Saturday, February 9, 2019

පේරාහි තුල්සි ගැන කතාබහක්


පසුගිය දිනයක මට ටොරොන්ටෝ වලදී දන්ත වෛද්‍ය බහීරදන් හමු විය. ඔහු පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලැබුවෙකි. එසේම 1983 කාලයේ එම විශ්ව විද්‍යාලයේදී ද්‍රවිඩ සිසුන්ට එරෙහිව එල්ල කරන ලද වාර්ගික ප්‍රහාරයන් දුටු අයෙකි. මෙම ප්‍රහාරයට මුල්වී ක්‍රියා කල විද්‍යා පීඨයේ සිසුවෙකු ගැන රාජන් හූල් ඔහුගේ Sri Lanka: The Arrogance of Power : Myths, Decadence & Murder පොතේ සඳහන් කරයි. රාජන් හූල් පවසන පරිදි තුල්සි වික්‍රමසිංහ නම් සිසුවෙකු විසින් හම් පටියකින් ද්‍රවිඩ සිසුන්ට පහර දුන් බව කියයි. 

මෙම ප්‍රහාරයෙන් වසර 36 කට පසු වෛද්‍ය බහීරදන් එම සිදුවීම ගැන  මා සමග කතා කලේ වයිරයකින් තොරවය. මෙම පහර දීම සඳහා විද්‍යා පීඨයේ ඉගෙනුම ලැබූ තුලසිට  දන්ත සහ වෛද්‍ය පීඨ වල සිසුන් කෙරෙහි යම් ඉරිසියාවක් තිබූ බව වෛද්‍ය බහීරදන් අනුමාන කරයි. කෙසේ නමුත් ඔහු තුලසී වික්‍රමසිංහ පිලිබඳව කතා කලේ යම් අනුකම්පාවක් සහිතවය. 

මෙම ප්‍රහාරයෙන් පසුව පත් කල ලැනරෝල් කොමිසම තුල්සිගේ ශිෂ්‍යභාවය අහෝසි කිරීමට නිර්දේශ කලද ඔහු එම දඞුවමින් ගැලවී ගිය බව රසික සූරියආරච්චි පවසයි. වර්තමානයේ තුල්සි වික්‍රමසිංහ ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සි හි සරසවියක භෞතික විද්‍යාව මහාචාර්‍යවරයෙක් ලෙස සේවය කරන බව පැවසේ. කෙසේ නමුත් තරුණ අවධියේදී මොබ් මානසිකත්වයෙන් ද්‍රවිඩ සිසුන්ට විරුද්ධව කල වර්ගවාදී ප්‍රහාරය ගැන ඔහු පසු තැවෙන බව මම උපකල්පනය කරමි. ඇමරිකාව වැනි බහු වාර්ගික රටක   දීර්ඝ කාලයක් ජීවත් වීමේදී වර්ගවාදයේ ජාතිවාදයේ පුහු බව ඔහු මේ වන විට අවබෝධ කර ගෙන ඇති. මේ පැරණි සිදුවීම යලි මතකයට ගෙන ආවේ මහාචාර්‍ය තුල්සි වික්‍රමසිංහට අපහසුතා ගෙන දීමට නෙවේ. මෙය වර්තමාන සරසවි සිසුන්ටත් පාඩමක්. ඔබ නවක වධය කියා හෝ ජාතිවාදීව හෝ වර්ගවාදීව තමන්ට කිසිදු වරදක් නොකරන ලද පුද්ගලයෙකුට හෝ පුද්ගල කණ්ඩායමකට හිංසා කලහොත් එය වසර 20 හෝ 30 කට පසුවද කැරකී ඔබ පසුපස ආ හැකිය.

වෛද්‍ය රුවන් එම් ජයතුංග

No comments:

Post a Comment

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook