Tuesday, August 4, 2015

උල්ලසිත




හෙදිය රුධිර පීඩනය බලන උපකරණය වින්සන්ට් ලංකාතිලක වැතිරී සිටින ඇඳ මත තැබුවාය​. අනතුරුව එහි වූ වාතය රහිත රබර් ටියුබය වින්සන්ට් ලංකාතිලක ගේ දකුණු අතේ වැළමිටට ඉහලින් වෙළා කුඩා අත් පොම්පයෙන් වාතය රබර් ටියුබයට  යැවීය​. ක්‍රම ක්‍රමයෙන් රබර් ටියුබය වාතයෙන් පිරී තද විය​.

හෙදිය වෙද නලාවක් වින්සන්ට් ලංකාතිලක ගේ වැළමිට හන් දිය මත තබා අත් පොම්පය සෙමෙන් සෙමෙන් බුරුල් කලාය​. ඒ අතරවාරයේ රුධිර පීඩනය බලන උපකරණයේ රසදිය මට්ටම දෙසටද නෙත් යැවුවාය​. ඇයගේ සවන් වෙද නලාවටද දෙනෙත් රසදිය මට්ටම වෙතටද යොමු වී තිබුණු අතර එක් රුධිර පීඩන කියවීමකින් පමණක් සෑහීමට පත් නොවූ හෙදිය තවත් වාරයක් වින්සන්ට් ලංකාතිලක ගේ රුධිර පීඩන පරික්‍ෂා කලාය​.

“"ෙඩාක්ටර් ප්‍රෙෂර් එක අඩුයි වගේ. මට සිස්ෙටාලික් අසූවක් වගේ ලැබුනේ " ඇය බැරෑරුම් ස්වරයෙන් කීවාය​.

එෆිඩ්‍රීන් එක දෙන්න වෛද්‍යවරයා කෙටි විධානයක් දුන්නේය​.


                                  ******************************************************************

මධ්‍යම රාත්‍රියට පැය භාගයක් තිබියදී ජුල්ස් හෝටලයට ගිය වින්සන්ට් ලංකාතිලක ඇඳුම් මාරු නොකරම ඩිවානයේ වැතිරී Ragtime නවකථාව කියවීම යළි ආරම්භ කලේය​. 

මඳ වේලාවක් යන විට වින්සන්ට් ලංකාතිලක  එව්ලින් නෙස්බෙට්, හැරී තාව් , ජේ.පී මෝර්ගන්, බූකර් ටී. වොෂින්ටන් වැනි චරිත අතර ඔහු අතරමං විය​. ඔහු නොකඩවා නවකථාව කියවීමේ යෙදුනේය​. අළුයම දෙක පමණ වන විට ඔහු නවකථාව කියවා අවසාන කලේය​. ඉන්පසු මුහුණ කට සෝදා  ඇඳුම් මාරු කරගෙන රාත්‍රීයට අඳින ඇඳුම් ඇඳගත් වින්සන්ට් ලංකාතිලක  ඇඳේ වැතිරුනද නින්ද තවමත් නොආවේය​. ඔහු නිදි වර්ජිතව පැයක් පමණ වේලාවක් අඩ අඳුරේ ගත කලේය​.

වින්සන්ට් ලංකාතිලක මැල්කම් එක්ස් පිළිබඳව පෙරදා කියවන ලද  ලිපියක කොටසක් සිහිපත් කලේය​. Ragtime නවකථාව සහ​ මැල්කම් එක්ස් ගේ සමාජ විශ්ලේශන අතර   යම් සමානකමක් ඔහු දකියි.  මැල්කම් එක්ස් කියන පරිදි නිග්‍රෝවරු දෙකොටසකි. එක් කොටසක් හඳුන්වන්නේ ගෘහ නිග්‍රෝවරු වශයෙනි. දෙවන කොටස භූමි නිග්‍රෝවරු වෙති. ගෘහ නිග්‍රෝවරු  තම සුදු ස්වාමියාගේ ගෘහයේ වසති. ඔවුන් ස්වාමියාගේ ඉවීම් පිවීම් කටයුතු මෙන්ම ගෘහ කටයුතු සපුරා දෙති. භූමි නිග්‍රෝවරු සේවය කරන්නේ සුදු ස්වාමියාගේ  තිරිඟු කුඹුරු සහ කපු යායවලය​. ඔවුන් දාඩිය වගුරමින් උදේ සිට රාත්‍රිය දක්වා වහල් සේවයේ යෙදෙති.    

භූමි නිග්‍රෝවරුන්ට සාපේක්‍ෂව ගෘහ නිග්‍රෝවරු වඩාත් හොඳ දිවියක් ගත කරති. ඔවුන් ස්වාමියාගේ ඉතිරි වූ ආහාර අනුභව කිරීමේ වාසනාවන්තයන් වෙති. සුදු ස්වාමියා භාවිතා කරන ලද පරණ ඇඳුම්  ගෘහ නිග්‍රෝවරු අඳිති.  භූමි නිග්‍රෝවරු අඩක් කුසගින්නේ නිසරු ආහාර වලින් යැපෙති. ගෘහ නිග්‍රෝවරු සුදු ස්වාමියාට ආදරය කරන අතර ඔහුව අතුරු අන්තරා වලින් ආරක්ශා කරති. නමුත් භූමි නිග්‍රෝවරු සුදු ස්වාමියාට ද්වේශ කරන අතර ඔහුගේ නපුරු සහ කෘර පාලනයෙන් මිදී නිදහස ලබීමේ සිහින දකිති. 

මැල්කම් එක්ස් තමන්ව හඳුන්වා ගත්තේ භූමි නිග්‍රෝවරයෙකු වශයෙනි.මැල්කම් එක්ස්ගේ මිණිතයට අනුව බැරක් ඔබාමා කවරෙක්ද​? ඔහු පද්ධතිය සම්ප්‍රදාය සංස්ථාව ආරක්‍ෂා කරන ගෘහ නිග්‍රෝවරයෙක් ද​? වින්සන්ට් ලංකාතිලක දෑස් පියා මොහොතක් කල්පනා කලේය​. ඉන්පසු තම දිනපොත ගෙන සටහන් කීපයක් යෙදුවේය​.

දුරකථනය අතට ගත් වින්සන්ට් ලංකාතිලක දාලියා ඇමතීය​. ඉදිරි දින පිලිබඳ සැලැස්ම හෙලි කල වින්සන්ට් තව සුමාන දෙකක් පමන පැරිස් නගරයේ රැඳී සිටින බව කීවේය​. එසේම ගැස්ටන් හමු වීමට තිබෙන බාධයකද පැවසීය​. ජිනෝවා හි සිටින ඤාතියෙකුගේ උපකාරයෙන් ගැස්ටන්ට පණිවිඩයක් යැවීමට උත්සහ ගන්නා බව දාලියා පොරොන්දු වූවාය​. එය වින්සන්ට් හට සහනයකි.

පැය භාගයක් පමණ දාලියා සමග දුරකථනයෙන් කතා කල වින්සන්ට් සංවාදය අවසන් කොට කාමරයේ විදුළි පහන නිවා  නිදා ගැනීමට සූදානම් විය​. ජෙට් ලැග්ම නිසා ඔහුට නින්ද ගියේ අළුයම හිරු කිරණ හෝටල් කාමරයේ ජනේලය ස්පර්ශ කරන විටය​. නමුත් ඔහු බොහෝ වේලාවක් නිදා ගත්තේය​. වින්සන්ට් ලංකාතිලක අවදි වන විට දිවා කාලයද අවසන් වෙමින් තිබුණි.

අවදි වූ පසු හොඳින් ස්නානය කල වින්සන්ට් ලංකාතිලක දිවා ආහාරය ලෙස ටර්කි සැන්ඩ්විච් කීපයක්  ඇණවුම් කලේය​. ආහාරයෙන් පසු ඇඳ පැලඳගත් ඔහු ජූඩ් හට දුරකථන ඇමතුමක් දුන්නේ ෆ්‍රෙඩ් සිරිමාන්න හමු වීමේ අභිලාශයෙනි. සවස පහ වන විට හෝටලයට එන බව ජූඩ් දැන්වීය​. එතෙක් වින්සන්ට් ලංකාතිලක  රූපවාහිනිය නැරඹීය​.

පොරොන් දු වූ පරිදි ජූඩ් සවස පහ වන විට ජුල්ස් හෝටලයට පැමිණියේය​. ජූඩ් පැමිණියේ ඔහුගේ නවතම  Peugeot 208 මෝටර් රථයෙනි. ජූඩ් ආවේ තනියමය​.  ඔහු සමග කරුනානායක පැමිනියේ නැත​. සේතන් මාමාට නොසලකා හැරීම පිලිබඳව ජූඩ්කරුනානායකට නොසෑහෙන සේ දොස් පැවරූ නිසා මෙන්ම  සේතන් මාමා පිලිබඳ වරදකාරී හැඟීම් නිසාදෝ  කරුනානායක  වියාජ හිසේ කැක්කුමක් ගෙන ෆ්‍රෙඩ් සිරිමාන්න හමුවීමට යන ගමන මග හැරියේය​. 

ෆ්‍රෙඩ් සිරිමාන්න ජීවත් වූයේ ටෝර්සි වල කුඩා නිවසකය​. ඔහු දැන් විශ්‍රාමිකයෙකි.  වින්සන්ට් ලංකාතිලක තමා හමු වීමට එන බව දැනගත් ෆ්‍රෙඩ් සිරිමාන්න සිටියේ යම්කිසි නොසන්සුන්කමකිනි. හමු වූ විට ඔවුන් බොහෝ සේ වාද කර ගනිති.  නමුත් ෆ්‍රෙඩ් සිරිමාන්න  වින්සන්ට් ලංකාතිලක ගේ සමාගම ප්‍රිය කලේය​.

ඔවුන් ෆ්‍රෙඩ් සිරිමාන්න ගේ නිවසට යන විට ඔහු සමග් තවත් අමුත්තෙක් සිටියේය​. ෆ්‍රෙඩ් සිරිමාන්න ගේ නිවසේ සිටි මහාචාර්‍ය නොයෙල් ,  වින්සන්ට් ලංකාතිලක හඳුනාගත්තේය​. මහාචාර්‍ය‍ නොයෙල් ගේ ලිපි වින්සන්ට් ලංකාතිලක කියවා තිබේ.

අමුත්තන් පිලිබඳ මූලික හැඳින්වීමකින් පසු තම මිතුරන්ට සංග්‍රහ කිරීම ඇරඹීය​. වාදයකට පෙර අමුත්තන්ට සංග්‍රහ කිරීම ඔහුගේ පුරුද්දකි. මිතුරන් වෙනුවෙන් ඔහු විශේශ රාත්‍රී භෝජනයක් පිලියෙල කරවීය​. ආහාර ගැනීමට ප්‍රථම ඔවුන් වයින් පානය කළහ​. වාහනය එලවීමට තිබෙන නිසා ජූඩ් පානය කලේ එක වයින් වීදුරුවකි.


ෆ්‍රෙඩ් ලංකාවට ආපහු එන්න අදහසක් නැද්ද  මහාචාර්‍ය නොයෙල්  ඇසීය​

අපෝ නැහැ නොයෙල් . මම ආපහු ලංකාවට යන්නේ නැහැ. අපි වගේ මිනිස්සු ඒ සමාජයට ගැලපෙන්නේ නැහැ. අපේ ර​ෙට් බුද්ධිමත් සංවාද නැහැ. ප්‍රධාන මධ්‍ය වලින් පවා ඉදිරිපත් කරන්නේ  දේශපාලනයට එන නිලියන් කියන කරන විච්චූරණ ගැන කථා , ඔවුන් ගේ ඕපාදූප , නූගත් දේශපාලකයෙක් කියපු මරි කතාවක් , මේවගේ දේවල්. බුද්ධිම සංවාද  නැති තැනක බුද්ධි  කලම්බනයක් නැහැ. එවැනි සමාජයක්  ප්‍රාථමිකයි .  නිරුවත්. ලංකාවේ සමාජයත් මේ වගේ. මේ වගේ නූගත් පාද​ඩ ප්‍රාථමික සමාජයකින් ඈත් වෙලා සංස්කෘතිය බුද්ධිම සංවාද  තිබෙන පැරීසිය වගේ ස්ථානයක සිටීම මට දාහෙන් සම්පතයි”   ෆ්‍රෙඩ් සිරිමාන්න  පැවසීය.

මහාචාර්‍ය‍ නොයෙල් ,ෆ්‍රෙඩ් සිරිමාන්න    දෙස   උපහාසාත්මක අයුරින් බැලීය​.

ෆ්‍රෙඩ් හොඳට ෆ්‍රෙන්ච් කතා කරනවා. නමුත්  ෆ්‍රෙඩ් කවදාවත් ප්‍රන්ස සමාජයේ සාමාජිකයෙක් වෙන්නේ නැහැ. ඔවුන් ව දකින්නේ අසියාතිකයෙක් , ලාංකිකයෙක් ලෙස​ට. ඒක වලක්වන්න බැහැ

මට ප්‍රන්ස ජාතිකයෙක් හෝ ඉංග්‍රීසි ජාතිකයෙක් වෙන්න අවශ්‍ය නැහැ​. බාහිර සමාජය මාව දකින විදිහ මට අදාල නැහැ. මම අයිති ජාතිය අතික්‍රමණය කරලා හිතීමට පුලුවන් මිනිසුන් ගේ පවුලට. ඒ කොට්ටාශයේ පටු වාර්ගික හැගීම් නැහැ. ඒ නිසා ජාතිය අතික්‍රමණය කරලා හිතීමට අසීරු මිනිසුන් ගේ විනිශ්චයට මම යටත් නැහැ. නොයෙල් මෙතනට එන්න​. මේ චිත්‍ර දිහා බලන්න

ෆ්‍රෙඩ් සිරිමාන්න  මිතුරන්ව යාබද කාමරයට ගෙන ගියේය​. එම කාමරය කුඩා නමුත් පියකරු ලෙස කාමරයේ බිත්ති වල රඳවා ඇති  චිත්‍ර නිසා  කාමරය විශාල බවක් දැනේ. මිතුරන්ට චිත්‍ර එකින් එක පෙන්වමින් ෆ්‍රෙඩ් සිරිමාන්න  චිත්‍ර පිළිබඳව විවරණයක් කලේය​.

මේ පින්තූරය දෙස බලන්න . ඔබ දකින්නේ ශූන්‍ය දර්ශනයක්. එහි කිසිවක් නැහැ. නමුත් ඒ පින්තූරයේ පුළුල් ව්‍යාප්තවූ දර්ශනයක් තිබෙනවා. යළි හොඳින් බලන්න​. ඔබ දකිනවා අල්තීනායි ඇතුළු  දරුවන් ලෙනින් ගේ පින්තූරය දෙස බලා සිටිනවා. දයාබර ලෙනින් සියළු ලෝ තළයේ දරුවන් ගේ මිතුරා. දුයිෂෙන් හිස්වැස්ම ගලවා ලෙනින්ට ආචාර කරනවා. ගොම ගෑ සීතල පොළවේ   වාඩිවී සිටින අයිලයේ දරුවන් දෙස ලෙනින් ගේ කාරුණික නෙත් යොමු වෙලා.  දරුවනේ නුඹලාට සුභ අනාගතයක්. 

මේ පින්තූරයේ වම් කෙළවර දෙස බලන්න​.  ඔබ දකිනවා යේ කැතරින්බුර්ග් වල ඉපැටියෙව් නිවස​. ලෙනින් ගේ නියෝග මත ස්වෙර්ද්ලෝව් අණ කරනවා යාකොව් යුරෝව්ස්කිට සාර් රජතුමා ඔහුගේ බිසව සහ දරුවන් මරා දමන්න​. නිවසේ මුරට සිටි සමහර  භටයන් ප්‍රතික්ශේප කරනවා කාන්තාවන්ට වෙඩි තියන්න​. ඒ නිසා යාකොව් යුරෝව්ස්කිට සිදු වෙනවා දෘඩ සිත් ඇත්තන් මේ කර්තව්‍ය සඳහා යොදවන්න​.

යාකොව් යුරෝව්ස්කි සහ පිරිස දෙවන නිකලස් සාර් රජතුමාට ඇලෙක්සැන්ඩ්‍රා ෆියදොරොව්නා බිසවට සහ ඔවුන් ගේ දරුවන් වන ඔල්ගා , මරියා , තතියානා, සහ ඇලෙක්සේයිට වෙඩි තබා මරණවා. ඇලෙක්සේයි කුමරුගේ වයස අවුරුදු දහ හතරයි. අල්තීනායි ගේ වයස​. වෙඩි වැදී බිම වැටී  සිටින ඇලෙක්සේයි කුමරුට  ඔවුන් බයිනේත්තු වලින් අනිනවා. නමුත් ඇලෙක්සේයි තවමත් හුස්ම ගන්නවා. යුරෝව්ස්කි ඔහුගේ පිස්තෝලයෙන් ඇලෙක්සේයි ගේ හිසට වෙඩි දෙකක් තබා ඔහුව නිසල කරනවා. බොල්‍ෂවික්වරු ඇලෙක්සේයි කුමරුගේ සුරතල් බල්ලා- ජිමීටත් වෙඩි තබා මරා දමනවා. 

ඉපැටියෙව් නිවසේ කුස්සියේ වැඩ කල කොළු පැටියා ලියොනිඩ් සේද්නේව්. දුප්පත් ගමේ කොල්ලෙක්. ඇලෙක්සිගේ වයස​. ඒ නිසා සාර් පවුල ඉපැටියෙව් නිවසේ රඳවාගෙන සිටි කාලයේ  ලියොනිඩ්  ඇලෙක්සි සමග මිතුරු වෙනවා. ඇලෙක්සි කුමරු ලියොනිඩ්ට කරුණාවයි. මේ මිතුදම බොල්‍ෂවික්වරුන්ට හිසරදයක්. රොමනොව් පවුල ඝාතනය කිරීමට පෙර ඔවුන් ලියොනිඩ් සේද්නේව්ව පිටමං කරනවා. මේ කොළුවා ගැන පස්සේ කිසිම ආරංචියක් ලැබෙන්නේ නැහැ. කොළුවාව අතුරුදහන් කරවනවා.

එකදාස් නමසිය හතලිස් ගනන් වන විට  ලියොනිඩ් සේද්නේව් වැඩුණු මිනිහෙක් නමුත් රාජ්‍ය තන්ත්‍රය ඔහුව අමතක කරලා නැහැ. ස්ටාලින් ගේ එන් .කේ .වී. ඩී. පොලිසිය ඔහුව හොයාගෙන එනවා. මේ සාක්‍ෂිකරුවා අතුරුදහන් කළ යුතුයි. ලියොනිඩ් සේද්නේව් අත් අඩංගුවට ගෙන වෙඩිතබා මරා දමනවා. නමුත් මේ රහස අභිරහසක් වූවාද? ඔබලා පවා මේ සිදුවීම ගැන අද දිනයේ දන්නවා.

ලියොනිඩ්ගෙන්  ඇලෙක්සිගෙන් ඇරඹෙන භීම සමය ස්ටාලින් යුගයේ හොලදමෝර් යූක්‍රයීනයේ කෘතිම සාගතය දක්වා දිවෙනවා. සාගතය නිසා මිය ගිය ළමුන් ගනන කීයද​? දෙමාපියන් ජනතා සතුරන් කියා  අත් අඩංගුවට ගෙන පිටුවහල් කිරීම නිසා විනාශ වී ගිය ළමා ජීවිත ගනන කීයද ? ඔබට තක්සේරුවකට එන්න පුලුවන්ද ?

මේ පින්තූරයේ දකුණුකෙළවර දෙස බලන්න. ඔබට පෙනෙනවාද ඇමරිකානු හමුදා විසින් වියට්නාමයේ නේපාම් බෝම්බ හෙලා මරා දමන ලද ළමුන් ?. එසේම ඇමරිකානු හමුදා ප්‍රහාර වලින් මිය ගිය ඉරාකයේ සහ ඇෆ්ගනිස්ථානයේ ළමයි.  සෑම දේශපාලන ක්‍රමයක්, අත් හදා බැලීමක් , බල අරගලයක්  යුද්දයක්  ඉලක්ක කලේ ළමා ජීවිත​. නමුත් අවසනයේදී මේ වැඩිහිටියන්ම කියනවා ළමයි තමයි අපේ අනාගතය කියලා. ළමයි ඔවුන් ගේ අනාගතයද ? නැත්නම් ඉල්ලක්කයද ?

මේ චිත්‍රය දෙස බලන්න. මේ චිත්‍රය මම මිලදී ගත්තේ කෙන්යාවේ මසායි මාකට් එකෙන්. ඔබට පේනවාද එක් මිනිසෙක් සහ ඔහු වටා රැස් වූ  පිරිසක් ? මේ මිනිසා ම්ලේච්ඡ වනචාරී ගෝත්‍රික නායකයෙක්.  ගෝත්‍රික පසුගාමී රාජ්‍යයක් ඔහු පාලනය කරනවා.  ම්ලේච්ඡ වනචාරී ගෝත්‍රික නායකයා දෙස බලන්න​. ඔහු අධ්‍යාපනයෙන් නූගත්. නමුත් උගත් මිනිසුන් තමයි ඔහුගේ අසූචි අදින්නේ. මේ උගත් මිනිසුන් නායකයාගේ වටා දණගසාගෙන ඉන්නවා. ඔහුගේ දෙපතුල වටා ඉන්න නෙත් අන්ධ මීයන් තොගය දෙස බලන්න​.  මේ ම්ලේච්ඡ වනචාරී ගෝත්‍රිකයා සවන් දෙන්නේ ඔහුගේ දෙපතුල වටා ඉන්න නෙත් අන්ධ මීයන්ට පමණයි. මේ මීයන් වන්දි භට්ටයන් සේ ම්ලේච්ඡ වනචාරී ගෝත්‍රිකයාගේ නැති ගුණ ගයනවා. නමුත් මේ ම්ලේච්ඡ වනචාරී ගෝත්‍රික නායකයා  මිය ගිය දවසට මේ මීයන් ඔහුගේ නුගුණ වයා අළුත් නායකයාගේ දෙපා වටා  පොදි කනවා. 

ම්ලේච්ඡ වනචාරී ගෝත්‍රික නායකයා දෙපස ඉන්න හයිනාවුන් දෙස බලන්න මේ හයිනාවුන් තමයි නායකයා නියෝග කරන ඝාතන ඉටු කරන්නේ. ඔවුන් ගේ නිය දත් අහිංසකයන් ගේ සත්‍ය කතාකලවුන් ගේ රුධිරයෙන් තෙත් වෙලා. ගෝත්‍රික නායකයාගේ උරපත්තේ දෙපස ගිජු ලිහිණින් දෙදෙනෙකු ඉන්නවා ඔවුන් තමයි නායකයා වෙනුවෙන් මුදල් ගසාකන්නේ. මේ  ගිජු ලිහිණින්  ඉතා සූක්‍ෂමයි මුදල් තියන ස්ථාන පුද්ගලයන් ගිජු ලිහිණින් ගේ දෙනෙතට අසු වෙනවා. මේ ගිජු ලිහිණින් ගෙන් ගැලවීමක් නැහැ.

ම්ලේච්ඡ වනචාරී ගෝත්‍රිාක නායකයා ගේ හිස මත වසා සිටින කපුටා දුටුවාද​? මේ කපුටා තමයි ගෝත්‍රික නායකයා ගේ  පූජා, යාග  ගුරුකම් කරන්නේ. ම්ලේච්ඡ වනචාරී ගෝත්‍රිාක නායකයා සහ පිරිවර මිත්‍යාවේ කර වටක් ගිලිලා. ඔවුන් අනාගතයට විචක්ශනශීලීව මුහුණ දීමට බයයි. ඒ නිසා මිත්‍යා ගුරුකම් වලින් තමයි තම දෛවයට මුහුණ දෙන්න උත්සහ කරන්නේ. කපුටා කපටියි. ගෝත්‍රික නායකයන් තුල තිබෙන අනිසි බිය ප්‍රයෝජයට ගෙන ඔවුන් තුලට අතුරු අන්තරා කිළි පිලිබඳ බිය ඇතුළු කරලා ගුරුකම් යාග හෝම වලින් බඩ වඩා ගන්නවා. මේ චිත්‍ර වලින් අතීතය වර්තමානය අනාගතය නියෝජනය වෙනවා.

මේ චිත්‍රය බලන්න​. මේ ලංකාවේ සුන්දර ගම්මානයක්.  මේ ගම්මානය මීදුමකින් වැසිලා. ඒ මීදුම තමයි ග්‍රාමීය පසුගාමීත්වය​. ග්‍රාමීය පසුගාමීත්වයෙන් වැසී ගිය මේ ගම්මානයේ ඉරිසියාව​, කුඩුකේඩුකම​, හීනමානය , නවීනත්වයට දක්වන බිය​, තාක්‍ෂණ විද්‍යාව පිලිකුල් කරන නමුත් එහි ප්‍රතිලාභ වලට ඇති ගිජු බව , ද්විත්ව ප්‍රමිතිය ගම්මානයේ සුන්දර බව​ විනාශ කරනවා. මේ ගම්මානයේ දරුවන් තමයි නිදහස් අධ්‍යාපනය නම් ඉනිමග ඔස්සේ නගරය කරා එන්නේ. නගරයේදී ඔවුන් විධායකන් බවට පත් වෙනවා. නමුත් ඔවුන් ගන්නා තීරණ , ඔවුන් ගේ ආකල්ප වල ග්‍රාමීය පසුගාමීත්වය පිරිලා. මේ පසුගාමීත්වය තමයි ගුණදාස අමරසේකර  ගැමි දෘෂ්ටිවාදය හරහා ඉදිරිපත් කලේ. ගුණදාස අමරසේකර ගේ  පටු ගැමි දෘෂ්ටිවාදය මම ප්‍රතික්ශේප කරනවා.

ගැමි තරුණයන්ගේ නොමේරූ බව​අත්‍යන්ත වූ  බුද්ධිමය සීමා 71 කැරැල්ල, 88, 89 භීෂණය, හා එල්. ටී. ටී. ඊ. ත්‍රස්තවාදයෙනුත් අපට පෙනී ගියා. ඒක අපි සක්‍ෂාත් කළා. පන්ති සතුරා තමයි ඔවුන් හඹා ගියේ.පන්ති සතුරා කියන්නේ කවුද ? සේන සහ සිරි  පන්ති පහ නිම කල දුගී ගැමි තරුණයන් දෙදෙනෙක්. ඔවුන් ගමේ උළු ගෙවල් වල ජීවත් වූ තමන්ගේම කුඹුරු වල වැඩ කරගෙන ගෙවත්තේ පොල් ටික එලවළු ටික  වගා කරගෙන අවම අවශ්‍යතා නිසා ස්වයංපෝෂිත බවට පත් වී සිටි ගැමියන්ව හැඳින්වූයේ ධනපතියන් ලෙසට. මේ නිසා තම  ගමේ සිටි මේ වගේ කොටස් ඔවුන් දුටුවේ පන්ති සතුරන් ලෙසට. ඒ නිසා  ඔවුන්ට ද්වේෂ කලා.

 කැරැල්ල නිසා සේන සහ සිරි  හිරේ ගියා. සේන හිරේදී ඉගන ගත්තා. ඉංග්‍රීසි දැණුම ලබාගත්තා. දෙදෙනාම අවුරුදු හයකට පස්සේ ගමට ආවා.  සිරි  ගමේ කුලී වැඩ කරලා ජීවිතය ගැටගහගත්තා. සේන කොලඹ පැත්තේ එන්.ජී.ඕවක පොඩි වැඩක් හොයා ගත්තා. ඒ අතරේ බාහිර උපාධිය හැදෑරුවා. සිරි  තවම ගමේ කුලී වැඩ කරනවා. අතරින් පතර පරණ දේශපාලන වියාපාරයටත් උදව් කරනවා.සේන පිටරට ගියා එන්.ජී.ඕ වල වැඩ කරා. අවුරුදු ගානකට පස්සේ සේන  තඩි කාර් එකකින් ගමට ආවා. සේන සුදු වෙලා ඇඞපතත් මහත් වෙලා. සිරි අකලට නාකි වෙලා. අව්වේ වැඩ කිරීම නිසා මිනිහා පිච්චිලා ගිහිල්ලා , උඩු ඇන්දේ දතකුත් නැහැ. සේනව දකින සිරි තුල ඉරිසියාව , තම ගැන දුක අනුකම්පාව පහළ වෙනවා. ඔහු සේන සමග කථා කරන්නේවත් නැතිව යනවා. සේන ද්‍රෝහියෙක් පන්ති සතුරෙක් කියනවා. මේ තරුණයන් දෙදෙනා අතර වෙනස්කම් ඇති කළ ප්‍රධාන සාධක මොනවාද​?

අපේ සමාජයේ බිය පිරිලා. අතීත කාමය නවීනත්වය , නවීනත්වයට ඇති බිය , නවීනත්වයේ ප්‍රතිලාභ කෙරෙහි ඇති ගිජු බව​, ඒවා අත්පත් කර ගැනීමට ඇති නොහැකියාව නිසා මතුවන ඉච්චාභංගත්වය​ නිසා මිනිසුන් ආකුල වෙලා. තමා ගැන පවතින ආත්ම අනුකම්පාව නිසා අනෙකාට ඉරිසියා කරනවා.

නවීන තාක්‍ෂණය සමග  ගනුදෙනු කිරීමේ නොහැකියාවෙන් පෙලෙන කොටස් ජංගම දුරකථනයට , ෆේස් බුක් එකට, ලැප්ෙටාප් එකට විරුද්ධ වීම අරුමයක් නෙවෙයි. බෝල් පොයින්ට් පෑනට බය වෙච්ච සමාජයක් මේක​. ඒ නිසා නවීන තාක්‍ෂණය තහනම් කරන්න ඔවුන් දරණ උත්සහය මට හිතගන්න පුලුවන්. යුරෝපීය කොකේසියන් මිනිසා මධ්‍යතන යුගයේ මානසික රෝගීන් , උගත්කම තිබූ කාන්තාවන්  මන්ත්‍රකාරියන්සාතන් ගේ ඒජන්තයන් ලෙස චෝදනා කොට  කණු වල බැඳ පණපිටින් පුළුස්සමින් ම්ලේඡ්චයින් ලෙස සිටි කාලයේ  අපේ මිනිසුන් වාරි ශිෂ්ටාචාරයක් බිහි කලා.  නමුත් අද මොකද වෙලා තියෙන්නේ.  යුරෝපීය කොකේසියන් මිනිසා ශිෂ්ට වෙලා. අපි කොළ අතු ඇඳගෙන​. දූෂණය කරපු සංඛ්‍යාව සමරන්න පාටි දමන , ගුරුවරියන් දණ ගස්වන ම්ලේඡ්චයින් අපගේ පාලකයන් ලෙස පත් කරගන්නා තරමට අපි පහත් වෙලා.

ලෝකයේ ප‍්‍රථම අගමැතිවරිය බිහි කෙළේ ලංකාව වුව ද එය කළේ ස්ත්‍රියට සමතැන් දෙන සමාජ මානසිකත්වයකින් නෙවෙයි. එය සිදු උනේ වැඩවසම් මානසිකත්වය නිසයි. වලව්වේ මහත්තයා මැරුණු නිසා ළමාතැනීව ලංකාවේ මිනිස්සු පත් කර ගත්තා. මේක වැඩවසම් හීනමානයෙන් පෙලෙන සමාජයක් ගත් සාමුහික තීරණයක් මිසක් කාන්තාවගේ පැත්තෙන් බලලා ස්ත්‍රියට සමතැන් දිය යුතුයි යන හැඞීමෙන් ගත් තීරණයක් නෙවෙයි.

අපට තාක්‍ෂණය , කලාව ,විද්‍යාව  යන ත්‍රිවේදයන් දියුණු වූ ශිෂ්ටාචාරයක් ගොඩ නැගීමට අසමත් වූයේ මන්ද ? තවමත් පසුගාමී ගෝත්‍රික ගති අපගේ ජාන වල රඳා පවතීම නිසාද? අපි ලෝක තත්ත්වයේ ලාංකිකයන් බවට පත් වන්නේ කවදාද​?  ලංකාවේ බහුතර සබුද්ධික මිනිසුන්ව පාලනය කරන්නේ බලය පමණක් අතැති නූගත් මිනිස්සු. නූගතුන් විසින් උගතුන් පාලනය කරන දේශයක ජීවත් වීම සාපයක් නොවේද​?

ෆ්‍රෙඩ් සිරිමාන්න  එක එල්ලයේ මිතුරන් දෙස බලා සිටියේය​. කිසිවෙකු නිහඩතාව බින්දේ නැත​. මිතුරන් ද ෆ්‍රෙඩ් සිරිමාන්න  දෙස බලා සිටියා පම​ණි

මිත්‍රයා මේ කතාව අහන්න ඔහු නිහඞතාවය බින්දේය​.

“ මම හිටියේ ගහළයාගේ කාර්‍යාලයේ. ගහළයා  දේශපාලනයමය  වශයෙන් මෙන්ම රාජකාරියමය වශයෙන් බලවත් පුද්ගලයෙලක්. ඔහු ඉදිරියේ හමුදා නිලධාරීන් , රාජ්‍ය නිලධාරීන් හැසිරුනේ බයාදු විදිහට. මම විතරක් නිහඬ ව කෙලින් හිටගෙන සිටියා. ඔහු මා දෙස බැළුවා. මම නිසොල්මන්ව ඔහුගේ දෙනෙත් දෙස එක එල්ලයේ බලා සිටියා. කිසිම කෙනෙක් ගහළයා ඉදිරිපිට ඔහුගේ ඇස් දෙක දිහා බලන්නේ නැහැ. බැලුවොත් බලන්නෙ හිස නවාගෙන​. ගහළයාට මගෙන් වැඩක් නැහැ. මම නිකම් විශ්ව විද්‍යාලයක උපාධියක් තියන පුද්ගලයෙකු විතරයි. මට වඩා උගත් මිනිසුන් ගහළයා ළඟ දණ ගහනවා.

එක් නිලධාරියෙක් ෆයිල් එකක් අරගෙන ආවා. ෆයිල් එක දැහැත් වට්ටියක් භික්‍ෂුවකට දෙනවා වගේ අත් දෙකෙන් දුන්නා. සර් තිස් දෙකේ වත්තේ ප්‍රොජෙක්ට් එක කරගන්න විදිහක් නැහැ මිනිස්සු ප්‍රොෙටස්ට් කරනවා කිව්වා. තිස් දෙකේ වත්ත කියන්නේ මුඩුක්කුවක්. මේ මුඩුක්කු ටික කඩලා මෙතන තරු පහේ හෝටලයක් ඉදි කිරීමට තමයි සැලැස්ම. ගහළයාගේ මුහුණට කෝපය ආවා. අයිසේ ඔය මුඩුක්කු ටිකට ගිනි තියනවා කිව්වා. ප්‍රශ්නය එතනින් හමාරයි. තවත් හමුදා නිලධාරියෙක් ආවා. රිපෝට් එකක් පෙන්නුවා එක මාධ්‍යවේදියෙක් ගැන​. මිනිහට වී.අයි.පී. ට්‍රීට්මන්ට් දෙනවා කිව්වා. ඒ කියන්නේ කැපුට් නොහොත් මරණය​.

හවස මම ටීවී බලන කොට දැක්කා තිස් දෙකේ වත්තේ හදිසි ගින්නක් ඇති වෙලා නිවාස සීයක් විතර අළු වෙලා. සුන්බුන් අතර කුඩා පාසල් යන වයසේ ළමයෙක්. ඒ ළමයා තමන් ගේ පාසල් පොත් හොයනවා. මුහුනේ අසරණකම දුක පිරිලා. නමුත් පාසල් පොත් අළු බවට පෙරලිලා. ඒ සමගම හදිසි ප්‍රවෘත්තියක්. මාධ්‍යවේදියෙකුට වෙඩි තියලා මරලා.  මාධ්‍යවේදියාගේ පවුල පොළවේ හැපී හැපී අඬනවා. මම ටීවී එකෙන් දෑස් මොහොතකට ඉවතට ගත්තා. අද දිනය ඇතුලත ගහළයා මම ඉදිරියේ පාප කර්ම දෙකක් කරලා. මට ගහළයා ගැන පිළිකුලක් ඇති උනා. යළිත් මම ටීවී එකට නෙත් යොමු කලා. පන්සලක පින්කමක් පෙන්වනවා. ගහළයා තමයි ප්‍රධාන අමුත්තා.  සංඝ නායක  ධාතු කරඬුව  ඔහුගේ හිස මත තැබුවා. මම දුටුවා ගහළයාගේ මුහුනේ වූ ශාන්ත ස්වභාවය​. ගහළයා කිසිම වරදකරී බවක් නොමැතිව සන්සුන් ලෙස ධාතු කරඬුව හිස් මත තබාගෙන ඉන්නවා. ඔහු දක්‍ෂයෙක් අනිවාර්‍යෙන්ම දක්‍ෂයෙක්. මෙවැනි පුද්ගලයන් තමයි රෝමය නිර්මාණය කලේ. අප වගේ ස්වයං වරදකාරී බව නිසා තිගැස්සෙන නිතරම හෘධ සාක්‍ෂියට  සවන් දෙන බියසුල්ලෙක් නොවෙයි ඔහු.  ගහළයා උදාර පුරුෂයෙක්. මේ වගේ පුරුෂයන් තමයි ලෝකයට අවශ්‍ය. අනුකම්පාව කියන්නේ දුර්වළයාගේ  චරිත ස්වභාවයේ මූලික ප්‍රකාශනය​. නීට්ෙෂ් ගේ සුපිරි මිනිසා පිලිබඳ භාෂිතය වෙනස් කරලා තමන්ට අවශ්‍ය සුපිරි මිනිසුන් නිර්මාණය  කල  Wewelsburg  එස් එස් පාසල මට සිහියට ආවා.  Wewelsburg පාසල බිහි කලේ ගහළයා වගේ ශක්තිමත් මිනිස්සු. අපි වගේ දුර්වළ මිනිසුන් ස්වභාව ධර්මය විසින් ක්‍ෂය කරලා දමනවා.  අපට පැවැත්මක් නැහැ.

ඔබලාට තේරෙනවද මම කියන දේ . ඔහු මිතුරන් ගෙන් ඇසීය.  කිසිවෙකු පිළිතුරක් දුන්නේ නැත.



(පරිකල්පනික අතික්‍රමණය - වෛද්‍ය රුවන් එම් ජයතුංග )



20 comments:

  1. හ්ම්ම්.... ඔව්.
    ජයවේවා..!!

    ReplyDelete
  2. Replies
    1. ප්‍රමෝදයට පත් වගේ

      Delete
  3. ගහලයන් බිහිවීම වලක්වාගනීමත් තියෙන්නේ අපේ අතේ කියන එක තේරෙන්නේ නැත්තේ අයි හුඟක් දෙනෙකුට. හිරගෙදරක ඉන්න ගමන් හිරගෙදර සැපයි කියලා හිතන චින්තනය වෙනස් කරවන්න අපි විශාල වැඩ කොටසක් කලයුතුයි.

    ReplyDelete
    Replies
    1. ගහලයන් ස්වභාව ධර්මයේ නිර්මානයක් නේද ?

      Delete
  4. well written but not sure about the last para on "Gahalaya'. Why do we need more people of that calibre. Isn't Gahalaya only acting and covering up?

    ReplyDelete
  5. රුවන්ගේ සමාජ අවබෝධය සහ ලියනවිදිහ අනර්ගයි, අපි කෑලි කෑලි විදිහට අවබෝධකරගත් දේ එකට අමුණගන්න මේ ලියවිලි උදව්වේනවා.

    ගහලයගේ කතන්දරය බොහෝ දෙනෙක් අවබෝධකරගෙන ඇතිවගක් පෙනෙනවා, ඒත් ගම්මානය වසාගෙන ඇති මීදුම ඉක්මනින්ම තුරන් කර නොගත්තොතින් ආයෙත් 71ක් 89ක් උදාවේවි.
    මෑතකදී පිටරටක කෙටි කාලීන පුහුණුවකට තේරුණ ගුරුවරියකට නිවාඩු අනුමත කරගන්න සීතල කාමර අරක්ගත් විවිධ තරාතිරම් වල බලධරයන්ගෙන් සිදුවුන කෙනෙහිලිකම් ගැන අදහස් දක්වපු යාළුවෙක් පෙන්වා දුන්නේ මේ කාමර අරක්ගත් අය අතිබහුතරය ඈතපලාත්වලින් විශ්වවිද්‍යාලයට තේරුණු ඉගෙනිමට දක්ශයන් බවයි, ඔවුන් ඉගෙනීමට විභාග සමත්වීමට දක්ෂයන් වුනත් නිර්මාණශිලීත්වයක් නැති නිසා සහ පසුගාමී චින්තනය නිසා නිර්මාණශීලිත්වයට වෛරකරන්නන්. රජයේ සේවය අරක්ගෙන සිටින්නේ මෙවැනි අළුතෙන් බිහිවූ පීඩකයන්, නමුත් ලොකුම විහිළුව වන්නේ මේ පීඩකයන් ජවීපේ යාවජීව ඡන්දදායකයන් වීමයි.

    ReplyDelete
    Replies
    1. ඇණයා අපි ගම්මානය වසාගෙන ඇති මීදුම ඉක්මනින්ම තුරන් කර දැමිය යුතුයි

      Delete
    2. ඇනයා :
      අර සීත කාමර වල සිටින බහුතරය පැමිණි ප්‍රදේශ ගැන ඔබ දක්වා ඇත්තේ 'උපකල්පනයක්' ද? නැත්තම් 'සමීක්ෂණයක සමස්තයද'? මොකද මට ඒකට එකඟ වෙන්න අමාරුයි. නිර්මාණශීලි බවක් නැති බව පොදු කරුණක් උනත් ඔවුන්ගේ ඔරිජින් එක ඊට වඩා වෙනස්.

      ඔබ අසා තිබෙනවාද මන්දා, කෙනෙක් වැඩිපුරම පිඩාවට ලක්වෙනකොට , ඔවුන්ට අවස්තාවක් දුන්නොත් ඔවුනුත් කරන්නේ අනුන්ව පිඩා කරන එකමයි කියල? දෙමවුපියන් විසීම් නොසලකන ලද දරුවන්, තමුන්ගේ දරුවන්ටද එසේ සලකන්නට ඇති 'ප්‍රවණතාවය' වැඩියි. එය වෙනස් කරන්නේ බුද්ධිය. පොතේ දැනුමත් එක්ක එහි සම්බන්ධයක් නැහැ.

      විශ්ව විද්‍යාල තුල JVP ගැන ඇතිකර තිබෙන්නේ ඔබ ඔය කියන පිඩික මානසික චිත්‍රයයි. ඒ ගැන කණගාටුයි

      Delete
  6. මේ දේවල් වටින්නේ, ඒවා කියවන විට අපිට ලොකු වපසරියක් පේන නිසා. (big picture) අනර්ඝයි

    ReplyDelete
  7. ස්තූතියි උපේක්‍ෂා

    ReplyDelete
  8. >>“ ෆ්‍රෙඩ් හොඳට ෆ්‍රෙන්ච් කතා කරනවා. නමුත් ෆ්‍රෙඩ් කවදාවත් ප්‍රන්ස සමාජයේ සාමාජිකයෙක් වෙන්නේ නැහැ. ඔවුන් ව දකින්නේ අසියාතිකයෙක් , ලාංකිකයෙක් ලෙස​ට. ඒක වලක්වන්න බැහැ ”<<

    මේ අකාරයටම ආසියාතියකෙකුට හෝ අප්‍රිකානුවෙකුට ප්‍රංශ ජාතිකයෙක්, ජර්මන් ජාතිකයෙක් ඉංග්‍රීසි ජාතිකයෙක් වෙන්න බැරි වුනත්, ඔවුන්ට අමෙරිකානුවෙක්, (Okay African American, still American) ඕස්ට්‍රේලියානුවෙක්, බ්‍රිතාන්‍ය ජාතිකයෙක් වෙන්න බාධාවක් නෑ නේද?

    ReplyDelete
    Replies
    1. Dude බටහිර මහා සමාජයේ ඇතැම් විට ආසියාතිකයෙක් අප්‍රිකානුවෙක් ඔවුන් ගේ මහා ජාතියේ සාමාජිකයෙක් ලෙස ඇතැම් විට නොසැලකුනත් ජාතිය අතික්‍රමණය කරලා හිතන්නට පුළුවන් ජෝන් ලෙනන් ෙඩානල්ඩ් වුඩ්ස් වගේ මිනිසුන් අතර ඔවුන්ව තමන් ගේ සාමාජිකයෙක් ලෙස සැලකෙනවා.

      Delete
  9. මේ වින්සන්ට් ලංකාතිලක ආයි කතා කරන්න පටන් අරගෙනද?? අර මානසික රෝගියාගේ පාපොච්චාරණය නම් නෙමෙයි

    ReplyDelete
    Replies
    1. නෙවෙයි මේ දෙවන කොටස​

      Delete
    2. සොර්බා මතක් විය..

      Delete
  10. ඉතාමත් අනර්ඝ කතාවක්. අප අතරේ පවතින හුඟක් ප්‍රශ්න ඔබ මෙයින් කතා කරනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූති අජිත් ඒකයි මගේ අරමුණ

      Delete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook