Tuesday, October 23, 2018

1971 දී ජී.අයි.ඞී. ධර්මසේකර විසින් කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයට එල්ල කල ප්‍රහාරය



ජී.අයි.ඞී. ධර්මසේකර එදා කස්ත්‍රෝ අනුගමනය කළේය. අද ඔහු අනුගමනය කරන්නේ අනගාරික ධර්මපාල තුමාගේ මාවතයි. හෞතිකවාදයේ සිට අධ්‍යාත්මික වාදය දක්වා ගිය දීර්ඝ ගමන ගැන අසා දැන ගැනීමට මම අනගාරික ධර්මසේකර හමු වීමට ඔහුගේ කළුතර අසපුවට ගියෙමි.  1971 දී ජී.අයි.ඞී. ධර්මසේකර  විසින් කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයට  ප්‍රාහරයක් එල්ල කරන ලදි.   මේ අනගාරික ධර්මසේකර කියන කතාවයි.

1970 මාර්තු වෙන කොට අපි අළුත් කන්ඩායමක් හැදුවා. මාතෘ භූමී ආරක්ෂක සංගමය කියලා. 

1971 මාර්තු වලදී අපි තීරණය කළා වියට්නාමයේ ඇමරිකාව කරන ජන ඝාතන වලට විරෝධයක් ලෙසට කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයට පැනලා පත‍්‍රිකා බෙදන්න. වීදුරු කඩන්න.
අපේ කට්ටිය ඇමරිකන් තානාපති කාර්යාලයට පැනලා මුරට හිටපු රාලහාමිලා දෙන්නව යටත් කර ගත්තා. බය කරන්න සද්දේ විතරක් තියන පිපිරුම් හානි නැති බෝම්බ 2 ක් ගැහුවා. ඇමරිකානු කොඩිය බිමට බාලා ගිනි තියන්න. කෙනෙක් කොඩි ගහට නැග්ගා. නගින්න අමාරුයි. ලිස්සලා යලි පහලට එනවා. ග‍්‍රීස් ගහේ නගිනවා වාගේ.


ප‍්‍රහාරයට තිබුනු කාලය විනාඩි 3 යි. කාලය ගියොත් පොලිසිය වට කරනවා. පිරිස ඇමරිකානු තානාපති කාර්යාලයේ අසල තිබුනු වාහන 7ක් විතර කොඩිගහ ළඟට ගෙනල්ලා වාහනවලට ගිණි තිබ්බා. ඒ ගිණි ජාලාව එක්ක කොඩියත් පිච්චුනා.


කට්ටිය විසිරී යද්දී අයි.පී. කරුණාරත්න අහම්බෙන් එතනට ඇවිල්ලා.එයා එනකොට කොල්ලූපිටිය  පොලිසියේ රාලහාමිලා දෙන්නෙක් අත උස්සගෙන ඉන්නවා දැකලා.  මෙතන්ට පැන්නා. කළබලය දැකලා සාක්ෂියට කෙනෙක්ව අල්ලා ගෙන ජීප් එකට දා ගන්න ගියා. කණ්ඩායමේ හිටපු එදිරිසිංහ සාක්ෂිකාරයා බේරා ගන්න ගියා. අයි.පී.කරුණාරත්න දැඩිව සාක්ෂිකාරයා අල්ලා ගෙන හිටපු නිසා ඔහු ගන්න අමාරු උනා. ඒ නිසා බැරිම තැන එදිරිසිංහ අයි.පී. කරුණාරත්නට පිහියෙන් ඇන්නා. අයි.පී.කරුණාරත්න මළා.


 මේ අස්සේ මේ සිද්ධියට ආපු කලින් සිවුරු ඇරපු කෙනෙක් පොලිසියට අහු උනා. ඒක උනේ මෙහෙමයි.

ඇමරිකානු තානාපති කාර්යාල ප‍්‍රහාරය ගැන කට්ටිය විද්‍යාලංකාරේ බෝඩිමක සැලසුම් කර කර ඉන්න කොට මේ මෑතකදී සිවුරු ඇරලා හිටපු කෙනා ආවා. මිනිහා දොර ලඟ හිටපු නිසා සැලසුම අහගෙන හිටියාදෝ කියන සැකයක් ඇති උනා. ඇත්තෙන්ම මිනිහා ආවේ සැලසුම් කට්ටියේ කෙනෙක්ව හමුවෙන්න. පිරිස මේ පුද්ගලයා ව කාමරයේ හිරකරලා ප‍්‍රහාරයට යන්න හදන කොට මිනිහාව දන්න යාළුවා කිව්වා මූ හොඳ එකෙක්. අපේ වැඬේට මූවත් ගමු කියලා. පැට්‍්‍රල් බෝතලයක් අතට දුන්නා.

මේ මිනිහත් පිරිස එක්ක තානාපති කාර්යාලයට ගියා. ඒත් මොනවත් නොකර බලාගෙන හිටියා. පිරිස පහර දීලා විසිරිලා යනකොටත් මේ මෝඩ මනුස්සයා පැට‍්‍රල් බෝතලය අතේ තියාගෙන වාහන ගිනි ගන්නවා බලා ගෙන ඉඳලා. පොලීසිය එනකන් මිනිහා එතන. එයාගේ මාර්ගයෙන් පොලිසිය තොරතුරු ලබා ගත්තා.


මට අයි.පී. කරුණාරත්නගේ මරණය ගැන කනගාටුයි. ඒක ඛේදවාචකයක්. මම එදිරිසිංහට කිව්වා. ‘එදිරි, මේක සිදු නොවිය යුතු දෙයක්. අපි සැලසුම් කළේ වීදුරු කඩලා කොඩිය ගිනි තියන්න විතරයි. එදිරිසිංහ කිව්වා එයාටත් වෙන විකල්පයක් තිබ්බේ නැති බව.

මේ ප‍්‍රහාරය විජේවීර දැක්කේ එයාලාගේ ප‍්‍රහාරයට විරුද්ධව කරපු කඩාකප්පල්කාරී ක‍්‍රියාවක් හැටියට. ඒත් මට එහෙම දෙයක් කරන්න අවශ්‍යතාවක් තිබුනේ නැහැ.

 ( අනගාරික ධර්මසේකර පවසන පරිදි මෙම ප‍්‍රහාරයට අනුගාමිකයන්ගේ ඉල්ලීම පරිදි  ඔහු  සහභාගී නොවීය. 1971 අපේ‍්‍රල් මාසයේ දිනමිණ පුවත්පතේ පොලිස් නිලධරියා මරා දැමීම නිසා සැකපිට ඇන්තනී  ක්ෂේවියර් යන පුද්ගලයකු අත් අඩංගුවට ගෙන ඇති බවට පුවතක් පල විය – කතෘ)

වෛද්‍ය රුවන් එම් ජයතුංග

1 comment:

  1. අනගාරික වශයෙන් සිටි මෙතුමා මෑතකදි පැවිදි උනා.දැන් නම ධමිමවිජය හිමි.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook