Monday, September 4, 2017

උමතු රෝගියා

 


වාට්ටුවට ඇතුළු කරන ලද රෝගියා සිටියේ නොසන්සුන්කමින් මෙන්ම කෝපයෙනි. ඔහුගේ හිසේ අඟල් දෙකක පමණ කැපුම්  තුවාලයකි. එයට මැහුම් දමා  ඔහුට වාට්ටුවට යන්නට කියා මම කීවෙමි. හෙදියක් ඔහුට ඇඳක් දුන්නාය​. මෙම රෝගියා දබරයකට පැටලී තිබේ. එම දබරයේදී ඔහුට කිහිප දෙනෙකු විසින් පහරදී ඇත​. කෙසේ නමුත් තත්වය බරපතල නැත​. පොලිස් කට උත්තර ගැනීමෙන් පසුව ඔහුගේ ටිකට් කැපිය හැකිය.

මෙම රෝගියා වාට්ටුවට ඇතුලත් කොට පැයක් පමණ කාලයකදී ඔහු තුල අසාමාන්‍ය චර්‍යාවන් තිබෙන බව මට පෙනී ගියේය​. එකල ඉන්ටර්න්වරයෙකු වූ මා හට මානසික රෝග පිලිබඳව තිබුනේ පොතේ දැණුම පමණි. තවද 1994 වැනි කාලයක මාතලේ මූලික රෝහලේ මානසික සෞඛ්‍ය පිලිබඳව වෛද්‍යවරයෙකු නොවීය​. මේ නිසා මානසික රෝගින් සිටියේ සාමාන්‍ය වාට්ටු වලය​. මානසික රෝගය උග්‍ර අතට හැරුනහොත් ඔවුන්ව මහ නුවර මානසික රෝග ඒකකකයට මාරු කරනු ලැබේ. මේ අනුව එකල මූලික රෝහල් වල අපගේ මානසික සෞඛ්‍ය සේවය  තිබූ මට්ටම පාඨකයාට සිතා ගත හැකිය​. 

මම මෙම රෝගියා සමග කතා කලෙමි. ඔහු පිලිතුරු දුන්නද සිටියේ නොසන්සුන් සහ කෝප තත්වයකිනි සුළු දෙයකදී පවා ඔහු අන් රෝගීන් සමග පැටලෙයි. කෙසේ නමුත් මෙම රෝගියා සමග වාද තර්ක නොකරන ලෙසටත් ඔහු දෙස ඇස ගසාගෙන සිටින ලෙසටත් මම කාර්‍ය මණ්ඩලයට උපදෙස් දුන්නෙමි. 

රාත්‍රී දහයට පමණ මට රාත්‍රී මුරය කල හෙදිය ගෙන් දුරකථන ඇමතුමක් ලැබුණි. රෝගියා නොසන්සුන් ය​. වාට්ටුවට ගිය විට මට තත්වය තේරුම් ගියේය​. එදින රාත්‍රියේ සේවා මුරයට ආවේ තරුණ රූමත් හෙදියකි. මෙම රෝගියා ඇය අසල දැවටෙමින් " මට මේ මිසීව බලහත්කාරයෙන් උස්සගෙන ගිහිල්ලා xxx කරන්න හිතෙනවා"  කියා තිබේ. තවද " මම හෙට උදේ වෙන්න ඉස්සර මිසීව දූසනය කරස්නවා " කියා අනෙකුත් රෝගීන් සමගද පවසා තිබේ. 

බියගත් හෙදිය " අනේ ඩොක්ටර් මට බයයි" කියා කීවාය​. මේ වේලාවේ රෝහලේ වගකිව යුතු කෙනෙකු නැත​. මෙම ආපදාවට මම තනිව කර ගැසිය යුතුය​. කෙසේ නමුත් එදින රාත්‍රියේ වාට්ටුවේ සිටි ඇටෙන්ඩන්වරයා තරුණ බිය සැක නැති කොල්ලෙකි. ඔහු සිටීම මට සවියකි. ඔහුට රෝගියා අසල සිටින ලෙස කියා මම හෙදියට සිස්ටර් ගේ කාමරයට යන ලෙස කීවෙමි. මේ කාමරය ඇතුලින් අගුල් දැමිය හැකිය​. හෙදියව සිස්ටර් ගේ කාමරයට දමා මම රෝගියා නින්දට යන තෙක් වාට්ටුවේ සිටියෙමි. ඉන් පසුව ඇටෙන්ඩන්වරයාට කතා කොට රෝගියෙකුට හදිසි අවශ්‍යතාවක් ඇති වුවහොත් හෙදියට නොව කෙලින්ම මට කථා කරන ලෙස පවසා මම සීමාවාසික කාමරය වෙත ගියෙමි.  

මේ අලකලංචිය නිසා මට නින්ද ගියේද නැත​. මොකක් හෝ කලබලයක් අපේක්‍ෂාවෙන් මම නිදි වර්ජිතව සිටියෙමි. එහෙත් උදෑසන වන තෙක් රෝගියාගෙන් කරදරයක් නොවීය​. මට නින්ද ගියේ පාන්දර යාමයේය​. එහෙත් උදේ අට වන විට මම වාට්ටුවට ගියෙමි. 

උදෑසන මම වාට්ටුවට ගිය විට ඇටෙන්ඩන්වරයා මට පසෙකට කතා කලේය​. " සර් ඊයේ රෑ මැද මෑන් ආපහු නැගිට්ටා...ඇටෙන්ඩන්වරයා කී  පරිදි මෙම රෝගියා මධ්‍යම රාත්‍රියේ නැගිට ද්‍රවිඩ රෝගියෙකුගේ තනියට ලඟ සිටි අවුරුදු දොලහක පමණ ළමයෙකුට ලිංගික අතවරයක් කිරීමට ගොස් ඇත​. ඇටෙන්ඩන්වරයා සහ අනෙකුත් රෝගීන් විසින් ළමයා බේරාගෙන ඔහුව වාට්ටුවෙන් එලියට යවා තිබේ. කෙසේ නමුත් හෙදිය උදෑසන සිස්ටර් අළුවිහාරේ එන තෙක් කාමරයෙන් එලියට ආවේ නැත​. උදෑසන දහයට පමණ ජේෂ්ඨ වෛද්‍ය නිලධාරී ෆාහිම් ආවේය​. මම ඔහුට තොරතුරු කියා වහාම මෙම රෝගියා මහනුවර රෝහලේ මානසික වෛද්‍ය ඒකකයට මාරු කලෙමි. 

අද දිනයේ මට සිතන පරිදි මෙම රෝගියා ද්වී ධ්‍රැව විශාධය හෙවත්  Bipolar affective disorder  තත්වයෙන් පෙළුණු අතර ඔහු සිටියේ manic phase හෙවත් උල්ලාස අවධියේය​. එහෙත් ඒ කාලයේ මූලික රෝහලකදී වූවද මෙවැනි රෝගියෙකු මැනේජ් කිරීම දුෂ්කර ක්‍රියාවක් විය​. 1994 වැනි මානසික සෞඛ්‍ය සේවා අවම කාලයක වෛද්‍යවරු වැඩ කරන ලද්දේ බොහෝ අපහසුතා මැදය​. මානසික රෝගීන් සඳහා අවශ්‍ය කෙරෙන ඖෂධ පවා මූලික රෝහල් වල නොවීය​. කලබලකාරී රෝගීන් නිද්‍රාවට පත් කල හැකි ඩයසිපෑම් සහ පෙතඩීන් වලින් පමණක් ඒ කාලයේදී රෝගීන් යාමනය කරන ලදි. 

වර්තමානයේ බොහෝ රෝහල් වල මානසික සෞඛ්‍ය පිලිබඳ වෛද්‍යවරු සිටිති. එසේම මානසික සෞඛ්‍ය සායන නිතිපතා පවත්වනු ලැබේ.  මෙම දියුණුව මානසික සෞඛ්‍ය අංශය ලබා ගත්තේ බොහෝ දුෂ්කරතා මැදය​. සමහර වෛද්‍ය පරිපාලකයන්ට මානසික සෞඛ්‍යයේ වටිනාකම මෙන්ම අවශ්‍යතාව තේරුනේද නැත​. සම්පත් මූලික වශයෙන් වෙන් කරන ලද්දේ කායික රෝග සහ ශල්‍ය අංශ සඳහාය​. මෙවැනි දුෂ්කර තත්වයන් උඩදී මනෝ වෛද්‍යවරු සීමිත පිරිසක් තත්වය වෙනස් කිරීම සඳහා සටන් කලහ​. ඔවුන් කල අරගලය නිසා මානසික සෞඛ්‍ය සේවය අද ග්‍රාමීය ප්‍රදේශ දක්වා පැතිරී තිබේ. එසේම මේ අරගලය නිසා මානසික රෝගීන් සහ මානසික රෝග ගැන තිබූ ඍණාත්මක අදහස් මෙන්ම  මානසික රෝග ආශ්‍රිතව තිබූ  මිථ්‍යාවන්  බිඳ වැටී තිබේ. එය ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවය ලද ජයග්‍රහනයකි. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

7 comments:

  1. ඩොක්ටර් රුවන්, ලංකාවේ මනෝ වැඩිය ප්‍රතිකාර කිරීම සදහා හෝමියෝපති වෛද්‍යවරු ලෙස පිරිසක් පෙනී ඉන්නවා නේද? මේ ගැන ඔබට දැනීමක් තිබෙනවද?

    මෙම ලින්ක් එකේ සදහන් 'හෝමියෝපති වෛද්‍ය ජීවනී හසන්තා' යන තැනැත්තියට සුදුසුකම් තිබෙනවද ප්‍රතිකාර කිරීම සදහා. කරුණාකර මට පිළිතුරක් ලබා දෙන ඩොක්ටර්. මගේ ඊමේල් ලිපිනයට හෝ ප්‍රතිචාරයක් එවන්නේ නම් ඉතා අගය කොට සලකමි.

    සංජය
    sanjayadkm@gmail.com

    ReplyDelete
    Replies
    1. ගැන මට දැණුමක් නැත​. ඒ නිසා කොමෙන්ට් කිරීම සුදුසු නැත​. නමුත් ලංකාවේ හෝමියෝපති කියාගන්නා බොහෝ දෙනෙකු කරන්නේ හොරාට බටහිර බෙහෙත් දැණුමකින් තොරව දීමය​.

      Delete
    2. ස්තුතියි ඩොක්ටර්. ඔබට පුළුවන් නම් මට ඊමේලයක් එවනවද?

      සංජය
      sanjayadkm@gmail.com

      Delete
  2. මේ වගේ රෝගීන් ගැන වරෙක අනුකම්පාවක් ඇතිවුවද වරෙක බියක් ඇතිවෙයි
    විචාරක දියණීය

    ReplyDelete
  3. රුවන් ඒ කියන්නේ ඒ කාලේ මනෝ වෛද්‍ය්වරයෙක් නෙමෙයිද? bipolar disorder එක තියෙන කෙනෙක් එහෙම හැසිරනවා කියල ඇහුවමයි. හොයා ගත්ත මෙහෙම එකක්.
    http://www.telegraph.co.uk/women/sex/11216629/Bipolar-disorder-and-sex-Its-time-to-talk-about-this-emotional-minefield.html

    ReplyDelete
    Replies
    1. මම ඉන්ටර්න්වරයෙකු ලෙස වැඩ ආරම් භ කල කාලෙදි මේක වෙන්නේ. මම පසුව මනෝ ප්‍රතිකාරයන් වැඩිදුර අධ්‍යනය කලා. මගේ අදහස අනුව මෙවැනි රෝගී තත්ව
      BPAD
      Paranoid Schizophrenia
      Traumatic Brain Injury
      Hypomania
      personality Disorders

      නිසා ඇති විය හැකියි

      Delete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook