Wednesday, November 4, 2015

සතුරා ඝාතනය කිරීම නිසා මානසිකව පරිපීඩනයට පත් වූ සොල්දාදුවා.




සැරයන් Sx78 භයානක යුද්ධයට මැදිවී සිටිමින් දස වසරකට ආසන්න කාලයක් යුදබිමේ ගතකළේය. යාපනය කොටුව ආරක්ෂා කරගැනීමේ මාරාන්තික සටනට ඔහු සහභාගී විය. සතුරා විසින් යාපනය කොටුව තම පීඩනයට හසුකරගෙන තිබුණු අතර, සතුරාගේ බර අවි ප්‍රහාර කොටුව වෙත එල්ල වන්නට පටන් ගත්තේය. කොටුවේ සිරවී සිටි භටපිරිස් ගලවාගැනීම සඳහා 'මිඩ්නයිට් එක්ස්ප්‍රස්' නමැති මෙහෙයුම දියත් කරන ලදී. මෙම ගැටුමේදී සැරයන් විසින් සතුරන් පස්දෙනෙකු ඝාතනය කරන්නට සමත් විය. වසර පහකට පමණ පසු, මෙම ඝාතනයන් පිළිබඳ නොයෙක් සිතුවිලි ඔහුගේ සිත තුළ පහළවන්නට පටන්ගත්තේය. 'ඔවුන් අපිව මරන්නට ආවත් ඔවුනුත් මිනිසුනේ' යනුවෙන් ඔහු කිව්වේය. 

"උනුත් මේ අපි වගේ ගමේ කොල්ලො, ජීවිතේ කියලා එච්චර ගොඩක් දේවල් කරන්ඩ දේවල් නැති එවුන්. උන්ව නොමග යවලා, හිතේ වෛරය ඇතිකරවලා, අපිට ගහන්න කියලා එව්වා. උන්ට වෙඩි තියනවා ඇරෙන්න අපිටත් වෙන කරන්න දෙයක් තිබුනේ නැහැ. යුද්දෙදි ඔක්කොම වෙන්නේ ක්ෂණිකව. එක්කෝ අපි, නැත්තන් උන්. අපි උන්ව මැරුවේ නැත්තන් උන් අපිව මරනවා. කොහොම වුනත් මේ දෙමල කොල්ලන්ටත්, අපිට වගේම අම්මල තාත්තලා හිටියනේ. ඒ මිනිස්සුන්ටත් එක එක බලාපොරොත්තු තියෙන්න ඇතිනේ. ඔක්කොම ඉවරවුනේ මහා කණගාටුදායක විදිහකට. කවුරුහරි, කොහේහරි ,තවමත්, මේ අය නැතිවුණු දුකෙන් ඇති. මං දන්නවා මරණ එක හොඳ නෑ. ඒක අපේ බුද්ධාගමේ තියන කරුණු වලටත් විරුද්ධයි. නමුත් ඒ දේ කරන තැනට මම තල්ලු වුනා". 

සැරයන් වරයා සිතන්නේ යම් දිනක ඔහුට මේ පිළිබඳ කර්ම ප්‍රතිවිපාකයකට මුහුණ දීමට සිදුවන බවයි. බිඳී ගිය හෘද සාක්ෂිය තුලින් වියවුලට පත් ඔහු, ආගම ධර්මය පැත්තට බොහෝදුරට යොමුවී සිටී. යුද හමුදාවෙන් විශ්‍රාම ගත් පසු, මහණ වීම, ඔහුගේ අභිප්‍රායයි. 

Tuesday, November 3, 2015

චන්ද්‍ර නගරය




"ඉබිසා නගරය පසුකොට මම ගියේ තවත් නගරයකටයි. මේ නගරය චන්ද්‍ර නගරයයි. මිනිසුන් ස්වභාවික සම්පත් අසීමිතව විකුණගෙන කනවා. ඔවුන් ඒ නිසා සුපිරි ධනවත්. නමුත් තවම සමාජයික අතින් ඉන්නේ ගෝත්‍රික යුගයේ. ඔවුන්ගේ නගරය ඉතා අලංකාරයි. නිවාස මාලිගා වගේ. නගරයේ මැද තිබුණා උයනක්. ඒ උයන හරිම මනස්කාන්තයි. නදුන් උයන පරදන සිරිය. මට ඇසුනා ගෝසාවක්. මිනිසුන් කණ්ඩායමක් රූමත් ගැහැනියක් කුදලාගෙන එනවා. ඇයව උයන මධ්‍යයේ කිරිගරුඬ ඇතිරූ ගෝලාකාර පොලව මතට තල්ලු කලා. ඇය කිරිගරුඬ පොලවේ ඇද වැටුනා. අයි මේ පිරිමි සේනාවක් එක තනි ගැහැනියකට හිරිහැර කරන්නේ. මම ළඟ සිටි මිනිසාගෙන් ඇසුවා. ඔහු කිව්වා, ඇය පව්කාරියක්. ඇය පිරිමියෙකු සමග අනාචාරයේ හැසිරිලා කියලා. 


ඒ අසරණ ගැහැණියව, අඩ කවයක ආකාරයට පිරිමින් වට කර ගත්තා. ඒ එක්කම තව මිනිසෙක් කුඩා අත් කරත්තයක පටවාගෙන දොඹ ගෙඩි ප්‍රමාණයේ ගල් තොගයක් ගෙනාවා. ඒ ගල් බෑවේ මිනිස් අඩ කවය ළඟ. වටවී හිටිය මිනිසුන් ගල් අහුරු අහුරු අත් වලට ගත්තා. ඔවුන් ගල් ගැනීමට පොර කෑවේ පොඩි ළමයි සිනි බෝල වලට පොර කනවා වගේ. මම අර මිනිසාගෙන් ඇසුවා දැන් මොකද වෙන්නේ කියලා. ඔහු කිව්වා ඇයට දඬුවමක් ලෙසට අනාචාරයේ යෙදුනු මේ පව්කාරියට ගල් ගසා මරා දැමීමට යනවා කියලා. මම එහිදී ඔහුගෙන් ඇහුවා, ඇයි ගැහැණියට විතරක් ගල් ගහන්නේ ? ඇය සමග අනාචාරයේ යෙදුනු පුරුෂයා, ඔහුත් පව්කාරයෙක්, ඇයි ඔහුවත් මෙතෙන්ට කුදලාගෙන ඇවිල්ලා දඬුවම් නොකරන්නේ කියලා. එතකොට අර මිනිසා මා දෙස බැලුවේ දවා හළු කරන ක්‍රෝධයෙන්. මම නිහඬ උනා. 

ලෝගුවක් පොරවාගෙන සිටි එක් මහලු පුරුෂයෙක් ඇයට විරුද්ධව ඇති චෝදනා එකින් එක කිව්වා. ඉන් පසු ඔහු තම අත තිබූ ගල ඉස්සුවා ඇයට ගැසීමට. මට බලාගෙන සිටීමට හැකියාවක් තිබුනේ නැහැ. මම අසරණ ගැහැණිය ඉදිරියට පැන්නා. සහෝදරවරුනි ඕක මොහොතකට නවත්වලා මම කියන එක අහන්න, මම උස් හඬින් කිව්වා. ඔවුන් සියලුදෙනා එකපාරටම ගැස්සිලා මා දෙස බැලුවා. දැන් සියලුදෙනාගේම ඇස් මා දෙසට යොමු වෙලා. මම ඔවුනට කිව්වා, "සහෝදරවරුනි, මෙතන පව් නොකරපු කෙනෙක් ඉන්නවනම් පළමු ගල ගසන්න" කියලා. සෙනග එකිනෙක සමග කොඳුරනවා. එක් මිනිසෙක් මා ලඟට ඇවිල්ලා මාව පසෙකට තල්ලු කළා, බොරුවට ක්‍රිස්තුස් වෙන්නේ නැතුව අහකට පළ කියලා. ලෝගුව පොරවාගෙන සිටි මහලු පුරුෂයා කිව්වා, මම කිසිම දවසක ගැහැණියකගේ පහස සොයා ගෙන ගිහිල්ලා නැහැ ඒ නිසා මම පව්කාරයෙක් නෙවෙයි කියලා, තඩි ගලක් අරගෙන අර ගැහැණියට ගැහැව්වා. ඒක වැදුනේ ඇයගේ නළලට. ඒ සමගම, අනෙක් මිනිසුන් ඇයට ගල් ගසන්න පටන් ගත්තා. ගැහැණිය වේදනාවෙන් මොර දෙනවා. ඇයගේ සිරුරට වැදෙන ගල් වල හඬ මට ඇසෙනවා. ඒක හරිම බොල් හඬක්. 

මටත් තිරිසන් ආසාවක් ඇති උනා ඇයට ගල් ගැසීමට. මටත් චන්ද්‍ර නගරයේ පුරුෂයෙකු වෙන්න අවශ්‍ය උනා. මමත් ගලක් අහුලාගෙන සෙනග අතරින් රිංගලා ඉලක්කය අරගෙන, අර ගැහැනියගේ ඔළුවට ගැහුවා. ඒක වැදුනේ ඇයගේ වම් කම්මුලේ. එතනින් ලේ ආවා. මට ඇයට ගල් ගසන්න පුදුමාකාර ආසාවක් ඇතිඋනා. මම ගල් වලින් මගේ සාක්කු පුරවාගෙන, සෙනග තල්ලු කරගෙන ඉදිරියට ගිහිල්ලා අර වැටිලා ඉන්න ගැහැණියට ගැහුවා. ගල් ඇයගේ ශරීරයේ වැදෙන්න වැදෙන්න මට දැනුනේ පරපීඩාකාමී ආශාවක්. මේ මිනිසුන් සියලුමදෙනට ඒ ආශාව දැනෙන බව මට තේරුනා. ගැහැනියගේ අඳෝනාව, වේදනාවෙන් කෑ ගසන හඬ, අපගේ හැඟීම් උද්දීපනය කළා. 

අපි තරගයට ගල් ගැසුවා. බොහෝ වෙලාවක් ගල් ගැසුවා. අපේ කමිස දහදියෙන් පෙඟෙන තුරු ගල් ගැසුවා. ගැහැණිය මැරිලා, ඒත් අපි ගල් ගැසුවා. ඇයගේ ශරීර මස් තැළිලා, ඒත් අපි ගල් ගැසීම නැවැත්තුවේ නැහැ. ඇයගේ මළකුණ හප වන තුරු අපි ගල් ගැසුවා. අවසානයේ අඳුර වැටිලා ඉල්ලක්කය ගැනීමට ඇයගේ මළකඳ පෙන්නේ නැහැ. නමුත් අපි ඉල්ලක්කය අනුමාන කරගෙන ගැහුවා. සඳ පෑයුවා, අපි සඳ එලිය ආධාරයෙන් හප ගිය මිනිස් කුනුපයට ගල් ගැහුවා. ගල් ඉවර වෙනකොට අර හපය ලඟට ගිහින් ලේ තැවරුණු ගල් අරගෙන ආවා. අවසානයේදී, එතන තිබුනේ විසිරි ගිය මස් කෑලි තොගයක් විතරයි. මිනිසෙකු තවත් මිනිසෙකු විනිශ්චය කිරීම, ඔහුට හෝ ඇයට දඬුවම් දීම කොතරම් සුමිහිරි දෙයක්ද. එහි ප්‍රීතිය නියමාකාරයෙන් භුක්ති වින්ඳේ අද. මට විශාල ප්‍රීතියක් දැනුනා. උඩ පනින්න, ගී ගයන්න, නටන්න මගේ සිත උද්දාමයෙන් පිරිලා. චන්ද්‍ර නගරය කොතරම් අනගි නගරයක්ද? ගැහැනුන්ට ගල් ගසා මරා දමන, වරදකරුවන්ගේ අතපය කපන, ප්‍රසිද්ධියේ මිනිසුන්ට කස පහර දෙන අපේක්ෂාවේ නගරය. 

චන්ද්‍ර නගරයේ ජීවිතය ඉතා සරලයි. එක්කෝ තහනම් නැත්නම් අනිවාර්යයයි. ඉන් අතර මැද විකල්පය නැහැ. සෑම දේම තීරණය කලේ පැරණි ශුද්ධ ලියවිලි වල තියන නීති අනුව. ශුද්ධ ලියවිල්ලක තිබුනා නම් මිනිසා ආහාර ගත යුත්තේ මුඛයෙන් නොව නාසයෙන් කියලා, අනිවාර්යෙන්ම මිනිසුන් එය පිලි පැදිය යුතුයි. කිසිවෙකුට ශුද්ධ ලියවිල්ලේ තථ්‍යතාව ප්‍රශ්න කරන්න තහනම්. එයට විරුද්ධ අදහස් දැරූවන්, මිථ්‍යා දෘෂ්ටිකයන්. ඔවුන් ගෙල කපා මරා දැමිය යුතුයි. මා තුල සිටි පරපීඩකයාට රිසි සේ තෘප්තිය ලබා දුන් චන්ද්‍ර නගරය. මම නුඹට සුභ පතනවා. මගේ ගමන මා යා යුතුයි, ඒ නිසා මම අමාරුවෙන් චන්ද්‍ර නගරයට සමු දුන්නා." 



(මානසික රෝගියාගේ පරිකල්පනය කෘතිය ඇසුරෙනි )

Monday, November 2, 2015

ඉබිසා නගරය




"ඉබිසා නගරය ඔබට අමතක කල හැකිද? සංගීතය සහ රිද්මය පිරි මධ්‍යධරණි උණුසුම් සුළඟ රැගත් ඉබිසා නගරයේ දැකුම්කළු රැයක්. මනස්කාන්ත වෙරළ, වේග රිද්ම ගීතයට නටන මිනිසුන් හා කාන්තාවන්. ජීවිතය දුකක් කීවේ කවරෙක්ද? ඉබිසා නගරයේ මම දැක්කේ උතුරා යන සතුට. 

ඉබිසා නගරයට මුලින්ම ආවේ කොරියානු සහ වියට්නාම යුද වලට සහභාගී වීම ප්‍රතික්ෂේප කල ඇමරිකානු තරුණයන්. කරුණාකර ඔවුන්ව යුද විරෝධී මානවාදීන් කියා උත්කර්ෂයට නග්ගන්න එපා. ඒ වගේම රට වෙනුවෙන් යුද කිරීම ප්‍රතික්ෂේප කල දේශ ද්‍රෝහියන් කියා හෙලා දකින්නත් එපා. ඔවුන් වීරයන් හෝ ද්‍රෝහියන් නොවේ. ඔවුන් ජීවිතය තෝරාගත් මිනිසුන්. මේ පෘතුවි ගෝලයේ පිහිටා ඇති එක් තෝරාගත් භූමියක් වෙනුවෙන් යුද වැදී මියයාමට, දේශපාලන සංකල්පයක් වෙනුවෙන් මිනී මැරීමට, උණ්ඩයට ළය පෑමට ඔවුන්ට අවශ්‍ය උනේ නැහැ. ඔවුන්ට උවමනා කලේ ජීවිතය විඳින්න. ඉතින් ඉබිසා නගරය ඔවුන්ට ක්ෂේම භූමියක් උණා. 

ඔවුන් සංගීතය හා ජිවන රිද්මය සොයාගෙන ගියා. පුපුරා යන අර්ටිලරි හඬ, කීන් නාදයෙන් මරණයේ පණිවිඩය රැගෙන එන උණ්ඩ වල හඬ, මිනිස් ශරීර යකඩ කෑලි වලින් හිල් වී යන විට නැගෙන විලාපය, ශරීර වේදනාව නිසා නඟන හඬ, සතුරාට සාප කරන ක්‍රෝධ ස්වරය, හුස්ම හිරවන මිට උගුරින් නැගෙන බොල් හඬ, සියලු දෙනා මිය ගිය පසු යුද බිමේ ඇතිවන නිහඬතාවය , මේවා කිසිම දෙයක් ඔවුනට අවශ්‍ය කෙරුනේ නැහැ. ඔවුන්ට අවශ්‍ය කලේ, උදෑසන හිරුරැස් වල උණුසුම ලබන්න. දහවලට උණුසුම් සුළං හමන විට මුහුදු රළ අතර කිමිදෙන්න. හවසට ඉර සක්වලගල යටින් බැස යනවා බලන්න. ඔවුන්ට නම්බු නාම, විරු පදක්කම්, ආචාර වෙඩිමුර අවශ්‍ය කලේ නැහැ. ඔවුන් උණුසුම් හැඟීම් තිබු මිනිසුන් පිරිසක්. ප්‍රීතිමත් නගරයක් නිර්මාණය කළා. උදේ සිට රාත්‍රිය දක්වා ජීවිතය විඳිය හැකි නගරයක් ඔවුන් සැදුවා. යුද අගල්, බංකර, කඳවුරු, කටුකම්බි , බිම් බෝම්බ, උණ්ඩ, නැති ලෝකයක් නිර්මාණය කල හැකි බවට මේ අව්‍යාජ මිනිසුන් පෙන්නා දුන්නා. 

යුද්දය දේශනා කරන පුජකයන්, දේශප්‍රේමය ගැන දෙසුම් පවත්වමින් තම බලය තහවුරු කර ගන්නා දේශපාලකයන්, ආයුධ විකුණා ප්‍රකෝටිපතියන් වූ වෙළෙන්දන්, සටනින් මියගිය සොල්දාදුවගේ මළකඳ පවා විකුණගෙන කන ගිජුලිහිණියන් මේ ඉබිසා නගරයට පා තැබුවේ නැහැ. ඒ නිසා ඉබිසා නගරය පුජනිය නගරයක්."



(මානසික රෝගියාගේ පරිකල්පනය කෘතිය ඇසුරෙනි )

හැලොවීන් රාත්‍රිය



හැලොවීන් රාත්‍රියේ
අඳුරෙන් පිරි මාවතේ
මළානික එළියක් විහිදවූ
පහන් කණුව යට 
නුඹ දුටුවෙමි 

මයිකල් මයර්ස් නම් වූ 
මිනිස් ගති දුරලූ 
අර්ධ අමනුශ්‍යයා 
තොප බව පසක් කලෙමි 

මිනිස් ජීවිත විනාශ කරන 
මරණය කරා දනන් ඇදගෙන යන 
නිරයෙන් මතුවූ බිහිසුණු
සාතන් ගේ පුත්‍රයා නුඹයි 


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Sunday, November 1, 2015

පුණ්ඩේ අඩි






මම  මීගමුව රෝහලේ  නාරි හා ප්‍රසව ජ්‍යෙෂ්ඨ  වෛද්‍ය නිලධාරී ලෙස 1998 දී සේවය කලෙමි. ඒ කාලයේ මම නැවතී සිටියේ නිර්වින්දන වෛද්‍යවරුන් ගේ නිල නිවසේය​.  මෙම නිල නිවාසයේ වෛද්‍යවරුන් වූ ගෝවින්ද රාජා (ගෝවි) , පීරිස් (පීරා) , සමන් මෙන්ම දහවල් කාලයේ නිල නිවාසයට පැමිණි ශ්‍යල්‍ය අංශයේ ජ්‍යෙෂ්ඨ  වෛද්‍ය නිලධාරී  ලිලිත් ප්‍රසන්න ලියනගේ යනාදීන් සමග ඉතා සුහද මෙන්ම විනෝදමත් කාලයක් අප ගත කලෙමු. 

ගෝවි නිර්වින්දන වෛද්‍යවරුන් ගේ නිල නිවසේ බැල්ලක ඇති කලේය​. බ්‍රවුනි නම් වූ මෙම බැල්ල අපට ඉතා හිතවත්  වූවාය​. නමුත් ආගන්තුකයන් පැමිනෙන විට ඔවුනට බුරාගෙන පැන්නාය​. කාලයක් යන විට බ්‍රවුනි පැටවුන් කීප දෙනෙකු වැදූ අතර ලස්සන පැටවුන් රෝහලේ කාර්‍යමණ්ඩලයේ අය විසින් රැගෙන ගිය අතර කැතම කැත බළු පැටවා අපට ඉතිරි විය​.

දිනක් අප සියළු දෙනා සාමීචීයේ යෙදෙමින් සිටි අවස්ථාවක බළු පැටවාට නමක් තැබිය යුතු බව මම යෝජනා කලෙමි. පීරා ජිමී යන නම යෝජනා කලේය​, මම බ්‍රවුන් යන නම යෝජනා කලෙමි. මෙසේ ජිමී , බ්‍රවුන් , කඩියා, ටික්කා , විස්කි , යනාදී නම් රැසක් යෝජනා වූ අතර වෛද්‍ය ගෝවින්ද රාජා මෙම බළු පැටවාට පුණ්ඩේ අඩි ලෙස නම් කල යුතු බව කීවේය​. ඒ අනුව බ්‍රවුනිගේ පැටවා පුණ්ඩේ අඩි නම් විය​. නමුත් කථා කිරීමේ දී මෙම බල්ලා පුණ්ඩේ , පුණ්ඩයා යනාදී වශයෙන් කෙටි විය​. 

පුණ්ඩේ අඩි උගේ අම්මා වන බ්‍රවුනිට වඩා වෙනස් සතෙකු විය​. ඌ කෑම හොරා කෑමට පුරුදු විය​. වරක් පීරාගේ මේසය උඩ තිබූ බත් පාර්සලය බිමට දමාගෙන ඌ හොරා කෑවේය.මේ නිසා  පුණ්ඩේ අඩි  කරදරකාර සතෙකු ලෙස නිර්වින්දන නිල නිවස්නයේ වෛද්‍යවරු  සැලකූහ​. සමහර විට ඌ හෙදි නේවාසිකාගාරය අසලටද ගියේය​. ඇතැම් දින වල හෙදියන් " අනේ ඩොක්ටර් ඕගොල්ලන්ගේ අර පුණ්ඩේ අඩි කියන බල්ලා අපේ මිස් කෙනෙක්ට බුරාගෙන පැන්නා " වැනි පැමිණිළි ඉදිරිපත් කරන්නට වූයෙන් පුණ්ඩයා වදකාරයෙකු ලෙස නිර්වින්දන නිවාසයේ වෛද්‍යවරු දුටූහ​. මේ හැර පුණ්ඩේ අඩියාට චර්ම රෝගයක් ද වැළදීම නිසා ඌ කෙරෙන් ගඳක් ද වහනය විය​. 

මේ කරච්චල් නිසා  ගෝවිත් මමත් වරක් පුණ්ඩේ අඩියා වරපටකින් බැඳ ගෝවිගේ  මෝටර් රථයේ දමාගෙන   කොච්චිකඩේ ප්‍රදේශයට ගොස් අතහැර දැමුවෙමු. නමුත් එදින සවස් වීමට ප්‍රථම පුණ්ඩයා මීගමුව රෝහල කරා පැමිනියේය​. ඉන්පසු අපට සිදු වූයේ පුණ්ඩයා ගේ හිරිහැර විඳගෙන සිටීමටය​. 

මෙසේ කාලයක් යන විට  පුණ්ඩයාගේ චර්ම රෝගය අසාධ්‍ය වී ඌ පණ අදින්නට විය​. පුණ්ඩයාගේ අවසන් මොහොත දුටු සායනික වෛද්‍ය අංශයේ ජ්‍යෙෂ්ඨ  වෛද්‍ය නිලධාරීයෙකු වූ සුජීව පැවසුවේ පුණ්ඩයාගේ පණ යන මොහොතේද අසීරුවෙන් ඌ හිස ඔසවා සුජීව දෙස බලා  නගුට මළානිකව වැනූ බවය​. 

පුණ්ඩයාගේ මරණින් මාස අටකට පමණ පසු බ්‍රවුනිද හදිසියේ මිය ගියාය. බ්‍රවුනි බැල්ල මීගමුව රෝහලේ  මහල් 7කින් යුත් ප‍්‍රධාන ගොඩනැගිල්ල හදමින් සිටි කම්කරුවන්ට බුරාගෙන පනින නිසා ඔවුන් විසින් බ්‍රවුනිට වස දැමූ මස් දමා බැල්ල මරා දැමූ බව පසුව අපිට ආරංචි විය​. 

මෙසේ දෙවසරක් පමණ ගත වන විට අපගේ වෛද්‍යවරු සීසීකඩ මාරු වී ගියහ​. ගෝවි ගම්පහ රෝහලට ගියේය​. පීරා කුරුණෑගලට ගියේය​. මම හලාවත රෝහලට ගියෙමි. ලිලිත් පමණක් මීගමුවේ ඉතිරි විය​. පසු කාලයක පුණ්ඩේ අඩි යනු දෙමළ කුණුහරපයක් බව මම දැනගත්තෙමි. ඒ වන විට පුණ්ඩයා මිය ගොස් බොහෝ කලක් ගතවී තිබිණි.

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Find Us On Facebook