Friday, April 29, 2016

71 කැරැල්ල සහ ඔස්මන්ඩ් ද සිල්වා

 

මහ නඩුවේ 21 වැනි විත්තිකරු වූ ඔස්මන්ඩ් ද සිල්වා මට හමු වූයේ වනාතමුල්ලේ ඔහුගේ නිවසේදීය. අතීතයේ ගුස්ති ඇල්ලීමට ශ+රයෙකු වු ඔහු අද දිනයේ මහල්ලෙකි. එහෙත් ඔහුගෙ ශක්තිමත් බාහු කියා පාන්නේ අනුරාධපුර යුගයේ ගල් කණු වැනි අතීත ශ්‍රී විභූතියේ ශේෂයන් ය. ශක්තිමත් පුද්ගලයෙකු වූ ඔහුට 71 දි ඉතා දරුණු ලෙස පහර දෙනු ලැබීය. ඔස්මන්ඩ් ගේ කකුලද කඩා දමනු ලැබු අතර අද දිනයේ ඔහු ඇවිදින්නේ නොන්ඩි ගසමිනි. ගෙවත්තෙන් කැඩූ දොඩම් ගෙඩි මිරිකා තැනූ ස්වභාවික ප්‍රණීත පානයකින් මට සංග්‍රහ කළ ඔස්මන්ඩ් ද සිල්වා මහතා මෙසේ පැවසීය.

මගේ දෙමව්පියන් වාමාංශික දේශපාලනයට නැඹුරු වෙච්ච අය. පියා එන්.එම්.ලාගේ දේශපාලන කටයුතුවල ප්‍රබල ආධාරකාරයෝ. මගේ පියාගේ පිටේ දෑකැත්ත මිටිය සහිත ලොකු පච්චයකුත් කොටලා තිබුණා. මව විවියන්ලා සමගත් දේශපාලන උද්ඝෝෂණවල නියැලී සිට කාන්තාවක්. මම සම සමාජ පක්ෂයේ තරුණ සමිතියේ උප සභාපති.
 
මට විජ්වීර  පළමු වතාවට හමු උනේ 1968 අවුරුද්දේ. ඒ වෙලාවෙ එච්චර හැඟීමක් මට ඇති උනේ නැහැ. විෙජ්වීර සම්බන්ධයෙන්, අපේ දෙවන හමුවීම සිදු වුනේ එඩේරමුල්ලේදී. සතොස ෙජ්ම්ස් ලෝක්කාගේ ගෙදරදී. හවස හතේ සිට පසුදා අලූයම දක්වා විෙජ්වීර හොඳ කථාවක් කළා. මම ටී.ඩී. සිල්වා, ලොකු අතුල, මිල්ටන්, යන අයත් හිටියා. විෙජ්වීර ඉන්දියානු ව්‍යාප්ත වාදය ගැන කථාකළා. ඒක ගැන අද උනත් තියෙන විග්‍රහය වැරදියි. සමහුරු හිතනවා ඉන්දියානු ව්‍යාප්තවාදයෙන් විෙජ්වීර ද්‍රවිඩ වතුකම්කරුවන් ගැන අප්‍රසාදයට කථාකලා කියලා. ඉන්දියාව කියන්නේ ද්‍රවිඩ වතු කම්කරුවෝ නොවෙයි. ඉන්දියාවේ උතුරු ඉන්දියානුවෝ, දකුණු ඉන්දියානුවෝ. ඉන්නවා. ඉන්දියානු ව්‍යාප්ත වාදයෙන් පෙන්නුම් කළේ සමස්ත ඉන්දියානු ධනවාදී බලතන්ත්‍රය මිසක් අහු මුළු වල ඉන්න වතු කම්කරුවන් ගැන නෙවෙයි.

විෙජ්වීර ව්‍යාපාරයට කැපවෙලා හිටියේ. එහෙම කැපවීමක් මම කාගෙන්වත් දැකලා නැහැ. ඔහු රටට ආදරය කළා. ජනතාවට ආදරය කළා. දිගටම අරගලය ගෙන යායුතුයි යන ස්ථාවරයේ හිටියේ. මම හිටියේ වනාතමුල්ලේ. මම ඒ කාලේ බොඩි බිල්ඩිං කලා. රෙස්ලිං කරා. වනාතමුල්ලේ අයොමය පුරුෂයාටත් තේරුණා. මට ජනතා විමුක්ති පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් ලේකම් ලෙස පත් කළා. මම දේශපාලන පන්ති පැවැත්තුවා. වනාතමුල්ලේ, මරදානේ, මහා බෝධි ඉස්කෝලේ, ටෙක්නිකල් කොලේජ් එකේ යනාදි තැන්වල පන්ති පහ පැවැත්තුවා.

මම අවුරුද්දක් විතර විෙජ්වීරගේ බොඩි ගාඩ් විදිහටත් හිටියා. විෙජ්වීර හමුවීමට පාක්ෂිකයන් නිතර අපේ ගෙදර එනවා. අපේ අම්මා කට්ටියට කන්න බොන්න සලස්වලා දෙනවා. විෙජ්වීර දිවුල්කිරි වලට ආසයි. අම්මා විෙජ්වීර ආවාම දිවුල්කිරි එහෙමත් හදනවා. විෙජ්වීර හම්බන්තොටදි පළමුවරට අත් අඩංගුවට ගත්තම අපි ටී.ඩී. සිල්වාගේ එඩේරමුල්ල ගෙදරදි සාකච්ඡාවක් කළා. ලොකු අතුල, පියතිලක, මිල්ටන්, ඉන්කම්ටැක්ස් කරු, සනත් බොරළු කැටිය, රැස්වෙලා හිටියේ. අත්අඩංගුවේදී විෙජ්වීරගේ ජීවිතයට අනතුරක් කිරීම. වලක්වන්න අවශ්‍ය නිසා. විෙජ්වීර ගැන පොදු ජනයාට හඳුන්වා දිය යුතුයි, යන අදහස මම කිව්වා. මගේ යෝජනාවෙන් පස්සේ මෙන්න විජ්වීර  කියන පත්‍රිකාව මුද්‍රණය කරන්න අපි එකඟ උනා.

මම මේ පත්‍රිකාව මුද්‍රණය කරන්න ප්‍රෙස් ගණනාවකට ගියා. කවුරුවත් බාර ගත්තේ නැහැ. අන්තිමේදී දෙමටගොඩ පොඩි ප්‍රෙස් එකක් මේ වැඩේ බාරගත්තා. හැබැයි පත්‍රිකා මුද්‍රණය කරන කන් මට ළඟ ඉන්න කිව්වා. පොලිසියෙන් පැන්නොත් උත්තර දෙන්න. අපි පත්තර 90.000 ක් විතර ගහලා ඛෙදා හැරියා. විෙජ්වීර නිදහස් කරගන්න අපට නීතිඥයෙක් අවශ්‍ය උනා. අහන අහන හැම නීතිඥයාම පස්ස ගහනවා. අන්තිමේදී ආනන්ද ප්‍රේමසිංහ මහතා කැමති උනා. අම්මගේ කීමට. අම්මත් විෙජ්වීරගේ නඩුවට නුවරඑළිය උසාවියට ගියා. අම්මා ඊට පස්සේ පක්ෂ වැඩවලට ක්‍රියාකාරිව සහය දුන්නා.

1971 ට පෙර මාව කිහිප සැරයක් අත් අඩංගුවට පත්වෙලා තියෙනවා. 1970 මම පෝස්ටර් ගහන කොට පොලිසියෙන් අල්ල ගත්තා. මාව පොලිසියේ ගෆුර් මහත්තයා ළඟට ගෙනිච්චා. ගෆුර්ට සිංහල කියවන්න අමාරුයි. එයා ඇහුවා මොනවාද මේ උඹලා ලියලා තියෙන්නේ කියලා. මම අපේ අදහස් ගැන ගෆුර්ට කිව්වා. එතකොට ගෆුර් කියනවා උඹලා පාර්ලිමේන්තුවට ගිහිල්ලා කරන මළදානයක් කරපං. අපිට කරදර නොකර. ඉහළින් අපට ඕඩර් එනවා පෝස්ටර් ගහන එවුන් අල්ලන්න. රිමාන්ඩ් කරන්න කියලා. මළ වදේ. උඹලා අපට කරදර කරන්න එපා කියලා.

තව සැරයක් පක්ෂයට අරමුදල් අවශ්‍යවෙලා මම පක්ෂ සාමාජිකයන් එක්ක මුදල් හොයන්න එක තැනකට ගියා. අපි ගියේ මගුල් හයර් එකක් යන විධියට මොරිස් මයිනර් එකක් කුලියට අරගෙන. අතර මගදී අපි ඩ්‍රයිවර් එළියට ඇදලා දාලා මයිනර් එක පැහැර ගත්තා. අවශ්‍ය තැනට ගියාම ලොකු අතුලත් ඒකට නැග්ගා. අපි සල්ලි ගත යුතු තැනට යන්න හදනකොටම මිනිහෙක් පාරේ යනවා, රේඩියෝ එකක 70 මැතිවරණ ප්‍රතිඵල අසමින්. අපේ ගෝලයා පැනලා මේ රේඩියෝව උදුර ගත්තා. කලබල වේචච මනුෂ්‍යයා කෑ ගහලා අපි කට්ටිය පෙන්නුවා. 

අපි වාහනේට නැගලා එතනින් පිට උනා. අපිට වැඩිදුර යන්න ලැබුනේ නැහැ. ජීප් එකකුයි, ඛෙන්ස් එකකුයි අපිව ෆලෝ කරලා නවත්තා ගත්තා. අපි වාහනයෙන් පැහැලා දුවන්න පටන් ගත්තා. ඒ මිනිස්සු පොලූ අරගෙන අපේ පස්සෙන් පැන්නුවා. කටු පඳුරුවලට කැපිලා අපි
ඔක්කොම තුවාලයි. ඒත් අපි ගෙදර ආවා.

ඊට අවුරුදු දෙක තුනකට පස්සේ ලොකු අතුලගේ කට උත්තරේ මේ මයිනර් එක පැහැර ගැනීම ගැන සටහන් වෙලා තිබිලා පොලිසිය මට නඩු දැම්මා. ඒත් පස්සේ රියැදුරාට මාව හඳුනාගන්න බැරිවෙලා නඩුව අහක ගියා.

පක්ෂය ඇතුලේ මතභේද තිබුණා. ඒවා සමතයකට පත් කරන්න ලොකු අතුල, කුමානායක, රංජිත් කුරුකුලසූරිය, ලක්ෂමන් මාදුවගේ. සිසිල් චන්ද්‍ර, පියතිලක, උයන්ගොඩ, කෙලි සේනානායක, නිමල් මහරගේ. වසන්ත කනගරත්න, මිල්ටන්, ඉන්කම්ටැක්ස් කරු. සනත්, අපේ ගෙදරට රැස් උනා. අපි රැස්වීම පටන් ගත්තේ උදේ 10 ට විතර. පැයක් විතර යනකොට පොලිසියෙන් පැන්නා. කට්ටිය ගෙදර ජනේලයකින් පැනලා දිව්වා. විෙජ්වීරව ළඟ ලන්සි ගෙදරක හැංගුවා.

ගෙදර හිටියේ මමයි, අම්මයි, වසන්ත කනගරත්නයි විතරයි. පොලිසිය ඇහුව්වා කෝ ගෙදර රැස්වෙලා හිටිය කට්ටිය කියලා. මම කිව්වා ඉන්නේ අපි ටික විතරයි කියලා. එතකොට රැස්වීමට ආපු අයගෙ සෙරෙප්පු පෙන්නලා ඇහුව්වා කෝ අයිතිකාරයෝ කියලා. එතන සෙරෙප්පු කූට්ටම් 35 විතර තිබුණා. රැස්වීමට ආපු අය සෙරෙප්පු අපේ ගෙදර දමලා තමයි දුවලා තියෙන්නේ. පොලිස්කාරයා මට එකක් ගැහුවා. එතකොට අම්මා කීවා එයාට ගහන්න එපා කියලා. පොලිස් කාරයෝ අම්මව තල්ලූ කළා. අම්මා ඇදගෙන වැටුනා. 

මට ගොඩක් තරහ ආවා. අම්මට හිංසා කළාට. පොලිස් රංචුවක් ඇවිල්ලා මාව අල්ලගෙන පොලිසියට ගෙනිච්චා. අම්මා නීතිඥ එඩ්මන්ඩ් සමරක්කොඩි හම්බවෙන්න ගිහිල්ලා මට වේචච දේ ගන කියලා. එඩ්මන්ඩ් සමරක්කොඩි රෑ මාව බලන්න පොලිසියට ඇවිල්ලා මට පහරදීලා තියෙනවා. වහාම වෛද්‍ය පරීක්ෂණයක් කළ යුතුයි කියලා ප්‍රශ්න කළා. ඊට පස්සේ මාව, අධිකරණයට ඉදිරිපත් කරලා දවස් 14 ක් රිමාන්ඩ් කරා.

අපට සන්නද්ධ වෙන්න කියලා දැනුම් දීමක් කෙරී තිබුණු නිසා අපි සාමාජිකයෝ සන්නද්ධ කරා. මා ළඟ ග්‍රෙනේඩ් 3, තුවක්කු දෙකයි, ටින්බෝම්බ 25, ඩයමනයිට් පෙට්ටි 3, විතර තිබුණා. කොළඹට පහර දෙන්න අපේ සැලසුමක් තිබුණා. 1971 අප්‍රේල් 2 දා අපි සංඝාරාමයේ රැස් උනා. ප්‍රහාරය පිළිබඳව අවසන් තීරණය ගන්න. මේ අවස්ථාවේදී එම ප්‍රහාරය ප්‍රායෝගික වෙයිද කියා මම ඇසුවා. මර්දනය උග්‍රයි. තොග පිටින් අපේ සාමාජිකයන් අත්අඩංගුවට ගන්නවා. සමහර අය කිව්වා අපි තනියම හරි ප්‍රහාරයට යනවා. ප්‍රහාරය අරඹන්න අපට පහළින් විශාල පීඩනයක් එනවා. මට තේරුණා දැන් පහරදීමක් වෙන්න යන බව.

අපි පැය 3-4 සාකච්ඡා කළා. භද්දිය, කොටවිල දේවසිරි, රාහුල, යන හාමුදුරුවරු පොළිසිය එයිද කියලා ඔත්තු බැලූවා. අන්තිමේදී ප්‍රහාරය ගැන තීරණයක් ගත්තා. උයන්ගොඩ අප්‍රේල් 4 හැන්දෑවේ ඇවිල්ලා මට කිව්වා කොළඹට පහර දෙන තීරණය අත හරින්න. කොළඹ ආරක්ෂක සංවිධාන තර කරලා. මේක දිවිනසා ගැනීමක් වේවි කියලා.

අප්‍රේල් 5 වෙනිදා මම කට්ටිය එක්ක වනාතමුල්ල ප්‍රජාමණ්ඩල බෝධිය ළඟ හිටියා. පණිවිඩයක් එනකං. මම රෑ 12ට විතර රෑ කෑමට සීවලි පටුමගේ අපේ අම්මගෙ ගෙදර ගියා. පොලිසිය ගෙදර වට කරා. අම්මා මට ගෙදර තිබුණු සැටිය ඇතුලේ හැංගෙන්න කියලා අම්මා සැටිය උඩම ඉඳගන හිටියා. පොලිසිය ඇවිල්ලා මුළු ගේම පරික්ෂා කරා. මෙහෙම ගොඩ වේලාවක් පරික්ෂා කරන කොට එක පොලිස් කාරයෙකුට සැක හිතිලා සැටිය පරික්ෂා කළා. එතකොට මාව අහු උනා. මාව පොලිසියට ගෙනල්ලා පහර දුන්නා. මගේ අතපය කැඩුවා. අද උනත් මගේ ශරීරයේ ඒ පහර දීම් කැලලි තියෙනවා. 

මට පහරදුන්නෙ එස්. අයි. ඩේවිඩ්, ඕ.අයි.සි. පීරිස්, යන අය. මගේ අතපය කඩලා දාලා, මාව මරන්න හිතාගෙන ගැහුවේ. එස්.අයි. සිවරත්න මා ළඟට ඇවිල්ලා වතුර දුන්නා. පොලිසිය මාව මරන්න ට්‍රයිකලාට සී.අයි.ඩී. එකට මගෙන් කට උත්තරයක් ගන්න අවශ්‍ය නිසා මාව මහරෝහලට ගෙනිහිල්ලා ප්‍රතිකාර කළා. ඒත් මාව තියාගැනීම භයානකයි කියලා බන්ධනාගාර රෝහලේ තිබ්බා. විකලංග වාට්ටුවෙ ප්‍රධානියා ඩොක්ටර්. ජයවික්‍රම තමයි මට ප්‍රතිකාර කළේ.

මාව රඳවලා හිටියේ එල්. හෝල් එකේ. වාසු, ෂන්. එස්.ඩී.බණ්ඩාරනායක, නියතපාල, ජයසේන ජයකොඩි, එහෙමත් හිටියා. රවි ජයවර්ධන විතරක් අත් අඩංගුවට අරගෙන එහෙ දවසක් විතර තියාගෙන හිටියා. මගේ අත පය කඩලා නිසා දොට්ට යන්නවත් බැරි තරමට හිටියේ. කෙලී සේනානායක, සිසිල්චන්ද්‍රා, ලක්ෂමන් මාදුවගේ, තමයි මට උපස්ථාන කළේ. මාව නෑව්වා, කැත කුණු පවා ඇද්දා.

මේ වන විට මගේ අම්මාව, අයියාව, මල්ලිව පවා අත් අඩංගුවට අරගන අපේ ගෙදර ගිනි තියලා. නඩුවේදී මට අවුරුදු 3ක සිර ද~ුවමක් ලැබුණා. මම සනීප උනාම කට්ටිය එක්ක ක්‍රිකට් ගැහුව්වා. බන්ධනාගාර
නිළධාරි බතෝලමියුස් මහත්තයා අපි එක්ක ක්‍රිකට් ගහන්න එනවා. විෙජ්වීර මට කිව්වේ ක්‍රිකට් පිස්සා කියලා. අපි සමහරවිට මහින්ද විෙජ්සේකරව කේන්ති කරවනවා විහිළුවට, වරක් මම සෝමවංශ, සිසිල්චන්ද්‍ර, මහින්ද විෙජ්සේකර, කෙලී. දවස් 7 කළුවර කාමරේ හිර කළා තෙත පාන් දීමට උද්ඝෝෂණයක් දියත් කළාට.

අපි ස්වයං විවේචනයක් කළයුතුයි කියන මතයේ මම හිටියේ. ඒත් ඒක සිදු උනේ නැහැ. ඒ නිසා 1974 වන කොට මම ව්‍යාපාරේ එක්ක අයින්වෙලා. 1977 දෙසැම්බර් 30 මම නිදහස් උනා. මම නිදහස් වෙලා ඉන්නකොට මහින්ද විෙජ්සේකර ශ්‍රිලංකා නිදහස් පක්ෂයට බැෙඳන්න යන බව කියලා මටත් ආරාධනා කළා. ඒත් මම ඒ අදහස ප්‍රතික්ෂේප කළා.

අපේ අම්මා ව්‍යාපාරය වෙනුවෙන් කැපවෙලා වැඩ කළා. ධෛර්යමත් කාන්තාවක්. නම සීලවතී සිල්වා. හැඳින්වුයේ ඔස්මන්ගේ අම්මා කියලා. 1971 මාර්තු මාසේදි අම්මා, විෙජ්වීර යාපනයේ හිරගෙදර ඉන්න කොට, විෙජ්වීර බලන්න ගියා. එතකොට පහර දෙන්න එපා. භේද අත්හැරලා කටයුතු කරන්න කියලා විෙජ්විර අම්මා අත පණිවිඩයක් එවා තිබුණා. ඉයන් වික්‍රමනායක ඇතුළු සී.අයි.ඩී. එකේ අය මේ ප්‍රකාශය විකෘති කරලා, විජ්වීර  පහර දෙන්න කිව්වා  යනුවෙන් කට උත්තරය දෙන්න කියලා අම්මට බල කරා. අපේ ගිනි තිබ්බ ගේ හදලා දෙනවා, අයියා, මල්ලී මාව නිදහස් කරනවා. රක්ෂා අරන් දෙනවා කියලා පොරොන්දුවක් උනා. ඒත් අම්මා බොරු කියන්න බැහැ කියලා, ඒ අයගේ මූණටම කිව්වා. 2007 අප්‍රේල් 12 දින අම්මා මිය ගියා. මම සක්‍රීය දේශපාලනයෙන් අයින්වෙලා දැන් ඉන්නේ.


71 කැරැල්ල ආරම්භයේ සිට අවසානය දක්වා පුර්ණ සමාලෝචනයක් කෘතිය​ ඇසුරෙනි - වෛද්‍ය රුවන් එම් ජයතුංග 

4 comments:

  1. තුණයෙක්ගේ තරු‍ණ ජීවිතේ මේ දේශපාලනේ විසින් කා දමලා.. දේශපාලනේ මොන පක්ෂයත් එකයි. මර්ධනේ මොනවිදිහට හරි කරනවා...

    ReplyDelete
    Replies
    1. නිර්මාණි... 1971ත් අපේ රටේ දේශපාලන ඉතිහාසයේ සංධිස්ථානයක්.. එහි හරි වැරද්ද කෙසේ වෙතත්, මේ කැපකිරීම ඉතිහාසයට එකතුවී හමාරයි. ඔබ දේශපාලනයට උනන්දුවක් දක්වන කෙනෙක් නම් 1971 අරගලය කිය විය යුතු පරිච්ඡේදයක්.

      Delete
  2. ඔස්මන්ඩ් සිල්වා පිලිබඳ නැවතත් කියව්න්නට ලැබීම සතුටක්. ඔස්මන්ගේ අම්මා කොතරම් නිර්භීත කාන්තාවක්ද කියා සිතෙනවා. ඔස්මන් අවිවාහකද

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook