Monday, July 25, 2016

හොඳ ළමයි

 

නාලන්දේ හොඳ ළමයි වර්ග දෙකක් සිටි බව මතකය​. මෙසේ හොඳ බව වර්ග කල විනිසුරුවන් වූයේ ගුරුවරුන්‍ ය. එක් වර්ගයක් නීරක්තය , දුෂ්පෝෂණය සහ තයිරොයිඩ් ග්‍රන්ථියේ අව ක්‍රියාකාරීත්වය නිසා වැඩිය දුව පැන දඟ නොකර පන්තියේ එක ස්ථානයක වාඩිවී නිසොල්මන්ව නිහඞව සිටි ළමුන්‍ වෙති. මොවුන් ගුරුවරුන් ගේ ආදරය දිනාගත්තෝය​. පන්තියේ දුව ඇවිදිමින් කොල්ලන් සමග ගහ ගනිමින් කෑගසමින් සිටි අපට අඩිරූල් පාරවල් දුන් ගුරුවර ගුරුවරියන් අර නිහඞ ළමුන් සේ විනීතව හැදෙන ලෙස අපට අවවාද කලෝය​. 

පන්තියට පැමිනෙන සමහර ගුරුවරියන් ළමුන් සියළු දෙනාට තම දබර ඇඟිල්ල දෙතොල් උඩ තබා නිහඞව සිටින ලෙසට නියෝග කොට තමන් ගේ පුද්ගලික වැඩ කළහ​. එහෙත් විනාඩි දෙකකට වඩා එකම ඉරියව්වෙන් සිටීමට නොහැකි වූ ළමුන් මේ නීතිය කඩ කරමින් යාබද මේසයේ සිටි ළමයා සමග කතා කලෝය​. නැතහොත් පැන්සලෙන් කාට හෝ ඇන ඔහුගේ ශීලය බින්දෝය​. 

දෙවන හොඳ ළමුන් වර්ගය සත්‍ය වශයෙන්ම හොඳ ළමුන් වූහ​. ඔවුන් බුද්ධිමත්‍ය​​, පාසලේ නිසි ලෙස හැසිරුණහ​. එසේම නායකත්වයේ ගුණාංග මේ ළමුන් කෙරෙන් කුඩා කාලයේ සිට දැකගත හැකි වීම විශේෂත්වයකි. එවැනි ළමුන් කීප දෙනෙකු ගැන මට සිහිපත් වේ. 

අප ප්‍රාථමික පන්ති වල සිටියදී ටැම්පෝ නම් ඉහල පන්ති වල සිසුවෙකු විය​. ඔහු ඇවිද්දේත් හැසිරුනේත් සිල්වත් භික්‍ෂුවක් මෙනි. අත් දෙක දිගට ඇඳ ඇකිලිය නොහැකි කුඩයක් අතින් ගෙන යන ටැම්පෝ අනෙකුත් ළමුන් ගෙන් බොහෝ වෙනස් චරිතයක් විය​. සාමාන්‍ය පෙළ ඉහලින් සමත් වීමෙන් පසුව ඔහු රාජකීය විද්‍යාලයට උසස් පෙළ සඳහා ගියේය​. පසු කාලයක අප උසස් පෙළ පන්ති වල සිටියදී ටැම්පෝ වරක් පාසලට ආවේය​. එවිට ප්‍රියභානි ටීච "ටැම්පෝ අපිව දාලා ගියා නේද ? කියා ඇසූ විට ඔහු හිස නවා සිනාසුනේය​. 

නීලක නම් තවත් දක්‍ෂ සිසුවෙක්  සිටියේය​. ඔහු ශිෂ්‍ය නායකයෙකි. අප නීලකට බිය වූයෙමු. ඔහුගේ උස් මහත් සිරුර , කට හඞ අපව බිය පත් කලේය​. නීලකට කොල්ලන් කීවේ තෙල් ඌරා කියාය​. දිනක් මමත් ඩී. කේ ප්‍රියන්තත් පන්තියෙන් හිස එලියට දමා තෙල් ඌරා කියා කෑගැසුවෙමු. වෙඩි පහරක් ලත් කඟවේනෙක් මෙන් නීලක හැරී ආවේය​. අප වහ වහා දිව ගොස් පුටු වල වාඩිවී පාඩම් පොත් පෙරළා ගත්තෙමු. ඩී. කේ ප්‍රියන්ත වර්තමානයේ පොලිස් නිලධාරියෙකි.

පසු කාලයක නීලක විදුළි සැර වැදී මිය ගියේය​. ඒ වන විට ඔහු අට වන පන්තියේ ඉගෙනුම ලැබුවා විය හැකිය​. ඔහු පවුලේ එකම දරුවාය​. නීලක සිහි වීම සඳහා  පාසල් ක්‍රීඩාංගනයේ ගසක් ද රෝපණය කොට තිබේ. 

තිලක්  ජයවර්ධන අයියාද ශිෂ්‍ය නායකයෙකු වූ අතර සමහර විට ගුරුවරයෙකු නොමැති අවස්ථා වලදී අපගේ  නවය , දහය පන්ති වලට පැමිණ විද්‍යාව සහ ගණිතය ඉගැන්වීය​. ඔහුගේ පියා ප්‍රකට දේශපාලකයෙකු වූ සුමතිපාල ජයවර්ධන විය​. තිලක් අයියා උගන්වන විට මමත් රණසිංහත්, ඩබල් එන් පී රත්නායකත් , සකලසූරියත් අනම් මනම් කියමින් ඔහුව වෙහෙසට පත් කලෙමු. 

එහෙත් බොහෝ සෙයින් ඉවසීම තිබූ තිලක් අයියාගේ ඉවසීම බිඳී ගියේය​. වරක් ඔහු   කළු ලෑල්ලේ යමක් ලියන විට සකලසූරිය හිස ඩෙස්ක් එක ඇතුලට යොමා  විස්ල් එකක් ගැසූ  විටය​. එවිට තිලක් අයියා " කවුද ඒ වසලයා ? කියා ඇසුවේය​. මේ වසලයා වචනය තිලක් අයියා නය​ට ගත්තේ භෞතික විද්‍යා ගුරුවරයෙකු වූ මොහාන් ලාල් ග්‍රේරෝ මහතාගෙන් බව පසු කාලයක මට අවබෝධ විය​. 

අප සාමන්‍ය පෙළ පන්ති වල සිටියදී ජ්‍යෙෂ්ඨ පන්තියක සිටි ප්‍රසන්න අමරබන්දු අයියාට අප බියකටත් වඩා දැක්වූයේ ගෞරවයකි. පාසලේ සැර ගුරුවරු පවා අපගේ විහිළු වලට ලක් වෙද්දී ජෝකරයන් ලෙස අප විසින් සලකද්දී ශිෂ්‍ය නායකයෙකු වූ අමරබන්දු අයියා අපගේ ගරුත්වය දිනා ගත්තේ ඔහුගේ පෞරුෂත්වයේ සුවිශේෂී ගුණාංගයක් නිසා බව කියා මම අද දිනයේ සිතමි. 

වරක් තක්‍ෂිලා ගොඩනැගිල්ල අසලදී අපගේ අංශ භාර ජයවර්ධන සර් ප්‍රධාන ශිෂ්‍ය නායක ප්‍රසන්න අමරබන්දුට අපගේ කළාපයේ සිසුන් පනින නිසා ඒ ගැන විමසිලිමත් වන්නැයි කියනවා මට ඇසුනි. මේ 1982 වසර විය​. මේ කාලයේ රූබි හෝල් එකේ මවුන්ටන් ඉන් ද ජංගල් චිත්‍රපටය ප්‍රදර්ශනය වෙමින් තිබුනි. මමත්, නලීනුත්, කස්තුරිආරච්චිත් ගේට්ටුවෙන් පැන යාමට සැලසුම් කරගෙන සිටියද මේ අසුභ ආරංචිය ඇසුණු විට සිත කීරි ගැසී ගියේය​. කෙසේ නමුත් අප තිදෙනා සයිලන්ස් එකේ පන්තියෙන් පිටවූ අතර ගවුන්ඩ් එක අද්දර තිබූ මාර ගසක් යටදී අමරබන්දු අයියා අපව නවත්වා ගත්තේය​. 

මල්ලිලා කොහේද යන්නේ ? ඔහු ඇසුවේය​. 

" අයියේ අපි වතුර බොන්න යනවා " කියා මම ඈතින් පෙනෙන ටැප් සවි කරන අද සිමෙන්තියෙන් නිම කල ටැංකිය පෙන්නුවෙමි. 

" හොඳයි මල්ලිලා වතුර බීලා ඇවිත් පන්තියට යන්න මම මේ ගහ යට ඉඳන් ඔය ගොල්ලන් දිහා බලාගෙන ඉන්නවා කියා අමරබන්දු අයියා කීවේය​. 

දැන් කුමක් කරම් ද අප තිදෙනා වතුර ටැංකිය දෙසට පිය නැගුවෙමු. 

" තෝ වැඩේ කෑවා යකෝ" කස්තුරි මට බැණ වැදුනේය​. මොන රෙද්දටද තෝ වතුර බොන්න යනවා කිව්වේ. තොට කියන්න තිබ්බේ ලයිබ්‍රරියට යනව කියලා , හිමීට ඒ පැත්තට යන ගමන් ජය මාවතෙන් මාරු වෙන්න තිබ්බා. අද ෆිල්ම් එක බලලා හමාරයි" 

" අඩෝ ... අඩෝ ... කෑගන්ඩ එපා අමරබන්දු අයියා අපි දිහා බලාගෙන ඉන්නවා. දැන් ශේප් එකේ වතුර බීලා ආපහු පන්තියට යමු. අද පැන්නොත් වර්චස්" නලීන් කීවේය​. මේ අනුව අප තිදෙනා තෙමුණු කපුටන් මෙන් වතුර බී යළි පන්තියට ගියේ අමරබන්දු අයියා ගේ අධීක්‍ෂණය යටතේය​. 

දහය වසරේ අප සිටි ගොඩනැගිල්ලට කීවේ ජයවර්ධනපුරය කියාය​. ඒ අංශ භාර  ප්‍රධානියා ජයවර්ධන සර් වූ නිසාය​. මේ කලාපයෙ අපගේ පන්තිය වූ 10 එෆ් පන්තිය කළාපයේ එපාම කරපු පන්තිය ලෙස කුප්‍රකට විය​. මම , සකලසූරිය , ලාල් රූපතුංග , ඩබල් එන් පී රත්නායක​, සිදත් සුරේන්ද්‍ර , රජිත් හෙවත් මීයා, රණසිංහ , මොරේ , ලියනපතිරණ ඉතා ව්‍යාල සුසංයෝගයක් වූයේය​. මේ නාස්ත්‍යාත්මකතාවය කෙසේදයත් සමහර ගුරුවරියන් දහය එෆ් පන්තියට ඉගැන්වීමට ඒමට පවා බිය වූහ​. 

අපගේ පන්තිය තිබුනේ තෙවන මහලේ පාර අද්දරට වන්නය​. එම පන්තියේ කොරිඩෝවට ගිය විට කිත්‍යාකාර පාරේ තිබෙන පාසල් ගේට්ටුව පෙනේ. පන්තියේ ජනෙල් විශාලය​. ජනෙල් විවෘත වන්නේ තාර පාරටය​. ඉන් එහා විද්‍යාලීය ක්‍රීඩා පිටියටයි. 

අපගේ පන්තියේ  යම් අයෙකු පොතක් පතක් කියවන විට අහිංසක ළමයෙකුගේ පොත් බෑගයක් උදුරාගෙන පොත කියවන සිසුවාගේ හිස මතට පොත් බෑගය එවීම මේ පන්තියේ කොල්ලන් අතර තිබූ පුරුද්දක් විය​. මගේ හිසටද පොත් බෑග් කීපයක් වැටුනු නිසා මම සිටියේද රිටන් එක දීමටය​. 

වරක් මම හිස පහත් කරගෙන චිත්‍ර කතා පත්තරයක් බලමින් සිටි සකලසූරියගේ හිස මතට  කොකටුවාගේ පොත් බෑගය විසි කලෙමි. මින් උරණ වූ සකලසූරිය කොකටුවාගේ පොත් බෑගය ජනේලය හරහා තෙමහල් ගොඩනැගිල්ලෙන් බිමට විසි කලේය​. තම පොත් බෑගය මහල් තුනක් ඉහලින් පියෑඹීම නිසා කොකටුවා විලාප දුන්නේය​. මගේ බත් එකත් තිබ්බා ඔහු නහයෙන් අඞන ගමන් කීවේය​. මම  වහ වහා පහළට දිව ගියෙමි. 

කොකටුවාගේ පොත් මල්ල  තාර පාරේය​. ඒ අසල අමරබන්දු අයියා  කණයා හෙවත් ජයසූරිය  සර් සමග කතා කරමින් සිටියේය​.  ​ හිටි හැටියේ උඩින් පාත් වූ පොත් මල්ල දුටු ජයසූරිය  සර් මවිත විය​. 

" සර් මගේ බෑග් එක උඩ ඉඳන් වැටුණා "   එසේ කියමින් මම කොකටුවාගේ  බෑග් එක රැගෙන යලි පන්තියට දිව්වේ ජයසූරිය  සර් ගෙන් සිතාසියක් ඒමට පෙරය​. 

අපගේ පන්තියේ ළමයි උදෑසන පන්සිල් ගන්න වේලාවට පන්සිල් නොගෙන කොරිඩෝවේ කෑකෝ ගසමින් සිටින බව කිත්‍යාකාර පාර ගේට්ටුවේ සිටි ශිෂ්‍ය නායකයන්ට පෙනුනි. මේ නිසා කිහිප වතාවක් උදෑසන පන්සිල් ගන්නා වේලාවට ජයවර්ධන සර් හිටි හැටියේ වේවැල රැගෙන අපගේ පන්ති නිරීක්‍ෂණයකද යෙදීමට පුරුදුව සිටියේය​. මීට අමතරව අමරබන්දු අයියාද අපගේ පන්තිය ගැන සෝදිසියෙන් සිටියේය​. 

වරක් පන්සිල් ගන්නා වේලාවේදී කොරිඩෝවට පැනගත් රණසිංහ උස් හඞින් රෑන ගිරා ජෝඩුවයි කියා ගැයුවේය​. ඒ අතර වාරයේ ගේට්ටුව අසල සිටි ශිෂ්‍ය නායකයන් කීප දෙනෙක් රණසිංහ දෙස බලමින් ඔහුව හඳුනා ගැනීමේ උත්සහයක යෙදී සිටිනු මම දුටුවෙමි. 

" රනේ වැඩේ දෙල් අන්න ප්‍රිෆෙක්ස්ලා වගයක් මේ පැත්තට එනවා මම ඔහුට අණතුරු ඇඟවූයෙමි. 

රණසිංහ යළි පන්තියට ගොස් දොහොත් මුදුන් දී පන්සිල් ගත්තද ශිෂ්‍ය නායකයන් ඔහුව හඳුනාගෙන ජයවර්ධන සර් ලඟට ගෙන ගියහ​. එදා රණසිංහට ජයවර්ධන සර් ගෙන් බුරියානි ලැබුණි. 

ඊලාම් යුද්දයේදී සුවිශේෂ මෙහෙවරක් කල රණසිංහ වර්තමානයේ විශ්‍රාමික යුද හමුදා නිලධාරියෙකි. 

අප උසස් පෙළ පන්ති වල සිටියදී අපට වසරකින් පමණ ඉහල පන්තියක සිටි ප්‍රසන්න ගුණසේන ආදර්ශමත් සිසුවෙකු වූයේය​.  ඔහු පසු කාලයක වෛද්‍යවරයෙකු විය​. එසේම අපගේ පන්ති වල සිටි හොඳ ළමයෙකු වූ සෝබිත රාජකරුණා  වර්තමානයේ නීතීඥයෙකි. 

නාලන්දේ තත්‍ය හොඳ ළමුන් අද වගකීම් දරණ ඉහල රැකියා කරන්න පුද්ගලයෝ වෙති. ඔවුන් පාසලට ගෞරවයකි . 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

21 comments:

  1. මොන මැරෑටි වැඩේ කළත් කෙප් එක උස්සලානෙව. හෙහ්

    ReplyDelete
  2. Wow. Superb post. Unforgettable experience of the sweet memories of life. Well done & even better written by Ruwan.

    ReplyDelete
  3. ජයසූරිය සර් කිව්වෙ ‍ෆිසික්ස් උගන්නපු සර් නම්, අපේ කාලෙ පාවිච්චි කලේ හැලපයා යනුවෙන් බව මෙයින් දැනුම් දෙමි.

    ReplyDelete
    Replies
    1. ඒ සර් තමයි අපේ එවුන් කිව්වෙ කණයා කියලා, වරක් මම (1981) පන්තිය ලඟින් ගිය සර් ට කණයා කියලා කෑගහලා සර් ඇවිත් පන්තියට කිව්වා ගින්දර එක්ක සෙල්ලම් කරන්න එපා කියලා. ඒත් ඔහු දක්‍ෂ ගුරුවරයෙක්

      Delete
    2. ඔය හැලපයා නම හැදිල තියනව කියන්නේ ඉස්සර සර් කැන්ටිමෙන් තේ බොන්නේ හැලපයක් කාලලු හැමදාම. මටත් හමුවුන දක්ශ ගුරුවරයෙක්. 10/11 වසර දෙකටම සර් පිසික්ස් කලා අපිට එක පීරියඩ් එකයි මිස් කලේ

      Delete
    3. අපේ ෆිසික්ස් සර්ට කිව්වෙ සරසුලා කියල. සරසුල කියල මොකක්ද යන්තරයක් තියනවනෙ .මට මතකත් නෑ ඕව දැන් . අන්න ඒකෙන් ඒ නම වැටිල තියෙන්නෙ.

      Delete
  4. අපි උසස්පෙළ කරද්දී කරපු ලොකුම අණ්ඩපාල වැඩේ තමයි, ඉස්කෝලෙන් පැනලා, ඉස්කෝලේ අසලින්ම යන කැළණි ගඟේ නෑම සහ හොර කුරුම්බා කැඩීම. හැබැයි කවදාවත් ගඟේ නෑමෙන් අනතුරක් කරගත්තේ නැහැ.

    ReplyDelete
    Replies
    1. මොන ආතල් අන්ඩපාල වැඩ කලත් ඉස්කෝලේ යන ළමයි ගංගාවල නෑම නම් අනුමත කරන්නේ නැහැ

      Delete
    2. පිලිගන්නවා. මොකක්දෝ හේතුවකින් අපිට අනතුරක් වුනේ නැහැ. ජලය ආශ්‍රිත ජීවිත හානි සෑහෙන ගණනක් සිදුවෙනවා අපේ රටේ.

      Delete
    3. අපි නෑම කලේ නෑ ඒක සිරා කේස් නිසා

      Delete
  5. බුද්ධිමතුන් බිහිවන්නේ පසුපස පේළි වලිනි.

    ReplyDelete
  6. ඉස්සර අපිත් 11 වසරෙන් ඉන්නකොට ඉස්කෝලෙන් හොරෙන් පැනලා අගේ වෛරය චිත්‍රපටය නරබුවා. කොහොම හරි හොඳ ළමයි සෙට් එකක් අපිව පාවා දීලා.

    පස්සේ ප්‍රින්සිපල්උ උදේ පන්තියට ඇවිත් කියනවා ළමයි ඔය ගෑනිගේ වෛරය කවදාවත් ඉවරවෙන එකක් නොවෙයි ඕවට අහුවෙන්න එපා හොඳට ඉගෙන ගන්න කියලා. මොකද ඒ දවස් වල ඔය වෛරය 1 2 3 ඔහොම ආවා. පස්සේ අපිටම පුදුමයි අපට කිසිම දඩුවමක් දුන්නේ නැත්තේ ඇයි කියලා.

    පස්සේ ප්‍රින්සිපල් යන්න ගියා.

    ReplyDelete
    Replies
    1. ඔහු නව යොවුන් වියේ ළමුන් ගේ මනස තේරුම් ගත් කෙනෙක්

      Delete
  7. This comment has been removed by the author.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook