Sunday, March 6, 2016

ජොනතන් හාකර්ගේ මරණය ඇතුළු තවත් කෙටි කතා (මංජුල වෙඩිවර්ධන ගේ පෙරවදනක් )






ජොනතන් හාකර්ගේ මරණය ඇතුළු තවත් කෙටි කතා


දේශසීමා බිඳහෙලනචෙකොෆියානු සාහිත්‍යකරුවා.

රුවන් එම් ජයතුංග නම් වන චෙකොෆියානු සාහිත්‍යකරුවා ස්වකීය ෆ්‍රොයිඩියානු සමාජ විශ්ලේෂණයන් යළි වරක් සාහිත්‍ය සමාජය හමුවේ විනිෂ්චය පිණිස තබා ඇත.  පරිවර්ථනීය කෘතියක ධ්වනි නැංවෙන නාමයක් පෙරටුකොටගෙන ය.  « ජොනතන් හාකර්ගේ මරණය » කැටුවැවිත් සිංහලෙන් ජීවිතය ලිහා පහදන ජාත්‍යන්තර වෛද්‍යවරයා සිය වෘත්තියේ සිමා මායිම් පුළුල් වීමට සමාන්තරව සාහිත්‍ය භාවිතයද විස්තාරණය කර පෙන්වයි. එනයින් ගත් විට ඔහු සිය සාහිත්‍යයික සායනයට කැඳවන පාත්‍රයනට දේශ සීමා නැත.  ඔහු, තමන් අත්දකින,අත්විඳන වටපිටාවේ වන ඕනෑම ජීවිතයකට එබී බැලීමට මැලි වන්නේ නැත.


« රෝගියාගේ ඇඳ අසල වූ කුඩා පුටුවේ වාඩි වූ තරුණ වෛද්‍යවරයා මේසය මත වූ දුබල ලාම්පු එළියේ ආධාරය ඇතිව දිනපොත කියවීම ඇරඹීය. කැඞීගිය පිටු අතර තිබූ පළමුවන සටහන වෙත වෛද්‍යවරයාගේ අවධානය යොමු විය. »

මරණ මංචකය හමුවේ ශ්වසනය හා පොරබදන ජොනතන් හාකර්ගේ මරණය පසුබිමේ වන ජීවිතය හා මරණයට හේතු වන්නට ඇතැයි පාඨකයට සමීප කරවන නිෂ්චිත සිද්ධිදාමයෙන් තෝරාගත් සිද්ධි කිහිපයක් රුවන් මෙකී දිනපොත හරහා ප්‍රබන්ධ කර පාඨක මනස කළම්ඹයි.  ප්‍රබන්ධයේ එන වෛද්‍යවරයා රුවන් ම බවත්, ඔහු කියවන දිනපොත ඇත්තම දිනපොතක් බවත් මොහොතකට අනුමාන කර කතාව කියෙව්වද මේ නම් සූර වියමනකි.  අනුන්ගේ දිනපොත් වලට එබීම සාහිත්‍යයික වශයෙන් වැදගත් බව ෆ්‍රොයිඩියානු විශ්ලේශකයා අපට හඟවයි. වෛද්‍යවරයෙකු සතු විශේෂ අවසරය හේතුවෙන් අන් දිනපොතකට එබීමට රුවන් අවසර ගන්නේ නැත.

නමුත් « සංවාදය » අරඹමින් රුවන් සම්මතයක් ඉදිරියට දමයි.   
« දෙදෙනකුගේ සංවාදයට කන්දීම ශිෂ්ට සමාජය අනමත නොකරන බව සැබවි.  මම ද එම රීතියි අනුගමනය කරමි. එහෙත් එම ශුද්ධ නීතීය මා කඩකළේ මන්ද මා පෙළූ කාන්සිය නිසාද? »

කථකයා වෛද්‍යවරයෙකු වෙතැයි නිෂ්චිත නැති බැවින් ඔහු සම්මත රීතිය පිළිපදින්නට කැමැත්තකු බව රචකයා අපට මෙනෙහි කරවයි. ඒත් ඔහු අතින් ඒ ශුද්ධ නීතිය බිඳ වැටෙයි.  නමුත් කතාව අවසානයේ පාඨක සිතට නැඟෙන්නේ එකී සම්මතය බිඳදැමීම සාහිත්‍යයික වශයෙන් යහපත් වන බව නොවන්නේද?  බිලී සහ සැන්ඩි යන මොන්ටිසෝරි දරුවන් දෙදෙනා හරහා රචකයා අප අබියස විවරණය කරන ලෝකය අපගේ භාව ලෝකය ප්‍රකම්පනය කරවන්නේ දේශ සීමා විනිවිදිමිනි.  අනවසරයෙන් මොන්ටිසෝරියෙන් එළියට බැස සිටින දරුවන් දෙදෙනා ගොඩනංවන සංවාදය මොහොතින් මොහොත සංකීර්ණ වන්නට පටන් ගනී.  රුවන් අප හමුවේ තබන බටහිර ජීවිතයේ අතී සමීප රූපය මොන්ටිසෝරි ලෝකය පිළිබඳ ඇස් ඇරවයි. බලන්න !

« නුඹ පපාට ආදරේද ? » ගැහැනු ළමයා ඇසුවා ය.

« නෑමම ලොකු උණාම පපාට වෙඩි තියලා මරණවා. »
« දෙවියනේඒක මොන තරම් භයානකදඇයි නුඹ එහෙම නපුරු වැඩ කරන්නේ? »

« පපා ගෙදර ඇවිල්ලා මමාට ගැහුවා. එතකොට මම මේසේ යටට රිංගුවා. පපා මමාගේ ඔලුව බිත්තියේ හැප්පුවා. මමා අඬාගෙන බිම වැටුණා. එතකොට පපා මමාට පයින් ගැහුවා. ටීවී එක උස්සලා පොළොවේ ගැහුවා. »

« නුඹගේ පපා හරි දරුණුයි. » ගැහැණු ළමයා පැවසුයේ පිළිකුල් හඬකිනි.

« නුඹගේ පපා හොඳද? » පිරිමි ළමයා ප‍්‍රශ්නයක් නැගී ය.
මම දැන් අවුරුද්දකින් විතර පපාව දැක්කේ නෑ. පපා අපේ ගෙදර එන්නේ නැහැ.” ගැහැනු ළමයා කීවේ දුක්මුසු ස්වරයෙනි. ඇයගේ දෑස් වලට කඳුළු පිරුණි.

« නුඹ අඬන්න එපාමම නුඹට ආදරෙයි. » කළු පිරිමි ළමයා ගැහැණු ළමයා තුරුල්කර ගත්තේ ය. ගැහැනු ළමයා පිරිමි ළමයාගේ අත තරයේ අල්ලා ගත්තා ය. « මම අපේ ජෙරල්ඞ් බාප්පා තරම් උස ගියාම නුඹව බඳිනවා. » පිරිමි ළමයා ගෑණු ළමයාගේ දෑසට එබී කිව්වේ ය. « නුඹ මාව බඳින්න කැමතියි නේද? » ඔහු ඇගෙන් ඇසුවේ දෑස් ලොකුකර ගනිමින් ය.

ඇය පිරිමි ළමයාගේ අත ගසා දැමුවා ය. « මට බැහැ නුඹව බඳින්න. එල්සි නැන්දා දවසක් කිව්වා සුදු ගෑණු කළු මිනිස්සු බැන්දම ලැබෙන්නේ කළු පැටව් කියලා. මට ඕන රත්තරන් පාට හිසකේ තියෙන ළමයි. »

« මට පුළුවන් නුඹට රන්පාට හිසකෙස් තියෙන ළමයි දෙන්න. » මෙහිදී පිරිමි ළමයා පරාද වීමට අකැමැති හඬකින් පිළිතුරු දුන්නේ ය.

« එහෙම නම් මම නුඹව බදින්න කැමතියි. » ඇය යළිත් පිරිමි ළමයාගේ අත අල්ලා ගත්තා ය.

 « සංවාදය » විසින් අප හමුවේ තැබෙන සංවාදය වනුයේ, සාහිත්‍යයේ කොදෙව්භාවය බිඳදමන්ට කැස කවන රුවන්ගේ නිර්මාණ පරිශ්‍රමය පලදායි වන්නේ ද යන්නයි.  ඔව්, එය පලදායි වන්නේ යැයි පැවසීමට මහත් ශ්‍රමයක් දැරිය යුතු නැත.  ඔහු වචන ඇසුරින් මවන සාහිත්‍ය ලෝකයට පිවිසීමෙන් පමණක් වුව එය හඳුනා ගන්නට අපට පිළිවන. ඔහු වඩ වඩා නිර්ව්‍යාජව එය ස්ථානගත කරන්නට උත්සුක වන්නේ නම් එය පළල් ලෝකයකි.  සාහිත්‍යය යන්න මෙසේ වියමන් වන්නේ නම් පරිවර්ථන සිඟමන් යදිමින් කල්මැරිය යුතු නැති බව දේශාඨනයේ යෙදෙන චෙකොෆියානුවා අපට මෙනෙහි කරවයි.  
මේ වනාහි අතිශයින් රුවන් විසින් සිදු කෙරෙන දැනුවත් ප්‍රවේශයක් යයි මම පවසමි.  

ඔහු ස්වකීය දේශසීමා බිඳ දැමීමේ සාහිත්‍යයික කැරැල්ල අරඹන්නේ ඔවුන්ගේ පළමු කෙටිකතා සරණිය වූ« සැන්ට බාබරාහී යාචකයා » තුළිනි.  එහිදී එනමින් ම යුතු ප්‍රබන්ධයට අමතරව « මැක්සිම් ඉවානවිච් »« හිමවතිය » සහ « ගුප්ත ආගන්තුකයා » ඔහු අපට සම්මුඛ කරයි.  පරිවර්ථනීයව පමණක් පැමිණෙන පාත්‍රයන් ඔරිජිනලීය සෙයියාවන්ගෙන් අතිශයින් නිරුපද්‍රිතව සිංහල අකුරු අතරේ සැරිසරනු දැකීම විසින් මා කෙරෙහි මහත් විඳුමක් ජනනය කෙරෙයි. 

මෙකී සාහිත්‍යයික ජවයට ඉතිහාසයක් ඇත. ඔහු දිවයිනක් වූ තම ජීවිතය විශ්වයක් බව පත් කරගනු ලබන්නේ නව යෞව්වනයේ ආත්මීය ජවයද සමඟිනි.  එතැන් පටන් ඔහු ඓන්ද්‍රීයව උපන් බිම හා ගැට ගැසී සිටියද දේශසීමා රහිත සාහිත්‍යයක රුවගුණ ගවේශනයේ යෙදෙයි.  එය ස්වයංසිද්ධ වන තරමටම දිග්ගැස්සෙනුයේ ඔහුට ගැටගැසෙන්නට සිදුවූ අවකාශය පුරා හිටගෙන සිටි ගැහැණුන් මිනිසුන් දේශසීමා හරහා ඇවිද යමින් සිටින්නන් වන බැවිනි.  ඔහුගේ බොහෝ කතාවන්ට මූලාවේශ වනුයේ මෙකී ජීවන සන්ධර්භයයි.  ඔහු ජොන්තන් හාකර්ගේ මරණය කරා ළංවන විට පළමු කෘතියට වඩා වැඩි ප්‍රතිශතයකින් මෙම අලුත් සම්ප්‍රදායට ගොණු වෙමින් සිටී.  ඒ අනුව කෙටි කතා 13කින් 8ක්ම « කහකුරුල්ලා » මෙන් දේශසීමා මඟහරිමින් අවකාශයේ සැරිසරයි.  උණුසුම් කන්ද දැකගන්නට නම් අහම්බයකින් හෝ බඩ එළිය යා යුතු බව වෛද්‍ය රුවන් එම්. ජයතුංග උත්ප්‍රාසයෙන් යුතුව පවසයි.  නොඑසේ නම් අනුන්ගේ මුව තුළ තලුමැරුණ චුයිංගම් ගුලියක් බඩේ ඇලුණු කලෙක මෙන් බඩ රුජාවෙන් ඔත්පලව මිය යා යුතුය.  ඔහු සංඛේතාත්මකව ප්‍රශ්න කරන්නේ මෙකී සාහිත්‍යයික මිය යාම සිදුනොවන්නට නම් අපට කුමක් සිදුවිය යුතුද යන්න නොවේද?  ඉදින් එබැවින් දේශ දේශාන්තර ජීවිත ගවේශනය ඔහු විසින් අවිච්ඡින්නව සිදු කෙරෙයි.  

ඕහෙන්රියානු පන්නයේ « පාදඩයා » තව නිදසුනෙකි.  ගැටළුව ඇත්තේ භෞතික ලෝකය තුළ නොව සංකල්ප ලෝකය තුළ බව රුවන් නිමැවන පාදඩයා අපට පහදයි.  දේවි කිරාන්ගේ නැතිවුණු පසුම්බිය සුරක්ෂිතව ආපසු ලැබෙන්නේ මෙතෙක් කතාව පුරා පිළිකුළ දැනවූ සංඛේතය නිසා බව අනාවරණය වීමෙන් පසු ඔවුන්ට තමන් කෙරෙහිම පිළිකුළක් දැනුනේද?  මහේන්ද්‍ර සින්ග්, වැන්සන්ගේ කරට අතදමාගෙන කෝපි අවනහල කරා පිය නඟන්නේ කවර සංධර්භයක් හරහාදැයි විග්‍රහ කර ගැනීම රුවන් අපට ඉතිරි කර තබයි.  මීට අමතරව « සතුරු ඉසව්ව »« අවන්හල » සහ « කාන්තාර කුණාටුව » ඔස්සේ ඔහු සිය සාහිත්‍යමය චාරිකාවේ අප රැගෙන යයි.  මෙවන් කතා කොදෙව්ව තුළ ස්ථානගත කළ යුත්තේ කොතැනකදැයි පහදා ගැනීම සහෘදයනට බාර කළ යුතු ය.  විශේෂයෙන් කාන්තාර කුණාටුව බඳු කතාවක ඇති විශ්වීය ගති ලක්ෂණ, සිංහලෙන් සාහිත්‍ය කියවන සමාජය නිවැරදි තැන ස්ථාන ගත කර ගනු ඇත.  

මා වෙසෙස් අවධාණය යොමු කළේ වෙනත් භූගෝලිය, සමාජාර්ථික හා සංස්කෘතික වටපිටාවක පුද්ගල මනෝභාවයන් රුවන් විසින් ග්‍රහනය කර ගැනෙන අයුරු පිළිබඳ මගේ සාහිත්‍යයික ආකල්පය සංක්ෂිප්තකර ලෙස පැහැදීලි කර ගැනීමට ය.  මා අපේක්ෂා කරන පළමු දෑ ඒ තුළ ඇත.  මගේ කැමැත්ත ය.  මා ඊට කැමැතිය.  මගේ කැමැත්ත නිෂ්පාදනය වනුයේ රුවන් ලේඛනගත කැරමින් සිටින සරලරේඛීයව මෙන් පෙනෙන සිද්ධීන් තුළ වන සංකීර්ණතා සැබැවින්ම අත්විඳිමින් සිටිනා බැවින් වන්නට පිළිවන. 

ඉදින් ඔහු  විසින් දේශිය සංදර්භයක සිදුකෙරෙන  දිගහැරුම්  විග්‍රහ කර ගැනීමට ඕනෑතරම් කාලය ඉතිරිව තිබේ යැයි අවසන් වශයෙන් පවසමි.

මංජුල වෙඩිවර්ධන
ඇන්සි ප්‍රංශය.

13 comments:

  1. //සාහිත්‍යය යන්න මෙසේ වියමන් වන්නේ නම් පරිවර්ථන සිඟමන් යදිමින් කල්මැරිය යුතු නැති බව//+++++++++

    ReplyDelete
  2. මේ සංවාදය වයස්, ආගම, ජාති භේදයක් නැතිව හැමෝම අතර වෙන එකක් නේද. Isn't love always conditional?

    « මට පුළුවන් නුඹට රන්පාට හිසකෙස් තියෙන ළමයි දෙන්න. » මෙහිදී පිරිමි ළමයා පරාද වීමට අකැමැති හඬකින් පිළිතුරු දුන්නේ ය.
    « එහෙම නම් මම නුඹව බදින්න කැමතියි. »

    ReplyDelete
  3. Replies
    1. බොල ගෙබ්බෝ.. කඩෙන් ගන්නේ..

      Delete
  4. ජය වේවා. වෙඩ්ඩගේ අප්‍රබංස තේරුං ගන්න නං ටිකක් වෙලා යනවා. හැක්

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook