Tuesday, May 19, 2015

පරිකල්පනික අතික්‍රමණය​



හිස් අවකාශයක දැකිය හැක්කේ කුමක්ද? අනන්තය දක්වා පැතිරී ගිය ශූන්‍ය බවයි. නිසලව ඇඳ මත වැතිර සිටින වින්සන්ට් ලංකාතිලකගේ දෙනෙත් යොමු වී තිබෙන්නේ ඒ ශූන්‍ය බව වෙතටයි. ඔහුගේ අතීතය වර්තමානය සහ අනාගතය එකිනෙක සමපාත වෙමින් පවතී. එවැනි අවස්ථාවක කාලය ගෙවී නොයයි. කාලය හා අවකාශය අතර සහ-සබඳතාවය ගිලිහී යයි. වින්සන්ට් ලංකාතිලක මුහුණ පුරා ඇත්තේ උපේක්‍ෂා සහගත බැල්මකි. 


විනාඩි කීපයක් ගත විය. සුදු කබායක් ඇඳ සිටි වෛද්‍යවරයෙක් වින්සන්ට් ලංකාතිලකගේ හිසෙහි ශංඛක ප්‍රදේශයේ දෙපස විද්‍යුද්වාර දෙකක් සවි කලේය​. දිව නොහැපෙනුවස් හෙදියක් ඔහුගේ දත් අතර රබර් සහ ප්ලාස්ටික් වලින් නිම වන ලද කෙටි මිටක් තැබුවාය​. ඉක්බිති වින්සන්ට් ලංකාතිලකගේ මස්තිෂ්කය හරහා විද්‍යුත් ධාරාවක් යවන ලදි. 

විද්‍යු්ත් ධාරාව මොලයේ සෛල හරහා යමින් මස්තිෂ්ක සෛල වල රසායනික ක්‍රියාකාරිත්වය විප්‍රකාරයකට ලක් කරනු ලැබීය​. හයිපෝතැලමස ආශ්‍රිත ප්‍රදේශයේ ඇතිවූ දාම ප්‍රතික්‍රියාව විවිධ රසායනිකයන් ශ්‍රාවය උත්සන්න කලේය​. එසේම රසායනික අධිසංවේදීතාවට පත් වූ මස්තිෂ්කයේ හිපකැම්පස ප්‍රදේශය අතීත ස්මරණයන් මතුපිටට ගෙන එන ලදි. ඒ අතර කාලය තුලදී මානසික රෝගියාගේ සිරුර අපස්මාර ගැස්මකට ලක් විය​.

******* 

දාලියා ඇලෝනි, වින්සන්ට් ලංකාතිලකගේ අත ගෙන ටෙල් අවිව් හි නිරිම් මාවතේ ගමන් කරමින් සිටියාය. සුදු පොස්ෆරස් වෙනුවට ඔවුන් ගේ දෙපයට පෑගුනේ සිහින් වැළිකැටය​. ගාසා තීරයේ අඳෝනා වෙනුවට ඔවුනට ඇසුනේශ්ලෝමෝ අර්ත්සියි ගේ Kmo Az ගීතයයි. 

"මට ආසයි කුජෙල් එක්ක රතු වයින් වීදුරුවක් බොන්න." දාලියා කීවාය​.

"මටත් ආසයි." වින්සන්ට් කීවේය​. "ඔබ මගේ සිත කියවනවා නේද?" ඔහු දාලියාගෙන් ලයාන්විතව ඇසුවේය​.

"වෙන්න පුලුවන්. අපි කිමෙල් එකට යමු. මේ පාරෙන් ගියහම කිමෙල් එකට කිට්ටුයි." දාලියා කුඩා පාරකට හැරුනාය​.

ඔවුන් දෙදෙනා කිමෙල් අවන්හල වෙත ගියහ​. කිමෙල් අවන්හල වසර 129 පමණ ඉතිහාසයක් ඇති පැරණි අවන්හලකි. මෙවැනි අවන්හල් ටෙල් අවිව් හි ඇත්තේ ඉතා සුළු ප්‍රමාණයකි. 

ඔවුන්ව ඉතා සාදරයෙන් පිලිගත් යීඩිෂ් උරුවට ඉංග්‍රීසි කථා කල වේටර්වරයා දෙදෙනෙකුට පමණක් ඉඩැති මේසයක් වෙත ඔවුන් ගෙන ගියේය​. 

"අපට රතු වයින් බෝතලයක් - Gaja Barbaresco ඔබලා ළඟ තිබෙන පැරණිම බෝතලය ගේන්න​." වින්සන්ට් ඇනවුම් කලේය​.
මම හිතුවේ ඔබ ඉතලියානු වයින් වලට වඩා ඕස්ටෙ‍්‍රිලියානු වයින්වලට කැමතියි කියලා දාලියා මඳ සිනාවෙන් යුතුව පැවසුවාය​. වින්සන්ට් ඇයට පිළිතුරු දුන්නේ නැත​. ඔහුගේ මතකය මෙල්බර්න් හි වාසය කරන සැන්ඩ්‍රා කරා ගියේය​. ඔහු නිහඩව අවන්හලේ බිත්තියේ වූ විශාල චිත්‍රය දෙස බලා සිටියේය​.

එය ඔරී රෙයිස්මාන්ගේ චිත්‍රයකි. කැරොබ් ට්‍රී බුලවාර්ඩ් ලෙස හඳින්වෙන මෙම චිත්‍රයයෙන් නිරූපනය වන්නේ දෙපස තද කහ පැහැයෙන් යුතු ගස් වැවුණු මාවතකි. වින්සන්ට් ලංකාතිලක බොහෝ වේලවක් චිත්‍රය දෙස බලා සිටියේය​.

"වින්සන්ට් ඊට පස්සේ මොකද උනේ?" දාලියා සෙමෙන් ඇසුවාය​.

"ඊට පස්සේද?" වින්සන්ට් කිසිවක් කීවේ නැත​. යළි හිස් බැල්මකින් යුතුව ඔරී රෙයිස්මාන් ගේ චිත්‍රය දෙස බලා සිටියේය​.

"වින්සන්ට් මම ඔබට සවන් දෙනවා" දාලියා යළි කීවාය; "කියන්න ඊට පස්සේ මොකද උනේ?"

වින්සන්ට් සුසුමක් හෙලා දාලියාගේ දෙනෙත් දෙස බැලීය​.

"එය සිදු උනේ බේරූට් වල ෂටීලා කඳවුරේ. මම දැක්කේ කළු දුමාරය​. දුමාරය අතරින් ජමාල්ගේ කටහඬ අසුනා. ජමාල් ගේ හිසේ තුවාලයක්. එයින් ලේ වැගිරෙනවා​. ඔහු තමාගේ නව හැවිරිදි දියණිය සානා අත් දෙකෙන් ඔසවාගෙන හිටියා. වෙනදා ඔලිව් ගස් වටා දිව යමින් සෙල්ලම් කරන සානා අද නිහඬයි. ජමාල් ගේ දෙනෙත් වලින් කඳුළු වැෙටනවා. ශෝකය සමග ක්‍රෝධය මම ඔහුගේ මුහුණින් දුටුවා. සානා ගේ අප්‍රාණික ශරිරීරය දෙස මම මොහොතක් බලා සිටියා. මට සංස්කාරයන් ගේ උපත පැවැත්ම හා විනාශය: උත්පාධ, ථිති, භංග සිහියට ආවා. 

සංස්කාරයෝ මෙසේ අනිත්‍යයහ. සංස්කාරයෝ මෙසේ අස්ථීරයහ. සංස්කාරයෝ මෙසේ සැනසීම් රහිතයහ. මේ සියලු සංස්කාරයන් කෙරෙහි කලකිරීමට සුදුසුමය. නොඇලීමට සුදුසුමය. ඔවුන් කෙරෙන් මිදීමට සුදුසුමය. 

මගේ ශ්‍රවණේන්ද්‍රිය අසලින් වෙඩි උණ්ඩයක් ගියා. මම ගරා වැටුණු ගොඩනැගිල්ලක් තුලට දිව ගියේ වෙඩි උණ්ඩ වලින් බේරීම පිණිසයි. ගොඩනැගිල්ලේ පහත මාළයේ මළකඳන් ඒ මේ අත විසිරිලා. වැඩි දෙනෙක් ළමුන් සහ ගැහැණු. ඔවුන්ව මරා දමා තිබුනේ තියුණු ආයුධ වලින් කපලා. දසත ලේ ගලාගෙන යනවා. මගේ බූට්ස් වල ලේ තැවරිලා. එය ඔක්කාරය දනවන භයානක දසුනක්. මම දෙවන මහළට දිව ගියා.

දෙවන තට්ටුවේ ජනේලයකින් මම දුටුවා මුළු ෂටීලා කඳවුර වටා ඊශ්‍රායෙල් හමුදාවේ යුද ටැංකි. මම දැක්කා සුදු පසුබිමක නිල් ඉරි දෙකක්. එය මධ්‍යයේ නිල් පැහැති දාවිත් තරුව​. ගොලායත් යෝධයා පණ අදිනවා. දාවිත් ගේ මෙර්කාවා චැරියට් නම් කැටපෝලයෙන් විදි උණ්ඩයක් මා සිටි ගොඩනැගිල්ල අසලට වැටී පිපිරී ගියා. ඒ ස්ඵෝටනය නිසා මුළු ගොඩනැගිල්ලම දෙදරුම් කවමින් ධූලි සහ වැලි කැට මගේ ශරීරය පුරා හැලුනා. 

මාර්ගය දිගේ ලෙබනන් මිලිෂියා භටයන් එනවා. ඔවුන් ගේ අතේ ඊශ්‍රායෙල් හමුදාව භාවිතා කරන මිනි උෂි අවි. එක් භටයෙක් තුවාලලත් තරුණියක් වත්තන් කරගෙන ගිය මහළු පලස්තීන ජාතිකයෙකුට වෙඩි තිබ්බා.

'නාන් ඇරබ්බක් උලා ශර්මූත්' ඔහු තම මිය යන ගොදුර දෙස බලා සාප කරනවා."

"වින්සන්ට් ඇති මට තවත් මෙය දරා ගන්න බැහැ" දාලියා පැවසුවාය​. ඇයගේ දෙනෙත් වල කඳුලු පිරී ඇත​.

"මිනිසා තමා ස්වභාව ධර්මයේ නපුරුතම සත්වයා" දාරියා සෙමෙන් කීවාය​. 

"ඔබ සිතන්නේ ඔහු ඒ ගැන චිත්ත රූප දකිනවා කියලද?"

"කව්ද?" වින්සන්ට් ඇසීය​. 

"වෙන කවරෙක්ද ? ඒරියල් ෂැරෝන්" 

"ඔහු වසර ගනනාවක් පුරා නිසලව තමන් ගේ අවකාශයක සිරවී චිත්ත රූප දකිමින් සිටිනවා"

"ඒ චිත්ත රූප මොන වගේද?"

"විවිධාකාරයි, ඒවා නොයෙකුත් හැඩතළ වලින් යුක්තයි. කාලය සහ අවකශයක් තුල සිරවී සිටින සිරකරුවෙකුගේ සිතිවිළි විවිධාංගයි. එය ඔබට සිතා ගැනීමට වත් බැහැ​."

"ඔහු යම් කිසි පුද්ගලයෙකු හෝ පුද්ගලයන් දකිනවාද?"

"ඔව් ඔහු ජොශුවා සහ මෝසෙස් නිතරම දකිනවා"

"ඒ කොහොමද?"

"ඒ ඔහුගේ විශ්වාස පද්ධතිය නිසා. ඔහු ක්‍රිස්තු භක්‍තිකයෙකු වූයේ නම් දකින්නේ සාන්ත පීතර හින්දු ආගම ඇදැහුයේ නම් දකින්නේ ක්‍රිෂ්ණා"

"ඒ කියන්නේ ඔහු යුදෙව් ආගම ඇදැහූ නිසා දකින්නේ ජොශුවා සහ මෝසෙස්"

"ඔව්" 

"මේ රූප හැර වෙන යම් රූප ඔහු දකිනවාද?"

"ඔහු හිස් අවකාශය දකිනවා"

"ඔහු පලස්තීනයේ කිබියා ගම්මානයේ සිදුවූ සිද්ධීන් දකිනවද ?"

"සමහර වේලාවට"

"අනෙකුත් සිදුවීම්?"

"ඔහු සියල්ලම පාහේ දකිනවා"

"ඔහු ඒ පිළිබඳව පසුතැවිලි වෙනවද?"

"දාලියා ඔහු ඒ පිළිබඳව පසුතැවිලි විය යුතුමද?"

"ඔබ කියන්නේ ඔහුට හෘදයසාක්‍ෂියක් නැතැයි කියාද​?"

"ඔහුට ඔහුටම උරුම වූ හෘදයසාක්‍ෂියක් ඇති. එය ඔබට ඔබගේ හෘදයසාක්‍ෂිය හරහා දැකිය නොහැකියි. එය හරිය​ට ඇබිසීනියාවට ගිනි බෝම්බ හෙලූ බෘනෝ මුසලීනී ගේ හෘදයසාක්‍ෂිය අපි විනිශ්චය කරනවා වගේ" 

"මට මේ කිසිම දෙයක් තේරෙන්නේ නැහැ වින්සන්ට්"

"අවකාශයක් තුල ඇති දෙයක් තේරුම් ගැනීමට මහන්සි වෙන්න එපා දාලියා. එය ඔරී රෙයිස්මාන් ගේ චිත්‍රයක් වගේ. තේරුම් ගන්න බැහැ. ග්‍රහණය කල ගත යුතුයි" 

"ඒරියල් ෂැරෝන් ග්‍රහණය කලේ කුමක්ද?" 

"අවකාශය තුල තිබූ දේ පමණයි දාලියා. අවකාශය තුල තිබූ දේ පමණයි"




වෛද්‍ය රුවන් එම් ජයතුංග

8 comments:

  1. //වින්සන්ට් ඇති මට තවත් මෙය දරා ගන්න බැහැ// මිනිසා තමා ස්වභාව ධර්මයේ නපුරුතම සත්වයා //
    // ඔහුට ඔහුටම උරුම වූ හෘදයසාක්‍ෂියක් ඇති. එය ඔබට ඔබගේ හෘදයසාක්‍ෂිය හරහා දැකිය නොහැකියි. එය හරිය​ට ඇබිසීනියාවට ගිනි බෝම්බ හෙලූ බෘනෝ මුසලීනී ගේ හෘදයසාක්‍ෂිය අපි විනිශ්චය කරනවා වගේ //

    හිතක් පපුවක් තියෙන වෙද නලාවකට අහුවෙන දේවල් ඇත්තටම පුදුමයි..

    ReplyDelete
    Replies
    1. කල්‍යාණ මිත්‍ර මිනිසා තමා ස්වභාව ධර්මයේ නපුරුතම සත්වයා

      Delete
  2. පුද්ගලයකුගේ මොලයට මෙලෙස රසායනික කම්පනයක් දීමෙන් මතකය/සිතුවිලි/චර්යාව/ රීසෙට් කිරීම වැනි දෙයක් කරන්න පුලුවන්ද?

    ReplyDelete
    Replies
    1. විද්‍යුත් කම්පනයක් දීම මගින් විශාදිය අඩු කරන්න පුලුවන්. ඒ වගේම විද්‍යුත් කම්පන ප්‍රතිකාරයෙන් පසුව කෙටි මතකයේ තාවකාලික අඩු වීමක් තිබෙනවා

      Delete
  3. Is it like just by one word Angulimala, Patachra realise the present conditions?

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook