Wednesday, September 9, 2015

කැලෑහඳ, දෝන කමලාවතී තුළින් මතුවන සිංහල දෙමළ නොරිස්සුම





වෛද්‍ය රුවන් එම්.ජයතුංග මහතා විසින් ලියන ලද මෙම ලිපිය 2009 පෙබරවාරි මස 15 වැනිදා ‘ඉරිදා ලක්බිම’ පුවත් පතේ පල වූවකි.  මෙය සිංහල-දෙමළ ජන මනස තුල වන අවිඥානික හැඟීම් සම්බන්ධයෙන් සරල විවරණයකි. එහෙත් ඒ සරල විවරණය, මෙතෙක් ජාතිකත්ව අර්බුධය පිළිබඳ ප්‍රමුඛව සාකච්ඡා නොවුනු තවත් මානයක් මතු කරයි. දශක ගණනාවත ජන ඝාතක යුද්ධයකින් අනතුරුව මේ මොහොත යම් සංදිස්ථානයකි.  ඒ එල්.ටී.ටී.යේ යුධමය පරාජයෙන් ඉක්බිති නැවතත් අර්බුධයේ මුල් අදියරට නිරාවරණය වෙමින් පවතින නිසාය. අවාසනවකට අපි තවමත් අර්බුධයට හේතූභූත වූ කාරණා සම්බන්ධයෙන් අඳුරේ අතපතගාන ස්වරූපයක් අනුගමනය කරමු. ඒ අතින් මේ ප්‍රවේශය වැදගත්ය. වෛද්‍ය රුවන් එම්.ජයතුංග මහතා විසින් ලියන ලද “ප්රභාකරන් සාධකය: මනෝවිශ්ලේෂනාත්මක විග්‍රහයක්” කෘතිය තුල මේ පිළිබඳව මීට වඩා පුලුල් ලෙස සාකාච්ඡා කොට ඇත.



“වර්ගවාදීන් නොවූ ඇතැම් සිංහල නවතකාකරුවන්ගේ ප්‍රසිද්ධ නවකතාවලින් දුවිඩ මිනිසුන් කෙරෙහි සිංහල මිනිසුන් තුළ තිබූ නුරුස්සනාභාවය ප්‍රකට වී ඇත. නමුත් ඒවා වැඩි සැලකිල්ලට යොමු වී නැත. ඩබ්ලියු. ඒ සිල්වාගේ “කැලෑහඳ” හා ගුණදාස ලියනගේ ලියූ “දෝන කමලාවතී” නවකතාවලින් මෙසේ සිංහල මිනිසුන්ගේ සාමූහික අවිඥානය නිරූපණය වී ඇති ආකාරය විචාරකයින්ගේ අවධානයට යොමු නොවූයේ එය එදවස ඒ හැටි අපූරුවක් නොවූ නිසාද?
ජනවාර්ගික ගැටුම තුළ සිංහල හා ද්‍රවිඩ ජාතීන් තුල පවත්නා සාමූහික අවිඥානයේ බලපෑම අධ්‍යනය කොට ඇත්තේ අඩුවෙන් බව පෙනේ. මෙම ජාතීන් දෙක අතර අවිඥානිකව පවත්නා සතුරු බව හා ගුටුම්කාරී බව ඇතැම් විට වර්තෙමාන ජනවාර්ගික අර්බුධයට තලුලුවක් වන්නට ඇත. එම නිසා ගැටුම් නිරාකරණයේදී සහ ජාතීන් දෙක අතර සාමය හා සහජිවනය ගොඩනැගීමේදී මෙවැනි අවිඥානික සාධක කෙරෙහි සැලකිලිමත් වීමද එවැනි සාධකයන් නිශේධනය කිරීමට ඉවහල් වෙයි.
මේ ශත වර්ෂයේ මුල් භාගයේ හෝ ඊට පෙර සිට සිංහල අවිඥානය තුළ දුවිඩයන් කෙරෙහි තිබුණේ සතුරු බවක් මෙන්ම පිළිකුලකි. එය දුටුගැමුණු එළාර යුද්ධය පිළිබඳව සියවස් ගණනාවක් පුරා ඇසූ සොලීන් පිළිබඳ විරෝධය අපගේ සාමූහික අවිඥානය තුළ තැන්පත් වී තිබේ. ඔවුන් තුලද සිංහලයන් පිළිබඳ ඇත්තේ එවැනිම චිත්‍රයකි. ඔවුන් සිංහලයන් අභිබවා ගොස් අපව යටත් කරගනු ඇතැයි අහේතුක බියක් අප තුළ තිබේ. මහජාතිය වන සිංහලයන් සුළුතරය වූ තමන් ගිලගනු ඇතැයි ඔවුන් තුළද එවැනි අහේතුක බියක් තිබේ.
නිදහසින් පසු මෙම ජාතීන් දෙක අතර ජාතිවාදී කෝලාහල ඇති විය. ජාතීන් දෙකටම අයත් පුද්ගලයන් කුරිරුකම්වල යෙදුනහ. එම නිසා වඩාත් කුරිරු වූයේ කුමන ජාතියද යන්න එතරම් වැගත් නොවේ.
මෙම හැසිරීම හැඳින්විය යුත්තේ සාමූහික අවිඥානයෙන් මෙහෙයවන්නක් හැටියටය. මේ සාමූහික අවිඥානය collective unconscious  පිළිබඳ අප මෙහි අධ්‍යනය කර ඇත්තේ නැති තරම්ය. මේ පිළිබඳ ලෝකයා මුලින්ම දැනුවත් කළේ කාල් ගුස්ටාව් යුංය. හේ පුද්ගල අවිඥානය හා සාමූහික අවිඥානය වශයෙන් ස්ථර දෙකකට අවිඥානය බෙදුවේය. සාමූහික අවිඥානයේ අනාදිමත් කාලයක් පුරා ජනවාර්ගික වශයෙන් හා සංස්කෘතිකමය වශයෙන් මෙන්ම පොදුවේ මානව වර්ගයා ලුළ පැවැති ස්මරණයන්ද එක් රැස්ව පවතින බව ඔහු පෙන්වා දුන්නේය. අපි දැන් ඩබ්ලියු. ඒ සිල්වාගේ “කැලෑහඳ” නවකතාවේ මුල්පිටු කිපය පෙරළා මේ ගැන හොයමු.
“මාලිනී ද සීයාගේ නියමයට අනුව නිතරම තම කනකර ගැන සෝදිසියෙන් සිටියාය. ඇ‍යට තම ගමේ උත්සවයන් හා රුස්වීම්වලදී මහ සෙනග අතර හැසිරුණු පළපුරුදුකම් ඇතිවත්, ඒ පළපුරුදුකමක වග මෙහිදී නොදැ‍නේ. මේ දකුණු කොළඹ මෙන්ම හින්දු දේවස්ථානයද වෙයි. බොහෝ සේ හැසිරෙන දෙමළ ජනයාද ඇයට අපූර්ව දර්ශෙනයකි. ඈ සිංහල පිරිසකට නම් කැමතිය. සිංහල පිරිසක් අතර තෙරපෙන්නෙකුට ලැබෙන්නේ තෙරපීමේ පීඩාව පමණකි. දෙමළ සෙනඟක් අතර තෙරපෙන්නෙකුට තෙරපීමේ පීඩාව සමඟ වැස්මක් නැති ඇඟෙන් නික්මෙන දෙමළ දහදිය ගඳද ඉවසන්නට සිදුවේ.”
ඩබ්ලියු. ඒ. සිල්වා මහතාගේ විස්තර වර්ණනාව අනුව දෙමළ ගඳ පතුරුවන මිනිසුන් එක්තරා ආකාරයක මනුෂ්‍ය කොටසකි. ඔවුන් අප මෙන් පිරිසිඳු නැත. අපිරිසිදු ජන කොටසකි. ඩබ්ලියු. ඒ. සිල්වා මහතා පිළිබඳව නොදත් පුද්ගලයෙකු ඔහු ඉතා වර්ගවාදියකු ලෙස හෙළාදකිනු නිසැකය. එහෙත් ඔහු කුරිරු ගතිවලින් තොර යහපත් මිනිසෙක් විය. ඔහුගේ පෑන් තුඩින් ලියැවෙන්නේ සිංහල මධ්‍යම පන්තියක ආකල්ප විය හැක. ඔවුන් දමිළයන් කෙරෙහි වෛරයක් නැති වුවද යම් ආකාරයෙක පිළිකුලක් හෝ ප්‍රතික්ෂේප කිරීමක් පෙන්වූහ. මෙම මානසික ශේෂයන් අද දක්වාම සිංහල සාමූහික විඥානයේ රැඳී තිබෙයි. එම නවකතාවේ තවත් තැනෙක දැක්වෙන විස්තරයක් මෙසේය.
“ඔන්න….. ඔන්න….. වේල් එනෝ….. වේල් එනෝ….. සිංහලෙන් මාලිනියට ශ්‍රවණය වූ එකම ජනරාවය මෙපමණයි. එයින් මේ වේල් පෙරහැර එන කලබලය බව ඈ තේරුම් ගත්තාය. ඇය කෙරේ ද වේ ල් පෙරහැර දකින ආශාව බලවත් විය. එහෙත් ඇයට එය තවමත් නොපෙනේ. ඇයට වරින්වර පෙනෙන්නේ සෙනඟ සැඩපහර මැදින් පෙම් කෙළින මත්ස්‍යයන් මෙන් උඩ නැගෙන වේවැල් පහරවල් හා බැටන් පොලු පමණකි. කෙළිලොලින් මත්ව විගඩ වෙසින් නටන දෙමළ ජනයා සංසිඳුවන ‍පොලිස් භටයන්ගේ හා පෙරහර නායකයන්ගේ මේ බැටන් පොලු හා වේවැල් සරඹය අන් කාහට කෙසේ වුවත් මාලනියට නම් සිත් පිනවන දර්ශනයක් නොවීය.”
මෙම විස්තරයෙන් ගම්‍ය වන්නේ වේල් පෙරහර නිාස කලබලයට පත් වූ ද්‍රවිඩ සෙනගට පොලිස් භටයන් විසින් පහරදීමය. එකල එවැනි පහරදීම් නිබඳවම සිදු වූ බව පැරණි පොලිස් නිලධාරීන් අවංකවම පිළිගනියි. එය ඩබ්ලියු. ඒ. සිල්වා මහතගේ විස්තර වර්ණනාවටද එක්විය. මෙම විසත්රය බෙහෙවින්ම කිට්ටුවන්නේ බර්මිංහැම් හි 60 දශකයේ මාටිං ලුතර් කිංගේ සාමකාමී පෙළපාළියට පොලිස් භටයින් විසින් පහරදීමය.
දශක ගණනාවක් පුරා කැලෑ හඳ කියවන පාඨකයන් මේ වන තෙක් එවැනි පහරදීමක් හෙළාදැක නැත. කිසිඳු ප්‍රශ්න කිරීමකින් තොරව අපි දශක ගණනාවක් කියවූයෙමු. එසේම චිත්‍රපටයට ද නැගුණි. කිසිවකු මෙම ඡේදය පිළිබඳ කිසිදු ප්‍රශ්න කිරීමක් නොකළහ. එ මන්දයත් අපගේ ලෝකයේ මෙය සුළු සිද්ධියකි. කිසිසේත්ම ගණන් ගත යුතු නොවන්නකි.
අපගේ සංස්කෘතිය කේන්ද්‍ර කොට සිතීමේදී අප එය පිටස්තර අහඹු සිද්ධියක් ලෙස සලකමු. එහෙත් 1915 බෞද්ධ පෙරහරකට යෝනකයන් ගල් ගැසූ විට අපි සසල වූයෙමු. ආගමික පෙරහරකට අවහිරතා ඇති කළ හැක්කේ කෙසේද? යන්න අපි ප්‍රශ්න කෙ‍ළෙමු. එහෙත් කැලෑ හඳ නවකතාවේ පොලිස් භටයන් ද්‍රවිඩ බැතිමතුන්ට බැටන් පහරදීම අපගේ චින්තනය අනුව සුළු සිදුවීමකි.
එවැනි පහර දීමක් ඔවුන්ගේ කෝණයෙන් බලමු. ‘දුප්පත් ද්‍රවිඩ බැතිමතුන් පිරිසක් වන අප වේල් පෙරහැර නැරඹීම සඳහා පැමිණියෙමු. අපගේ උනන්දුව තීව්‍රර වීමෙන් පාර මදක් අවහිර විය. එහි රාජකාරියේ නිරතව සිටින සිංහල පොලිස් භටයන් අපට නිර්දෙය ලෙස පහර දුන්හ. අප දුප්පත් නිසාත්, අසරණ නිසාත්, කළ හැක්කක් නොවීය. බැටන් පොලු පහර වැදීම නිසා තඩිස්සි වී ගිය අත් පාවල අපි තෙල් ආලේප කළෙමු.’
මෙවැනි සිද්ධියක් දැන් දුටු පුද්ගලයෙකුට ඇතිවන හැඟීම කුමක්ද? එසේම තමාගේ පියා එලෙස නිර්දය ප්‍රහාරයකට ලක්වනු දැකීම තුළින් දෙමළ ළමයා තුළ ඇතිවන හැඟීම කෙබඳු වේද? අපි අපගේ සදාචාරයෙන් ප්‍රශ්න කිරීමේ කාලයට එළැඹී සිටිමු. මෙයට ප්‍රතිඋත්තර ලෙස දෙමළුන් ගෝමරන්කඩවලදී හෝ ගෝනාගලදී සිංහල දරුවන් පෙති ගැසූ බව කිවහැක. එක වරදක් තවත් වරදක් මකා නොදමයි. කුඩා වතුර බින්දු බිඳු එක්වීමෙන් මහා ජලාශයක් සෑදෙන අයුරු අපි පාසලේදී උගත්තෙමු. සිංහල, දෙමළ, වාර්ගික අර්බුධය එලෙස කුඩා ජලබිඳු එක්වීමෙන් සැදුනු මහා ජලාශයකි. අපි යලිත් කැලහඳ කෘතියට පිවිසෙමු.
මාලිනියට කැලෑ හඳේ දෙමළ ගඳ ඉවසිය නොහැකි විට හටගන්නා තත්වයයි මේ ‘සෙනඟ මැදද නොයෙක් ගැටුම් ගැටෙන බව ඇයට දැනේ. එහෙත් ඒ කිසිවක් ඇයට නොපෙනේ. ඇය ඉදිරියේ තාර ගා කළු කළ තාප්පයක් වැනි උරයෙන් උර පැහැර සිට එකම දෙමළ සරණියක් හැකිතාක් උස් වෙමින් ඒ දෙමළ පෙළට ‍උඩින් කරනගා ඈ මේ නැටුම් බලන්නට වෑයම් නළාය. ඇයගේ වෑයම සඵල නොවීය. ඇය වැනි බොළඳ වියේ සිටි මිටි තරුණියකට තබා උස පිරිමියකුටවත් මේ සෙනග සරණිය ඉක්මවා කිසිවක් දෙස බැලිය නොහැකියි. ඈ සුසුම් හෙලුවාය. සුසුම් හෙලීමට විනා ගැනීමටවත් ඇයට අවකාශයක් නැති දෙමළ ඇඟවලින් නික්මෙන දුගඳ එතරම්ම පිළිකුල් විය.’
ඩබ්ලියු. ඒ. සිල්වා මහතා දමිළයන් ගැන වර්ගවාදී පිළිකුල් කෝපයකින් බැලූ පුද්ගලයකු නොවීය. ඔහු සඳහන් කරන්නේ එකල සිංහලයකු දෙමළ ජනකායක් ග්‍රහණය කරගන්නා ආකාරයයි. හැබැවින්ම ජාතීන් දෙක අතර තදබල හිඩැස් තිබූ බව මේ අනුව පෙනීයයි. කැලෑ හඳ නවකාතාවේ සිංහල සාධූ නාදය සහ හින්දු හරෝ හරා නාදය සන්සන්දනය කරයි.
අපි ආගම්වලිනුත් දුරස්ව සිටියෙමු. අපගේ ආගම ශ්‍රේෂ්ඨ බවත්, අන්‍යන්ගේ ආගම මිත්‍යා දෘෂ්ටික බවත් උපකල්පන කරන්නේ තත්ත්වය උග්‍ර වූ විටදීය.
රත්තරන් සොයා දකුණු ඇමරිකාවට ගිය ස්පාඤ්ඤ ජාතික පිසාරෝ ස්වදේශික ජනයා මරා දැමුවේ ඉතා කෲරත්වයක් පෙන්වමිනි. එහෙත් එම ඝාතන පිළිබඳව ඔහුට කිසිඳු වරදකාරී බවක් නොවීය. ඒ මන්දයත් ස්වදේශිකයන් ක්‍රිස්තු භක්තික නොවූ මිත්‍යා දෘෂ්ටිකයන් වූ නිසාය.
දොන් ජෙරනිමෝද අසවේදු ඇතුළු පෘතුගීසී සෙන්පතියන් සිංහල ගම් විනාශ කළේත්, මිනිසුන් කිඹුලන්ට ආහාර පිණිස දැමූවේත්, බිළිඳුන් උඩ දමා කඩු තුඩින් අල්ලා කඩුගෑවේත්, ඔවුන් මිත්‍යා දෘෂ්ටිකයන් වූ නිසාය. ඔවුන්ගේ කෝණයෙන් බලනවිට ඔවුන් ඝාතකයන් නොවේය යන නිගමනයට පහසුවෙන් එළැඹිය හැකිව තිබුණි.
කැළෑ හඳ කෘතියට බොහෝ කලකට පසුව 1971 වසරේ පළකරන ලද ගුණදාස ලියනගේ මහතාගේ දෝන කමලාවතී නවකතාවේ දෙමළ වතු කම්කරුවන් ගැන මෙසේ කියයි.
“කඩයට ආගිය අයගෙන් මා වඩාත් පිළිකුල් කළේ හල්වතුර වත්තේ දෙමළ මිනිසුන් සහ ගැහැනුන්ය. දෙමළ මිනිසකු හෝ ගැහැනියක කඩයට එන විට මා ඇස් පියාගෙන සිටියත් ඔවුන් ගඳින් ඇඳින ගැනීමට මට ශක්තියක් තිබුණි. ඔවුන් ළඟ තිබුණේ පුදුම හඬු ගඳක්, හඬු ගඳගසන වේට්ටිවල, සාරිවල ගැටගසා ඇති සල්ලි දිග හැර මා අතට දුන් විට මා ඒවා ගත්තේ අදං ආතාගේ සල්ලි ගන්නවාටත් වඩා පිළිකුලෙනි.”
ගුණදාස ලියන්ගේ මහතා බොහෝ ඇසූ පිරූ තැන් ඇති වියත් ලේඛකයකු විය. ඔහු ජාතිවාදියකු නොවීය. මෙම නවකතාවෙන් ප්‍රකාශ වන්නේ ද්‍රවිඩ වතු කම්කරුවන් පිළිබඳව ගැමියන් තුළ තිබූ චිත්‍රයයි. ඔවුන් අසරණ නමුත් පිළිකුල් සහගත කොටසක් බව ගැමියෝ විශ්වාස කළහ.
ඩබ්ලියු. ඒ. සිල්වා මහතාත්, ගුණදාස ලියනගේ මහතාත් පෙන්වාදෙනුයේ දමිළයන් පිළිබඳ සාමාන්‍ය ජනතාව තුළ තිබූ හැඟීම්ය. ඔවුන් පිටස්තරයන් බව සිංහල අවිඥානයේ තිබුණි. එම නිසා ජනවාර්ගික ගැටුම්වලදී සහකම්පණීය අවබෝධකයින් තොරව ඔවුනට පහරදීමට ගැමියන්ට හැකි වූහ.
වාර්ගික වශයෙන් එකිනෙකා ප්‍රතික්ෂේල කරන හෝ සතුරු බව පෙන්වන අවිඥානික ශේෂයන් සිංහල හා ද්‍රවිඩ මනැස්වල රැඳී පවතියි. එම නිසා එවැනි අවිඥානික ශේෂයන් පිළිබඳ දැනුවත් විම හා විශ්ලේශනය මඟින් මෙම ජාතීන් දෙක අතර පවත්නා දුරස්ථ බව අවම කළ හැක. එබැවින් ගැටුම් නිරාකෙරණයේදී මෙකී අවිඥානික ස්කීමාවන් (Schema) කෙරෙහි අවධානය යොමු විය යුතුය.

වෛද්‍ය රුවන් එම්.ජයතුංග  
මංජුසාව – පිටුව 5
2008 පෙබරවාරී 15 ඉරිදා ලක්බිම

15 comments:

  1. හොඳ නිරීක්‍ෂණයක්.

    මා කැළෑහඳ නම් කියවු බව මතක නෑ. දෝන කමලාවතී අර දෙමළ අය දෙන සල්ලි සංසන්දනය කරන්නේ කකුලේ හොරි කාසියකින් කසන සීයා දෙන සල්ලි සමග නේද?

    නවකතාවල චරිත තුළින් ඉස්මතුවෙන්නේ රචකයාගේ චින්තනයයි. වෙනත් චරිතයක් මගින් නිවරැදි නොකරන නිසා ඩබ්ලිව් ඒ ද සිල්වා සිතූ ආකාරය එය බව පැහැදිළියි. ඔහු සිටියේත් වැල්ලවත්තේ නේද?

    ReplyDelete
    Replies
    1. දෝන කමලාවතී අර දෙමළ අය දෙන සල්ලි සංසන්දනය කරන්නේ කකුලේ හොරි කාසියකින් කසන සීයා දෙන සල්ලි සමග නේද? ඔව් රසික අදං ආතා , ඩබ්ලිව් ඒ ද සිල්වා සිටියේ වැල්ලවත්තේ

      Delete
  2. //මෙම නවකතාවෙන් ප්රකාශ වන්නේ ද්රවිඩ වතු කම්කරුවන් පිළිබඳව ගැමියන් තුළ තිබූ චිත්රයයි.//
    මේ නවකතා දෙකෙන්ම ප්රකාශ වෙන්නේ ඒකයි. හැබැයි අපූරු චිත්ත රූප මැවෙනවා.

    පොත් කියවෙනකොට මෙවැනි තැන් හොයාගැනීමත් දක්ෂකමක්.

    ReplyDelete
  3. DEMALA PRABHU PAUL ASHRAYA KIREEMATA W A DE SILVATA LABEE NATHA.
    OHU ASHRAYA KARA ATTE NATAMI HA RIKSHOW KARUWANYA.

    ReplyDelete
    Replies
    1. ඩබ්ලිව් ඒ ද සිල්වා සිටියේ වැල්ලවත්තේ ඔහු බොහෝ විට දකින්නට ඇත්තේ දෙමල නාට්ටාමිලා , රික්ශෝකරුවන්

      Delete
  4. බුදු දහම පවතින වැඩි දෙනෙක් බෞද්ධයෝ යැයි කියා ගන්න රටක, බෞද්ධ දේශණාවට සහමුලින්ම විරුද්ධ ජාතිවාදය මෙතරම් ප්‍රචලිත වීම අනුව අර ආත්තෝපදේශය 'ගිලීමලේ බහුතරය දත සුද්දෝ' යැයි සංස්කරණය කිරීම සුදුසුය.

    ReplyDelete
    Replies
    1. ජාතිවාදය හැම සමාජයකම වගේ ප්‍රචලිත වෙනවා

      Delete
  5. අගනා නිරික්ෂණයක් සහිත විවරණයක්....... එදා විචාරකයන්ට මේ කරුණු එතරම් දුරට ඉස්මතු කරන්නට අවැසි නොවුයේ ඒ කාලයේ තුබූ වාතාවරණයන් අනුව විය හැකිය. එහෙත් අවිඥානිකව සිංහල සිත් තුළ වූ බව මැනවින් ගම්‍ය වේ.

    ReplyDelete
    Replies
    1. මේ අවිඥානික ස්කීමාවන් අනුව තමයි ජාතීන් අතර සබඳතාවන් ගොඩ නැගෙන්නේ

      Delete
  6. පාරම්පරික චින්තනය, සම්පූර්නයෙන්ම බිඳ දමන ලද ජාතියක්, අදටත් ලොව කොහෙවත් ඇතැයි මා සිතන්නේ නැහැ. ඇමරිකාවේ කලුසුදු ආරවුල්, යම් තරමකට, දකුණු අප්‍රිකාවේ හෝ ඕස්ට්‍රේලියාවේ නැත්තේම නැත.

    අපි බෞද්ධයන් වූයේ, අවබෝධයෙන් නොව, දෙමව්පියන් බෞද්ධයන් වූ නිසාය. (පසුකාලයේදී බුද්ධියෙන් විමසා බැලීම වෙනම දෙයකි)

    ප්‍රස්තුතයට අනුව, දෙමළා සහ සිංහලයා අතර වෛරය අවුළුවා තැබීමට, සුද්දා සූක්ෂ්මව ක්‍රියාකලා යැයි සිතන්නට කරුණු ඇත. ලංකාවේ නිදහස් සටනේදී, සිංහලයා සහ දෙමළා අත්වැල් බැඳගෙන ක්‍රියාකිරීම, සුද්දාට දිරෙව්වෙ නැති නිසා, සුද්දා සංස්කෘතික කාල බෝම්බයක් පත්තුකර, අපට නිදහස කියන හැඟීම විතරක් දී, පිටව ගියේය.

    ReplyDelete
    Replies
    1. එම තර්කයෙත් ඇත්තක් තියනවා

      Delete
  7. ඔය නුපුරුදු ගඳ කියන්නෙ තලතෙල් සුවඳද දන්නෙ නෑ නේද?

    නුපුරුදු දේ පිලිකුල් කිරීම සමහර මිනිස්සුන්ගෙ ස්වාභාවයනෙ.

    ඉස්සර කාලෙ ඔයවගේ දැන් පොලිටිකලි ඉන්කරෙක්ට් දේවල් හරියට කිව්වනේද?

    Politically correctness is ever changing.

    ReplyDelete
    Replies
    1. ඉස්සර කාලෙ ඔයවගේ දැන් පොලිටිකලි ඉන්කරෙක්ට් දේවල් හරියට කිව්ව / තාමත් කියනවා (දෙපාර්ශවයම )

      Delete
  8. මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ "රෝහිණී" කෘතිය කුඩා කල මම ඉතා ආශාවෙන් කියවූ කෘතියක් - එහෙත් ඊයේ පෙරේදා එය නැවතත් කියවූ විට දෙමළ ජනතාව ගැන විස්තර කර ඇති ආකාරය මා මවිතයට පත් කළා - විශේෂයෙන් වික්‍රමසිංහ මහතා වැනි ප්‍රගතශීලී අයෙකුගෙන් ඒ වදන් පළවීම - පසුවයි මම දුටු‍වේ මේ නවකතාව පළවී ඇත්තේ ඒ මහතාගේ මුල් සාහිත්‍ය අවදිය වන 1929 දී බව

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook