Friday, November 9, 2018

ඒරියල් ෂැරෝන් ග්‍රහණය කලේ කුමක්ද ?


වින්සන්ට් ලංකාතිලක ගේ දෙනෙත් යළිත් වරක් ඔරී රෙයිස්මාන් ගේ චිත්‍රය වෙත ගියේය. එහි දුඹුරු පැහැති ගස් වල කඳන් සහ විශාල කහ පැහැති කොල දෙස ඔහුගේ අවධානය යොමු විය. කුඩා ත්‍රිකෝණයක් ලෙස ගස් අතරින් නිල් පැහැති අහස දකින්නට තිබේ. ගුරු පැහැති පාර ඇඳ තිබෙන්නේ බුහුටි ලෙස නොවේ. මෙම චිත්‍රයේ මූලකෘතිය වින්සන්ට් ලංකාතිලක දුටුවේ ජෙරුසලමේ පිහිටි ඊශ්‍රායෙල ජාතික කෞතුකාගාරයේදීය. ඔරී රෙයිස්මාන් ගේ කැරොබ් ට්‍රී බුලවාර්ඩ් චිත්‍රය අග්‍රකෘතියක්ද ? ඔහු සිතුවේය. කැරොබ් ට්‍රී බුලවාර්ඩ් චිත්‍රය වැනි චිත්‍ර රැසක් බාලාංශ පන්තියේදී වින්සන්ට් ලංකාතිලක විසින් ඇඳ තිබේ. එහෙත් ඒවා අග්‍රකෘති නොවීය.

 කෞතුකාගාරයේදී වෙනත් චිත්‍රයක් ඔහුගේ නෙත ගැටුනේය. එය ඇඳ තිබුනේ පීටර් පෝල් රුබින්ස් විසිනි. The Death of Adonis නමින් හඳුන්වන ලද මෙම චිත්‍රයෙන් නිරූපණය වූයේ ග්‍රීක පුරාණෝක්ති කතාවකි. එම දේව කතාව අනුව ඇඩොනිස් යනු ඇප්‍රෝඩයිට් යන ග්‍රීක දේවතාවියගේ පෙම්වතාය.  ඇඩොනිස් මෘත්‍යුතාව හිමි මිනිසෙකි. ඔහු තම පෙම්වතිය මෙන් අමරණීය දේවත්වයක් ලබා නොමැත. එහෙත් ඔවුන් ප්‍රේමයෙන් වෙළී සිටියහ.

 වරක් ඔවුන් දඩයමේ ගිය අවස්ථාවක ඇඩොනිස් හට වලහෙක් විසින් පහර දෙන ලදි. මාරාන්තික තුවාල ලැබූ ඇඩොනිස් තම පෙම්වතිය වූ ඇප්‍රෝඩයිට් දේවතාවියගේ දෑත් මත වැතිරී සිටියේය. ඔහු මෙම මරණීය තුවාල නිසා මිය යන බව ඇප්‍රෝඩයිට් දැන සිටියාය. දේවතාවියක වූවද ඇඩොනිස් ගේ මරණය වලකාලීමට ඇය අසමත් වූවාය. අවසානයේදී ඇයගේ දෑත් මත ඇඩොනිස් මිය ගියේය.

 පීටර් පෝල් රුබින්ස් විසින් ඇඳ තිබූ චිත්‍රයේ මිය ගිය ඇඩොනිස් , ඇප්‍රෝඩයිට් ගේ උකුල මත සිටියි. ඔහුගේ මරණයට වීනස් සහ ක්‍යුපිඩ්  ද ශෝක වෙති. මෙම චිත්‍රය ඔරී රෙයිස්මාන් ගේ චිත්‍රයට වඩා උසස් බව වින්සන්ට් ලංකාතිලක සිතුවේය. පීටර් පෝල් රුබින්ස් ගේ චිත්‍ර මැඩ්‍රීඩ් වල සහ වොෂින්ටන් ඩීසී වල ජාතික කෞතුකාගාරවල ඔහු දැක තිබේ.


“ ඒරියල් ෂැරෝන් විසින් ග්‍රහණය කල අවකාශය තුල තිබුනේ කුමක් කියා ඔබ සිතනවාද වින්සන්ට් ? දාලියා යළි ඔහුගෙන් ඇසුවේය.

ඒරියල් ෂැරෝන් විසින් ග්‍රහණය කල අවකාශය තුල තිබුනේ කුමක්ද ? වින්සන්ට් ලංකාතිලක කල්පනා කලේය.  ඇඩොනිස් ගේ මරණය ඔහු කල්පනා කලේද ? ඔහු කැරොබ් ට්‍රී මාර්ගයේ ඇවිද ගියේද ?

සබ්‍රා සහ ෂටීලා කඳවුරු වලට පහර දෙන විට ඒරියල් ෂැරෝන් ආරක්‍ෂක අමාත්‍යවරයා විය. මේ ප්‍රහාර එල්ල කරන්නේ පලස්තීන අබු නිඩාල් කණ්ඩායමේ ප්‍රහාරයන් නිසාය. ලෙබනන් හි  බේරූට් වල බටහිර කොටසේ මෙම  ඝාතන  සිදු වූ බව ඒරියල් ෂැරෝන් දැන සිටි නමුත් ඔහු එය වසන් කලේය. අප්‍රාණිකව ඇඳේ වැතිර සිටින විට ඔහුගේ මනස පිරී තිබුනේ කුමකින් ද ?

කඳවුරට ඉහල අහසේ මිලිටරි පැරා පත්තු වේ. එම නිසා දිවා කාලයේ මෙන් එළිය තිබේ. බිය ගත් මිනිසුන් ගැහැනුන් සහ ළමුන් ඒ මේ අත දිව යති. පැරා එළිය නිසා ඝාතකයන්ට ඉලක්ක ගැනීම පහසුය. වෙඩි හඞ, මිනිසුන් ගේ මරණීය විළාපය ඇසේ. ඒරියල් ෂැරෝන් නිහඞය. ඔහුගේ මනසේ විවිධ චිත්‍රයන් මතුවී අතුරුදන්වී යයි.

විශාල බුල්ඩෝසරයක් ඉදිරියට එයි. එහි ගොරහැඞි නාදය සවනට වදයකි. එහි තියුණු තලය ගෙවල් සහ ගස් කොලන් පොඩි කර අඹරා දමයි. මිය ගිය මිනිසුන් ගේ මළ සිරුරු බුල්ඩෝසරයේ යකඩ දම්වැල් වලට අසුවී ඇඹරී යයි. මෘත ශරීර වල ඇටකටු පොඩිවී යන හඞ  බුල්ඩෝසරයේ ගොරහැඞි නාදය නිසා නොඇසේ. එහෙත් වෙඩි හඞ බුල්ඩෝසරයේ   නාදය පරයා ඇසෙයි.


" වින්සන්ට් , මහාචාර්‍ය මාටින් මොන්ටි පවසන පරිදි ඔහුගේ මනස සකර්මකයි " දාලියා කීවාය.

 මාටින් මොන්ටි කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ ස්නායුවේදය පිළිබඳ මහාචාර්‍යවරයෙකි. ඔහු ඒරියල් ෂැරෝන් ගේ මනස කියවන්නේ ඊ.ඊ ජී සහ සීටී ස්කෑන් හරහාය. එහෙත් මේ උපකරණ වලට හසු නොවන කොතෙකුත් දේවල් ඔහුගේ මනසේ  උප්පාදනය වී  වියැකී යයිද ?

වින්සන්ට් ලංකාතිලකගේ වයින් බෝතලයේ පතුල පෙනෙන තෙක් පානය කලේය. ඔහුට වාලීඩ් ගේ වදන් මතක් විය. වාලීඩ් ඔහු එන තෙක් හයිෆා වල සිටියි. වාලීඩ් පිළිබඳව දාලියාට පැවසිය නොහැක. පලස්තීන ජාතිකයෙකු වූ වාලීඩ් හමාස් සංවිධානයේ සාමාජිකයෙකි. ඔහුගේ හමාස් සබඳතාවන් පිළිබඳව වින්සන්ට් ලංකාතිලක දැන සිටියද ඔහු ඒ ගැන උනන්දු නොවීය. ඊශ්‍රායිල සහ පලස්තීන ගැටුම ඔහුට අදාල නැත. එහෙත් වාලීඩ් විසින් ලබා දුන් මැස්ඩා -3 රථය වින්සන්ට් ලංකාතිලක  හයිෆා සිට ජෙරුසලම් දක්වා ධාවනය කරගෙන ආවේය. පැය දෙකකට ආසන්න කාලයක් ගිය මේ ගමන ඉක්මන් කිරීම සඳහා ඔහු හයිවේ -6 මාර්ගය ගත්තේය.

 වාලීඩ් විසින් ලබා දුන් මැස්ඩා -3 රථයේ අභ්‍යන්තරයේ සඟවා තිබෙන්නේ කුමක්ද ? ආර්.ඩී.එක්ස් පිපුරුම් ද්‍රව්‍යද ? ගිනි අවිද ? සාමාන්‍යයෙන් හමාස් සාමාජිකයෝ ගිනි අවි සහ පිපුරුම් ද්‍රව්‍ය ගම්මිරිස් වල බහා රහසේ ප්‍රවාහනය  කරති.  ගම්මිරිස් සුවඳ නිසා බල්ලන් හට ගිනි අවි සහ පිපුරුම් ද්‍රව්‍ය වල සුවඳ දැනෙන්නේ නැත. වාලීඩ් මරාගෙන මැරෙන බෝම්බ කරුවෙක්ද ? වාලීඩ්ගේ කිට්ටු ඥාතීන් ෂටීලා කඳවුරේ සිටි බවත් ප්‍රහාරය නිසා ඔවුන් මිය ගිය බවත් වාලීඩ් වරක් වින්සන්ට් ලංකාතිලකට කීවේය. ඔහුට යුදෙව්වන් ගෙන් පළි ගැනීමට අවශ්‍යවීද ?

 මැස්ඩා -3 රථය හයිෆා සිට ජෙරුසලම් දක්වා පදවාගෙන ආවේ වින්සන්ට් ලංකාතිලක බව  ඊශ්‍රායල ආරක්‍ෂක වල සටහන් වී තිබේ. මේ වන විට රථය තිබෙන්නේ ජෙරුසලම් ගේට් හෝටලයේ රථ ගාලේය. එම රථයේ තවත් යතුරක් මොහොමඩ් අබ්දුල් රහමන් රවුෆ් හුසෙයිනී ලඟ තිබෙන බව වාලීඩ් කීවේය. මොහොමඩ් අබ්දුල් රහමන් රවුෆ්  හුසෙයිනී ජෙරුසලම් ගේට් හෝටලයේ සේවකයෙකි. ඔහු විසින් මෝටර් රථය ගෙන යනු ඇත. සමහරක් විට මරාගෙන මැරෙන බෝම්බකරුවා මොහොමඩ් අබ්දුල් රහමන් රවුෆ්  හුසෙයිනී විය හැක.

 මොහොමඩ් අබ්දුල් රහමන් රවුෆ්  හුසෙයිනී තම කබාය යටින් තිබෙන මාරක බෝම්බ කට්ටලය සෙමෙන් අතගාමින් යුදෙව්වන් බහුල ප්‍රදේශයක අවන්හලකට හෝ බස් නැවතුම් ස්ථානයකට එනු ඇත. මිනිසුන් දෙස යටි ඇසින් බලන ඔහු මහ හඞින්  අල්ලහු අක්බාර් කියා බෝම්බයේ යතුර ක්‍රියාත්මක කරනු නියතය. එවිට විශාල ගිනි ගුලියක් සමග මොහොමඩ් අබ්දුල් රහමන් රවුෆ්  හුසෙයිනී කැබලි වී යයි. ස්ඵෝටනය සමග අවට සිටින යුදෙව්වෝ  රැසක්ද මිය යනු ඇත.

 ඉන් පසු සිදු වන්නේ කුමක්ද ? ඊශ්‍රායල මොසාඩ් නියෝජිතයන් සහ ෂින් බෙත් ඒජන්තයන් මොහොමඩ් අබ්දුල් රහමන් රවුෆ් හුසෙයිනී ලඟ තිබූ මැස්ඩා -3 රථය සොයා ගනු ඇත. එම රථය හයිෆා සිට ජෙරුසලම් දක්වා පදවාගෙන ආවේ ශ්‍රී ලාංකිකයෙකු බව ඔවුන් අනාවරණය කර ගනිති. ඉන් පසු ඔවුන් තමාව සොයා ජෙසුසලමේ කප්ලාන් හෝටලයට පැමිනෙති.

 ඊශ්‍රායල මොසාඩ් නියෝජිතයන් සහ ෂින් බෙත් ඒජන්තයන් තමා අරබයා කුමන වධ ක්‍රමයක් යොදා ගනීද කියා වින්සන්ට් ලංකාතිලක මොහොතක් කල්පනා කලේය. සමහරක් විට ඔවුන් තමාගේ හිස වතුර බේසමක ඔබාගෙන සිටිනු ඇත. නැතහොත් දෑත් වලින් එල්ලා පහර දෙනු ඇත. එසේත් නොමැති නම් අත පය ඉතා වේදනාකාරී ලෙස බැඳ දෑස් වැසෙන සේ අතිශයින් ගඳ ගහන රෙදිකඩක් හිසට පොරවා අඳුරු සිර කාමරයකට විසි කරනු ඇත. එම සිර මැදිරිය සොහොන් ගෙයක් සේ නිසලය. වධකයන් එම නිසලතාව බිඳ යන පරිදි ලෙනාඩ් කොහෙන් ගේ First we take Manhattan, then we take Berlin ගීතය නොකඩවා වාදනය කරන්නේ එම ශබ්දය සිරකරුවාට මානසික හිරිහැරයක් වීම සඳහාය.

 " දාලියා සමහරක් විට ඒරියල් ෂැරෝන්ට ලෙනාඩ් කොහෙන් ගේ ගීතයක් ඇසෙනවා ඇති " වින්සන්ට් ලංකාතිලක කීවේය.


ඇයි ලෙනාඩ් කොහෙන් ගේ ගීතයක් ? දාලියා ප්‍රශ්න කලාය.


මම දන්නේ නෑ සමහර විට බ්ලැක් සැබත් කණ්ඩායම ගායනා කරන වෝ පිග්ස් ගීතය ඔහුට ඇහෙනවා ඇති " වින්සන්ට් ලංකාතිලක පිළිතුරු ලෙස කීවේය.

වින්සන්ට් ලංකාතිලක මුල් වරට ඔසී ඔස්බර්න් සමග බ්ලැක් සැබත් කණ්ඩායම දුටුවේ 1972 වසරේ බර්මිංහැම් නගරයේදීය. ඒකාලයේදී ඔහු යෞවනයෙකු විය.

ඒරියල් ෂැරෝන්ට  බ්ලැක් සැබත්  ගීතයක් ඇසෙනවා විය නොහැකිද ? වින්සන්ට් ලංකාතිලකට සිතුනේය.  

හඩාෂා රෝහලේ ඇඳක නිසලව වැතිර සිටින මහල්ලා   විශාල බුල්ඩෝසරයක් , මිය ගිය මිනිසුන් ගේ විකෘතිව ගිය  මළ සිරුරු , විශාල ගිනි බෝලයක් ඇඩොනිස් , කැරොබ් ට්‍රී මාර්ගය, පැරා එළි සහ ඔසී ඔස්බර්න් දකියි. ඔහුගේ මනැස් චිත්‍ර විවිධාකාරය. යන්ත්‍ර ආධාරයෙන් ජීවිතය පවත්වාගෙන යාම ඔහුට   වධයකි. ඒනයින් සබ්‍රා සහ ෂටීලා කඳවුරු වල සිටි වින් දිතයන් වාසනාවන්තය. ඔවුන් මිය ගියේ එක් වතාවකි. එහෙත් ෂැරෝන් දිනපතා සෑම පැයකදීම සෑම මිනිත්තුවකදීද , සෑම තත්පරයකදීද , සෑම මිලි තත්පරයකදීද මිය යමින් සිටියි.


“ ඒරියල් ෂැරෝන් ග්‍රහණය කලේ  අවකාශය තුල තිබූ දේ පමණයි ” වින්සන්ට් ලංකාතිලක සෙමින් කීවේය. 


පරිකල්පන අතික්‍රමණය ; වෛද්‍ය රුවන් එම් ජයතුංග 

No comments:

Post a Comment

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook