වාල්මිකී මෙසේ කියනවා අප විසින් ලෞකික දෘෂ්ටියෙන් කරුණා - අද්භූත රසයන් මුල්කොට කිසි රචනයක් කරන ලදී. කාව්යු ගෞරව උපදවා එයට හිත යොමු කළ යුතුය. එසේනම් දොස්තර මහතාණෙනි හිත යොමු කල මැනවි. ඔබගේ මනස යනවා දණ්ඩක ආරණ්යය දෙසට. පේනවා නේද නහයයි කන් දෙකයි කපපු සුපර්ණිකාගෙ විලාපය. ලක්ෂමන ගැහැණියකගේ රුව විකෘති කලේ මන්ද ? ඇයගේ රුපය චිත්‍රයට නගන්න. ඔබට ශෝකාන්ත මුහුණක් දැක බලා ගන්න පුළුවන්.පිකාසෝ ගේ චිත‍්‍රවල පවා ශෝකාන්තයන් දකින්න පුළුවන්. මම හිතන්නේ පිකාසෝගේ නංගි කොන්චිටා මිය ගියා කුඩා කාලයේදීම පිකාසෝට ඒක දරා ගන්න බැරි වුණා. පිකාසෝගේ බොහෝ චිත‍්‍රවල ශෝකී මුහුණ දකින්න පුළුවන්. කොන්චිටා ගේ මරණය නිසා දුක් වන මුහුණ තමයි පිකාසෝ වැඩියෙන්ම ඇන්දේ. පිකාසෝ මහළු කාලයේත් තුරුණු ගැහැනු ළමයින්ට කැමතිවුණා. මේක කොන්චිටා ට ළඟාවීමක් වෙන්න බැරිද? එසේත් නැතිනම් මරණය වෙත ලඟා වීමක් වත්ද ? ඩෝරියන් ග්‍රේ චිත්‍රය වගේ චිත්‍රයේ රුව ඇඳි පුද්ගලයා වියපත් වන අරුමයක් ද?
ජීවිතය මළානික වෙලා. මරණය සුන්දරයි කියලා හිතෙනවා. ළඟදී ගිය මළගමක් මතකයට ආවා. මියගිය පුද්ගලයා එය සංවිධානය කරලා තිබුණේ අවමඟුල් උත්සවයක් හැටියට නෙවෙයි අවසන් සමු ගැනීමේ උත්සවයක් ලෙසටයි. උදේ හිටන් නෑදෑ හිතවතුන් පිරිලා. කෑම කනවා, විහිළු තහළු කරනවා. මිය යන පුද්ගලයා ගැන සැමරුම් කථා බහ, රසවත් පැරණි කතන්දර එළියට එනවා. මිය යන්නට නියම පුද්ගලයාත් මේ කථා අහගෙන හිනා වෙනවා. ප්‍රතිචාර දක්වනවා. දහවල් ආහාරයත් ආවා. ඒක හොඳ සරුවට තිබුණා. මඟුල් මේසයක් වගේ. ඔක්කොම දිග මේසයේ වාඩිවෙලා කනවා බොනවා. සවුදිය පුරනවා. හවස් වෙනතෙක්ම්ම සාදය ගියා. හවස් කළුවර වැටෙන කිට්ටුව සාදය නැවතුණා. සාදයේ ප‍්‍රධාන නළුවා සෑම අයෙකුගෙන්ම හැගීම්බරව සමු ගත්තා. සමහරු අඬනවා. අන්තිමට සමුගත්තේ පවුලේ උදවියගෙන්.එක ඉතා දුක්බර සමු ගැනීමක්. ඒ සමුගැනීම නිම වෙච්ච ගමන් ඔහු පිරිස අමතා සුළු කතාවක් කරලා හැමෝගෙන්ම අන්තිම වතාවට සමුගත්තා. එහෙම සමුගෙන කාමරයක් ඇතුලට ගියා. කාමරයේ තිබිච්ච ඇඳක ඔහු වැතිරුණා. එතකොට දොස්තර කෙනෙක් නහරයකට බෙහෙත් විද්දා. ඔහු තප්පර ගණනකදී වේදනාවකින් තොරව මිය ගියා. මිය ගිය පුද්ගලයා මිනී පෙටිටියක බහා ඒ වෙලාවේම ආදාහනාගාරයට ගෙනිච්චා. ඔහුගේ ශරීරය ආදාහනය කරනකොට මූඩි බ්ලුස් සංගීත කණ්ඩායමේ නයිට් ඉන් වයිට් සැටින් සින්දුව වාදනය උණා මිය ගිය පුද්ගලයා කලින් කල ඉල්ලීමකට අනුව. ඒ සින්දුව ඇහෙද්දී මගේ හිත ගොළු උනා වගේ දෙයක් මට දැනුනා .
Nights in white satin, never reaching the end,
Letters I've written, never meaning to send.,
Beauty I'd always missed with these eyes before.,
Just what the truth is, I can't say anymore.
සින්දුවේ අවසානයත් සමගම එතනින් අවමඟුල හමාරයි. ඒ ගීතය මගේ හි තේ තාමත් දෝංකාර දෙනවා.
ආමිෂ්වරුන්ගේ ජීවිතයට මම කැමතියි. මිසුරිවල මම දැක්කා ආමිෂ් පවුලක්, අශ්ව කරත්තයක නැගලා හිමින් ගමන් කරනවා. පුරුෂයා, භාර්යාව, ළමයි ඔක්කොම කළුපාට ඇඳුම් ඇඳලා කලබල ගතියක් නැතිව ගමන් කරන්නේ. අපි ඒ අය පසු කරගෙන පැයට සැතපුම් 110 ක වේගයෙන් වෝල්වෝ එකේ ගියා. අපේ ගමන වේගවත්. ඒත් අධ්‍යාත්මය එකතැන හිරවෙලා ආමිෂ් මිනිස්සු ගමන හිමින් උනත් ඔවුන්ගේ ආධ්‍යාත්මය අපට වඩා ඉදිරියෙන් ගමන් කරනවා වෙන්න පුළුවන්. ඒත් අපි හැමෝටම ආමිෂ්වරු වෙන්න බැහැ. එහෙම අවශ්‍ය නැහැ. ආදී වාසීන් වෙන්න ඕනේ කාටද? අපි යන්නේ නුතනත්වය කරා. අතීත කාමය සිහිනෙන් ගෑ සුවඳක් පමණයි. ලිලී මල් තුනේ අවන්හල මට මතක් වෙනවා. අවන්හලේ සිට කවි කියපු අයුරු මගේ මතකයට නැගෙනවා. ඔබ මෙට්රෝපියා නාට්‍යය බලල තියෙනවද ? මරිසාගේ නෙත්සැර මතකද? මනෝ භ්‍රාන්තියක් වගේ ඇස් ඉදිරිපිට මැවෙනවා.
තණ්හා රතී රඟා
මෙට්‍රෝපියා දිගහැරුම
තොල ගැටෙන බ්ලඩි මේරි පානය
ශරීර රිද්මය සංගීතය සහ ස්පර්ශය
නියෝන් එළියෙන් ලොව දකිනා සත්‍යය
යමෙක් ආසක්ත වුයේද ඉන්ද්‍රියයන් පිනවීමට
වටහා ගත්තේද ස්පර්ශය සහ ගැටීමෙන් පැන නගින දුහුළු යථාර්තය
රාත්‍රිය දිගුය හිරු තවමත් පායා නැත
නොමැතිමුත් හිරු එලිය
පායා ඇත නියෝන් චන්ද්‍රයා
සිහිනයත් යථාර්ථයත් අතර මායාව
නොමැත කඩඉමක් දකින්නට
අඳුරට මුවා වූ චංචල සිත
ග්‍රහණය කරයි මරිසාගේ නෙත්සැර
යථාර්ථයත් මනෝ භ්‍රාන්තියක් වගේ එකිනෙකට වෙලිලා. මම ඉදිරියටම ගියා. මම දැන් ඉන්නේ ලොවි ගස අසල. නරුමයෙකු විසින් අතවර කොට ගෙල මිරිකා මරා දමපු කුඩා දැරිය මම දුටුවා සඳ එළිය තුලින්. දැරිය දේව දුතිකාවක් වගේ ලස්සනයි. ඇය ඇඳ සිටියේ සුදු ගවුමක් . ඒකේ ලේ පැල්ලම්. ඇය තනියම ලොවි ගහ යට සෙල්ලම් කරනවා.
කිරි කිරි බෝලේ
රැලි රැලි මාලේ
මේ ළමයා කොහෙන්දෝ
රෝස කැලෙන් ඇහින්දෝ.
ඇයගේ කටහඬේ තියෙන්නේ අමනුෂ් ය හඬක්. ඒ හඬ පැහැදිලි කරන්න බැහැ. හරියට සිප්පි කටුවක් ඉතා තදින් සිමෙන්ති පොලවේ අතුල්ලනකොට නැගෙන හඬ වගේ. ඒක දෙකන් වලට යවුල් වලින් අනින සද්දයක්. ඇය මිනිසුන් කෙරෙහි අවධානය යොමු කරන්නේ නැහැ. මිනිසුන් ඇයට දැන් සහමුලින්ම එපා වෙලා. මිනිසුන් කෙරෙහි විශ්වාසය නැතිවෙලා. මිනිසුන් කෘර බව දැන් මේ දැරිවිය දන්නවා. මිනිසෙකු ලඟින් ගියත් ඇය ඔලුව උස්සලාවත් බලන්නේ නැහැ. ඇය දැන් යහළු උලමා ,කළු දිවියා , ගෝනුස්සා සහ දිවි මකුළුවා සමග පමණයි. ඒ ඇය තමයි දැන් ඇයගේ ලෝකයේ මිතුරෝ. දිගටම සෙල්ලම කළ දැරිවිය මහන්සියට දෝ ලොවි ගස යට නිදාගත්තා. උඩ අත්තේ වසා සිටි උලමා ගේ යක් හඬ මට ඇසුනා. උලමා ඒ හඬ කලේ මිනිසුන් බය කරන්න. එවිට මිනිසා නමැති නපුරු සත්වයා දැරිවිය ළඟටවත් එන්නේ නැහැ. කළු දිවියා දඩයම් කරපු මුව පැටියා ගේ අන්තිම කොටහත් කටට දෙකට ඉවර කළා. උගේ හොස්ස වටේ ලේ. කළු දිවියා දැරිය ළඟ වක ගැහිලා නිදගත්තා ළමයගේ ආරස්සාවට. නමුත් ඌ ඇස් පියාගත්තේ නැහැ. කන් කෙටි යොමා අවට පරිසරය සෝදිසි කළා. ලේ තැවරුණු හොස්ස උගේ රතු පැහැති දිවෙන් ලෙවකෑවා . ලේ රහට ඌට තලු මැරුණා. උගේ කළු විශාල අණ්ඩ දිහා බලන්නත් බයයි. සුදු පාට දිග නියපොතු මුවහත් කරපු දැලි පිහි වගේ. ඒ ඉදිරි පාදය වැදුනොත් කුළු හරකෙකුගේ උනත් හිස් කබල දෙපලු වෙනවා. ගෝනුස්සා පොලවේ වටයක් කැරකී වල්ගා තුඩ අමෝර ගත්තා මිනිසා නමැති කුරිරු සතා ආවොත් මරණිය පහරක් එල්ල කරන්න. දිවි මකුළුවා වියුවා දැලක් ළමයා වටේ හුළඟට පමණක් ආ හැකි. යහළුවන්ගේ ආරක්ෂාව මැද කුඩා දැරිය නිදියනවා. සඳ එලියට ඇයගේ කුඩා මුව මට පෙනෙනවා. කොපමණ මනරම් ළමයෙක්ද ? දැරිය සිහිනෙන් සිනාසෙනවා. ගීතය මුමුණනවා.
මේ ළමයා කොහෙන්දෝ
රෝස කැලෙන් ඇහින්දෝ
ඇත්තටම ඇයගේ ප්‍රාණය නිරුද්ධ මළකඳ සොයා ගත්තේ රෝස කැලේ පස් යට තිබිලා. ඇය පනිමින් සිටි ස්කිපින් රෝප් එක මෘත ශරීරය අසල තිබුනා. රෝස කැලෙන් ඇහිඳ ළමයා ලොවි ගස යට සන්සුන්ව නිදි. ඇයගේ යහළුවන් ඇයව මුර කරනවා.
සඳ බැස ගියා ඉර පෑයුවා. ලොවි ගස නොපෙනී ගියා. මම සිටියේ විශාල තිරිඟු කුඹුරක. මගේ නාභියටත් වඩා උස්ව ගිය සරුවට වැවුණු රන් පැහැති තිරිඟු ක්ෂිතිජය දැක්කා පැතිරෙනවා. රන්වන් කරල් බිමට බර වෙලා. කිසිම මිනිස් ප්‍රාණියෙකු මම දැක්කේ නැහැ. මම නියර දිගේ ඇවිදගෙන ගියා. තිරිඟු කපන යෝධ කොම්බයින් යන්ත්‍රයක යකඩ රෝද මගේ කන අසලින් ගියා. රෝදයක් මම වගේ දෙගුණයක් උසයි. ඒ වගේ විශාල කොම්බයින් යන්ත්‍රයක් මම උපන්තේකට දැකලා නැහැ. කපන තිරිඟු එක ඇටයක්වත් බිම නොහලා විශාල බටයකට පොම්ප වෙනවා. බටයේ අග්ගිස්ස පෙන්නේ නැහැ ඒක බටහිර දක්වා දිගටම විහිදිලා. සෑම තිරිඟු ඇටයක්ම බටයට ඇදිලා යනවා. හරියට දඟර සුළි සුළඟට අසු වූ වැලි ඇට වගේ. යන්ත්‍රය තිරිඟු කපමින් ඉදිරියට යනවා. එක ඇටයක් බිමට වැටෙන්නේ නැහැ.
නියර ළඟ එක දිගට ගෙවල් පේලියක්. මම ගෙවල් ලඟට ගියා. මට ඇසුනා මිනිසුන් හුස්ම ගන්න හඬ. ඔවුන් හුස්ම ගත්තේ අමාරුවෙන්. ගෙවල් වල මිනිසුන් හාමතින් අඩපණ වී තැනින් තැන වැටිලා ඉන්නවා. ඔවුන්ට කථා කරගන්නවත් පණක් නැහැ. ඇටසැකිලි වගේ. හිස කබල ඇතුලට ගිලා බැස්ස ඇස් , ඉල ඇට පෙනෙන පපු කුහර පෙන්නුම් කලේ සුමාන දෙකකින්වත් යමක් බඩට නොවැටුණු මිනිසුන්. හාමතයට ලක් වූ කුඩා ළමුන් සමහරු මිය ගිහිල්ලා. ඔවුන් වියලුනු දර ඉපල් වගේ නිසලව බිම වැතිරිලා ඉන්නවා. මෙතරම් සරුවට වැඩුණු විශාල තිරිඟු කුඹුරක අද්දර සිටින මිනිසුන් හාමතේ මියයාම මට තේරුම්ගන්න බැරි උණා. හරියට දේව සාපයක් වගේ මෙහෙම විනාසයක් උනේ කොහොමද?
මම ක්ෂිතිජය පැත්තට ඇවිදගෙන ගියා. මට ඇසුනා අනාගත වක්තෘ නොස්ට්‍රඩාමුස් ගේ හඬ දෝංකාර ස්වරයෙන්.
Beasts wild with hunger shall cross the rivers
Most of the fighting shall be close by the Hister
It shall result in the great one being dragged in an iron cage,
While the German shall be watching over the infant Rhine
මැදිවියේ පුරුෂයෙක් ඩැනියුබ් ගංගාව තරණය කරගෙන මෙගොඩට එනවා. ඔහු ඇඳගෙන සිටියේ අළුපාට දිග කබායක්. ඔහුගේ වම් අතේ රතු පැහැති පටියක්. එහි සුදු පැහැති රවුම් පසුබිමක ආදී ආර්යන්ගේ සංකේතය වූ ස්වස්තිකය. නමුත් මේ ස්වස්තිකය දක්ෂිනාවෘතව ඇද වෙලා. එහි සිව් කොන් මම දුටුවේ දුම් බට වගේ. ඒ බට වලින් කළු පැහැති දුමාරයක් පිට උණා. යුදෙව්වන් ,අහිකුන්ටිකයන් ඇතුළු අනෙකුත් ජන වර්ග ශ්‍රේෂ්ට ජර්මානු ආර්යන් ගේ ලේ ධාතුවට එකතු වීමට පෙර ඔවුන්ව ධුලි අළු බවට පත් කරනවා. ඔවුන්ගේ ශරීර පුළුස්සන විට මතුවන ධුමරයෙන් අවට පරිසරය පිරී ගිහිල්ලා. හුස්ම ගැනිමටත් අපහසුයි. උගුරේ කාරමක් බැඳිලා වගේ. මළකුණු පිළිස්සෙන ගඳ පැතිරෙනවා. රන්වන් හිසකේ ඇති උස මහතට වැඩුණු නිරෝගී එස් එස් භටයන් ඒ දුමාරය ඉතා ආශාවෙන් ආග්‍රහණය කරනවා. ඔවුන්ගේ නිල් පැහැති ඇස් වල සතුට අභිමානය පිරිලා. ඔවුන් එකවරම මහා හඬින් කියනවා “Meine Ehre Heisst Treue “ මගේ උදාරභාවය පක්ෂපාතිකමයි.
ඔවුන් රණ ගී හඬට අභිමානවත් ලෙස පා තබමින් නැගෙනහිර බලා යනවා. ඔවුන් ගේ බුට්ස් පොලවේ වදින විට දුහුවිල්ල ඇවිස්සෙනවා. පොලව කම්පනය වනවා. ඒ එක්කම අහස දෙදරාගෙන ගගන යානා සියක් දහසක් නැගෙනහිර ඉසව්වට පියාසර කළා. මම අහස දෙස බැලුවා. මම දැක්කේ ගුවන් යානා නොවේ සොහොන් කොත් ආකෘතියට තැනු සුදු පැහැති කුරුස. මුළු අහසම සුදු පැහැති කුරුස වලින් පිරිලා, හරියට අහසේ මැවුණු සුසාන භුමියක් වගේ. හිරු අවරට ගිහිල්ලා. ආකාසය මළානික පාටයි. සොල්දාදුවන්ගේ පා හඬ, ගුවන් යානා වල දෙදරුම්කන එන්ජින් හඬ සියල්ලම ක්‍රමක් ක්‍රමයෙන් මැකී යනවා. මම ඉදිරියටම ගමන් කළා. යලිත් රාත්‍රිය එළඹුනා.
රාත්‍රී ආකාසේ මම දැක්කා ඔරායන් හෙවත් දඩයක්කාරයා තාරකා මණ්ඩලය. දඩයක්කරුගේ බඳ පටියේ දකුණු කෙලවරින් පහළට එල්ලෙන ඔහුගේ කඩුව තියුනුයි. දඩයක්කාරයා ගේ බඳ පටිය විදහා දැක්වෙන්නේ තරු තුනකින්. මින්ටාකා , ඇල්නිලාම් , සහ ඇල්නිටාක් යන එම තරු තුනේ දීප්තියට මගේ ඇස් නිලංකාර උණා.උපමාවකින් කියනවනම් ආලෝකය පතුරුවාගෙන ජේතවනාරාමයට ආපු දෙවිකෙනෙක් වගේ. අතකෝ අඟඥතරා දේවතා අභිඛන්ඨාය රත්තියා අභිඛන්ඨ වන්නන් කේවලකප්පන් ඔභාසෙත්වා කියලයි ධර්මයේ සඳහන් වෙන්නේ. මම සිටියේ විශාල කන්දක් මුදුනේ. එතන චුම්භක ශ්‍රාවය ශුන්‍යයයි. මේ තැන දිශාව සටහන් වන්නේ නැහැ. කිසිම මාලිමාවකින් දිශාව හොයන්නත් බැහැ. මාලිම කටුව නිකම් ඔහේ විවිධ දිශා වලට කැරකෙනවා උතුර පෙන්වන්නේ නැහැ. එතනට තමයි විශ්වයේ සිට පණිවිඩ ගලාගෙන එන්නේ. ඔරායන් තාරක මණ්ඩලයේ රිජෙල් තාරකාවෙන් නොකඩවා තරංග පෘතුවියට එව්වා. තරු මණ්ඩලයේ සිට පෘතුවියට ඇසිපිය හෙලන මොහොතකදී පරභාවුමිකයන්ට එන්න පුළුවන්. ඔවුන් අපගේ ශිෂ්ටාචාරයේ විවිධ යුග වලදී ආවා. එසකියෙල්, ඩැනියෙල් අනාගත වක්තෘවරුන් දුටු පියාඹන අශ්ව රථ වලින් මහපොළවට පැමිණි දේවදුතයන් මොවුන්. සොඩාම් ගොමෝරා නගර න්‍යෂ්ටික අවි වලින් විනාශ කලේ මොවුන්. නැස්කා නගරයේ පැරණි ගුවන්යානා ධාවන පථ ගොඩ නැගුවේ මොවුන්. අවසන් වරට ඔවුන් පෘතුවියට පැමිණියේ ජෝජ් ඇඩම්ස්කි මුණගැසීමට. තරු දරුවන් මා පිරිවරාගත්තා. ඔවුන් මට ආරාධනා කළා ඔවුන්ගේ මවු යානාවට එන ලෙසට. එම අවස්ථාවේ තමයි මම දුටුවේ දියමන්තියක හැඩය ගත දිලිසෙන සුදු පැහැති පිටසක්වල යානාව.
මම ඒ යානාව තුලට ඇදී ගියේ කොහොමද කියන්න මතක නැහැ. හරියට මගේ ශරීරයේ පදාර්ථ ශක්තිය බවට පරිවර්තනය වෙලා මම කිරණයක් වගේ යනවා තුලට ඇදී යන්න ඇති. යානය තුලදී යලිත් ශක්තිය පදාර්ථය බවට පත් වෙනවා. මම මගේ මුල් ස්වභාවයට පරිවර්තනය උනා. මා ඉදිරියේ පිටසක්වල ජීවියෙක්. ඔහු තමන්ගේ දකුණු අතේ පළවන ඇඟිල්ල මා දෙසට දිගු කළා. මමත් මගේ දකුණු අතේ පළමු ඇඟිල්ල ඔහු දෙසට දිගු කළා. අපගේ ඇඟිලිතුඩු එකිනෙක ස්පර්ශ උණා. එය හරියට මයිකල් ඈන්ජලෝගේ Sistine Chapel. හි ඇඳි The Creation of Adam චිත්‍රය වගේ. ඔහුගේ ස්පර්ශයත් සමග මගේ මස්තිෂ්ක බාහිකය අභ්‍යන්තර පරිවර්තනයකට ලක් උණා. ස්නායු සම්ප්රේෂක , ස්නායු සන්ධානයන් ගුණාකාර ක්‍රමයට මොලය තුල වැඩි උණා. ඔවුන්ගේ පරිපථ මගේ මොලය තුලට ඇතුල් කළා. ඒ පරිපථ සිහින් වැලි කැටයකටත් වඩා කුඩයි. ඔවුන්ගේ විධානයන් මගේ මනස පුරා රැව් පිළිරැව් දුන්නා. මම දැන් ඔවුන්ගේ විධානයට යටත් සේවකයෙක්., මට චිත්ත විධානයක් ආවා වහාම යුරේකා මිටියාවතට යනු කියලා. මොහොතකදී මගේ ද්‍රව්‍යමය ශරීරය පරිවහන උණා කැලිෆෝනියානු යුරේකා මිටියාවතට . මම දුටුවා ධුලි සහිත කඳු, හිරමණ තළ වගේ තීක්ෂ්ණාග්‍ර ගල් පර්වත. කිසිම මිනිස් ජීවියෙකු දකින්නට සිටියේ නැහැ.
මිනිසුන්ගෙන් නිදහස ලත් පරිගණක ප්‍රකෝටි ගණනක් මිටියාවත දිගේ ඇවිදගෙන අවා. උපමාවකින් කියනවනම් Judgement Day වගේ. සියලුම සයිබර් යුනිට්ස් වලට පණ ඇවිල්ලා. මේවා මගේ හිතේ මතු වන මනස් ඍෂ්ටියන් නොවෙයි. මම සැබවින්ම දැක්කා සක්‍රිය වූ පරිගණක රොබෝවරු. මට හිතුනා මේ මැෂින්වලට පණ ඇවිල්ලා ඔවුන් අපව යටත් කරගනීවිද කියලා. ඒක ඉතාම භයානක තත්වයක්. සිහිනයක් නොවෙයි සැබැවින්ම සිදුවන දෙයක්. . සක්‍රිය වූ රොබෝලා මළමිනී එක්ක ඇවිදිනවා. පුෂ්කින්ගේ, බෙල්කින්ගේ කතන්දරවල එන මිනීපෙට්ටි සාදන්නා දැක්ක හීනය වගේ බියකරුයි. කුණු වෙච්චි මස් වැදලි, එල්ලෙන ඇට සැකිලි, ගෙබස්කඩ වෙලා ගිය මිනී ඇඳුම්, එක ඇටසැකිල්ලක් බූට්ස් දාගෙන ගාටනවා. මළ මිනිස්සුන්ගේ ආත්මය මේ සයිබර් යුනිට්ස්වලට ඇතුල් වෙලා ඒවා සක්‍රිය වුණා වගෙයි. නමුත් ජයග්‍රහණය තීරණය වී ඉවරයි. හරියට රෙස්ලිං වගේ. අපගේ ජීවිතයත් හරියට රෙස්ලිං වගේ, හැම දෙයක්ම තීරණය වෙලා ඉවරයි ජයග්‍රාහකයා කවුද පරාජිතයා කවුද කියලා. පරා භෞමිකයන්ට එහෙමත් නැත්තං Extra Terrestrial වර්ගයාට මිනිස් ශරීරය තුළට, මොළයට කා වැදිලා විධානා දෙන්න පුළුවන්. මට හිතෙන දේ කියන කියන දේ කරන දේ තීරණය කරන්නේ ආලෝක වර්ෂ දහස් ගණනක් ඈතින් ඉන්න පාරා භෞමිකයෙක්.
වෛද්‍ය රුවන් එම් ජයතුංගගේ මානසික රෝගියාගේ පරිකල්පනය කෘතිය ඇසුරෙනි
ලිපිය කියෙව්වම හීනෙන් ඇවිද්දා වගේ. මේ සිදුවීම් හැම එකකටම වගේ ආසන්න මතකක් කොහෙදි හරි තියෙනවා තියෙනවා වගේ. අපූරුයි මානසික ව්‍යාකූලතා පෙළගැස්ම.
ReplyDeleteකල්‍යාණ මිත්‍ර භින්නෝන්මාද රෝගීන් මනෝ භ්‍රාන්තින් දකිනවා ඔවුන් ලෝකය දකින ආකාරය තවම නියම වශයෙන් හෙලි කරලා නැහැ
Deleteමුල ඉන්දන් කියවගෙන ගිය හරිම අමුතුඉ
ReplyDeleteබ්ලොග් වලින් උබ ලියන බ්ලොග් එක තමඉ කැමතිම බ්ලොග් එක
What'a tha භින්නෝන්මාද andමනෝ භ්රාන්තිය?
ReplyDelete@ දේව ශාපය භින්නෝන්මාද -Schizophrenia , මනෝ භ්‍රාන්තිය - Hallucination
Deleteමා අසා තිබෙනවා දක්ෂ කලාකරුවන් භින්නෝන්මාද ( Schizophrenia ) රෝගීන් සහ ද්විද්‍රැව ( Bipolar Disorder )රෝගීන් බව. හොඳ කලානිර්මාන කිරීමට යම් නුහුගුණ ගතියක් තිබීම හොඳ බව ගමේ ගොඩෙත් කියනවා.
ReplyDeleteමධ්‍යස්ථ මතධාරියා ඔබගේ අදහස යම් ප්‍රමාණයකට හරි. වින්සන්ට් වැන්ගෝ , (විශාදය) චාල්ස් ලෑම්බ් (විශාදය) ජර්මානු කිවි ගර්ට්ට(ගතේ) , අයට මානසික අව පීඩනය තිබ්බා. ඔබ කියවන්න මා Daily News එකට දුන් ඉන්ටර්විව් එක එහි මේ කාරනාව සවිස්තරව තියනවා ( Creativity, insanity's landscape http://transyl2014.blogspot.ca/2014/12/creativity-insanitys-landscape_12.html
Deleteමේ මානසික රෝග වලට හේතුව මොලයේ සන්නිවේදනයේ ව්‍යාකුලතාවයක් නේද. මම දැකපු සමහර භින්නෝන්මාද රෝගීන් එක්ක කතා කරනකොට එගොල්ලන්ටද , නැත්නම් අපටද අසනීප කියල හිතාගන්න බෑ .
Delete@ නව ලොව දැනුම ඔවුන් ගේ මොලයේ රසායණික වෙනසක් විවූහාත්මක වෙනසක් ඇති වෙනවා. ඒ නිසා ඔවුන් ලෝකය ග්‍රහනය කර ගන්නේ වෙනස් ආකාරයකට
DeleteDo Schizophrenia patients have problems with dopamine or other neurotransmitters?
ReplyDelete