වෛද්‍ය රුවන් එම්. ජයතුංග
යටගිය දවසින් බොහෝ කලකට පසුව එනම්, අනුරාධපුර, පොළොන්නරුව, දඹදෙනිය, කෝට්ටේ, මහනුවර යුගවලින් පසු එළඹුන නාමික ප්‍රජාතන්ත්‍රවාදය පවත්නා යුගයේ සුනඛ කථා වස්තුව පිළිබඳ පුවත මෙසේ හෙළි කරමු.
මෙම සුනඛයා වනා හී මනාව වැඩුණූ පුෂ්ටිමත් දේහයකින්ද ශක්තිමත් රදනක දත්වලින්ද සමන්විත වූ නිසා එකී සත්වයා වාසය කළ වීදියේ අනෙකුත් සුනඛයෝ ඌ සමග බජනයට නොගියහ. එහෙත් එම වීදියේ ජීවත් වූ සුනඛ දේනුවන් සඳහා තිබූ උග්‍ර තරඟයේ දී මෙම සුනඛයා සමඟ ද්වන්ධ සටනකට එළැඹි අවශේෂ බල්ලන් දෙදෙනෙකු දරුණු තුවාල ලබා පෝයවල් ගණනක් දුක් විඳි බව කිවයුතුය. එහෙත් මෙම සුනඛයා රෞද්‍ර සුනඛයෙකු නොවීය. එසේම ඔහුට කිසිදු අයිතිකරුවෙකුද නොවීය.
මෙම සුනඛයා කුඩා සන්දියේදී ම ඌ සමග උපන් සොහොයුරන් දෙදෙනෙකු සහ සොහොයුරියක කුඩා බට කොළ පෙට්ටියක බහා වීදිය අසල වූ ලයිට් කණුව යට තබා අයෙක් පළා ගියේ අනවශ්‍ය වගකීම් දැරීම කරදරකාරී බව සිතූ නිසා විය හැකිය. තීක්ෂ්ණ බවින් අඩු එහෙත් ගවේෂණශීලී බවින් වැඩි එක් සොහොයුරෙක් බටපොතු පෙට්ටියේ පියන හිසෙන් උස්සා ඇර අසීරුවෙන් නිදහස් ලෝකයට අවතීර්ණ විය. එහෙත් ඌට නිදහස් ලෝකයේ ජීවත්වීමට වාසනාව තිබුණේ විනාඩි ගණනක් පම‚. දෙගොඩතලා යන ප්‍රවාහයක් සේ වේගයෙන් පැමිණි‚ මගීන් පටවාගත් පෞද්ගලික බස්රථයක ඉදිරි පස රෝදය බිත්තර ගෙඩියක ප්‍රමාණයක් තිබූ සුනඛ පෝතකයාගේ හිස වැරයේ පොඩිකර දැම්මේය. ඉක්බිතිව ඉතිරි වූයේ තලපයක් වැනි මස් වැදලි සමූහයකි. මෙවැනි සුන්බුන් වලට කවදත් ලොබ බඳින කපුටෝ සමූහයක් වහා පැමිණ මහා මාර්ගය පවිත්‍ර කර දැමූහ. එම නිසා මහ මඟ සිදුවූ අනතුරු වැඩි දෙනෙකුගේ අවධානයට යොමු නොවීය.
බෝම්බ බිය ඇති නිසා අයිතිකරුවන් නැති පාර්සල් කෙරෙහි මිනිස්සු දක්වන්නේ උකටලී බවකි. යම්කිසි විටෙක අයිතිකරුවෙකු නැති සැක සහිත පාර්සලයක් දුටු විට පවා එය නොදැක්කා සේ මගහැර යාම මේ ප්‍රදේශයේ මිනිසුන්ගේ සිරිතය. එබැවින් බාගෙට පියන ඇර තිඛෙන බටකොළ පොට්ටිය සවස් වන තුරු කිසිවකුගේ ඇසගැසීමට ලක් නොවීය. අවසානයේදී කෑම සොයමින් ඒ මේ අත ඇවිදින උන්මත්තකයෙකුගේ විලාශය පෙන්වූ යාචකයෙකුගේ අවධානයට මෙම
පෙට්ටිය යොමු විය. පෙට්ටිය තුළ යම් කිසි රසවත් කෑමක් ඇතැයි සිතූ යාචකයා එය ඔසවාගෙන සැතපුම් භාගයක් පමණ දුරින් පිහිටා තිඛෙන පාළු වූ පන්සල් වත්තට ගොස් ආහාර අනුභවය ස`දහා සූදානම් විය. පෙට්ටියට අතදැමූ විට හැලප, කිරිබත් හෝ යම් කෑමක් නොව, හමු වූයේ හාමතින් අඩපණ වී ගිය බලූපැටවුන්ය. මේ සතුන් දැක උරණ වූ යාචකයා එක් බලූපැටවෙකු බඩතුරෙන් අල්ලා ඈතට විසිකර බට පොතු පෙට්ටියට පයින් ගැසීය. එය බඹ එකහමාරක් පමණ දුරට විසිවිය. ඒ සමග ඒ තුළ සිටි සුනඛ පැටවුන් දෙදෙනා එකිනෙකට ප්‍රතිවිරුද්ධ දිශාවට විසි වී ගියේ රබර් බෝල දෙකක් මෙනි.
යාචකයා විසින් බඩතුරෙන් අල්ලා වීසි කළ සුනඛයා වනාහී සුනඛ කථාවස්තුවට පාත්‍රවූ සුනඛයාය. උඩින් වීසිවී ගොස් වැටුණූ ඌ උගුරෙන් හීන් හඞක් නගා බඩවැටියකට රිංගුවේය. අනෙකුත් සුනඛයන් දෙදෙනාගෙන් ගැහැණු සතා පන්සලේ ජීවත් වූ වයෝවෘධ භික්ෂුවගේ අවධානයට ලක්වීම නිසා දානය වැළදීමෙන් පසු ඉතිරිවන ඉඳුල් ආහාරයට ගැනීමට ඌ වාසනාව ලැබීය. කාලයත් සමග වැඩිවියට පත්වූ මෙම සුනඛ ධේනුව වසරකට දෙවරක් බැගින් පැටවුන් බිහිකර පන්සල දෙවනත් කළාය. එසේම බෝධි පූජාව සඳහා සක්මනේ යෙදෙන මහලූ උපාසක අම්මා කෙනෙකු වැරදීමකින් හෝ උගේ නගුට පෑගුවහොත් ගොරවා බිරීමටද පසුබට නොවූවාය.
අනෙක් සුනඛයාට සිදුවූයේ කුමක්ද කියා කිසිවෙක් නොදනිති. ඌ ගමේ ගෙදරක මුරකරුවා වූයේද, නැතහොත් සුනඛයන් අල්ලන වාහනයකට ගොදුරක් වූයේද යන්න පිළිබඳව කිව නොහැකිය.
බඩවැටියට රිංගූ සුනඛ පෝතකයා කුඩා දොළ පාරක් දැක සිත් සේ පැන් බීවේය. අනතුරුව හාමතින් ඒ මේ අත ඇවිද මදක් කුණුවීමට ආසන්නව තිබූ සර්ප මළකුණක වලිගය පෙදෙස ආහාර කොට ගත්තේය. කුස පුරවාගත් පසු ඌ පඳුරක් යටට වී නිදා ගත්තේය. එදින රාත්‍රියේ පඳුර තුළට ගුලිවී සැපසේ නිදා සිටි ඌට කිසිදු නිශාචර සතෙකුගෙන් අනතුරක් නොවීය.
බඩවැටිය තුළින් ඉවතට ඇවිදගෙන ගිය බලූපැටවාට තරමක් ඈතින් පිහිටි නිවෙසකට අයිති කුණු දමන වළක් හමුවිය. කුණුවලට බැසගත් බලූ පැටවාට එය භෝජනාගාරයක් මෙන්විය. පිළුණු බත්, මාළු කටු ආදී ඉවතලන ආහාර මෙම කුණු වලට දිනපතාම එක්වෙන බැවින් බලූ පැටවාට කිසිම ආහාර හිඟයක් ඇති නොවීය.
දිනක් පුෂ්ටිමත්ව වැඩී, සුරතල් පෙනුමෙන් ඔබ මොබ දිවයන මේ බලූපැටියා ගෙහිමි කාන්තාව කුණු දැමීමට පැමිණෙද්දී දුටුවාය. ඇයට මේ සතා ගැන සුළු අනුකම්පාවක් මෙන්ම, තම දරුවාට බත් කැවීම ඇයට උභතෝකෝටික ප්‍රශ්ණයක්ව තිඛෙන නිසා ඉන් මිදීමට මේ සතාගෙන් යම් ප්‍රයෝජනයක් ගත හැකි යැයි ඇය සිතුවාය. ඇගේ සිතිවිල්ල නිවැරදි විය. දරුවාට බත් කවන අතර බලූපැටියා පෙන්වමින් ළමයා රවටා ගනිමින්, බත් කැවීමට හැකිවිය. වෙනදා මෙන් ළමයාට බත් කැවීමට නිසා කරදරයක් නොවීය. මෙම බලූපැටවාගෙන් සේවයක් ගෙහිමි කාන්තාවට මෙන්ම ඇගේ දරුවාටද ලැබි‚. එම නිසා බලූපැටියා පින් බතෙකු ලෙස හැදින්වීමට වුවමනා නැත.
බලූපැටවා දෙස අශාවෙන් බලන දරුවා නොදැණුවත්වම කට අරින අතර ඒ අවසරයෙන් ඔහුගේ මව බත් ගුලි ඔහුගේ කටට ඔබන්නීය. ළමයාද සතුටින් සිටිමින් බත් කට කන්නේය. මෙය මෑණියන්ට මහා අස්වැසිල්ලකි. බලූපැටවාට එවැනි සත්කාරයක් නොලැඛෙන නමුත්, ඉඳුල් බත් ටිකක්, මාළු ඔළුවක්, ඉවත දමන මස් කැබැල්ලක් තලූ ගසමින් කෑමටත් කුස්සියේ සිට වත්ත පහළට ගලාගෙන යන වතුර ඇති කානුවෙන් වතුර බීමටත් ඌට වාසනාව ලැබුණි.
මේ ගෙහිමියා උඩුරැවුලකින් හෙබි රළු, සැඩ පරුෂ අයෙකි. එම නිසා අසල්වාසියන් ඔහුගේ නිවෙසට පා තැබුවේ කලාතුරකිනි. බලූ පැටවා තම වත්තේ සිටිනු දුටුවද ඌ නොදැක්කා මෙන් අන් කාරියක නිරතවීම ගෙහිමියාගේ සිරිත විය. තම බිරිඳ දරුවාට බත්කැවීමට මෙම බලූපැටවා ආධාරකයක් මෙන්ම ප්‍රදර්ශන භාණ්ඩයක් කරගන සිටින බවද ඔහු දැන සිටියේය. අතේ වැරෙන් ළමයින් හැදිය යුතු බව ඇදහූ ඔහු ළමයාට ආහාර දෙනු ලැබූයේ වේවැල පෙන්වමිනි. වේවැල් පහර කන ළමයා මුරඟා හඞන අතර ඒ ඇසිල්ලේ මව්තුමිය බත් පිඩු දරුවාගේ කටට ඔබන්නීය.
මෙලෙස හැ`ඩීමත්, බත් ගිළීමත් යන මිශ්‍ර ක්‍රියාව නිසා වරක් ළමයාගේ ඇස් උඩගියේය. මුහුණ නිල්පාට විය. මළාක් මෙන් ළමයා නිශ්චල වූයේය. ඉන් තැතිගත් මව විලාප දුන්නාය. පියා ළමයාගේ පිටට පහරක් දුන් අතර බත්පිඩ වමනය සමග පිටවිය. එවිට ළමයා අසීරුවෙන් හුස්ම ගත්තේය. මෙම අනතුරින් පසු ළමයාට බත් කැවීමට වේවැලට වඩා බලූපැටියා උපයෝගී කරගැනීම හොඳ බව ගෙහිමියාට වැටහි‚. එම නිසා බලූපැටවාට නිරුපද්‍රිතව වසර එකහමාරක පමණ කාලයක් තුළ මෙම ගෘහයේ ජීවත්විමට වරම් ලැබි‚. කාලය ගත්වෙත්ම උසස් විමක් ලැබූ මෙම බලපැටියා දැන් නිදන්නේ ගෙදර පිල උඩය.
ළමයා ටිකින් ටික වැඩෙත්ම නන්දිමිත්‍ර යෝධයා සේ ගෙදරින් එලියට බැස ඒ මේ අත දුවන්නට විය. එසේම නිතරම බල්ලා අතපත ගාමින් ඌට ළමයා තම අතින් කැවීම නිසා මේ බල්ලා දෙමහල්ලන්ගේ වෛරයට ලක් වූ බව පවසන්නේ කණගාටුවෙනි. දරුවා බල්ලාගේ මුඛයට අත දමන නිසාත්, බල්ලා ළමයාගේ මුහුණ ලෙවකන නිසාත්, සෞඛ්‍ය ගැටළු මතුවේ යැයි මව තැති ගත්තාය. පියා වරක් දෙවරක් බල්ලාට පා පහරදී එළවා ගත් නමුදු වසරක් දෙකක් තමාට හුරු පුරුදු මෙම ස්ථානය අත්හැර යාමට කැමති නොවීය. එසේම එක් දිනක් බල්ලාට පහර දීමට තැත්කළ ගෙහිමියාට බල්ලා බුරාගෙන පැන්නේ රෞද්‍ර විලාශයෙනි.
මේ හේතුවෙන් ගැටුමෙන් බල්ලාගේ ප්‍රශ්නය විසඳිය නොහැකි බව ඔහු තේරුම් ගත්තේය. බල්ලාට වසදී මරා දැමීමට පිඹුරුපත් සැකසූ ගෙහිමියා කුඹුරට ගැසීමට ගත් මැසිතෙල් මිශ්‍රකළ කොත්තු රොටියක් ඌට දීමට උත්සහ කළද කර්මය, පුනර්භවය ඇදහූ බිරිඳ ඊට එදිරිව තම විරෝධය ප්‍රකාශ කළාය. එපමණකින් නොනැවතුන ඇය කොත්තු රොටිය වැසිකිළි වලට දමා වතුර ගසා දැමීය. බිරිඳගේ විරෝධය හමුවේ අසරණ වූ ගෙහිමියා මීට අන් උපායක් කල්පනා කළේය.
මෙවර තම බුද්ධි මහිමය වෙහෙසා වඩාත් අවිහිංසාවාදී උපක්‍රමයක් කල්පනා කළ ඔහු බල්ලා නගරයට ගෙන ගොස් අතර මං කිරීමට සිතාගත්තේය. තම ගම අවට කුඩා වැවිලි කරුවන්ගේ පොල්, කෙසෙල්, පුවක් වැනි දේවල් මිලට ගන්නා ගෙහිමියා ඒවා එකතු කරගන මසකට වරක් හෝ දෙවරක් ලොරි කබලකින් නගරයට ප්‍රවාහනය කරයි. එයින් සෑහෙන මුදලක් ලබාගනී. එක් ඉරිදාවක ලොරියේ පොල් තොගයක් පටවා ගත් මොහු බල්ලාගේ කරේ දම්වැලක් දමා ගැටගසා ලොරියට නංවා ගත්තේය.
උපන්තේකට රෝද හතරේ වාහනයකට ගොඩ වී නැති සුනඛයා කලබලවීමටත්, නොඉවසිලිමත්ව බිරීමටත්, දැඟලීමටත් පටන් ගත්තේය. දම්වැලකින් තදින් බැඳසිටි බල්ලා අන්තිමේ දී වෙහෙසව අසරණ වී පොල්ගොඩ උඩ නිදාගත්තේය. දෙදරවමින් ඉදිරියට යන ලොරිය හා පසුපසින් වැලනොකැඩී එන වාහනත්, තාර පාරේ ගැවසෙන මිනිසුන් ද දැකීමෙන් බල්ලා බය බිරාන්තව තෝන්තු ගතියෙන් සිටියේය.ඒ සමගම පොල්ගොඩ උඩ ඌට මුත්‍රා පහවිය. සුනඛ මුත්‍රාවලින් තෙමුණූ පොල් නගරයට යන විට වේලෙනු ඇත. ඒමන්ද යත් ලොරි කබලේ ඇති උෂ්ණත්වය වැඩි වූ නිසාය. එහෙත් මුත්‍රා ගඳ පොල්ගෙඩිවල එසේම පවතිනු නිසැකය.
ලොරිය නගරයේ මාර්කැට්ටුවට පැමි‚ වහාම ගෙහිමියා බල්ලාගේ කරින් දම්වැල මුදා ඌ යන්නට හැරියේය. විවිධාකාර දර්ශන හා නුපුරුදු පරිසරය නිසා බල්ලා ලොරිය අසලම දැවටි දැවටී සිටිනු දුටු ගෙහිමියා ගඩොල් බාගයකින් ඌට දමා ගැසූ නිසා ඌ මහහඬින් කෑ ගසමින් ඉවතට පැන දිවීය.
මේ ස්ථානය තමා මීට පෙර ජීවත් වූ ප්‍රදේශයට වඩා හාත්පසින්ම වෙනස් බව සුනඛයාට තේරුම් ගියේය. කලබලයෙන් ඒ මේ අත යන මිනිසුන්ද, නළා හ~වමින් පාරේ යන වාහනද, වතුර පිරී මඩ වූ මංමාවත්ද, දුර්ගන්ධය හමන කුණු කඳු මෙන්ම අතරින් පතර ගැවසෙන තම වර්ගයාද ඌ දිටීය.
එදින රාත්‍රිය ඌ ගතකළේ මාර්ගය අසල නවතා තිබූ බස්රථයක් යටය. වෙහෙස, බිය, බඩගින්න සුනඛයා දැවීය. දැඩි පිපාසයක් තිබූ නමුදු වතුර සොයා යාමට ඌට සිත දුන්නේ නැත. එහෙත් හිමිදිරියේම කුණු කන්දක් අසලට ගිය මෙම සත්වයා කුණු වී ගිය එළවළු මගහැර එහි තිබූ මාංශමය කොටස් සොය සොයා අනුභව කළේය. මඩ වී තිබූ වලකින් ජලය පානය කළ ඌට යම් තරමක ශක්තියක් ලැබුණු නමුදු උගේ සිතේ තිබූ කලබලය සහ බිය පහව ගොස් තිබුණේ නැත.
අළුත් සුනඛයාගේ සම්ප්‍රාප්තිය නිසා මෙම භූමිය අයත්කරගන, මුත්‍රා කරමින් තම මායිම් ලකුණු කරගන සිටි, සුනඛ රැල අලූතින් පැමිණ එහේ මෙහේ ඇවිදින, තම තමන්ට අයිති මායිම් ගැන නොතකන, මේ අලූත් සුනඛයා ගැන සෝදිසියෙන් සිටියා පමණක් නොව මූව තලා පෙලා සුණුවිසුණු කළ යුතු බව භූමිය අයත් කරගන සිටි බල්ලෝ තීරණය කළහ.
වඩාත් දැඩි සිත් ඇති සුනඛයන් තිදෙනෙක් සෙමෙන් ඉව අල්ලමින් කථානායක සුනඛයා වෙත මදක් ලංවී ඌව නිරීක්ෂණය කළහ.
නොකැළැල් ශක්තිමත් දේහය, දුඹුරු පැහැති සම, තියුණු දත්, වක් වි ඇති නගුට මේ සියල්ලෙන්ම පෙන්නුම් කළේ ශක්තිමත් ගැමි බල්ලෙකුගේ ලක්ෂණය. අලූත ආ අමුත්තාට පාඩමක් උගැන්විය යුතු බව තීරණය කළ වඩාත් නිර්භීත නාගරික සුනඛයා කථානායක සුනඛයා අසලට ගොස් උගේ පස්සා පෙදෙසට හොම්බ ලංකර ඉවඅල්ලා කුමන වර්ගයේ සත්වයෙක්දැයි සොයා බැලීය. එසේම ගැමි සුනඛයා බියපත් කරනු වස් උගේ මුහුණ ළඟට හොම්බ දිගුකර දත් විලිස්සා ගෙරවීය. තමා පත්ව සිටින අනතුර තේරුම්ගත් ගැමි සුනඛයා බිය වී අඩියක් පසුපසට ගතහොත් සිදුවිය හැකි ව්‍යසනය තේරුම්ගත් නිසාදෝ තමාට තර්ජනය කළ නාගරිකයාගේ පිටට පැන ඌව තදින් සපා කෑවේය.
ගැමි සුනඛයාගේ පහරින් උඩුකුරුව ගිය නගරබද සුනඛයා දත්පහර වලින් ඇතිවූ වේදනාවට ප්‍රතිචාර දැක්වූයේ විලාප දෙන්නාක් මෙන් මහහඬින් කෑගසමිනි. තමාට උදවුකරන ලෙස ඉල්ලා තම මිතුරන් දෙස ආයාචනාත්මක බැල්මක් හෙලීමටද ඔහු අමතක නොකළේය. අපගේ ගැමි සුනඛයා ගේ අනපේක්ෂිත ප්‍රහාරය නිසා තැතිගත් නාගරික සුනඛ බලඇණිය තම නගුට හකුළා පසුපස රුවාගෙන හිස හැරුණ අත පළා ගියහ. ගැමි සුනඛයාගෙන් උල් දත් වහල්ලෙන් පහර කෑ සුනඛයාද පැන ගියේ පණ එපා කියමිනි. අනතුරුව මාර්කැට්ටුවේ වැසිකිළි ඇති ප්‍රදේශයේ මුල්ලකට ගොස් ප්‍රතිවාදියා ගේ දත්පහර නිසා ඇති වූ තුවාල ලෙවකෑවේය.
මෙම ගැටුම නිසා ගැමි සුනඛයාට සිදුවූයේ යහපතකි. මාර්කැට්ටු ප්‍රදේශයේ සිටි අනෙකුත් සුනඛයෝ මූ පෙන්දෙකු නොවෙන බවත් පහරට පහර දෙන වර්ගයේ සතෙකු බවටත් අවබෝධ කර ගත්හ. එම නිසා එම ප්‍රදේශයේ නායකකම ලැබුණ අතර අනිත් බල්ලන්ගේ අවධානයටද යොමු විය.
නිශ්කලංක ග්‍රාමීය පරිසරයෙන් මිදුණූ ගැමි සුනඛයා කලබලකාරී නාගරික පරිසරයට පුරුදු විය. නාගරික කුණු කන්දෙන් අවශ්‍ය සුදුසු දෑ අවුලාගෙන කෑමත්, අසල ඇති කාණු සහ වතුර වළවල් වලින් වතුර බීමට ලැබීමත් නිසා වැඩි කරදරයක් නැති ජීවිතයක් ගත කිරීමට ලැබි‚. එම නිසා මූට බොහෝ කාලයක් මෙම කලබලකාරී පරිසරයේ සන්සුන්ව නිරුපද්‍රිතව ජීවත්වීමට හැකි විය. යම් හෙයකින් මෙම සුනඛයාගේ බුද්ධිය මුහකුරා ගියේනම් ඌ තමාට ජිවත්වීමට හිතකර පරිසරයක් සකසා දීම පිළිබඳව නගර සභාවට තුති පුදනු නිසැකය.
ඉවරද? අනේ මම හිතුවා තව ඉදිරියට කතාව ගොඩක් ඇදෙයි කියලා. නරකද තව ටිකක් ඉදිරියට අරං ගියොත්?
ReplyDeleteඋත්සහ කරන්නම්
Deleteනම 'සුනඛ' උනාට අන්තර්ගතය සුපිරියිනේ. :) ස්තූතියි මේ වටිනා කතාවට..
ReplyDeleteකල්‍යාණ මිත්‍ර ස්තුතියි
Deleteමෙහි පංච තන්ත්‍රය වගේ කතා ගොඩක් තියෙනවා කියල මට හිතෙනවා. මට හිතෙන්නේ මෙය ඇත්තටම සුනඛයෙක්ගේ විතරක්ම කතාව නෙවෙයි කියලා.
ReplyDeleteඋපේක්‍ෂා කතා මැද කතා කියන්නත් පුලුවන් නේද ?
Deleteඔව්.. එහෙම කතා කියන්න පුළුවනි. මේ කතාවේ මට නම් එහෙම කතා ගොඩක් මැවුනා. මම කොහොමත් ආසයි එහෙම කතා හොයන්න. ප්‍රධාන කතාව ඇතුලේ ගොඩක් කතා මෙහි තියෙනවා සහ මම ඒවා කියෙව්වා. රචකයාත් ඒ ගැන අවධානයෙන් ලිව්වා කියල හිතනවා.
Deleteනියමයි.සුපිරි.එල .ජාති තව කියන්න වචන නෑ
ReplyDeleteසුපිරි
ReplyDeleteThanks
Deleteමරු කතාව හිටං
ReplyDelete++++++++++++++++++
Delete