Thursday, April 18, 2019

රෝහලට ගිය ටිකිරි ලියා


ටිකිරි ලියාට වතුර කළයක් ගෙන එන ලෙස මව කියූ අතර ටිකිරි ලියා මැටි කළයත් ගෙන ලිඳට ගියාය. ලිඳ වට කර කබරගොයෙක් සිටි නිසා ටිකිරි ලියා උගේ බාව මඟ හැර  ලිඳ  අසලට ගිය නමුදු එතැන සිටි දිය බරියා  ටිකිරි ලියා ගේ කකුල කෑවේය. ඒ සමග ටිකිරි ලියා ගේ අතින් කළය බිම වැටී කැඩී ගියේය. ටිකිරි ලියා "බුදු අම්මෝ " කියා කෑගැසුවාය. 

ටිකිරි ලියා ගේ කෑ ගැසීම ඇසූ අම්මාත් නයිදෝරිස් මාමාත් ලිඳ අසලට දිව ආහ. ඔවුන් ටිකිරි ලියා වත්තන් කරගෙන ගෙට ආහ. දියබරියා කාපු ස්ථානයෙන් ලේ එන නිසා ටිකිරි ලියාව හැකි ඉක්මනින් ඉස්පිරිතාලයට ගෙන ගිය යුතු බව මව අවධාරණය කලාය. ඒ නිසා නයිදෝරිස් මාමා හන් දියට දිව ගොස් ත්‍රී වීල් එකක් ගෙනාවේය. ඔවුන් ටිකිරි ලියාව ත්‍රිරෝද රථයේ දමාගෙන රෝහලට ගියෝය. 

රෝහලේ ගේට්ටුවේ සිටි සෙකුරිටි  ත්‍රී වීල් එක නවතා බෝම්බ පරික්‍ෂා කරන පොලිස් කාරයෙකු මෙන් රළු හඞකින් "මොකද ?කියා ඇසුවේය.  මේ සෙකුරිටි  තැන තමන් ජෙනරාල් සරත් ෆොන්සේකා මෙන් සිතාගෙන ගේට්ටුව හරහා යන ලෙඞුන්ටත් ඔවුන් ගේ ඥාතීන්ටත් සැර දැමීමට පුරුදුව සිටි අයෙකි. "අපේ දුවව දියබරියෙකු කාලා "කියා ටිකිරි ලියාගේ මව හැඞුම් බරව කීවාය. මොහොතක් ටිකිරි ලියා දෙස බැලූ සෙකුරිටි ගේට්ටුව ඇරියේය. 

රෝහලේ ඉදිරි පිට ලෙඩුන් ගෙනියන හිස් ට්‍රොලි කීපයක් තිබූ අතර තරමක් ඈතින් රෝහල් කම්කරුවන් තිදෙනෙක් කතා කරමින් සිටියහ. නයිදෝරිස් මාමා ඔවුන් අසලට ගොස් " අපේ කෙලී දියබරියෙක් කාලා ඉක්මනට ගෙනියන්ට උදව් කරන්ට " කියා කීවේය. 

මේ රෝහල් කම්කරුවන් සෞඛ්‍යය අමාත්‍යවරයාට මැතිවරණයේදී පෝස්ටර් ගැසූ පුද්ගලයන් වූ අතර ඔවුන් මැතිවරණයෙන් පසු අනියම් සෞඛ්‍යය කම්කරුවන් ලෙසට පත්වීම් ලබා ගත් අය වූහ.  තමන් සෞඛ්‍යය අමාත්‍යවරයාගේ මිනිසුන් කියා සිතූ ඔවුන් තමන් ලෙඩුන් අදින්නේ නැති බව කියා නයිදෝරිස් මාමා ගේ ඉල්ලීම ප්‍රතික්ශේප කොට දැමූහ. 

ඒ මේ අත දිවූ  නයිදෝරිස් මාමා අවසානයේදී කම්කරුවෙකු සොයා ගෙන ඔහුගේ අතට නෝට්ටුවක් දුන් අතර ඔහු ටිකිරි ලියාව ට්‍රොලියක තබා ඕපීඩී එක හෙවත් බාහිර රෝගී අංශයට ගෙන ගියේය. 

තවමත් උදෑසන වූවද බාහිර රෝගී අංශයේ සිටි වෛද්‍යවරයා ගේ දෙනෙත් නිදිමතින් බරවී තිබුණි. ඔහු සේවා මුර දෙකක් එක දිගට කරමින් සිටියේය. සේවා මුරයට නියමිත වෛද්‍යවරයාට පුද්ගලික ඩිස්පැන්සරියක් තිබූ අතර ඔහු තම සේවා මුරය මේ වෛද්‍යවරයාට භාර දී ඒ සඳහා නියමිත මුදලද දුන්නේය. 

නිදිමතින් සිටි වෛද්‍යවරයා සිටියේ දුරකථන පණිවිඩයක් දෙමිනි. ඔහු ඕපීඩී එකේ සිට ඉන්ටකොම් එක හරහා ශල්‍ය වාට්ටුවේ සිටි ඇටෙන්ඩන්වරයෙකු අමතමින් තමන් ගේ අළුත්ම වාහනය විකිනීම ගැන කතා කරමින් සිටියේය. ශල්‍ය වාට්ටුවේ සිටි ඇටෙන්ඩන්වරයා වාහන බ්‍රෝකර්කම්ද කල අයෙකි. ඒ නිසා මේ දුරකථන පණිවිඩය ඔහුට වැදගත් විය. ඔහු දුරකථනයෙන් කතා කරන අතර තුර ටිකිරි ලියා ට්‍රොලිය මත කෙඳිරිගාමින් සිටියාය. 

මේ අතරවාරයේ ඕපීඩී එකට සහකාර වෛද්‍ය නිලධාරියෙකු ආවේය. තමන් ඉදිරියේ තිබෙන ඇඩ්මිෂන් එක බලන ලෙස ඔහුට කීමට සිතුනද මේ රෝහලේ වෛද්‍යවරු සහ සහකාර වෛද්‍යවරු අතර එතරම් කතා බහක් නොමැති නිසා   ඔහු එම ඉල්ලීම නොකලේය. ඔහු ටිකිරි ලියාව බැළුවේ දුරකථන පණිවිඩය හමාර කිරීමෙන් පසුවය. 

" මොනවා වෙලාද ? ඔහු පොලිස්කාරයෙකු ලෙස ඇසුවේය" 

" අනේ දොට්ට අපේ කෙලීව දියබරියෙක් කාලා " කියා ටිකිරි ලියාගේ ඔව කීවාය. තමන්ට සර් හෝ මහත්තයා නොකියා දොට්ට කීම නිසා ඕපීඩී වෛද්‍යවරයා තොල විකාගෙන ලෙඩුන් ඇතුලත් කරන පෝර්මයේ ස්නේක් බයිට් කියා ලියා. රුධිර පීඩනය 100/60 ද නාඩි වැටීම 78 ද කියා ලියුවේය. එහෙත් ඔහු ටිකිරි ලියාගේ රුධිර පීඩනය හෝ නාඩි වැටීම  බැලුවේ නැත. මේ වන විට හෙතෙම ලෙඩුන් ගේ මුහුණ බලා රුධිර පීඩනය හා නාඩි වැටීම ලිවීමේ සමතෙකි. කෙසේ නමුත් රෝගියාට පසුව අසාධ්‍ය උවහොත් මේ මරාළය තමන් ගේ හිසේ කඩා නොවැටෙනු වස් ස්ටැට් හෙවත් වාට්ටුවේ වෛද්‍ය නිලධාරියා කඩිනමින්ම බැලිය යුතු කේස් එකක් ලෙස ටිකිරි ලියාගේ රෝහලට ඇතුලත් කරන ලද පෝර්මයේ සීල් එකක් ගැසුවේය. එසේ කොට ටිකිරි ලියාව වාට්ටුවට ගෙන යන ලෙස නියම කලේය. 

ටිකිරි ලියා වාට්ටුවට ගෙන යන ලදි. එදින සතියේ දවසක් වූවද වෛද්‍යවරු කිසිවෙකු වාට්ටුවේ සිටියේ නැත. සිටියේ හෙදියන් දෙදෙනෙකි. ඔවුන් ද කොයි මොහොතේ මේට්‍රන් මෙතනට කඩා පාත් වෙයි දෝ කියා වරින් වර කොට බිත්තිය උඩින් කොරිඩෝව  දෙස බලමින් සිටියෝය. ඔවුන් ටිකිරි ලියාව පිලි ගත්තේ මඳ රැවීමකිනි. 

"මේක ස්ටැට් එකක් " එකියක් කීවාය. "එහෙනම් ඩොක්ටට කතා කරමු " කියා අනෙක් හෙදිය දුරකථනය වෙත ගියාය. 

සීමාවාසික වෛද්‍යවරයා තම නිල නිවාසයේ සරමක් ඇඳගෙන රෙදි සෝදමින් සිටින විට හෙදියගේ කෝල් එක ආවේය. ඔහු කුණුහරපයක් දෙකක් තොල් මතුරමින් රිසීවරයට කන තිබ්බේය. හෙදිය කියූ විස්තරය ඇසූ ඔහු " එහෙනම් බ්ලඩ් ඩ්‍රෝ කරලා සේලයින් එකක් දාලා තියන්න මම එන්නම් කියා කීවේය. 

හෙදියන් දෙදෙනා අයත් වූයේ වෘත්තීය සමිති දෙකකටය. එක් හෙදියක්  හාමුදුරුවන් ගේ වෘත්තීය සමිතියේ සාමාජිකාවක් වූ අතර අනෙක් තැනැත්තිය  මේල් නර්ස්වරයාගේ වෘත්තීය සමිතියේය. මේ නිසා කවුරු විසින් ලේ ගන්නේද කියා මොවුන් රෝගියා ඉදිරියේ විවාද කලහ. 

ඔයා ගන්න කියා පළමු හෙදිය දෙවන හෙදියට කීවාය. නෑ ඔයා ගන්න කියා දෙවන හෙදිය පළවන හෙදියට කීවාය. මෙසේ විනාඩි විස්සක් පමණ කඹ ඇද අනතුරුව දෙදෙනාම ටිකිරි ලියාගේ අත මිරිකා කැනියුලාවක් දමා ලේ ගත්තෝය. ඉක්බිති ලේ සාම්පලය පරියේෂණාගාරයට යැවීම සඳහා වාට්ටුවේ ඇටෙන්ඩන්වරයාව සෙවූහ. 

වාට්ටුවේ ඇටෙන්ඩන්වරයා මේ වෙලාවේ සිටියේ ඕවසියර් ගේ කාමරයේ පවත්නා දේශපාලන තත්වය ගැන කතා කරමිනි. මෙලෙස පැය භාගයක් පමන කථිකාවේ යෙදුනු ඇටෙන්ඩන්වරයා වාට්ටුවට ගිය විගස ලේ සාම්පලය ලැබ් එකට ගෙනියන්නට කියා හෙදිය ඔහුගේ අතට සාම්පලය දුන්නාය. එය අතට ගත් ඔහු ළමා වාට්ටුවේ සිටි තම ගෙවල් අසල අඳුනන කෙනෙකුගේ ළමයෙකුගේ විස්තරද බලා පරීක්‍ෂණාගාරයට ගියේය. 

" ලේ සාම්පලය ඔතනින් තියන්න " කියා පරීක්‍ෂණාගාරයේ සිටි එම්. එල්.ටී කීවේය. මේ සාම්පලය සවස හතරින් පසු කිරීමට ඔහු ඉටා ගත්තේ අතිකාල ලබා ගැනීමේ අදහසිනි. 

වාට්ටුවට පැමිනි සීමාවාසික වෛද්‍යවරයා ටිකිරි ලියාව පරීක්‍ෂා කලේය. රෝහලේ ජේෂ්ඨ වෛද්‍ය නිලධාරී හෙවත් එස් .එච් .ඕ සති අන්තයේ තිබෙන මගුල් ගෙදරකට දිය යුතු පිඟන් බඩු ත්‍යාගයක් අඩු මිලට ලබා ගැනීම සඳහා ටවුමට ගොස් සිටියේය. ඔහුගේ දුරකථනයට කතා කල යුතු බව ඉන්ටර්න්වරයා සිතුවේය. ඒ නිසා රෝහලේ දුරකථන  ක්‍රියාකරු අමතා ජේෂ්ඨ වෛද්‍ය නිලධාරීව සම්බන්ධ කොට දෙන්නට කියා කීවේය. 

මෙම දුරකථන  ක්‍රියාකරු රෝහලේ කාර්‍යමණ්ඩලය හඳුන්වන්නේ "ලයින් දෙකම බිසි " කියාය. ඔහු "ලයින් දෙකම බිසි ඩොක්ටර් " කියා කීවේය. ජේෂ්ඨ වෛද්‍ය නිලධාරී නොමැති නම් ඔහු විශේසඥ කායික වෛද්‍යවරයා ඇමතිය යුතුය. විශේසඥ කායික වෛද්‍යවරයා මේ වන විට සිටියේ නගරයේ පුද්ගලික රෝහලේ චැනල් කාමරයේය. මේ වේලාවට වාට්ටුවෙන් කෝල් එනවාට ඔහු කැමති නැත. මේ නිසා ඉන්ටර්න්වරයා මුහුණ දුන්නේ  උභතෝකෝටික ප්‍රශ්නයකටය. එහෙත්  ඔහුගේ වාසනාවකට මෙන් ආර් එච් ඕ හෙවත් සහාය වෛද්‍ය නිලධාරී වාට්ටුවට ආවේය. 

ආර් එච් ඕ හෙවත් සහාය වෛද්‍ය නිලධාරී වාට්ටුවට ආ විගස ඔහු කරන්නේ ලෙඩුන් ගේ ෆයිල් එක අතට ගෙන ඇඳ ඉහපත් නොම්බර කීපයක් ලියා ගැනීමය. එම නොම්බර අතිකාල ලියන පොතේ ඔහු සඳහන් කරයි. මෙලෙස රෝගීන් නොබැලුවද සෑම මාසයකම උපරිම අතිකාල දීමනා ඔහු ලබා ගනියි. මෙයට කියන්නේ ගසා ඛාන් අතිකාල කියාය​. මෙම රෝහලේ ඇම්බුලන්ස් ඩ්‍රයිවර්ලාද දිනකට පැය 24  ගනනේ  මාසයක් එක දිගට අතිකාල වැඩවල යෙදුනා කියා  අතිකාල දීමනා ඉල්ලති. මෙම ඇම්බුලන්ස් ඩ්‍රයිවර්ලා රෝගීන් කෙරෙහි කොපමණ කැප වීමෙන් වැඩ කරනවාද යත් ඔවුන් නිදා ගන්නේද නැත​.  

කෙසේ නමුත් ආර් එච් ඕ ගේ පැමිනීම ඉන්ටන්වරයා හෙවත් සීමාවාසික වෛද්‍යවරයාගේ සිතට සහනයක් විය.  ආර් එච් ඕ ටිකිරි ලියාව උඩින් පල්ලෙන් බලා බෙහෙත් වගයක් ලිවීය. ඉන්පසු ඔහු වාට්ටුවෙන් පිටවී  ගියේ පුද්ගලික රෝහලේ ඕපීඩ් එක වෙත යාමටය. 

ඉන්ටන්වරයා ආර් .එච්. ඕ ලියා දුන් බෙහෙත් ටිකිරි ලියාට දෙන්නට කියා කීවේය.  නියම කරන ලද බෙහෙත් දෙස බැලූ හෙදිය "ඩොක්ටර් එකක් ලෝකල් පර්චස් " කියා කීවේය. එම නිසා ඉන්ටන්වරයා අදාල ඖෂධය ඩිස්පැන්සරියෙන් ලබා දෙන ලෙස ඉල්ලා ඇඳ ඉහ පතේ වෛද්‍ය අධිකාරීවරයා වෙත ඉල්ලීමක් කලේය. 

මෙම ඇඳ ඉහ පත අතට ගත් වාට්ටුවේ ඇටෙන්ඩන්වරයා වෛද්‍ය අධිකාරීවරයාගේ කාර්‍යාලය වෙත ගියේය. කාර්‍යාලය අසලදී මෑතකදී පත්වීම් ලද සහකාර කළමණාකාරවරු දෙදෙනෙකු ඔහු දුටුවේය. කළා උපාධිධාරීන් වූ ඔවුන් රෝහලේ ඔබ මොබ යමින් කාලය ගත කළහ. 

" මචං සර් කිව්වා ෆැක්ස් එකක් යවන්න කියලා . උඹ දන්නවද  ෆැක්ස් එකක් යවන හැටි ? පළවන සහකාර කළමණාකාරවරයා දෙවැන්න ගෙන් ඇසුවේය. " නෑ මචං මම දන්නේ නෑනේ " කියා දෙවැන්නා කීවේය. 

වෛද්‍ය අධිකාරීවරයා සිටියේ නොසන්සුන්කමිනි. මීට සුමානයකට පෙර නාරි හා ප්‍රසව වාට්ටුවට ඇතුලත් කරන ලද ගැබිණි මවක් කාර්‍යමණ්ඩලයේ නොසැලකිල්ලෙන් මිය ගියා කියන ආරංචිය මත ප්‍රාදේශීය පත්‍ර වාර්තාකරු රෝහලට පැමිණ සිටියේය. ඔහු රෝහලේ සිදුවන ආටක නාටක ලියන්නෙකි. එහෙත් රෝහල් පරිපාලන නිලධාරී ඔහුව හවස බාර් එකේදී හමු වන බවට පොරොන්දුවක් දුන් නිසා කාර්‍යමණ්ඩලයේ නොසැලකිල්ලෙන් ගැබිණි මව මිය යයි යන හෙඩිම වෙනුවට රෝහලේ ජල නලයක් පුපුරා ලෙඩුන් අපහසුතාවයට කියා නව හෙඩිමක් ඔහු ලියා ගත්තේය. 

තම දකුණු අත වන් පරිපාලන නිලධාරියාගේ ස්ථානෝචිත ප්‍රඥාව ගැන වෛද්‍ය අධිකාරී සතුටු විය. ඒ නිසා ඔහු යාන්ත්‍රිකව මෙන් ටිකිරි ලියාට නිර්දේශ කරන ලද බෙහෙතට තම අත්සන තැබුවේය. ඉන් පසු රෝහලේ වාට්ටුවේ ඇටෙන්ඩන්වරයා ගියේ ෆාමසියටය. 

ෆාමසියේ මහත්තයා  ඩිපෝ ප්‍රවේරා තොගයක් සහ තවත් වේදනා නාශක බෙහෙත් මෙන්ම මිලෙන් අධික ප්‍රති ජීවක බෙහෙත් අඩංගු  කුඩා පෙට්ටියක් වෙනම  මල්ලකට ඔබමින් සිටියේය. වාට්ටුවේ ඇටෙන්ඩන්වරයා දුටු හෙතෙම සිනහවකින් මුව සරසාගෙන ඇඳ ඉහ පත ඇටෙන්ඩන්වරයා අතින් ඉල්ලා ගත්තේය. 

දහවල් වන විට එස්. එච් .ඕ හෙවත් ජේෂ්ඨ වෛද්‍ය නිලධාරී වාට්ටුවට ආවේය. ඔහු ටිකිරි ලියාව පරික්‍ෂා කොට පුද්ගලික චැනල් මධ්‍යස්ථානයේ සිටින විශේසඥ කායික වෛද්‍යවරයා  වෙත ඇමතුමක් ගත්තේය. ඉන්පසු " සර් කියනවා ලෙඩාව ට්‍රාන්සර් කරන්න " කියා කීවේය. 

සැනසුම් සුසුමක් හෙලූ ඉන්ටර්න්වරයා ටිකිරි ලියාව  මාරු කර යැවීම සඳහා අදාල පෝර්මය පිරවීය. ඒ අතරවාරයේ ජේෂ්ඨ වෛද්‍ය නිලධාරී ටිකිරි ලියාට දීම සඳහා සේලයින් බෝතලයක්  හෙදියගෙන් ඉල්ලුවේය​. 

හෙදිය විසින් ගෙනත් දුන්  සේලයින් බෝතලය මඳක් අඳුරු පාටය​. එහි පුස් වගයක් පාවෙමින් තිබුනේය​. මේ සේලයින් තොගය අමාත්‍යවරයාගේ නිර්දේශය මත ටෙන්ඩර් හරහා සෞඛ්‍යය අමාත්‍යාංශයේ නිලධාරීන් විසින් ඉන්දියාවේ කොම්පැනියකින් මිලදී ගෙන තිබුණි. සේලයින් තොගය ඔවුන්ට වාසනාව ගෙන ආවද රෝගීන්ට දුර්විපාක ඇති කරන ලදි. 

මෙලෙස වැඩිදුර ප්‍රතිකාර සඳහා ටිකිරි ලියාව මාරු කර යවන ලදි. ඉන්ටර්න්වරයා  ටිකිරි ලියා මාරු කර යැවීමෙන් පසු කෙලින්ම නිල නිවස වෙත දිව්වේ ඉතිරි රෙදි ටික සේදීම සඳහාය​. 


5 comments:

  1. අනගි ලියමනක්. ලංකාවේ රෝහල් වල සැබෑ තත්ත්වය කිසිම අඩුපාඩුවක් නැතිව ලියලා. තමන්ගේ ක්ෂේත්‍රයේ අඩුපාඩු ගැන කිසිවකු මෙසේ කතා කරන්නේ නැත.

    ReplyDelete
  2. අතිශයෝක්ති වුණාට ඔක්කොම ඇත්ත මං හිතන්නෙ

    ReplyDelete
  3. A clear cut example of the hospital "system" of ill Lanka

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook