Wednesday, June 13, 2018

මාගේ පාසල් මිත්‍ර මනෝජ් නීලාංග



මනෝජ් නීලාංග මා සමග 1974 අබේකෝන් ටීචගේ 2 වසරේ පන්තියේ සිටියේය. වරක් ඔහු අබේකෝන් ටීචගේ ඉල්ලීම පිට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ  සේවය කල තම පියාට කියා යකඩ මාංචු යුවලක් පන්තියට ගෙනාවේ ළමුන්ට පෙන්වීම සඳහාය​. ළමුන් මෙය නැරඹීමෙන් පසුව එය අබේකෝන් මහත්මියගේ මේසය මත තිබුණි.  අමුතුම කුතුහලයක් තිබූ සනත් තිසේරා මේ මාංචු කුට්ටම පිරික්සන්නට විය​. විවෘතව තිබූ මෙම මාංචු වලට තම දකුණු අත දැමූ සනත් තිසේරා මාංචුව තද කලේය​. ඉන් පසු ඔහුට මාංචුව ඇර ගැනීමට නොහැකි විය​. අබේකෝන් ටීචද තිසේරාට බණිමින් මාංචුව ඇරීමට තැත් කලාය​. මාංචුව ඇරීම සඳහා යතුර ගැනීමට මහර බන් ධනාගාරයට යා යුතු බව නීලාංග කීවේය​. තැති ගත් සනත් තිසේරා අඞන්නට විය​. පසුව අබේකෝන් ටීච සනත් තිසේරාගේ අතට සබන් ගා  මාංචුව පැන්නුවාය​. ඉන් පසු සෝබිත වීරසේකර නීලාංග අමතා නීලාංග විනිශ්චයකාරතුමා සනත් තිසේරාව අත් අඩංගුවට ගෙන මාංචු දැමූ බව කීවෙන්  නීලාංග උරණ විය​. 

තුන වසරේදී ද (1975 ) මනෝජ් නීලාංග සිටියේ මගේ පන්තියේය​. ඒ කාලයේ මම කිසිදු කොල්ලෙකුට බය නොවූ අතර මනෝජ් නීලාංගට සහ  සීවලී පෙරේරාට පමණක් බයින් සිටියෙමි. එහෙත් වරක් මනෝජ් නීලාංග සමග ගැටුමකට ගොස් ඔහු මට පහර දුන් හෙයින් මම අබේකෝන් ටීචට පැමිණිල්ලක් ඉදිරිපත් කලෙමි. අබේකෝන් ටීච මනෝජ් නීලාංගගේ අත්ලට අඩි රූලෙන් පහරවල් දෙකක් දුන්නාය​. පසුව මට තේරුම් ගියේ මනෝජ් නීලාංගව මිත්‍ර කර ගැනීමෙන් මගේ ආරක්‍ෂාව වඩාත් ශක්තිමත් වන බවයි. මේ නිසා මම ඔහු සමග මිත්‍ර වූයෙමි. 1974 -තුන වසරේ සිටියදී මම මඩොල් දූව පොත පන්තියට ගෙනාවෙමි. එම පොත මමත් නීලාංගත් කියවූ බව මතකය​. 

1978 හය වසරේදීද මනෝජ් නීලාංග මා සමග හිල්ඩා ගුණවර්ධන මියගේ පන්තියේ සිටි අතර අප මිතුරන් වූයෙමු. වරක් අපට ගණිතය ඉගැන්වූ පොඩි විතාණ මහතා මෝටර් සයිකල් අණතුරකට ලක්ව අත වෙලාගෙන පන්තියට ආවේය​. ඇවිත් ඔහු බේස්ලයින් මාවතේ තමන් මුහුණ දුන් මෝටර් සයිකල් අණතුර ගැන විස්තර කරන විට මනෝජ් නීලාංග " ඔය බොරු ඔය ගෑණුංගෙන් ගුටි කාලා " කියා කීවේය​. එයින් මුළු පන්තියම සිනාසුනු අතර පොඩි විතාණ මහතාටද සිනා පහල විය​. 

හයේ පන්තියේදී චිත්‍ර ගුරුවරිය අපට මුහුදු වෙරළක් අඳින්නට කීවාය​. මගේ චෝක් පෙට්ටියේ නිල් පාට නොතිබූ නිසා මම මුහුද රතු පැහැයෙන් ද පොල් ගස් කොල පැහැයෙන් ද ඇන්දෙමි. මගේ චිත්‍රය දුටු නීලාංග මෙන්න රුවන් රතු මුහුදේ කෙහෙල් ගස් ඇඳලා කියා කීවේය​. ඉන් පසු වසර බොහෝ ගනනක් යන තුරු නීලාංග මාව දකින විට රතු මුහුදේ කෙහෙල් ගස් කතාව කියන්නට විය​. 

හය වසරේදී  අපට සිංහල ඉගැන්වූයේ සිරිවර්ධන ටීචය ඇය වර්තමානයේ  කෝපි කඩේ  ටෙලි නාට්‍ය කරන චන්දික විජේසේන ගේ මවය. වරක් සිරිවර්ධන ටීච ලෝකය වතුරෙන් විනාශ වන බව  සහ අවසානයේදී දෙදෙනෙකු පමණක් ඉතිරි වන බවත් කීවාය​. එවිට ලාල් රූපතුංග සෙමින් කොඳුරමින් ලෝක අවසානයේදී ඉතිරි වන්නේ නීලාංගත් රුෂාන්තගේ අක්කා බවත් කීවේය​. මෙය ඇසූ රුෂාන්ත ගේ මුහුණ කෝපයෙන් රතුවී ගිය අතර මට නිම් හිම් නොමැති සිනාවක් පහළ විය. මේ හේතුවෙන් රුෂාන්ත මදෙස බලා " උඹට දෙන්නං" කියා තර්ජනයක් කලේය​. එහෙත් රුෂාන්තගේ තර්ජනයටවත් මගේ සිනහව නැවැත්වීමට නොහැකි විය​. 

1980 වසරේ අප සිටියේ අටේ පන්තියේය​. වරක් නීලාංග , රුෂාන්ත , ලාල් රූපතුංග යනාදීන් එක්වී වැටීම නිසා අත ඉදිමී තිබූ සිසුවෙකු රෝහල වෙත අරගෙන යමින් සිටියහ​. එය දුටු මා නීලාංග අමතා "  ළමා රෝහලටද යන්නේ ? කියා ඇසුවෙමි. ගත් කටටම නීලාංග මට කීවේ " නෑ අපි යන්නේ සත්ව රෝහලට"  කියාය​. 

නීලාංග පාසලට ආවේ පුංචි බොරැල්ලේ සිටය​. සමහරක් දින වල මවුන්ට් මේරි වලින් බැස පාසලට ඇවිද ගෙන එන මට නීලාංගව හමු වෙයි. අප දෙදෙනා එකට කතා කරමින් පාසල් ආවෙමු. මේ කාලයේදී ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ  නිලධාරීන් මසකට වරක් නාලන්දාවට විත් සීසන් ටිකට් හෙවත් මාසික වාර ප්‍රවේශ පත්‍ර නිකුත් කළහ​. මේ නිසා බස් රථ වලින් ගමන් ගන්නා සිසුන් පෝලිම් ගැසී  සීසන් ටිකට් මිලදී ගත්හ. එක් අවස්ථාවකදී මම මාසික වාර ප්‍රවේශ පත්‍රය ගන්නා විටකදී ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ  නිලධාරියෙක් මගෙන් මාරු වන ස්ථාන මොනවාද කියා ඇසුවේය​. ගත් කටටම මම " ගෝරි වලදි" කියා කීවෙමි. මෙය ඇසූ පෝලිමේ සිටි සිසුන් සිනාසුනෝය​. ඒ නිසා නොරිස්සුම් බවක් පෙන්වූ එම නිලධාරියා මාව ධර්මසේන සර්ට පෙන්වා " මේ ළමයා ඕනෑ නැති කතා කියනවා " කියා කීවේය​. ධර්මසේන සර් අපට මුල් කාලයේ කෘෂිකර්මයද ඉගැන්වීය​. අප ධර්මසේන සර්ව ගිරා හොටා කියා හැඳින්වූයේ ඔහුගේ නාසයේ අග වක්ව තිබීම නිසාය​. ධර්මසේන සර් මා වෙත පැමිණ " තමුසේ සීසන් එක අරගෙන  පන්තියට එනවා " කියා කීවේය​. ධර්මසේන සර් මඟ හැරීම අනිවාර්‍ය වූ නිසා මම හිමීට ගොස් නීලාංග සිටි පන්තියේ ඔහු අසලින් වාඩිවී පීරියඩ් එක නිම වන තෙක් සිටියෙමි.  

මනෝජ් නීලාංග බොක්සිං ක්‍රීඩාව කලේය​. ඔහුට අනෙක් සිසුන්ට වඩා උස මහත ශක්තිමත් පෙනුමක් තිබුනේය​. එම නිසා අපගේ කලාපයේ ගහ ගැනීමට හැකි අපරාජිත පුද්ගලයා වූයේ මනෝජ් නීලාංගයි. එහෙත් ඔහු සාමකාමී වීනෝදකාමී සිසුවෙකු මිස බුලි කෙනෙකු නොවූයේය​. 

අප නවය වසරේ (1981) සිටියදී  බූඩි කීර්තිසේන මාරිස්ටෙලා විද්‍යාලයේ සිට නාලන්දාවට ආවේය​. බූඩි කීර්තිසේන නීලාංගටත් වඩා උස මහත සිසුවෙකි. මේ නිසා නීලාංගත් බූඩි කීර්තිසේනත් ගහ ගත්තොත් දිනන්නේ කවරෙකුද කියා අප එකිනෙකාගෙන් විමසුවෙමු. අප තදින් අපේක්‍ෂා කෙරුවද මනෝජ් නීලාංගත් බූඩි කීර්තිසේනත් අතර ද්වන්ධ සටනක් ඇති නොවීය​. බූඩි කීර්තිසේන සමග ගහ ගැනීමට නොහැකි වුවද වරක් මම බටර් ගෑ පාන් පෙත්තක් බූඩි කීර්තිසේනගේ මුහුනේ අතුල්ලා ඔහුව ප්‍රකෝප කොට පැන දිව්වෙමි. බූඩි කීර්තිසේන මේස පෙරලාගෙන මට පහර දීමට ආ නමුත් මම ඔහුගෙන් ගැලවී පන්තියෙන් ඉවතට දිව යද්දී අපට බුද්ධාගම ඉගැන්වූ කොක්මාදූවේ ගුණසිරි හිමියන් පන්තියට වැඩම කලෙන් මම ශාන්ත දාන්ත ලෙස මගේ මේසය වෙත ගියෙමි.

මනෝජ් නීලාංග ශිෂ්‍ය නායකයෙකුද විය​. උසස් පෙළ අවදියේදී ඔහු රඟපෑ නාලන්දා උදාව නාට්‍යය මට දැනුදු මතකය​. ඔහු එම නාට්‍යයේ අමතක නොවන රඟපෑමක් කලේය​. පාසලෙන් අස් වීමෙන් පසු ඔහු නීති වෘත්තිය හැදෑරුවේය​. එසේම දේශපාලනයටද අවතීර්ණ විය​. එහෙත් නීලාංගලා වැනි සත්‍යවාදී මිනිසුන් ලංකාවේ මජර දේශපාලනයට නොගැලපීම නිසා කෙටි කාලයකට පසු ඔහු ඉන් ඉවත් විය​. 

වර්තමානයේ මා මිත්‍ර මනෝජ් නීලාංග ජීවත් වන්නේ ඕස්ට්‍රේලියාවේය​. මට ඔහුව අවසන් වරට හමු වූයේ 2002 වසරේ මාගේ අධ්‍යාපන ප්‍රතිකාර නම් පොත දොරට වැඩි දිනයේදීය​. ඔහුව බොහෝ කාලයකින් හමුවී නොමැති වූවද ඔහු පිලිබඳ  පාසල් කාලයේ කලයේ මතකය තවමත් නැවුම් ය​. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

7 comments:

  1. අපේ පන්තිවල හිටිය ඉතා හොඳ ළමයෙක්.නැවත මොහොතකට හෝ අතීතයට යන්න හැකිනම් .... ....

    ReplyDelete
  2. මෙ ලිපිය කියවූ මාව අතීතයට කෑන්දා ගියේ නිමෙශයකිනි.
    දයාබර මිතුරු රුවන්ටත් මෙ කතාවට පාදක වූ මා මිතු මනොජ් නීලාන්ගයන්ටත් සෑබෑවින්ම ස්තූති වන්ත වෙමි.

    ReplyDelete
  3. අතීතයේ පාසල් දිවියට ගෙන ගියාට ස්තුතියි…. අපි නම් bully කීවේ 7 වසරේ අතුල සුරේන්ද්ට, ඔය කියන season සීසන් ටිකට් පෝලිමේ මාත් හිටියා මතකයි

    ReplyDelete
  4. @ Dr. Ruwan M.Jayathunga, Manoj is a very close friend of mine from Law College days. Your write up is wonderful. Its a vivid picture of Manoj's childhood at Nalanda. I knew his father very well during my school days at Ananda. In fact I was " MACHAN " to both. When Manoj launched his professional chambers in some convenient upstair spot at Dematagoda junction, I opened it as "kind of a Chief Invitee ". The whole event was organized by Manoj's beloved father. Well, I had to "Machan" happily both the father and the son even while both were together !! But father has never been close to me. Manoj and I were like Kiri yi Peni ye or rather Jadiya to Moodiya, at Hulftsdop.We did apprenticing together. We took oaths together. Our first appearance too was together in front of late High Court Judge HND Jayasuriya as juniors of Senior Counsel Tirantha Walaliyadda.Those and many more Kiri yi Peni yi memories. But then there were Jadiya ta Moodiya memories too and though they were Jadi, those were sweeter than Peni. I do hope you know the taste of Jadi .

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook