Wednesday, September 6, 2017

සැන්ටිපෝට්

 



කැනඩාවේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයා විසින් නිකුත් කරන සහතිකය 

අපගේ විද්‍යාලය අසල හෝටල් කීපයක් විය​. ඒවා අතරින් සාන්ත සිරි හෝටලය කොල්ලන් ගේ තිප්පලක් වූයේය​. මේ හැර බොරැල්ලේ උපවංශ හෝටලයද කොල්ලෝ ආක්‍රමණය කොට තිබුනේය​. මෙම උපවංශ හෝටලයට කොල්ලන් කීවේ උපදංස හෝටලය කියාය​. තවද කොල්ලෝ බොරැල්ලේ සහ මරදානේ තිබූ තෝසේ කඩ සියල්ලම අතැඹුලක් සේ දැන සිටියහ​. මේ සියළු හෝටල් සැන්ටිපෝට් මහතාට පරාණ බයක් දැක්වූහ​. මේ නිසා අප මෙකී හෝටල් පසුපසට ගොස් එහි තිබෙන නරකාදිය දෙස​ බලා සැන්ටිපෝට් මහත්තයාට මේවා ගැන කියන්න ඕනේ කියා හෝටල්කරුවන් කුපිත කෙරුවෙමු. 

ඒකාලයේ සැන්ටිපෝට් මහතා එන විට කඩේ මුදලාලි සීතල වෙයි. ඔහු සැන්ටිපෝට් මහතා පිලිගන්නේ රාජ්‍ය නායකයෙකු පිළිගන්නාක් මෙනි. සැන්ටිපෝට් මහතාව මේසයක ඉන්දවන මුදලාලි හෝටලයේ තිබෙන ඉස්තරම් ආහාර වලින් ඔහුට සංග්‍රහ කරන අතර බෝතල් බාගයක්ද මේසයට ගෙනැවිත් දෙයි. කා බී හමාර වීමෙන් පසු මුදලාලි සැන්ටිපෝට් මහතාගේ උඩ සාක්කුවට නෝට්ටු කීපයක්ද දමයි. ඉන් පසු සැන්ටිපෝට් මහතා වැනි වැනී හෝටලයෙන් පිටවෙයි. මේ දශක කීපයකට පෙර තිබූ තත්වයකි.

පසු කාලයක මේ  සැන්ටිපෝට් මහතා කියන්නේ පී.එච්.අයි හෙවත් පබ්ලික් හෙල්ත් ඉන්ස්පෙක්ටර් නොහොත් මහජන සෞඛ්‍ය පරීක්‍ෂක බව තේරුම් යන ලදි. 

මිනිපේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ලෙස සේවය කරන කාලයේ මා යටතේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයෙක් සිටියේය​. පොලිසියේ ඉන්ස්පෙක්ටර මෙන් කාකි නිල ඇඳුම ඇඳ ඔහු මෝටර් සයිකලයෙන් එයි. මම ඔහු සමහ මිනිපේ ප්‍රදේශයේ හෝටල් සහ තානායම් වටලා මහජන සෞඛ්‍යට නුසුදුසු ආහාර පාන තිබේද කියා සොයා බැළුවෙමි. සමහර හෝටල් වල තත්වය ඉතා නරක විය​.   මසක් ඇතුලත හෝටලයේ තත්වය දියුණු නොකරගත්තේ නම් නඩු දමන බවට අප හෝටල් හිමියන්ට තර්ජනය කලෙමු. අපගේ තර්ජනයට බයින් ඔවුන් හෝටල් පිරිසිදු ලෙසින් පවත්වා ගත්හ. පසු කාලයක මෙම මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයාට ඇසේ පිලිකාවක් වැළඳිනි. හදිසියේ මාගේ පැරණි  සෞඛ්‍ය වෛද්‍ය කාර්‍යාලයට ගිය විටදී මම ඔහුව දුටුවෙමි. ඔහු බොහෝ සෙයින් කෙට්ටුවී සිටි අතර අක්‍ෂි ගෝලයෙන් කොටසක් ඉවත් කොට තිබුනේය​. 

පුත්තලම දිස්ත්‍රික්කයේ මානසික සෞඛ්‍ය සම්බන්ධීකරණ නිලධාරී ලෙස සේවය කරන සමයේදී මම වෛද්‍ය මනෝජ් ප්‍රනාන්දු සහ ඇඩික් ආයතනයේ පුබුදු සුමනසේකර මහතුන් ගේ සහායෙන් මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් සඳහා දුම් වැටි සහ මත් ද්‍රව්‍ය නිවාරණය ගැන පුහුණුවක් දුන්නෙමි. ඉන් පසුව පුත්තලම දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරු සමහරක් ඉතා උනන්දුවෙන් දිස්ත්‍රික්කයේ දුම් වැටි සහ මත් ද්‍රව්‍ය නිවාරණ වැඩ කළහ​.  මේ හැර ද්වී භාෂා හැකියාව තිබෙන මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරු මගින් පුත්තලම දිස්ත්‍රික්කයේ  සෞඛ්‍ය අධ්‍යාපන වැඩසටහන් ද අප කලෙමු. මේ වැඩසටහන් සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් වූ හේරත් ,  එම් . ගවුස්  , චමිල නාගොඩවිතාන යන මහතුන් විසින් ඉතා අනර්ඝ සහයක් දෙන ලදි 

කැනඩාවේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරු නියාමනය වන්නේ Canadian Institute of Public Health Inspectors (CIPHI) ආයතනය මගිනි.  මෙය ආරම්භ වන්නේ 1934 වැනි කාලයකදීය​. කැනඩාවේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරු නිති පතා හෝටල්, සුපිරි වෙලඳ සැල් , ආහාර නිපදවන කර්මාන්තශාලා, රෝහල්, රූප ලාවන්‍ය ආයතන , බාබර් සාප්පු , යනාදිය පරික්‍ෂා කරති. යම් අඩුපාඩු තිබුනහොත් නඩු දමනු ලැබේ. කැනඩාවේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයෙකුට විශාල බලයක් ඇත​. ඔහුගේ වැඩ වලට දේශපාලකයන් හෝ ඔවුන් ගේ ගෝල බාලයන් අත නොදමති. මෑතකදී එක් මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයෙකුගේ රිපෝට් එකක් නිසා ඉතා විශාල හෝටලයක් තාවකාලිකව වසා දමන ලද අතර මහජන සෞඛ්‍යට  අවදානම් වන ලෙස හෝටලය පවත්වාගෙන යාම නිසා හෝටල් හිමියා විශාල දඩයකට යටත් කරන ලදි. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

23 comments:

  1. මෙහෙත් එහෙමයි...සල්ලි අල්ලන අතින්ම මාළුපාන් එලවළු රොටි දෙන හැටි මනස්කාන්තයි. ෂර්ට් එකත් නැතුව කොත්තු ගහන එකාගේ දාඩිය වැටුනේ නැත්නම් කොත්තුවේ මෙලෝ රහක් නැත...ලයිට් එලියට ඇදෙන කෘමීන් ආප්ප පිටි බාල්දියට වැටීමෙන් ආප්ප වඩාත් රසවත් වෙයි !

    ReplyDelete
  2. මහජන සෞඛ්‍ය පරික්ෂකලා මෙහේ කුණු කෑම කඩවල් අල්ලන්න බැරි හේතුව ලෙසින් හැමදාම මතුරන මන්තරේ තමයි ප‍්‍රමාණවත් ලෙස පරික්ෂකයන් නැතිකම. කාලෙකට සැරයක් පාරට පැනලා බොරුවට හොටල් දෙකක් තුනක් අල්ලලා නඩු දානවා එයලා තාම ලංකාවේ රස්සාකරගෙන ඉන්නවා කියලා අපිට පෙන්නන්න.

    ReplyDelete
  3. ප්‍රමාණවත් තරම් මිනිස්සු නෑ තමයි. හැබැයි සුළුතරයක් ඇරෙන්න හුඟක් අය තමන්නෙ රාජකාරිය හොඳට කරනව.
    හුඟක්ම අපිරිසිදු කඩ තියෙන්නෙ මුස්ලිම් වෙළඳ ප්‍රජාව ට. එයාල ටිකක් ගණං ගන්නෑ.කොච්චර දඩ ගැහුවත් වැඩක් නැහැ ඒ හැටිමයි.

    හැබැයි කැනඩාව වගෙ නෑ 😁 😁

    ReplyDelete
    Replies
    1. කැනඩාවේ එහෙම වුනත්..
      ලන්කාවේ එහෙම වෙන්නෙ නෑ..

      Delete
  4. කැනඩාවේ එහෙම වුනත්..
    ලන්කාවේ එහෙම වෙන්නෙ නෑ........
    සුද්දන්ට එන්ඩ කියමු
    අපේ රට බලන්ඩ කියමු
    බලාල ඉගෙන ගන්ඩ කියමු අපි..........

    ReplyDelete
  5. ඔය සැන්ටිපෝට් කියන්නේ ඉංග්‍රීසි වචනයක් ද? ඕක හැදිලා තියෙන්නේ කොහොමද?

    ReplyDelete
    Replies
    1. මම අහල තිබ්බෙ නම් මෙහෙමයි ...සුද්දගෙ කාලෙ නගර සබාවල තිබ්බලු වෙනම සනීපාරක්ෂක අංශයක් ඒකට කිව්වෙ Sanitary board කියලලු. ඒකෙන් එවන නිලධාරියට මිනිස්සු කිව්වෙ "සැන්ටිබෝට් මහත්තය" කියලලු.

      සරුවජනෙල් කන්තෝරුව( Surveyor general's office) එතකොට කෝටුමස් කරනව (Court martialing) ..එව්වත් ඒ වගේ හැදිච්චි වචන.

      Delete
  6. ඉස්සර සැන්ටිපෝට් කිව්වේ දැන් පීඑච්චයි මහත්තයාටයි. සැන්ටිපෝට් වුණේ
    Sanitary Ward Inspector බව ‍මගේ පංතියකට පැමිණි වයස අවුරුදු 60ත් ඉක්මවූ වැඩිහිටි සිසුවෙක් පෙන්වා දුන්නා.
    http://www.w3lanka.com

    ReplyDelete
    Replies
    1. මගේ ලඟත් ඉන්නව රිටයර් වෙච්චි සැන්ටිපෝට් එකෙක්.. උගෙන් ඇහුවට ඌ දන්නෙත් නෑ.. අනිත් උන් ඔක්කොම ඌට පීඑච්චයි කියද්දී මං කියන්නේ සැන්ටිපෝට් මහත්තයා කියල.. මට ඒක හෙන ආතල්.. ඒ උනාට ඌ නං ඇඹරෙනවා එහෙම කියනකොට.. හෙහ්..

      උත්තර වලට ස්තුතියි !!!

      Delete
  7. කොලොන්නාවෙ නං පීඑච්අයි මහත්තුරු නැතිම ගානයි

    ReplyDelete
    Replies
    1. උන් කන්නෙ ඉස්තරම් විදිය​ට

      Delete
  8. මා උසස්පෙළ කරන සමයේ උපකාරක පන්තියකට ගොස් එන අතරතුරදී ටවුමේ හෝටලයකට ගොඩ වැදී කොත්තුවක් ඕඩර් කලෙමි. අපිරිසිඳු කඩයකි. ඉතා අපිරිසිඳු කඩයක් උනත් ඒ කාලයේ අපිට ගානක් නැත. කොත්තු ආහාරයට ගැනීමට පටන් ගත් විටම කොත්තුව තුලින් පිළුණු රසයක් දැනුණි. මා ටිකක් තද ස්වරුපයෙන් මුදලාලිට කෑගැසුවෙමි. පාසල් යන කාලයේ යොවුන් වියේ පසු වූ බැවින්දෝ මාගේ කතා විලාශය තරමක් රළු විය.

    එවිට කොත්තු ගැනීමට පැමිණි 4-5 දෙනකු තම කොත්තු ඇනවුම් කැන්සල් කර යන්නට ගියේය. මා නිසා මුදලාලිට තම පාරිභෝගිකයින් අහිමි වීම නිසා මුදලාලිට මා සමග යක්ශාරූඩ විය. දැන් මුදලාලි සහ ගෝලයෝ මගෙන් ගේම ඉල්ලති. හය හත් දෙනෙකු මා වට කරගෙනය . මේ ඔවුන් සැරසෙන්නේ මට පහර දීමටය. ක්ෂණිකවම මාගේ මොලේ පෑදිනි. එවිට මා " උබල එකෙක් හරි මට අත තිබ්බොත් මගේ බාප්පට කියනවා " එවිට මුදලාලි " ඇයි උබේ බාප්පා මහා කෙරුමෙක් ද ? " මගේ බාප්පා කොලබ පැත්තේ වැඩ කරන්නේ. එයා PHI කෙනෙක්.

    එවිට ගේම ඉල්ලු සියලු දෙනාම පසු බසින්නට විය. නමුත් මාගේ බාප්පා PHI කෙනෙකු නොවේ. ඔහු විදේශ අමාත්‍යංශයේ තනතුරක් දැරූ අයෙකි.

    මා මෑතක ගමේ යනවිට එම හෝටලය වසා වෙනත් අයෙකු හර්ඩ් වෙයාර් එකක් දමා තිබුණි. පසුව ආරංචි වූ හැටියට ඔහුගේ කඩේ මිට 18 වසරකට පෙර බංකොලොත් වී ඇත.

    ReplyDelete
  9. ලංකාවෙ හොටල් වලට එයාල එනවද?
    ඉස්සර අපේ පැත්තෙ (කුරුණෑගල) ග්‍රේඩ් එක ගහල තිබ්බා ඉස්සරහින්

    ReplyDelete
    Replies
    1. ආරාධනා කලොත් එනවා

      Delete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook