Wednesday, January 20, 2016

ටෝප් එක




1986 විනිට්සා වෛද්‍ය පීඨයේ මුල් වසරේ (මෙය පද් එක හෙවත් රුසියන් භාෂා වසර ලෙස හැඳින්වේ)  මගේ කාමරයේ රුසියන් සිසුන් දෙදෙනෙක් ද ලංකාවේ ද්‍රවිඩ සිසුවෙකුද වූහ​. අප ඉතා සාමයෙන් රංඩු කරමින් ජීවත් වූයෙමු. එක් රුසියන් සිසුවෙකුගේ නම වොලදියාය​. ඔහු අඩි හය හමාරක් පමණ උසැති අයෝම පුරුෂයෙකි. එම නිසා ඔහු කාමරයේ නායකයා විය​. දෙවන රුසියන් සිසුවා වීතියා විය. ඔහු මධ්‍යම ප්‍රමාණයේ පුද්ගලයෙකි. ගිතාරය වැයීම සහ සවසට ගමන් යාම ඔහු නොකඩවා කලේය​. තෙවැන්නා වූ සිවලිංගම් වතු ද්‍රවිඩ සම්භවයක් තිබූ සිසුවෙකි. අනෙකුත් යාපනයේ ද්‍රවිඩ සිසුන් ඔහුව අතේ දුරින් තබාගෙන සිටියහ​. 

රුසියන් සිසුන් අපගේ සිලෝන් තේ සොරකම් කර පානය කළ අතර අප ඔවුන් විසින් නිවෙස් වලින් ගෙන එන තැම්බූ හරක් මස් , පීකුදු ,  ඌරු මස් වලට වග කීවෙමු. එම නිසා ආහාර සබැඳිව කිසිදු ගැටුමක් වූයේ නැත​. වොලදියා පරණ රේඩියෝවක් ක්‍රියාත්මක කොට මහ හඞින් මොස්කව් ගුවන් විදුළියට සවන් දුන් අතර ඒ කරච්චලය අස්සේ මම බීබීසී ඉංග්‍රීසි සේවය ඇසුවෙමි. 

මෙම රේඩියෝව ක්‍රියාත්මක වන්නේ බිත්තියට  අල්ලන ලද සිදුරු දෙකකින් යුත් ප්ලග් එකකට සවි කිරීමෙනි. එයින් වෝල්ට් 6 පමණ විදුලියද රේඩියෝව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ඇන්ටෙනාවද ලබා දෙයි. මෙම ප්ලග් එක මගින් කේජීබී එක සිසුන් ගේ සංවාද වලට සවන් දෙන බවට බොරු දූසමාන ආරංචියක් නිසා සමහර සිසුන් කතා කලේ මේ ප්ලග් එක අතින් වසාගෙනය​. අපගේ වෛද්‍ය පීඨයේ සිටි මන්සූර් නම් සිසුවා කතා කලේ මේ ප්ලග් එක අතින් වසාගෙනය. වර්තමානයේ මන්සූර් නවසීලන්තයේ වෛද්‍යවරයෙකු ලෙස සේවය කරයි. 

වොලදියා ගේ පරණ රේඩියෝ කරච්චලය ඉරිදා දවස් වල හිමිදිරියේද ඇරඹීම නිසා උරණ වූ සිවලිංගම් වරක් වෝල්ට් හයෙන් වැඩ කරන රේඩියෝවේ වයර් දෙක වෝල්ට් 230 සම්බන්ධ කොට කිසිවක් නොදත්තෙකු මෙන් සිටියේය​. 

එදින උදෑසන රේඩියෝව ක්‍රියාත්මක කිරීමට වොලදියා ගත් උත්සහය ව්‍යර්ථ විය​. ඔහු දහ අතේ දඟලමින් රේඩියෝවේ දෝශය සෙව්වේය​. මම නිදාගත්තාක් මෙන් පොරවාගෙන සිටියෙමි. සිවලිංගම් බියෙන් බියෙන් හොරෙන් ඇස් ඇරමින් වොලදියා දෙස බලන්නට විය​. ඉන්පසු වොලදියා බැටරි වලින් වැඩ කරන ලොකු හඞක් එන රේඩියෝවක් ගෙන ආවේය​. එම නිසා අපට ඇපත් අහිමි විය​. 

උදේ දේශන වලට යාමට පෙර සිවලිංගම් යකඩ මුට්ටියක් වැනි   දෙයක් ඇර නලලේ අළු ගාගනියි. මෙය බලා සිටි වීතියා මුට්ටිය ඇර  ඔහුගේ නලලේද අළු ගාගෙන දේශනයට ගියේය​. දිනක්  සිවලිංගම්ට මා සතු වූ බාල්දිය ඉල්ලීමට අවශ්‍ය වී " අඩෝ වාල්දිය දීපං කීවේය​. එසේම වරක් චිත්‍රපට ගැන කතා කරන විට පයිලට් ප්‍රේම්නත් එකේ ඌගේ මාර ඇක්ටිං කීවේය​. සිවලිංගම් ඌ කියා හැඳින්වූයේ මාලනී ෆොන්සේකාය​.  තවද සිංහල සිංදුවක් කීමට ඔහුට අවශ්‍ය වූ විට ඔහු " කොන්ද නමාගෙන ඇරමිටි ඔක්කොම ගහගෙන " කියා සිංහල සිංදුවක කොටසක් කීවේය​. කබඩ් එකට ඔහු කීවේ ගබඩ් කියාය​. එම නිසා අනෙක් ලාංකික සිසුන් ඔහුට ගබඩ්  කියා නමක් පටබැන්දෝය. 

වරක් සවසක මම පහත මාලයේ පාඩම්  කාමරයේ  පාඩම් කරමින් සිටියෙමි. හදිසියේම මා කරා පැමිණි සිවලිංගම් හෙවත් ගබඩ් අද අරූ හොඳට ටෝප් එක දාලා නිදි යැයි කීවේය​. පසුව බලන විට වීතියා සාදයකට ගොස් හොඳට වොඩ්කා පානය කොට පැමිණ සිවලිංගම්ගේ ඇඳේ නිදාගෙන සිටියේ‍ය​. 

රුසියන් භාෂා වසරින් පසු සිවලිංගම් සිම්ෆෙරෝෆල් නගරයට ගියේය​. මම විනිට්සා නගරයේ රැඳුනෙමි. 2009 වසරේ මට සිවලිංගම් ඩුප්ලිකේශන් පාර අසල තිබෙන ප්‍රකට මාළු වෙළඳසැලේදී හමු විය . ඔහු වෛද්‍ය සේවයෙන් ඉවත් වී ඉතා අධික ලෙස ආදායම් ලබන පරණ යකඩ බඩු වෙළඳාමට අවතීර්ණව සිටින බව කීවේය​.

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Tuesday, January 19, 2016

බොඩි ගලවා






එන්‍රිකේ ඉග්ලේෂියාස්‌ගේ ප්‍රසංගයේදී ඔහු දෙසට තනපටය වීසි කළ සිද්ධිය නිසා  ජනපති මෛත්‍රිපාල සිරිසේන මෙසේ කීය​.

 "'මේ ගැහැණු ළමයි තනපටය ගලවලා දුන්නා මේ ගායකයාට.මේ අපේකම් රකින හැටි. තරුණ ගැහැණු ළමයි වේදිකාවට නැගල මේ ගායකයව බලෙන් සිප ගත්තා ඉන්න බැරුව.' මෙවැනි 'අසංවර' ක්‍රියාවල නිරත වන තරුණියන්ට ,  මෙවැනි වැඩසටහන් ශ්‍රී ලංකාව තුළ සංවිධානය කරන පුද්ගලයන්ට 'මඩු වල්ගෙන් තල්ලන ඕනේ " 

 මේ තනපට කතාව අසන මට මතක් වෙන්නේ 1998 පමණ කාලයේ මීගමුව රෝහලේ නාරි හා ප්‍රසව වාට්ටුවේ සිටි මිඩ් වයිෆ් කෙනෙකි. ඇය සැම විටම ලේබර් රූම් එකට ප්‍රසූති වලට යන කාන්තාවන්ට මෙසේ කියන්නීය​. 

" ඔය ලේබර් රූම් එකට යන අය බොඩි ගලවල යන්න "  

ලේබර් රූම් එකට යන කාන්තාවන්ට බොඩි ගැල්වීමට උපදෙස් දුන් මේ මිඩ් වයිෆ්ටත් මඩු වල්ගෙන් තලයිද යන සහේතුක බියක් මට ඇතිවේ.

පහත සටහන මා විසින් ලියන ලද මානසික රෝගියාගේ පරිකල්පනය නම් පොතේ එන්නකි. 

 ..........මිනිසෙකු රළු වන්නේ  හදවත තවනා පියොවුරු නැති නිසා බව කව් සිළුමිණ කවියා පැවසුවා මෙහෙම.    

පුරා අනුරා ඇති පියොවුරු දිදී ළෙහි මා සැරහූවන් පෙරදවස් හිද නොතද වේ කුම්සේ.    

වාජිඩ් බෝග්රා වැඩ කලේ පකිස්ථාන සංස්කෘතික දෙපාර්තමේන්තුවේ.  ඔහට හිට්යා ලස්සන බිරිඳක්. අසල්වැසියන් ඔහුට ඉර්ශියා කළා රුවැති බිරිදක් සිටීම නිසා.  ඇයගේ දෙනෙත් වල ලස්සනකියලා නිම කරන්න බැහැ. ඇය පර්සියාවේ සුල්තාන් කෙනෙක්ගේ බිසවක් වගේ.   ඇයගේ රන් හංසයන් ඔහුව කුල්මත් කළා. නමුත් මේ සතුට පැවතියේ සුළු කාලයයි. ඔහුගේ රූමත් බිරිඳ ආගාසාෆි  දරු ප්‍රසුතියේදී මිය ගියා. වාජිඩ් බෝග්රා ලෝකයේ තනි උනා. වෙනදා සන්තෝසයෙන් පාරේ දකින මිනිසා නෙවෙයි ඊට  පස්සේ හිටියේ. ඔහු රෑබෝ වෙනකම් කාර්යාලේ වැඩ කළා.පොඩි වැරැද්දකදී උනත් පියන්ට කඩා පැන්නා. වැඩ ප්‍රමාද කරන කන්තෝරුවේ ලියන්නන්ට තදින් අවවාද කරලා ලියුම් ගැහුවා. 

මේ කලේ තමයි කාන්තාවන්ගේ ඇඳුම ගැන සංස්කෘතිකදෙපාර්තමේන්තුව තදින් ක්‍රියා කරන්න පටන් ගත්තේ.  කාන්තාවන්ගේ තනපටි පිළිබඳව පකිස්ථානයේ ඉස්ලාමික කවුන්සලය අවධානය යොමු කරා.  නොයෙකුත් වර්ණයෙන් යුතු තනපට, තට්ටුඇල්ලූ තනපට, විවිධ වර්ගයේ කුෂන් කරන ලද තනපට , විනිවිද පෙනෙන තනපට , සිහින් තනපට , සිනිදු තනපට ආදී අශික්ෂිත තනපට නිෂ්පාදනය, ප්‍රවාහනය , ළඟ තබාගැනීම, ඇඳීම මෙන්ම    ආනයනය කිරිම අලෙවි කිරිමද   නොකළ යුතු බවත්  ,මෙවැනි තනපටි වර්ග පකිස්ථානයේ නිෂ්පාදනය කිරිමත් නොමනා ක‍්‍රියාවක් බවත්   ඉස්ලාමික කවුන්සලයේ අදහස උනේ.වාජිඩ් බෝග්රා මේ අදහස අනුමත කල පමණක් නොවේ මේ නීති රීති කඩන්නන්ට දැඩි දඬුවම්   කල යුතු බව කියා සිටියා. ආගා සාෆි  ගේ පහස නොලැබී යාම නිසා ඔහු සිටියේ විශාල කියා ගතනොහැකි අසහනයකින්. ඔහු සෑම රාත්‍රියකම ආගා සාෆි  ගේ පුන් පියයුරු සිහිනෙන් දැක්කා. රන් පැහැති සිනිදු රණ හංසයන් කෙරෙහි ඔහු තුල තිබු ආශාව  එන්න එන්නම වැඩි උණා. ඒ ආශාවදැඩි  වන්න දැඩි වන්න ඔහු සිටියේ තිසර පටි නීති තද කල යුතුයි කියන ස්ථාවරයේ.  හදවත තවනා පියොවුරු නැති නිසා වාජිඩ් බෝග්රා රළු නරුමයෙකු බවට පත් උණා.






Monday, January 18, 2016

ලොව වටා රෝහල් සහ වාට්ටු

 





එකදාස් නමසිය බර ගනන් වල ලංකාවේ ප්‍රධාන රෝහලක වාට්ටුවක්. ඒ කාලේ ඒවා පිරිසිදුය​. 


යූක්‍රයීනයේ රෝහල් පිරිසිදුය​. නමුත් බටහිර ලෝකයේ රටවල රෝහල් මෙන් තරු පහේ දිලිසෙන ගතියක් නම් නොමැත​. අප විනිට්සා නගරයේ පිරගෝව් රෝහල් සංකීර්ණයේ සායනික පුහුණුව ලැබුවෙමු. 

පිරගෝව් යනු ක්‍රිමියන් යුද්දය කාලයේ සිටි සුප්‍රකට ශල්‍ය වෛද්‍යවරයෙකි. ඔහුගේ සිරුරද බෙහෙත් ගල්වා විනිට්සා නගරයේ ඔහුට අයත් වූ විලාවක ප්‍රදර්ශනයට තබා තිබේ. මෙම විලාව හෙවත් සුවිසල් ගෘහය දැන් කෞතුකාගාරයකි. 

පිරගෝව් රෝහල් සංකීර්ණයේ ප්‍රධාන වෛද්‍යවරුන්ට වඩා සැනිතාරිකාවන් හෙවත් රෝහල පිරිසිදුකරන්නියන් සැරය​. අප වෛද්‍ය මහාචාර්‍යවරුන්ටත් වඩා සැනිතාරිකාවන් ට බිය වූයෙමු. ඔවුන් ගේ කටවල් සැරය​. පාවහන් දමාගෙන හෝ හිස් වැසුම් සුදු වෛද්‍ය ඔවර්කෝට් නොමැතිව වාට්ටුවකට අඩිය තැබුවොත් සුනේසුන්‍ ය​. මේ රෝහල් වල පාවන් ගලවා තාපච්කි නමින් හඳුන්වන සෙරෙප්පු විශේශයක් දමාගෙන යා යුතුය​. මේ නීතිය කාටත් පොදුය​. සැනිතාරිකාවන් දිනකට තුන් වරක් පමණ රෝහල් වාට්ටු සෝදා පවිත්‍ර කරති. 

වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබමින් සිටියදී නිවාඩු සමයක වරක් මම එංගලන්තයේ විටිංටන්  රෝහලට ගියෙමි. විටිංටන්  රෝහල සුපිරි හෝටලයක් මෙන් දිස් විය​. රෝහල් උපකරණ, ඇඳන් දිස්නය  ගෙන දෙයි. 

මට ඇමරිකා එක්සත් ජනපදයේ කැන්සාස් හි කොල්මරි ඔනීල් රෝහල මතක් වේ. වරක් විශේසඥ මනෝ වෛද්‍ය මහසෙන් ද සිල්වා සමගින් මම රෝහලේ චාරිකාවක නිරත වූයෙමි. වෛද්‍ය මහසෙන් ද සිල්වා මා දන්නා තරමට වියට්නාම් යුධ වෙතරානුවන්ට  ප්‍රතිකාර කරන එකම ලාංකික මනෝ වෛද්‍යවරයා විය යුතුය​. දහවල් ආහාරය සඳහා වෛද්‍ය මහසෙන් මාද රැගෙන කොල්මරි ඔනීල් රෝහලේ වෛද්‍යවරුන් ගේ කැෆටේ‍රියාවට ගියේය​. එය ගලධාරී හෝටලයේ බෆේ එක මෙන් විය​. විවිධ ආහාර වර්ග රෝහල් කැෆටේ‍රියාවේ තිබුණි. මම ඉතා ආශාවෙන් කැන්සාස් රිබ්ස් සහ මැකරෝනි අනුභව කලෙමි. 

ෆිලඩෙල්ෆියාවේ කෝට්ස්විල් රෝහලේ කැෆටේ‍රියාවද මේ හා සමාන විය​. එකල මාගේ බොස් වූ මනෝ විද්‍යාඥ සුසන් රොජස් දිවා ආහාරය ගැනීම සඳහා මා කැටුව කැෆටේ‍රියාවට යන්නීය​. ඇය දිවා ආහාරය ලෙස තක්කාලි සුප් සමග  එළවළු බොහෝ ගණනකින් සමන්විත සැලඩ් එකක් පමණක් ගන්නා අතර මම පෙන්සිල්වේනියාවට ආවේනික ආහාර වර්ග වල රස බලමි. 

වරක් මම ලොස් ඇන්ජලීස් වල ඔරේන්ජ් කවුන්ටිහි කුඩා රෝහලකට ගියෙමි. එහි පිරිසිදු සහ ක්‍රමවත් බව මගේ නෙත ගැටුණි.

ඕස්ටෙ‍්‍රලියාවේ බ්‍රිස්බර්න් හි Princess Alexandra රෝහල  ද යුරොපියානු සහ උතුරු ඇමරිකානු රෝහල් වලට නොදෙවෙනි වේ. පිරිසුදුකම මින් මුල් තැනක් ගනියි. රෝහලට එන මිනිසුන්ද එම පවිත්‍රතාව එලෙස තබා ගැනීමට උපකාරී වෙති. 

ලංකාවේ රජයේ රෝහල් වල මට තිබූ මූලික ප්‍රශ්නය මැස්සන්‍ ය​. වරක් මාතලේ මූලික රෝහලේ මෝචරියේ එකල ඩී.එම්.ඕ වූ වෛද්‍ය සිරිමල් ජයසිංහ මිනියක් කපමින් සිටියේය​. රෝගියා අපේ වාට්ටුවේ නිසා මටද පශ්චාත් මරණයට සහභාගි වන ලෙසට නියෝග ලැබුණි. මමද වෛද්‍ය සිරිමල් ජයසිංහට මිනිය කැපීමට සහය වූයෙමි. රෝගියාගේ වකුගඩු වල සැරව පිරී තිබුණි. මැස්සෝ තොග ගනනේ අප වටා පියාසර කරමින් සිටියහ​. මාගේ විශාලතම බිය සහ පිළිකුල වූයේ ශීතකරණ නොමැති නිසා අඩක් කුණුවූ ඕජස් ගලන මෘත ශරීරයේ වසන මැස්සන් යළිත් මගේ කටේ හෝ තොල් මත වසයි ද යන්නයි. 

රෝහල් වාට්ටුවල මැස්සන්ට ක්‍රමක් ක්‍රමයෙන් මම පුරුදු වූයෙමි. කළුබෝවිල රෝහලේ රෝහල් බිම ගිනි වතුර දමා සෝදන නිසා උදේ කාලයට මැස්සන් මඳක් අඩු විය​. නමුත් දහවල් වන විට මැස්සෝ වාට්ටු ආක්‍රමණය කරති. කළුබෝවිල රෝහලේ ශල්‍යාගාරයේ මැස්සන් සිටීම ශල්‍ය වෛද්‍ය රාජන් නයිල්ස් මහතාට පෙනෙන්නට බැරිය​. ශල්‍යාගාරයේ මැස්සන් පියාඹන විට වෛද්‍ය  නයිල්ස් ශල්‍යකර්මය අතරමග නවතා මැස්සන් අල්ලයි. මෙය අපට විනෝද ජනක විය​. වෛද්‍ය  නයිල්ස්  මැස්සන් ඇල්ලීමේ රුසියෙකි. ඔහු සමහර විට උඩ පැන මැස්සන් ඇල්ලීය​. 

කළුබෝවිල රෝහලේ ඒ කාලයේ (1993) බල්ලන් ගෙන් අඩුවක් ද නොවීය​. සමහර බල්ලන් වාට්ටුවලද ලැග සිටියහ​. එක් දිනක් මා රෝහලට යන විට බල්ලන් රෝහල තුල සෙම හලාගෙන වැටී සිටියහ​. මේ ගැන මම නේවාසික වෛද්‍ය අඹවත්ත ගෙන් ඇසුවෙමි. ඔහු මට කරුණු පැහැදිළි කලේය​. බල්ලන් මර්ධනයට බල්ලන්ට වස දමා තිබේ. බල්ලෝ උග්‍ර දුක් විඳ මිය ගියහ​. එය වේදනාකාරී දසුනක් විය​. 

වරක් වැසි දිනයක මාතලේ රෝහලේ ශල්‍ය වෛද්‍ය වාට්ටුවට යන විට වාට්ටුවට යන මග අසුරාගෙන එළදෙනක් ලැග සිටියාය​. ඇය වටා ගොම තළි දක්නට ලැබුණි. මම ජහ ජහ කීවද එළදෙන යන්න්තම් මා දෙස බලා නිසලව වැතිර සිටියාය​. ඌ මාව ගනනකටවත් ගත්තේ නැත​. එම නිසා මා වෙනත් මගකින් තෙමීගෙන වාට්ටුවට ගියෙමි. 

මීගමුව රෝහලේ වෛද්‍ය නිල නිවාසයේ සිට ශල්‍යාගාරයට යන කෙටිම මග තිබුනේ ළමා වාට්ටුවේ කොරිඩෝව හරහාය​. වැසිකිළියද  ඒ ලඟ තිබුනි. මව්වරු සමහරක් විට ළමුන්ට මළපහ කෙරෙව්වේ වැසිකිලියේ නොව මේ කොරොඩෝවේය​. උදෑසනම ශල්‍යාගාරයට යන අපට කක්කා බෙටි පෑගේ. ඒ මන් ද යත් කොරොඩෝවේ විදුළි බුබුළ යම් අයෙකු විසින් ගලවාගෙන තිබීම නිසාය​. 

ළමා රෝග විශේෂඥ වෛද්‍ය වින්සන්ට් පෙරේරා මහතගේ කාරුණික අනුග්‍රහයෙන්  කොරොඩෝවේ විදුළි බුබුළ යළි සවි කෙරුනද දවස් දෙක තුනකින් එය යළි අතුරුදහන් වේ. රාත්‍රියට රෝගින් බැලීමට යන අපිට චිරි චිරි හඞින් කක්කා පෑගේ. පාවහන් වලට පෑගුනු අසූචි ඉවත් කිරීමට අප රෝහලේ මැද මිදුලේ තිබෙන තණකොළ ගොල්ලට ගොස් තණකොළ වල පාවහන් අතුල්ලමු. 

වරක් එක් වෛද්‍යවරයෙක්  අසූචි පෑගී ලෙස්සා වැටුණි. කරුමයට මෙන් ඔහු වැටී තිබුනේ දියරමය කක්කා ගොඩක් උඩටය​. අසූචි නෑවී සිටි ඔහු වාට්ටුවට යාම පසෙක තබා ත්‍රී රෝද රථයකින් ගෙදර ගියේය​.  ත්‍රී රෝද රියැදුරා රථය පදවන ලද්දේ එක අතකින් හැඞ්ල් එකද අනෙක් අතින් නාස් කුහර වසාගෙන බව පසුව අපට ආරංචි විය​. 

ලංකාවේ රජයේ රෝහල් වල වැසිකිළි අපාය සිහි ගන්වයි. රාගම රෝහලේ නිර්වින්දනයට නියමිත රෝගීන් ශල්‍යකර්මයට පෙර හමුවී රෝග විස්තර ලබා ගන්නා ලෙස එකල මගේ බොසිය වූ නිර්වින්දන විශේෂඥ වෛද්‍ය ප්‍රියංගනී ආරියරත්න මැඩම් නීතියක් දමා තිබූ නිසා මම වාට්ටු වලට ගොස් රෝගීන් හමු වූයෙමි. වාට්ටු වල අවසාන ඇඳන් පේලියේ බොහෝ විට සිටින්නේ කන්ටැක්ස් නැති රෝගීන් ය​. (කන්ටැක්ස් ඇති රෝගීන් වාට්ටුවේ රෝගින් බලන මේසයට ලංව ඇති ඇඳන් වල සිටිති.ඔවුන් බොහෝ විට වෛද්‍යවරුන් ගේ හෙදියන් ගේ රෝහල් වල නිලධාරීන් ගේ ඥාතී හෝ දැන ඇඳුනුම්කම ඇති අය වෙති.  )

වාට්ටු වල අවසාන ඇඳන් පේලියේ   සිටින  කන්ටැක්ස් නැති රෝගීන් බොහෝ විට දුප්පත් ය​. එසේත් නැතහොත් ඇවිද ගැනීමට අපහසු ඇඳිවතේ මළ මුත්‍ර පහ කර ගන්නා රෝගීන් වෙති. ඔවුන් අසලට වෙද හෙද කාර්‍ය මණ්ඩලය යන්නේ බොහෝ විට වෝඩ් රවුන්ඩ්ස් වලදී පමණි.

වාට්ටු වල අවසාන ඇඳන් පේලිය වැසිකිලියට ආසන්න නිසා ඉතා හොඳින් මුත්‍රා අසූචී ගඳ දැනේ. එක් දිනක් හෙදියක් අවසාන ඇඳන් පේලියේ සිටි මහළු ලෙඩෙකුට බැන වැදුනාය​. ඒ පෙරදා රාතියේ ඔහු වැසිකිලියට නොගොස් ඇඳ උඩ සිට බිමට  මුත්‍රා කිරීම නිසාය​. ලංකාවේ රජයේ  වල මේ ආවේනික ගන්ධය ඇස් වසාගෙන මට දැන් වූවද මතකයට ගෙන ආ හැක​.  එය බෙහෙත් , කාර්බෝලික් , මුත්‍රා , අසූචි ගන්ධයන් ගේ සම්මිශ්‍රණයකි. 

කැනඩාවේ නෝත් යෝක් ජෙනරල් , සෙන්ට් මයික්,  සනි බෘක් , මවුන්ට් සයනයි යන රෝහල් වලට මා ගොස් තිබේ. එම රෝහල් වල වැසිකිලි ඉතා පිරිසිදුය​. නියමිත කාල සටහනක් අනුව ඒවා පිරිසිදු කෙරේ. වැසිකිලි පිරිසිදු කරන්නන්ද ඉතා පිරිසිදුය​. 

යම් දිනක ලංකාවේ රජයේ රෝහල් මේ මට්ටමට එනු ඇතැයි මා උදෙක් ම බලාපොරොත්තු වෙමි. මේ සඳහා හොඳ නායකත්වයක් සෞඛ්‍යය අංශ වලින් මෙන්ම රෝගීන් ගේ පාර්ශවයෙන් ද කැපවීමක් තිබිය යුතුය​. මෙය මුදල් හෝ සම්පත් පිළිබඳ ප්‍රශ්නයක් නොවේ. ආකල්ප පිළිබඳ ප්‍රශ්නයකි. 

මම එක් උදාහරණයක් පෙන්වා දෙමි. මම පුත්තලම් දිස්ත්‍රික් මානසික සෞඛ්‍ය සම්බන්ධීකරන නිලධාරී ලෙස සේවය කල කාලයේ නිතරම මාදම්පේ රෝහලට ගියෙමි. එවකට මාදම්පේ රෝහලේ ස්ථාන භාර වෛද්‍යවරයා වූයේ වෛද්‍ය ජයනාත් බුත්පිටිය මහතාය​. වෛද්‍ය ජයනාත් බුත්පිටිය එස් - 5 ක්‍රමය යොදාගෙන කුණු පිරී තිබූ මාදම්පේ රෝහල පිරිසිදු අලංකාර රෝහලක් බවට හැරවීය​. එම රෝහලේ කුණු තැනින් තැන දැමිය නොහැක​. වැසිකිළි පිරිසිදුය​. රෝහලට එන රෝගීන්ට රෝහල පිරිසිදුව තබා ගැනීමට නිබඳවම උපදෙස් දේ. මේ ක්‍රමය මගින් මාදම්පේ රෝහල ලංකාවේ රජයේ රෝහල් වල සාමාන්‍ය තත්වයෙන් මුදවාගෙන ලස්සන රෝහලක් කිරීමට වෛද්‍ය ජයනාත් බුත්පිටිය සමත් විය​. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Sunday, January 17, 2016

පෝලන්ත සවාරිය

  

බංග්ලාදේශ ජාතික සිසුවෙකු වූ නයීම් සහ මම පෝලන්තයේ වර්සෝ නගරයේ දුම්රිය ස්ටේ‍ෂමේ සිටියෙමු. මෙම දුම්රිය ස්ටේ‍ෂම කොලඹ කොටුව දුම්රිය ස්ටේ‍ෂම මෙන් පස් ගුණයක් පමණ විශාලය​. මුළු යුරෝපය කරා යන කෝච්චි බොහොමයක් වර්සෝ නගරයට ආ බැවින් වර්සෝ  දුම්රිය ස්ටේ‍ෂම  කාර්‍යබහුල ස්ථානයක් විය​. 

අප දෙදෙනා බෙල්ජියමට යාම සඳහා රැඳී සිටියෙමු. අපගේ දුම්රියට තවත් කාල වේලාව තිබෙන බැවින් අප බස් රථයක නැගී වර්සෝ නගරයේ ඒ මේ අත ගියෙමු. ග්‍රීෂ්ම සෘතුව නිසා මල් පිපී නගරය ප්‍රාණවත්ව තිබුනේය​. හිට්ලර් විසින් වර්සෝ නගරය සහමුලින්ම විනාශ කර දැමුවද යුද්දයෙන් පසු වර්සෝ නගරය ඒ තිබූ ආකාරයෙන්ම නිර්මාණය කිරීමට පෝලිෂ් ජාතිකයන් සමත් වූහ​. එම නිසා අප සැරිසැරුවේ මළවුන් ගෙන් නැගිටගත් නගරයකය​. 

වර්සෝ නගරයේ ගොඩනැගිලි උසින් යුක්තය​. පෝලන්ත ජාතිකයෝ රුසියන් ජාතිකයන්ට වඩා ලක්‍ෂණට ඇඳුම් පැළඳුම් කරති. මම පෝලන්තයේ නිශ්පාදිත ඩෙනිම කලිසමක් ද ඔර්ටම් කෝට් එකක් ද මිලට ගත්තෙමි. මේ ඔර්ටම් කෝට් එක ලස්සණ එකකි. එය මම මිලදී ගත්තේ බීබීසී නිශ්පදනයක් වන ඊක්වලයිසර් ටෙලි මාලාවේ එඩ්වර්ඩ් වුඩ්වර්ඩ් අඳින වර්ගයේ එකක් වූ නිසාය​. මම ඒ ඔර්ටම් කෝට් එක බොහෝ කාලයක් ඇන්ඳෙමි.

පෝලන්තයේ මුදල්  ඒකකය ස්ලෝතිය​. ඔවුන් සෝවියට් රූබලයට ප්‍රියක් නොදක්වති. භාන්ඩ මිලට ගත් හැක්කේ ස්ලෝති හෝ ඇමරිකන් ඩොලර් වලට පමණි. 

"නුඹලාට උදව් උපකාර කරන සෝවියට් දේශයේ රූබල් නොගන්නේ මන්ද ? කියා පෝලන්ත බසාරයේ මහළු වෙලෙන්දෙක් ගෙන් මම ඇසුවෙමි. 

"මොන උදව්ද ? සෝවියට්වරු අපේ එළවළු ටිකත් අරගෙන යනවා" මහල්ලා විරෝධ ප්‍රකාශය කලේය​. 

"එහෙම කියන්න එපා"  මම මහල්ලාට කරුණු දැක්වීමට ඉදිරිපත් වූයෙමි. "පෝලන්තයට ආරක්‍ෂාව දෙන්නේ සෝවියට් දේශය නොවේද ? මම සෝවියට් දේශයට පක්‍ෂව කතා කලෙමි. 

"මොන ආරක්‍ෂාවක් ද ? උන්ට ගහන මිසයිල් අපිටත් වදී. මීට වඩා හොඳයි අපි නේටෝ  පාර්ශවයට ගියා නම්"

"නේටෝ එක උඹලව ගන්න එකක් නැහැ "මම මහල්ලාට අභියෝගයක් එල්ල කලෙමි. 

"බලමුකො කවදා හරි පෝලන්තය නේටෝ එකට යයි. දෙවන ලෝක යුද්දය කාලෙත් අපි හිටියේ බටහිර එක්ක​" . 

මහල්ලා සත්‍ය ඉතිහාසයෙන් බිඳක් මා ඉදිරියේ තැබීය​. එහෙත් මම එම ඉතිහාසයෙන්ම කරුණු ගෙන මහල්ලා ඉදිරියේ තැබුවෙමි. 

ඒත් හිට්ලර් වර්සෝවට බෝම්බ දාන කොට එංගලන්තයත් ප්‍රන්සයත් අහක බලාගෙන හිටියානේද ? 

නුඹ මොන රටේද ඉන්දියාවේද මහල්ලා අතුරු ප්‍රශ්නයක් නැගීය​. 

නැහැ මම ශ්‍රී ලංකාවේ 

" ඕ බරන්ඞනායක ගේ රට  මහල්ලා සංවාදය හමාර කලේය 

" බලමුකො කවදා හරි පෝලන්තය නේටෝ එකට යයි " පෝල්න්ත මහල්ලාගේ වදන් මගේ සිතේ තිබුණි. දශක එක හමාරකට දෙකකට පසු පෝලන්තය නේටෝ සංවිධානයට ගියේය​. 

බසාරයක වෙලඳම් කරන මහළු වෙලෙන්දෙකුගේ දේශපාලන දුර දැක්ම දේශපාලන විද්‍යාවේ කෙල පැමිනියන් ගේ දේශපාලන අණාවැකි බොරු කළ අයුරු මම පසක් කලෙමි. 

අප පෝලන්තයට ගිය කාලයේ එහි ජනතා වීරයා වූයේ ලෙක් වැලේසාය​. ඔහු වැඩවර්ජන මාලවක් දියත් කොට තිබුණි.  නගරය නොසන්සුන් ය​. 

උණුසුම නිසා අප දෙදෙනා අයිස්ක්‍රීම් විකුණන කුඩා කියෝස්කයට ගොස් අයිස්ක්‍රීම් මිලදී ගත්තෙමු. ඒ සමගම අයිස්ක්‍රීම් මිලදී ගැනීමට පැමිණි පියකරු පෝලන්ත ජාතික තරුණියන් දෙදෙනකු අප සමග සංවාදයට එලැඹුනහ. ලෝකයේ ලස්සනම තරුණියන් සිටින්නේ පෝලන්තයේ බව මම සිතමි. එසේ කියන්නේ රටවල් ගනනාවක ඇවිද ලත් අත්දැකීම් මතය​. 

පෝලන්ත ජාතික තරුණියන් දෙදෙනා අර්ධ ඉංග්‍රීසියෙන් අප සමග දොඩමලු වූහ​. සංවාදය පහසු කරවනු වස් මම ඔවුන් සමග යූක්‍රයීන භාෂාවෙන් කතා කලෙමි. ඔවුන් දෙදෙනා පෝලන්ත භාෂාවෙන් මට පිළිතුරු දුන්හ​. යූක්‍රයීන සහ පෝලන්ත භාෂා මඳක් සමාන වෙති. එම නිසා අපට අදහස් හුවමාරු කර ගැනීමට අපහසු නොවූයේය​. 

අපගේ මිත්‍රශීලී සංවාදයට හදිසියේම පොලිස්කරුවන් දෙදෙනෙකු කඩා වැදුනහ​. ඔවුන් තරුණියන් ගේ හැඳුනුම්පත් ඉල්ලා සිටියහ​. මෙම ක්‍රියාව හුදු ඉරිසියාව මත පදනම්ව කල ක්‍රියාවක් බව අපට අවබෝධ විය​. පොලිස් කරුවන් දෙදෙනාගේ මේ ක්‍රියාවෙන් තරුණියන් දෙදෙනා බලවත් සේ අපහසුවට පත් වූහ​. 

"ඔබලා ගෙෂ්ටාපෝ පොලිස් කරුවන් දෙදෙනෙක් ද? යැයි මම උස් හඞින් ඇසුවෙමි. ඉන් අවමානයට පත් වූ පොලිස් කරුවන් දෙදෙනා යන්නට ගියහ​. එහෙත් පිළිකුල් සහගත පොලිස් කරුවන් දෙදෙනා අපගේ සතුටු සංවාදය වියලා දැමූ හෙයින් අප තරුණියන් ගෙන් සමු ගෙන දුම්රිය පළ වෙත ගියෙමු. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Saturday, January 16, 2016

සෝවියට් යුදෙව්වෝ


                                      


විනිට්සා වෛද්‍ය පීඨයේ සිසුවියක වන තත්‍යානා චායිකා රූමත් ය​. එහෙත් ඇයගේ කොණ්ඩයේ පැහැය කළුය​. හිස්ටොලොජි හෙවත් පටකවේදය දේශන වලදී ඇය මා අසලින්ම වාඩිවී සිටියාය​.  තත්‍යානා චායිකා  මා සමග සාමීචීයේ යෙදුනේ ඉංග්‍රීසි බසිනි. අනෙක් සෝවියට් සිසු සිසුවියන්ට සාපේක්‍ෂව ඇයගේ ඉංග්‍රීසි දැණුම ඉහලය​. ඉංග්‍රීසි දැණුම ලබා ගැනීම පිණිස තමා රාදියෝ සබෝදා ඉංග්‍රීසි සේවයට සවන් දෙන බව ඇය මට වරක් රහසින් කීවාය​. රාදියෝ සබෝදා ගුවන් විදුළි සේවයට සවන් දීම තහනම් ය​. එය ප්‍රචාරණය කරන්නේ බටහිර ලෝකයේ සිටය​. ඇය එවැනි රහසක් මට කීවේ මා කෙරෙහි ඇති විශ්වාසය නිසා බව මට සිතුණි. 

" මේ සෙනසුරාදා හොඳ ජීඩීආර් (නැගෙනහිර ජර්මානු) චිත්‍රපටයක් තියෙනවා බලන්න යමුද ? ඇය ඇසුවාය​. නැගෙනහිර ජර්මානු චිත්‍රපටය මට රුචි නැත​. එහෙත් ආරාධනාව එකවර ප්‍රතික්ශේප කිරීම සුදුසු නැති නිසා එදින මම ඔලෙග් ගේ නිවසට යන බව කීවෙමි. ඔලෙග් වෛද්‍ය පීඨයේ එක් දෙපාර්තමේන්තුවක සේවය කල තරුණයෙකි. ඔහු රොක් සංගීත ලෝලයෙකි. කැසට් ඉල්ලා ගැනීම පිණිස නිතරම මා හමු වීමට එයි. ඔලෙග් මගේ මිතුරෙකු බව ඇය දන්නීය​. 

විරාමයේදී අප දෙදෙනා කැන්ටිමට ගියෙමු. එතැන දිගු පෝලිමකි. කෙසේ හෝ මම තේ කෝප්ප දෙකක් සහ කුඩා ප්‍රමාණයේ පිත්සා දෙකක් මිලට ගත්තෙමි. අප දෙදෙනා කැන්ටිමේ වාඩිවී තේ බොමින් සිටින අයුරු ලූදා බලා සිටියාය​. 

දේශනයෙන් පසු තත්‍යානා තම මව හමු වීම පිණිස මයික්‍රෝ බයලොජි දෙපාර්තමෙන්තුවට ගියාය​. ඇයගේ මව එම දෙපාර්තමෙන්තුවේ කථිකාචාර්‍යවරියකි. මම නේවාසිකාගාරය බලා ගියෙමි. මා පසුපස ලූදා පැමිණියාය​.

" ඔයා දන්නවාද තාන්‍යා ශිද් කෙනෙක් කියලා? ඇය මගෙන් විමසුවාය​. ශිද් යනු යුදෙව් ජාතිකයන් හඳුන්වන අපහාසාත්මක වදනකි. එය සක්කිලියා යන අරුත ගෙන එයි. 

" මට එයාගේ ජාතිකත්වය අදාල නැහැ "මම රළු ලෙස පිළිතුරු දුන්නෙමි. 

" නැහැ මම කිව්වේ ඒක ඔයා දන්නේ නැත්නම් දැනගන්න කියලා " ලූදා පසුබසින ස්වරයකින් කීවාය​. 

යුදෙව්වනට සෝවියට් දේශයේ පවා වර්ගවාදීව සලකනු ලැබීම මා පුදුමයට පත් කලේය​. අපගේ මහාචාර්‍යවරු බොහොමයක් යුදෙව්වෝ වෙති. කායික රෝග මහාචාර්‍ය ශ්ක්ලෙයාර් නැගෙනහිර ලෝකයේ පමණක් නොව බටහිර ලෝකයේද පිළිගැනීමක් ඇති උගතෙකි. ඔහුගේ පියාද මහාචාර්‍ය කෙනෙකි. එසේම මහාචාර්‍ය මිකුනිස් , මහාචාර්‍ය සෙලීන්ස්කි යුදෙව් ජාතියට අයත් වන බව මා දැන සිටියෙමි. මොවුන් උගතුන් ගෙත් උගත්තුය​. 

මහාචාර්‍ය මිකුනිස් පසු කාලයක සෝවියට් දේශය හැර දමා ඊශ්‍රායෙලයට ගියාය​. ඒ වන විට ඇය ඇවිදීමට පවා නොහැකි මහළු වියේ වූවාය​. එහෙත් පොරොන්දුවූ දේශයට තම මරණයට පෙර යාම ඇයගේ අභිලාශය බව පලස්තීන ජාතික සිසුවෙකු වූරයීෆ් මට කීවේය​.

රයීෆ් යුදෙව්වන් පිළිකුල් කරති. "උන් ඔක්කොම යුදෙව්වෝ" ඔහු අපගේ යුදා ජාතික ආචාර්‍යවරුන් වෙත පොදුවේ වෙන් කරමින් පවසයි. රයීෆ් ගේ යුදෙව් විරෝධය මට තේරුම් ගත හැකිය​. පලස්තීන අනාතයෙකු ලෙසට ජෝර්ධානයේ ඊශ්‍රායෙල මිලිටරි බලය සියැසින් දකිමින්  කරදඞු උස් මහත් වූ ඔහුගේ යුදෙව් විරෝධය  ලේ මස් වලටම කා වැදී තිබේ. වරක් ඈතින් එන  මහාචාර්‍ය මිකුනිස්ට " ෂැලොම් ෂැලොම් " කියා ඔහු සමච්චලයට සමාචාර කලේය​. හොඳ වේලාවට මහාචාර්‍ය මිකුනිස්ට එය ඇසුනේ නැත​. 

මගේ කොන්ඩය කපන කරණවෑමී වෝවා යුදෙව්වෙකි. ඔහු මා හැඳින්වූයේ ශ්‍රී ලාංකික මස්සිනා කියාය​. 

" ශ්‍රී ලාංකික මස්සිනා උඹලගේ රටේ යුද හමුදාවක් ඉන්නවද ? ඔහු අසයි. මම හිස් සලමි. 

උඹලගේ රටේ  හමුදාවෙ රොකට් අවි , සබ්මැරීන් , පරමාණු බෝම්බ තියනවද ? ඔහු මගේ හිසකෙස් කපමින් අසයි. 

මගේ ප්‍රතිචාරය අසන ඔහු මෙසේ කියයි. 

අපොයි සබ්මැරීන් එකක්වත් නැති හමුදාව , ඒක හමුදාවක් ද පාණ්ඩුවක්ද ? වෝවා මිත්‍රශීලී ලෙස මට සමච්චල් කරයි. 

හිසකෙස් කැපීමෙන් පසු   මගේ හිසේ ඕඩිකොලොන් ගල්වන ඔහු එය පැරීසියේ නිශ්පාදනයක් කියයි. එහෙත් එය සෝවියට් දේශයේ නිෂ්පාදිත බාල වර්ගයේ  එකකි. එසේම මිලෙන් ද අඩුය​.
" මගේ අදහස කවදා හරි ඊශ්‍රායලයට යන එක වෝවා කියයි. මුන් ( සෝවියට් බලධාරීන්) මාව මෙහෙන් යවන එකක් නැහැ. 

ඒ කාලයේ සෝවියට් යුදෙව්වන්ට ඊශ්‍රායලයට යාම අපහසු විය​. එය ඉතා දීර්ගකාලීන වෙහෙසකර ක්‍රියාවක් විය​. නිලධාරිවාදය විසින් එය තව තවත් දුෂ්කර කොට තිබුණි. ඊශ්‍රායලයට ගිය සෝවියට් යුදෙව්වන් බොහෝ දෙනෙකු එතැනින් ඇමරිකාවට හෝ කැනඩාවට ගියහ​.  නීති රීති ලිහිල් වීමෙන් පසු රුසියන් ජාතිකයන් සමහරක් ද බොරුවට යුදෙව් සම්භවයන් පෙන්වා ඊශ්‍රායලයට ගියෝය​. 


යුදෙව් ජාතික ෂාම්‍ රායි ඔවුන් ගේ යුදෙව් සම්භවය ගැන උදන් අනයි. " නුඹ දන්නවාද සයිමන් සහ ගාෆන්කල් එමෙන්ම බොබ් ඩිලන් යුදෙව්වන් කියා ?  ඔහු මගෙන් අසයි. 

" මම දන්නා පරිදි බාබරා ස්ට් රයිසෑන්ඩ් , බිලී ජොඑල් , ජීන් සිමොන්ස් පවා යුදෙව් " මම ඔහුට පවසමි .

ෂාම්‍ රායි ආඩම්බරයෙන් හිස වනයි. " ඔව් අපේ මිනිස්සු තමයි සෝවියට් දේශයේ න්‍යෂ්ටික බෝම්බ පවා තැනුවේ. සෝවියට් දේශය ආරක්‍ෂා කලේ අපි ඒත් රුසියන්වරු  අපි කොහේ ගියත් අපිව​ කොන් කරනවා. 

ෂාම්‍ රායි තරුණ වෛද්‍යවරයෙකි. ඔහු සෝවියට් ක්‍රමයට අකමැතිය​. ඔහුගේ අභිලාශය කවදා හෝ ඇමරිකාවට යාමටය​. ලීවයිස් ඩෙනිම් ජීන්ස් අඳින මල්බරෝ සිගරට් පානය කරන ෂාම්‍ රායි සිතෙන් බටහිරයෙකි. ඔහු සෝවියට් කොමියුනිස්ට් පක්‍ෂයට සිනාසේ. 

"ඒකේ ඉන්නේ හොරු රංචුවක් . උන් අපිට කවදාවත් ඊශ්‍රායලයට යන්න දෙන එකක් නැහැ. අපි ගියොත් සෝවියට් ක්‍රමය කඩා වැටෙනවා" 

මට  න්‍යෂ්ටික විද්‍යාඥ අන්ද්‍රේ සහාරොෆ් සිහිපත් වේ. ඔහුට සෝවියට් දේශයෙන් පිට යාමට බලධාරීන් ඉඩ නොදෙති. එසේම සෝවියට් දේශය ආරම්භක ලෙනින් සමග උරෙන් උර වැඩ කල ලියොන් ටේ‍රොස්කිද යුදෙව්වෙකි. අවසානයේදී ස්ටාලින් ගේ නියෝග මත මෙක්සිකෝවේදී  ඔහුගේ හිසට පොරෝ පහරක් දෙනු ලැබීය​. 

අපෙගේ නේවාසිකාගාරයේ වක්තියෝර්කා හෙවත් මුරකාරිය - සීදරොව්නා නූගත් ගැමි අර්ධ රුසියානු , යූක්‍ර්‍රයීන කාන්තාවකි. ඇය ප්‍රසිද්ධියේම යුදෙව්ව්න්ට පරිභව කරන්නීය​. 

"අපොව් යුදෙව්වෝ ශිද් පහාරයෝ උන්ට අපේ පලාතේ කියන්නේ මලාන්සි කියලා. (මලාන්සි යනු යුදෙව් ජාතිකයන්ට කියන අපහාසාත්මක වදනකි) උන් හරිම අපිරිසිදුයි. එක සැරයක් යුදෙව් ගෙදෙරකින් සුප් බීලා මට තුන් සැරයක් වමනේ ගියා" 

එහෙත් මම දන්නා තත්‍යානා චායිකා ඇතුළු අනෙකුත් යුදෙව්වන් පිරිසිදුය​. උගත් ය. ප්‍රිය මනාප හැසිරීමෙන් යුක්තය​. 

 " මම ලබන වාරයෙන් පසු නැවත වෛද්‍ය පීඨයට එන්නේ නැහැ " දෙවන වසර අවසානයේදී තත්‍යානා චායිකා මට කීවාය​. " මමයි අම්මයි ඊශ්‍රායලයට යනවා" 

" එතකොට ඔයාගේ වෛද්‍ය අධ්‍යාපනය? මම ඇසුවෙමි.

"මම ටෙල් අවිව් වල වෛද්‍ය පීඨයකට යන්න අදහස් කරනවා " ඇය සංවාදය නිම කළාය​. මම ඇයට සුභ පැතුවෙමි. 

තෙවන වසර අරඹන විට තත්‍යානා චායිකා අප අතර නොවූවාය. සෝවියට් දේශයෙන් ගිය පසු ඇයගෙන් කිසිම ලිපියක් මට ලැබුනේ නැත​. එහෙත් මේ කළු කෙස් සහිත යුදෙව් කෙල්ල මට අමතක නොවේ. මේ වන විට ඇය වෛද්‍යවරියකව ඊශ්‍රායලයේ රෝහලක සේවය කරනවා නිසැකය.  


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Find Us On Facebook