Monday, August 15, 2016

මල්ටි කල්චරල්

 






උදේ නැගිටගත් මා අසල්වැසි ජීන්ට සුභ උදෑසනක් කීවෙමි.  ජීන් සුදු කැනේඩියානු කාන්තාවකි. ඇයගේ මුල් බිම් එංගලන්තයේ ය​.  ඇය පසුගිය වසරේ ලන්ඩනයට ගියාය​. මාගේ වම් අත පැත්තේ ඉන්නා අසල්වැසියන් අයිරීෂ් ජාතිකයන් ය​. ගෘහ මූලිකයා සෙන් පැට්‍රික් දිනයට කොළ පැහැති විශාල  ටොප් හැට් එකක් පැළඳ සිටිනවා මම දැක තිබේ. 

බල්ලා කූඩුවට දමා උදෑසන ආහාර ගත් මා බිරිඳ සමග වාහනයට ගොඩ වෙමි. මුලින්ම ඇයව ඇයගේ කාර්‍යාලයේ බස්සන මා මගේ සේවා ස්ථානයට යමි. බිරිඳ වැඩ කරන්නේ නීතීඥයන් කිහිප දෙනෙකු සමගය. ඉන් එක් නීතීඥයෙක් එස්තෝනියානු ජාතිකයෙකි. ඔහු ඉතා ප්‍රියජනක පුද්ගලයෙකි. රුසියන් වචන කීපයක් ඔහු දනියි. මෙම නීතීඥ කාර්‍යාලයේ ඉංග්‍රීසි ජාතික කෙරී සහ අයිරීෂ් ජාතික ඩන්කන්  නීතීඥයන් ලෙස​ට සේවය කරති. 

ඩොන් මිල්ස් මාවතේ ගමන් කරන මම කෝපි කෝප්පයක් බීමට ටිම් හෝට්න්ස් අවන්හලක ඩ්‍රයිව් තෘ හරහා යමි.

 " මීඩියම් කොෆී ඩබල් ඩබල්" මම කියමි. 

අවන්හලේ කවුළුව අසල සිටින්නේ ලංකාවේ ද්‍රවිඩ තරුණියකි. 1983 සරණාගතයන් ලෙස පැමිනි ඔවුන් ගේ දෙවන පරම්පරාව සමහර විට සිංහල අප කෙරෙහි සතුරු ආකල්පයකින් බලති. නමුත් මේ තරුණිය මට සිනහවකින් සංග්‍රහ කලාය​. 

1983 සරණාගතයන් ගේ දෙවන පරම්පරාවේ සමහර ළමුන් දැන් උතුරු ඇමරිකාවේ විශ්ව විද්‍යාලවල උසස් තනතුරු දරති. කලකට ඉහතදී යෝක් විශ්ව විද්‍යාලයේ පී.එච්.ඩී අපේක්‍ෂිකාවක් වූ ද්‍රවිඩ සිසුවියක් ඇයගේ තීසීසයට මගෙන් අදහස් ද ලබා ගත්තාය​. ඇයගේ තීසීසය පස්චාත්  ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය (PTSD) පිළිබඳවද සාකච්චා කෙරෙන්නකි. ඇයට මුලදී මම සිංහල ජාතිකයෙක් නිසා යම් කුකුසක් තිබුනා කියා සිතමි. නමුත් මම ඇයට උපකාර කලෙමි. ලබන වසර වන විට ඇය තම ආචාර්‍ය උපාධිය නිම කරනු ඇත​.

කෝපි කෝප්පය අතට ගත් මා එය වාහනයේ කෝපි රඳවනය තුල බහා ශෙපර්ඩ් වීදිය දක්වා යමි. ශෙපර්ඩ් වීදිය කාර්‍යබහුලය.  කොණ්ඩය කපන මගේ බාබර් ඉන්නේ ශෙපර්ඩ් වීදියේය ​. ඔහු ඉරාන ජාතිකයෙකි. ඔහු තමා පර්සියානුවෙකු බව කියයි. ඉරානය යන වචනයට ඔහු කැමති නැත​.  ඔහුගේ නම රුස්බෙක් ය​. රුස්බෙක් සමරිසියෙකි . ඔහු  ටොරොන්ටෝ හි වාර්ශිකව පවත්වන ගේ ප්‍රයිඩ්  එකට යයි. ඉරානයේ සමරිසියෙකු වීම මරණ දණ්ඩනය ලැබෙන වරදකි. එහෙත් මේ රටේ කිසිවෙකු රුස්බෙක්ව සමරිසියෙකු කියා අවමානයට පත් කරන්නේ  හෝ ඔහුව හෙලා දකින්නේ නැත​. 

ශෙපර්ඩ් වීදිය හරහා ගිය මම බේ විව් මාර්ගයට අවතීර්ණ වෙමි. හැකි ඉක්මනින් යෝක් විශ්ව විද්‍යාලයේ ග්ලෙන්ඩන් කැම්පස් වෙත යාම මගේ අරමුණයි. බේ විව් මාර්ගයේදී චීන තරුණයෙක් අපරික්‍ෂාකාරීව ඔහුගේ මස්ටෑං රථය දැමූ නිසා මගේ පය තිරිංගය වෙත ගියේය​. 

චීනුන්ට ඩ්‍රයිවිං බැරිය කියා කොමඩිකාරයෙකු වූ රසල් පීටර්ස් කියයි. රසල් පීටර්ස් ඉන්දීය සම්භවයක් තිබෙන කැනේඩියානුවෙකි. ඔහුගේ විහිළු වලට මම ප්‍රිය කරමි. නමුත් ඔහුගේ සමහර විහිළු වාර්ගික ඒවාය​. 

පරික්‍ෂාකාරීව චීන තරුණයාගේ රථය පසු කල මා ප්‍රංශ පාසල දෙස බලමි. මෙහි ගොඩනැගිලි විශාලය​. ඉගැන්වීම ප්‍රංශ භාෂාවෙනි. මම ප්‍රංශ ඉගෙනුම සඳහා මරී ඇලෙක්සැන්ද්‍රා වෙත ගියෙමි. ඇය පැරිස් වල උපත ලැබූ එරිත්‍රියානු සම්භවයකින් යුතු කාන්තාවකි. මේ පන්තියට ජිපෑං ආවේය​. මුලදී ජිපෑං ඔහුගේ නම ඉයන් කියා මට කීවද ඔහුගේ නියම නම ජිපෑං කියා මම දැන ගත්තේ මරී ඇලෙක්සැන්ද්‍රා නම් ලකුණු කරන විටදීය​. ජිපෑං අන්තර්ජාතික සිසුවෙකි. ඔහු ආවේ බේජිං වලිනි.   ජිපෑං සහ මම එම ප්‍රංශ පන්තියේ මිතුරන් වූයෙමු. 

යෝක් විශ්ව විද්‍යාලයේ ග්ලෙන්ඩන් කැම්පස් වෙත ගිය මා රථ ගාලේ මගේ රථය  නවතා පැයක පාකිං ටිකට් එකක් ගත්තෙමි. ඉන්පසුමම මහාචාර්‍ය  ජිම් ඇල්කොක් ගේ කාමරය වෙත ගියෙමි. මහාචාරිය ජිම් ඇල්කොක් ගේ කාමරයට යන්නේ මහාචාර්‍ය Guy Proulx ගේ කාමරය පසු කරමිනි. මහාචාර්‍ය  Guy Proulx මට කියන්නේ ෆිලොසොෆ කියාය​. ඒ මන්ද යත් නිතරම දාර්ශනික කරුණු ඔහු සමග මම තර්ක කරන බැවිනි. Guy Proulx එන්නේ කුබෙක් වලිනි. ඔහු තම කුබෙක් ජන්මය ගැන යම් කිසි ගර්වයකින් සිටියි. එහෙත් ජාතිවාදියෙකු නොවේ. 

මහාචාර්‍ය  ජිම් ඇල්කොක්ට  මම  ප්‍රිය කරමි. ඔහු මාව පිලිගන්නේ සිනහවකිනි. සස්කචුවාන්    පළාතේ උපන් මහාචාර්‍ය ඇල්කොක් ජීවත් වන්නේ ඔන්ටේ‍රියෝවේය​. අන්තර්ජාතික තලයේ පිළිගත් මනෝ  විද්‍යාඥයෙකු වන ඔහු  ඉන්දියාවේද කලක් ජීවත්ව තිබූ බව මා සමග කියා තිබුණි. 

මහාචාර්‍ය  ඇල්කොක් සමග සංවාදයේ යෙදෙන විට කාලය යන බව නොතේරේ. ඔහු සමග සංවාදයේ යෙදීම ප්‍රියජනකය​. ඔහුගෙන් සමු ගන්නා මම රථ ගාලට යමි. යෝක් විශ්ව විද්‍යාලයේ වාහන පරීක්‍ෂකයෙක් මට ටිකට් එකක් ලියමින් සිටියි. මම ඔහු හමුවට ගොස් මම මහාචාර්‍ය  ජිම් ඇල්කොක් හමුවීමට ගිය නිසා මඳක් ප්‍රමාද වූවා යැයි කියමි. එහෙත් ඔහු මට සවන් නොදේ. මම ඔහු දෙස බලමි. ඔහු තුල ඉතියෝපියානු ජාතිකයෙකුගේ ලක්‍ෂණ තිබේ. එම නිසා මම තුරුම්පුව ගසමි. 

" කරුණාකර ටිකට් එක ලියන්න එපා ඔබ ඉතියෝපියාවෙන් නේද ? මට ඉතියෝපියානු මිතුරන් බොහෝ දෙනෙක් ඉන්නවා  ටෙලහොන් , අස්රත් , සෙනයිද් ... මම නම් වැලක් කියමි. මේ යූක්‍රයීනයේ වෛද්‍ය පීඨයේ මා සමග ඉගෙනුම ලැබූ සිසු සිසුවියන් වෙති. 

" තව එකක් තෙස්ෆාය මබ්‍රාතු , ඔහුත් මගේ මිතුරෙක්. මබ්‍රාතු යනු අමර්ස්ක් බසින් ආලෝකය එහෙම නේද ? තෙස්ෆාය මබ්‍රාතු මා සමග පළමු වසර ඉගෙන ගෙන බටහිර ජර්මනියට ගොස් එහි නැවතුනේය​. 

" මම ඉතියෝපියානු ජාතිකයන්ට කැමතියි ඔවුන් ඉතා ආචාරශීලී පුද්ගලයන්. මම එම්පර හෙල්සිලාසිට කැමතියි ඒ වගේම අබ්බි බිකිලා ඔහු මගේ වීරයෙක් " 

වාහන පරීක්‍ෂකයා මා දෙස බලා සිනාසුනේය​. අණතුරුව මට ලියූ ටිකට් එක අවලංගු කලේය​. 

" හොඳයි අදට විතරයි" 

මම ඔහුට ස්තූති කරමින් වාහනය පණ ගන්වාගෙන තෝන්හිල් හි සායනය වෙත යමි. එහි මා එන තෙක් ඊxxx සිටියි. 

ඊxxx  කොකේන් වලට ඇබ්බැහි වී ඇති තරුණයෙකි.   ඔහු රුසියන් ජාතිකයෙකි. මම ඔහුට රුසියන් බසින් කතා කල ප්‍රථම දිනයේ ඔහු මවිත විය​. මම ඊxxx ට මනෝ ප්‍රතිකාරයෙන් ඔහුගේ කොකේන් භාවිතය අවම කිරීමට උපකාර කරමි. මම ඊxxx ට හුරු පුරුදු රුසියන් බසින් ප්‍රතිකාරාත්මක සන්ධිය තබා ගන්නා බව දැනගත් වෛද්‍ය පෘස්කෝ මට ප්‍රසංසා කලේය​. මගේ තවත් රුසියානු රෝගියෙක් ඉන්නවා ලබන සතියේ ඔහු ඔබ වෙත යොමු කරන්නම් වෛද්‍ය පෘස්කෝ කීවේය​. 

වෛද්‍ය පෘස්කෝ එන්නේ පැරණි යුගෝස්ලාවියාවෙනි. ඔහු ක්‍රොඒෂියානුවෙකි . ඔහු මෙන් කාරුණික මිනිසෙකු මට හමුවී නැත​. වරක් සර්බියන් ජාතික නීතීඥයෙකු වූ ඩේවිඩ්ට වෛද්‍ය පෘස්කෝ හඳුන්වා දීමේදී  මම මෙසේ  කීවෙමි. 


" ඔහු තමයි ජේසුස් ක්‍රිස්තුස්ට පස්සේ ඉන්න එක්කෙනා" 

වෛද්‍ය පෘස්කෝ මත්ද්‍රව්‍ය සඳහා ප්‍රතිකාරයේ ප්‍රකට පුද්ගලයෙකි.ඔහුගේ කාරුණික දෙනෙත් ; කාරුනික වදන් ක්‍රිස්තුස් වහන්සේ සිහිගන්වයි.

ඊxxx ගේ ප්‍රතිකාර වටය අවසන් වීමෙන් පසු ඔහු මට ස්පසීබා කියා පිටත් වෙයි. මම මගේ ලැප්ටොප් එක විවෘත කොට ඊමේල් බලමි. ජෝ ගෝමස් මට ඊමේල් එකක් එවා තිබේ. ජෝ ගෝමස් මට හමු වූයේ සෙනෙකා කිං කැම්පස් හිදීය​. ඇය ගේ දෙමාපියන් කැනඩාවට එන්නේ පෘතුගාලයේ සිටය​. පෘතුගීසි ලේ තිබෙන ඇය වරක් මට මෙසේ කීවාය​. 

" අපගේ පෘතුගීසි ජාතිකයන් ඔබලාගේ රටේ බොහෝ කෘරකම් කල බව මම දන්නවා " 

ඇය දොන් ජොරනිමෝද අසවේදෝ ගැන අසා තිබේද කියා මම නොදනිමි. ඒ කෘරකම් වූයේ එක්දහස් පන්සිය ගනන් වලය​. ඒ කාලයේ  එක්සත් ජාතීන් හෝ මානව හිමිකම් මණ්ඩල තිබුනේ නැත. එකී ඝාතන ගැන වර්තමානයේ ජීවත් වන පෘතුගීසින් වග කිව යුතු නැති බව මම ඇයට කීවෙමි. 

දෙවන ඊමේල් එක එවා තිබෙන්නේ කෙරන් ෆ්‍රෙxxx ය​. ඇය යුදෙව් ජාතික කාන්තාවකි. වෘත්තියෙන් දන්ත වෛද්‍යවරියකි මම ඇයගේ පුතාට EMDR ප්‍රතිකාරයෙන් සහාය වූයෙමි. ඔහු දැන් ඊශ්‍රායල හමුදාවේ සේවය සඳහා ගොස් තිබේ. 

දිවා ආහාරය සඳහා මම ජැමෙයිකන් අවන්හලට යාමට තීරණය කලෙමි. අතරමගදී මට අසීස්ව මුණ ගැසේ. ඔහු එන්නේ ඊජීප්තුවෙනි. වෘත්තියෙන් ඔහු ෆාමසිස්ට් කෙනෙකි. මම අසීස්ට අරාබි බසින් ආචාර සමාචාර කරමි. මම ඔහුව අමතන්නේ හබිබී කියාය​. අසීස් මා සමග ලෙන්ගතුව  සිනාසෙයි. වෛද්‍ය පෘස්කෝ විසින් නිකුත් කල සොබොක්සෝන් ප්‍රෙස්ක්‍රිප්‍ෂන් එක  ඊxxx ගේ ෆාමසිය වෙත ෆැකස් කරන ලෙස​ මම  අසීස්ට කීවෙමි. ඔහු එය වහාම කරන බව කීවේය. 

කොකේන් හෙරොයින් වැනි මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන්ට තාවකාලික නිශේදන ඖෂධයක් ලෙස සොබොක්සෝන් වැදගත් වේ.  

ජැමෙයිකන් අවන්හලේ කළමනාකරු මා " යියා මාන් " කියා පිළිගනියි. මා නිතරම ඇණවුම් කරන ස්ටීම් රයිස් , ගෝට් මීට් සහ සැලඩ් මෙවරද ඇණවුම් කරමි. 

කවුන්ටරය අසල ජැමෙයිකානු තරුණයන් පිරිසකි. ඔවුන් ඉතා උනන්දුවෙන් රූපාවාහිනී තිරයේ යන පාපන්දු තරඟයක් නරඹති. ඉන් එක් තරුණයෙක් ට්‍රිනිඩෑඩ් වලින් බව මම දනිමි. ඔහු පසුගිය සතියේ මට  ජැමෙයිකන් ගීත අඩංගු වූ සීඩී එකක් අලෙවි කිරීමට තැත් කලේය​. ඔහු සිතාගෙන ඇත්තේ මම ගයනාවෙන් බවයි. සමහර ගයනීස් පුද්ගලයන් අප මෙනි. මට ගයනාවේ  හේමාවතී මතක් වේ. ඇය ජීවත් වන්නේ බ්රැම්ටන් වලය​. හේමාවතීලා තාරාවතීලා ගයනාවේ සිටිති. මා දන්නා තාරාවතී ටේ‍රා කියා නම පොෂ් කරගෙන තිබේ. 

දිවා ආහාරයෙන් පසුව මම වෛද්‍ය නහීම් ගෙ පේන් ක්ලිනික් (Pain Clinic) එක වෙත යමි. කාර්‍ය බහුල වූවද වෛද්‍ය නහීම් මා විසින් ලියාගෙන යන ගංජා භාවිතය සහ මානසික සෞඛ්‍යය පත්‍රිකාවට ඔහුගේ අදහස් දෙයි. මට එය වැදගත් ය​. එසෙම ඔහු මීට ඉහතදී මා සහ මැසචූසෙට්ස් වෛද්‍ය විද්‍යාලයේ මහාචාර්‍ය Amy Wachholtz,විසින් ලියන ලද භාවනාව සහ වේදනා සමනය යන පරීක්‍ෂණ පත්‍රිකාව ගැන ධනාත්මකව කතා කරයි. තම සායනයේ මයින්ඩ්ෆුල්නස් භාවනා භාවිතය ගැන ඔහු විවෘතය​. 

වෛද්‍ය නහීම් උපත ලැබුවේ බ්‍රසීලයේය​. ඔහු යුදෙව් ජාතිකයෙකි. ඉංග්‍රීසි කතා කිරීමේදී සුළු ඇක්සන්ට් එකක් සහිතව කතා කරයි. නමුත් මත්ද්‍රව්‍ය ඇබ්බැහි වීම සඳහා ප්‍රතිකාරයේදී ඔහු විශේෂඥයෙකි.   මෙම කළාපයේදී විශේෂඥතාව ලැබෙනුයේ පෆෝර්මන්ස්  යන සාධකය මතය​. ලංකාවේ මෙන් විභාග කිරීමෙන් විශේෂඥතාව ලැබෙන්නේ නැත​. පෆෝර්මන්ස්  නිර්නායකය මත වෛද්‍ය නහිම්  වචනයේ පරිසමාප්තියෙන් විශේෂඥවරයෙකි. 

මෙවැනි විශේෂඥවරයෙකු වූ වෛද්‍ය ගබෝ මටේ‍ මගේ සිහියට නැගේ.  ඔහු හංගේරියාවේ උපත ලැබුවේය​. මේ කාලයේදී හිට්ලර් හංගේරියාව ආක්‍රමනය කරන්නේය​. ඔහුගේ සීයා සහ ආච්චී මිය යන්නේ Auschwitz වධකගාරයේය​. වෛද්‍ය ගබෝ මටේ‍ මට 2014 වසරේදී හමුවී තිබේ. 

වෛද්‍ය නහිම් මට රෝගියෙකු යොමු කරයි. ඔහු විශාල ශරීරයකින් හෙබි මුළු ගත පුරා පච්ච කොටා ගෙන සිටින හිටපු බයිකර් කෙනෙකි. ඔහු කාලයක් මෝටර් සයිකල් ගැන්සියක සාමාජිකයෙකු වී හැලිෆැක්ස් නගරය දෙවනත් කරගෙන සිටියේලු. ඔහුට තිබෙන්නේ ජර්මන් වාසගමකි. හෙරොයින් ශිරා වලට විදගත් ඔහු කොකේන් , එක්ස්ටසි , ඔක්සිකොන්ටින් යන නානාප්‍රකාර මත් ද්‍රව්‍ය භාවිතා කර තිබේ. වසර ගනනාවක් සිරගතව සිටි ඔහු පුනරුත්ථාපනය වීමට අදහස් කරයි. 

ඔහු දුඹුරු පැහැති මා දෙස බලන්නේ කුකුසෙනි. මම ඔහුට අතට අත දෙමි. මේ යෝධ මිනිසාගේ අත්ල තුල මගේ අත්ල සැඟවේ. වෛද්‍ය නහිම් මා පිලිබඳව ඔහුට හඳුන්වාදීමක් කරයි. මම ඔහුගේ රෝග ඉතිහාසය දෙස බලමි. විසි වසරකට අධික මත්ද්‍රව්‍ය භාවිතය බයිපෝලර් ආවේදනික ආබාධය , පස්චාත්  ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය සහ දුස්සාධ්‍ය පිට කොන්දේ වේදනාව නිසා මේ ජර්මන් කැනේඩියානු ජාතිකයා පීඩා විඳියි.  වෛද්‍ය නහිම් ගේ හැඳින්වීමෙන් පසු ඔහු මනෝ ප්‍රතිකාර වලට එකඟ වෙයි.  මම ඔහුට දිනයක් සහ වේලාවක් දෙමි. 

වෛද්‍ය නහිම් සමග තව කෙටි කාලයක් සංවාදයේ යෙදෙන මම  ටීඩී කැනඩා ට්‍රස්ට් බැංකුවට යමි. බැංකුවේ මැනේජර් ෆයිසාල් පාකිස්ථානයෙනි. ඔහු ඉතා මිත්‍රශීලී අයෙකි. ඔහු ඉතා කෙටි වේලවක් තුලදී මගේ අවශ්‍යතාව ඉටු කර දෙයි. මම ෆයිසාල් සමග කතා කරමින් සිටින විට මගේ ජංගම දුරකථනය නාද වෙයි. මා අමතන්නේ මයිකල් ඇපොලෝය​. ඔහු පෝලන්ත ජාතිකයෙකි. බෞද්ධ භාවනා ක්‍රම වලට යොමු වී ඇති මයිකල් සහ මහාචාර්‍ය රොබට් මැක් ෆාර්ඩ්න් ටොරොන්ටෝ විශ්ව විද්‍යාලයේ පරියේෂකයන් වෙති. ඔවුන් තමන් බෞද්ධ යැයි නොකීවද බුදු දහම පිළිබඳ ඔවුන් ගේ දැණුම ඉතා ගැඹුරුය​. මයිකල් ඔවුන් ගේ ඉදිරි වැඩසටහනක් පිළිබඳව මට විස්තර කියයි. 

 මම ෆයිසාල් ගෙන් සමු ගෙන වෙස්ටන් රෝඩ් සායනයට යමි. එහිදී පිලිපීන ජාතික හෙදියක වන මරියා මට සේවාර්ථියෙකු ගැන පවසන්නීය​. මරියා මේ කියන පුද්ගලයා මම දනිමි. ඔහු ඉතාලි කැනේඩියානුවෙකි. මීට මාස කීපයකට පෙර   විශේෂඥ මනෝ  වෛද්‍ය මේතා මේ පුද්ගලයා  පෞරුෂ අක්‍රමතාවයකින් පෙලෙන බව රෝග නිර්නය කොට තිබුනි. ඔහු තමන් මත්ද්‍රව්‍ය දැන් භාවිතා නොකරන බව තරයේ කීවද ඔහුගේ මුත්‍රා වල කොකේන් සංඝටක හමුවී තිබේ. මම ඔහු සමග කතා කරන බව කියා මම මරියාව අස්වැසුවෙමි.  

උතුරු ඉන්දියාවෙන් කැනඩාවට පැමිණි මනෝ  වෛද්‍ය මේතා මම ප්‍රිය කරන චරිතයකි . ඔහු ඉන්දියාවේද එංගලන්තයේද  මනෝ වෛද්‍යවරයෙකු ලෙස සේවය කොට තිබේ. ඔහු පෞරුෂ අක්‍රමතාවන් පිලිබඳ වෛඥානික පුද්ගලයෙකි.  ඔහු මා අමතන්නේ ජේ. කියාය​. සමහර පුද්ගලයන්ට මගේ මුල් නම වන රුවන් යන්න කියවෙන්නේ රෝවන් හෝ රොන් ලෙසටය​.  ඔවුන් බොහෝ විට මට ජේ කියා කතා කරති. 

මගේ සෙලියුලර් දුරකථනය නාදවේ. ඇමතුම අන්ඩ්‍රයාස් ගෙනි. ඔහු ඩවුන් ටවුන් ෆෝක්ස්වැගන් ඩීලර්  ආයතනයක සම්බන්ධීකරණ නිලධාරියෙකි. මගේ මෝටර් රථයේ මීලඟ සර්විස් කිරීම සබැඳිව ඔහු කතා කරයි. 

අන්ඩ්‍රයාස් වයස හැටක පමණ ප්‍රියශීලී මිනිසෙකි. මම ඔහුව අමතන්නේ මිස්ටර් අන්ඩ්‍රයාස් කියාය​. ඔහු උපත ලැබුවේ සයිප්‍රස් වලය​. ඔහු හමුවූ විටදී මම සයිප්‍රස්  හිටපු රාජ්‍ය නායකයෙකු වූ ආච් බිශොප් මකාරියෝස් ගැන කතා කරමි. ආච්බිශොප් මකාරියෝස් 1974 දී ලංකාවේ පැවති නොබැඳි සමුළුවට ආවේය​. අන්ඩ්‍රයාස් තරුණ කාලයේ ජීවත් වූයේ ආච්බිශොප් මකාරියෝස්  යටතේය​.  ලොකු හෝල්ඩන් රථයක නැගී දෙපස රැස්ව සිටි ජනයාට අතවනමින් ගිය ආච්බිශොප් මකාරියෝස් එකල පාසල් සිසුවෙකු වූ මම දුටුවෙමි. 

අන්ඩ්‍රයාස් මහතාගේ දුරකථන ඇමතුමෙන් පසු මම රොබින් අමතමි. රොබින් කැනඩා ආදිවාසී ඉනුඉට් ජාතිකයෙකි. රොබින් බොහෝ සෙයින් මධ්‍යසාර වලට ඇබ්බැහි වී ඇත​. ඔහුගේ අක්මාවේ එන්සයිම පරීක්‍ෂණ ද දුස්සාධ්‍ය මදිරාබාධයේ ලක්‍ෂණ පෙන්වන බව රොබින්ට ප්‍රතිකාර කරන වෛද්‍යවරයා සඳහන් කොට තිබේ. රොබින්ට උපදේශනය අවශ්‍ය  වෙයි. එහෙත් ඔහු උපදේශනය සඳහා දක්වන්නේ උදාසීන බවකි. කෙසේ හෝ රොබින්ව ඔහුගේ බිළයෙන් එලියට ගත යුතුය​. නැතහොත් ඔහු තවත් සංඛ්‍යාලේඛනයක් වනු නියතය​. 

වෛද්‍ය මිශෙල් ක්ලෙමන්ට් පැමින ඇත​. ඇය තරුණ වෛද්‍යවරියකි. වෙස්ටන්  ඔන්ටේ‍රියෝ විශ්ව විද්‍යාලයෙන් වෛද්‍ය විද්‍යාව හැදෑරූ ඇය තුල සහජයෙන්ම ආසක්තිය ප්‍රතිකාර සඳහා දක්‍ෂතාවක් තිබේ. මෙතඩෝන් හෝ ක්ලොනැසිපෑම් වැනි ඖෂධ මාත්‍රාවන් වැඩි කරන ලෙස ඉල්ලා එකී ඉල්ලීම ඉටු නොවුන විට ඉතා තදින් කෝප ගන්නා රෝගීන් දමනය කිරීමට ඇයට හැකියාවක් තිබේ. ඇගේ සිනහව ; දයාන්විත කතා විලාසය ඉදිරියේ හෙල්ස් ඒන් ජල්ස් (මොවුන් මත්ද්‍රව්‍ය ගන්නා අපරාධ වූවද කිරීමට නොපසුබට මෝටර් බයිසිකල්කරුවෝය ) සාමාජිකයෝද දමනය වෙති. 

වෛද්‍ය මිශෙල් ක්ලෙමන්ට් මා අමතන්නේ ජේ කියාය​. ඇය මට සුභ දහවලක් ප්‍රාර්ථනා කරන්නීය​. මමද ඇයට සුභ දහවලක් පතමි. තමා යුදෙව් ජාතික කාන්තාවක් බව වරක් වෛද්‍ය මිශෙල් ක්ලෙමන්ට් මට කීවාය​. ඇය මනෝ ප්‍රතිකාරයන් සඳහා රෝගීන් මා වෙත යොමු කලාය​. 

මට පීටර් ගෙන් දුරකථන ඇමතුමකි. පීටර් වෘත්තියෙන් ෆයිනෑන්‍ෂල් කන්ට්‍රෝලර් කෙනෙකි. ඔහු ආයතන කිහිපයකට තම සේවාවන් ලබා දේ. පීටර් උපත ලැබුවේ කෙන්යාවේදීය​. වරක් මම මගේ විශ්ව විද්‍යාල මිතුරෙකු වූ කෙන්යා ජාතික කමාවූ ගැන කීවෙමි.  කමාවූ ගේ සම්පූර්ණ නම ඇසූ පමණින් ඔහුගේ ගෝත්‍රය මෙයයි යන්න පීටර් කීවේය​. මෙම අත්දැකීම මම මීට පෙරද ලබා තිබේ. වරක් කැනඩා -නයිජීරියා ජාතික ගණකාධිකාරිනියකට මම මගේ වෛද්‍ය පීඨයේ මිතුරියක වූ ජස්ටීනා ඇල් ගෝසි ගැන කීවෙමි. ජස්ටීනා ගේ නම ඇසූ ඇය ජස්ටීනා ඊබෝ ගෝත්‍රයට අයත් තැනැත්තියක් බව කීවාය​. 

පීටර් සමග  සංවාදය ඇදී ගියෙන් මට කාලය පිලිබඳ ගැටළුවක් මතු විය​. සවස් වන තෙක් මම අද වැඩ කරමි. මනෝ ප්‍රතිකාරයේදී රෝග ඉතිහාසයන් සහ චර්‍යාවන් දීර්ඝ වශයෙන් ලේඛන ගත කල යුතුය​. මේවාට කියන්නේ පේපර් වර්ක් කියාය​. මගේ උපදේශිකාවක වන ෆිලඩෙල්ෆියාවේ කෝට්ස්විල් රෝහලේ මනෝ විද්‍යාඥ ආචාර්‍ය සුසන් රොජස් ගේ පරිගනක තිරය උඩ මෙවැනි වැකියක් ලියා තුබුන බව මට මතකය : සදාකාලික නින්දට පෙර පේපර් වර්ක් අහවර කරන්න​ (Before the eternal rest , finish your paper work). 

පේපර් වර්ක් අවසන් කරන විට සූර්‍යා අවරට යමින් තිබුනි. ඒ සමගම මගේ පුතා දුරකථනයෙන් මා අමතා අද සිකුරාදාවක් නිසා රාත්‍රී ආහාරය පිටතින් ගත යුතු බව කියයි. මම ඔහුට සිරියානු අවන්හලක් වන ජෙරුලම් රෙස්ටොරන්ට් එකේ නම යෝජනා කරමි. එහෙත් ඔහුගේ කැමැත්ත ජපන් අවන්හලකට යාමටයි. ඔහු සුෂී ප්‍රිය කරයි. මම නම් ඇත්තෙන්ම කැමති දෙමළ අවන්හලක් වූ හොපර් හට් එකට ගොස් ආප්ප කෑමටය​. නමුත් මේ තරුණ පරම්පරාව අප මෙන් තෝසේ අප්ප ඉඳි ආප්ප , පිට්ටු වලට ප්‍රිය නොකරති. එම නිසා මම හොපර් හට් නම යෝජනා නොකරමි. මට සුෂී එතරම් ප්‍රිය නැත​. අවසානයේදී පියාත් මවත් පුතාත් සම්මුතියකට එති. අප තිදෙනාම ග්‍රීක අවන්හලක් වූ ජිමී ද ග්‍රීක් අවන්හලට යාමට එකඟතාව පළ කෙරුවෙමු. 

අප ජීවත් වන්නේ බහු සංස්කෘතියකින් හෙවත් මල්ටි කල්චරල් සමාජයකය​. මේ සමාජයේදී අපට නානා ප්‍රකාර ජාතීන් මුණ ගැසෙති. නා නා විවිධ සංස්කෘතීන් සමග මුහු වීමට සිදුවේ. මේ මල්ටි කල්චරල් සමාජයේ ප්‍රශ්න නැතුවා නොවේ. එහෙත් එකිනෙකාට ගරු කරමින් විවිධ සංස්කෘතීන් ස්පර්ශ කරමින් මිනිසුන් සාමයෙන් සහයෝගයෙන් ජීවත් වෙති. එහෙත් චිරාත් කාලයක් ලංකාවේ වාසය කල සිංහල දෙමල මුස්ලිම් ජාතීන් මෙසේ සාමයෙන් සහයෝගයෙන් ජීවත් නොවන්නේ මන්ද කියා ඇතැම් විට මට සිතේ.


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

45 comments:

  1. හරි අපූරුයි.... මමත් අවුරුදු පහක් ඔහොම කල්චර් එකක හිටියා... අඩුම ගානේ එකම බාෂාවක් වත් ඉගන නොගත් එක ගැන මම අද පසු තැවෙනවා...

    ඉන්දියනුවෙක් ගැන ලිය වෙන්න මේතා ලඟට එනකම් පහු වුන එක ගැන හරි පුදුමයි.. ඔහෙ ඉන්දියානුවන් ඇත්තටම හිඟද ? වෙන්න අමාරු දෙයක්...මම හිතන් හිටියේ ඔබ ඉන්නේ රුසියාවේ කියලා..

    ReplyDelete
    Replies
    1. මම හිටියේ රුසියාවේ ; ඉන්දියානුවන් මෙහෙ ඉන්නවා

      Delete
  2. ඔබ සඳහන් කරන බහුවාර්ගිකත්වය දුර්වල බහුවාර්ගිකත්වයක්. එහිදී බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ ඇංග්ලිකන් සංරචකය නායක සංස්කෘතිය ලෙස පවතින අතර පොදු බස ලෙස බහුතරයේ බස වන ඉංගීසි පාවිච්චි වෙනවා.
    ලංකාවේ දෙමළ ජාතිවාදීන් බලාපොරොත්තු වන බහුවාර්ගිඅකත්වය මීට වඩා වෙනස් එකක්. ඔවුන්ට අවශ්‍ය සිංහලයන් සිංහලෙනුත් දෙමළු දෙමලෙනුත් ඔවුන් එකට සිටිනවිට ඉංග්‍රීසියෙනුත් කතාකරන තත්වයක් ඇතිකිරීමටයි.

    ReplyDelete
    Replies
    1. රටක් ඒක වාර්ගික වීමේ හානිය මෙවැනි ගොන් ප්‍රකාශ වලින්ම පේනවා නේද?

      Delete
    2. ඔබ ඔය සඳහන් කරන බහුවාර්ගි'කත්වය දෘෂ්ඨි මායාවක්. එහිදී වන්නේ බිරිතානි ධවල යටත් විජිතයක් තුල. බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ ඇංග්ලිකන් ආධිපත්‍යයට යටත්ව විවිධ ජනවාර්ගිකයන් ඒකීය පුද්ගලයන් ලෙස සිටීමයි. මෙම ව්‍යාජ බහුවාර්ගිකත්වය නිසා වන තවත් දෙයක් වන්නේ. පොදු ලක්ෂණ සහිත සුළුතර ජනවර්ගික ඒකීය පුද්ගලයන් එක්වී ඇංග්ලිකන් ජාතිකත්වයට තර්ජනයක් වන පරිදි වෙනත් ජාතිකත්වයන් ගොඩනැගීම වැලකීමයි. උදාහරණයක් ලෙස කැනඩාවේ ජීවත්වන විවිධ මුලයන් සහිත ඉස්ලාම් භක්තිකයන් මුස්ලිම්වරු ලෙස එක් ජාතිකත්වයක් ගොඩනඟා ගැනීම මෙම ව්‍යාජ බහුවාර්ගිකත්වය නිසා වැලකෙනවා.

      Delete
    3. එහෙමත් එකක්ද ? නමුත් මේ ක්‍රමය තුල මිනිසුන් සමාදානයෙන් කා කොටා ගන්නේ නැතිව ඉන්න එක ලොකු දෙයක් නොවේද ?

      Delete
  3. කාර්යාලයේ විවේකයක් ලැබුණු විට තේ කෝප්යක් තොල ගාමින් මේ කතාව කියවන අතරේ මම හිස ඔසවා බැලුවෙමි.

    මායා ද, සිවා ද තම පරිගණක දෙස බලා සිටින අයුරු මට පෙනේ. මදක් එපිටින් සිටන්ණේ මෙරට උගත් ලාංකික මැවිසුරුවෙකු වූ ක්‍රීස් ය. අද වෙනත් කාර්යාලය පැවැත්වෙන රැස්වීමකට ගොස් ඇති නිසා පාලිත සහ සරත් කාර්යාලයේ නැත. පාලිත ද, මට නොපෙනෙන පැත්තේ මේසයක සිටින විජය ද දෙදෙනාම (සහ මායා සහ සිවා ද) පේරාදෙනියේ මැවිසුරන් ය.

    ගිය මාසය වන තෙක් මෙහි සේවය කළ ලෝගන් දැන් වෙනත් තට්ටුවකට ගොස් ඇත.

    ඒ බහු සංස්කෘතික ඕස්ට්‍රේලියාවෙන් බිඳකි.

    ReplyDelete
  4. මේ කතාව හරිම ලගන්නාසුළුයි. කම්මැලි කමක් නැතිව එකදිගට කියවාගෙන යන්න පුළුවන් , ලංකාවෙත් මෙහෙම තිබුනා , තාමත් සමහර තන්වල්ට් හියෙනවා, එත් හැමදේම වගේ කාලකන්නි දේශපාලකයෝ ඔක්කොම අවුල් කරනවා. ලෝකය තනියායක් වෙනකන් අපි බලන් ඉමු

    ReplyDelete
    Replies
    1. +++++++++++++++++++++++++++++++

      Delete
    2. ලෝකය තනියායක් වෙනකන් අපි බලන් ඉමු ++++++++++++++++++++

      Delete
  5. dr. obata bayyan ho toyyan hamu nadda ?

    ReplyDelete
  6. ///එහෙත් චිරාත් කාලයක් ලංකාවේ වාසය කල සිංහල දෙමල මුස්ලිම් ජාතීන් මෙසේ සාමයෙන් සහයෝගයෙන් ජීවත් නොවන්නේ මන්ද කියා ඇතැම් විට මට සිතේ.///

    ඒක නම් හරි පුදුමයි තමයි. ලංකාවේ ඉඳලා වෙන රටක බහු ජාතික සමාජයක අපූරුවට ඉන්න කෙනාම ලංකාවට ආව ගමන් වෙනස්...

    ReplyDelete
    Replies
    1. අපේ සමාජ ආකල්ප වල දෝසයක් ඇති

      Delete
  7. මල්ටි කල්චර් එක මල්ටි කචල් එකක් නොකරගෙන ජීවත්වීම විශාල දක්ෂතාවයකි.

    ReplyDelete
  8. ලංකාවෙන් අවු 20කට ඉස්සර ගිය අයත් ඉන්නවා ඒ ගොල්ලන්ගෙ තාමත් ඉන්න යාලුවො ලංකාවෙන් ආ අය විතරයි.
    දුක හිතෙනවා ලිං මැඩි තත්වය ලිඳෙන් එලියට ගියාට පස්සෙත් තියන එක ගැන. ඒ ගොල්ල ආස mono-cultural ghetto එකක ඉන්න.

    ReplyDelete
    Replies
    1. mono-cultural ghetto ////////////// නියම වචනය

      Delete
  9. මේ ලිපිය පුදුම රහයි.. එකක් ඒකේ අන්තර්ගතය, අනෙක රචනා විලාශය.

    ඔය සියල්ලටම හේතුව අධ්‍යාපනය නේද?

    අපේ රටේ තියෙන කාළකන්නි අධ්‍යාපන ක්‍රමයෙන් කවදාවත් ඔය කියන සංහිදියාව ඇති කරන්න බෑ.. අනෙක පාර්ලිමේන්තුවේ ඉන්න එකාබද්ධ විපක්ෂය කියන කොඩිවිනේ හැසිරීම හා උතුරේ මහ ඇමතියාගේ හැසිරීම දිහා බලන්න. අමු ජාතිවාදය කිසිම හිරිකිතයකින් තොරව ප්‍රසිද්ධියේ ප්‍රකාෂ කරනවා.

    සංහිදියාව හදන්න නම් සිංගප්පූරුවේ වගේ තද නීතී රීති ගෙනෙන්න ඕනා..

    මාත් අවුරුදු පහක් පමණ ඔය බහු සංස්කෘතියක් තුල ජීවත් උනා.. ඒක බොහෝම සුන්දර ඇත්දැකීමක්..

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මාතේ ;
      අපේ රටේ තියෙන කාළකන්නි අධ්‍යාපන ක්‍රමයෙන් කවදාවත් ඔය කියන සංහිදියාව ඇති කරන්න බෑ /////////// agree with you

      Delete
  10. Dear Sir,

    දිගු ලිපියක් නමුත් කියවීමට රුචියි.!
    ස්තුතියි බෙදා ගත්තට.

    ReplyDelete
  11. නියම රචනයක්. ඉතාම රසවත්....

    ReplyDelete
  12. ලෝකේ වටේ ගිහින් ආවා වගේ දැනුනා. හරිම සිත්ගන්නා සුලු ලිපියක්. මේ හැම එක්කෙනාගෙම කත එකතු කලොත් මොන වගේ පොතක් වෙයිද?

    ReplyDelete
    Replies
    1. ආවා වගේ දැනුනා. හරිම සිත්ගන්නා සුලු ලිපියක්. මේ හැම එක්කෙනාගෙම කත එකතු කලොත් මොන වගේ පොතක් වෙයිද?/////////// ඇත්තමයි

      Delete
  13. හැමදෙනගෙ හිතේ පොදු එකඟතාවයක් වගේ දෙයක්,ගරුත්වයක් පවත්වගන යන්න බැරි ඇයි කියන එක ඇත්තටම ප්‍රශ්නයක්.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. හැමදෙනගෙ හිතේ පොදු එකඟතාවයක් වගේ දෙයක්,ගරුත්වයක් පවත්වගන යන්න බැරි ඇයි කියන එක ඇත්තටම ප්‍රශ්නයක්.///// yes in SL

      Delete
  14. රුවන්,

    ගෙදර යන ගමන් රේඩියෝ එක දැම්මා. පියා චටපඩායි ගේ ප්‍රෝග්‍රෑම් එක, නමේ විධියට හිතෙනවා එය තායි ද කියලත්, බලනකොට බෙන්ගාලි ඔරිජින් අපි කියන විධියට 'චත්තොපාධ්‍ය'. ඉතින් ගෙදෙර ගිහින් තේ එකක් එහෙම හදාගෙන ටීවී එකේ නිව්ස් දැම්ම කියමුකෝ. ප්‍රසේන්ටර් 'ඈන් මරී මේඩ්වේක්'. සුද්දියෙක් උනාට මූන නම් ටිකක් ලංකාවේ වගේ. දැන් තේරුණා 'මේඩ්වේක්' කිව්වට ලියන්නේ 'Mediwake' කියල. තාත්ත සිංහල අම්ම අයිරිෂ්.

    ReplyDelete
  15. හොද ලිපියක්..... මෙහෙත් ඔහොම තමයි...ලන්කවෙ tv එකක් දැම්මමත් මල්ටි කල්චරල්...

    ReplyDelete
  16. මට රුවන්ගේ ලිපි ගොඩක් රසවත්. ටිකක් වැඩිපුර ලිවිම ගැන සතුටු වෙමි. ඇත්තටම ඔය මාතෘකාව වඩාත් වැදගත් වන්නේ ශ්‍රී ලංකිකයින්ටයි. මම ඔය ජාතිවාදය කියන දේ පොඩි කාලේ පටන් හෙලා දැකපු දෙයක්. මට පොඩි කාලේ ඉඳලම මගේ දෙමවුපියෝ ඉගැන්නුවේ කිසිම දවසක ජාතියකට ගරහන්න එපා කියලා. මට මතකයි අපේ අම්මා මට කිවුව පුතේ කවදාවත් දෙමල මනුස්සයෙකුට දෙමළා යනුවෙන් ආමන්ත්‍රණය නොකරන ලෙසත් අප සියලු දෙනාම එක හා සමාන බවත්. පස්සේ වයසෙන් මුහුකුරා යනකොට ඒ සියල්ල වැටහුනා.

    කැලිෆෝනියාවේ ස්ටෑන්ෆර්ඩ් සරසවියට ඇතුළු උන දවසේ ඉඳල ඔය රුවන් කියපු සියල්ල මන් අත්වින්දා. විශ්ව විද්‍යාලය පසෙක තබමු. ඇමරිකාවට පයගහපු දවසේ ඉඳල ඔය සියල්ල දැක්කා. ඔවුන් මම කළුද සුදුද මොන රටින්ද කියලා තැකුවේ නැහැ. පොඩි කාලේ පිලුකුල් උන ජාතිවාදය තව තවත් අප්‍රිය උනා.

    දෙවියනේ ශ්‍රී ලංකාවේ බහුතරයක් මිනිස්සු කොපමණ අන්ද වෙලාද. තවමත් ශුද්ද ජාතියක් හොයනවා. අපි කැපුවත් සිංහල , කැපුවත් දෙමල කියා කියා. ලංකාවේ ගොඩක් ජාතිවාදීන් ලොව දැකලා නැහැ. ලිඳේ සිටිනා ගෙම්බාට දන්නේ ලිඳේ පරිදිය පමණක්ය.

    මේවට සම්පුර්න වගකියන්න ඕනේ අපේ අධ්‍යාපන ක්‍රමය , දේශපාලනය , මාධ්‍ය. මේ තුන් කට්ටුව ළමයින්ගේ සහ වැඩිහිටියන්ගේ ඔලුවල් වන කරලා තියෙන්නේ. මේකෙන් කෙනෙක් ගේ සිත් රිදෙනවනම් මා සමව අයදිමි. නමුත් සත්‍ය පැවසිය යුතුය. අනගාරික ධර්මපාල තුමා කියන්නේ ආදර්ශවත් චරිතයක් ද . කලේ ජාතිවාදය වපුරපු එක. මේ චරිත අපගේ අධ්‍යාපන ක්‍රමය තුල තවමත් හොල්මන් කරයි. එස් මහින්ද හිමිගේ කවි මොනවද. ඒවා කොතෙක් දුරට ගැලපෙනවද ? සිංහල ලේ ඇති සිංහල කොල්ලෙකු නැතිද මොකක් ද කවියක් අපගේ සිංහල පෙතේ තිබුනා මතකය. මොවුන්ගේ චරිත තුල හොඳ දේවල් තිබෙන්න ට පුළුවනි. එනමුදු මෙවැනි වර්ගවාදී චරිත අධ්‍යාපන පෙළ පොත්වලින් ඉවත් කල යුතුමය. දේශපාලකයින් කලේද තමන්ගේ අභිමතයන් මුදුන් පමුනුවගනු පිණිස ජාතිවාදය වැපිරවීමයි. අතීතයේ මාධ්‍ය කලෙත් ඔය දේමයි.

    ජාතිවාදය ඔලුවේ තියාගෙන අපි දිනෙන් දින ආපස්සට යනවා. ලෝකය දිනෙන් දින ඉදිරියට යනවා. ලෝකයේ වර්ගවාදයහිස මුදුනේ තියාගෙන ඉන්න රටවල් තවමත් නොදියුණු රටවල්. අපිට රටක් හැටියට ඉදිරියට යනවනම් වහාම ඔය ජාතිවාදය කියන එක අමතක කරන්න වෙනවා.

    ReplyDelete
    Replies
    1. මට පොඩි කාලේ ඉඳලම මගේ දෙමවුපියෝ ඉගැන්නුවේ කිසිම දවසක ජාතියකට ගරහන්න එපා කියලා /////// උතුම් මාපියන්

      Delete
    2. "කැලිෆෝනියාවේ ස්ටෑන්ෆර්ඩ් සරසවියට ඇතුළු උන දවසේ ඉඳල ඔය රුවන් කියපු සියල්ල මන් අත්වින්දා. විශ්ව විද්‍යාලය පසෙක තබමු. ඇමරිකාවට පයගහපු දවසේ ඉඳල ඔය සියල්ල දැක්කා"

      Are you sure? USA as a policy does not facilitate multiculturalism! They have melting-pot Cultural Assimilation!!

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. I want to try something out. Picture the average U.S. citizen. Think about it.
      How old are they? What’s their hair like? How much can they bench? Got one? Oke ? So, the chances are the person you’re picturing right now looks a little different to the real average American.There are 319 million U.S. citizens. 51% are female. So, first off, the average American is a woman. Cool huh. Is that what you pictured?

      27 million are disabled. 18 million are Asian.9 million are lesbian, gay, bi, or transgender.More than the entire amount of people that live in the state of Virginia. Around 10 million are redheaded. 5.1 million play Ultimate Frisbee.And three and a half million are Muslim. Triple the number of people currently serving in the United States military.Almost half the country belongs to minority groups. People who are lesbian. African American. And bi and transgender. And Native American ( red Indians ). And proud of it We know that labels don’t devalue us, they help define us keeping us dialed in to our cultures, and our beliefs, and who we are. As Americans. After all, what’s more American than the freedom to celebrate the things that make us us?

      I mean, it’s stitched into the stars and stripes of this country, from the Constitution,to Gettysburg, to our motto from many, one. It’s even in our ( I'm not a us citizen yet ) country’s name the UNITED States.This year patriotism shouldn’t just be about pride of country It should be about love. Love beyond age, disability, sexuality, race, religion, and any other labels. Because the second any of us judge people based on those labels, we’re not really being patriotic, are we?

      Delete
    5. @යම පල්ලා

      "..There are 319 million U.S. citizens. 51% are female. So, first off, the average American is a woman. Cool huh..."

      Where did you learn stats? from Wimal Weerawansa?

      You still don't get it. Multiculturalism is labeling! it is keeping your identity!!. What you talk about is Cultural Assimilation!!

      Delete
  17. වෛද්‍යතුමනි,
    කවදත් වගේ ඔබගේ අපූරු ලිපිය රස වින්දා.
    ඒත් ඔබ අසන අවසන් පැනයට නම් පිළිතුර වඩා විශාලයි. මේක ඇත්තටම මිනිස් ස්වභාවය නිසා ඇතිවන ප්‍රශ්නයක්. ඒත් අපේ සංස්කෘතික චින්තනය හැදිලා තියෙන්නේ ලංකාව මුල්කරගෙන නිසා අපි මේ සෑම ප්‍රශ්නයක්ම ලංකාව මුල් කරගෙන සිතන්න පෙළඹිලා තියෙනවා.
    මම උදාහරණ කිහිපයක් දක්වන්නම්.
    බ්‍රිතාන්‍යයාට අයිරිශ් ජාතිකයා නොරුස්සයි. ඒත් උන් දෙන්නාටම ස්ංහලයා හෝ දෙමළා ගනනක් නැත
    ඔබම කියන පරිදි කෙන්යානුවන් නමක් කී පමණින් එකිනෙකාගේ ගෝත්‍රය ගැන කියන්නේ බෙදීම දැක්වීමට විය නොහැකියිද? ඒ උන් එකට වසන නිසා එකිනෙකාගේ දුර්ගුන දකින නිසා නෙවෙයිද?
    ඉන්දියාව තුලම ගතහොත්, හින්දි බස කතා කරන බොහෝමයක් උතුරු ඉන්දියානුවන් දෙමළ හෝ මලයාලි දකුනු ඉන්දීයයන්ට කැමති නැත. උතුරේම අනෙක් උන් පන්ජාබියන්ට හොඳින් කථා කරන්නේ මූනිච්චාවට පමණි.
    චීනාට ජපනා රුස්සන්නේ නැත. එහෙත් උන් කාටත් අපි එකයි.

    මේ සිදුවීමේ සැබෑ හේතුව මිනිසුන් සැම විටම කාණ්ඩ වශයෙන් බෙදීමට ඇති කැමැත්ත හා එක් එක් කාණ්ඩ කෙරෙහි යම් හොඳ හෝ නරක ලක්ෂණ සාමාන්‍ය කරණය කිරීමට දක්වන කැමැත්තයි.

    බටහිරයන්ට අනුව යුදෙව්වන් කපටින්ය. සාධාරණ යුදෙව්වන් නැතිද?
    මේ මම හිතන හැටි. "ගිලීමලෙත් ඇත දත සුද්දෝ"

    ReplyDelete
    Replies
    1. බ්‍රිතාන්‍යයාට අයිරිශ් ජාතිකයා නොරුස්සයි. ඒත් උන් දෙන්නාටම ස්ංහලයා හෝ දෙමළා ගනනක් නැත / කෙන්යානුවන් නමක් කී පමණින් එකිනෙකාගේ ගෝත්‍රය ගැන කියන්නේ බෙදීම දැක්වීමට විය නොහැකියිද? ඒ උන් එකට වසන නිසා එකිනෙකාගේ දුර්ගුන දකින නිසා නෙවෙයිද? / චීනාට ජපනා රුස්සන්නේ නැත. එහෙත් උන් කාටත් අපි එකයි.
      ///// I agree with you . Excellent analysis

      Delete
  18. කැනඩාවෙදි සින්ගල් කල්චරල් වෙන්න උත්සාහ කරල වැඩක් නැති බව පැහැදිළිව පේනවා. ඒත් ලංකාවෙදි හිතෙනව අනිත් කල්චර්වල එවුන් එළවලා දාල තනියෙන් කන්න පුළුවන් වෙයි කියල. මේක මේ කල්චර් එකට තියන ආදරයක් නෙවෙයි. තනියම කෑමේ ආසාව.
    අනිත් කල්චර්වල එවුන් නැතිවෙලා ගියදාක ඔබ හිතනවද අපේ එවුන් සමාදානෙන් ඉඳියි කියල?

    ReplyDelete
    Replies
    1. තනියම කෑමේ ආසාව සහ ක්සෙනෆෝබියාව

      Delete
  19. රුවන් ඔබගේ විතරය කැනඩාවේ බහුවර්හියත්වය වැඩි ඔන්ටෙරියෝවේ නාගරික ප්‍රදේශ පදනම් කරගත්තක් බව පෙනේ. කැනඩාවේම ග්‍රාමීය පළාත්වල තත්වය මෙයට වඩා බෙහෙවින් වෙනස් විය හැකි බව අත්දැකිමන් දනිමි. මැතදී Saskatchewan ග්‍රාමීය පෙදෙසක සිදුවූ වෙඩි තැබීමකින් මුල්වසි තරුණයෙකු මියයාම පිලිබදව ඔබ දැනුවත්ද? ඒ හා සමග සමාජ ජාලවල පැතිරගිය ජාතිවාදී අදහස් රැල්ල ඔබ නොදුටුවාද?

    ReplyDelete
    Replies
    1. කැනඩාවේම ග්‍රාමීය පළාත්වල තත්වය මෙයට වඩා බෙහෙවින් වෙනස්//// athha

      Delete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook