Friday, November 11, 2016

මිලින්ද අයියා සහ සමන් අයියා ; අපගේ බාලදක්‍ෂ නායකයන්




1979 දී මම 32 කොලඹ නාලන්දා මහා විද්‍යාලයේ බාලදක්‍ෂ සංගමයට බැඳෙන විට  මිලින්ද පීරිස් අපගේ බාලදක්‍ෂ කණ්ඩායමේ නායකයා විය​. පෝතක බාලදක්‍ෂයෙකු ලෙස කටයුතු කල සිටි මා හට බාලදක්‍ෂ කණ්ඩායම හුරු පුරුදු ස්ථානයක් වූයේය​. 

මිලින්ද පීරිස් ජනාධිපති බාලදක්‍ෂයෙකු වූ අතර හොඳ නායකයෙක් ද විය​. ඉතා අඩු පහසුකම් මධ්‍යයේ වූවද 32 කොලඹ නාලන්දා මහා විද්‍යාලයේ බාලදක්‍ෂ සංගමය ඉතා ඉහල ස්ථානයකට ගෙන ඒමට ඔහු සමත් විය​. ඔහුගේ නායකත්වය යටතේ අප කොලඹ විහාර මහ දේවි පිට්ටනියේ  පවත්නා වාර්ශික කඳවුරුවලටද  , අතුරුගිරිය කඳවුරටද සහභාගී වූයෙමු. 

මේ කාලයේ බාලදක්‍ෂ සංගමයේ ලාල් රූපතුංග​, අනිල් ද සිල්වා , ජගත් ලීලාරත්න , උදිත පලිහේන , සත්‍යවාන් ද සිල්වා, කේ.පී ශාන්ත , මාතරආරච්චි , තිස්ස ප්‍රනාන්දු වැන්නවුන් සිටි නිසා විනෝදයෙන් වැඩ කලෙමු. සතියේ බ්‍රහස්පතින්දා දින වල අපගේ බාලදක්‍ෂ දිනය විය​. ඒ කාලයේ වර්තමානයේ භාෂා විද්‍යාගාරය පැවති ස්ථානයේ රබර් වත්තක් තිබූ අතර අප රැස් වූයේ මේ ස්ථානයේය​. මෙම භූමියේ කොඩි ගසක් ද විය. 

කඳවුරු පවතින දින වලදී මමත් , කේපී ශාන්තත් ජ්‍යෙෂ්ඨ බාලදක්‍ෂයන් වූ ලලිත් එදිරිසිංහත් , අනින්ද සමරසේනත් අවුස්සවා මිලින්ද අයියාගෙන් බැනුම් අසන්නෙමු. අනින්ද සමරසේන ගේ මල්ලී අරෝෂත් අප සමග සිටි අතර ඔහු හොඳ නළුවෙකු විය​. 

බාලදක්‍ෂයන් රැස් වන දිනයේ සවස තේ උණු කොට හකුරු කෑල්ලක් සමග කහට එකක් ලැබේ. හකුරු බෝතලය තිබ්බේ ජගත් ලීලාරත්න භාරයේ ය මමත් උදිත පලිසේනත් සමහර දිනවල හකුරු බෝතලයෙන් හකුරු ගල් කලෙමු. පසු පසුව හකුරු බෝතලයෙන් හකුරු අඩු වන විට ජගත් ලීලාරත්න උදිත සහ මගේ පසුපස පැන්නුවේය​. 

අපගේ බාලදක්‍ෂ ආචාර්‍යවරයා සෙනෙවිරත්න මහතා විය​. අපගේ බාලදක්‍ෂ කාමරයේ යතුර තිබුනේ සෙනෙවිරත්න මහතා අතේය​. වරක් සවසක සෙනෙවිරත්න මහතා බාලදක්‍ෂ කාමරයේ  ඉබ්බා ඇර අපට කාමරය භාර දී යතුර සමග ගෙදර ගියේය​. එසේ යාමට පෙර බාලදක්‍ෂ කාමරයේ  දොර වසා ඉබ්බා තද කරන ලෙස නියෝග කලේය​. සෙනෙවිරත්න මහතා පිටත් වීමෙන් පසු මම ජගත් ලීලාරත්න සමග කතා කරන ගමන් අමතක වීමෙන් මගේ අතින් ඉබ්බා තද විය​. මෙය දුටු ජගත් ලීලාරත්න හිස අත් ගසා ගත්තේය​. ඉන් පසු මමත් සත්‍යවාන් ප්‍රේමදාසත් සෙනෙවිරත්න සර් ගිය ඉසව්ව  බලා දිව ගියෙමු. අපට සෙනෙවිරත්න මයා හමු වූයේ කැම්බල් පිටිය ආසන්නයේදීය​. හති දාගෙන පැමිනි අප ඉබ්බා සර් අතට දී ඔහු ලඟ තිබූ යතුරෙන් එය ඇර ගත්තෙමු. අප සර්ට කිව්වේ ජගත් ලීලාරත්න ඉබ්බා තද කලා කියාය​. 

මිලින්ද අයියා අපට කඳවුරු දිවිය , කොම්පාසු භාවිතයෙන් වනයේ ඇවිදින අන්දම , භාජන රහිතව ආහාර ඉවීම​, ගිනිමැලයක් ගසා ගැනීම , උණ බම්බු මගින් ඇඳ පුටු සාදා ගැනීම , ටෙන්ට් එකක් නිවැරදිව හදා ගන්නා අයුරු වැනි දෑ කියා දුන්නේය​. අපගේ බාලදක්‍ෂ කණ්ඩායම සතුව තද කොල පැහැති ලොකු ටෙන්ට් දෙකක් විය​. මේ ටෙන්ට් නිවැරදිව සවි කිරීමට ගුරු හරුකම් අප ලද්දේ මිලින්ද අයියා විසිනි. මේ දැණුම් අපගේ ජීවිත වලට බද්ධ විය​. 

යූක්‍රයීනයේ ජීවත් වූ කාලයේ වරක් අප ග්‍රීෂ්ම කාලයක වනයට ගියෙමු. මා හිටපු බාලදක්‍ෂයෙකු කියා දැනගත් මගේ මිතුරන් මා හැඳින්වූයේ ස්කබුට් කියාය​. එක් මිතුරෙක් " ස්කබුට් උඹ ගිනිමැලයක් ගහලා පෙන්නපන් " කීවේය​. මම මිලින්ද අයියා කියා දුන් අන්දමට පිරමීඩාකාරව දර තබා ගිනිකූරු දෙකක් භාවිතයෙන් ගින්නක් ගැසුවෙමි. ඉන්පසු අප ශශ්ලීකී කෑවේ මේ ගිනිමැලයේ ආධාරයෙනි. පසුගිය වසරේ ඔටවා නගරය ආසන්නයේ  කඳවුරු පාක් එකකට මා ගිය අතර එහිදී මේ ශිල්ප මට මතක් වූයේය​.

මිලින්ද අයියා ක්‍රිකට් ලෝලියෙකි. සෙනසුරාදා දින වල සමහරක් විට අප පාසලට පැමින මිලින්ද අයියා සමග ක්‍රිකට් ගසන්නෙමු. ඔහුව දවා ගැනීමට අසීරුය​. එම නිසා අප මුලින් ම බැට් කර ඔහු පන්දුවට පහර දීමට යත්ම බඩ හෝ කකුල රිදෙනවා කියා පළා ගියෙමු. එහෙත් බ්‍රහස්පතින්දා බාලදක්‍ෂ දිනයේදී ඔහු අපව අල්ලා ගනී. 

මිලින්ද අයියා ගේ මූලිකත්වයෙන් අප ජිම්නාස්ටික් සංදර්ශනයක් පැවැත්වූයෙමු. මෙම සංදර්ශනයේදී අප ගිනි වලල්කින්ද  පැන්නෙමු.  මේ සංදර්ශනයේදී හොඳම ජිම්නාස්ටික් කරුවන් දහ දෙනා  අතරට මාද තේරුනු අතර මට සහතික පතක් ද ලැබුණි. මේ සහතික පත මා ලබා ගත්තේ බාලදක්‍ෂ කොමසාරිස්වරයා අතිනි.   

මේ කාලයේදී   බාලදක්‍ෂ කණ්ඩායම නාලන්දාවේ කැපී පෙනුනු අතර සමහර ගුරුවරුද බාලදක්‍ෂ ආචාර්‍යවරුන් ලෙස ආහ​. මේ ආචාර්‍යවරුන් අතර අපට පන්ති වලදී ගුටි දුන් විජේවර්ධන සර් හෙවත් ෂශ්‍ය භෝගද  උපතිස්ස සර් හෙවත් මාජරීන් ද වූහ​. මේ ගුරුවරු බාලදක්‍ෂ ආචාර්‍යවරුන් වීමෙන් පසු අප ගුටි වලින් බේරී ගියෙමු. 

විජේවර්ධන සර් උස්වැටකෙයියාව කඳවුරට සහභාගී වූ අතර අප විජේවර්ධන සර්ව සහ දන්ත ආරියරත්නව හිමීට ඇවිස්සුවෙමු. එම වසරේදී විහාර මහ දේවි උද්‍යානයේ පැවති කඳවුරට උපතිස්ස සර් ආ අතර ඔහු අපට කතන්දර කීවේය​. මේ කතා දෙවන ලෝක යුද්දය හෝ ප්‍රසිද්ධ පුද්ගලයන් ගැන විය​. මීට ඉහතදී මාජරීන් කියා කෑ ගැසීම නිසා පාසලේදී මා උපතිස්ස සර් ගෙන් ගුටි කා තිබූ අතර කඳවුරේදී මම සර් සමග ශේප් වූයෙමි. 

මිලින්ද අයියා හමුදාවට බැඳුනේය​. එම නිසා නව බාලදක්‍ෂ නායකයා ලෙස සමන් කුරේ හෙවත් සමන් අයියා ආවේය​. සමන් කුරේ පැමිනියේ ජර්මනියේ  සිටය​. එම නිසා අප සමන් අයියා ගෙන් ජර්මනියේ  තොරතුරු ඇසුවෙමු. සමන් අයියා පැමිනි දින බාලදක්‍ෂයන් සමූහ ගීත ගායනා කල අතර "සිරිපාදේ සමනොල කන්ද පෙනේ ආලෝකය සමන් කුරේ " ලෙස සිංදුව වෙනස් කොට  අප ගායනා කලෙමු. 

සමන් අයියා ගේ බාලදක්‍ෂ ලොග් පොත තරම් ඉතා මනරම් ලොග් පොත මා දැක නැත​. අප බාලදක්‍ෂ ලොග් පොත් සෑදීමේදී සමන් අයියා ගේ බාලදක්‍ෂ ලොග් පොත ආදර්ශයට ගත්තෙමු. 

මේ කාලයේදී ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ බාලදක්‍ෂයන් නාට්‍ය කල අතර පසුව එම නාට්‍ය වල භාවිතා කල නම් අප ඔවුන්ට රෙජිස්තර කලෙමු. උදාහරණයක් ලෙස ජ්‍යෙෂ්ඨ බාලදක්‍ෂ කාවන්තිස්ස රඟපෑ නාට්‍යයේ ඔහුගේ නම ජිල් පප්පා විය අප පාසලේදී කාවන්තිස්ස දකින විට  ජිල් පප්පා කියා කෑ ගැසුවෙමු. අනින්ද සමරසේන තිබ්බොටු මහත්තයා විය​. එසේම බුද්ධික නානයක්කාර ඔහු රඟපෑ නාට්‍ය අනුව ඩිස්ප්‍රීන් අයියා විය​. මෙසේ නාට්‍ය චරිත අනුසාරයෙන් නළුවන්ට නම් පටබැඳ පාසලේදී කෑ ගැසීම නිසා ඔවුන් මටත් , සත්‍යජිත්ටත් , උදිතටත් විරුද්ධව සමන් අයියාට පැමිණිළි කළහ​. අපට සමන් අයියා ගෙන් අවවාද කිරීම් ලැබුනේය​. 

සමන් අයියා සමගද අප කඳවුරු ගියෙමු. ඔහු ඉතා දක්‍ෂ චායාරූප ශිල්පියෙකු විය​. කැමරා දකින්නවත් නොලැබුනු යුගයක ඔහු අත අගනා කැමරා තිබුනේය.​. අපේ සෙට් එක කරන විකාර වැඩ නිසා අප සමන් අයියාගෙන් නිබඳවම බැනුම් ඇසුවෙමු. මේවා අතර වරක් මමත් උදිතත් අනෙකුත් කොල්ලන් සමග එකතුවී බොරු වලක් කපා ඉන්ස්පෙක්‍ෂන් වලට ආ සමන් අයියාව බොරු වලේ වැට්ටුවෙමු. මේ නිසා අපගේ කාණ්ඩයේ ලකුණු කැපී ගියේය​. එහෙත් පිලියන්දල කඳවුරේදී සමන් අයියා සමග අප යළිත් යාළු විය​. පිලියන්දල කඳවුරෙන් පසුව අපට පිලියන්දල මධ්‍යමහා විද්‍යාලයේ විදුහල්පතිවරයා ඔහුගේ නිවසේ දිවා  ආහාරයට  අාරාධනා කලේය​. ඔහුගේ පුතාද අපගේ බාලදක්‍ෂ කණ්ඩායමේ සිටියේය​. 

අප බාලදක්‍ෂයෙකු වූ රාජකරුණාවද ඇවිස්සුවෙමු. වරක් මෙලෙස කඳවුරකදී රාජකරුණාව අවුස්සා ඔහු මොර දුන්නේය​. මේ නිසා උරණ වූ ඉඳුනිල්  ඉවීම   සඳහා යොදා ගන්නා වතුර බාල්දිය රාජකරුණාගේ හිසේ හැලුවේය​. එය අපට තවත් ආතල් වූයේය​. එහෙත් ආතල් කැඩුනේ මධ්‍යම රාත්‍රියේදී මටත් රාජකරුණාටත් වතුර බාල්දියක් ගේන ලෙස ඉඳුනිල් කීම නිසාය​. 

අපගේ කඳවුර තිබ්බේ ගාල්ල රජස්කන්දේ පොල් වත්තකය​. පාළු පොල් වත්ත මැදින් ටෝච් එකක් ගසාගෙන බාල්දියද ගෙන මමත් රාජකරුණාත් ඈතින් තිබූ ලිඳ වෙත ගියෙමු. බියට පත් වූ රාජකරුණා ඉතිපීසෝ ගාථාව ශබ්ද නගා කීවේය​. ටික දුරක් යන විට මමද රාජකරුණාට එක් වෙමින් ඉතිපීසෝ ගාථාව කීවෙමි. 

1982 අනුරාධපුර පැවති ලෝක ජම්බෝරියේදී සමන් අයියාට පාසල් කීපයක නායකයා වශයෙන් යාමට සිදු විය​. මේ නිසා මා ඇතුළු දඟයන් මෙම      ජම්බෝරියේදී කුමන විගඩමක් නටත් දැයි විස්සෝප වූ සමන් අයියා අනුරාධපුර යාමට දවස් දෙකකට උඩදී මා කැටුව පාසල අසල සාන්ත සිරි හෝටලයට ගොස් මට රෝල්ස් , පැටිස් , මාළු පාන් අරගෙන දී අනුරාධපුරයේදී නාලන්ද , ආනන්ද යනාදී පාසල් ගනනාවක බාලදක්‍ෂයන් ඔහු යටතේ ජම්බෝරියට යන බවත් එම නිසා විජ්ජා පෙන්වන්නේ නැතිව හොඳට හැසිරිය යුතු බව කීවේය​. ජම්බෝරියේදී  හොඳට හැසිරෙන බව සමන් අයියාට පොරොන්දු වෙමින් මම තව පැටිස් එකක් ද කෑවෙමි. 

නියමිත දිනයේදී අප මරදාන දුම්රිය පළට ගියේ අනුරාධපුරයට යන  රාත්‍රී දුම්රිය අල්ලා ගැනීමටය​.  දුම්රියේදී අපට ආනන්ද සහ රාජකීය විද්‍යාල වල බාලදක්‍ෂයන් පිරිසක් ද හමු විය​. අප ගීත ගයමින් ගමන් කලෙමු. ආනන්ද විද්‍යාලයේ අපටම ගැලපෙන පිරිසක් සිටි හෙයින් අප දුම්රිය දෙවනත් කෙරුවෙමු. අපගේ පිරිස දුම්රියේ දොරක් ඇරගෙන සිට අතර ගාඩ්වරයා පැමිණ අපට බැන වැදී දොර වසා දැමුයේය​. අප ගාඩ්වරයා මඩ් ගාඩ් ලෙස නම් කලෙමු. 

අනුරාධපුරයට ආ අප හරිස්චන්ද්‍ර පිටියට විත් කඳවුරු බැන්දෙමු. අනුරාධපුර පැවති ලෝක ජම්බෝරියේදී අප ඉතා ආකර්ශනීය කඳවුරු සංකීර්ණයක් නිර්මානය කලෙමු. මෙම කඳවුරු සංකීර්ණය නැරඹීමට බොහෝ පිරිස ආහ​. ජම්බෝරියේදී මම සමන් අයියාට පොරොන් දු වූ පරිදි විජ්ජා නොපෙන්වූ නමුත් අප ලුවී ඔකස් යන බාලදක්‍ෂ නායකයාව බයිට් කලෙමු. ලුවී ඔකස් අවසන් දිනයේදී අපගේ සෙට් එකත් සමග මිතුරු විය​. 

මේ ජම්බෝරියට කිලිනොච්චියෙන් පැමිණි ද්‍රවිඩ බාලදක්‍ෂයන් පිරිසක් හමුවූ අතර ඔවුන් දැන සිටියේ දෙමල පමණි. එම නිසා අප ඔවුන්ට වනක්කම් කීවෙමු. අප දැන සිටි දෙමල එපමනකි. මේ 1982 වසර් විය . තව වසරක් තුලදී කළු ජූලියක් එන බවත් , ඉන්පසු රට තුල තිස් වසරක් ලේ හලා ගැනීම් සිදු වන බවත් අප දැනගෙන සිටියේ නැත​. මේ ජම්බෝරියට කිලිනොච්චියෙන් පැමිණි ද්‍රවිඩ බාලදක්‍ෂයන් අතරින් කොපමණ දෙනෙකු එල් ටී ටී ඊ යට බැඳුනේද , කී දෙනෙක් යුද්දයේදී මිය ගියේද කියා දන්නේ උඩ සිටින දෙවියන් පමණි.

ජම්බෝරියෙන් පසු මම බාලදක්‍ෂ ව්‍යාපාරයෙන් සමුගත්තෙමි.  ඉන්පසු සියල්ල අතීත සිහිවටනයන් විය​. 

මිලින්ද අයියා වර්තමානයේ විශ්‍රාමික හමුදා නිලධාරියෙකි. 1983 පසු මට සමන් අයියා හමු නොවීය​. ඔහුව යලි හමු වන්නේ 2016 මුහුණු පොතෙනි. ඔහු වර්තමානයේ අයර්ලන්තයේ ජීවත් වෙයි. 

මිලින්ද අයියා සහ සමන් අයියා අපගේ බාලදක්‍ෂ නායකයන්  වූ අතර ඔවුන් අපට ආදර්ශමත් නායකත්වයක් පෙන්වූහ​. අප විසින් කල විකාර වැඩ ඉවසමින් අපට පීළි පනින්නට ඉඩ නොදී අපට මාර්ගය පෙන්වූ මේ දෙපළ අපට කිසිදා අමතක නොවේ.

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

18 comments:

  1. අපූරු මතකයක්. අපූරු අතීතයක්. මේ වගේ මගේ මතක සටහන් තියෙන්නේ, ශිෂ්‍යභට පුහුණුවට අදාලවයි. ශිෂ්‍යභට ව්‍යාපාරයේදී හිටපු හොඳම රෙජිමේන්තු සැරයන් මේජර් කෙනෙක් තමයි, උපනන්ද සේනාරත්න අයියා.

    ReplyDelete
    Replies
    1. ශිෂ්‍යභට පුහුණුවට අදාලවත් මතක සටහන් තිබෙනවා ; සමහර ඒවා බලධාරියා ඉවත් කරයි

      Delete
  2. හොද ලිපියක් ..මටත් මගේ බාලදක්ෂ ජිවිතය මතක් උනා..

    ReplyDelete
  3. /* .....කී දෙනෙක් යුද්දයේදී මිය ගියේද කියා දන්නේ උඩ සිටින දෙවියන් පමණි. */

    දෙයියන් සිටිනවා යැයි ඔබ විශ්වාස කරන බව ද එයින් කියවෙන්න?

    ReplyDelete
    Replies
    1. උත්තරය රසික ඔව් / නෑ

      Delete
  4. //මේ කාලයේදී ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ බාලදක්‍ෂයන් නාට්‍ය කල අතර පසුව එම නාට්‍ය වල භාවිතා කල නම් අප ඔවුන්ට රෙජිස්තර කලෙමු.//
    බාලදක්ෂ කණ්ඩායම වෙනුවෙන් කල නාට්‍යක් නිසා මටත් නමක් වැටුනා. නම රෙජිස්ටර් කලේ පංතිභාර සර් තමයි. අදටත් යාළුවෝ කතා කරන්නේ ඒ නමින්.

    ReplyDelete
    Replies
    1. ඒ නම අපිට කිව්වනම්

      Delete
    2. හැම කෙනාගෙම නං කියනවා මෙයාගේ නම කියන්නේ නැ , කියන්ඩ එපා කොලොම්පුරයෝ

      Delete
    3. හය වසරේදී මට නමක් පට බැන්ද වයි බී දිසානායකට මම පහර දුන්නෙමි. පසු දින ඔහු ගෙදරින් ලිපියක් ලියාගෙන විත් අපගේ පන්තිභාර ගුරුවරිය වූ හිල්ඩා ගුනවර්ධන ටීචට දුන්නාය​. එහි තිබුනේ මමත් සීවලී පෙරේරාත් ඔහුට අරියාදු කරන බවය​. මේ නිසා ගුනවර්ධන ටීච අපට තරයේ අවවාද කලාය​. වයි බී දිසානායක වර්තමානයේ එක්සත් රාජධානියේ ජීවත් වෙයි. අප දැන් මිතුරන් වෙමු. මට පට බැන්ද නම වයි බී දිසානායකට දැන් අමතකය​.

      Delete
  5. අපි ඔවුන්ට වනක්කම් කීවෙමු .අප දැන සිටි දෙමළ එපමණකි .අප අතර තිබූ හිඩැසට මෙයත් හේතුවක් .තවමත් අප මේ 'පාලම' ගොඩනඟන්නට සමත් වී නෑ . ලිපිය රසවත් .

    ReplyDelete
  6. හහ් හා... මතකයන් රැසක්ම ඇවිස්සිලා ගියා.අපේ කාලෙ වෙනකොට ගුටි දීම් පවා භාවිතාවට ඇවිත් තිබුනත් ඒවා ලොකුවට ඔලුවට ගත්තෙ නෑ කවුරුත්. නියම අත්දැකීම්.
    ජයවේවා..!!

    ReplyDelete
  7. පාසල් අතීතය හරිම සුන්දරයි නේද . සමන් අයිය ඔලුව අතගාපු තරමින් ම හිතාගන්න පුලුවන් තරම .

    ReplyDelete
  8. පාසල් අතීතය හරිම සුන්දරයි නේද . සමන් අයිය ඔලුව අතගාපු තරමින් ම හිතාගන්න පුලුවන් තරම .

    ReplyDelete
    Replies
    1. පාසල් අතීතය හරිම සුන්දරයි

      Delete
  9. we,umesha and deshani enjoyed this a lot. we are grade 10 girl students. there is a boy student in our class who behave just like this.Will he be a doctor like you?

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook