Sunday, March 20, 2016

කෙමරූජ් භීෂණය

කෙමරූජ් භීෂණය

කර්තෘ : වෛද්‍ය රුවන් එම් ජයතුංග 

සරසවි ප්‍රකාශනයකි


ඔබ ව ජීවත් කැරැවීම වාසියක් නො වේ. ඔබ ව විනාශ කිරීම ද අවාසියක් නො වේ.˜  නූතන ශිෂ්ටාචාරය මහා මිනිස් සංහාර තුනක් අත්දැක තිබේ. එකක්, හිට්ලර් විසින් යුදෙව් වැසියන්  හැට ලක්ෂයකට අධික සංඛ්‍යාවක් ඝාතනය කරනු ලැබීම යි. දෙ වැන්න, කාම්බෝජයේ බලයට පත්  පොල්පොට් එම රටේ මුළු ජනගහනයෙන් කාලකට ආසන්න පිරිසක් විනාශ කිරීම යි. තුන් වැන්න,  රුවන්ඩාවේ දී හත් ලක්ෂයක වැසියන් පිරිසක් මාස පහක් වැනි කෙටි කාලයක් ඇතුළත සංහාරයට ලක්  වීම යි.  පළමු ව කී සංහාරය සහ අවසානයේ කී සංහාරය ගැනෙන්නේ ජාතිය, වර්ගය සහ ගෝත්‍රය මුල්  කරගෙන සිදු කළ ම්ලේච්ඡ ක්‍රියාවන්ට ය. කාම්බෝජය හෙවත් කම්පුචියාවේ දී එය සිදු කෙරුණේ,  ජාතියක් වර්ගයක් හෝ ගෝත්‍රයක් වෙනුවෙන් නො ව, ඊට වඩා සංකීර්ණ යුතෝපියානු සමාජ  අභිලාෂයක් වෙනුවෙන් ය. එය හැඳින්වෙන්නේ සමාජයීය යාන්ත්‍රික කළමණාකරණය  යනුවෙනි.  

ලෝකය මේ දක්වා දුර ඇවිත් තිඛෙන්නේ, පුද්ගල මැදිහත්වීම් හරහා සමාජය පරිවර්තනයන්ට  භාජනය වීමේ ප්‍රතිඵලයක් වශයෙනි. එ වැනි පුද්ගල මැදිහත් වීම් බොහෝ විට යොමු වී ඇත්තේ, සමාජ  ප්‍රගතියට යි. එහෙත් කලාතුරකින්, සමාජයක් සහ රටක් ප්‍රපාතයට හෙලීමට ද එ වැනි පුද්ගල  ක්‍රියාකාරකම් දායක වී ඇත. කම්පුචියාවේ දී අප අත්දුටුවේ එ වැන්නකි.  මිනිසා යනු සමාජ සත්වයෙකු නිසා ම, සමාජ ප්‍රගතිය වෙනුවෙන් ඔහු වෙනස් කිරීමේ අභියෝගය  ජයගත යුතු ව ඇත්තේ සමාජ බලවේගවලට ඉහළින් ගොස් යාන්ත්‍රික කළමණාකරණයකට සමාජය යටත්  කිරීමෙන් නො ව. මිනිසා මෙහෙයවන සමාජ බලවේග නිවැරදි ව හඳුනා ගැනීමෙනි. එහෙත් යන්ත්‍රයකින්  නිමැවෙන භාණ්ඩයක් සේ මිනිසුන් වත් සකස් කළ හැකි යැයි පොල්පොට් විශ්වාස කෙළේ ය.  

පොල්පොට් සැළකුණේ මාක්ස්වාදියෙකු වශයෙනි. මාක්ස්ගෙන් පසු බිහි වූ බොහෝ මාක්ස්වාදීන්  ඉතිහාසය වෙනස් කිරීමට යාමේ දී වැටුණු බොරු වළවල් අපමණ ය. එ වැනි පුද්ගලයන් ගේ ඒ  අත්හදාබැලීම් සිදු කෙරුණේ බලයෙන් පිටස්තර ව, හුදෙක් දෘෂ්ටිවාදී තලයක නම්, ඒ මගින් ඇති  කෙරුණු දුර්විපාක බලපෑවේ ඔවුනොවුන්ගේ මතවාදීමය දේශපාලනයට පමණි. එහෙත් එම අත්හදාබැලීමේ දේශපාලනය ක්‍රියත්මක කෙරුණේ රාජ්‍ය බලයක ආවරණය යටතේ නම්, ඒ වෙනුවෙන්  සමාජයකට ගෙවන්නට සිදු වූ වන්දිය අපමණ බව විසි වන සියවසේ ඉතිහාසය පුරා අප අත්දැක තිබේ.  මෙය මාක්ස්වාදීන් ගේ වරදක් මිස මාක්ස්වාදයේ වරදක් නො වේ.  එ සේ හෙයින්, පොල්පොට් සහ මාක්ස්වාදය අතර සම්බන්ධය භයානක ව්‍යාජයකට වැඩි දෙයක් නො  වු බව සැළකිය යුතු ය. උපැස් යුවළක් පැළඳීම, විදේශ භාෂාවක් දැන සිටීම සහ අත්ඔරලෝසුවක් වැනි   සුඛෝපභෝගී භාණ්ඩයකට හිමිකම් කීම මරණ දඩුවම ලැබීමට වරදක් යැයි ගත් දෘෂ්ටිවාදයක් මනෝ  ව්‍යාධියක් වශයෙන් මිස විසි වන සියවසේ කුමන දෘෂ්ටිවාදයක් වශයෙන් වත් ගිණිය නො හේ.  

පසු කලෙක, මහජන අධිකරණය˜ නම් වූ රැවටිලිකාරී නඩු විභාගයකින් ජීවිතාන්තය දක්වා  සිර  දඩුවමකට˜ ලක් වූ පසු පොල්පොට් මෙ සේ කීවේ ය:  —මගේ හෘද සාක්ෂිය පිරිසුදු ය˜.  ඕනෑ ම අපරාධකාරයෙකුට හෘද සාක්ෂියක් තිබිය හැක. එහෙත් ජීවිතයේ අවසාන භාගයේ පවා එය   පිරිසුදු˜ එකකැ යි ඔහු අවංකව ම අදහන්නේ නම්, එයින් ගම්‍ය වන්නේ, මිනිස් නපුර පරාජය කිරීම කෙ  තරම් දුෂ්කර ද යන්න යි.  

විද්‍යාවෙන්, තාක්ෂණයෙන් අසීමිත දියුණුවකට පත් ව ඇති නූතන ශිෂ්ටාචාරය  තව මත් මේ අරගලය ජයග්‍රාහී නිමාවකට පත් කොට නැත. පරිසමාප්ත මිනිසෙකු කිසි දිනෙක  නිර්මාණය නො වනු ඇතත්, පරිසමාප්ත නොමිනිසෙකු බිහි වීම වළක්වාලනු වස්, එ වැන්නන් බිහි කරනු ලබන තත්කාලීන සමාජ බලවේග වටහා ගැනීම නිරන්තර අවශ්‍යතාවයක් බව නො කිවමනා ය. ඉතිහාසය එහි නග්න ස්වරූපයෙන් දැක බලා ගැනීමට සැළැස්වීම තරම් සාර්ථක ක්‍රමවේදයක් මේ  අවබෝධය ලබා ගැනීම සඳහා මෙ තෙක් සොයාගෙන නැත. රුවන් ජයතුංග වෘත්තියෙන්  වෛද්‍යවරයෙකු වුව ද, ඉතිහාසය කෙරෙහි ඔහු දක්වන්නේ අසීමිත භක්තියකි. හෙට දවස වෙනුවෙන් කළ යුතු සූදානමකට අවශ්‍ය අමුද්‍රව්‍ය ඔහු එම ඉතිහාසය පිරික්සා සොයා බලනු පෙනේ. එය ගෞරව  කටයුතු, ප්‍රශංසනීය වෑයමකි. —ඔබ ව ජීවත් කැරැවීම වාසියක් නො වේ. ඔබ ව විනාශ කිරීම ද අවාසියක්  නො වේ˜ යැයි කියන පොල්පොට්ලා ලංකාවේ බිහි නො වනු වස්, රුවන් ජයතුංග ගේ මේ වෑයම  සිංහල පාඨකයන් කෙරෙහි සාධනීය අයුරින් දායක වනු ඇතැ යි උදක් ම අපේක්ෂා කරමි.       

ගාමිණී වියන්ගොඩ







17 comments:

  1. අපේ සුභ පැතුම්....

    මට මේ පොත ගැන යම් මතකයක් තියෙනවා.

    ReplyDelete
  2. ඩොක්ටර්, මට ජනතා විමුක්ති පෙරමුන (JVP) මතක්වෙන හැමවිටම පොල්පොට් සහ කෙමරූජ් භීෂණය මතක්වෙනවා

    ReplyDelete
    Replies
    1. ජවිපෙ 88 දී සමාජය තුලත් අන්තරය හරහා විශ්ව විද්‍යාල තුලත් අන්‍ය මත මර්ධනය කලේ ඛෙමර් රූජ් ක්‍රමයටම තමයි. විජේවීර ,අබු ගසිල් ගුස්මාන් , හා ඉන්දියාවේ නක්සලයිට් තර්ස්තවාදීන් ගේ මිනීමැරුම් වල සාම්‍යයක් දැකිය හැකියි.

      ජවිපෙට රාජ්‍ය බලය තිබුනානම් කුමාර්ලා කැඩුන විට ඒ අයට සෝමවංශ යටතේ මරනය හිමිවීමටත් සෝමවංශ පක්ෂයෙන් ඉවත්වූ විට අනුරකුම්මාර යටතේ ඔහුට මරනය හිමිවීමටත් ඉඩ තිබුනා.බලයක් නැති නිසා ගුටිබැට දීමෙන් හා අපහාස කිරීමෙන් සෑහීමට පත්වීමට ඔවුන්ට සිදුවෙලා.

      අද යුරෝපයේ වාම රැල්ලක් ආවත් එය ජවිපෙ ආදීන් අනුදක්නා තනි පක්ෂ තිරිසන් ක්‍රමය නොවෙයි.අනුන්ගෙ අදහස් වලට සවන් දෙන මිනීමැරුම් අනුමත නොකරන ශිෂ්ට මිනිසුන්ගෙ දේශපාලන ක්‍රමයක්.

      ප්‍රචන්ඩත්වයෙන් ප්‍රශ්න විසදිය හැකිය යන මතය ට එරෙහිවීම හරහා විනාශයන් වලක්වා ගත හැකියි.1989 දී දකුනේ සිදුවූ මහා විනාශය වලක්වාගන්න තිබුනා ප්‍රචන්ඩත්වයට එරෙහි සමාජ පෙල ගැස්මක් තිබුනානම්.ප්‍රශ්න තිබෙනවා .නමුත් එම ප්‍රශ්නවලට විසදුම ප්‍රචන්ඩත්වය ලෙස කෙනෙක් යෝජනා කරන විට ඊට එරෙහි විය යුතුයි.ප්‍රශ්න විසදාගත හැක්කේ සිවිල් සමාජයේ ප්‍රතික්‍රියා තුලිනුයි. 88 වන විට ලංකා සමාජයේ සිවිල් සමාජ බුද්ධිමතුන් දුර්වල වී සිටියා. කඩාකප්පල්කාරීන් බලවත් වුනේ ඒ රික්තය තුල.

      මේ රික්තය මෙහෙමම තුබුන රුසියාවෙ, චීනයෙ, උතුරු කොරියාවෙ සහ කාම්බෝජයෙ. විජේවීරල, ලෙනින් ල ,කිම් ඉල් සුන්ල ,පොල්පොට් ල මේ හැමෝම මිනීමරුවන් ලෙස හදුනාගැනීමත් ඔවුන්ව පිලිකුල් කිරීම තුලිනුත් විනාශයන් වලක්වා ගත හැකියි.

      Delete
  3. කාම්බෝජයේ ඛෙමෙර් රූජ් විප්ලවවාදීන් නොම් පෙන් නගරයට ඇතුළුවනවිට ජනතාව ඔවුන් පිලිගත්තේ මහත් හරසරිනි. කාම්බෝජයේ සුවිශේෂ තත්වයන්ට ගැලපෙන සමාජවාදයක් ලබාදෙන බව පොල්පොට් පොරොන්දුවිය. එය එලෙසම සිදුවිය. කාම්බෝජ වැසියන්ට ගම්වල ගොවිබිම් කරා ඇදෙන්නට සිදුවිය. නව සංස්කෘතික ලක්ෂන සියල්ල අහෝසිකර අතීතයේ කාම්බෝජයේ තිබූ සම්ප්‍රදායික සමාජය යලි ගොඩ නැංවීම අරමුන විය.කන්නාඩි දමාගත් අය පවා ප්‍රතිගාමීන් ලෙස සලකා මරා දමන ලදී. මේවා සී අයි ඒ බොරු යැ‍යි ජේවීපීකාරයන් ට කියන්න බැරිවන ලෙසර්ටම පොල්පොට්ලා සාක්ෂි ඉතිරිකරගොස් තිබේ.

    කාම්බෝජයේ සිදුවීම් ඇසුරින් අප අධ්‍යනය කල යුතු දෙය කුමක්ද. කාම්බෝජයේ සිදුවුනේ පොල්පොට්ගේ සිත තුල පහල වූ විකාර අදහසක් නොවන බවයි. එය සෝවියට් දේශයේද සිදුවිය,චීනයේද සිදුවිය,උතුරු කොරියාවේ අදටත් සිදුවේ.වාමාංශික කැරලිකරුවන් සිය විරුද්ධවාදීන් අරභයා ලොව කොතනත් සිදුකරයි.මෙම ක්‍රියාව අංගසම්පූර්නව කල හැකිවුනේ කාම්බෝජයේය. එයයි මෙහි එකම වෙනස. චීනයේ මා ඕ ගේ සමූලඝාතනයෙන් කෝටි ගානක් මලේය.එහෙත් චීනය ඉතා විශාල භූමියක් වූ නිසා කාම්බෝජයේ මෙන් මරන්නට මා ඕ ට බැරිවිය.මා ඕ ගේ පරමාදර්ශය වුනේ හොදම ප්‍රගතිශීලියා බරවැඩකරන්නා බවයි.

    පක්ෂයේ අන පරිදි ඕනෑම කෙනෙක් මරන්නට සූදානම් පාක්ෂිකයෙක් නිර්මානය කිරීම මේ පක්ෂවල සුවිශේෂත්වයයි. පක්ෂය දරන මතය හැර සෙසු සියලුම මත වැරදිය. ඒ මත දරන්නන් විනාශ කල යුතුය.වාමාංශික පක්ෂවලින් ඉවත්වන අයට එම පක්ෂවල අය දක්වන වෛරය බලන්න.රාජ්‍ය බලය තිබුනානම් ඔවුන් ට මොනවයින් මොනවා වෙයිද. මෙම පක්ෂවලට අනුව ජනතාව යනු කිසිත් නොදත් අහිංසකයන්ය. ඔවුන් පක්ෂය විඔසින් යහමගට ගත යුතුය. මේ අනුව සමජාවාදය තුල පක්ෂය ජනතාවට ඉදිරියෙනි.

    මෙවැනි අන්තවාදයන් සමාජය තුල මතුවන විට ඒවාට දැඩි ලෙස පහර දී අඩපන කල යුතුය. බොහෝ විට මොවුන් මතුවන්නේ පොදු බිල්ලෙකුට එරෙහිව ජනතාවගේ ආරක්ෂකයන් වෙනුවෙනි.ඛෙමර් වරුන් ද වියට්නාම් බිල්ලාට එරෙහි කාම්බෝජ ජනතාවගේ ආරක්ෂකයන් වූහ.

    අපට මෙවැනි අත්දැකීමක් ලබා ගැනීමේ අවස්ථාව 1971 මෙන්ම 1989 දීද මග හැරුනි.කැරලිකරුවන් බලයට ආවානම් ලංකාවද තවත් කාම්බෝජයක් හෝ උතුරු කොරියාවක් වනු ඇත.

    ReplyDelete
    Replies
    1. මාස කිපයකට පෙර කොමෙන්ට් වලියක දී පොල්පොට් කියන්නේ CIA එජන්තයකු කියා JVP හිතවාදියෙකු තර්ක කළා, දැන් කැම්පස් වල තෙල බෙදනවා ඇත්තේ එහෙම වෙන්නැති.

      Delete
    2. /කාම්බෝජයේ සිදුවීම් ඇසුරින් අප අධ්‍යනය කල යුතු දෙය කුමක්ද. කාම්බෝජයේ සිදුවුනේ පොල්පොට්ගේ සිත තුල පහල වූ විකාර අදහසක් නොවන බවයි. එය සෝවියට් දේශයේද සිදුවිය,චීනයේද සිදුවිය,උතුරු කොරියාවේ අදටත් සිදුවේ.වාමාංශික කැරලිකරුවන් සිය විරුද්ධවාදීන් අරභයා ලොව කොතනත් සිදුකරයි.මෙම ක්‍රියාව අංගසම්පූර්නව කල හැකිවුනේ කාම්බෝජයේය./ එකඟයි, ලංකාවේ කැම්පස් වලත් වෙනවානේ.

      Delete
    3. ලෙනින්ගෙ චෙකා රහස් පොලීසිය කරපු එකා, ස්ටාලින්ගෙ බෙරියා,උතුරු කොරියාවෙ කිම් පවුල,චීනෙ මා ඕ ,කියුබාවෙ කස්ත්‍රෝ ඔය හැම කෙනෙක්ම සී අයි ඒ ඒජන්තයො තමා.
      තමන්ට තේරුම් ගන්න බැරි සියලුම සංසිද්ධි සී අයි ඒ එකට පවරනවා. මේ ලෝකෙ මැව්වෙත් සී අයි ඒ එකෙන්ද කොහෙද

      Delete
    4. පක්ෂයේ අන පරිදි ඕනෑම කෙනෙක් මරන්නට සූදානම් පාක්ෂිකයෙක් නිර්මානය කිරීම මේ පක්ෂවල සුවිශේෂත්වයයි.////// +++++++++++++++++ like the LTTE

      Delete
  4. කාම්බෝජය 100% බෞද්ධ රටක්,

    අපි විජේවීරගේ අදක්ෂ නායකත්වයට ස්තූතිවන්ත වෙන්න ඕන, ඔහු ඊට වඩා දක්ෂයෙක් වුනානම් ...

    කැමරූජ්ලා බිහිවුනේ වියට්නාමයේ අවශ්‍යතාවට නේද? අවසානෙට කෙමරූජ්ලා ව පැන්නුවෙත් වියට්නාමයමයි.



    ReplyDelete
    Replies
    1. /කැමරූජ්ලා බිහිවුනේ වියට්නාමයේ අවශ්‍යතාවට නේද? / මට වැරදිලා වගෙයි.

      Delete
    2. ඛෙමර් රූජ් ල මාඕවාදීන් .චීනය වගේම ඔවුනුත් සිතුවෙ වියට්නාම්වරු සතුරන් විදියට.වියට්නාමය කාම්බෝජය ආක්‍රමනය කල වෙලාවෙ ඒකට චීනය විරුද්ධ වුනා.සියලුම භික්ෂූන් මරාදාල තිබූ නිසා ත් තරුනයන් සොයාගන්න අමාරුවුන නිසාත් වැඩිහිටියන් පැවිදිකලා කියල තියනවා.
      චීනෙත් සංස්කෘතික විප්ලවයට පන්සල් විනාශකලත් මහ විනාශාය්ක් කරන්න පෙර මා ඕ මැරුන. ඉන් පසු බලයට ආ ඩෙන් විනාශය නැවැත්තුවා.චීනයේත් බෞද්ධ ජනගහනය 10% වෙලා. වැඩිදෙනෙක් නිරාගමිකයන්.

      විජේවීර අදක්ෂයෙක් වගේම ඉතා කලබලකාරී ,කිපෙන සුළු මෝඩ පුද්ගලයෙක්.අනික ඔහුට බැකප් එක දෙන්න රටක් තිබුනෙත් නෑ.රට ලොකු විනාශයකින් ගැලවුනේ එනිසයි. නැත්නම් ලංකාවත් යකඩ තිරයකින් වැසුන තවත් උතුරු කොරියාවක්.

      Delete
  5. Entering an entire unknown chapter of dark world history. Thanks.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook