Tuesday, January 1, 2019

අමාත්‍යවරයාගේ ආගමනය



වින්සන්ට් ලංකාතිලකට තමාගේ මිතුරෙකු වූ නාගහවත්තව සිහිපත් විය. තමාගේ විශ්ව විද්යාලීය සගයෙකු වූ නාගහවත්ත දැන් අමාත්යාංශ අතිරේක් ලේකම් කෙනෙකි. මෑතකදී නාගහවත්ත ඔහුට ලිපියක් එව්වේය. නාගහවත්ත ගේ ලිපියේ කොටසක් ඔහුට තවමත් මතකය.

...... අමාත්යවරයා ආවේ ටිකක් ප්රමාදව. ඔහුගේ හිසේ ගා තිබූ ජෙල් දිලිසෙනවා මම දුටුවා. ඔහු සමග ඔහුගේ ආරක්ෂකයන් මෙන්ම අනෙකුත් පිරිවරද ආවා. අමාත්යවරයා එනවාත් සමගම අමාත්‍යාංශයේ නිලධාරීන් මෝල් ගස් වගේ එකපාරම නැගිට්ටා. මේ ඇමතිවරයා නවය පන්තිය වන තෙක් ඉගෙන ගත් කෙනෙක්. එවැනි නූගතෙක් එන කොට විශ්ව විද්‍යාල උපාධි , ආචාර්‍ය උපාධි තිබ්බ අපේ නිලධාරීන් බයාදු විදිහට නැගිටපු අයුරු මම දුටුවා.
 ඔහුගේ නූගත්කම , දුගී අතීතය ඒවා පැත්තක තියමු. ඒවා සමාජ විශමතා නිසා හටගත් ඒවා වෙන්න ඇති. නමුත්  මේ  අමාත්‍යවරයා ජනතා මුදල් හොරකම් කරපු චෞරයෙක්. දේශපාලනයට ඒමට පෙර ඔහුට පාපැදියක්වත් ගන්න මුදල් තිබුනේ නෑ. ඔහු දේශප්‍රේමය ගැන කතා කරමින් ජනතා මුදල් හොරාකා ගෙන විශාල මන්දිරයක් ඉදි කලා. මිලියන ගනනක් මුදල් අයථා ලෙස හෙව්වා. ඔහු මාධ්‍යවේදීන්ට වැඩමුලුවක් පවත්වනවා කියා මුදල් අමාත්‍යංශයෙන් ගෙන තම සොහොයුරියගේ පුතාගේ විවහාය කරපු නීචයෙක්. තම අනන්‍යතාව  පිලිබඳ ගැටළු තිබූ නිසා ඔහු තම උපන් දිනයත් වංචනිකව වෙනස් කරපු කෙනක් . මෙවැනි හොරුන් වන්දනා කරන දේශයක තමයි මම උපන්නේ. මට ලංකාව ගැන කලකිරුනා. මේ වගේ කාලකන්නි දේශයක උපත ලබන්න අපි කරපු පව කුමක්ද ? මේක පින් බිමක් කියලා කිව්වට ඇත්තෙන්ම පව්කාරයෝ ඉපදෙන භූමියක්. පින් බිම  කියා කියන්න ඕනේ ඕස්ට්‍රේලියාව, නෝර්වේ , ෆින්ලන්තය වගේ රටවලට මිසක් මේ රටට නොවේ.
  
වරක් නවසීලන්තයේ ජොබ් එකකට ඔෆර් එකක් ආපු වේලාවේ මම ගියේ නෑ. මම හිතුවේ අපි ලංකාවට සේවය කරන්න ඕනේ කියලා ඒවගේ ලංකාව දාලා පිටරට රැකියා වලට ගිය වින්සන් වගේ අයට මම දොස් කිව්වා. නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගෙන බටහිර රට වලට යාම පිලිබඳව. දැන් මම අවංකවම දුක් වෙනවා ලංකාවේ රැඳී සිටීම ගැන. මීට වසර ගනනාවකට පෙර නවසීලන්තයේ ජොබ් එකකට ඔෆර් එකක් ආපු වේලාවේ මම නොගිය එක ගැන මම අද දුක් වෙනවා.

මොණරාගලටත්  එහා දුෂ්කර ප්‍රදේශයකින් විශ්ව විද්‍යාලයට ආපු සෝමරත්නව වින්සන්ට් ට මතකද. මිනිහා විශ්ව විද්‍යාලයේ දී සමාජවාදය ගැන ඉහලින් කතා කලා. අපි ලවා පන්ති වර්ජන , උද්ඝෝෂණ කෙරෙව්වා. අධ්‍යාපනය , බැංකු යනාදිය පුද්ගලිකරණයට එරෙහිව කටයුතු කලා. දැන් මිනිහා ඇමතිතුමාගේ හොඳ ගජයෙක්.  සෝමරත්නත් හොඳට සල්ලි හෙව්වා. මිනිහගේ පුතා ඉගෙන ගන්නේ ඇමරිකාවේ පුද්ගලික විශ්ව විද්‍යාලයක.

මගේ පුතා මේ අවුරුද්දේ උසස් පෙළ විභාගය කරනවා. මම සියළු උත්සහ යොදවන්නේ උසස් පෙළ විභාගයෙන් පසුව ඔහුව ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාලයකට යවන්න. ඔහුට මම කියන්නේ ඒ රටේ නවතීන. යලි ලංකාවට එන්න එපා කියලා. මේ රට විනාශයි. මේ රට විනාශ කලේ දේශපාලකයෝ සහ  චන්දදායකයෝ.  ඒ වගේම  කලා කාරයෝ , පූජකයෝ  , මාධ්‍යවේදීන්   මේ සියළුදෙනා මේ විනාශයට හවුල් උනා……..

වින්සන්ට් ලංකාතිලක නාගහවත්ත විසින් එවන ලද ලිපියේ අඩංගු කරුණු පිලිබඳව සිතුවේය. ඔහුට සෝමරත්නව මතකය. සෝමරත්නව පෙළූ හීනමානය සහ ග්රාමීය පසුගාමීත්වය ඔහුව මජර ධනපතියෙකු දක්වා රූපාන්තරණය කොට ඇත. වින්සන්ට් ලංකාතිලක ආපසු හැරුනේය. ඔහු නිහඞව තරප්පු පෙල දිගේ පහලට බැස්සේය. යම් අයෙකු ඔහුගේ නම කියා කතා කරයි. වෛද් රණසිංහද ? නැතහොත් සෝමරත්නද ? ඒ ඔවුන් කිසිවෙකු නොවේ. වෙනත් අයෙකුය.

" වින්සන්ට් .. වින්සන්ට් " ඔහුට ජූඩ් ගේ කට හඞ ඇසෙයි. වින්සන්ට් නින්ද ගියාද ? අපි හොටෙල් එකට ආවා ".

වින්සන්ට් ලංකාතිලක තිගැස්සී ඇහැරුණි. ඔවුන් හෝටලයේ රථ ගාලට පැමිණ ඇත. ජූඩ්ට සමු දුන් වින්සන්ට් ලංකාතිලක හෝටලය තුලට ගියේය. 


(පරිකල්පනික අතික්‍රමණය  වෛද්ය රුවන් එම් ජයතුංග)

No comments:

Post a Comment

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook