සැරයන් Sx78 භයානක යුද්ධයට මැදිවී සිටිමින් දස වසරකට ආසන්න කාලයක් යුදබිමේ ගතකළේය. යාපනය කොටුව ආරක්ෂා කරගැනීමේ මාරාන්තික සටනට ඔහු සහභාගී විය. සතුරා විසින් යාපනය කොටුව තම පීඩනයට හසුකරගෙන තිබුණු අතර, සතුරාගේ බර අවි ප්‍රහාර කොටුව වෙත එල්ල වන්නට පටන් ගත්තේය. කොටුවේ සිරවී සිටි භටපිරිස් ගලවාගැනීම සඳහා 'මිඩ්නයිට් එක්ස්ප්‍රස්' නමැති මෙහෙයුම දියත් කරන ලදී. මෙම ගැටුමේදී සැරයන් විසින් සතුරන් පස්දෙනෙකු ඝාතනය කරන්නට සමත් විය. වසර පහකට පමණ පසු, මෙම ඝාතනයන් පිළිබඳ නොයෙක් සිතුවිලි ඔහුගේ සිත තුළ පහළවන්නට පටන්ගත්තේය. 'ඔවුන් අපිව මරන්නට ආවත් ඔවුනුත් මිනිසුනේ' යනුවෙන් ඔහු කිව්වේය.
"උනුත් මේ අපි වගේ ගමේ කොල්ලො, ජීවිතේ කියලා එච්චර ගොඩක් දේවල් කරන්ඩ දේවල් නැති එවුන්. උන්ව නොමග යවලා, හිතේ වෛරය ඇතිකරවලා, අපිට ගහන්න කියලා එව්වා. උන්ට වෙඩි තියනවා ඇරෙන්න අපිටත් වෙන කරන්න දෙයක් තිබුනේ නැහැ. යුද්දෙදි ඔක්කොම වෙන්නේ ක්ෂණිකව. එක්කෝ අපි, නැත්තන් උන්. අපි උන්ව මැරුවේ නැත්තන් උන් අපිව මරනවා. කොහොම වුනත් මේ දෙමල කොල්ලන්ටත්, අපිට වගේම අම්මල තාත්තලා හිටියනේ. ඒ මිනිස්සුන්ටත් එක එක බලාපොරොත්තු තියෙන්න ඇතිනේ. ඔක්කොම ඉවරවුනේ මහා කණගාටුදායක විදිහකට. කවුරුහරි, කොහේහරි ,තවමත්, මේ අය නැතිවුණු දුකෙන් ඇති. මං දන්නවා මරණ එක හොඳ නෑ. ඒක අපේ බුද්ධාගමේ තියන කරුණු වලටත් විරුද්ධයි. නමුත් ඒ දේ කරන තැනට මම තල්ලු වුනා".
සැරයන් වරයා සිතන්නේ යම් දිනක ඔහුට මේ පිළිබඳ කර්ම ප්‍රතිවිපාකයකට මුහුණ දීමට සිදුවන බවයි. බිඳී ගිය හෘද සාක්ෂිය තුලින් වියවුලට පත් ඔහු, ආගම ධර්මය පැත්තට බොහෝදුරට යොමුවී සිටී. යුද හමුදාවෙන් විශ්‍රාම ගත් පසු, මහණ වීම, ඔහුගේ අභිප්‍රායයි.




