Friday, June 16, 2023

දෙමළා හඳුනා ගැනීම



අපිට උගන්නලා තිබ්බේ පින්තූරේ ඉන්න දෙමළයි , මැරිච්ච දෙමළයි හැර වෙන එක දෙමලෙක් විශ්වාස කරන්න එපා කියලා. පොඩි කාලේ දහම් පාසලේ ගුරුවරයෙකු අපිට කිව්වා දෙමළ මිනිසුන් අපිරිසිදුයි. කාපු කෙහෙල් ලෙල්ලත් ගේ දොරකොඩට විසි කරනවා කියලා. පසු කාලයක මට එංගලන්තයේ , ඇමරිකාවේ හමු වූ දෙමළ මිනිසුන් අතිශයින්ම පිරිසිදු මිනිසුන්. ඉතින් මම අර දහම් පාසල් ගුරුවරයා කියපු කතාව ඇනලයිස් කලා. ඔහු දහම් පාසල් ගුරුවරයෙකු වූවත් වෘත්තියෙන් සන්නාලියෙක්. හිටියේ වත්තක​. ඔහු අවට හිටියේ කසල සුද්ධ කරන පීඩිත ද්‍රවිඩය​න්. තමන් ගේ අසල් වැසියන් ආශ්‍රයෙන් තමයි ඔහු මේ නිගමනයට ඇවිල්ලා තිබ්බේ. 

මගේ අත්දැකීම් වලින් කියන්නේ දෙමළා කියන්නේ සුන්දර මනුෂයෙක්. මම ලංකාවේ රෝහල් වල සේවය කල කාලේ මගේ හිතවත්ම යාලුවෝ උනේ දෙමළ දොස්තරලා. උන් අපේ සිංහල දොස්තරලට වඩා අවංක සහ හිතවත්. අපේ එවුන් වගේ පංගු පේරුවට වැඩ කලේ නෑ. වෛද්‍ය ගෝවින්ද රාජා ,වෛද්‍ය රාම් මනෝහර් , වෛද්‍ය සුදර්ශන් , වෛද්‍ය සුදෝ කුමාර්  වචනයේ පරිසමාප්තියෙන් මිතුරන්.  

යුද හමුදාවේ හිටියේ සීමිත දෙමළ ඔෆිසර්ස්ලා ටිකක්. අදටත් මගේ හොඳම හිතවතුන් දෙමළ ඔෆිසර්ස්ලා. ඒ අතරින් මේජර් මහින්දන් සීවරත්නම් විශේෂයි. ඔෆ්ෆිසර් ඇනඩ් එ ජෙන්ට්ල්මන් 

කැනඩාවේ යුද්ධ කාලයේ සිංහල විරෝධයක් තිබ්බා. යුද්ධ කාලයේ ගොඩාක්ම එල්.ටී.ටී. ඊ කොඩි උස්සගෙන පාරවල් බ්ලොක් කරගෙන බටහිර රට වල රඟ පෑවේ උතුරේ පීඩිත කුල වලින් ආපු එවුන්. උතුරේ කුලවත් වෙල්ලාලයන් උන්ව පහත් කරලා සලකපු නිසා වෙල්ලාලයන් ගේ ගරුත්වය ලබා ගන්න සහ තමන්ට අනන්‍යතාව හදා ගන්න උන් කරේ සිංහ කොඩි පාගලා එල්.ටී.ටී. ඊ කොඩි උස්සගෙන ගිරිය යටින් කෑ ගසපු එක​. ඒ කෑගැසීම උන් අත් විඳපු කුල පීඩනයේ විලාපය​. නමුත් කැනඩාවේ දෙමළ කඩයකට ගියාම සිංහල මිනිසුන්ට රෙස්පෙක්ට් පිට සැලකුවා. සිංහල මිනිසුන් ඔවුන් ගේ කඩයකට එන එක ගරුත්වයක් ලෙසයි ඔවුන් සැලකුවේ. 

කැනඩාවේ මගේ එකවුන්ටන්ට් දෙමළ , මගේ දන්ත වෛද්‍යවරයා දෙමළ. මගේ බොහෝ කිට්ටු හිතවතුන් දෙමළ. මම හිතන්නේ අපේ සිංහල මිනිසුන් බොහෝ දෙනෙකුට දෙමළ මිනිසුන් ගැන තියෙන්නේ අනවබෝධයක්.  අනවබෝධය නිසා තමයි සැකයෙන් ඔවුන් දෙස බලන්නේ, සැකය නිසා බය ඇතිවෙනවා. ඒ අතර විග්නේශ්වරන් වගේ ද්‍රවිඩ දේශපාලකයෝ දකුනේ කපටි දේශපාලකයෝ එක්ක කුමන්ත්‍රණය කරලා සිංහළු සහ දෙමළුන්ව කොටවනවා. ඊට පස්සේ උන් දෙගොල්ල මරා ගන්නවා. විග්නේශ්වරන් වගේ ද්‍රවිඩ දේශපාලකයෝ දකුනේ කපටි දේශපාලකයෝ උන් අතර අවහා විවහා කරගෙන ගාන කපාගෙන සතුටින් ජීවත් වෙනවා. 





1 comment:

  1. දෙමළ කඩේකින් කෑම කෑවොත් තවත් සැරයක් යන්න හිතෙනව

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook