Saturday, January 30, 2016

විශිෂ්ට මානව විද්‍යාඥයෙකු ගැන සටහනක්




වරක් මා විසින් ලියන ලද සිංහබාහු කථාවේ මනෝ විද්‍යාත්මක පාර්ශවය ගැන ලිපිය කියවූ ප්‍රංශ ජාතික මනෝ විද්‍යාඥයෙකු වන Eric Smadja මෙම ලිපිය මහාචාර්‍ය ගනනාථ ඔබේසේකර වෙත යවන්න යැයි කීවේය​. ඒ මන්ද කියා මා විමසූ විට ඔහු කීවේ ගනනාථ ඔබේසේකර යනු වර්ථමානයේ ජීවතුන් අතර සිටින විශිෂ්ටම මානව විද්‍යාඥයා නිසා මෙම ලිපිය ගැන වඩාත්ම හොඳ විවරණය ලබා ගත හැක්කේ ඔහුගෙන් බවයි.  

පසුගිය වසරේදී මම ප්‍රංශ ජාතික මනෝ වෛද්‍ය ලෝරන්ට් කරීලා සමග Nymphomania හෙවත් නාරිකාමෝන්මාදය ගැන පත්‍රිකාවක් ලියුවෙමි. මම ශ්‍රී ලංකාවෙන් බව දැනගත් මනෝ වෛද්‍ය ලෝරන්ට් කරීලා මගෙන් ඇසූ මුල්ම ප්‍රශ්නය වූයේ ඔබ මහාචාර්‍ය ගනනාථ ඔබේසේකරගේ පොත් කියවා තිබේද යන්නයි. තවද යෝක් විශ්ව විද්‍යාලයේ සමාජ මනෝ විද්‍යාව පිළිබඳ මහාචාර්‍ය රිචඩ් ලේලොන්ඩ්  තම දේශන වලදී  ඇතැම් විට මහාචාර්‍ය ගනනාථයන් ගේ පොත් වලින් කරුණු උපුටා දක්වයි.  

මහාචාර්‍ය ගනනාථ ඔබේසේකර අන්තර්ජාතික කීර්තියට පත්වූ  මානව විද්‍යාඥයෙකි. ඔහු ලංකාව විසින් බිහි කල විශිෂ්ටම මානව විද්‍යාඥයාය. ඒ ගැන කිසිදු විවාදයක් නැත​. 

ලංකාවට සුවිසල් කීර්තියක් ගෙන දුන් ගනනාථ ඔබේසේකර  උපත ලැබුවේ මතුගම දර්ගා නගරයේ මීගමය. ඔහුගේ පියා ඩී. ඩී. ඔබේසේකර දේශීය වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්යවරයෙක් වූ අතර අනගාරික ධර්මපාල තුමාගේ අනුගාමිකයෙක් විය. 1955 දී පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ඉංග්‍රීසි සඳහා මූලික උපාධිය ලබාගත් ඔහු වරක් ඔහුගේම උසස් අධ්‍යාපනය ගැන පැවසූයේ වාමාංශිකයන් පවා ඔක්ස්ෆර්ඩ් යෑමට පසු නොබෑ යුගයක තමා තුළ වූ යටත් විජිත විරෝධය නිසා ඔක්ස්ෆර්ඩ් සහ ලන්ඩන් සඳහා ලැබුන ශිෂ්‍යත්ව කිහිපයක්ම ප්‍රතික්ෂේප කල බවය.

ගනනාථ ඔබේසේකර ඔහුගේ ශාස්ත්‍රපති සහ ආචාර්ය උපාධි(1964) ලබා ගත්තේ වොෂින්ටන් විශ්ව විද්‍යාලයෙන් වන අතර පේරාදෙණිය ලංකා විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා දෙපාර්තමේන්තුවේ කලක් සේවය කල ඔහු කැලිපෝනියා සහ ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාල වල මානව විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් වශයෙන් සේවය කලේය. කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාල මුද්‍රනාලය විසින් පල කර ඇති Land Tenure in Village Ceylon: A Sociological and Historical Study(1966) නම් ඔහුගේ ආචාර්ය උපාධි නිබන්ධය දකුණු ලක මැදගම නම් ගම පිළිබඳවය. 

චිකාගෝ විශ්ව විද්‍යාලීය මුද්‍රණාලය විසින් පල කර ඇති ඔහුගේ විශිෂ්ට කෘතීන්ගෙන් එකක් වන The Cult of the Goddess Pattini (1984) නම් පත්තිනි ඇදහිල්ල පිළිබඳ වූ කෘතිය ඉන්දීය උප මහද්වීපික කලාපයේ සංස්කෘතික ඥාතීත්වය හෙළි කරයි. රිචර්ඩ් ගොම්බ්‍රිච් සමග සම කතෘත්වයෙන් පලවූ Buddhism Transformed: Religious Change in Sri Lanka යන කෘතියත් සමග ඔහුගේ කතෘත්වයෙන් පලවූ කෘති දහයක් පමණ වේ. ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාල මුද්‍රණාලය මගින් පලවූ සුදු මිනිහා ලෝකය ශිෂ්ට කිරීම පිළිබඳ මිත්‍යාව ප්‍රශ්න කරන ඔහුගේ විවාදාත්මක කෘතියක් වූ The Apotheosis of Captain Cook: European Mythmaking in the Pacific (1992) යන්න සමාජ විද්‍යා හා මානව විද්‍යා ක්ෂේත්‍රයේ අද්විතීය කෘතියට හිමි සම්මාන කිහිපයක්ම ලබා ගත්තේය. පසුගිය කාලයේ විදග්ධ යැයි සම්මත නොවූ ලේඛන වලින් හෙළි වන ඉතිහාසය අධ්‍යනයේ වැදගත් කම පිළිබඳ කතා කල ඔහු එවැනි දුර්ලභ පුස්කොල පොත් ගනනාවක් පල කිරීමට මැදිහත් විය.  (උපුටා ගැනීම කතිකා සංවාද මණ්ඩපය )


වෛද්‍ය රුවන් එම් ජයතුංග

Friday, January 29, 2016

අධිරාජ්‍යවාදී විරෝධයේ සිට මකුණු විරෝධය දක්වා



අධිරාජ්‍යවාදයට, ලෝක බැංකුවට , උසස් අධ්‍යාපන අමාත්‍යංශයට පමණක් නොව මකුණාටද විරෝධතා දක්වන අපේ සරසවි සිසුන් 

Thursday, January 28, 2016

අසාරේ ඥාණසාර මතිනෝ




1983 දී මෙරට ඇති වූ ජනවාර්ගික කෝලහලය මෙරට බුද්ධිමතුන්ගේ ශාස්ත්‍රිය උනන්දුව නවමානයකට යොමු වීමට බලපෑවේය. විශේෂයෙන්ම "ප්‍රචණ්ඩත්වය හා ආගම" අතර ඇති සම්බන්ධය විවේචනාත්මකව විශ්ලේෂණය සඳහා දෙස් විදෙස් මානව විද්‍යාඥයන්ගේ අවධානය යොමු වීම කැපී පෙනේ. මෙම සංවාදයේදී මහාචාර්ය තම්බය්යා ගේ දායකත්වය කැපී පෙනෙන්නේ ඔහු විසින් ආගම හා ප්‍රචණ්ඩත්වය අලලා රචනා කරන ලද Ethnic Fratricide and the Dismantling of Democracy (1986) සහ වඩා ආන්දෝලනයකට පත් වූ Buddhism Betrayed? Religion, Politics and Violence in Sri Lanka (1992) යන ග්‍රන්ථයන්ය. "බුදුදහම පවාදීම" නැමැති තහනම් කරන ලද කෘතියේදී ඔවුන් විසින් නඟන ලද කේන්ද්‍රීය ප්‍රශ්නය වූයේ අවිහිංසාවාදයට තදින්ම කැප වු බුදු දහම වැනි ආගම් ලාංකේය සංදර්භය තුළ දී වඩා ප්‍රචණ්ඩකාරී ආගමක් ලෙස පරිවර්ථනය වන්නේ කෙසේද? යන්නයි. විශේෂයෙන්ම භික්ෂූන්වහන්සේලා "යුදකාමී භික්ෂූන්" (Militant monk) ලෙස මතුවීමත් ඔවුන්ගේ කාර්ය භාරය දේශපාලනය තුළ නැවත අර්ථකථනය වන අයුරුත් සාකච්ඡා කෙරේ. මෙම ග්‍රන්ථය ප්‍රකාශයට පත්වීමත් සමඟ මහාචාර්ය තම්බය්යා ඊලාම්වාදියකු, කොටියකු හා දේශ ද්‍රෝහියකු ලෙස නම් කිරීමට මෙරට අන්තවාදී දේශපාලන බලමුළු ක්‍රියාත්මක වූයේ "ජනවාර්ගික ප්‍රශ්නය" සම්බන්ධව ඔහුගේ ස්ථාවරය නිවැරදිව තේරුම් නොගෙනය. ( ප්‍රේමකුමාර ද සිල්වා,  මහාචාර්ය, සමාජවිද්‍යා අධ්‍යයන අංශය,  කොළඹ විශ්ව විද්‍යාලය) 

PS:

මේ අසා කම්පා වූ එක් හිමි නමක් අදාළ සිද්ධිය නිමිති කොටගෙන 'ලෝක ස්වභාවය මෙහෙමයි' යනුවෙන් උසාවි බිම තුලදීම බවුන් වැඩීමට ගත් බවත් ස්වල්ප වේලාවකට පසුව මුඛයෙන් නිකුත් වූ සුමිහිරි වදන් පෙළක්ද සහිතව අහසට නැග අසල වූ තාප්පයක රැඳුණු බවත් සිද්ධිය ඇසින් දුටුවෝ පවසති. මේ අසිරිමත් සිදුවීම මාධ්‍ය හරහා මුළු ලොවටම දැනගැනීමට හැකියාව ලැබුණු අතර මෙම පින්වත් භික්ෂූන් වහන්සේලාගේ හැසිරීම නිසා නීග්‍රෝධ සාමණේරයන් දැකීමෙන් සැනසීම ලැබූ අශෝක අධිරාජයා මෙන් ලොව බොහෝ දෙනා චිත්ත ප්‍රීතියට පත්ව ඇති බවත් අපට වාර්තා වේ. ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු මේ වන විට අසිරිලක නැරඹීම සඳහා ටිකට් බුක් කරන්නටද පෙළඹී ඇත" (උපුටා ගැනීමකි)


 

Wednesday, January 27, 2016

යූක්‍රයින ගැමි නිවසකට ගියෙමි



මගිලෝ පදෝල්ස්කි නගරය යූක්‍රයිනයේ තිබෙන අලංකාර නගරයන් ගෙන් එකකි. එම නගරය බේසමක් වැන්න​. නගරයේ සිට ඉහල බැලූ විට වටෙට කඳු වලල්ලක් පෙනේ. ස්වභාවධර්මයාගේ දායාද ලැබූ  මගිලෝ පදෝල්ස්කි නගරයට වරක් මා ගියෙමි. 

වෛද්‍ය පීඨයේ මා සමග ඉගෙනුම ලැබූ ඉවනාශ්කා ගේ උපන් ගම වූයේ මගිලෝ පදෝල්ස්කි නගරයයි. ඔහු ඒ වන විට විවහා වී සිටි අතර ඔහුගේ කුළුදුල් බිළිඳු දියණිය බෞතීස්ම කිරීමේ උත්සවයට ඉවනාශ්කා මටද ආරාධනා කලේය​. මට ඉවනාශ්කාගේ දියණියට ඥාණ පියා වන්නට වේ දැයි කුකුසක් මා තුල විය . ඒ මම බෞද්ධයෙකු වන නිසාය​. නමුත් ස්ටෙපාන් ඥාණ පියා වන බව ඉවනාශ්කා කීවෙන් මගේ සැකය දුරු විය​. 

මේ කාලය ගර්බචොව් ගේ පෙරෙස්ත්‍රොයිකා ක්‍රියාදාමය දියත් කල සමයයි. කොමියුනිස්ට් පාලන කාලයේ බෞතීස්මය වැනි ක්‍රිස්තියානි ආගමික උත්සව සිදු කලේ අප්‍රසිද්ධවය​. පෙරෙස්ත්‍රොයිකා සමයේ ආගමික නිදහස මතුවූ නිසාදෝ ක්‍රිස්තියානි ආගමික උත්සව බහුලව සිදු විය​. 

මගිලෝ පදෝල්ස්කි නගරය එවකට මා ජීවත් වූ විනිට්සා නගරයේ සිට කිලෝ මීටර් 118 පමණ දුරකින් පිහිටා තිබේ. ඉවනාශ්කා ජීවත් වූයේ නගරයටත් එපිට ග්‍රාමීය ප්‍රදේශයක නිසා මම සෙනසුරාදා දිනෙක උදේ රැයින් බස් රථයක නැගී මගිලෝ පදෝල්ස්කි වෙත ගියෙමි. 

දෙවන ලෝක යුද කාලයේ මගිලෝ පදෝල්ස්කි නගරය ජර්මානුන් ගෙන් පිරී තිබුනි. මෙම නගරයේ වාසය කරන ලද යුදෙව්වන් සියළුදෙනාම පාහේ නට්සීන් විසින් මරා දමන ලදි. නගරයේ අයිතිහාසික ස්ථාන තිබුණද ඒවා වෙත යාමට කාලවේලාවක් නොවීය​. බෞතීස්මය  ඉරිදා නිසා මම සෙනසුරාදා දහවල් වන විට ඉවනාශ්කා ගේ නිවසට ලඟා වූයෙමි. 

ඉවනාශ්කාගේ ගැමි ගෙදර ආකෘතික යූක්‍රයීන ගැමි නිවසකි.   ස්ටාලින් විසින් බලහත්කාරයෙන් දියත් කරන ලද සමූහ ගොවිපළවල් ක්‍රමය මේ වන විට අසාර්ථක වෙමින් තිබුණි. සමහර සමූහ ගොවිපළවල්  සභාපතිවරු 1970 -1977 කාලයේ ලංකාවේ සමුපකාර මැනේජර්ලා මෙන් ලෝක හොරු වූහ​. සැමටම එක වේතනයක් ලැබීම නිසා අභිප්‍රේරණය අඩුවීම ,  අයිස් ගැසීමට , වංචා කිරීමට හැකිවීම වැනි කරුණු නිසා සමූහ ගොවිපළවල් ක්‍රමය කඩාවැටුණි. සමහර ප්‍රදේශ වල ආහාර බෙදා හැරීම අක්‍රමවත් විය​. මේ නිසා පෙරෙස්ත්‍රොයිකාව විසින් කුඩා පුද්ගලික ගොවිපොලවල් දිරිමත් කරන ලදි. සමහර පෞද්ගලික ගොවිපලවල් අක්කරයක තරම් විය​. නමුත් ඉවනාෂ්කාගේ ගොවිපළ තරමක් විශාලය​. එහි කැරට්,  ගෝවා අර්තාපල් , තක්කාලි වවා තිබුණි. ගොවිපලේ වැඩ කලේ පවුලේ සාමාජිකයන් පමණි.   ඔවුන් ස්වයංපෝෂිතය​. පාන් සහ චීස් පවා ඔවුන් නිවසේ සදා ගත්හ. 

රුසියන්වරු සහ යූක්‍රයීනයන් ආගන්තුක සත්කාරයේ නියමුවෝ වෙති. මා ඔවුන් ගේ නිවසට පැමිණි වහාම කෑම මේසය සූදානම් කෙරිනි. කෑම මේසය මගුල් මේසයක් මෙන් විය​. අළුත් පළතුරු වර්ග , මස් මාළු , සුප් වර්ග ක්‍ෂීරමය ආහාර යනාදී දහසකුත් දේවල් මේසය මත විය​. එසේම වොඩ්කා සහ වයින් ද විය​. මම ඉතා රසැති ස්වභාවික වයින් පානය කලෙමි. ඉවනාශ්කා ගේ මව ඉතා කරුණාවන්ත කාන්තාවකි. ඇය වඩාත් සමීප ලංකාවේ ගම්බද කරුණාවන්ත දයාවන්ත කාන්තාවකටය​. හමේ සුද ඇරෙන්නට ඇය තුල ලංකාවේ ගැමි ලියන්ගේ සියළු  යහ ගුණ තිබේ. එහෙත් එක් දෙයකින් ඇය අපගේ ගම්බද වනිතාවන්ට වඩා වෙනස් වූවාය​. 

ඔවුනට ලස්සන පුෂ්ටිමත් සයිබීරියන් හස්කි වර්ගයේ බැල්ලක වූවාය​. ඇය පසුගිය ශීත සමයේ පැටවන් බිහි කල බවත් එම පැටවුන් අසල්වැසියන්ට බෙදා ඉතිරි වූ පැටවුන් දෙදෙනෙක් දියේ ගිල්වා මරා දැමූ බව ඇය කීවේ කිසිදු  වෙනස්කමකින් තොරවය​. එය අසා මගේ ගත හිරි වැටුණි. ඒ අපගේ බෞද්ධ ශික්‍ෂණය නිසා බව මම සිතමි. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග

Tuesday, January 26, 2016

මගේ ගුරුවරු


වෛද්‍ය පීඨයේ ගුරුවරු අතරින් මට මහාචාර්‍ය නතාලියා සෙර්කෝවා මතකයට නැගෙයි. ඇය අපට  internal medicine ඉගැන්වීය​. අවසාන වසරේ මාගේ විභාගය ගනු ලැබුවේ ඇය විසිනි. මගෙන් බොහෝ ප්‍රශ්න ඇසූ මහාචාර්‍ය නතාලියා සෙර්කෝවා අවසානයේදී මාව සමත් කළාය​.

 කායික විද්‍යාව හෙවත් ෆිසියලොජි ඉගැන්වූ යෙල්තුකොව්ස්කි දක්‍ෂ පරියේශකයෙකි. පසු කාලයක් ඔහු මහාචාර්‍ය පදවියක් ද ලැබීය​.

 හිස්ටොලොජි හෙවත් පටක  විද්‍යාව ඉගැන්වූ රිද්කෝ ඉතියෝපියාවේ විශ්ව විද්‍යාලයකද සේවය කොට තිබුණි. ඔහු ඉංග්‍රීසි භාෂාව හොඳින් හැසිරවීය​. 

අපට ඇනටමි හෙවත් ව්‍යවච්ඡෙදය ඉගැන්වූයේ මහාචාර්‍ය රුමීන්ස්කිය​. ඔහු දැණුම ආකරයකි. ඔහු විසින් මිනිස් සිරුරේ -පිරිමි ශිශ්නයේ ශුක්‍ර පිටවීමෙන් පසු සක්‍රිය වන  ඉතා කුඩා විවූහයක් ද සොයාගෙන තිබුණි. අප තෙවන වසරේ සිටියදී මහාචාර්‍ය රුමීන්ස්කි මිය ගියේය​. අප ඔහුගේ අවමගුලට ගියෙමු. 

ක්‍ෂුද්‍ර ජීව විද්‍යාව හෙවත් මයික්‍රෝ බයොලොජි මහාචාර්‍ය පලී අමුතු පුද්ගලයෙකි ඔහු භාවි කථනීය කළ නොහැකි (unpredictable ) චරිතයකි. ඒ වන විටත් ඔහු වයිරස විනාශ කල හැකි ඖෂධයක් සොයා ගනිමින් සිටියේය​. මෙම  පර්‍යේෂණය  ජපන් ඖෂධ සමාගමකට මහාචාර්‍ය පලී විකුණා තිබෙන බවටද රාවයක් විය​. මහාචාර්‍ය පලී වෛද්‍ය පීඨයේ බලවත් චරිතයකි. ඔහු සමග ගැටීමට ගිය සිසුන් හා කථිකාචාර්‍යවරු  විනාශව ගියහ​. පලී එතරම් බලවතෙකි. එසේම පළිගන්නා සුළු පුද්ගලයෙකි. නමුත් ක්‍ෂුද්‍ර ජීව විද්‍යාව දැණුම අතින් ඔහු සුධීමතෙකි. 

විද්‍යාත්මක කොමියුනිස්ට්වාදය අපට ඉගෙන ගැනීමට අයත්වූ විශයක් විය​. මුලින් අප සිතා සිටියේ මෙම විශය ඉගෙන ගැනීමෙන් අප කොමියුනිස්ට්වාදීන් වනු ඇතැයි සිතාය​. එහෙත් විද්‍යාත්මක කොමියුනිස්ට්වාදය සෝවියට් සරසවියක ඉගෙන ගෙන කොමියුනිස්ට්වාදියෙකු වූ අයෙක් මට මෙතෙක් හමුවී නැත​. නමුත් විද්‍යාත්මක කොමියුනිස්ට්වාදය අපට ඉගැන්වූ වික්තර් යාකොව්ලෝවිච්ට මම ප්‍රිය කලෙමි. ඔහු අපට දයලෙක්තිකවාදයන් ඉගැන්වීය​. එසේම ඕනෑම ප්‍රශ්නයක් ඇසීමේ නිදහස අපට තිබුණි. ඔහු හොඳ චින්තකයෙකි. 

පබ්ලික් හෙල්ත් හෙවත් සෝ‍ෂල් හයිජීන් විශය ඉගැන් වූ  මහාචාර්‍ය දිව්‍යාත්කා මහළු කුඩා මිනිසෙකි. දිව්‍යාත්කා දේශන පවත්වන විට සිසුන් විකාර කරති. එහෙත් විභාගයේදී මහාචාර්‍ය දිව්‍යාත්කා දරදඬුය​. එම නිසා සෝ‍ෂල් හයිජීන් විශය මම උනන්දුවකින් ඉගෙන ගත්තෙමි. මහළු දිව්‍යාත්කාගේ සෝ‍ෂල් හයිජීන් දැණුම මට උපකාර වූයේ මම මිනිපේ එම් ඕ එච් හෙවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ලෙස සේවය කරන විටදීය​. 

1997 වසරේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය චාන්දනී ගල්වඩුගේ සහ ප්‍රජා වෛද්‍ය විශේෂඥ වික්‍රමසූරිය යන වියතුන් ඉදිරියේ මම මිනිපේ ප්‍රජා සෞඛ්‍ය  වැඩසටහන් පිළිබඳව දේශනයක් කලෙමි. එම දේශනයෙන් පසු වෛද්‍ය චාන්දනී ගල්වඩුගේ සහ ප්‍රජා වෛද්‍ය විශේෂඥ වික්‍රමසූරිය මගේ දේශනය ඉතා හොඳ බව කියා පැසසුම් කලහ​. එක් විශේෂඥ වෛද්‍යවරයෙක් මම කොලඹ වෛද්‍ය පීඨයේදැයි කියා ඇසීය​. මම සිනහසෙමින් මම විදේශ පුහුණුවලත් වෛද්‍යවරයෙකු බව කීවෙමි. මේ කාලයේ ෆොරින් ග්‍රැජුවෙට්ස්ලාට ප්‍රහාර එල්ල කරන සමයක් විය​. මගේ පිළිතුරෙන් පසු අදාල විශේෂඥ වෛද්‍යවරයා කිසිවක් නොදොඩා යන්නට ගියේය. සම්මන්ත්‍රණය අවසානය තෙක් ඔහු මා සමග කතා කලේ නැත​. එහෙත් වෛද්‍ය චාන්දනී ගල්වඩුගේ සහ ප්‍රජා වෛද්‍ය විශේෂඥ වික්‍රමසූරිය මට ප්‍රජා වෛද්‍ය විද්‍යාව හදාරන ලෙස ඉල්ලූහ​. 

මගේ අදහස සහ​ අත්දැකීම් අනුව  විදේශ පුහුණුවලත් වෛද්‍යවරුන්ට බොහෝ විට අවමන් හා කැපිලි දමන්නේ අඩු ආර්ථික සමාජීය පසුබිමකින් එන ග්‍රාමීය පසුගාමීත්වය හිස දරාගෙන තම අතීතය සැඟවීමට වෙර දරන  වෛද්‍යවරුන් වෙති. ඒ සඳහා බලපවත්වන මනෝවිද්‍යාත්මක සාධකයක් ද තිබේ. අඩු ආර්ථික සමාජීය පසුබිමක්  සහිතව ග්‍රාමීය පසුගාමීත්වය හිස දරාගෙන  එන බොහෝ වෛද්‍යවරුන් පන්තිය මාරු කිරීමෙන් පසු අනන්‍යතා අර්බුධයට මුහුණ දෙති. ඔවුන් ගේ  අතීතය පිළිබඳව තිබෙන හීනමානය සහ සමාජ වෛරය ඔවුන් කාට හෝ බැර කල යුතුය​. එය පහසුවෙන් බැර කල හැක්කේ පිටස්තරයාටය​. විදේශ පුහුණුවලත් වෛද්‍යවරුන් ඔවුන් ගේ දෙනෙත් ඉදිරියේ පිටස්තරයෝ වෙති. 

විදේශ පුහුණුවලත් වෛද්‍යවරුන්ට මා දෙන අවවාදය නම් ඔබගේ රාජකාරිය හොඳින් කරන්න.  කැපිලි කෙටිලි උපේක්ශාවෙන් විඳ දරා ගන්න. ඒවා නිසා ඔබගේ ඉලක්ක මඟ හරවා නොගන්න. අවසානයේදී ඔබ ගැන නියම තක්සේ‍රුව දෙන්නේ හීනමානය හෝ ඉරිසියාව නිසා ඔබට ගරහන තම අතීතය සැඟවීමට වෙර දරන පුද්ගලයා නොව ඔබ ප්‍රතිකාර කරන රෝගියාය​.  

මූලිකවම  මගේ කැමැත්ත තිබුනේ වෛද්‍ය මනෝ විද්‍යාව කෙරෙහිය​. ඒ සඳහා හේතු වන්නට ඇත්තේ විනිට්සා වෛද්‍ය පීඨයේ මනෝ චිකිත්සාව ඉගැන්වූ මහාචාර්‍ය  ලුද්මිලා වේව්ස්කය නිසා විය යුතුය​. ඇය ෆ්‍රොයිඩියානු , නියෝ ෆ්‍රොයිඩියානු , පාසල් වලින් මෙන්ම වේගෝත්ස්කි , ඇලෙක්සැන්දර් ලුරියා යනාදීන් ගේ අදහස් වලින් පෝෂණය වූ ඉතා උගත් කාන්තාවකි. පසු කාලයක විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු සමග වැඩකිරීමේදී මෙන් ම විශේෂඥ මනෝ වෛද්‍ය සරත් පඞුවාවල විශේෂඥ මනෝ වෛද්‍ය දයා සෝමසුන්දරම් සමග පරියේෂණ පත්‍රිකා ලිවීමේදී මට මහාචාර්‍ය  ලුද්මිලා වේව්ස්කය විසින් ලබා දුන් පන්නරය ඉවහල් විය​.  

විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු සමග මම ශ්‍රී ලංකා යුද හමුදාවේ පවත්නා පශ්චාත් ව්‍යයසන ක්ලමථ අක්‍රමතාවය පිළිබඳ අධ්‍යනක් කලෙමි. වෛද්‍ය නීල් ප්‍රනාන්දු යහපත් මිනිසෙකු මෙන්ම හොඳ ගුරුවරයෙකි. මම විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු සමග විශාදය සහ දිවි නසා ගැනීම පිළිබඳව පොත් දෙකක් ලියුවෙමි. එතුමා විශිෂ්ඨ මනෝ වෛද්‍යවරයෙකි. නමුත් වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතාගේ දක්‍ෂතා වලට බියවූ ඇතැම් විශේෂඥ මනෝ වෛද්‍යවරු ඔහුව කොන් කළහ​. එතුමා මානසික සෞඛ්‍ය අධ්‍යක්‍ෂ  වූ විට මේ තැතිගත් කුහක විශේෂඥ මනෝ වෛද්‍යවරු කණ්ඩායම ඔහුව එම තනතුරින් ඉවත් කිරීමට කුමන්ත්‍රණ කළහ​.  යම් ලෙසකින් එතුමා දිගටම මානසික සෞඛ්‍ය අධ්‍යක්‍ෂව සිටියේ නම් බොහෝ ධනාත්මක දේ කිරීමට ඉඩ තිබුණි. එහෙත් රටේ අවාසනාවකටදෝ  මේ දක්‍ෂ මිනිසාගේ සේවය මානසික සෞඛ්‍ය ක්ශේත්‍රයට මුලුමනින්ම ලැබුනේ නැත​.  

මම පුත්තලම දිස්ත්‍රික් මානසික සෞඛ්‍ය සම්බන්ධීකරන නිලධාරී ලෙස සේවය කරන කාලයේදී වරක් මහාචාර්‍ය නාලක මෙන්ඩිස් මා විසින් සංවිධානය කරන ලද මානසික සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහනකට පැමිණියේය​. එතුමා මා විසින් පුත්තලම දිස්ත්‍රික්කයේ දියත් කරන ලද මානසික සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහන් ඇගයීය​.  2008 වසරේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කොළඹ පවත්වන ලද මානසික සෞඛ්‍ය ප්‍රවර්ධන වාර්ෂික සම්මේලනයේදී පුත්තලම් දිස්ත්‍රික්කයේ ප්‍රජා මානසික සෞඛ්‍ය ගැටළු පිලිබඳ දේශනයක් කලෙමි. මෙම දේශනයෙන් පසු සෞඛ්‍ය සංවිධානයේ මානසික සෞඛ්‍ය පිලිබඳ උපදේශක වෛද්‍ය ජෝන් මැහෝනි මගේ දේශනය පිළිබඳව මට ප්‍රසංසා කළේය.මේ ඇගයුම් සඳහා විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු විසින් ලබා දුන් පන්නරය ගැන මා එතුමාට ස්තූති කරමි. 

ආචාර්ය ෆ්‍රරැන්සින් ශැපීරෝ EMDR මනෝ ප්‍රතිකාරය සොයා ගත් මනෝ විද්‍යාඥවරියයි. 2004 සුනාමි ව්‍යාසනයේදී EMDR ප්‍රතිකාරය භාවිතා කරමින් මා විසින් ලබා දෙන ලද දායකත්වය අගයනු වස් වරක් ඇය මට එක්සත් ජනපදයේ වැඩිදුර අධ්‍යන කටයුතු කිරීම සඳහා ශිෂ්‍යත්වයක්ද ලබා  දුන්නාය​. ආචාර්ය ෆ්‍රරැන්සින් ශැපීරෝ , ආචාර්ය  සුසන් රොජර්ස් , ආචාර්ය නැන්සි එරෙබෝ මගේ ගුරුවරියන් වෙති.  

 2015 වසරේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලය විසින් එළි දැක්වූ The Essentials of Global Mental Health පොතේ එක් පරිච්ඡේදයක් විශේෂඥ මනෝ වෛද්‍ය දයා සෝමසුන්දරම් සමග මම ලියුවෙමි. වෛද්‍ය දයා සෝමසුන්දරම් උතුරේ යුද ආතතිය ගැන බොහෝ පරියේෂණ කොට තිබේ. විශේෂඥ මනෝ වෛද්‍ය දයා සෝමසුන්දරම් සුන්දර මිනිසෙකි. ඔහු මම ටොරොන්ටෝවට පැමිණි විට මට අවශ්‍ය උපකාරයක් කරන ලෙස ටොරොන්ටෝ විශ්ව විද්‍යාලයේ සේවය කරන තම මිතුරු විශේෂඥ මනෝ වෛද්‍ය  අරුන් රවීන්ද්‍රන් ගෙන් ඉල්ලා සිටියේය​. ඔහු සමග වැඩ කිරීමට ලැබීම භාග්‍යකි. ඔහුවද මම ගුරු තත්වයේ ලා සලකමි. 

මට හමුවූ දේශීය උගතුන් අතර මහාචාර්‍ය හරේන්ද්‍ර ද සිල්වා ලංකාවේ ළමයින්ට විශාල සේවයක් කල පුද්ගලයෙකි. එසේම එතුමා බොහෝ ලාංකික උගතුන් තුල දක්නට තිබෙන්නා වූ කුහක ගති වලින් තොරය​. ඒ එතුමා තුල ශක්තිමත් පෞරුෂත්වයක් තිබෙන බැවිනි. එම පෞරුෂත්වය මම නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය  ජී. ඒ. රණතුංග   ,විශේෂඥ කායික වෛද්‍ය සුනිල් සෙනෙවිරත්න ඈපා , විශේෂඥ ශල්‍ය වෛද්‍ය  එස් එස් ජයරත්න​, විශේෂඥ ශල්‍ය වෛද්‍ය රනිල් ප්‍රනාන්දු  යන මහතුන් තුලින් ද දුටුවෙමි. මම ඔවුන් ගෙන් බොහෝ දේවල් උගත්තෙමි. 

මහාචාර්‍ය කාලෝ ෆොන්සේකාද මට අමතක කල නොහැක . වරක් එතුමා මට කොලඹ වෛද්‍ය පීඨයේ මනෝ වෛද්‍ය විද්‍යා අංශයේ දේශකයෙකු ලෙස සේවය කිරීමට කැමතිදැයි විමසීය​. ඒ වන විට මම කැන්සාස් හි වොශ්බර්න් විශ්ව විද්‍යාලයේ දේශනයක් ද කොට තිබුණි. එහෙත් සත්‍ය පවසන්නේ නම් ලංකාවේ විශ්ව විද්‍යාල වල තිබෙන බෙලි කැපිලි , කුහකකම් වලට මම බිය වෙමි. එවැනි පරිසරයක මට ප්‍රවර්තනය විය නොහැක​. ලංකාවේ විශ්ව විද්‍යාල බටහිර ලෝකයේ විශ්ව විද්‍යාල මට්ටමට පැමිණි කාලයක මහාචාර්‍ය කාලෝගේ යෝජනාව ගැන මම සලකා බලමි. 

අපගේ බොහෝ ලාංකික උගතුන් තුල මිනිස්කම් අඩුය​. එයට එක් හේතුවක් නම් දිවයිනකට කොටුවී සිටීම සහ අත්දැකීම් අඩු වීමයි. ඔවුන් ගේ චින්තනය ඉතා පටුය​ Professional jealousy සාධකය බොහෝ ලාංකික උගතුන් තුල පැතිරී තිබේ. අන් අයෙකුගේ දක්‍ෂතා ඇගයීමට මොවුන් ගේ දිවවල් නොනැමෙති. කෙනෙකුගේ දක්‍ෂතා නොව ඔවුන් ගේ ජීවිතයේ වැරදුනු තැන් හුවා දැක්වීම බහුලව කරති. ඔවුන් තමන් සමගින් මෙන්ම  තම සහෝදර වෘත්තිකයන් සමග කෝපයෙන් වෛරයෙන්  සිටිති.  

කුහක වෘත්තිකයා ඉරිසියාවෙන් පෙලෙන්නෙකි. ඔහු තම අනෙකුත් වෘත්තිකයන් ගේ ජයග්‍රහණ ලඝු කොට කතා කරයි. ඔවුන් ගේ සුදුසුකම් පහලට දමා කතා කරයි. තමන්ට බලයක් තියන විට අනෙකුත් වෘත්තිකයන් ගේ ශිෂ්‍යත්ව යනාදිය කපා දමයි. වෘත්තීමය වශයෙන් කිසිදු උපකාරයක් නොකරයි. උපේක්‍ෂාව යන ගුණ ධර්මය නැත​. නිතරම සිතෙන් පැසවන්නෙකි. නොසන්සුන් ය​. කෙනෙක් ඉහලට ඉගන ගන්නවාට කැමති නැත​. ඒවාට බාධා කරයි. හීනමානය තිබේ. කෙනෙකුගේ යහ ගුණ නුගුණක් කොට බොරු කියයි. පසුපසින් සිට පිහියෙන් ඇනීමට දක්‍ෂය​. කේලාම් කීම ප්‍රගුණ කොට තිබේ. සුවසේ නොනිදයි. සිත නිතරම අසහනයෙන් පෙලේ.  

මෙම කුහක වෘත්තිකයන් බොහෝ දෙනෙකු තුල පෞරුෂ අක්‍රමතා හඳුනා ගත හැකිය​. අධ්‍යාපන ගුණාත්මක භාවය අතින් ලෝක ශ්‍රේනිගත කිරීම අනුව ලංකාවේ විශ්ව විද්‍යාල ලෝකයේ   පහළ මට්ටමක් දැරීමට මේ වෘත්තිකයන් ගේ මානසික තත්වයන් ද හේතු කාරක වේ. සමහර විට මට  මානසික කොටුවකට සිරවූ  මෙම ඊනියා ලාංකික උගතුන් කෙරෙහි විශාල දුකක් ඇතිවේ. 

මම දන්නා මහාචාර්‍ය ඕනෝ වැන්ඩ හාට් , මහාචාර්‍ය රේච්ල් ට්‍රයිබ්ස් , මහාචාර්‍ය ෆිලිප් සිම්බාඩෝ වැනි උගතුන් තුල තිබෙන යහ ගුණ අපගේ ලාංකික උගතුන් බොහෝ දෙනෙකු තුල නැත​. මහාචාර්‍ය ෆිලිප් සිම්බාඩෝ  යනු සුප්‍රකට ස්ටැන්ෆඩ් ප්‍රිසින් එක්ස්පරිමන්ට් නම් පරියේෂනය කල විද්වතාය​. වරක් මා විසින් Auschwitz සිර කඳවුර ගැන ලියන ලද කවියක් පසසා මහාචාර්‍ය ෆිලිප් සිම් බාඩෝ මට ඊ ලිපියක් එවා තිබුණි. ඔහු එතරම් නිහතමානීය​.  

ලංකාව විසින් මෙතෙක් බිහි කර තිබෙන විශිෂ්ටතම මනෝ විද්‍යාඥයා පද්මාල් ද සිල්වා මහතාය​. ඔහු මනෝ විද්‍යාඥ ස්ටැන්ලි රැක්මන් , මනෝ විද්‍යාඥ විලියම් යූල් වැනි පතාකයන් ගේ ගෞරවයට ලක් වූ පුද්ගලයෙකි. එහෙත් වරක් මා ඉදිරියේ එක් මනෝ වෛද්‍යවරියක්  පද්මාල් ද සිල්වා මහතා උපහාසයට ලක් කලේ ඔහුගේ ප්‍රථම උපාධිය සිංහල සහ බෞද්ධ දර්ශනය බව කියමිනි.නමුත් ඇය නොදැන සිටි එක් කරුණක් නම් පද්මාල් ද සිල්වා මහතාව වඩාත් යහපත් මිනිසෙකු බවට පත් කලේ මේ සිංහල සහ බෞද්ධ දර්ශනය යන විශයන් බවයි. පද්මාල් ද සිල්වා ලංකාවට පැමිණි අවස්ථා වලදී මා හමු වීම සඳහා යුද හමුදා රෝහලටද පැමිණීමට පුරුදුව සිටියේය​. රෝගීන් සඳහා මනෝ ප්‍රතිකාරයේදී එතුමා මට ගුරුහරුකම් ද දුන්නේය​. 

පද්මාල් යනු පේරාදෙනිය විසින් බිහි කරන ලද අන්තර්ජාතික කීර්තියට පත් වූ අතිජාත පුත්‍රයෙකි. ඔහු ඉතා යහ ගුණ ඇති මිනිසෙකි. මා වැනි කනිෂ්ඨ පුද්ගලයන්ට  අත හිත දුන්නේය​. මම පරියේෂණ පත්‍රිකා ලිවීම ඉගෙන ගත්තේ ඔහුගෙනි. ඔහු මට ගුරුවරයෙකු මෙන්ම  පහන් ටැඹක් විය​. ඔහුගේ අකල් මරණය විශාල පාඩුවකි.  මා විසින් ලියන ලද PTSD Sri Lankan Experience පොත මා විසින් පුදන ලද්දේ ඔහුටය​.  ඔහු බටහිර දැණුම සහ පෙරදිග දැණුම අතර පාළමක් විය​. පරළ වූ යකදුරෙකු මෙන් බටහිර විද්‍යාවට තිස් තුන් පැයේ බනින නලීන් ද සිල්වාට මඟ හැරුනේ මේ පාලමයි.  පේරාදෙනිය විශ්ව විද්‍යාලය  මුළු ලෝකයක් ගරු කල   ලංකාව විසින් මෙතෙක් බිහි කර තිබෙන විශිෂ්ටතම මනෝ විද්‍යාඥයාට මීට වඩා බුහුමනක් කළ යුතුය.​.

යෝක් විශ්ව විද්‍යාලයේ මහාචාර්‍ය රිච්ඩ් ලේලොන්ඩ් මා ලියන ලිපි සහ පොත් ඉතා ආශාවෙන් කියවයි. මා විසින් ලියන ලද ශෙල් ශොක් ටූ පලාලි සින්ඩ්‍රොම්  පොතට පෙරවදනක් පවා මහාචාර්‍ය රිච්ඩ් ලේලොන්ඩ් සැපයීය​. එසේම යෝක් විශ්ව විද්‍යාලයේ මහාචාර්‍ය ජිම් ඇල්කොක් මගේ ගෝඩ් ෆාදර් ලෙස හැඳින්වීමට කැමැත්තෙමි. ඒ මන්ද යත් මාගේ අධ්‍යාපන සහ වෘත්තීය කටයුතු වලදී ඔහු නිරන්තරයෙන්ම රෙෆෙරී හෙවත් නිර්දේශකයෙකු ලෙස පෙනී සිටියි. මා විසින් ලියන ලද සයිකොලොජිකල් ඇස්පෙක්ට් ඔෆ් බුඩිස්ට් ජාතක ස්ටෝ‍රීස් පොත මා විසින් පිළිගන්වා ඇත්තේද මහාචාර්‍ය ජිම් ඇල්කොක්ට ය​. 

මෙම සයිකොලොජිකල් ඇස්පෙක්ට් ඔෆ් බුඩිස්ට් ජාතක ස්ටෝ‍රීස් පොත විශේෂඥ මනෝ වෛද්‍ය ඩී.වී.ජේ හරිස්චන්ද්‍ර මහතා මිය යාමට පෙර එළි දැක්වීමට නොහැකි වීම ගැන මම දුක් වෙමි. වෛද්‍ය ඩී.වී.ජේ හරිස්චන්ද්‍ර මහතා සයිකෑට්‍රික් ඇස්පෙක්ට් ඔෆ් බුඩිස්ට් ජාතක ස්ටෝ‍රීස් පොත ලිවීය​. මම ලිව්වේ බෞද්ධ ජාතක කතා වල මනෝ විද්‍යාත්මක පාර්ශවය ය​.  විශේෂඥ මනෝ වෛද්‍ය ඩී.වී.ජේ හරිස්චන්ද්‍ර ඇතැම් විට මා විසින් ලියන ලද පොත් වල කරුණු පෙන්වා දෙමින් දේශනා පවත්වා තිබේ. වරක් එතුමා මා විසින් ලියන ලද යුද අතතියේ මනෝ විද්‍යාත්මක පාර්ශවය යන පොත ගැන අදහස් පළ කලේය​. විශේෂඥ මනෝ වෛද්‍ය ඩී.වී.ජේ හරිස්චන්ද්‍ර දිවයින් මානසිකත්වය අතික්‍රමණය කරන ලද වෛද්‍යවරයෙකි. 

මට මනෝ සමාජීය පුනරුථාපන විශය ( Psycho-social Rehabilitation  ) ඉගැන්වූ ටෝනි ශිම්බ්රි අපව මිතුරන් සේ සම තත්වයේ ලා සැලකීය. ටෝනි ශිම්බ්රි පසුගිය වසරේදී ඔහුගේ ආචාර්‍ය උපාධිය ටොරොන්ටෝ විශ්ව විද්‍යාලයෙන් ලැබීය​. එසේම ටොරොන්ටෝ විශ්ව විද්‍යාලයේ මහාචාර්‍ය මේරි සීමන්ද මා සමහ අදහස් හුවමාරු කර ගන්නීය​. ඇය මා විසින් ලියන ලද Between Psychology and Literature පොතට පෙරවදනක් ද සපයා තිබේ. 

පශ්චාත් ව්‍යයසන ක්ලමථ අක්‍රමතාවය(PTSD)  ගැන මා විසින් ලියන ලද පත්‍රිකාවක් කියවූ මහාචාර්‍ය ජුඩිත් හර්මන් වරක් මට ඊ ලිපියක් එවීය​. මහාචාර්‍ය ජුඩිත් හර්මන් පශ්චාත් ව්‍යයසන ක්ලමථ අක්‍රමතාවය ගැන පර්‍යේෂණ කරන ලොව සුප්‍රකට පරියේෂිකාවකි. මගේ මෙම පත්‍රිකාව පළ කරන ලද්දේ එක්සත් ජනපද හමුදාවේ විදේශීය සේවා කාර්‍යාංශය විසිනි. මෙම පත්‍රිකාවෙන් මම පශ්චාත් ව්‍යයසන ක්ලමථ අක්‍රමතාවය බටහිර විසින් සොයා ගත් රෝගී තත්වයක් නොව එම අක්‍රමතාවය ගැන බෞද්ධ ජාතක කතා වල  සඳහන්ව තිබෙනවා යැයි පෙන්වා දුන්නෙමි. එසේම මෙන්ම 16 වන සියවසේ ලංකාවේ සිටි රජෙකු වූ පළවන රාජසිංහ රජුද  පශ්චාත් ව්‍යයසන ක්ලමථ අක්‍රමතාවයෙන් පෙළුනු බවට සාධක සහිතව  පෙන්වා දුන්නෙමි. මගේ පත්‍රිකාව මහාචාර්‍ය ජුඩිත් හර්මන් ගේ අදහස් අභියෝගයට පත් කිරීමක් වූවද අපගේ දිවයින් මානසිකත්වයන් පෙලෙන වෘත්තිකයන් සේ ඇය මාව හෙලා දැක්කේ නැත​.  ඇය මට බොස්ටන් හි තිබෙන ඇයගේ සායනයට ආරාධිත චිකිත්සකයෙකු වශයෙන්  පැමිනෙන ලෙසට ආරාධනා කළාය​.  ඉදිරි කාලයේ මම මහාචාර්‍ය ජුඩිත් හර්මන් හමුවීමට යමි. එය මගේ ජීවිතයේ සන්ධිස්ථානයක් වනු නොඅනුමානය​. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග



Find Us On Facebook