Wednesday, October 4, 2017

අබේකෝන් ටීචගේ පන්ති වල


1973 නාලන්දාවේ එක වසරට මා ආවේ මාසයක් ඉසිපතන විද්‍යාලයේ ගත කිරීමෙන් අනතුරුවය​. මේ නයින් මම ඉසිපතන විද්‍යාලයේද ඉගන ගෙන තිබේ.  ඉසිපතන විද්‍යාලයේ ලොකු කෝන් ගස අසල අපගේ එක ශ්‍රේනියේ පන්ති තිබුනේය​. පසු කාලයක එනම්  2004 දී මම අධ්‍යාපන ප්‍රතිකාර පිලිබඳ දේශනයකට ඉසිපතන විද්‍යාලයට ගිය අතර මෙම කෝන් ගස මම යලි දුටුවෙමි. 

ඒ කාලයේ ඉසිපතන විද්‍යාලයේ එක වසරේ පන්ති ආරම්භ කලේ දහවල් 12 පසුවය​. මේ නිසා මෙම කාල සටහන දෙමාපියන්ට උචිත නොවීය​. මේ හේතුවෙන් මාව ඉසිපතන විද්‍යාලයෙන් ඉවත් කරගෙන නාලන්දාවට ගෙන එන ලදි.  මා නාලන්දාවට ආවේ මාසයක් පමණ පරක්කුවී ය​. නාලන්දේ එක ඩී පන්තියේ මාස දෙකක් පමණ ගත කර ඉන්පසු මාව අබයකෝන් ටීචගේ එක ඒ පන්තියට දමන ලදි. එක ඒ පන්තියේ සිටි සිසුන් අතර මංගල දිසානායක , සෝභිත රාජකරුණා, නමිල් වික්‍රමසිංහ , කුශාන්ත දිසානායක , සිසිර දාබරේ , සුනන්ත වික්‍රමසූරිය , උපේන්ද්‍ර , ඩයස්,  රමේශ් ද සොයිසා යන සිසුන් මට මතකය​. රමේශ් ද සොයිසා කොට මහත ළමයෙකි. ඔහුගේ සමේ කොරළ තිබුනේය​. එහෙත් ඔහු ඉතා ප්‍රිය මනාප සිසුවෙකු වූයේය​. පසු කාලයක රමේශ් මිය ගිය බව මට ආරංචි විය​.  

1974 දී මම දෙවන වසරට සමත් වූයෙමි. අපගේ පන්ති භාර ගුරුවරිය වෙනස් නොවූ  ​අතර අබයකෝන් ටීච අපගේ පන්තිය භාර ගත්තාය​.  දෙවන ශ්‍රේණියේදී අපට සතියට දින කීපයක් ඉංග්‍රීසි උගන්වන ලදි .  ඉංග්‍රීසි ඉගැන්වීම සඳහා ආවේ ශරීර ප්‍රමාණයෙන් කුඩා ගුරුවරියකි. වරක් මේ ගුරුවරිය පන්තියට පැමිණි විට ඇයට ගුඩ් මෝනිං කීම සඳහා ළමුන් නැගිට්ටෝ‍ය​. ඒ අතරවාරයේදී මම මා ඉදිරියෙන් සිටි සුසන්ත සමරවික්‍රමගේ පුටුව හිමීට කකුලෙන් පසුපසට ඇද්දෙමි. සුසන්ත දඩබඩ ගා බිම ඇද වැටුණු අතර ඔහු සිතුවේ නිස්සංක ඔහුගේ පුටුව ඇද්දා කියාය​. ඒ කාලයේ මා විසින් කරන ලද වැඩ වලට අසු වූයේ නිස්සංකවය​. 

සුසන්ත සමරවික්‍රම පසු කාලයක නාට්‍ය කලාව කෙරෙහි ලොල් විය​. ඔහු ප්‍රසන්න අළුත්ගේ , ධම්මික වීරවර්ධන යනාදීන් එක්ව නාට්‍ය කළහ​. සුසන්ත පොතේ ගුරු විය​. වරක් උසස් පෙළ කරන සමයේ ප්‍රසන්න අළුත්ගේ  නාට්‍යක් කල අතර සුසන්ත පොතේ ගුරු ලෙස ස්ක්‍රිප්ට් එක කියවීය​. මෙම නාට්‍යය පෙන්වන ලද්දේ ආනන්ද මහා විද්‍යාලයේ කුලරත්න ශාලාවේදීය​. මෙය නැරඹීමට එවකට ආනන්දේ විදුහල්පති වූ කුඩලිගම මහතාද ඇවිත් සිටියේය​. නාට්‍ය අරඹා තරමක් දුර යන විට ප්‍රසන්න අළුත්ගේ සහ අනෙකුත් නළුවෝ සික්‍රිප්ට් එකේ නොමැති දෙපිට කැපෙන කතා කීවෙන් සුසන්ත අන්ද මන්ද විය​. මේ නිසා ආනන්දේ විදුහල්පති කුඩලිගම මහතා නැගිට යන්නට ගිය අතර පසුව ඔහු මෙම නාට්‍යය ගැන නාලන්දේ විදුහල්පතිතුමාට ලිපියක්ද එවා තිබුණි.

දෙක වසරේදී අප දෙහිවල සත්තු වත්ත බැලීමට ගියෙමු. සත්තු වත්ත බලා  අප දහවල් ආහාරය සත්තු වත්ත තුලදීම ගත්තෙමු. අප බිම වාඩිවී බත් පැකට් ඇරගෙන කෑවෙමු. අප සමග සිටි නමිල් වික්‍රමසිංහ නිතරම ඇන්දේ බාජු කලිසම් ය​.   නමිල් බිම වාඩිවී දෙපා ඈත් කරගෙන  තම බත් එක දෙපා මැද තබාගෙන කන විට අශෝක ජයවර්ධන "ඔන්න ඔන්න නමිල් ලයිට් දාලා" කියා කෑගැසුවේය​. එවිට කොල්ලන් කෑම නවත්වා නමිල් ගේ බාජු කලිසම දෙස බැලූහ​. එවිට අබේකෝන් ටීච පැමින අශෝක ජයවර්ධනට තරවටු කොට නමිල් ගේ දෙපා සකස් කලේය​. (නමිල් වික්‍රමසිංහ තුන වසරේදී එංගලන්තයේ පදිංචියට යන ලදි )

දිවා ආහාරයෙන් පසු අපට ඇඹුල් කෙසෙල් ගෙඩිය බැගින් දෙන ලදි. කෙසෙල් ලෙලි විසි නොකොට ඒවා එකතු කර ගෙන බස් එකේ යන විට පාරේ යන මිනිසුන්ට  කෙසෙල් ලෙලි  වලින් දමා ගසමු කියා මම යෝජනා කලෙමි. මෙය ඇසුනු සන්ජීව ගේ අම්මා " මෙන්න ටීච ළමයෙක් කෙසෙල් ලෙලි  වලින් පාරේ යන මිනිසුන්ට ගහමු කියනවා " කියා මහ හඞින් අබේකෝන් ටීචට කීවාය​. 

සංජීව නෝන්ජල් ලෙඩ ගනනේ සිටි ළමයෙකු විය​. ඔහුගේ කරේ පත සුරයක් තිබූ අතර ගතින් බෙහෙත් තෙල් ගඳ වහනය විය​. ඔහුගේ ඔවර් ප්‍රොටෙක්ටිව් මව  නිති පතා  ඔහු සමග පාසලට ආ අතර නිතරම සංජීව අසලින් සිටියාය​. පන්තියේදී සමහර විට සංජීවගේ මව ළමයින් ආම්බාන් කිරීමට අබේකෝන් ටීචට උදව් කරාය​. එහෙත් ඇය අපගේ වැරදි අබේකෝන් ටීචට කීම නිසා අප වාඩුව ගත්තේ සංජීව ගෙනි. වරක් සුජීව ලංකාතිලක අඹයක් කමින් මුත්‍රා කිරීමට වැසිකිලියට ගිය අතර සංජීව ගේ මව මෙය අබේකෝන් ටීචට කීවාය​. මේ නිසා  සුජීව ලංකාතිලකට කක්කුස්සියේ අඹ කෑම කියා නමක්ද පට බැඳුනේය​. පසු කාලයක ලංකාතිලකට ලංකට් බායියා කියා නමක්ද වැටුණි. 

මා විසින් කියූ කෙසෙල් ලෙලි කතාව ඇසූ අබේකෝන් ටීච " කවුද ඔය කතාව කිව්වේ නිස්සංකද ? කියා ඇසුවාය​. " නෑ ටීච මේ රුවන් " කියා ඇය ප්‍රති උත්තර දුන්නාය​. මේ කාලයේ මගේ මව සේවය කලේ විශයමාළා සංවර්ධන මධ්‍යස්ථානයේය​. ඒ කාලයේ ගුරුවර ගුරුවරියන්ට සිලබස් අවශ්‍ය වූ විට ඔවුන් මාව සොයා විත් අම්මාට දෙන්න කියා ලියුම් දෙති. මේ නිසා ටීචස්ලා අතර නමක් තියාගෙන සිටි මගේ නම මෙම කෙසෙල් ලෙලි කේස් එක සමග වර්චස් වී ගියේය​. එපමණක් නොවේ නිස්සංක මා වෙත පැමිණ "ඕයි තමුසේ කරන වැඩ වලට මාවයි අහු වෙන්නේ " කියා සැරයක්ද දැම්මේය​. (නිස්සංක ගේ සම් පූර්ණ නම තිලක ශ්‍රී නිස්සංකය අප ඔහුට ඉස්සා කියා කීවෙමු. පසු කාලයක -හය වසරේදී  නිස්සංක ඩෙන්මාර්කයේ පදිංචිය සඳහා ගියේය​)

කෙසෙල් ලෙලි කේස් එක නිසා අබයකෝන් ටීච බස් එකේදී ඇය අසලින්ම මට වාඩි වන ලෙස කීවාය​. එහෙත් මට අවශ්‍ය වූයේ අශෝක ජයවර්ධන , නිස්සංක , සනත් තිසේරා, සීවලි පෙරේරා ,ජගත් බණ්ඩාර යනාදීන් සිටි පසු පසට යාමටය​.  නමුත් ඒ සඳහා අවකාශයක් නොවීය​. මට අනෙක් පැත්තේ සංජීවද ඔහුගේ මවද වූයෙන් මාගේ ප්‍රමෝදයට අගුල් වැටුනේය​. මේ නිසා මම වරින් වර සංජීව ගේ සපත්තුව පෑගුවෙමි. ඒ අතරවාරයේදී අනෙකුත් සිසුන්  බසයේ පසුපස හදිසි දොරටුව ඇරගෙන ගීත ගායනා කරමින් සිටියෝය​. 

පන්තියේ අපව කණ්ඩායම් වලට බෙදා තිබුනේය​. මා සිටි කණ්ඩායමේ සුගතපාල​, රමේශ් සොයිසා , සංජීව​, චන්දික විජේසේන , කපිල ජාසිංහ, පසන් ගුරුගේ සහ සමන්ත කුමාරතුංග වූහ​. සුගතපාල කණ්ඩායමේ නිල නායකයා වූවද කොල්ලන් අතර නායකත්වය හිමි වූයේ මටය​. මේ නිසා සුගතපාල නාමික මූලිකයා විය​. මම කියන දඟ වැඩ කොල්ලෝ එක හෙලා ඉටු කළහ​. වර්තමානයේ කෝපි කඩය ටෙලි නාට්‍යය අධ්‍යක්‍ෂනය කරන චන්දික විජේසේන  එකල මගේ දකුණත් සව් විය​. චන්දික විජේසේන විවේක කාලයේදී රිලේ දිවීය​. ඒකාලයේ ඔහුව හඳුන්වන ලද්දේ පැට්ටා කියාය​.

සංජීව ගේ අම්මා අප  කියන කරන දේ අසාගෙන ඉන්නා නිසා අප එකිනෙකා සමග කතා කලේ රහසෙනි. තවද අප සියළුදෙනා සංජීවව සයිඩ් එකට දමා තිබුණි. නෝන්ජලයෙක් වූවද සංජීවට අප කරන මැරෑටි වැඩ කිරීමට අවශ්‍ය වූවද ඔහුගේ අම්මා නිසා ඔහු නිරතුරුවම පසෙකට වී සිටියේය​.  

අප ඔන්චිල්ලා පදින විට අහසේ වදින නොවදින ගනනට උඩ ගියෙමු. සංජීවට මව ඉඩ දුන්නේ සීසෝ පැදීමට පමණි. එහෙත් වරක් මමත් කපිල ජාසිංහත් එක පසෙකද සංජීව අනෙක් පසද දමා සීසෝ පැද සංජීව සීසෝ එකේ ඉහලට දමා එක් වරම අප සීසෝ එක අතහැර ඉවතට දිව ගියෙමු. සංජීව දොග් ගා බිම වැටුණු අතර සංජීව ගේ මව මෙම ක්‍රියාව ගැන අබයකෝන් ටීචට කීවාය​. එදින මටත් කපිල ජාසිංහටත් අබයකෝන් ටීච ගෙන් අත්ලට අඩි රූල් පහර ලැබුණි. 

වරක් මාගේ නැන්දා ජපානයට ගොස් එන විට කුඩා රබර් තෑගි ලෙස ගෙම්බෙකු ගෙනාවාය​.  මෙම ගෙම්බා කුඩා රබර් බටයකට සවි කොට තිබූ අතර එම බටය කොනේ අත්ලට ගත හැකි කුඩා රබර් පොම්පයක් විය​. මෙම පොම්පය මිරිකීමේදී ගෙම්බා පිහිනිමේ චලනයක යෙදෙයි. මමත් සමන්ත කුමාරතුංගත් මෙම රබර් ගෙම්බා ගෙන අත්ල මත තබා සිංදු ටීචට පෙන්නුවෙමි. ගෙම්බා දුටු ඇය ඊක් කියා බියෙන් ඉවත පැන්නාය​. මේ ප්‍රායෝගික අභ්‍යාසයෙන් පසු අප සංජීව ගේ අම්මා බිය කිරීමට ඇය අසලින් මෙම රබර් ගෙම්බා තැබූ නමුදු ඇය ගෙම්බාට බිය නොවූවාය​. පසුව මම මේ ගෙම්බා  මුද්දර පොතකට සමන්ත සමග හුවමාරු කර ගත්තෙමි.  එම මුද්දර පොත අද දිනය දක්වා මා  ලඟ සුරක්ශිතව තිබේ. 

පසන් ගුරුගේ අපගේ කණ්ඩායමේ වූවද සමහර විට ඔහු අප විසින් කරන මැරෑටි වැඩ වලට සහභාගී නොවූයේ අබයකෝන් ටිචට තිබෙන බිය නිසාය​. මේ නිසා අප පසන් ගුරුගේටද වරින් වර පෝරියල් දුන්නෙමු. වරක් ගුරුගේ ඔන්චිල්ලා පදින විට මමත් සමන්තත් අප දෙදෙනා පදිමින් සිටි  ඔන්චිල්ලාවෙන් බැස එය හරහට තල්ලු කලෙමු. ඔන්චිල්ලාව හරහට එනු දුටු ගුරුගේ පසෙකට පැනගත් නමුදු එය තුනේ පන්තියේ සිටි ළමයෙකුගේ ඇඞේ වැදුනේය.මේ ළමයා අඞාගෙන ගොස් තම පන්ති භාර ගුරුවරිය වූ සුමතිපාල ටීචට කීවාය​. සුමතිපාල ටීච මටත් සමන් තටත් ඇයගේ පන්තියට එන්නට කියා නඩුව ඇසුවාය​. ඔන්චිල්ලාව හරහට තල්ලු කලේ මා බව සමන්ත කීවේය​. මා කීවේ එය එසේ කලේ සමන්ත බවයි. මේ නිසා සුමතිපාල ටීචට වරදකරුවා සොයා ගැනීමට අපහසු වූයෙන් පොදුවේ අප දෙදෙනාට මින් මතු ඔන්චිල්ලාව හරහට තල්ලු නොකරන ලෙසට තර්ජනය කොට අප දෙදෙනාව නිදහස් කරන ලදි. 

අපගේ පන්තියේ සිටි හොඳ ළමුන් අතර සෝබිත රාජකරුණා ජානක රුවන්පුර ගැන සඳහන් කල යුතුය​. සෝබිත රාජකරුණා රාජ්‍ය නීතීඥවරයෙකි. ජානක රුවන්පුර වර්තමානයේ කැනඩාවේ විශ්ව විද්‍යාලයක මහාචාර්‍යවරයෙකි.   එසේම ඔහු විශේෂඥ ඉංජීනේරුවෙකි.  ජානකත් මමත් 1973 දී අබයකෝන් ටීච ගේ 1 ඒ පන්තියේ සිටි අයුරු මට තවමත් මතකය​. ඔහු 1, 2 ,3 යන තෙවසරක්ම මගේ පන්ති වල සිටියේය​. පාසල් කාලයේදී ඔහු ඉතා විනීත ගති පැවතුම් ඇති දක්‍ෂ සිසුවෙකු විය​. ඒ කාලයේදී ඔහු ඉස්කෝලයට ආවේ පියාගේ ලා කොල පැහැති මෝටර් රථයෙන් බවට මතකයක් තිබේ. 

 තුන වසරේදීද අපගේ පන්ති භාර ගුරුවරිය වූයේ අබයකෝන් ටීචයි.  තුන වසරේදී අප  ගණිත ක්‍රම ඉගෙන ගත්තෙමු. අපගේ පරම්පරාවට අංක ගණිතය ඉවත් කොට නව ගණිතය නම් අළුත් ගණිත ක්‍රමයක් ඉදිරිපත් කොට තිබුනේය​. මේ නිසා අප නව ගණිතය ඉගෙන ගැනීමේදී වැලි කිරුවෙමු, වතුර බෝතල් වලින් වෙනත් භාජන වලට පිරවූයෙමු. වතුර සමග ඉගෙනීමේ කටයුතු කිරීමේදී සංජීවගේ ඇඟට වතුර විසි වෙන ලෙසට ක්‍රියා කල නිසා අපගේ කණ්ඩායමේ මමත් සමන්තත් කපිල ජාසිංහත් අබයකෝන් ටීච ගෙන් ගුටි කන ලදි. කෙසේ නමුත් අංක ගණිතය වෙනුවට නව ගණිතය ඉගෙනගත් අපගේ පරපුර පොදුවේ ගණිත විශයට දුර්වලකම් පෙන්වන ලද බව මට සිතේ. 

මේ කාලයේදී අපට ජන ගී පාඩම් කරවන ලදි. තුනේ සිංහල අච්චු පොතේ එක කවියක පේලි කීපයක් මට තවමත් මතකය​. එහි තිබුනේ අතේ ඇඟිලි විසින් තම තමන් ගේ පුරාජේරුව ගැන කියන අන්දමයි. එක් ස්ථානයක මෙසේ තිබුනේය​. " ගොවිතැන් ආදියට ගියත් පැත්තක් තනියම ඒ නිසා පට බැන්ද කෙනෙකි මම .... මෙම කවිය කීමේදී මමත් සමන්ත කුමාරතුංගත් ඒ නිසා පට බැන්ද කෙනෙකි මම කීම වෙනුවට බැන්ද කෙනෙකි ගුරුගේ කියා කීවෙමු. මේ අනුව ගුරුගේ කසාද බැඳි කෙනෙක් බව කියා අප ඔහුට විහිළු කලමු. අපගේ විහිළු නිසා ඔහු අප ගැන අබයකෝන් ටීචට පැමිණිලි කිරීමට උත්සහ ගනිත්ම අප ඔහුව ශේප් කර ගත්තෙමු. ගුරුගේව ශේප් කර ගැනීම සඳහා අප ඔහුට ස්ටිකර් දුන්නෙමු. ලස්සන රූප තිබෙන ඇලවිය හැකි ස්ටිකර් හදන්නේ කෙසේද කියා ගුරුගේ ඇසුවේය​. ස්ටිකර් හදන්නේ පොල්තෙල් වලින් කියා සමන්ත කුමාරතුංග කීවේය​. තමන් ගෙදරින් පොල්තෙල් බෝතල් භාගයක් ගෙන ආවහොත් ස්ටිකර් හදා දිය හැකිද කියා ගුරුගේ සමන්තගෙන් ඇසුවේය​. 

තුන වන පන්තියේ සිටියදී අප බොහෝ විනෝද චාරිකා වල නියැළුනෙමු. කොලඹ වරාය , කොලඹ කටුගෙය​, ඔරුවල වානේ කම්හල , සීදූව අයිස් කම්හල​,  තුල්හිරිය පෙහෙ කම්හල දළදා මාලිගාව , පේරාදෙනිය මල් වත්ත බැලීම සඳහා අප අබයකෝන් ටීච සමග ගියෙමු. මේ චාරිකා ගියේ ඊබට් සිල්වා බස් වලිනි. 

1975 අග වන විට අප තුන් වන පන්තිය අවසන් කරමින් සිටියෙමු. ඒ සමගම අබයකෝන් ටීච විශ්‍රාම යන බවද කියවිනි. එහෙත්  සිසුන් බොහෝ දෙනෙකුට විශ්‍රාම යන කතාව තේරුනේ නැත​. බොහෝ දෙනෙකු සිතුවේ ඇය විශ්‍රාම ගොස් යලි ලබන වසරේ එනු ඇත කියාය​. 

අබයකෝන් ටීච විශ්‍රාම යන දිනයේදී පාසලේ රැස්වීමක් තිබුනේය​. එම රැස්වීමේදී ධර්ම ගුණසිංහ මහතා කතා කලේය​. ඉන් වසර විසි හතකට පසුව මාගේ අධ්‍යාපන ප්‍රතිකාර පොත දොරට වැඩි දිනයේදී ධර්ම ගුණසිංහ මහතා කතාවක් පැවැත්වීය​. මෙම පොත මා පිළිගන්වා තිබුනේ අබයකෝන් ටීචටය​. මේ උත්සවයේදී ධර්ම ගුණසිංහ මහතා අබයකෝන් ටීච ගැන කතා කලේය​. එවිට මට 1975 වසරේදී අබයකෝන් ටීච විශ්‍රාම ගිය දින ධර්ම ගුණසිංහ මහතා කල කතාව මතකයට ආවේය​.  

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

6 comments:

  1. හරිම ලස්සන අතීතයක්.මමත් ඒ සමග පන්නිපිටිය ධර්මපාලයේ මගේ අතීතයට ගියා.හිතට සිසිලක් දැනුනා.ඔබට ස්තූතියි රුවන්.(සීවලී දැන් කොහෙද?)හොඳ මිතුරෙක්.

    ReplyDelete
    Replies
    1. සීවලී හිටියේ අපේ පේලියේ මතකද ? සීවලී යූකේ ගියා

      Delete
  2. ඒ කාලය සිහි වේ. ගම්වල පාසල්වල ද මූලික වශයෙන් තිබුණේ මෙවැනි දේ ම ය.

    ReplyDelete
    Replies
    1. අජිත් ඒකාලේ කොලඹ ප්‍රාථමික ශ්‍රේනි සහ ගමේ පාසල් අතර වැඩි වෙනසක් තිබුනේ නෑ , බහුතරය ඉස්කෝලෙ ආවේ බස් වල , ටීචර්ලා බහුතරය අර්ධ ග්‍රාමීය​.

      Delete
  3. Really happy to read your beautiful childhood experiences!!

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook