Saturday, October 13, 2018

චන්ද කාලේ කතාවක් - 4


හාරතාසියට ගේම දුන්නම පස්සේ සුමින්ද මහත්තයා රට පැන්නා. බොරුවට කිව්වේ හාරතාසියගේ ශොට් එකක් සුමින්ද මහත්තයාගේ ඔළුවට වැදුනා කියලා. ඒක අමු කෙප්පයක් කියලා අපි දැනගෙන හිටියා. ඒත්  ජනතාව   කියන වේසිගේ   පුත්තුත් බැලන්ස් කරන්ඩත් එපැයි. සුමින්ද මහත්තයා සිංගප්පූර් එකේ ඉන්න කොට බිස්නස් ටිකක් වැටුණා. කුඩු ලාලිත්‍රයා ගේම වර්චස් කරගෙන පාජාව කරගෙන. ඒත් පොලිසියේ උසස් බුවාල කීප දෙනෙකුට ජරාව දීලා බිස්නස් එක ඇදගෙන ගියා.

සුමින්ද මහත්තයා නැති උනත් අපේ වත්තේ ජොහොර් එක මම අල්ලගෙන හිටියා. ඒත් පේමෙලා වෙන වෙන ගැන්සි වලට සෙට් වෙලා දේශපාලන බුවාල එක්ක කප්පම් කේස් කර කර කර හිටියා. ඌ මාත් එක්ක ගේමට ආවේ නෑ. සුමින්ද මහත්තයා නැති නිසා මම ඌත් එක්ක හැප්පෙන්ඩ ගියේ නෑ. 

මෙහෙම කාලයක් ගියා මහත්තයා නැතිව. ඒත් වරින් වර තොරතුරුආවා මහත්තයා ආතල් එකේ සිංගා එකේ ඉන්නව කියලා.   සුමින්ද මහත්තයා සබ්ජෙක්ට් එකට බරයි. ටිකක් ලාබාල කෑලි වලට කෑදරයි. මහත්තයා  ඉස්සර පොඩි තව්වක් විදලා කේස් එකක් දාගෙන හිටියා කියලා එක සැරයක් සුවාරිස් අයියා කිව්වා. මොන කේස් තිබ්බත්   සුමින්ද මහත්තයා සල්ලි එහෙ මෙහෙ විසි කරලා නඩු පොත් කැනසල් කර ගත්තා. හාරතාසියගේ කේස් එකත් සුමින්ද මහත්තයා යට ගහනවා කියලා මම දන්නවා. සුමින්ද මහත්තයා නඩු කාරයාව උනත් සල්ලි වලට ගනී. මේ ලංකාවෙ සල්ලි විසි කරලා කරන්ඩ බැරි මොනවද? ජරාව දුන්නොත් ඕන පකෙක් බැලන්ස් කර ගන්න්ඩ පුළුවන්.

දවසක් ආරි මට කතා කරලා කිව්වා හෙට සුමින්ද මහත්තයා ලංකාවට එනවා , මහත්තයව පිලිගන්න වත්තේ කට්ටිය අරගෙන එන්ඩ කියලා. මම වත්තේ බුවාලට ඕඩර් එක දීලා මහත්තයව පිලිගන්ඩ ගියා. එදා අම්බානක කට්ටිය පිරිලා. අපේ වත්තේ එවුන් පාර බ්ලොක් කරගෙන මහත්තයට ජය වේවා කියලා කෑගහනවා. රතිඤා පත්තු කරනවා , වැඩ කෝටියයි. මහත්තයා කාර් එකේ අත වනාගෙන ගියා. මාව දැකලා "වික්ටර් මොකුත් ප්‍රශ්නයක් නෑ නේද? කියලා ඇහුවා. ඒ කියලා කිවා හෙට දිහාට මහත්තයාගේ බංගලාව පැත්තේ එන්ඩ කියලා. මම කිවා "සර් ඔක්කොම  එල කිරි  කියලා"

මහත්තයා ඔළුව වැහෙන්ඩ ඔතාගෙන හිටියේ. මම දන්නව මහත්තයා දාන්නේ පානිය කියලා.ඒත් අපේ මහත්තයානෙ . මමත් ෆුල් සීරියස් එකේ හිටියා මහත්තයා ඔළුවටත් වෙඩි කාලා නොමැරී බේරුණා කියලා. වත්තේ ඉසබෙලාගේ දුව අඬ අඬ දෙවියන්ට පින් දෙනවා මහත්තයාගේ ජීවිතය බේරලා දුන්න එකට. ඉසබෙලාගේ දුව අම්බ එළදෙන. ඇඞුවේ ඇත්තටම. ඒකිගේ ඇඞිල්ල දැකලා මට හිනාත් ගියා. ඒ අස්සේ මාධ්‍යද මොකක්ද කියන උරුලෑවෝ වගයක් ඇවිත් අපේ වත්තේ එවුන්ව   පොටෝ  ගහනවා උන් ගෙන් පත්තර වලට විස්තර ගන්නවා. ඔක්කොම මහත්තයා දෙයියෝ බේරුවා වගේ ටෝක් එක දුන්නා. මටත් ආතල්. මේකෙන් මටත් මහත්තයගෙන් ලකුණු වැටෙනවා.

එදා මම වත්තට එනකොට රෑවෙලා චින්තක්කා පොඩි එකී අතේ මට බත් එකක් එවලා තිබ්බා. ඒක කාලා බීඩියක් පත්තු කරගෙන හන්දිය පැත්තට ගියා. මගදී කොරළ නිස්සංකයා හම්බ උනා. 

" විට්ටර අයියා සුමි ද මහත්තයාගේ ආරස්සාවත් බලන්ඩ එපැයි. මම අද රෑට මහත්තයාගේ බංගලාව පැත්තේ ගිහිල්ලා නයිටක් ගහලා එන්ඩද ?කියලා මූ මගෙන් අහනවා. මට මුගේ ගේම තේරුණා. මූ හදන්නේ හිමිං හිමිං මහත්තයට සෙට් වෙන්ඩ. මුගේ තාත්තා පොකට් සෝමේ. ඌ ඉස්සර ඉන්ස්පෙක්ටර් සෝ මහත්තයාගෙන් අම්බානක කනවා. දවසක් පොකට් ගහලා අහු වෙලා කොච්චියෙක් පොලිස් බූට් දාලා මුගෙ පපුවට පයින් ගැහුවා. පොකට් සෝමයා මලේ ලේ වමනේ දාලා. ඌත් ඒ කාලේ හොඳ පානි කාක්කා. වත්තේ කොල්ලෝ බස් වල දම්මලා තදබදයක් හදලා පොකට් එකට කෙලිනවා. ඊට පස්සේ සල්ලි ටික හිමීට  යටි මඩි ගහගෙන එම්ටි පොකැට් එක කොල්ලන්ට පෙන්නලා  කියනවා අද නම් බඩේ පාර කියලා. රොබරියක් දුන්නොත්  කොල්ලන්ට කොටහක් දෙන්ඩ ඕනේ. කොල්ලන් ගේ කොටහටත් කෙලින එකා අමු  සක්කිලියෙක්.  

මම කොරළ නිස්සංකයා දිහා නෝන්ඩි ලුක් එකක් දාලා කිවා මේ උඹ ඉදිමෙන්නේ නැතිව ඉඳහං. මහත්තයාගේ ආරස්සාව මම බලාගන්නං කියලා. ඒක කිව්ව ගමන් මූ කැපිලා ගියා. 

දවස් දෙක තුනකට පස්සේ අපිට නිවුස් එක ආවා හාරතාසියාගේ කේස් එක ඇදිලා මහත්තයා රිමන් එකේ කියලා. මම ආරිත් එක්ක විසිට් එකක් දාගෙන මහත්තයව බලන්ඩ ගියා. රිමන් එකේ කිව්වට මහත්තයා ඉන්නේ බන්ධනාගාර රෝහලේ කියලා ආරි කිව්වා. මාත් ඇතුලේ කාලයක් හිටපු නිසා ඕකේ වෙන කෙළි දන්නවා. බන්ධනාගාර රෝහලේ ඉන්න දොස්තරලා පගා කාපර්ලා. උන්ට ජරාව දුන්න ගමන් කූඩුවට නොගිහින් ඉස්පිරිතාලේ ඇඳක් ගන්ඩ පුලුවං. ජේලර්ලට ජරාව දීලා නැවක් උනත් ඕක අස්සට ගේන්ඩ පුළුවං. සල්ලි විසි කරලා ඇතුලේ ලෝඩ් වගේ ඉන්ඩ පුලුවන්. ඒත් සල්ලි නැති එවුන්ට අමු චාටර්. මහත්තයාගේ කුඩු කේස් එකෙක් නිසා ඇතුලට ගිය කළු අජියා ගැන දුකයි. ඌ අම්බ වහක් කනවා. 

මහත්තයා බලන්ඩ ගිහිල්ලා වත්තට එනකොට පොට්ට සිරිලා මුලිච්චි උණා.

" මහත්තයා ඇතුලේ නේද ? කියලා ඌ ඇහුවා.

ඇතුලේ තමයි ඒත් රජා වගේ ඉන්නේ " මම කිව්වා

" විට්ටර මල්ලී ජරව විසි කරලා හැමදාම ඔහොම ඉන්ඩ බෑ. කරපු කේස් වලට කවදා හරි විඳින්ඩ වෙනවා. ඒක ලෝක සොබාවය " කියල මූ කිව්වා.

අම්මටඋඩු පොට්ට සිරිලත් දර්ම ටෝක් දෙනවා. මූ පන්සලක් පැත්තේ ගියාවත්ද කියලා මට හිතුනා. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග


 චන්ද කාලේ කතාවක් -1
https://transyl2014.blogspot.com/2014/11/blog-post_30.html

 චන්ද කාලේ කතාවක් -2
https://transyl2014.blogspot.com/2016/10/blog-post.html

චන්ද කාලේ කතාවක් -3
https://transyl2014.blogspot.com/2018/03/3.html

No comments:

Post a Comment

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook