Thursday, November 6, 2025

බුද්ධියට සීමා පනවා ගැනීම

 




 

ස්පිනෝසා  මෙන්ම  රෙනේ දෙකාත් තම බුද්ධිය මෙහෙයවා මිනිස් මනස පිලිබඳ කතා කිරීමේදී ඔවුන් විශ්වාස කල ආගම් පද්ධතිය ( සර්වබලධාරී දෙවියෙකු විසින් මිනිසා සහ ලෝකය මැවීය යන විශ්වාසය​) නිසා ඔවුන් ගේ චින්තනයට සීමා බාධක ඇති විය​. ඔවුන්ට නිරවුල්ව සහ ස්වාධීනව සිතීමට ඔවුන් ගේ ආගමික විශ්වාස බාධා කලේය​. මේ නිසා ඔවුන් මනස පිලිබඳ කල  විග්‍රහයන් අසම්පූර්ණ විය​. ආගමික විශ්වාස ( බයිබලය හෝ කුරානය​) හිස තබා ගෙන මිනිස් මනස හෝ විශ්වය ගවේශනය කරන්නාට ගමන් කල හැක්කේ සීමිත දුරක් පමණි. ඔවුන් ගේ ආගමික විශ්වාස පද්ධතිය විසින් ඔවුන් ගේ චින්තනයට සීමා පමුනුවයි. එවිට ඔවුන්ට ස්වාධීන චින්තනයේ නියැලිය නොහැක​. ඔවුන් එක් රාමුවක කොටුවේ. එම රාමුවෙන් ඉවත් වී වෙනත් ආකාරයකින් චින්තනය මෙහෙයවීමට ඔවුන්ට නොහැකි වේ.  ඔරිජිනල් බුදු දහම ස්වාධීන චින්තනයට විලංගු නොදැමූ නමුදු ජයින සහ බමුණු මත වලින් කළවම් වූ ශ්‍රී ලංකාවේ පවත්නා බුදු දහම විශ්වාස කරන්නෙකුටද ආබ්‍රාමික ආගම් අදහන්නෙකුට  සිදු වෙන්නක් මෙන් යම් දුරක් ගමන් කිරීමේදී ඔහුද එක් රාමුවකට කොටු වෙයි. ඉන් පසු ඔහුගේ ස්වාධීන විශ්වාස පද්දතිය බිඳ වැටී යයි. මෙය මිනිස් මොලය විසින් සිදු කරන එක්තරා ආකාරයක තිරිංග දැමීමකි.  දැඩි ආගමික විශ්වාසයන් මොලයේ විශ්ලේෂණාත්මක චින්තනය මොට කර දමයි.  මනස තුල අගතීන් ඇති කරයි. ඉන් පසු ඔහු ලෝකය දකින්නේ ආගමික තිමිර පටලයක් හරහාය​. මේ නිසා නව චින්තනයක් ගොඩ නඟා ගැනීමට ඔහුට නොහැකි වෙයි. 

ආතර් එඩිංටන් සුප්‍රකට ඉංග්‍රීසි තාරකා විද්‍යාඥයෙක්, භෞතික විද්‍යාඥයෙක් සහ ගණිතඥයෙක් වූ අතර 1919 සූර්‍යග්‍රහණයකදී අයින්ස්ටයින්ගේ සාමාන්‍ය සාපේක්‍ෂතාවාදය පිළිබඳ න්‍යාය තහවුරු කළ පළමු පුද්ගලයා විය​. තාරකා පරිණාමය පැහැදිලි කිරීම, එඩින්ටන් සීමාව සංවර්ධනය කිරීම සහ කාලයේ ඊතලය පිළිබඳ සංකල්පයට පුරෝගාමී විය​. එඩිංටන් බයිබලය විශ්වාස කල අතර විද්‍යාව සහ දේවධර්මය අතර ඔහු අතරමං විය​. මේ නිසා ඔහුට ස්වාධීන මනසකින් විශ්වය අධ්‍යනය කිරීමට සීමා ඇති විය​. අයින්ස්ටයින් ගේ චින්තනයට ආගමික විලංගු නොතිබූ අතර ඔහු ස්වාධීන මනසකින් විශ්වය පිලිබඳ රහස් ගවේශනය කලේය​. අවසානයේදී අයින්ස්ටයින් ලොව ප්‍රකට විද්‍යාඥයෙකු වූ අතර ආතර් එඩිංටන් විද්‍යා ලෝකයෙන් ක්‍රමක් ක්‍රමයෙන් මැකී ගියේය​.

විශ්වය ගැන කතා කිරීමේදී ඇතැම් බෞද්ධයන් නාසා එකේ විද්‍යාඥයන් කියන්න පෙර අපේ තථාගතයන් චක්‍රාවාට දිවසින් දැක්කා , ලෝක විශය අචින්තයි වැනි ලාමක කතා කියති. බුදුන් ගේ කාලයේ මෙසපොටෙමියානු මෙන්ම ඊජිප්තු ශිෂ්ටාචාර හරහා තාරකා විද්‍යාව පිලිබඳ දැණුමක් අතීත භාරතයට ලැබී තිබුනි . ඒ ආශ්‍රිතව බුදුන්  තුලද යම් ප්‍රමාණයක තාරකා විද්‍යාව පිලිබඳ දැණුමක් තියෙන්නට ඇත​. එසේම බුදුන් ලෝකය මැවීමක් පිලිබඳ ප්‍රතික්ශේප කල අයෙකි.  මේ නිසා තාරකා විද්‍යාව පිලිබඳ ස්වාධීන මනසකින් ගවේශනය කිරීමට හැකි වන්නට ඇත​. නමුත් බුද්ධ දේශනාවේ සෞරග්‍රහ මණ්ඩලය පිලිබඳ හෝ ආසන්නතම ඇන්ඬ්‍රොමීඩා මන්දාකිණිය පිලිබඳවත් සඳහනක් නොමැත​.





No comments:

Post a Comment

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook