Wednesday, November 9, 2016

වෛද්‍ය ගෝරාන්


යෝක් විශ්ව විද්‍යාලයේ උපාධි අධ්‍යන කටයුතු වෙනුවෙන් ස්ථාපනය ( Placement ) සඳහා මට නෝත් යෝක් ජෙනරල් රෝහලට යාමට සිදු විය​. මෙම රෝහලේදී මට මුණ ගැසුනු කැනේඩියානු මනෝ වෛද්‍යවරයෙක් මට අනපේක්‍ෂිතව උපකාර කලේය​. 

මෙම කැනේඩියානු මනෝ වෛද්‍ය ගෝරාන්  මුණ ගැසීමට පෙර මම කැනඩාවේ වෛද්‍ය වෘත්තියේ යෙදෙන සිංහල වෛද්‍යවරු කිහිප දෙනෙකු අමතා  යූක්‍රයීන , බ්‍රිතාන්‍ය සහ ශ්‍රී ලාංකික අධ්‍යාපනික ආයතන​ වලින් මා විසින් ලබා ගත් අධ්‍යාපන සහතික පත් කැනඩාවේ  උපාධි වලට සමර්පණය වන ආකාරයට සකස් කර ගන්නා ක්‍රම වේදය මෙන්ම මනෝ ප්‍රතිකාරයන් සඳහා ලියාපදිංචිය ලබා ගන්නා ආකාරයද අසා සිටියෙමි. ඔවුන් මට වැදගත් තොරතුරු ලබා නොදී බොරුවට අනවශ්‍ය ස්ථාන වලට මාව යොමු කරමින් ,ව්‍යාජ විස්තර  ලබා දෙමින් මගේ අගනා කාලය විනාශ කලෝය​. අවසානයේදී මට නිවැරදි විස්තර ලබා දුන්නේ වෘත්තීය ඉරිසියාව (Professional Jealousy) කුහකකම අහලකවත් නොතිබූ  ද්‍රවිඩ මනෝ වෛද්‍යවරයෙකු වන අරූන් රවීන්ද්‍රන් මහතාය​. 

වෙනත් රට වලදී ලබා ගත් උපාධි කැනඩාවේදී වලංගු නැත​. ඒවා කැනේඩියානු විශ්ව විද්‍යාලයකින් තක්සේරු කර ගත යුතුය​. එසේම තව දුරටත් කැනඩාවේ උපාධි හැදෑරීමෙන් සහ විභාග කිරීමෙන් අදාල ලියා පදිංචිය ගත යුතු වේ. මේ සඳහා දිගු කාලයක් ගතවේ. එහෙත් මේ ක්‍රමය මග හැර යා නොහැක​. එසේම නිසි ලියාපදිංචියක් නොමැතිව වෛද්‍ය හෝ මනෝ ප්‍රතිකාරයන් හෝ උපදේශනය කල නොහැකිය​. යටත් පිරිසෙන් මාළු ඇල්ලීමට පවා කැනඩාවේ ලයිසන් අවශ්‍ය කෙරේ. එම නිසා ලංකාවේ මෙන් හොර දොස්තරලා , ව්‍යාජ මනෝ චිකිත්සකයන් කැනඩාවේ නැත​. එසේ සිට අසු වුවහොත් ඔවුන් හිරේ යති. 

මා හමුවූ මුල් දිනයේදී මනෝ වෛද්‍ය ගෝරාන්  මගේ අධ්‍යාපන සුදුසුකම් මෙන්ම මා විසින් ලියා ඇති පරියේෂණ පත්‍රිකා කියවා බලා දිග සුසුමක් හෙලා මෙසේ කීවේය​. " ඔබ වැනි කෙනෙක් මේ රෝහලේ මා සමග වැඩ කරනවා නම් මා ඉතා සතුටුයි. එහෙත් කැනේඩියානු ලියාපදිංචිය ලබා ගන්නා තෙක් ඔබට කිසිවක් කරන්නට බැහැ. මම දන්නවා සිස්ටම් එක මෝඩ එකක් එහෙත් නීතිය නීතියයි. නමුත් ඔබ කැමති නම් මා සමග මගේ රෝගීන් නිරීක්‍ෂණය කල හැකියි " 

මෙම වචන ඉඩෝ‍රයට පොද වැස්සක් වූ හෙයින් මම  මනෝ වෛද්‍ය ගෝරාන් සමග රෝගීන් නිරීක්‍ෂණය කිරීමද රෝගීන් සබැඳිව සතිපතා කරන සාකච්ඡාවටද සහභාගි වූයෙමි. මෙකී සාකච්ඡා සඳහා වෛද්‍ය ගෝරාන් ගේ ගෝලයන් වූ වෛද්‍යවරු ගනනාවක් ද සහභාගි වූහ​. 

මෙම සාකච්ඡා වලදී සමහර රෝගීන් ගේ රෝග විනිශ්චය සහ මනෝ චිකිත්සනය ගැන වෛද්‍ය ගෝරාන් මගෙන් අදහස් විමසීම සමහරක් කැනේඩියානු වෛද්‍යවරුන්ට දිරවූයේ නැත​. එක් කැනේඩියානු වෛද්‍යවරයෙක් නුඹ ශ්‍රී ලංකාවේ වෛද්‍යවරයෙක් නේද කියා අසා අණතුරුව නුඹට තිබෙන්නේ අපට මෙන් පළවන ලෝකයේ වෛද්‍ය උපාධියක් නොව තුන්වන ලෝකයේ වෛද්‍ය උපාධියක් බව සමච්චල් සහගතව කීවේය​.  ඔහු සහමුලින්ම වැරදිය​. මට තිබුනේ සෝවියට් වෛද්‍ය උපාධියකි. ඒ කාලයේ සෝවියට් දේශය පළවන ලෝකයේ රටක් විය​. එහෙත් මම ඔහු සමග වාදයට නොගියෙමි.

ඉන්පසු කිහිප විටක් ඔහු සහ ඔහුගේ සහචරයන් තුන්වන ලෝකයේ වෛද්‍ය පීඨවල තිබෙන අඩු ගුණත්වක තත්වයන්, අඩු පහසුකම් ගැන ව්‍යාජෝක්තියෙන් මා ඉදිරියේ කියවමින් සිටියද ඔවුනට පාළනය කර ගත නොහැකි වූ  Bipolar Affective Disorder   තත්වයෙන් පෙළුණූ රෝගී කාන්තාවක පෙන්වූ චණ්ඩ හැසිරීම් ස්වභාවය  පාළනය කල යුතු අන්දම මා විසින් පෙන්වා දීමෙන් පසු ඔවුන් මනා සේ වෘත්තීය ගරුත්වයකින් හැසුරුනහ. 

එය සිදු වූයේ මෙලෙසය​. අදාල රෝගී කාන්තාව රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ඇයගේ රෝගී තත්වයේ වෙනසක් සිදු නොවීය​. ප්‍රති මනෝව්‍යාධික ඖෂධ වලට පවා ඇයගේ කලහකාරී හැසිරීම පාළනය  කිරීමට නොහැකි විය​. ආහාර ගෙන එන විට ඇය ආහාර බඳුන් වලින් හෙදියන්ට පහර දුන්නාය​. 

මේ නිසා අසරණ වූ හෙදියන්ට මම ක්‍රමවේදයක් සකස් කොට දුන්නෙමි. ඇයට ආහාර ගෙන යන විට ඇය ඉදිරියට නොගොස් වම් හෝ දකුණු පැත්තෙන් ගොස් ආහාර දීමද , ආක්‍රමණශ්‍රීලී හැසිරීම නිශේදනයට ඇයට විශාල ටෙඩි බෙයා කෙනෙකු දීමටද මම නිර්දේශ කලෙමි. 

මෙලනී ක්ලයින් විසින් ඉදිරිපත් කරන ලද ඔබ්ජෙක්ට් රිලේශන්  න්‍යාය සිතෙහි දරාගෙන මෙම කාන්තාව චණ්ඩ හැසිරීම් පෙන්වන්නේ අනුගත කිරීමට විෂය වස්තුවක් නොමැති නිසා බව මම උපකල්පනය කලෙමි. මගේ අනුමාන නිවැරදි කරමින් උක්ත කාන්තාව ටෙඩි බෙයා ලබා දීමෙන් පසු ශාන්ත වූවාය​. සතිපතා කරන සාකච්ඡාවේදී මෙම සිද්ධිය ප්‍රධාන හෙදිය විසින් අනෙකුත් වෛද්‍යවරු ඉදිරියේදී මා පසසා පවසන ලද හෙයින් තුන්වන ලෝකයේ වෛද්‍ය උපාධි ගැන නින්දා සහගත කතා කියූවන් නිහඞ වූහ​. 

මේ අතර කාලයේදී මම මගේ EMDR මනෝ ප්‍රතිකාර ලියාපංචිය ලබා ගැනීම සඳහා කටයුතු කලෙමි. ඇමරිකාවේ ෆිලඩෙල්ෆියාහි EMDR නේවාසික පුහුණුව ලැබීමෙන් පසු මම ඇමරිකානු EMDR ලියාපදිංචියට ඉල්ලුම් කොට තිබුනි. මේ අනුව මූලික ලේඛනයන් ලබා දී තිබූ නිසා කැනේඩියානු EMDR ලියාපදිංචිය වඩාත් වේගවත් විය​. 

මේ සමයේදී  Bipolar Affective Disorder  ලෙසට රෝග නිර්ණය කොට තිබූ ඖෂධ ප්‍රතිකාර වලට ප්‍රතිරෝධය පෙන්වන ලද මහළු කාන්තාවකට මනෝ ප්‍රතිකාර ලබා දිය හැකිදැයි වෛද්‍ය ගෝරාන් මගෙන් ඇසීය​. මේ සඳහා වෛද්‍ය ගෝරාන්   ඔහු යටතේ පූර්ණ ආවරණය ලබා දීමට එකඟ වූ අතර ඉන් නීතිමය ගැටළුවක් නොවූ හෙයින් මම ඔහුගේ අධීක්‍ෂණය යටතේ මනෝ චිකිත්සනය කිරීමට එකඟ වූයෙමි. 

මෙම කාන්තාව හිටි හැටියේම මනෝ ව්‍යාධික ලක්‍ෂණ පෙන්වමින් නිවසින් පැන යාමට උත්සහ කලාය​. මධ්‍යම රාත්‍රියේදී සිහිනෙන් බිය වීම​, පියයුරු පිළිකා කෙරෙහි තිබූ අසීමිත බිය​, පියයුරු පිළිකා පිලිබඳ සඟරා , පත්තර වල යන විස්තර ග්‍රස්තීය ලෙස එකතු කිරීම​, රාත්‍රියේදී නින්දෙන් නැගිට රෝහලට / සායන වලට යාමට තැත් කිරීම​, විශාදය සහ තදබල කාංසා ලක්‍ෂණ ඇය කෙරෙන් දිස් වූවාය​. 

පුරා වසර දහයකට අධික කාලයක් ඇයට ඖෂධ ප්‍රතිකාර ලබා දී තිබූ නමුදු ඇයගේ තත්වයේ වෙනසක් නොවීය​. මේ නිසා අසරණභාවයට පත් වූ වෛද්‍යවරු සතිපතා ඇයට ECT හෙවත් විද්‍යයුත් කම්පන චිකිත්සාව ලබා දුන්හ​. එහෙත් එයද එතරම් සාර්ථක ප්‍රතිඑල ගෙන නොදුන්නේය​. මේ නිසා ඇයගේ දරුවන් සිටියේ ඉතා කඩා හැලුනු මානසිකත්වයෙනි. මාව ඔවුන්ට හඳුන්වා දීමෙන් පසු මම සතියකට වරක් ඇය නිරීක්‍ෂණය කිරීමේ අවසරය ඔවුන් ගෙන් ලබා ගත්තෙමි. එහෙත් ඔවුනට මා කෙරෙහි එතරම් බලාපොරොත්තු තිබුනේ නැත​. 

මෙම  කාන්තාවගේ රෝගී ඉතිහාසය මම මුල සිටම අධ්‍යනය කලෙමි. වෛද්‍ය ගෝරාන්ට පෙර සිටි වෛද්‍යවරු විසින් ඇයට සිදු කල ප්‍රතිකාර ඔවුන් ගේ නිරීක්‍ෂණ මම රෙකෝඩ් කාමරයෙන් ලබාගෙන කියවූයෙමි. එසේම මෙම කාන්තාව සමග ප්‍රතිකාරාත්මක සබඳතාවක් ගොඩ නගා ගෙන ඇයව නිරීක්‍ෂණය කලෙමි. 

මා විසින් කරන ලද අධ්‍යනයකින් පසුව මට පෙනී ගියේ මීට දස වසරකට පෙර ඇයගේ රෝග නිර්ණය කරන ලද වෛද්‍යවරයාට වැරදීමක් සිදුවී තිබෙන බවය​. ඇයට ද්වී ධැව විශාදය හෙවත් Bipolar Affective Disorder තත්වය තිබෙන බව කීවද මුල් කාලයේ සිටම ඇයට තිබී ඇත්තේ PTSD හෙවත් පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවයේ ලක්‍ෂණය​. නමුත්  පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවයෙන් පෙලෙන රෝගීන් ගෙන් 16 % අතර ප්‍රමාණයක් සයිකෝසියා ලක්‍ෂණ පෙන්වති මෙයට කියන්නේ කෙස්ලර් සංසිද්ධිය කියාය​. සයිකෝසියා ලක්‍ෂණ මෙන්ම විශාදයේ ලක්‍ෂණ නිසා ඇයට ද්වී ධැව විශාද ලේබලය දෙන ලදි. ගතවූ කාලය පුරා මේ ලේබලය මත ඇයට ප්‍රතිකාර ලබා දී ඇත​. 

පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවයේ ලක්‍ෂණ සමග සයිකෝසියා ලක්‍ෂණ පෙන්වන රෝගීන් බොහෝ විට ද්වී ධැව විශාද  රෝගීන් ලෙස හෝ භින්නෝන්මාද රෝගීන් ලෙසට වර්ගීකරණය වෙති. 

මෙහිදී මට 2003-2004 කාලයේදී විශේෂඥ මනෝ වෛද්‍ය මහාචාර්‍ය අසෝක කුරුප්පු ආරච්චි මහතා විසින් භින්නෝන්මාද රෝගියෙකු ලෙස රෝග නිර්නය කරන ලද සොල්දාදුවා මතකයට නැගේ. මේ සොල්දාදුවාට මොනරු කෑගසන ශබ්දය සමග වෙඩි හඞ ඇසුනේය​. මෙය හෙවත් ශ්‍රවණ භ්‍රාන්තියක් ලෙස සැලකූ මහාචාර්‍ය අසෝක කුරුප්පු ආරච්චි ඔහු භින්නෝන්මාදයෙන් පෙලෙන බවට තීරණය කලේය​. එහෙත් විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා මෙම රෝග නිර්ණය සැක කරමින් මනෝ විද්‍යාත්මක තුලනීක්‍ෂණයක් කිරීම සඳහා එම සොල්දාදුවාව මා වෙත එව්වේය​. මේ රෝගියා ගේ රෝග ඉතිහාසය අධ්‍යනය කිරීමෙන් පසු අපට පෙනී ගියේ මේ සොල්දාදුවාට ඇසුනු මොනරු කෑගසන ශබ්දය සමග වෙඩි හඞ ශ්‍රවණ භ්‍රාන්තියක් නොව පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය සමග බැඳුනු ප්‍රතිජ්චලනයක් (Flashback)  බවයි. 

මෙම කාන්තාව ගේ රෝග  විනිශ්චය පිලිබඳ තිබෙන කුකුස මම වෛද්‍ය ගෝරාන්ට මගේ නිරීක්‍ෂණයන් සමග කීවෙමි. ඔහු මට හොඳාකාරව සවන් දුන්නේය​. මගේ අදහස අනුව මේ කාන්තාව පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවයෙන් පෙලෙන බවත් ඇය තුල කෙස්ලර් සයිකෝසියා ලක්‍ෂණ පවතින නිසා ඇයට EMDR මනෝ ප්‍රතිකාරය  උචිත බව පෙන්වා දුන්නෙමි. මගේ යෝජනාවට වෛද්‍ය ගෝරාන් එකඟ විය​. 

මේ අනුව මනෝ වෛද්‍ය ගෝරන් ගේ අධීක්‍ෂනය යටතේ මම මනෝ ප්‍රතිකාරය ඇරඹුවෙමි. ක්‍රමක් ක්‍රමයෙන් ඇය තුල තිබූ පශ්චාත් ව්‍යසන ක්ලමථ ලක්‍ෂණ මෙන්ම ක්ලමථය සමග බැඳුනු සයිකෝසියා ලක්‍ෂණ අඩු වන්නට පටන් ගත්තේය​. එසේම රාත්‍රියට ඇයව පෙළූ දුස්ස්වප්නයන් මැකී යන ලදි. EMDR ප්‍රතිකාරය ඔස්සේ මේ කාන්තාව ලැබූ ප්‍රගතිය ඇයගේ ඥාතීන් මෙන්ම වෛද්‍ය ගෝරාන්වද විශ්මයට පත් කරන ලදි. 

ඇයගේ රෝගී තත්වය වර්ධනය වන්නේ ඇයගේ මව පියයුරු පිළිකාවක් නිසා මරණයට පත් වීමත් සමගය​. එසේම කරන ලද පියයුරු පරීක්‍ෂණයකින් පසු ඇයගේ එක් පියයුරක ගැටිත්තක් වෛද්‍යවරු වරක් අණාවරනය කර ගත්හ​. එහෙත් එය පිළිකාමය තත්වයක් නොපෙන්වන ලදි. කෙසේ නමුත් මේ ක්ලමථකාරී තත්වයන් නිසා ඇය තුල අස්වාභාවික චර්‍යා මතු විය​.  මේ මුළු කාලය පුරා ඇයව ඖෂධ සහ විද්‍යයුත් කම්පන චිකිත්සාවෙන් විවර්‍ෂණය කරන ලද අතර මනෝ ප්‍රතිකාරයන් දීම අතපසු කරන ලදි. එය සාමූහික දෝෂයක් ලෙස  මම දකිමි. 

මනෝ ප්‍රතිකාරයන් භාවිතයෙන්  ඇය තුල අවලෝකනයක් ඇති කිරීම මගින්  පියයුරු පිළිකා කෙරෙහි ඇය තුල තිබූ අනිසි බිය නිශේදනය වූවාය​. මේ නිසා  වසර බොහෝ ගනනකට පසු ඇය තම දරුවන් සහ මුණපුරු මිනිපිරියන් සමග ක්‍රමවත් ලෙසින් සබඳතා පවත්වන්නට වූවාය​. මෙම සායනික ප්‍රගතිය ලබා දීම නිසා ඇයගේ දරුවන් මා වෙත කෘතඥතාව පළ කලහ​.
 
මම මේ කාන්තාවගේ මරණය දක්වා ඇයගේ මානසික සෞඛ්‍යය ගැන සොයා බැලුවෙමි. ඇය මිය ගියේ ඉතා හොඳ සිහියෙනි. ඇය මිය ගොස් සති දෙකකට පමණ පසු ඇයගේ දරුවන් මට ස්තූති පත්‍රයක්  එවා තිබුනි. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

34 comments:

  1. ඔබ වැනි වෛද්‍යවරයෙක් අපිට හා රටට නැතිවිම ඉතා කනගාටුදායකයි.

    ReplyDelete
    Replies
    1. ජීවිතය යනු ගංගාවක් ගලාගෙන යනවා අසංග

      Delete
  2. මෙහෙ තියෙන ගුරු කුල, බමුණු කුල අඩු නැතිව පලවෙනි ලෝකයේත් තියෙනවා එහෙනම්.

    ReplyDelete
    Replies
    1. අපේ තරම් දරුණුවට නැතත් යම් ප්‍රමානයකට තිබෙනවා

      Delete
  3. ආඩම්බරයි ඔබ ගැන!
    //මෙම කාන්තාව හිටි හැටියේම මනෝ ව්‍යාධික ලක්‍ෂණ පෙන්වමින් නිවසින් පැන යාමට උත්සහ කලාය​. මධ්‍යම රාත්‍රියේදී සිහිනෙන් බිය වීම​, පියයුරු පිළිකා කෙරෙහි තිබූ අසීමිත බිය​, පියයුරු පිළිකා පිලිබඳ සඟරා , පත්තර වල යන විස්තර ග්‍රස්තීය ලෙස එකතු කිරීම​, රාත්‍රියේදී නින්දෙන් නැගිට රෝහලට / සායන වලට යාමට තැත් කිරීම​, විශාදය සහ තදබල කාංසා ලක්‍ෂණ ඇය කෙරෙන් දිස් වූවාය​//

    කතාකාරයෙක් සහ මනෝ වෛද්‍යවරයෙක් වන රුවන්ට කෙටි කතාවක් ලියන්න හොඳ ප්ලොට් එකක්.

    ReplyDelete
    Replies
    1. /////කතාකාරයෙක් සහ මනෝ වෛද්‍යවරයෙක් වන රුවන්ට කෙටි කතාවක් ලියන්න හොඳ ප්ලොට් එකක්.////////

      ඒක නම් ඇත්ත. දිග කතාවක් ලියන්නත් හොදයි වගේ.

      Delete
    2. මම මනෝ වෛද්‍යවරයෙක් නොව මනෝ චිකිත්සකයෙක්මි, එම නිසා මනෝ චිකිත්සක මාර්ගයන් මගින් මානසික රෝගීන් ගේ රෝගී තත්වයන් අඩු කල හැකි බවට විස්වාස කරමි

      Delete
  4. අනේ අර අපිට ඔක්කොම දියව්, නැත්නම් අපි යනවා රට කියන අපේ ළිං මැඩියො ටික ඔහේට ගෙන්න ගන්න බැරිද?

    රෝග හරියට අඳුනා ගන්නෙ නැතිව වැරදි ප්‍රතිකාර ලබා දෙන අවස්තා කොච්චරද?

    ReplyDelete
    Replies
    1. ළිං මැඩියො ටිකට මෙහෙ වැඩ කිරීමට අපහසු වෙයි ආකල්ප එක්ක

      Delete
  5. ඔබේ ලිපි කියවන හැම විටම ඔබ මගේ රටට අහිමිවීම ගැන දුක් වෙමි .

    ReplyDelete
    Replies
    1. මම වසර 16 ක් ලංකාවට සේවය කලා ටීචර් , නමුත් අපේ කුසලතා රට යොදා නොගැනීමත් , ලංකාවේ පවතින කුහක ගුරු කුල, බමුණු කුල නිසාත් මට හිතුනා තව දුරටත් ලංකාවේ සිටීම එලදායකද කියා

      Delete
  6. ඔබ ගැන සතුටුයි. අපේ රටේ සිටියානම් ඔබතුමාටත් චැනල් කාක්කෙක් වෙන්නම වෙනවා.

    ReplyDelete
    Replies
    1. පරිසරය අනුව මිනිසුන් වෙනස් වෙනවා නේද

      Delete
  7. ඔය චැනල් කිරීම සහ චැනල් කියන වචනය කොහෙන්ද ඇවිල්ල තියෙන්නෙ?
    එංගලන්තෙන් වෙන්නැති ඉතින්, හැබැයි එහෙත් දැන් නැතිව ඇති මයෙ හිතේ චැනල් කිරිල්ල.
    (අදාල නැතිනම් සමා වෙන්න)

    ReplyDelete
    Replies
    1. ඔය චැනල් කිරීම සහ චැනල් කියන වචනය මුදල් එක්ක (මරාගෙන කෑම ) සමග සම්බන්ධ නෑ

      Delete
  8. කබර හමක්....! ආඩම්බරයි ඩොක්.
    ජයවේවා..!!

    ReplyDelete
  9. අපේ රටේ නිසි අවධානයක් නොලැබුණු මානසික රෝගීන් කොපමණ ඇද්ද?

    GMOA එක මොකද ලොකු උද්ඝෝෂණයක් නොකරන්නේ, ලෝක සෞඛ්‍ය සංවිධාන මූලස්ථානය ඉදිරිපිටට ගිහින්, අපිට තියෙන්නේ තුන්වැනි ලෝකයේ වෛද්‍ය උපාධියක් නෙවෙයි කියලා?

    ReplyDelete
  10. Well done machan!

    සාමාන්‍ය මිනිසුනට මාළු බාන්නත් ලැයිසොමක් ඕනිද?

    ReplyDelete
    Replies
    1. Thanks

      සාමාන්‍ය මිනිසුනට මාළු බාන්නත් ලැයිසොමක් ඕනිද? yes

      Delete
  11. දක්ෂතාවයත් නිසි අධ්‍යාපනයත් හොඳ ආකල්පත් කැපවීමත් වෘතීයමය භාවය වැනි දේත් එකතු වුනාම තමයි ඔබ වැනි විශිෂ්ටයෝ බිහි වෙන්නේ. ඔබේ ලියවිලි කියවීමට ලැබීම ම සතුටක්.

    ReplyDelete
  12. මනසට බෙහෙත් කරන්න ඔබට තියන ඉවසීම..ලෝකේ කොහේ හරි කෙනෙක් එයින් ඵල ලබනවා නම් එයයි වටින්නේ රුවන්...

    ReplyDelete
  13. අනේ අපේ රටට ඔබ වැනි අය නැතිවීමේ පාඩුව. වෛද්‍ය තුමණි, ඔබේ මෙහෙවර අගයන්න කිසිදා හැකිවේවිද අපට?

    ReplyDelete
  14. Doc Ruwan ,honestly I have a great regard for you not only as a doc but I appreciate your capacity to talk(or write) about areas which are normally beyond the scope of a medical practitioner too.You yourself have understood that today our youth are sadly lacking world knowledge thus fall easy prey to various movements with their own agendas.You as a person sensitive to such issues as well as a person who has a "voice" due to your professional status can play a vital role.We know that some people who are associated in the field of medicine in Sri Laknka have become household names and they give the final words in many matters(Whether with good intention or not) and they do make an impact on the general public.Our country needs people like you most today.Do you have a very strong reason to be permanently to be away from Sri Lanka.(Sorry if I look like too prying)

    ReplyDelete
  15. ලංකාවේ සිටින මනෝ විශ්ලේෂකයන් හැසිරෙන්නේ මිනිසුන්, විශේෂයෙන් තමන්ගේ දේශපාලන සතුරන්, සිතන සෑම සිතුවිල්ලක ම හේතුව හා ඵලය ඔවුන් අතැඹුලක් සේ දන්නවා සේ ය.

    එහෙත්, එකී මනෝ විශ්ලේෂකයන් වැඩි දෙනෙකු මේ වන විට මානසික රෝගීන් හෝ විකාරකාරයන් වී තිබෙන බව ඔවුන් ලියන දේවලින් පෙනේ. මෙය වැඩිපුරම නිරූපණය වන්නේ ප්‍රබන්ධ සාහිත්‍යයේ ය.

    එවැනි සංදර්භයක් තුළ ඔබගේ ලේඛනය ලංකාවේ සමාජයට අතිශය වැදගත් මැදිහත් වීමකි.

    ReplyDelete
    Replies
    1. පැරා, ලංකාවේ විශ්ලේශකයන් බොහෝ දෙනෙකු උඩින්පල්ලෙන් අතගානවා විධිමත් පුහුණුවක් දැණුමක් නොමැතිව. නමුත් ඒ අදහස් වූවත් ගැටීමට ඉඩ සැලසීම කමක් නැහැ කියන එකයි මගේ අදහස

      Delete
  16. වචන ටිකක් එක්ක යමක් ඉගෙන ගත්ත රුවන්.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook