලින් දිවා ආහාරය සමන්විත විය​. මේ අතර රාත්‍රී ආහාරයට මාළු ඇල්ලීමට බන්දුල හැට්ට කට්ටකට පණුවෙක් අමුනා එයට නූලක්  සම්බන්ධ කොට ගඟට බැස සිටියේය​. ඒ අතර මමත් ඩීන් අයියාත් අද රාත්‍රියට අපව ආක්‍රමණය කරන මදුරු සේනාවට මුහුණ දෙන්නේ කෙසේද කියා සාකච්ඡා කලෙමු. 

අප කටු ඇල්පනිති ගෙන අපගේ ටෙන්ට් එකේ කට වසා දැමුවෙමු. එසේම ටෙන්ට් එක ඉදිරිපිට දර එකතු කොට රාත්‍රිය වෙත්ම ගිණිමැළයක් ගැසීමට සූදානම් වූයෙමු. ඒ අතරවාරයේ නිලන්තී බෙලෙක් කෝප්ප වලට කහට තේ ගෙනාවාය​. අප සීනි කැට කමින් තේ බීවෙමු. මේ අතර කැලෑව අස්සට එළි බසින්න ගිය ශාන්ත විශාල දර කොටයක් ගෙන ආවේය​. අප ශාන්තට "මඩ පුවක් ගඳයි " කියා තව වරක්ග ඟට ගොස් පස්ස හෝදාගෙන එන ලෙස කීවෙමු. 

රාත්‍රී ආහාරය සූදානම් කිරීමට නිලන්තී ලෑස්ති වූවාය​. හාල් ලිපේ තැබූ ඇය වියලී ගිය එළවලු යොදා හොද්දක් සෑදුවේ සැමන් කෑමට බැරි බව මා කී නිසාය​. මාළු ඇල්ලීමට ගඟට ගිය බන්දුල මාළු සමග ආ විට ඒවා ගින්නෙන් පළහා කෑ හැකි බව මම කීවෙමි. 

බත් ඉදීගෙන එන විට බන්දුල ආවේය​. " කෝ මාළු?  කියා අප ඇසුවෙමු. මාළු නැත​. බන්දුල ආවේ හිස් අතිනි. අප බන්දුලව බයිට් එකට ගනිමින් රාත්‍රී ආහාරය ගත්තෙමු. ඉන්පසු ටෙන්ට් එක වටා ගිණිමැළ ගසා ටෙන්ට් එකේ විවෘතව ඇති කොටස කටු වලින් වැසුවෙමු. මේ නිසා මදුරුවන්ට ටෙන්ට් එක තුලට ඒමට නොහැකි විය​. 

එදින රාත්‍රියේ අප සුවසේ නිදාගත්තෙමු. පසු දින අපව ගෙන යාමට බෝට්ටුකරු එන දවසය​. අප උදෑසන ආහාරය ගෙන වලං සෝදා බඩු අස්කර ගෙන ඔහු එනතුරු සිටියෙමු. සවස් වන තෙක් සිටියද ඔහු ආවේ නැත​. අපගේ ආහාර ගබඩාව අවසන් වෙමින් තිබුනි. මේ නිසා ඔහුගේ පැමිනීම අප අපේක්‍ෂා කලෙමු. එහෙත් අඳුර වැටුනද බෝට්ටුවේ ශබ්දයක් නැත​. 

" වේසිගේ පුතා අපිට කණුව තිබ්බා " කෝපවූ ඩීන් අයියා කීවේය​. අප බෝට්ටුකරුට දොස් දෙවොල් තබමින් රාත්‍රී නින්දට ගියෙමු. පසු දින දහවල වන තෙක් බලා සිටියද බෝට්ටුකරු ආවේ නැත​. 

අප පාළු දූපතක කොටුවී සිටින්නෙමු. ඈතින් නැව් බෝට්ටු ගියද ඔවුන්ට අපගේ හඞ ඇසෙන්නේ නැත​. එකිනෙකා තුල බිය සංකාව තිබුනද කිසිවෙකු එය පෙන්වූයේ නැත​. අපගේ ආහාර ගබඩාව අවසන් ය​. තව තිබෙන්නේ බිස්කට් පෙට්ටි කීපයකි. ඒවා පසු දිනට තබාගෙන අඩක් නිරාහාරව නින්දට ගියෙමු. 

රාත්‍රිය පුරා මම  බාලදක්‍ෂයෙකු ලෙස මේ අවස්ථාවට මුහුණදී දූපතෙන් ගැලවී යන්නේ කෙසේද කියා කල්පනා කෙරුවෙමි. දූපතේ තිබෙන විශාල ගස් පෙරලා ගත්තේ නම් පහුරක් සාදාගෙන යාමට තිබුනි. එහෙත් පොරවක් හෝ නැති අප අත තිබුනේ පාන් කපන පිහිය පමණි. 

පසු දිනට පහන් විය . අප දින ගනනාවක් මේ පාළු දූපතේ සිරවී සිටින්නෙමු. ශාන්තගෙන් බෝට්ටු ගමනට එකවර මුදල් ගත් බෝට්ටුකරුට දැන් අප අමතකය​. එහෙත් කණ්ඩායමේ මොරාල් එක අනර්ඝය​. පිරිස තවමත් විහිළු තහළු කරමින් බෝට්ටුකරු ගේ මව් ගුණ ගයමින් සිටිති. 

උදෑසන ආහාර ලෙස බිස්කට් කීපයකුත් කහට තේ එකකුත් ලැබුණි. මම තේ එක බොන ගමන් කල්පනා කලෙමි. 

බන්දුල අපි යමු. මම බන්දුල අමතා කීවෙමි. කිසිදු අරමුණක් නොමැතිව ඔහු මා පසුපස ආවේය​. මම දූපතේ එහා පැත්ත වෙත කැළය හරහා ගමන් කලෙමි. බන්දුලද මා සමග ගමන් කරමින් කරන්නේ කුමක් ද කියා ඇසීය​. එහෙත් මම පිළිතුරු නොදුන්නෙමි. ඒ මා සතුව ස්ථිර පිළිතුරු නොතිබූ නිසාය​. 

පැයක් පමණ කැලෑව අස්සෙන් ගමන් කොට අප දෙදෙනා දූවේ එහා කොනට ආවෙමු. ගංගාව ආසන්න වෙත්ම ඈතින් යන බත්තලක් මම දුුවෙමි. මමත් බන්දුලත් කමිස ගලවා වනමින් ඔවුනට කෑගැසුවෙමු. එහෙත් ඔවුන් අප දුටුවේ නැත​. අප දෙදෙනා තවත් දෙපැයක් පමණ ගංතෙර සිටියෙමු. 

" අන්න බෝට්ටුවක් "  බන්දුල පෙන්වීය මිනිසෙක් ඈතින් බෝට්ටුවක හබල් ගාමින් යයි. 

" බන්දුල මම බෝට්ටුවට පීනනවා මෙතනම ඉන්න කියා මම ඈත බෝට්ටුව දෙසට පීනුවෙමි. විනාඩි විස්සක් පමණ පිහිනීමෙන් පසු මම බෝට්ටුවට ලඟා වූයෙමි. 

"අපිට හදිස්සියක් ඔබගේ උපකාරය අවශ්‍යයි"  මම කීවෙමි. මිනිසා මාව බෝට්ටුවට ගත්තේය​. 

" අපි කෑම්පිං වලට දූපතට ආවා අපිව දූපතට ගෙනාපු බෝට්ටුව මඟ ඇරුනා අපි එක්ක ඉන්න ගෑණු ළමයෙක්ට අසාධ්‍යයි ඇයව ඉස්පිරිතාලෙට ගෙන යාමට අපිව එගොඩට දමන්න"  කියා මම බරපතළ තත්වයක් මවා කීවෙමි.  අප සිටි හදිසි තත්වය නිසා ඔහු අපව එගොඩට  ගෙන යාමට එකඟ විය​. 

මාවත් බන්දුලවත් අසීරුවෙන් කුඩා බෝට්ටුවට ගොඩ කරගත් ඔහු කඳවුර ඉස්සව්වට දූපත වටෙන් ගොස් ඉවුරට ලඟා විය​. 

" කෝ රෝගියා ? ඔහු ඇසුවේය​.

ඒ වෙලාවේ නිලන්ති සිටියේ කරක් වට දියේ බැස විශාල රබර් බෝලයකින් කට්ටිය සමග සෙල්ලම් කරමිනි. බරපතල තත්වයකදී වූවද ඔවුන් මෙසේ විනෝදයෙන් සිටීම හොඳය. එහෙත් අමුත්තා ඉදිරියේ ලෙඩ චරිතයක් නිලන්තී පෙන්විය යුතුය​. 

මම නිලන්තීට   අවශ්‍ය චරිතය ගැන උපදෙස් සෙමෙන් සිංහල භාෂාවෙන් දුන්නෙමි. නිලන්තී ගොඩට ආවාය​. 

බෝට්ටුව කුඩාය වරකට යා හැක්කේ හබල්කරු ඇරුණු විට දෙදෙනෙකුට පමණි. අප මුලින්ම නිලන්තීත් ශාන්තත් පිටත් කලෙමු. ඔවුන් දෙදෙනා එගොඩට යාම ශක්තියකි. ඉන්පසු ඔවුනට අපව ගැනීමට පුලුවන. 

කරුණාවන්ත බෝට්ටුකරුවා නිලන්තීත් ශාන්තත් එගොඩ දමා අපවද ගෙන යාමට ආවේය​. දෙවන වර බන්දුලත් ජයන්තත් අප පිටත් කලෙමු. බෝට්ටුකරුවා වෙහෙස නොබලා හබල් ගාමින් තෙවන වර මාවත් ඩීන් අයියාත් ගෙන යාමට ආවේය​. 

ඔහු දයාන්විත මිනිසෙකි. තමා කීව් විශ්ව විද්‍යාලයේ ඉන්ජිනේරු අංශයේ ආචාර්‍යවරයෙක් බව කීවේය​. නිවාඩු නිසා මාළු කූරියන් කීප දෙනෙකු අල්ලා ගැනීමට ආ බවත් අප සිටි තත්වය නිසා ඒ අදහස දැන් අත් හරින බවත් කීවේය​. 

ඔහු බොහෝ වේලාවක් හබල්ගෑ නිසා මම හබල ඉල්ලුවෙමි. එහෙත් මේ ශක්තිමත් මිනිසා වෙහෙස අමතක කොට ඔහු විසින් පබැඳූ කවි අපට කීවේය​. මෙසේ පැයක් පමණ හබල් ගා ඔහු මාවත් ඩීන් අයියාවත් එගොඩ කලේය​. පිරිස අප දෙදෙනාව දැක ප්‍රීති ඝෝෂා පැවැත්වීය​. අප සියළුදෙනා අපගේ ගැලවුම්කරුවාට ස්තූති කලෙමු. මේ කළ උපකාරයට ඔහු මුදල් ගන්නේ නැත​. එහෙත් අප ශ්‍රී ලාංකිකයෝ වෙමු. උපකාරයට ප්‍රති උපකාරයක් කල යුතුය​. 
ඩීන් අයියා ලඟ තිබූ ශ්‍රී ලංකා තේ පැකැට්ටුව අප ඔහුට දුන්නෙමු. එම තිළිනය ඔහුට වටී. 

කරුණාවන්ත මිනිසාගෙන් සමුගත්  අප බස් රථයක නැග තොටුපළක් වෙත ගියෙමු.  එම තොටේ හුවර්ක්‍රාෆ්ට් යානයක් විය​. අප කීව් නගරයට ජලයෙන් යාමට  ටිකට් ගත්තෙමු. හුවර්ක්‍රාෆ්ට් යානය පැයක් ඇතුලත අපව කීව් නගරයට ගෙනාවේය​. ඉන් පසු අපි විසිර ගියෙමු. එදා රාත්‍රිය ශාන්තගේ නවාතැනේ ගත කල මම පසු දින ඉලෙක්ට්‍රික් දුම්රියේ නැගී විනිට්සා නගරයට ගියෙමි. 

 පසු සටහන ; මේ චාරිකාව අප කලේ 1989 වසරේදීය​. මේ වන විට වසර 27 ගෙවී ගොසිනි. මේ කාලය තුල බොහෝ වෙනස්කම් සිදුවී තිබේ. ශාන්ත කුලසේකරත් නිලන්තීත් දැන් දරුවන් දෙදෙනෙකුගේ දෙමාපියන් වෙති. බන්දුල එංලන්තයේය​. ජයන්ත කොහේ සිටිනවා දැයි මම නොදනිමි. රුසියන් කාන්තාවක් විවහා කරගෙන දෙදරු පියෙකුව කීව් නගරයේ ජීවත් වූ ඩීන් අයියාගේ බිරිඳද එක් දරුවෙක්ද රෝගාතුරව මිය ගිය බව මට දැනගන්නට ලැබුනි. දයාබර මිනිසෙකු , හිත හොඳ යහලුවෙකු වන ඩීන් අයියාට සිතේ ශාන්තිය ඇතිවේවා කියා මම නිතර පතන්නෙමි. 

මේ නදී සවාරිය විකාර ගමනකි. එය සිදු වූයේ සැලසුම් සහගතව සහ නිසි අවදානම්  තක්සේරුවකින් නොවේ. ඒ කාලයේ වයස විසි ගනන් වල සිටි අපට අවදානමද විනෝදයක් වූයේය​. එහෙත් අප එම දූපතේ සිටි කාලය ජීවිතයේ අමරණීය සිහිවටනයකි. මිත්‍රත්වය , සහයෝගී බව , අනෙකා වෙනුවෙන් කැපවීම මේ චාරිකාවෙන් අප ලැබූ අත්දැකීම් වේ. 







බන්ධුල ශාන්ත කුලසේකර සහ නිලන්තී 






 ඩීන් අයියා සහ බන්ධුල

25 comments:

  1. හොලිවුඩ් සිනමා කථාවක් වැනි මතක සටහනක්,ස්තුතියි Dr.

    ReplyDelete
  2. අතරමං උනාට මොකැ හුවර්ක්‍රාෆ්ට් එකක යන්ඩ ලැබුනනේ

    ReplyDelete
  3. Replies
    1. ඒ අත්දැකීම මතක් වෙනකොට මටත් එහෙම වෙනවා

      Delete
  4. මෙව්වට තමා ඩොක් කියන්නෙ පට්ට අත්දැකීම් කියලා... ඔය වගේ කෑම්පින්ග් ට්‍රිප් එකක් ගස්ලබ්බගෙ හීන ලයිස්තුවේ උඩින්ම තියනවා.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ජීවිතයට එක වරයි ඒ වගේ ගමන්

      Delete
  5. ඩීන් අයියාව මාද හඳුනමි, 1993 වර්ශයේ අපි මොස්කෝවේ ඉඳලා කීව් නගරයට කෝච්චියෙන් පැමිනි මොහොතේ අපව වක්සාලයෙන් පිළිගෙන මොහොමඩ් (ඔබ දන්නවාත් ඇති) අයියාගේ ක්වාතිරාවට ගෙනත් ඇර, 'අ' නොදන් සිටී අපට යුක්‍රයීනය ගැන යමක් කියල දුන්නේ ඩීන් අයියාමය​. දවස් තුනකින් පසු දනියස්ක් කරා යන කෝච්චියෙන් අපව පිටත් කර යැව්වේත් ඩීන් අයියාමය​. පළමු දින රාත්‍රියෙහි අප ඔහු සමඟ ඉඳ මත් පැන් සාදයක්ද පැවැතුයෙමු. සැබැවින්ම​, ඔහු තැන්පත් ගති පැවැතුම්වලින් යුත් සුන්දර මිනිසෙක්. ඔහුගේ අද තත්වය ගැන ඔබ යමක් දන්නවා නම්, අප සමඟ එය බෙදා ගන්නා ලෙස ඉල්ලා සිටිමි. ඔහුගේ දුරකතන අංකයක් තිබේ නම් මෙතන පල කරනවා නම් මෙනෙහි. ස්තූතියි

    ReplyDelete
    Replies
    1. ඩීන් අයියා තාම ඉන්නේ කීව් වල FB එකේ ඉන්නවා Deen George Amjadeen

      Delete
    2. Where is මොහොමඩ් ?

      Delete
    3. https://www.facebook.com/Dr-SM-Mohamed-Ismail-1454417104880094/

      Delete
    4. He was Vice Chancellor of South Eastern University for some time and now ( I just got to know) he turned politician

      Delete
  6. පිස්සු කොර අප්පා
    ඉිරිසියාවෙ බෑලු
    හැක් හැක්

    ReplyDelete
  7. එක අතකින් බලනකොට ඔය වයසේදී ත්‍රාසය සහ අභියෝගය නැත්නම් ඒ ගමනින් පලක් නැහැ.

    ReplyDelete
  8. විකාර ගමනක් නෙමේ. හරිම රසවත් ගමනක්. ඒ වෙලාවේ එතන හිටියානම් කියලා හිතුනා.

    ReplyDelete
    Replies
    1. රසවත් දින කීපයක්

      Delete
  9. +++++++++++++++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
  10. / අප ශාන්තට "මඩ පුවක් ගඳයි " කියා තව වරක්ග ඟට ගොස් පස්ස හෝදාගෙන එන ලෙස කීවෙමු./

    මම හිතන්නෙ ඔය "මඩ පුවක් ගඳයි" කතාව ප්‍රචලිත වුනේ 1976 වගෙ ආපු "කොළඹ සන්නිය" ෆිල්ම් එකෙන් පස්සෙ. ඒකෙ ජෝට කැලේට එලි බහින්න ගියාම වටිනා මැණිකක් හම්බවෙනව. මිනිහට උතුර දකුණ මාරු වෙච්චි පාර පස්ස හෝදන්නත් අමතක වෙලා මැණිකත් අරගෙන ගෙදර දුවල එනව.කට්ටියම වට වෙලා මැණික බලන අතරෙ ජෝගෙ පොඩි එකා කෑගහනව "තාත්ත ගාව මඩ පුවක් ගඳයි" කියල.

    ඉතාම අපූරුයි රුවන්, ඒ අත්දැකීම මෙන්ම ඔබගේ ලිවීමද එකසේ සිත් ඇදගන්නා සුලුයි..

    ReplyDelete
  11. ගඟ දිගේ යෑම ඉතා හරිම විනෝද ජනක වැඩක්.... මමත්් කුකුලේ ගඟ බලාගාර ව්‍යාපෘති සමයේ එහේ කට්ටියත් ගියා. වෝකි ටෝකිත් අරගෙන. එතකොට ඒපැත්තට ටෙලිෆෝන් නෑ. ඉතිං ඒ පැත්තෙන් අමතන්න ඕවර් කියා කියනකොට මේ පැත්තෙන් අමතන්න ජේවිීකේ ඕවර් කියනවා. දැන් අපි ගල්වැටියක් උඩින් යන්නේ. මේ හුලුකිරිල්ල දොල පහුවෙලා කියලා කියනවා . ඔහොම ගියා පසුව ටික ටික රෑවෙනකොට වෝකි ටෝකි එකෙන් දැන් ඉන්නේ අයගම පාලමක් ගාව කියා කියල එතනින් පාරට ආවා. ව්‍යාපෘතියෙන් වාහන යවලා කට්ටිය එක්කන් ආවා. ගල් උඩින් පැන පැන ගඟ දෑල ගිය ගමන මතක්වෙනකොට සතුටුයි. ගෙදර ඇවිත් නම් ටිකක් මහන්සි වුනත් ඒ අත්දැකීම් නම් කියන්න වචන නෑ....

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook