Thursday, November 3, 2016

මනෝ විද්‍යාත්මක උපදේශනය සහ මනෝ ප්‍රතිකාරය - ශ්‍රී ලාංකික සහ උතුරු ඇමරිකානු අත්දැකීම්


මනෝ විද්‍යාත්මක උපදේශනය වෛද්‍ය ප්‍රතිකරයේදී අවශ්‍ය කෙරෙන ඉතා වැදගත් සාධකයකි. මධ්‍යකාලීන වෛද්‍යවරයෙකු වූ අවිසෙන්නා රෝගීන් උදෙසා මුලින්ම වචනයත් දෙවනුව බෙහෙත් පැලෑටියත් තෙවැනුව ශල්‍ය සැතත් භාවිතා කරන ලෙස කීවේය. එසේම සිග්මන් ෆ්‍රොයිඩ් , කාල් යුං , ඇල්බට් එලිස්, මාටින් සෙලිග්මාන් යන මනෝ විද්‍යාඥයන් වෛද්‍ය ප්‍රතිකාරයේදී  Talking Therapy හෙවත් භාෂණ  ප්‍රතිකාරයේ වැදගත්කම අවධාරණය කරන ලදි. කෙසේ නමුත් ලංකාවේ වෛද්‍ය ප්‍රතිකාර වලදී භාෂණ ප්‍රතිකාරය / උපදේශනය යොදා ගන්නේ ඉතා අවම අයුරිනි. මෙය ඉතා ගැටළු සහගත තත්වයකි.  රෝගී සත්කාරයේ අඩුවකි. 

ලංකාවේ වෛද්‍යවරයෙකු ලෙස සේවය කරන කාලයේදී දිවි නසා ගැනීමට තැත් කොට රෝහල් ගතවූ රෝගීන් බොහෝ දෙනෙකු කිසිම උපදේශනයක් නොලබන බවත් ඔවුන් ලබන්නේ ඖෂධ ප්‍රතිකාර පමණක් බවත් මම දුටුවෙමි. සමහර අවස්ථා වලදී වස පානය කොට රෝහල් ගතවී ඖෂධ ප්‍රතිකාර ලැබ සුව වී ඉන් පසු යලිත් වරක් දිවි හානි කර ගැනීම සඳහා වස බී රෝහලට එන රෝගීන් මේ කාලයේදී මා විසින් දුටු බව කිව යුතුය​. මෙම රෝගීන් සඳහා ක්‍රමවත් උපදේශ සේවාවක් රෝහල් තුල තිබුනේ නම් මෙම ව්‍යසන වලක්වා ගැනීමටත් ප්‍රතිකාර සඳහා වියදම් කෙරෙන මුදල් අවම කර ගැනීමට හැකිවන බවත් මගේ සිත කීවේය​. 

වරක් මාතලේ රෝහලේදී කකුල කපා දැමීමට නියමිතව සිටි රෝගියෙකුට එම නරක පුවත සන්නිවේදනය කරනු ලැබුවේ මෙසේය​. " හෙට ඔහේගෙ කකුල කපනවා අද රෑ දහයෙන් පස්සේ මොකුත් කන්න බොන්න එපා" එපමණකි. මෙය සන්නිවේදනය කලේ කවරෙක්ද කියා මගෙන් නොඅසන්න. එම කෙටි වදන් ඇසීමෙන් පසු රෝගියා වැළපුනු අයුරු මට තවමත් මතකය​. එහෙත් ඔහුගේ පීඩනය අඩු කිරීමට උපදේශන සේවාවක් රෝහලේ නොවීය​. 

ශල්‍යකර්ම සඳහා නියමිත රෝගීන් තුල බරපතල ක්ලමථයක් වර්ධනය වේ. සමහර විට ශල්‍යකර්මය කරන දිනයේදී ඔවුන් ගේ රුධිර පීඩනය ඉහල ගොස් ඇතැම් විට ශල්‍යකර්මයද  කල් දැමීමට සිදුවූ අවස්ථා තිබේ. මෙකී රෝගීන් මෙන්ම  බරපතල රෝගාබාධ වලින් පෙලෙන රෝගීන් , ඝර්භිනී සංකූලතා ඇති රෝගීන් ,සුරාධූර්ත්වය නිසා රෝහල් ගත වන රෝගීන් යනාදී වශයෙන් විවිධ රෝගාබාධ වලින් පෙලෙන පුද්ගලයන් අපගේ රෝහල් තුලදී කිසිදු මනෝ විද්‍යාත්මක උපදේශනයක් නොලබන අයුරු මම  ප්‍රත්‍යක්‍ෂ කලෙමි. 

ලංකාවේ වෛද්‍යවරු බොහෝ දෙනෙකු රෝගීන් සමග ප්‍රතිකාරාත්මක සන්නිවේදනයේ නොයෙදෙන බව රෝගීහු බොහෝ දෙනෙකු පැමිණිලි කරති. මෙය අසත්‍යක් නොවේ. බාහිර රෝගී අංශයේ සේවය කල කාලයේදී  රෝගීන් ගේ මුහුණවත් නොබලා ඔවුන් ගේ රෝගී විස්තර නොඅසා බෙහෙත් තුංඩු ලියූ දොස්තර මහත්තුරු දොස්තර නෝනලා මම දැක තිබේ. එසේම සමහර වෛද්‍යවරුන් ගෙන් බෙහෙත් ගැනීමට පෙර ඔවුන් සමග යෙදෙන ප්‍රතිකාරාත්මක සන්නිවේදනයෙන් රෝගීන් ගේ රෝගාබාධ තත්ව ඒ හා බැඳි ක්ලමථයන් අවම වී ගිය බව රෝගීන් කියනුද මම අසා තිබේ. 

ප්‍රතිකාරාත්මක සන්නිවේදනයෙන් රෝගීන්ට සුව ලැබූ අවස්ථාවන් ගැන විශේෂඥ කායික වෛද්‍ය සුනිල් සෙනෙවිරත්න මහතා විසින් සිදු කරන ලද නිරීක්‍ෂණ පිලිබඳව ලිපියක් මම කියවූයෙමි. එය මට විශාල අවලෝකනයක් ගෙන දුන්නේය​. 

වෛද්‍ය ප්‍රතිකාරයේදී රෝගීන්ට උපදේශනය නොලැබීම බලවත් අඩුපාඩුවකි. මෙම අඩුපාඩුව වලකනු වස් 1999 වසරේදී මම විශේෂඥ ශල්‍ය වෛද්‍ය ඩී.ඩබ් වීරසූරිය මහතා සමග එක්වී  උතුරු කොලඹ මහ රෝහලේදී  එතුමාගේ වාට්ටුවේදී රෝගීන්ට මනෝ විද්‍යාත්මක උපදේශනය ලබා දුන්නෙමි. අප මනෝ විද්‍යාත්මක උපදේශන ප්‍රතිකාර ලබා දුන් ප්‍රථම රෝගියා වූයේ දුම්රියකට අසුවී පාදය අහිමි වූ නව යොවුන් වියේ සිසුවෙකුටය​.  උපදේශන ප්‍රතිකාර මගින් රෝගියාගේ රෝගී තත්වය අවම වී යාම මෙන්ම සුව වීම වේගවත් වන බව අප නිරීක්‍ෂණය කලෙමු. කෙසේ නමුත් මෙවැනි මනෝ විද්‍යාත්මක උපදේශන ක්‍රමවේදයක අවශ්‍යාතාවය හඳුනා නොගත් උතුරු කොලඹ මහ රෝහලේ රෝහල් බලධාරීන් මෙම ප්‍රතිකාර ක්‍රමය රෝහලේ ප්‍රචලිත කිරීමට සහයක් නොදුන්හ​. එම නිසා අපගේ වෑයම උපන් ගෙයිම මිය යන ලදි 

 2002 වසරේදී විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා සමග එක්වී මම කොලඹ යුද හමුදා රෝහලේ මනෝ විද්‍යාත්මක උපදේශන ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ආරම්භ කලෙමි. උපදේශන මනෝ ප්‍රතිකාරයන් වෛද්‍ය ප්‍රතිකාර සමග මුහු කිරීම මගින් රෝගීන් ගේ ප්‍රතිකාරාත්මක ගුණත්වය ඉහල ගිය අයුරු පැහැදිලිවම දැක ගැනීමට හැකි විය​. මේ නිසා මෙම මධ්‍යස්ථානය දිනෙන් දින ජනප්‍රිය වූ අතර යුද හමුදා රෝහලේ විශේෂඥ  වෛද්‍යවරු වූ වෛද්‍ය නිමල්කා ආරියරත්න , වෛද්‍ය මොරීන් විජේවර්ධන , වෛද්‍ය එස් එස් ජයරත්න , වෛද්‍ය එම් මුතුමාල , වෛද්‍ය තිස්ස විජේරත්න , වෛද්‍ය එස් ඩී කරුණාරත්න, වෛද්‍ය සංජීව මුණසිංහ යන මහත්ම මහත්මීන්  අපට රෝගීන් යොමු කලහ​. පසු කාලීනව ජාතික රෝහලේ මෙන්ම අනෙකුත් ප්‍රධාන රෝහල් වලින්ද මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර උදෙසා සොල්දාදුවන් මෙම ඒකකයට යොමු කෙරිනි. 

මෙම කාලයේදී මනෝ විද්‍යාත්මක උපදේශනය රෝහල් වල වඩාත් ප්‍රචලිත කිරීම සඳහා මම පොත් කිහිපයක් ලියුවෙමි. ඒ අතර මනෝ විද්‍යාත්මක උපදේශනය (විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය​) ප්‍රතිකාරාත්මක උපදේශනය (විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය​) උපදේශනය සහ මනෝ ප්‍රතිකාරය ( සරසවි ප්‍රකාශකයෝ) . The Text Book of Psychological Counselling (සර්වෝදය  විශ්ව ලේඛා ප්‍රකාශකයෝ ) ප්‍රධාන වේ. 

2004 සුනාමි ව්‍යසනයේදී කොලඹ යුද හමුදා රෝහලේ මනෝ විද්‍යාත්මක උපදේශන ප්‍රතිකාර මධ්‍යස්ථානය විශේශ කාර්‍යභාරයක් කරන ලදි .  සුනාමි ව්‍යසනය නිසා මානසික  ගැටළු වලට ලක්වූ සොල්දාදුවන් විශාල ප්‍රමානයකට මෙම උපදේශන ප්‍රතිකාර මධ්‍යස්ථානය මගින් ප්‍රතිකාර ලබා ගැනීමට හැකි විය​. මනෝ ප්‍රතිකාර අතර ලංකාවට අලුතින් හඳුන්වා දුන් EMDR ප්‍රතිකාරයද මෙම මධ්‍යස්ථානයේ දී රෝගීන් උදෙසා යොදා ගන්නා ලදි. 

කොලඹ යුද හමුදා රෝහලේ වසර හතරක් පමණ ඉතා සාර්ථකව ක්‍රියාත්මක වූ මනෝ විද්‍යාත්මක උපදේශන ප්‍රතිකාර මධ්‍යස්ථානය  ඉරිසියාව සහ කුහක කම හිසට ගැසූ එක් අණදෙන නිලධාරියෙකු විසින් බොහෝ බාධා පමුණුවා අවසානයේදී එය වසා දමන ලදි. මේ අකටයුත්තට එදිරිව රාවය පුවත්පතේ තිඹිරියාගම බණ්ඩාර මෙන්ම සන්ඩේ ඔබ්සවර් පුවත් පතේ මාධ්‍යවේදීන් උද්ඝෝෂණය කල මුත් වගකිව යුත්තෝ අඳ ගොළු බිහිරි වෙමින් සොල්දාදුවන්  රැසකට සෙත සැලසූ  උපදේශන ප්‍රතිකාර මධ්‍යථානය යළි විවෘත කිරීම සඳහා ඉදිරිපත් නොවූහ​. 

 මින් අධෛර්‍යමත් නොවූ මමත් විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතාත් එවකට සෞඛ්‍යය අමාත්‍යාංශයේ මානසික සෞඛ්‍යය  අධ්‍යක්‍ෂිකා වූ වෛද්‍ය හිරන්තී ද සිල්වා මහත්මියගේ උපකාරයෙන්  මානසික වෛද්‍ය නිලධාරීන් සඳහා උපදේශන පුහුණුව ලබා දුන්නෙමු. මේ කාලයේදී අප දිවි නසා ගැනීමේ චර්‍යාව සහ උපදේශනය / විශාදය සහ උපදේශන ප්‍රතිකාරය යන පොත් දෙක ලියා තිබූ අතර  එම පොත් භාවිතයෙන් අප පුහුණුව කරගෙන ගියෙමු. එසේම වෛද්‍යවරුන් සඳහා උපදේශන පුහුණුව  ලබා දීම මගින් දිවි නසා ගැනීම වැනි ගැටළු සඳහා රෝහල් මට්ටමින් උපදේශන ප්‍රතිකාර ලබා දීමට අපට හැකි විය​. එසේම බොහෝ ප්‍රධාන රෝහල් වල අප විසින් උපදේශන පුහුණුව ලැබූ වෛද්‍යවරු  සේවය කලහ​. මේ නිසා රෝහල් මට්ටමින් ප්‍රගතියක් අත්පත් කර ගැනීමට අප සමත් වූයෙමු. 

එහෙත් විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා විශ්‍රාම යාමෙන් පසු සහ මා විදේශගත වීමෙන් පසු මෙම වැඩ පිලිවෙල අඩාල වූ බව මට දැනගන්නට ලැබුනි.  එය ශ්‍රී ලංකාව වැනි රටවල දක්නට ලැබෙන තත්වයකි. එය තුන්වන ලෝකයේ මනෝභාවයයි. කෙසේ නමුත් අළුත් පරම්පරාවේ දුර දක්නා නුවන ඇති යම් වෛද්‍යවරයෙකු විසින් අප විසින් පැළ කරන ලද මෙම ගස තවත් පෝෂණය කොට එහි එල ජනතාවට ලබා දීමට ක්‍රියා කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි. එය ජාතික අවශ්‍යාතාවයකි. 

ශ්‍රී ලංකාවේ වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමය තුල මනෝ විද්‍යාත්මක උපදේශනය ප්‍රචලිත  කිරීමේලා අප පුරෝගාමීන් වූයෙමු. එහෙත්  මේ සියල්ල අප කලේ  බොහෝ බාධක , බෙලි කැපිලි , ඉරිසියා ප්‍රහාර , කුහකකම් වලට මුහුණ දෙමිනි. 

මානසික සෞඛ්‍යය අධ්‍යක්‍ෂකවරියගේ නිර්දේශයෙන් වරක් මහරගම පිළිකා රෝහලේ උපදේශන මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට අප තැත් කල නමුදු එවකට පිළිකා රෝහලේ සිටි අධ්‍යක්‍ෂකවරයා ඊට නිසි අනුග්‍රහයක් දැක්වූයේ නැත​. පසු කාලයක මෙම පුද්ගලයා පිළිකා රෝහලට එතරින් ලැබුනු මුදල් ආධාර තමාගේ නමින් බැංකුවක තැන්පත් කිරීම සඳහා චෝදනා ලැබ වැඩ තහනමට ලක් විය​. තම තමන් ගේ පුද්ගලික න්‍යය පත්‍රයන් තිබූ නිලධාරීන් සමගද අපට අරගල කිරීමට සිදු විය​. 

තවද  මනෝ විද්‍යාත්මක උපදේශනය ව්‍යාපාරයක් කර ගනිමින් ව්‍යාජ මනෝ විද්‍යා සුදුසුකම් පෙන්වමින් ජනතාව රැවටූ සක්විතීන්ලාද අපට එරෙහිව අවි ගත්තේ අපගේ ක්‍රියාවලිය නිසා ඔවුන් ගේ බඩට පහර වැදුනු බැවිනි. මෙවැනි එක් වංචාකාරයෙකු ගැන බ්ලොග්  රචක අජිත් පැරකුම් ජයසිංහ මහතා සටහනක් තබා තිබේ. එය මෙතැනින් කියවිය හැක​. http://www.w3lanka.com/2010/07/prof-ds-ranawaka-and-sri-lanka-national.html

එක් පුද්ගලයෙකු තමා මනෝ විද්‍යඥයෙකු බවට හඳුන්වා දෙමින්  තමන්ට මනෝ විද්‍යාත්මක උපදේශනය පිලිබඳව MICP , FICP යන උපාධි තිබෙන බව පවසා පුන්‍යායතනයක් ලෙස ලියාපදිංචි කරන ලද ආයතනයක් හරහා  උපදේශන ඩිප්ලෝමා සහ උපාධි විකිනීම ආරම්භ කරන ලද අතර පසුව හෙලි වූයේ මෙම MICP , FICP උපාධි සියල්ලම බොරු සහතික බවය​. එහෙත් මෙම පුන්‍යායතනයෙන්  ඩිප්ලෝමා සහ උපාධි මිලට ගත් බොහෝ දෙනෙකු මනෝ විද්‍යා උපදේශක යන බෝඩ් එක ගසාගෙන මානසික සෞඛ්‍යය  පනත උල්ලංඝනය කරමින් මානසික රෝගීන්ට ප්‍රතිකාර කරති. එසේම රට පුරා සිටින හොර දොස්තරලා බොහෝ දෙනෙකු ප්‍රතිකාර ආවරණය සඳහා මෙම පුන්‍යායතනයේ ඩිප්ලෝමා සහ උපාධි යොදා ගනිති. 

එසේම තවත් පුද්ගලයෙක් තමා යුද හමුදාවේ සහ ගුවන් හමුදාවේ බාහිර මනෝ විද්‍යඥයෙකු බවට පුවත් පත් වල දැන්වීම් පළ කරමින් මිනිසුන් මුලා කොට ප්‍රතිකාර කලේය​. මෙම පුද්ගලයා  විසින් කරන එම ක්‍රියාව ගැන  එවකට යුද හමුදා පොලිසියේ උසස් නිලධාරියෙකු වූ ජෙනරාල් අසෝක තෝරදෙනිය මහතා  විසින් ප්‍රශ්න කරන ලදින් ඔහු මෙම දැන්වීම් පළ කිරීම නවතා දමන ලදි. 

වත්තල ප්‍රදේශයේ සිටි තවත් පුද්ගලයෙකු තමන්ට මනෝ විද්‍යාවට ඇමරිකාවේ විශ්ව විද්‍යාලයකින් ආචාර්‍ය උපාධියක් තිබෙන බව කියා රෝගීන්ට ප්‍රතිකාර කිරීමටත් , උපදේශන ඩිප්ලෝමා සහ උපාධි විකිනීමටත් මෙන්ම බොරු සහතික කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයට පෙන්වා මනෝ විද්‍යා දේශකයෙකු ලෙසටද සේවය කලේය​. පසුව කල සොයා බැලීමකදී හෙලි වූයේ මෙම  ආචාර්‍ය උපාධිය ව්‍යාජ එකක් බවය​. 

වර්තමානයේ සමහර පුද්ගලයන්  ඉන්දියාවේ පෙට්ටි කඩ වැනි නාමික විශ්ව විද්‍යාල මගින් මෙන්ම අන්තර්ජාලයේ තිබෙන නාමික විශ්ව විද්‍යාල හරහා මනෝ විද්‍යා ආචාර්‍ය උපාධි මිලට ගෙන මනෝ විද්‍යාඥ / මනෝ උපදේශක ලේබල් යොදාගෙන රෝගීන්ට ප්‍රතිකාර කරති. මේ අකටයුතු අදාල ප්‍රදේශ වල සෞඛ්‍යය වෛද්‍ය නිලධාරීන් සොයා බැලිය යුතු නමුදු මේ වන විට ලංකාව පුරා 45,000 ආසන්න හොර දොස්තරලා තම ජාවාරම්  සාර්ථකව කරගෙන යති. 

මෙලෙස හොර දොස්තරලා / හොර වෙද්දු / එලොවින් ආ ජීවකයන් / කට්ටඞියන් ලාංකික සමාජය තුල  විශාල වශයෙන් පැතිරීම සඳහා වෛද්‍යවරුන් ගේ සන්නිවේදන ඌනතාද බලපෑ බව මම විශ්වාස කරමි. සුදුසුකම් ලත් වෛද්‍යවරුන් ගෙන් නිසි  භාෂණ ප්‍රතිකාරයන් නොලබන රෝගීන් බොහෝ විට කරන්නේ මේ ප්‍රයෝගකාරයන් වෙත ගොස් මුදල් මෙන්ම සෞඛ්‍යයද අහිමි කර ගනිති. තවද මෙම කූටයන් ගේ විවිධ අතවර වලට පත්වූ කාන්තාවන් ද හිඟ නැත​. 

වර්තමානයේ මම උතුරු ඇමරිකාවේ මනෝ විද්‍යාත්මක උපදේශනය සහ මනෝ ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේදය ගැන අධ්‍යනය කරමි. මෙම රටවල උපදේශනය සහ මනෝ ප්‍රතිකාර ඉතා දියුණු අතර රෝගීන්ට නිසි උපදේශනය ලබා දීම වෛද්‍යවරුන් ගේ කාර්‍යභාරයකි. උපදේශනය මෙන්ම භාෂණ ප්‍රතිකාර , පරිපූර්ණ රෝගී සන්නිවේදනය  මෙම රට වල වෛද්‍ය පීඨ වල වෛද්‍ය සිසුන්ට උගන්වනු ලැබේ. එබැවින් ඉතා හොඳ සන්නිවේදනයක් වෛද්‍යවරයා සහ රෝගියා අතර තිබේ. 

නිසි අධ්‍යාපනයකින් සහ පුහුණුවකින් තොරව  උපදේශනය සහ මනෝ ප්‍රතිකාර කිරීම මේ කලාපයේ නීති විරෝධී ක්‍රියාවකි.  උපදේශනය සහ මනෝ ප්‍රතිකාර සඳහා සුදුසුකම් ලෙස පිලිගත් විශ්ව විද්‍යාලයකින් මනෝ විද්‍යාව සඳහා උපාධියක් තිබිය යුතු අතර සායනික පුහුණුවද තිබිය යුතුය​. මේ හැර ඔවුන් The College of Psychotherapists  හි ලියාපදිංචි විය යුතුය​. එසේම එම ලියාපදිංචිය සඳහා පසුබිම් සෝදිසි බොහොමයක් කරනු ලැබේ. 

මා හට කැනඩාවේ උපදේශනය සහ මනෝ ප්‍රතිකාර සඳහා ලියාපදිංචිය ලබා ගැනීමට සායනික පැය දහසකට අධික කාලයක් කැනඩාවේ මනෝ වෛද්‍යවරයන් / මනෝ විද්‍යාඥයන්  ගේ අධීක්‍ෂණය යටතේ වැඩ කිරීමට සිදු විය. ​ මා පිලිබඳව  ඔවුන් ගේ නිරීක්‍ෂණ , නිර්දේශ  ලබා ගන්නා ලදි. අධ්‍යාපන සහතික පරීක්‍ෂාවෙන් සහ  අධීක්‍ෂක වෘත්තිකයන් ගේ නිර්දේශ සහ නිරීක්‍ෂණ වලින් පසුව මට ලියාපදිංචිය ලබා ගත හැකි විය​. 

උපදේශනය සහ මනෝ ප්‍රතිකාර සඳහා ලියාපදිංචිය ලබා ගැනීමෙන් පසුව වාර්ශිකව ප්‍රගතිය පෙන්විය යුතුය​. එසේම අදාල වෘත්තිකයන් ගේ ක්‍රියාකලාපය The College of Psychotherapists විසින් නිරීක්‍ෂණය කරති. යම්කිසි ආචාර ධර්ම කඩ කිරීමක් සිදු වේ නම් විමර්ශනයක් පවත්වා වරදකරු නම් ලියාපදිංචිය අවලංගු කොට එය ඔවුන් ගේ වෙබ් පිටුවේ නම ගම සහිතව පළ කරති. මේ නිසා ලංකාවේ මෙන් ව්‍යාජ සුදුසුකම් යොදා ගනිමින් උපදේශනය හෝ මනෝ ප්‍රතිකාරයන් කිරීමට උතුරු ඇමරිකාවේ ඉඩක් නැත​. එසේ කර හසු වන්නන්ට සිර දඞුවම් නියම වේ. මෙවැනි දියුණු ක්‍රමවේදයක් ලංකාවේ ඇතිවනු දැකීම මාගේ එක් සිහිනයකි. 

මනෝ විද්‍යාත්මක උපදේශනය වෛද්‍ය ප්‍රතිකරයේදී අවශ්‍ය කෙරෙන ඉතා වැදගත් සාධකයක් වූවද බොහෝ කාලයක් පුරා එය ලංකාවේ රෝහල් පද්ධතිය තුල නිසි පරිදි භාවිතා නොකෙරුනි. මනෝ විද්‍යාත්මක උපදේශනය වෛද්‍ය ප්‍රතිකරයේදී භාවිතා කිරීම මගින් රෝගීන්ට ගුණාත්මක ප්‍රතිකාරයක් ලබා දිය හැකිය​. තවද  රෝග නිවාරණයේදී මෙන්ම රෝග මගින් ඇති කෙරෙන සංකූලතා අවම කර ගත  ගැනීමට උපදේශනය යොදා ගත හැක. මනෝ විද්‍යාත්මක උපදේශනය ප්‍රතිකාරාත්මක ක්‍රමවේදයක් ලෙස රෝහල් තුල භාවිතා කිරීම මගින් රෝගීන් සඳහා යන වියදම් අවම කර ගත හැකි වීමද වාසියකි. එම නිසා මේ පිලිබඳව අපගේ සෞඛ්‍යය බලධාරීන් විසින් අවධානය යොමු කරන්නේ නම් මැනවි.


වෛද්‍ය රුවන් එම් ජයතුංග 
























24 comments:

  1. ඩොක්ට. ඔබගේ මෙම අගනා ලිපියට ගොඩක් ස්තුතියි. හැකිනම් මම මේ ලිපිය මගේ අම්මාට පෙන්වමි.

    ඇමෙරිකාවේ පවා කලක් ජීවත් වී ලෝකය දැක සංචාරය කර ජිවිතේ අත්දැකීම් ගොඩක් වින්දත් තමන්ගේ සුළු ලෙඩකට අසනීපයකට නොපෙනෙන බලවේගයකින් තෙලකින් ප්‍රතිකාර හොයන මවගේ එම වැරැද්ද පෙන්වාදීමට කොතෙක් මහන්සි ගත්තත් එය කල නොහැකි විය. දැනුත් පන්සල් කෝවිල් හඳ තරු ගණිත ක්‍රම වෙද්දු මගින් මාගේත් සහෝදරිය ඇතුළු ඇයගේ පවුල ගැන වර්තමානය අනාගතය සොයන ඇයගේ ක්‍රියාකාරකම් වලට නැවතීමේ තිත තැබීමෙන් වැලකී සිටිමි. නමුත් මේ ක්‍රියාකාරකම් දැක අප්පිරියාව නිසාම නිරගමිකයකු වූ මා, දැන් මවට සහ නෑදෑ පරම්පරාවටම (ඒ අයට එසේ පෙනුනාටනම් මට ගැටළුවක් නැත 😃) පෙනෙන්නේ මා මානසික රෝගියකු වශයෙනි.

    ස්තුතියි.

    👍🏽

    ReplyDelete
  2. සුනාමිය / යුද්දේ කාලේ සමහර එන්ජීඕ වලින් කව්න්සලින්(මානසික උපදේශනය?) කරන්න සමාජ සේවකයෝ පුහුණුකරා, දැන් ඒ එන්ජීඕ වලට අරමුදල් එන්නැති නිසා එ් සමහරු බොහොම සාර්ථකව රක්ෂණ නියෝජිතයෝ විදිහට වැඩ කරනවා, මිනිසුන්ගේ හිත දිනාගන්න විදිහට කතා කරන්න උපදේශන පුහුනුව ඉවහල් වුනාලු.

    ReplyDelete
  3. ලංකාව මේ ලිපියෙන් කියනා මට්ටමට දියුණුවීම අපේත් සිහිනයක් තමයි. ඒත් මේවා ගැන ප්‍රතිපත්ති සම්පාදනය කරන ඇමතිලාට, ඉහළම නිලධාරීන්ට මේ ගැන දැනුම නැත්නම් ඩොක්ටලා වගේ අයවත් මේවට මුල් උනොත් හොඳයි නේද.

    ReplyDelete
    Replies
    1. අපි අපේ භූමිකාව කෙරුවා ;දැන් අලුත් පරම්පරාව අපෙන් ගිලිහුනු බැට්න් එක අරගෙන ඉදිරියට යා යුතුයි

      Delete
  4. මං දන්න දෙන්නෙක් ඉන්නවා මානසික උපදේශනය කරන මං මේ කාවහරි හොද දෝස්තර කෙනෙක් හොයා ඉන්නේ ඒ දෙන්නව පෙන්නන්ඩ

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. රජයේ රෝහලක මානසික වෛද්‍යවරයා හමුවී උපදේශනය අවශ්‍ය බව කියන්න​. බොහෝ වෛද්‍යවරු දැන් උපදේශනය තරමක් හෝ දුරට හදාරලා තියනවා

      Delete
  5. උතුරු කොළඹ මහ රෝහල කිව්වේ ෆේම්ස් රාගම රෝහල වෙන්ඩ ඇති.. එතන ඉන්න බහුතරයක් සෞඛ්‍ය සේවකයෝ ගැන කතාකරලා වැඩක් නෑ.. උන් සත්තු...

    ReplyDelete
    Replies
    1. අපේ කාලේ 1999 -2000 හොඳ මිනිස්සුත් හිටියා

      Delete
  6. ඉස්කෝල වලත් ගුරුවරු උපදේශණ සීන් වල ඉන්නව නේද? මේ ගැන ඔබතුමාගේ අදහස කුමක්ද?

    මම පෞද්ගලිකව දන්නා අැතැම් ගුරුවරුන් මෙවැනි කාර්යයක් සඳහා සුදුසු නොවන අය බව විටෙක සිතේ. මා දන්නා එක් ගුරුතුමෙක් ද මෙම කාර්යයෙහි නිරත වූ බව මතකය. නමුත් එතුමා දකින විට ළමුන් හිස් ලූ ලූ අත දුවති.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් ඉස්කෝලවල කව්සලින් නේ

      බොහොමයක් ඉස්කෝල වල කව්සලින් දීල තියෙන්නේ විනය මණ්ඩලයේ ඉන්න අයට,ඉස්සෙල්ල ගුරුමණ්ඩලේ සේරම එකතුවෙලා සීන් එක මුළු ඉස්කෝලෙටම ලීක් කරනවා, ඊට පස්සේ විනය මණ්ඩලයෙන් දඬුවම් කරනවා ඉස්කෝලේ කීර්තිය ආරස්සාකරගන්න, ඊටත් පස්සේ කව්සිලින් කරන වා කියලා බන උපදේශන ටෝක් එකක් දෙනවා, ඉටත් පස්සේ මම මෙන්න මෙහෙම උපදේශනයක් දුන්නා කියලා හැමතැනම කිය කිය යනවා. පින්සිපොල්ලට නං මංඤ්ඤම කියමුකෝ උපදේශනය පුහුණු වෙච්ච උංටත් නොතේරන එකනේ අරුමේ.

      Delete
    2. ඇණයා කියන කතාවත් ඇත්ත , සමහ ඉස්කෝල වල ඉන්න කවුන්සලිං ගුරුවර ගුරුවරියන්ට ළමා මනෝ විද්‍යාව ගැන මේලෝකේ දැණුමක් නෑ. අර විදුහල්පති බැනලා දිවි නසාගත් කුරුණෑගල සර් ජෝන් කොතලාවල එකේ කවුන්සලිං ගුරුවරියත් ලමයාට උපදේශනය වෙනුවට තව දොස් කියලා

      Delete
  7. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  8. වත්තල ප්‍රදේශයේ පුද්ගලයා මුස්ලිම් නමකින් හැඳින්වෙන්නෙක්ද?
    මා එවැන්නෙකු දන්නා නිසා පැහැදිලි කර ගැනීමටයි.

    ReplyDelete
    Replies
    1. වත්තල ප්‍රදේශයේ පුද්ගලයා මුස්ලිම් නමකින් හැඳින්වෙන්නෙක්ද?//// හෝමියෝපති ලේබල් දාගෙන ඉන්න මුස්ලිම්කෙනෙකුත් ඉන්නවා , නමුත් මෙයා සිංහල

      Delete
  9. රුවන් මහත්තයා, ලංකාවේ බොහොමයක් තරුණ ප්‍රජාවට තියෙන දරුණුම ගැටළුව තමයි පෙම් සබඳතා සහ ඒවා බිඳවැටීම. ඒ වගේ වෙලාවට ඒ අයට හිතේ තියෙන වේදනාව කියන්න හරිහමං තැනක් නෑ. උපදේශන සේවා ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල මට්ටමින් තිබුනත් ඒවායේ ඉන්න අයගෙ මානසික මට්ටමත් එතරම් හොඳ මදි. මේ විදිහට අසරණ වුනු පෙම් යුවළක් ඉන්නවා. උන් දෙන්නට හරිහමං උපදේශනයක් දෙන්න කෙනෙක් නැතුව අසරණ වෙලා තියෙන්නේ මං.

    ReplyDelete
    Replies
    1. රජයේ රෝහලක මානසික වෛද්‍යවරයා හමුවී උපදේශනය අවශ්‍ය බව කියන්න​. බොහෝ වෛද්‍යවරු දැන් උපදේශනය තරමක් හෝ දුරට හදාරලා තියනවා

      Delete
  10. ලංකාවෙ බොහොම ප්‍රසිද්ධ විකලාංග ශල්‍යවයිද්‍යවරු දෙන්නෙක් ගස්ලබ්බට සලකපු හැටියට පිස්සු නොහැදි බේරුනේ බොහොම අමාරුවෙන්.ඒ එක ඩොකෙක් යාලුවෙකුගෙ පියෙකුට කියපු කතාවක් නිසා ඒ පියා මාස ගණනක් මනෝ වයිද්‍ය ප්‍රතිකාර ගත්තා.අදටත් ඒ පියාගෙ තිබුනු රැස් මාලාව දකින්න නෑ.
    ඒ වගේම පෙම් සබඳතා බිඳ වැටිලා බිංදුවටම වැටුනු අයවළුන් රෝහල් උපදේශන සේවා මඟින් ගොඩගත් අවස්ථාත් දැක තියනවා.
    ඔබෙන් ඉල්ලීමක් කරන්න කැමතියි.යම් රෝගී තත්ව (උදා.විශාදය වැනි.) බහුල අවස්ථා හඳුනා ගැනීම පිළිබඳ සරළ ලිපි පෙලක් පල කරන ලෙසට.එමඟින් උපකාර අවශ්‍ය අයවළුන් හඳුනාගැනීම හා යොමු කිරීම් කරන්නට අවස්ථාවල් ලැබේවි.
    ජයවේවා..!!

    ReplyDelete
  11. දෙයියෝ සාක්කි ඔබතුමාද මේ.මල් වැනි දරුවන් වගේ පොත් ලියල තියන කෙනා..අපි ගුරුවරු විදියට ඔබ තුමාගෙ පොත් බොහොම අගේ කරනව.දැන් පාසල් වලත් උපදේශන ඒකක තියනව..අපේ පාසලේ එක නං එතරම් බලාත්මක නෑ...මේ ළඟදි උපදේශන ගුරුවරුන් පුහුණු කිරීමේ වැඩ මැළුවකට මාත් ගියා.හරි රසවත් හුඟක් පිංබර වෘත්තියක්.ගුරුවරයෙක්ඒ හැටියට පාරේ ඉදිරියට යන්ඩ මං කැමැතියි

    ReplyDelete
    Replies
    1. උපදේශනය ගැන ආදරයකින් සහ උනන්දුවකින් ක්‍රියා කරන ඔබලා වැනි ගුරුවරුන් විරලයි - Salute

      Delete
  12. වෛද්‍යතුමනි, ශ්‍රී ලංකාව තුලදී මනෝ උපදේශකයෙකු හෝ මනෝ චිකිත්සකයෙකු වීමට සුදුසුකම් සපුරා ගත හැක්කේ කෙසේදැයි පැහැදිලි කරන්න​.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook