Sunday, July 22, 2018

යුද හමුදා මූලස්ථානයේ පිපිරී ගිය මිනිස් බෝම්බය

 

2006 අප්‍රේල් 26 වනදා මම යුද හමුදා රෝහලේ මානසික රෝග ඒකකයේ රෝගීන් බලා දිවා ආහාරය සඳහා වාට්ටුවෙන් පිටතට ආවෙමි. වාට්ටුවේ ප්‍රධාන ද්වාරය අසලදී මට මේජර් රංජිත් අත්තනායක හමු විය​. මේජර් රංජිත් අත්තනායක සොඳුරු පුද්ගලයෙකි. ඔහු මට දිවා ආහාරය සඳහා නිලධාරී නිවස්නය කරා යමු කියා යෝජනා කලේය​. එහෙත් නිරන්තරයෙන්ම දිවා ආහාරය නිලධාරී නිවස්නයෙන් ගන්නා මට එදින නිවසට ගොස් දිවා ආහාරය ගැනීමට සිත් විය​. එම නිසා මම දිවා ආහාරය සඳහා නිවසට යන බව මේජර් රංජිත් අත්තනායකට කියා මම  කොලඹ යුද හමුදා මූලස්ථානයේ පිහිටි හමුදා රෝහලේ  රථ ගාල වෙත ගියෙමි.  

එම ස්ථානයේ නවතා තිබූ මාගේ මෝටර් රථයට නැගුනු මම අරලිය ගස් ආසන්නයෙන් රථය හරවා  යුද හමුදා මූලස්ථාන ප්‍රධාන මාර්ගයට අවතීර්ණ වූයෙමි. සිරිත් පරිදි යුද හමුදා බස් රථය එන තෙක් අරලිය ගස් අසල හමුදා සෙබළු රැඳී සිටි අතර එතැන සිටි මාගේ රෝගියෙකු වූ සෙබළ විමලසුරේන්ද්‍ර ඇතුළු කිහිප දෙනෙක් මගේ දෘෂ්ඨි පථයට හසු විය​. මා දුටු සෙබළ විමලසුරේන්ද්‍ර හමුදා ක්‍රමයට මට ආචාර කල අතර මම ඒ ආචාරය පිළි ගත්තෙමි.  

එදින එතරම් වාහන තදබදයක් නොතිබුනු නිසා මම කොලඹ යුද හමුදා මූලස්ථානයේ සිට හැව්ලොක් ටවුමේ ශාන්ති විහාර් හෝටලය ආසන්නයේ තිබෙන මාගේ නිවසට ප්‍රමාදයකින් තොරව ආවෙමි. නිවසට පැමිණි මා දිවා ආහාරය ගන්නවාත් සමගම දුරකතනය නාද විය​. කතා කලේ මාගේ ඥාතියෙකි. කොලඹ යුද හමුදා මූලස්ථානයේ බෝම්බයක් පිපිරී ඇති බවත් මා සුරක්‍ෂිතද කියා සොයා බැලීම සඳහා කතා කල බවත් ඔහු කීවේය​. ඒ විගසම මම යුද හමුදා රෝහලට කතා කලද දුරකථන මාර්ග අවහිරව තිබීම නිසා මට කිසිවෙකු සම්බන්ධ කර ගත නොහැකි විය​. එහෙත් පැයකට පමණ පසු මට කර්නල් වෛද්‍ය ටී.ඒ දයාරත්න සමග දුරකථනයෙන් සම්බන්ධ වීමට හැකි විය​. හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකාට ත්‍රස්තවාදීන් විසින් මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කොට ඇති බවත් ඔහු බරපතල ලෙස තුවාල ලබා රෝහල් ගත කර ඇති බවත් කර්නල් දයාරත්න මට කීවේය​. 

පසුව හෙලි වූ පරිදි එල්.ටී.ටී.ඊ මරාගෙන මැරෙන බෝම්බකාරියක් ගැබිණියක විලසින් හමුදා රෝහලට පැමින අරලිය ගස් ආසන්නයේ සිට හමුදාපතිවරයාගේ වාහනය එනවාත් සමගම  එම රථයට පැන තිබේ. මේ පිපිරීමත් සමග අවට සිටි හමුදා සෙබළුන් කිහිප දෙනෙකුද මිය යන ලදි. මිය ගිය සෙබළුන් අතර මාගේ රෝගියෙකු වූ විමලසුරේන්ද්‍රද වූ බව පසුව මට දැන ගන්නට ලැබුණි. 

යුද හමුදා රෝහලේ සේවය කල කාලය තුලදී අප නිතර ආවේ ප්‍රධාන දොරටුවෙනි. එහිදී නිසි පරිදි වාහන පරික්‍ෂා නොකරන බව මට පෙනුනි. පුද්ගලික වාහන වලින් මූලස්ථානය වෙත එන වාහන අංක නිතිපතා ලියා ගත යුතු වූවද එය සිදු වූයේ අතරින් පතරය​. එසේම හමුදා බ්‍රිගේඩියර්වරු සහ ජෙනරාල්වරු සඳහා මැද පාරක් තිබූ අතර එම වාහන නවතා පරීක්‍ෂාවක් කලේ නැත​. මේ නිසා කොටි ත්‍රස්තවාදියෙකුට යුද හමුදාවේ ජෙනරාල්වරයෙකුගේ නිල ඇඳුම ඇඳගෙන වාහනයක නැගී මැද පාරෙන් කෙලින්ම හමුදා මූලස්ථානයට ඇතුළු විය නොහැකිද කියා වරක් මම යුද හමුදා පොලිසියේ මාගේ මිත්‍ර නිලධාරියෙකුගෙන් ද ඇසුවෙමි. ඔහුද ආරක්‍ෂක දැල් වල හිඩැස් තිබෙන බව පිලිගත්තේය​. 

මීට අමතරව තවත් බරපතල දුර්වළතාවක් මම හඳුනා ගත්තෙමි. එනම් ගැබිණි කාන්තාවක් ආ විට හමුදා සෙබළුන් කිසිම වග විභාගයකින් තොරව ඇයව ගේට්ටුවෙන් ඇතුලට ගෙන බාහිර රෝගී අංශයට වත් නොඑවා ඇඳ ඉහපත රෙජිස්තර නොකර කෙලින්ම වාට්ටුවට ගෙන  යාමට පුරුදුව සිටියහ​. ගැබිණි මාතාවන් සඳහා ඔවුන් ඉතාම අනුකම්පා සහගත වූහ​. එහෙත් මෙම අනුකම්පාව භූමිකම්පාවක් විය හැකි බව මගේ සිත නිතරම කීවේය​. බොහෝ විට මම යුද හමුදා රෝහලේ බාහිර රෝගී අංශයේ රාත්‍රී වැඩ මුරය කරන විට කෙලින්ම වාට්ටුගත කරන ගැබිණි මාතාවන් ගේ  ඇඳ ඉහපත ලිවීම සඳහා ඔවුන් සොයාගෙන ප්‍රසූත වාට්ටුවට යාමට සිදුවිය​. මෙය අවිධිමත් ක්‍රියාවලියක් බව මම රෝහලේ මෙන්ම ප්‍රධාන ගේට්ටු වල මුර රාජකාරී වල යෙදෙන සොල්දාදුවන්ට කීප වරක්ම කීවෙමි. හමුදා රෝහලේ නාරි හා ප්‍රසව අංශය තිබුනේ ජෙනරාල් වෛද්‍ය ඩඩ්ලි පෙරේරා යටතේය​. මම වරක් ජෙනරාල් ඩඩ්ලි පෙරේරාටද මේ බව පෙන්වා දුන්නෙමි. එහෙත් මෙම අවිධිමත් ක්‍රියා පිලිවෙල නිවැරදි වූයේ නැත​. කෙසේ නමුත් එල්.ටී.ටී.ඊ සංවිධානය මෙම සියළු දුර්වලතා අධ්‍යනය කොට ඔවුන් ගේ මරාගෙන මැරෙන බෝම්බකාරිය හමුදා මූලස්ථානයට එවන ලදි. මෙම කාන්තාව නාරි හා ප්‍රසව සායනයේ ලියාපදිංචිවද සිටි බව පසුව හෙළි විය​. 

මෙම බෝම්බ පිපිරීමෙන් පසු එදින හමුදා මූලස්ථානයට පැමිනි සියළු පුද්ගලික වාහන හිමිකරුවන්ට රහස් පොලිසිය වෙත පැමිණ කට උත්තර දීමට සිදු විය​. මාද එදින මාගේ පුද්ගලික මෝටර් රථයෙන් හමුදා රෝහල වෙත ගිය නිසා මටද කැඳවීමක් ලැබේ කියා බලාපොරොත්තුවෙන් සිටියෙමි. එහෙත් මේ වන තෙක් මට කැඳවීමක් ලැබුනේ නැත​.  හේතුව එදින යුද  හමුදා මූලස්ථානයේ ප්‍රධාන දොරටුව අසල රාජකාරී කල සොල්දාදුවන් මාගේ රථයේ අංකය ලියාගෙන නැත​. ඔවුන් කොතෙක් අපරික්‍ෂාකාරී ලෙස රාජකාරී කලේද යන්න මින් මට පෙනී යන ලදි. 


 වෛද්‍ය රුවන් එම් ජයතුංග 

4 comments:

  1. යුද හමුදා රෝහලින් සාමාන්‍ය ජනතාවටත් ප්‍රතිකාර ලබා ගැනීමේ හැකියාවක් තිබුනද?

    ReplyDelete
    Replies
    1. හමුදා සොල්දාදුවන් සහ ඔවුන් පවුල් වල අය සඳහා පම​ණි

      Delete
  2. I used to go to the military hospital in 80s whenever I was sick (up until I reached 18) because my father worked for the army. Infact our whole family had this privilege. It was then a very pleasant environment and well equipped hospital. People were way friendly (I hope it is still now).

    It was no surprise and easy target given the lax security then.

    Sad to see the facility disappeared into Shangri La.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook