Thursday, June 14, 2018

ඥාණසාර නම් ප්‍රපංචය තේරුම් ගැනීම

ඥාණසාර යනු පුවත් මවන සමාජ රීති නොතකන භික්‍ෂුවක් යැයි කියා ගන්නා පුද්ගලයෙකි. ඥාණසාර වාහන බලපත්‍රයක් නොමැතිව බීමත්ව වාහනයක් පදවා ශ්‍රී ලංකා අධිකරණය ඉදිරියේ වරදකරුවෙකු වූ අයෙකි. එම නිසා ඔහුගේ භික්‍ෂූත්වය ගැන කතා කිරීම අවශ්‍ය නොවේ. අවශ්‍ය වන්නේ ඥාණසාර  නම් ප්‍රපංචය තේරුම් ගැනීමය​. 

සමාජ ආර්ථික සහ සංස්කෘතිමය වශයෙන් ප්‍රගාමි සමාජයක ඥාණසාර වැනි පුද්ගලයෝ සිටින්නේ සිර ගෙදරක හෝ මානසික පුනරුත්ථාපන ආයතනයකය​. එහෙත් ජාති ආගම් වශයෙන් කුලල් කා ගන්නා ගෝත්‍රවාදී   මානසිකත්වයකින් යුක්තව ශක්තිමත්  සිවිල් නීති  පද්ධතියක් නොමැති පසුගාමී සමාජයක ඥාණසාර යනු ජාතික වීරයෙකි.  

ඥාණසාර  ප්‍රපංචය තේරුම් ගැනීමේදී  A First-Rate Madness නම් ග්‍රන්ථය ලියූ සුප්‍රක​ට මනෝ වෛද්‍යවරයෙකු වන Dr. Nassir Ghaemi විසින් කියන ලද ප්‍රකාශයක් සඳහන් කරනු  ව​ටී.  රාජයක් අසාර්ථක වන විට , මහජන සාමය කඩවී යන යුගයක මානසික අක්‍රමතාවන් ඇති පුද්ගලයෝ අපව පාලනය කරන බව Nassir Ghaemi  කියයි. එසේම සාමය සහිත සමෘධිමත් කාල වල ඔවුන් අපගේ රෝගීහු වන බව වෛද්‍ය Nassir Ghaemi වැඩි දුරටත් සඳහන් කරයි.  

ඥාණසාර ගේ අතීත හැසිරීම් සලකා බලන විට ඔහු සමාජ විරෝධී පෞරුෂ අක්‍රමතාවයේ (Antisocial personality disorder)  ලක්‍ෂණ   පෙන්වන බවට උපකල්පනය කිරීමේ සාධක තිබේ.  DSM හෙවත්  Diagnostic and Statistical Manual of Mental Disorders   සංග්‍රහය පෙන්වා දෙන අන්දමට සමාජ විරෝධී පෞරුෂ අක්‍රමතායෙන් පෙලෙන්නා  ඔවුන් හීනවූ සහකම්පනීය අවබෝධයකින් යුක්තය​. අන්‍යන් ගේ අයිතිවාසිකම් ගැන තැකීමක් නොකරති. නිරන්තරයෙන්ම සමාජ නීති රීතීන් උල්ලංඝනය කරති. ඔවුන් අතිශයින්ම මෑන්වීම් (manipulative ) සහිතය​. වගකීම් විරහිත හැසිරීම් රටාවන් පෙන්වති. දැඩි ආවේගීලී බවක් පෙන්වති. බොහෝ විට ප්‍රචණ්ඩ හැසිරීම් රටා වලින් යුක්තය​. 

ඥාණසාර පහල වන්නේ ඔපපාතිකව නොවේ. ඥාණසාරද මෙම සමාජ ක්‍රමයේ නිර්මාණයකි. ඥාණසාර යනු ළමා අපයෝජනයක වින්දිතයෙක්ද ? ඥාණසාර මහණ වන්නේ ළමා වියේදීය.  ළමයින් ලෙස මහණ කෙරෙන දරුවන්  බහුතරය එන්නේ ඉතා දැඩි සමාජ ආර්ථික ගැටළු වලට ලක්වූ පවුල් වලිනි. සමහරක් විට පියාගේ බීමත්කම , මව විදේශ ගත වීම වැනි කරුණු නිසා පිළිසරණක් නොමැති දරුවන් ද බොහෝ විට නවතින්නේ ළමා මහණුන් බවට පත් වීමෙනි. කුඩා කාලයේදීම මාතෘ දුරස්ථකරණය​ (maternal deprivation)  පීතෘ දුරස්ථකරණය මෙන්ම  විවිධ කාංසාමය තත්වයන්ට පත්වූ එම දරුවන් ළමා මහණුන් බවට පත්වී තව තව දුරටත් පන්සල් තුලදීද කායික මානසික සහ ලිංගික අපයෝජනයන් වලට මුහුණ දෙති. අවසානයේදී සමාජයට මුදා හැරන්නේ අසමබර චිතාවේග වලින් සහ පෞරුෂ අක්‍රමතාවයන් ගෙන් පෙලෙන පුද්ගලයෝ වෙති. හුදු ආවේගශීලීභාවය , වගකීම් විරහිත චර්‍යාව , එලැඹෙන ප්‍රතිවිපාක ගැන අවබෝධ රහිත වීම වැනි කරුණු නිසා මෙවැනි පුද්ගලයෝ විවිධ දේශපාලන පක්‍ෂ විසින් ඉත්තන් ලෙස භාවිතා කරති.  ඔවුන් මෙකී දේශපාලන පක්‍ෂ සඳහා සම්පත් වෙති. එහෙත් අවසානයේදී දැහටි කූරු මෙන් අවශ්‍ය වැඩ කරගත් පසු මොවුන්ව ඉවත දමති.  ​

ඥාණසාර යනු මුස්ලිම් අන්තවාදයට එරෙහිව සටන් කරන්නෙකු බවට සමාජයේ ජනප්‍රිය මතයක් තිබේ. ශ්‍රී ලංකාවේ මුස්ලිම් අන්තවාද හිස ඔසවන බව නොරහසකි. එය බහුතරය සාමයට ලැදි සාමකාමී මුස්ලිම් ජනතාවට මෙන්ම අනෙක් ජන කොටස් වලටද තර්ජනයකි. එහෙත් ඥාණසාර යනු මුස්ලිම් අන්තවාදයට එරෙහිව පිලිතුරක් නොවේ. ඥාණසාරලා නිසා මුස්ලිම් අන්තවාද පැතිරීම මෙන්ම මුස්ලිම් අන්තවාද සාධාරණීකරනය වීම මෙන්ම අන්තර්ජාතිකව මෙම ප්‍රශ්නය උඩු දිවීමටද හේතු කාරක වෙයි. මේ නිසා අවසන් විග්‍රහයේදී ඥාණසාරලා සේවය කරන්නේ ඔවුන් ගේම ප්‍රති පාර්ශවය වන මුස්ලිම් අන්තවාදයටය​. 

 ඥාණසාර  ප්‍රපංචය යනු පහසුවෙන් අවලංගු කර දැමිය හැකි සාධයක්ද නොවේ. ශ්‍රී ලංකාව වැනි ප්‍රාක්තම සමාජ වලට ඥාණසාරලා අවශ්‍ය වෙති. සෑම අවස්ථාවකදීම ඥාණසාරලා සේවය කරන්නේ බලය තිබෙන පක්‍ෂයට හෝ පුද්ගලයාටය​. සමාජයේ පවත්නා තත්‍ය සමාජ ආර්ථික ගැටළු විසඳීම සඳහා ක්‍රමවේදයක් හෝ උපාය මාර්ගයක් නොමැති දේශපාලකයන්ට සමාජයේ පවතින් සැබෑ ගැටළු වලින් ජනතාවගේ අවධානය ඉවත් කර ගැන්වීම සඳහා  ඥාණසාරලා අවශ්‍ය වෙති. එසේම සමාජයක් බෙදා වෙන් කොට පාලනය කිරීම සඳහා  ඥාණසාරලා මෙන්ම ඔවුන් ගේ ප්‍රති පාර්ශවයන් දේශපාලකයන්ට අවශ්‍ය කෙරේ. ඥාණසාරට පසුගිය රජයෙන් ඩිෆෙන්ඩර් ලැබෙන්නේද වර්තමාන රජයෙන් ජාපාන චාරිකා ලැබෙන්නේ මේ සමීකරණයට අනුවය​. මේ හේතුවෙන් හිරේ විලංගුවේ දමා ඥාණසාර  ප්‍රපංචය යටපත් කල නොහැක​. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Wednesday, June 13, 2018

මාගේ පාසල් මිත්‍ර මනෝජ් නීලාංග



මනෝජ් නීලාංග මා සමග 1974 අබේකෝන් ටීචගේ 2 වසරේ පන්තියේ සිටියේය. වරක් ඔහු අබේකෝන් ටීචගේ ඉල්ලීම පිට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ  සේවය කල තම පියාට කියා යකඩ මාංචු යුවලක් පන්තියට ගෙනාවේ ළමුන්ට පෙන්වීම සඳහාය​. ළමුන් මෙය නැරඹීමෙන් පසුව එය අබේකෝන් මහත්මියගේ මේසය මත තිබුණි.  අමුතුම කුතුහලයක් තිබූ සනත් තිසේරා මේ මාංචු කුට්ටම පිරික්සන්නට විය​. විවෘතව තිබූ මෙම මාංචු වලට තම දකුණු අත දැමූ සනත් තිසේරා මාංචුව තද කලේය​. ඉන් පසු ඔහුට මාංචුව ඇර ගැනීමට නොහැකි විය​. අබේකෝන් ටීචද තිසේරාට බණිමින් මාංචුව ඇරීමට තැත් කලාය​. මාංචුව ඇරීම සඳහා යතුර ගැනීමට මහර බන් ධනාගාරයට යා යුතු බව නීලාංග කීවේය​. තැති ගත් සනත් තිසේරා අඞන්නට විය​. පසුව අබේකෝන් ටීච සනත් තිසේරාගේ අතට සබන් ගා  මාංචුව පැන්නුවාය​. ඉන් පසු සෝබිත වීරසේකර නීලාංග අමතා නීලාංග විනිශ්චයකාරතුමා සනත් තිසේරාව අත් අඩංගුවට ගෙන මාංචු දැමූ බව කීවෙන්  නීලාංග උරණ විය​. 

තුන වසරේදී ද (1975 ) මනෝජ් නීලාංග සිටියේ මගේ පන්තියේය​. ඒ කාලයේ මම කිසිදු කොල්ලෙකුට බය නොවූ අතර මනෝජ් නීලාංගට සහ  සීවලී පෙරේරාට පමණක් බයින් සිටියෙමි. එහෙත් වරක් මනෝජ් නීලාංග සමග ගැටුමකට ගොස් ඔහු මට පහර දුන් හෙයින් මම අබේකෝන් ටීචට පැමිණිල්ලක් ඉදිරිපත් කලෙමි. අබේකෝන් ටීච මනෝජ් නීලාංගගේ අත්ලට අඩි රූලෙන් පහරවල් දෙකක් දුන්නාය​. පසුව මට තේරුම් ගියේ මනෝජ් නීලාංගව මිත්‍ර කර ගැනීමෙන් මගේ ආරක්‍ෂාව වඩාත් ශක්තිමත් වන බවයි. මේ නිසා මම ඔහු සමග මිත්‍ර වූයෙමි. 1974 -තුන වසරේ සිටියදී මම මඩොල් දූව පොත පන්තියට ගෙනාවෙමි. එම පොත මමත් නීලාංගත් කියවූ බව මතකය​. 

1978 හය වසරේදීද මනෝජ් නීලාංග මා සමග හිල්ඩා ගුණවර්ධන මියගේ පන්තියේ සිටි අතර අප මිතුරන් වූයෙමු. වරක් අපට ගණිතය ඉගැන්වූ පොඩි විතාණ මහතා මෝටර් සයිකල් අණතුරකට ලක්ව අත වෙලාගෙන පන්තියට ආවේය​. ඇවිත් ඔහු බේස්ලයින් මාවතේ තමන් මුහුණ දුන් මෝටර් සයිකල් අණතුර ගැන විස්තර කරන විට මනෝජ් නීලාංග " ඔය බොරු ඔය ගෑණුංගෙන් ගුටි කාලා " කියා කීවේය​. එයින් මුළු පන්තියම සිනාසුනු අතර පොඩි විතාණ මහතාටද සිනා පහල විය​. 

හයේ පන්තියේදී චිත්‍ර ගුරුවරිය අපට මුහුදු වෙරළක් අඳින්නට කීවාය​. මගේ චෝක් පෙට්ටියේ නිල් පාට නොතිබූ නිසා මම මුහුද රතු පැහැයෙන් ද පොල් ගස් කොල පැහැයෙන් ද ඇන්දෙමි. මගේ චිත්‍රය දුටු නීලාංග මෙන්න රුවන් රතු මුහුදේ කෙහෙල් ගස් ඇඳලා කියා කීවේය​. ඉන් පසු වසර බොහෝ ගනනක් යන තුරු නීලාංග මාව දකින විට රතු මුහුදේ කෙහෙල් ගස් කතාව කියන්නට විය​. 

හය වසරේදී  අපට සිංහල ඉගැන්වූයේ සිරිවර්ධන ටීචය ඇය වර්තමානයේ  කෝපි කඩේ  ටෙලි නාට්‍ය කරන චන්දික විජේසේන ගේ මවය. වරක් සිරිවර්ධන ටීච ලෝකය වතුරෙන් විනාශ වන බව  සහ අවසානයේදී දෙදෙනෙකු පමණක් ඉතිරි වන බවත් කීවාය​. එවිට ලාල් රූපතුංග සෙමින් කොඳුරමින් ලෝක අවසානයේදී ඉතිරි වන්නේ නීලාංගත් රුෂාන්තගේ අක්කා බවත් කීවේය​. මෙය ඇසූ රුෂාන්ත ගේ මුහුණ කෝපයෙන් රතුවී ගිය අතර මට නිම් හිම් නොමැති සිනාවක් පහළ විය. මේ හේතුවෙන් රුෂාන්ත මදෙස බලා " උඹට දෙන්නං" කියා තර්ජනයක් කලේය​. එහෙත් රුෂාන්තගේ තර්ජනයටවත් මගේ සිනහව නැවැත්වීමට නොහැකි විය​. 

1980 වසරේ අප සිටියේ අටේ පන්තියේය​. වරක් නීලාංග , රුෂාන්ත , ලාල් රූපතුංග යනාදීන් එක්වී වැටීම නිසා අත ඉදිමී තිබූ සිසුවෙකු රෝහල වෙත අරගෙන යමින් සිටියහ​. එය දුටු මා නීලාංග අමතා "  ළමා රෝහලටද යන්නේ ? කියා ඇසුවෙමි. ගත් කටටම නීලාංග මට කීවේ " නෑ අපි යන්නේ සත්ව රෝහලට"  කියාය​. 

නීලාංග පාසලට ආවේ පුංචි බොරැල්ලේ සිටය​. සමහරක් දින වල මවුන්ට් මේරි වලින් බැස පාසලට ඇවිද ගෙන එන මට නීලාංගව හමු වෙයි. අප දෙදෙනා එකට කතා කරමින් පාසල් ආවෙමු. මේ කාලයේදී ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ  නිලධාරීන් මසකට වරක් නාලන්දාවට විත් සීසන් ටිකට් හෙවත් මාසික වාර ප්‍රවේශ පත්‍ර නිකුත් කළහ​. මේ නිසා බස් රථ වලින් ගමන් ගන්නා සිසුන් පෝලිම් ගැසී  සීසන් ටිකට් මිලදී ගත්හ. එක් අවස්ථාවකදී මම මාසික වාර ප්‍රවේශ පත්‍රය ගන්නා විටකදී ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ  නිලධාරියෙක් මගෙන් මාරු වන ස්ථාන මොනවාද කියා ඇසුවේය​. ගත් කටටම මම " ගෝරි වලදි" කියා කීවෙමි. මෙය ඇසූ පෝලිමේ සිටි සිසුන් සිනාසුනෝය​. ඒ නිසා නොරිස්සුම් බවක් පෙන්වූ එම නිලධාරියා මාව ධර්මසේන සර්ට පෙන්වා " මේ ළමයා ඕනෑ නැති කතා කියනවා " කියා කීවේය​. ධර්මසේන සර් අපට මුල් කාලයේ කෘෂිකර්මයද ඉගැන්වීය​. අප ධර්මසේන සර්ව ගිරා හොටා කියා හැඳින්වූයේ ඔහුගේ නාසයේ අග වක්ව තිබීම නිසාය​. ධර්මසේන සර් මා වෙත පැමිණ " තමුසේ සීසන් එක අරගෙන  පන්තියට එනවා " කියා කීවේය​. ධර්මසේන සර් මඟ හැරීම අනිවාර්‍ය වූ නිසා මම හිමීට ගොස් නීලාංග සිටි පන්තියේ ඔහු අසලින් වාඩිවී පීරියඩ් එක නිම වන තෙක් සිටියෙමි.  

මනෝජ් නීලාංග බොක්සිං ක්‍රීඩාව කලේය​. ඔහුට අනෙක් සිසුන්ට වඩා උස මහත ශක්තිමත් පෙනුමක් තිබුනේය​. එම නිසා අපගේ කලාපයේ ගහ ගැනීමට හැකි අපරාජිත පුද්ගලයා වූයේ මනෝජ් නීලාංගයි. එහෙත් ඔහු සාමකාමී වීනෝදකාමී සිසුවෙකු මිස බුලි කෙනෙකු නොවූයේය​. 

අප නවය වසරේ (1981) සිටියදී  බූඩි කීර්තිසේන මාරිස්ටෙලා විද්‍යාලයේ සිට නාලන්දාවට ආවේය​. බූඩි කීර්තිසේන නීලාංගටත් වඩා උස මහත සිසුවෙකි. මේ නිසා නීලාංගත් බූඩි කීර්තිසේනත් ගහ ගත්තොත් දිනන්නේ කවරෙකුද කියා අප එකිනෙකාගෙන් විමසුවෙමු. අප තදින් අපේක්‍ෂා කෙරුවද මනෝජ් නීලාංගත් බූඩි කීර්තිසේනත් අතර ද්වන්ධ සටනක් ඇති නොවීය​. බූඩි කීර්තිසේන සමග ගහ ගැනීමට නොහැකි වුවද වරක් මම බටර් ගෑ පාන් පෙත්තක් බූඩි කීර්තිසේනගේ මුහුනේ අතුල්ලා ඔහුව ප්‍රකෝප කොට පැන දිව්වෙමි. බූඩි කීර්තිසේන මේස පෙරලාගෙන මට පහර දීමට ආ නමුත් මම ඔහුගෙන් ගැලවී පන්තියෙන් ඉවතට දිව යද්දී අපට බුද්ධාගම ඉගැන්වූ කොක්මාදූවේ ගුණසිරි හිමියන් පන්තියට වැඩම කලෙන් මම ශාන්ත දාන්ත ලෙස මගේ මේසය වෙත ගියෙමි.

මනෝජ් නීලාංග ශිෂ්‍ය නායකයෙකුද විය​. උසස් පෙළ අවදියේදී ඔහු රඟපෑ නාලන්දා උදාව නාට්‍යය මට දැනුදු මතකය​. ඔහු එම නාට්‍යයේ අමතක නොවන රඟපෑමක් කලේය​. පාසලෙන් අස් වීමෙන් පසු ඔහු නීති වෘත්තිය හැදෑරුවේය​. එසේම දේශපාලනයටද අවතීර්ණ විය​. එහෙත් නීලාංගලා වැනි සත්‍යවාදී මිනිසුන් ලංකාවේ මජර දේශපාලනයට නොගැලපීම නිසා කෙටි කාලයකට පසු ඔහු ඉන් ඉවත් විය​. 

වර්තමානයේ මා මිත්‍ර මනෝජ් නීලාංග ජීවත් වන්නේ ඕස්ට්‍රේලියාවේය​. මට ඔහුව අවසන් වරට හමු වූයේ 2002 වසරේ මාගේ අධ්‍යාපන ප්‍රතිකාර නම් පොත දොරට වැඩි දිනයේදීය​. ඔහුව බොහෝ කාලයකින් හමුවී නොමැති වූවද ඔහු පිලිබඳ  පාසල් කාලයේ කලයේ මතකය තවමත් නැවුම් ය​. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Monday, June 11, 2018

මේ සියවසේ දේශීයව සහ අන්තර්ජාතිකව අති ප්‍රබල බලපෑමක් කල ශ්‍රී ලාංකිකයා කවුද ?


මේ සියවසේ දේශීයව සහ අන්තර්ජාතිකව අති ප්‍රබල බලපෑමක් කල  ශ්‍රී ලාංකිකයා කවුද ? මගේ අදහස නම් වේලුපිල්ලේ ප්‍රභාකරන් ය​. මා ප්‍රභාකරන් ව නම් කරන හේතුව මෙයයි.  මීට වසර කීපයකට පෙර මම කුබෙක් ප්‍රාන්තයේ ඉතා කුඩා ගම්මානයක තිබූ දර්ශනීය පල්ලියකට ගියෙමි. එම පල්ලියේ බිත්තියක අකරාදි පිලිවෙලට ලෝකයේ සෑම රටකම භාෂාවෙන් ආවේ මරියා යන නාමය ලියා තිබුනේය​.  මම ලංකාවේ නම ඉදිරියෙන් බැළුවෙමි. ආවේ මරියා යන නාමය ලියා තිබුනේ ද්‍රවිඩ බසිනි. 

තවත් වරක් ඔන්ටේ‍රියෝවේ කෙස්වික් ප්‍රදේශයේ කුඩා රෝහලකට ගියෙමි. එහි රෝගීන් සඳහා උපදෙස් පත්‍රිකාවේ ඉංග්‍ර්‍රිසි , ප්‍රංශ , රුසියන් , හීබෘ , ස්පාඤ්ඤ යන භාෂා වලින් මෙන්ම දෙමළ බසින් ද උපදෙස් තිබුනේය​. 

1988 වැනි අතීත කාලයක මම බටහිර ජර්මනියේ කෝලෝන් නගරයට කිලෝ මීටර් සිය ගනනක් ඈතින් තිබූ කුඩා ග්‍රාමීය දුම්රිය ස්ථානයක බංකුවක වාඩිවී සිටි සාරියකින් හිස ආවරණය කරගත් ශ්‍රී ලාංකික ද්‍රවිඩ කාන්තාවක් දුටුවෙමි.  ඇය එම ස්ථානයට පැමිණියේ කෙසේද ? මම මගෙන් ඇසුවෙමි. 

ප්‍රභාකරන් ශ්‍රී ලංකා ආණ්ඩුවට එරෙහිව තිස් වසරක යුද්දයක නියැලුනේය​. ශ්‍රී ලාංකික සමාජයේ හැරවුම් ලක්‍ෂය වූයේ ඩී. එස් සේනානායකවත් , එස් ඩබ් ආර් ඩී බණ්ඩාරනායකවත් , ජේ ආර් ජයවර්ධනවත් රෝහණ විජේවීරවත් නොවේ. වේලුපිල්ලේ ප්‍රභාකරන් ය​. දේශීය සමාජය උඩු යටිකුරු කලාට අමතරව ඔහු ගෝලීයවද සමාජ සංස්කෘතීන් වෙනස් කලේය​. උතුරු ඇමරිකාව​, යුරෝපය , ඕස්ට්‍රේලියාව මෙන්ම දකුණු අප්‍රිකාවද කේන්ද්‍ර කොට ගෙන ද්‍රවිඩ ඩයස්පෝරාවක් සෑදීමට මුල් ගල තැබුවේය​. ශ්‍රී ලාංකික ද්‍රවිඩයන් ලෝක ගෝලයේ බොහෝ ස්ථාන වලට යෑමට ප්‍රභාකරන් ගේ ක්‍රියාදාමයන් හේතු කාරක විය​. අද දිනයේ ශ්‍රී ලාංකික ද්‍රවිඩයන් බටහිර ලෝකයේ දේශපාලනයට ප්‍රාදේශීය වශයෙන් මෙන්ම මධ්‍යම වශයෙන් ද බලපෑම් ඇති කරති. 

උතුරු ඇමරිකාවේ , යුරෝපයේ සහ ඕස්ට්‍රේලියාවේ සරසවි වල ශ්‍රී ලාංකික ද්‍රවිඩයන් ගේ දෙවන තෙවන පරම්පරාව උගතුන් ලෙස හිස ඔසවති. තමන් ගේ පියවරුන් සීයලා  කම්කරු රැකියා  කල නමුදු ඔවුන් දැන්  තම අනන්‍යතාවයන් ස්ථාපිත කර ගනිමින් සිටිති. යෝක් විශ්ව විද්‍යාලයේදී මට හමුවූ බ්‍රිම්ලි ශ්‍රී ලාංකික ද්‍රවිඩ තරුණියකි. ඇය තම ආචාර්‍ය උපාධිය නිම කරමින් සිටින්නීය​. ඇයගේ දෙමාපියන් 1983 මහෝඝය නිසා ලංකාව අත හැර කැනඩාවට ආ දේශපාලන අනාතයන් වෙති. 

එක් දහස් නවසිය හැත්තෑ ගනන් වල මුල් භාගයේ මළකඩ කෑ රිවෝල්වරයක් අතැතිව පාසල් අධ්‍යාපනය දහය වසරට තෙක් ඉගෙන ගත් වෙල්වැටිතුරෙයි ප්‍රදේශයේ   වේලුපිල්ලේ ප්‍රභාකරන් නම්  කරයර් තරුණයෙකු  කුඩා ගින්නක් ගැසුවේය​. එම ගින්න අති විශාල ලෙස ලංකාව පුරා පමණක් නොව ලෝකය පුරා පැතිර යයි කියා ඔහුද සිතුවේ නැත​. පසුකාලීනව  ඔහුද එම ගින්නට අසුවී  මිය ගියේය​. එහෙත් ගෝලීය වශයෙන් ප්‍රභාකරන් විසින් ඇති කරන ලද බලපෑම තව වසර සිය ගනනක් පුරා පවතිනු ඇත. එය කටුක සත්‍යකි. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 


Sunday, June 10, 2018

ඥාණසාරට ඥාණසාර හමුවීම


වරක් ඥාණසාර සෙන් ගුරුවරයෙකු වෙත ගියේය 
ඥාණසාර රියැදුරු අසුනෙන් බැස එන අයුරු 
සෙන් ගුරුවරයා බලාගෙන සිටියේය 
ඔබ තමන්ට පහනක් විය යුතුයි 
සෙන් ගුරුතුමා ඥාණසාරට  කීවේය 
මම පහනක් නොව විලක්කුවක් බව 
ඥාණසාර සෙන් ගුරුවරයාට කීවේය 
කිසිවක් නොදෙඩූ සෙන් ගුරුවරයා 
ඥාණසාර වෙනුවෙන් තේ පිලියෙල කලේය
ඥාණසාර ඉදිරිපිට තැබූ බඳුන පිරෙන තෙක් 
තේ වත් කළ සෙන් ගුරුවරයා බඳුන පිරුණු පසුවද 
නොනවත්වාම දිගටම ඊට තේ වත් කළේය 
මෙය තවදුරටත් බලා ඉවසාගත නොහී  ඥාණසාර
තමන් තේ වැනි බීම නොබොන බව කීවේය​
ඔබ නැවතිය යුතුයි කියා සෙන් ගුරුවරයා කීවේය 
ඇප පිට නිසා තමා නොනවතින බව ඥාණසාර කීවේය​
ඔබගේ හිස ජාතිවාදයෙන් වර්ගවාදයෙන් පිරී තිබේ
සෙන් ගුරුවරයා ඥාණසාරට කීවේය 
මම ලංකාවේ මුස්ලිම් අන්තවාදයට එරෙහිව 
සටන් කරන්නෙක් බව ඥාණසාර ප්‍රකාශ කලේය
ලංකාවේ මුස්ලිම් අන්තවාදයක් තිබෙන නමුත් 
ඊට විසඳුම ඥාණසාර නොවන බව සෙන් ගුරුවරයා කීවේය 
මින් කිපුණු ඥාණසාර අයි පෑඩ් එක ඔසවා 
සෙන් ගුරුවරයාගේ හිසට පතබෑවේය​
සෙන් ගුරුවරයාගේ හිසෙන් ලේ ගලන්නට විය 
එහෙත් ඔහු සන්සුන්ව ඥාණසාරට මෙත් වැඩුවේය 
ඥාණසාර දිගින් දිගටම අසභ්‍ය වචනයෙන් 
සෙන් ගුරුවරයාට බැණ වැදුනේය​
සෙන් ගුරුවරයා සන්සුන් ලෙස හඳ දෙස බැළුවේය 
"මට පුළුවන් කමක් තිබුණා නම් මේ සුන්දර හඳ ඔහුට දෙන්න!"
සෙන් ගුරුවරයා සෙමින් ඥාණසාර  දෙස බලා  කීවේය​
ඉන් තවත් උරණ වූ ඥාණසාර සෙන් ගුරුවරයාට
නිර්දය ලෙස අතින් පයින් පහර දුන්නේය​
ඔන්න ඔය ඇරෙන්නෙ අපායේ දොර 
සෙන් ගුරුවරයා  සන්සුන් ලෙස කීවේය 
එහෙත් ඥාණසාර ගුටි දීම නැවතුවේ නැත 
ඔබ සිවුරු පැළඳුවද බුදුන්  ගේ ධර්මය දැක නැත
 ඒ නිසා මේ චීවරය සහ පාත්තරය ගන්න 
එය අයිති ඔබටයි සෙන් ගුරුවරයා කීවේය 
ඥාණසාර සෙන් ගුරුවරයාගේ  පාත්තරය අතට  ගත්තේය 
එය  රනින් නොව යකඩින් තනන ලද්දක් බැවින් 
එයට විසිවී යන ලෙස පා පහරක් දුන්නේය 
යකඩ පාත්තරය බොල් හඞක් නගමින් විසිවී ගියේය 
ඥාණසාර  ඔබත් යකඩ පාත්තරය වගෙයි 
නගන්නේ බොල් හඞක්   සෙන් ගුරුවරයා කීවේය 
සෙන් ගුරුවරයාට දිගටම පහර දුන් ඥාණසාර 
මහන්සිය නිසා තම සිවුර සකස් කරගෙන 
යලි වාහනය වෙත ගියේය 
ඥාණසාර  දුටුවේ විශ්මය ජනක දෙයකි 
රියැදුරු අසුනේ ක්‍රෝධ මුහුණින් යුතු 
තවත් ඥාණසාර කෙනෙකු ඔහු දුටුවේය 
ඥාණසාරට  ඥාණසාර හමු වූවා 
සෙන් ගුරුවරයා සෙමෙන් කොඳුලේය 

Saturday, June 9, 2018

රෝගී සමාජයක් ඇතිවීම

මෙම අශීලාචාර කාලයේදී සියලු මිනිසුන් ජීවත් වූයේ අඩු වැඩි වශයෙන් සැකයෙන් හා මරණ බියෙනි. ඔවුන්ට නිතර නිතර දකින්නට හෝ අසන්නට ලැබුණේ මනුෂ්‍ය ඝාතනයන් ගැනය. අතුරුදන්වූ පුද්ගලයන් හා වදහිංසාවන්ට ලක්වූ පුද්ගලයන් ගැනය. හිංසාව හිංසාවට ලක්වන්නන් කෙරෙහි පමණක් නොව හිංසා කරන්නන් කෙරෙහිද බලපායි. ඒ දෙපිරිසම මානසික රෝගීන් බවට පත් කරයි. යුද හමුදාවේ සේවය කළ සමහර සොල්දාදුවන් මානසික රෝගීන් බවට පත්ව තිබෙන ආකාරය හා ඒ තත්ත්වය පෙරළා ඔවුන්ගේ පවුල් ජීවිත කෙරෙහි බලපා තිබෙන ආකාරය පිළිබඳව කදිම විග්‍රහයක් යුද හමුදා රෝහලේ මානසික වෛද්‍යවරයෙකු ලෙස සේවය කළ රුවන් එම්. ජයතුංග විසින් ලියා පළ කර තිබෙන ‘සංග්‍රාමයෙන් පසු – ඊලාම් යුද්ධයට මුහුණ දුන් සොල්දාදුවන්ගේ කතා’ යන කෘතියට ඇතුළත්ය. යාපනේ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සේවය කළ මහාචාර්යවරයෙකු වන දයා සෝමසුන්දරම් විසින් ලියා පළකර තිබෙන “Scared Minds – The Psychological impact of war on Sri Lankan Tamils” නමැති පොත දෙමළ කොටි සංවිධානය, ආරක්ෂක හමුදා හා ඉන්දියානු සාම හමුදාව විසින් කරන ලද යුද්ධය විසින් උතුරේ දෙමළ සමාජය කෙරෙහි ඇතිකර තිබෙන සාමූහික ව්‍යසනය ගැන තමන්ගෙන් ප්‍රතිකාර ලද රෝගීන් ආශ්‍රයෙන් කරන ලද විශිෂ්ට අධ්‍යයනයක් ලෙස සැලකිය හැකිය. එය සාමූහික ප්‍රචණ්ඩත්වය ඊට ගොදුරු වන පුද්ගලයන් කෙරෙහි පමණක් නොව ඒ පවුලේ සාමාජිකයන් කෙරෙහිද අවසාන විග්‍රහයේදී මුළු මහත් දෙමළ සමාජය කෙරෙහිද බලපා තිබෙන ආකාරය ගැන කර තිබෙන කදිම විග්‍රහයක් ලෙස සැලකිය හැකිය. එම මහාචාර්යවරයාද උතුරේ දෙමළ සමාජය පිළිබඳව එහි දක්වා තිබෙන චිත්‍රය සමස්ත සමාජයටද අදාළ කරගත හැකිය. 
(වික්ටර් අයිවන් -රාවය පුවත්පත )

Find Us On Facebook