Monday, February 16, 2015

පියසිරි කුලරත්නට තක්සලාවක් වූ සිපිරිගෙය






 1999 වසරේදී මා මීගමුව රෝහලේ රාත්‍රි වැඩ මුරය කරමින් සිටියදී හෙද නිලධාරියකු අත තිබූ පොතක් මගේ නෙත් ගැටුණි. මම එය ඔහුගෙන් ඉල්ලා ගත්තෙමි. එම පොතේ නම  තක්සලාවක් වූ සිපිරිගෙය  වූ අතර කතෘ පියසිරි කුලරත්නය. රෝගීන්ගේ වැඩ මඳක් අහවර වී ලැබුණු විරාමයේදී මම මෙම පොත කියවීමට පටන් ගත්තෙමි. මට වෙහෙස හා නිදිමත අමතකව ගියේය. අතරින් පතර ආ රෝගීන් මගේ කියවීමට බාධා කළ බව සැබවි. මම මධ්‍යම රාත්‍රියේ සිට නොකඩවා පොත කියවීමේ යෙදුණෙමි. අප්‍රේල් කැරැල්ල පිළිබඳ වෘත්තාන්තමය විවරණයක් වූ මෙම කෘතිය ලියන ලද්දේ අප්‍රේල් මහ නඩුවේ 15 වැනි විත්තිකරු වූ පියසිරි කුලරත්නය. අද ඔහු භාවනායෝගියෙකි. භෞතිකවාදයේ සිට අධ්‍යාත්මිකවාදය දක්වා ගිය ඒ චාරිකාව ඔහු මට පැවසුවේ මේ අයුරිනි.

                                                  

1968 වසරේ මම ධර්මාලෝක විද්‍යාලයේ සිසුවෙක්. ඒ කාලයේදී තමයි මම කැරලිකාර දේශපාලනයට ඇදී ගියේ. මට පන්ති කළේ පියතිලක හා මිල්ටන් යන දෙදෙනායි. පියතිලක හොඳ දේශකයකු නොවෙයි. ඒත් මිල්ටන් ආකාර්ශනීය දේශපාලන කථීකයෙක්.

මට රෝහණ විෙජ්වීර මුණ ගැසුණේ 1970 විතර කාලයක. ශාරීරිකව ලොකු පෞරුෂයක් මා ඔහුගෙන් දුටුවේ නැහැ. නමුත් නිර්ව්‍යාජ ගැමි මිනිසෙකු මා ඔහු තුළින් දුටුවා. වර්තමානයේ මා සතු අත්දැකීම් හා දැනුම ඔස්සේ විෙජ්වීර චරිතය විශ්ලේෂණය කරන විට මට හැෙඟන්නේ ඔහු ආත්මීය විඥානවාදියෙක් බවයි. තමන්ට වාසිදායක වන බාහිර යථාර්ථය මිසක් අහිතකර බාහිර යථාර්ථය නොතකා හරින්නෙක්. ඔහුට තිබ්බේ ප්‍රතික්‍රියා මනසක්. හැම්ලට් චරිතය වගේ ඉවසීම හා තීක්ෂණය අවශ්‍ය තැන්වලදී ඔහු ආවේගයෙන් කඩාගෙන බිඳගෙන ක්‍රියා කළා. ක්ෂණික දැඩි තීරණ ගත යුතු අවස්ථාවලදී අක්‍රියව සිටියා. ඔහුගේ ජීවිතය තුළ ඇති වූ හා මුහුණ දීමට සිදුවූ ප්‍රශ්න හා අවසානයේදී කටුක මරණයෙන් කෙළවර වූ යථාර්ථය මේ හැම්ලට් ලක්ෂණ සමඟ බැඳී සිටි බව කිව හැකියි. ඔහුගේ හැකියාවන් මිස දුබලතා වටහාගෙන ඒවා නිවැරදි කිරීමට හැකියාවක්, දැනුමක් හෝ ඥානාන්විත භාවයක් තිබූ කිසිවෙක් ඔහු වටා සිටි උප නායකයන් අතර සිටියේ නැහැ. ඔවුන් අන්ධානුකරණයෙන් ප්‍රපාතය කරා ගියා.

ඔහු රූප භාෂාව හොඳින් ප්‍රගුණ කළ අයෙක්. ඔහු චිත්‍රපට තිර රචකයෙක් වූවා නම් ඔහුට කිට්ටු කළ හැකි සමතෙක් ලංකාවේ නැහැ. අනාගතයේ පහළ වෙයිද කියාත් සැකයි. ඔහු වියුක්ත භාෂාවට තැනක් දුන්නේ නැහැ. ඒ නිසා අසන්නා ග්‍රහණය කර ගනිමින් මනසේ සිතුවම් නිර්මාණය කරමින් කථා කිරීමේ හැකියාව ඔහුට තියෙනවා. අනුගාමිකයාගේ විචාරශීලී බුද්ධිය හීනවූ තරමට ඔහු දැඩි අන්ධ භක්තියකින් විෙජ්වීර කෙරෙහි බැෙඳනවා.

60 හා 70 දශකයේ සාක්ෂරතාව තිබූ තරුණයන් තුළ බුද්ධි පිපාසාවක් තිබුණා. රාජ්‍ය මාධ්‍ය වලින් තිබුණේ ගුවන් විදුලිය හා පත්තර විතරයි. ඒවා යල් පැනගිය, ගර්හිත හා කිසිම බුද්ධි කලම්බනයක් සිදු කළ නොහැකි මට්ටමේ තොරතුරු හා දැනුම සමාජයට දුන්නා. නිදහස් අධ්‍යාපනයේ ප්‍රථම පරම්පරාවට මේවා දංකුඩ වගේ. ඔවුන් බලාපොරොත්තු වුණා බුද්ධි කලම්බනය කළ හැකි දැනුමක්. විජේවීර​ ආවා ඒ අඩුව පුරවන්න. පන්ති පහ තුළින්. ඒ නිසා තරුණයන් ඊට ඇදී ගියා.

ඔහු දේශපාලන වශයෙන් උද්යෝගී චරිතයක්. ඒත් අධ්‍යාත්මික වශයෙන් අවදි නොවූ කෙනෙක්. එකල රෝහණ විජේවීර​ ඇතුළු මුල් පෙළ නායකයන් තුළ සංස්කෘතික පසුගාමීත්වයක් තිබුණා. ඊට හොඳම උදාහරණය තමයි විෙජ්වීරගේ ප්‍රේම සබඳතාවයේදී ඔවුන් එකිනෙකා තරුණ කුළුඳුල් ප්‍රේමයක් පක්ෂයේ මධ්‍යගත අර්බුදයක් කරගෙන ඇති කරගත් අවුල.

විජේවීර​ගේ උපදෙස් මත මම අධ්‍යාපනය නතර කොට පූර්ණකාලීනයෙක් බවට පත් වන්නට තීරණය කළා. මම ශිෂ්‍ය අංශයේ දෙවන නායකයා බවට පත් වුණා. මේ කාලයේදී පන්ති පැවැත්වීම, ආයුධ එකතු කිරීම, නගරයේ පෝස්ටර් ගැසීම වැනි ක්‍රියා වලට මගේ උපරිම සහාය දෙනු ලැබුවා.

1970 අග භාගයේදී විජේවීර​ එෙ`ඩ්එමුල්ලේ ටී. ඩී. සිල්වාගේ නිවසට මා ඇතුළු සාමාජිකයින් කිහිප දෙනෙකු කැඳවා නියෝගයක් දුන්නා, බොරැල්ලේ මාධව මුද්‍රණාලයේ ඩී. ජී. අයි. ධර්මසේකර මුද්‍රණය කරන පොතක් විනාශ කරන ලෙසට. ඒ අනුව මම තවත් සාමාජිකයන් හයක් සමඟ බොරැල්ලේ මාධව මුද්‍රණාලයට ගියා. අපි සී. අයි. ඩී. නිලධාරීන් ලෙස පෙනී සිටියා. අපි මුරකරුවා හා සහායකයා බිය ගන්වා ධර්මසේකරගේ පොතේ පිටපත් සියල්ලම අප පැමිණි වාහනයට පටවා ගත්තා. අකුරු ඇමිණූ මැටර් සියල්ලද කඩා දැමුවා. මෙය මම අන්ධ ක්‍රියාවාදියකු ලෙස සිදු කළ ක්‍රියාවක්. එහි සාවද්‍යතාවය මට අද වැටහෙනවා.

පොත් පැහැරගෙන යාමේදී පොලිසිය අපව අත්අඩංගුවට ගත්තා. අපි ප්‍රකාශ කළේ ධර්මසේකර විසින් අපට මුදල් නොගෙවා පොත් පැහැර ගැනීමට දුන් උපදෙස් මත මෙය කළ බවයි. අපගේ අවශ්‍යතාව වූයේ අප පක්ෂයේ ගෞරවය ආරක්ෂා කර ගැනීමටයි.

කැරැල්ලේදී මට පැවරී තිබුණේ රෝස්මිඩ් පෙදෙසේ වාසය කළ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය අත්අඩංගුවට ගැනීමටයි. රෝස්මිඩ් නිවසේ පිහිටීම ගැන මෙරිල් ජයසිරි ඔත්තු බලා දළ සටහන් වගයක් ඇඳතිබුණා. රොස්මිඩ් ප්‍රහාරය තීරණය කළේ 1971 අප්‍රේල් 2 දින. මට එය දැනුම් දුන්නේ අප්‍රේල් 3 වැනිදා. මෙම ප්‍රහාරය සඳහා කොටහේනේ නිවසක් හා කොල්ලූපිටියේ පොලිසිය පිටුපස නිවසක් අපි කුලියට ගෙන තිබුණා. කොටහේන නිවසේ සෝමවංශ අමරසිංහ, එෙ`ඩ්රමුල්ලේ සරත්, රාජා, නිමල් යන සිටියා. සෝමවංශට වාහන එලවීමට ඇති හැකියාව හා ඔහුට රියදුරු බලපත්‍රය තිබූ නිසා සෝමවංශ මැතිනිය පැහැර ගෙන යාමේදී රිය පැදවීමට නියමිතව සිටියා.

මම සිටියේ කොල්ලූපිටිය මුහන්දිරම් පාරේ කුලියට ගත් නිවසක. මේ නිවස කොල්ලූපිටිය පොලිසියේ සිට යාර ගණනක දුරින් හා අරලියගහ මන්දිරයට ආසන්නව පිහිටා තිබුණු එකක්. රොස්මිඩ් ප්‍රහාරය සාර්ථකව සැලසුම් කළ එකක් නොවේ. ෆැන්ටසිය හා යථාර්ථය කවලම් වූ දුරදිග නොබලා සකස් කළ ප්‍රහාරයක්. ඒ නිසා තමයි රොස්මිඩ් ප්‍රහාරයට පෙර තොරතුරු පොලිසිය අතට පත් වන්නේ.

ශිෂ්‍ය අංශයේ කෙනෙක් බඳවාගෙන තිබුණා ඇඩිසන් ගුණතිලක කියා තරුණයෙක්. ඔහු පන්ති පහ හරි හැටි කර තිබුණෙත් නැහැ. ඔහුගේ පියා එක්සත් ජාතික පක්ෂයේ ආධාරකරුවෙක්. රොස්මිඩ් ප්‍රහාරයට ඇඩිසන් ගුණතිලකත් සම්බන්ධ කර ගත්තා. ඔහු මේ පිළිබඳව තම පියාට කියා තිඛෙනවා. බිය ගත් පියා මේ පිළිබඳ තොරතුරු ෙජ්. ආර්. ජයවර්ධන මහතාට පැවසූ විට ෙජ්. ආර්. එය සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනියට දන්වනු ලැබුවා.

1971 අප්‍රේල් 5 වැනි දින පොලිසිය කොටහේනේ නිවස වටලා සෝමවංශ අමරසිංහ, එෙ`ඩ්රමුල්ලේ සරත් හා රාජා, නිමල් අත්අඩංගුවට ගත්තා. මෙම පොලිස් වැටලීමේදී ඇඩිසන් ගුණතිලකට කොස්තාපල් නිල ඇඳුමක් අන්දවා ඔහුවත් සහභාගි කරගත් බව සැලයි. මෙම සැලසුම පිළිබඳ හෙළිදරව් කිරීම නිසා ඇඩිසන් ගුණතිලකට පොලිස් දෙපාර්තමේන්තුවේ පත්වීමක්ද ලැබුණා. ඔහු ගඩාෆි යන අන්වර්ථ නාමයෙන් හැඳින්වුණු බව මතකයි.

අප්‍රේල් 6 වැනි දින මා කොටහේනේ නවාතැන වෙත යන විට පාර දිගට කලබල. පොලිසිය හා සී. අයි. ඩී. එකේ නිලධාරීන් ගෙදර අසල. ඒ නිසා මම ඉවත් උනා. සැලසුම අනුව 5 දින රාත්‍රියේ රෑ 10 ට විහාර මහාදේවි උද්‍යානය අසලට 200 පමණ පිරිසක් ප්‍රහාරයට රැස් වීමට නියමිතව සිටියා. අපට පිස්තෝල කිහිපයක් හා ටින් බෝම්බ තිබුණා පිරිසක් අත්අඩංගුවට ගැනීම නිසා ප්‍රහාරයට නියමිත පිරිස විසිරී ගියා. කොටසක් විහාර මහාදේවි උද්‍යානයේ ගැවසෙනවා. පිරිසක් බොරැල්ල ප්‍රදේශයේ සිනමා ශාලාවක හිටියා.

ඇඳිරි නීතිය නිසා සිනමා ශාලාවේ සිටි අය බෝම්බ සිනමා ශාලාවේම තියා ඉවත් වෙලා. මේ අය පසුව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. මම ඉතිරි වූ පිරිස කෑගල්ල වැනි සටන් පවතින ප්‍රදේශවලට පිටත් කළා. අපගේ පළමු පෙළ නායකයන් සියළු දෙනාම වසන් වූ නිසා නිසි සම්බන්ධීකරණයක් තිබුණේ නැහැ. පියතිලක, උයන්ගොඩ, බෝපගේ දකින්නවත් හිටියේ නැහැ. දෙවන පෙළ නායකත්වය තමයි වගකීම ගත්තේ. කලූ ලකී, ප්‍රේමපාල, දේව බණ්ඩාර වගේ දෙවන පෙළ නායකයෝ.

71 කැරැල්ලේ සැබෑ ඉතිහාසය ලෙස සනිටුහන් විය යුත්තේ යහපත් අරමුණක් අදූරදර්ශී එඩිතර බවක් හා මනෝරාජික යුද සැලැස්මක් සහිතව මහජනතාවටද රහසින් මනා ලෙස පුහුණු කෙරුණු ධනපති රාජ්‍ය යාන්ත්‍රණයට එක් රැයකදී පහර දී රාජ්‍ය බලය අත්පත් කර ගැනීමට දැරූ සුළු ධනපති සිහිනයක් ලෙසටය.

අප්‍රේල් 7 දින උදේ ශිෂ්‍ය අංශයේ පූර්ණකාලිනයන් දෙදෙනෙකු ගුවන් විදුලියෙන් ප්‍රකාශයක් කරමින් මා ශිෂ්‍ය අංශයේ නායකයා වන බවත් රොස්මිඩ් ප්‍රහාරය මා සැලසුම් කළ බවත් කියා සිටියා. මේ නිසා මගේ ආරක්ෂාව ගැටළුවක් බවට පරිවර්තනය වූයේ නිමේෂයකින්.

අප්‍රේල් 16 දින මම නුවර පාර ප්‍රදේශය භාරව සිටි ප්‍රේමසිරි සමඟ ගම්පහට ගියා. අපි බැලූම්මහර හන්දියේ සිටියදී පොලිස් ජීප් රථයක් අප ඉදිරියේ නැවැත්තුවා. ජීප් රථයේ හිර කරගෙන සිටි තරුණයන් කිහිප දෙනෙකු හා අපව එක පොදියට තල්ලූ කළ පොලිස් භටයෝ අප සියළුම දෙනා අසල වෙල් යාය ළඟට ගෙන ගියා.

ඉන්පසුව අපව නිරුවත් කොට අත් එසවීමට නියෝග කළා. මෙහිදී අප සැම දෙනාටම මරණ බය දැනුණු බව අමුතුවෙන් කිව යුතු නැහැ. සමහරු විලාප දුන්නා. ඔවුන් තම රයිෆල් වෙඩි තැබීමට සූදානම් කරත්ම අනපේක්ෂිතව හමුදා ට්‍රක් රථයක් පැමිණ අපව ඔවුන්ගේ භාරයට ගනු ලැබුවා. හමුදා ට්‍රක් රථය මඳක් හෝ ප්‍රමාද වූවා නම මම අද ජීවතුන් අතර නැහැ.

හමුදා භටයෝ අපව පරීක්ෂා කළා. මට එවෙලේම සිතට ආ කථාවක් ගොතමින් වෙල් යායට ආසන්නව තිබූ නිවසක් පෙන්වා අප ඒ නිවසේ ජීවත් වන බවත් සිගරට් මිලට ගැනීමට හන්දියට පැමිණි බවත් කියා සිටියා. ප්‍රේමසිරිත් මා පැවසූ දේ ප්‍රතිරාවය කළා.

හමුදා භටයන් අපගේ හිසෙන් අඩක් බූ ගා අප දෙදෙනා නිදහස් කළා. යට ඇඳුමක් හා අඩක් බූ ගාන ලද හිසින් යුක්තිය අපි දෙදෙනා වාසය කරනවා යැයි පැවසූ නිවසට ගියේ පසුපසවත් නොබලමින්. හමුදා භටයන් අප යන දිශාව බලා සිටියාට සැකයක් නැහැ. අපි ඔවුන්ට පෙනෙන ලෙසට එම නිවසට ඇතුළු වුණා. ගෙදර සිටි කාන්තාව අඩක් නිර්වස්ත්‍ර විසුළු පෙනීමකින් යුත් තරුණයන් දෙදෙනා දැක මුර ගෑමට තැත් කළත් අප ඇයව සන්සුන් කෙරුවා. ඉක්බිති අප පෑල දොරින් පලා ගියේ ඇයව යළි ප්‍රකෘති තත්වයට පත් කරවමින්.

අපි රාත්‍රිය වෙන තෙක් ජනශ+න්‍ය පෙදෙසක සැඟවී සිට ඒ ප්‍රදේශයේ හඳුනන සාමාජිකයෙකුගේ නිවසට ගියා. එම සාමාජිකයා නිවසින් බැහැරව සැඟවී සිටියා. ගෙදර සිටියේ ඔහුගේ බිරිඳ පමණයි. අප ඇයට කන්නලව් කොට සරං දෙකක්, කමිස දෙකක් හා තුවා දෙකක් හා හිස් බෝතල් දෙකක් ඉල්ලා ගෙන වෙස් මාරු කොට පිටත් වූවා. අප නව ඇඳුමින් සැරසී හිමිදිරියේම බස් රථයකට ගොඩ වූයේ පොලිසියේ සැකයට ගොදුරු නොවීමටයි.

අප කෙළින්ම ගියේ කොහිලවල පන්සලටයි. මේ පන්සලේ අපට හිතවත් හිමි නමක් සිටියා. එහිදී හිස සම්පූර්ණයෙන්ම මුඩු කොට අප සිවුරු ඇඳ ගත්තා. අපගේ හිතවත් භික්ෂුව අපව හම්බන්තොට මාමඩල පන්සලේ නැවතීමට කටයුතු සූදානම් කොට තිබුණේ.

අපි දෙදෙනා පිටකොටුවෙන් මාතර යන බස් රථයකට නැග්ගා. මේ බස් රථයට අපව විමතියට පත් කරමින් හබරාදූව මන්ත්‍රී ප්‍රින්ස් ගුණසේකර මහතා ද ගොඩ වුණා. එහෙත් ඔහු අපව හඳුනා ගත්තේ නැහැ. අප සමඟ සංවාදයේ යෙදෙමින් ප්‍රින්ස් ගුණසේකර මහතා කැරලිකරුවන්ගේ ක්‍රියා කලාපයට දොස් කිව්වා. අපිත් එය අනුමත කරමින් ඔහු සමඟ සංවාදයේ නිරත වෙමින් ගමන් කළා. අතරමඟ කිහිප පළකදී අප දෙදෙනා පොලිසියෙන් සහ හමුදාවෙන් පරීක්ෂා කළ අතර සිවුරු ගළවා යළි අඳින ලෙසටද නියෝග දුන්නා. අපි සිවුරු ඇඳීම ප්‍රගුණ කර සිටි නිසා අපහසුවක් වූයේ නැහැ. එසේම ප්‍රේමසිරි පාලි ගාථා හොඳින් දැන සිටි නිසා පාලි ගාථා පොලිස් නිලධාරින්ට කියා අප යළි බස් රථයට ගොඩ වූවා.

අප මාමඩල පන්සලට ගියේ සරසවියේ ඉගෙනුම ලබන භික්ෂුන් දෙදෙනකු ලෙසට. එහි සතියක පමණ කාලයක් සිටියදී දායකයන්ට අප ගැන යම් සැකයක් ආවා. මේ නිසා අපි දෙදෙනා තීරණය කළා මෙම පන්සලෙන් පලා යන්න. පලා යාමට අපට නිශ්චිත අරමුණක් තිබුණේ නැති බව සැබෑව. අවසානයේ අපි තීන්දු කළා කැලයේ හුදකලාව තිබූ ගරා වැටුණු වනාරණ්‍යයක් වෙත යන්න. මේ ආරණ්‍යයේ සිටියේ මහළු භික්ෂුවක් පමණයි. මේ භික්ෂුව අපගෙන් කිසිවක් නොවිමසා අපටත් භාවනා යෝගීව සිටීමට උපදෙස් දුන්නා. අප දෙදෙනා මෙම වනවාසී භික්ෂුවගේ පිණ්ඩපාතයෙන් ජීවත් උනා.

මෙම ආරණ්‍යයේ සිටියදී මට දැනුණේ විශාල වරදකාරී බවක්. අපි දෙදෙනා සිල්වත් භික්ෂුවක් රවටනවා මදිවාට උන්වහන්සේගේ පින්ඩපාතයෙන් ගෙන එන ආහාරද භුක්ති විඳිම   නොපණත් ක්‍රියාවක් ලෙස තදින්ම දැනුණා. මේ ආරණ්‍යයේ සිටියදී ම ජීවිතයේ ප්‍රථම වතාවට ආධ්‍යාත්මික ලෝකයට එබී බලන්නට හැකිවීම විශෙAෂයක්. මා අද සිතන
අන්දමට එය මගේ ජීවිතයේ සන්ධිස්ථානයක්. මගේ ජීවිතයේ මුල්ම ආධ්‍යාත්මික අඩිතාලම මට ලැබුණේ මේ ස්ථානයෙන්.

මෙම ආරණ්‍යයේ සති දෙකක් පමණ ජීවත් වී අප රහසේම කොළඹ බලා පිටත් වූවා. අප තොහිලවල පන්සලට යන විටත් අපගේ හිතවත් භික්ෂුව පොලිස් අත්අඩංගුවට පත් වෙලා. එම නිසා අප සිටියේ උග්‍ර අර්බුදයක. අප දෙදෙනා තීරණය කළා යළි ගිහි ඇඳුමට බැසීමට

මෙවර අපි ගියේ දිවුලපිටිය ප්‍රදේශයේ තිබූ රහසිගත කඳවුරකටයි. මෙම කඳවුර විශාල පොල්වත්තක තිබූ බංගලාවක්. අප එහි යන විට කැරලිකරුවන් දස දෙනෙකු පමණ සිටියා. ඔවුන් සිටියේ පැපොළ රෝගයෙන් පීඩා විඳිමින්. පසෙක විශාල තුවක්කු මිටියක් තිඛෙනු මා දුටුවා. මේ කඳවුරේ චුකි ප්‍රේමරත්නත් සිටියා. සියළු දෙනා පාහේ සිටියේ සටන් කිරීමට නොව ඇවිදීමට පවා අසීරුවෙන්.

මෙම කඳුවරේ නායකයා ගාන්ධි නම් හැඩි දැඩි නිර්භීත පුරුෂයෙක්. එහෙත් ඔහු ඉතා ආවේගශීලීයි. දුර දිග නොබලා ගුවන් හමුදා රථයකට පහර එල්ල කිරීම නිසා ආරක්ෂක අංශ වලට දිවුලපිටිය කඳවුර පිළිබඳ හෝඩුවාවක් ලැබුණා. රැස්වී සිටි කැරලිකරුවන් මීළඟට කරන්නේ කුමක්ද පිළිබඳව ආතත්වික හා මනෝරාජික සැලසුම් පිළිබඳව යෝජනා ගෙන ආවා. පසුබැසීම සඳහා කථා කළා. පසුබැසීම සඳහා කොළඹ ඉතිරිව සිටින සාමාජිකයන් දිවුලපිටිය කඳවුරට ගෙන ඒමේ වගකීම මම භාර ගත්තා. මේ අනුව මම හා ආරි යන සාමාජිකයා කොළඹ ගියේ තව පිරිස් දිවුලපිටියට ගෙන ඒමටයි.

අපට සබඳතා සොයා ගැනීමට අපහසු නිසා තීරණය කළා යළි දිවුලපිටිය කඳවුරට පැමිණෙන්නට. අපි දිවුලිපිටියට පැමිණෙන විට කඳවුර දෙසින් ප්‍රහාරයක ශබ්දයක්. අපි දෙදෙනා තේරුම් ගත්තා කඳවුරට හමුදාව පහර දෙන බව. පසුව මට ආරංචි වුණා ගාන්ධි මීගමුවට ගෙන ගොස් වෙඩි තබා මරා දැමූ වග.

මා යළිත් කොළඹ ගියා. මේ වෙන කොට පොලිසිය අපගේ නිවස ගිනිබත් කරලා. පුවලේ සාමාජිකයන් සීසීකඩ. 1971 ජුනි මාසයේ 18 දින උදේ නවයට පමන මම  අපගේ  සාමාජිකයෙකු හමු වීමට මරදානෙ කාර්මික විද්‍යාලයට ගියා. ඔහු පැමිණියේ නැහැ. ඒ වෙනුවට ආවේ සිවිල් ඇඳගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කන්ඩායමක්. මාව අත් අඩංගුවට ගත්තේ පුංචිබණ්ඩා සෙනෙවිරත්න මහතා. එවකට ඔහු පොලිස් පරීක්ෂකවරයෙක්. ඔහු මට මානුෂිකව සැලකුවා.  පීඩිත හිංසා කළේ නැහැ. මට හතරවන තට්ටුවේදි පහර දුන්නේ ඛෙනට් ගුණසේකර මහතා පමණයි.
මගේ පවුලේ අයියා, අම්මා හා නැගණිය පවා අත්අඩංගුවට ගෙන නැගෙනිය හිටියේ නුවර ඥාති නිවෙසක. මම ඉල්ලීමක් කරා නැගණිය අත් අඩංගුවට ගන්නා විට මාද ගෙන යන ලෙසට එසේම ඥාතීන් ඉදිරිපිට කිසිදු  අවමානයක් නොකරන ලෙසට. පොලිස් නිලධාරින් ඒ ඉල්ලීම ඉටු කළා. ඔවුන් නුවර ගියේ සිවිල්  පිට නිල ඇදුම් වලින් තොරව. නුවර ඥාතී ගෙදරට නොදැනෙන සේ මම නැගෙනියට කිව්වා අපිව අත්අඩංගුවට ගෙන ඇති බව. ඒ අනුව අපි දෙදෙනා යළි පොලිස් වාහනයේ දමා කොළඹ ගෙනාවා.

අගතියෙන් තොරව මෙය මා සඳහන් කරන්නේ පොලිස් නිලධාරින් 71 දි මානුෂිකවද ක්‍රියා කළ අයුරු පිළිබඳව සත්‍ය පැවසීමට. ඔවුන්ට හැකියාවක් තිබුනා අප ඥාතීන් ඉදිරියේ අවමාන සහගත ලෙස නීතිය ක්‍රියාත්මක කරන්න. ඒත් ඔවුන් එවැනි දුර්ජන ක්‍රියා කළේ නැහැ. මෙය සෑම කැරලිකරුවෙක් සෑම අවස්ථාවන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වුවා යැයි මා කියන්නේ නැහැ. අමානුෂික ක්‍රියා මෙන්ම අතරින් පතර මානුෂිකව ප්‍රශ්න විසදීමටද පොලීසිය කටයුතු කලා.

මාව රඳවා තැබුවේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ. එහිදී මම කැරැලිකරුවන් අතර මතුවූ විවිධ මානසික ප්‍රතික්‍රියා නිරීක්ෂණය කළා. අප සියළුම දෙනා පාහේ ගැලී සිටියේ නොගැඹුරු අසම්පූර්ණ දේශපාලන චින්තනයක. පසුගාමී අදහස් සහ සංකල්ප තුලද අපි සිරවී සිටියා. කැරලිකරුවන් තුල තිබුනේ කෙටි කාලීන මෝහනයක්. ත්‍රාසෝන්මාද ක්‍රියා සදහා තිබු පොදු මනෝභාවයන් ඔවුන්ව මෙම සන්නද්ධ ක්‍රියාදාමයට ඇදගනු ලැබුවා. දෙමව්පියන් ගුරුවන්රුන් ගේ අධිකාරියෙන් පිට පැන අරාජික නිදහස් රෝමාන්තික ආශ්වාදයක නිරත වීමට තිබූ කැමැත්ත අවසන් වුනේ සිර ගෙදරින්.

වැඩිහිටියන් තුළ තිබු අසංවේදීතාව, තරුණ පිරිස් සමග ගනුදෙනු කිරීමේදී දැක්වු දෝශ සහගත බව නිසා තරුණයන් දෙමව්පියන් ගුරුවරුන්ගේ අවවාද හා මාර්ගෝපදේශ වලට වඩා රැඩිකල් දේශපාලන ව්‍යාපාරයට දැක්වූයේ ඇල්මක්. මම රහසේ විප්ලවවාදී ව්‍යාපාරයට සම්බන්ධව මාස කිහිපයකින් ම පාසල් ජීවිතයෙන්ද නිවසෙන්ද පලා ගියා. මා වැනි දහස් ගණන් තරුණයන්ද එසේ කළ බව මම දනිමි. මට අවුරුදු 21 වන විට මා නිදහස අහිමි වූ සිරකරුවෙක්.

බන්ධනාගාරයේදී ඇතැම් කැරළිකරුවන් අඩු අත්දැකීම් අඩු දේශපාලන දැනුම, නිසා හුදෙක් ආවේග මත පදනම් වී දැඩි මතධාරීන්, වධකයන් බවට පත් වීම විකෘති තත්වයක්. ඇතැම් බන්ධනාගාර වල විශේෂයෙන් හැමන්හිල් සිර කදවුරේ ක්‍රියාත්මක වූ සමාජවාදය යටතේ පෞද්ගලික සෙරෙප්පු පවා තබා ගැනීම තහනම් වුනා. අද මට පෙනී යන පරිදි සත්‍ය සමාජවාදය කුමක්ද යන්න පවා ඔවුන් දැන සිටියේ නැහැ. මතවාදී ගැටළු කොතෙක් උග්‍ර වීද යත් අතින් පයින් පවා පොලූ මුගුරු වලින් පවා විවාද කර ගත් ලාමක හා ගාම්‍ය විප්ලවවාදීන් 71 සිර ගෙවල් තුල සිටි බව මා කියන්නේ ඔවුන් පිළිබඳ අනුකම්පාව පෙරදැරි කරගෙන.

කම්කරු පන්තිය ප්‍රතික්ෂේප කරමින්  හේන් ගොවියන් ශිෂ්‍යයන්, රැකියා විරහිතයන් හා නන්නත්තාර නිර්දනයන් ඒකරාශි කරමින් ගෙන ගිය ගමන කෙලවර වුනේ සිර ගෙවල් වල පෝරියල් හමුදාව නමින් හැදින්වූ විරුද්ධ මතධාරින්ට පහර දෙන චින්තනමය වශයෙන් දුගීන් පිරිසක් බිහි කරවමින්.

ඇතැමෙකු අත් අඩංගුවේදී රහස් පොලීසියට සියලූම දේ පවසා සිර ගෙය තුල  මනංකල්පිත සන්නද්ධ ක්‍රියාදාම ගැන අතිශයෝක්තියෙන් කරුණු කියන අයුරු මා අසා සිටියා. එසේම සී අයි ඩී එකෙන් පහර දීම නිසා දැවිදීමට නොහැකි යැයි කියමින් අනුකම්පාව ලබා ගත් හොර ලෙඩුන් දුටුවා.

සමහර සිරකරුවන් ඒකාකාරි ජිවිතය නිසා සමලිංගික සබදතා වලට යොමු වීම මා දකින්නේ වරදක් ලෙසට නොවේ. දේශපාලන අරමුණූ සහ ප්‍රතිපත්ති වෙනුවෙන් දිගු කාලයක් පුරා විශම ලිංගික ආවේග මැඩ ගෙන සිටි ඔවුන් ගේ ලිංගික ආශාවන් හා ආවේග ගිනිකදු ප්‍රවාහයක් සේ සිර ගෙදරදී එළියට ආවේ අසම්මත ප්‍රේමයන් ඔස්සේ. ඒත් මේ සමලිංගික සබදතා හුදු මානුෂික ආදරයේ ප්‍රකාශනයක් දැයි සිතෙන අයුරින් දැඩිමතධාරීන්. අන්තවාදීන්. දරද~ු පුද්ගලයන් මෘදු සංවේදී මිනිසුන් බවට පත් වනු මා නිරීක්ෂණය කළා. ලිංගික අසරණකම සිරකරුවෝ ඛෙලහීන කරයි නැතහොත් රුදුරු කරයි යන්න මම හිරගෙදරදී වටහා ගත් සත්‍යයක්.  

ඇතැමෙකු හස්ත සංසර්ගයට  හුරු වූවා. පේර කොළ ඔතා බීමට ඔවුන් පුරුදුව සිටි අතර වියලි පේර කොළ ඔතා බීම නිසා හටගත් කැස්ස හැඳින්වූයේ පේර කොළොස් කැස්ස ලෙසට. මම  ප්‍රකෘතිය හා විකෘතිය දැක්කා සිර ගෙදරදි. ඒ නිසා සිපිරි ගෙය මට තක්සලාවක්. ඒ මානුෂික අත්දැකීම්, සිර ගෙදර අත් විදි ආධ්‍යාත්මක තනිකම මට පසුකාලයක නොයෙකුත් අංග වලින් පරිනතභාවයක් ලබා දුන්නා.

අප්‍රේල් මස නඩුව 1972 ජුනි 2 දින   අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් 
කොමිසම් සභාව යටතේ අග්‍ර විනිශ්චකාර එච්.එන්.ජී. ප්‍රනාන්දු මහතා ගේ මූලිකත්වයෙන් ආරම්භ කෙරුණා. ජුනි මස 13 දින මහ නඩුවේ විත්තිකරුවන් 41 දෙනෙක් නම් කෙරුණු අතර මා 15 වන විත්තිකරු වූවා.

නඩුවේදී නායකයන්ගේ කට උත්තර කියෙව්ව  පහළ සාමාජිකයන්ට දැනුනේ විශාල කඩාවැටීමක්.  හැම නායකයෙකුම අඩු වැඩි වශයෙන් තමා කළ කී දෑ නිලධාරින්ට පාපොච්චාරනය කොට තිබූ බව කටුක සත්‍යයක්.   ඒ නිසා නායකයන් ආරූඩ කර ගෙන සිටි ව්‍යාජ වීරත්වය, දේශපාලන ප්‍රතිරූප එක රැයින් සුන් වුනේ සුළං ගිය බැලූම් ලෙසටයි.  

නඩුවේදී මට අවුරුදු 5ක අත්හිටවූ සිර දඩුවමක් ලැබුනා. අප නිවස ගිනිබත් කිරීම, මුළු පවුලම සිර ගත කිරීම නිසා විධායකයේ අනුකම්පාව ලැඛෙන ස්වරූපයක් තිබුනා. වරක් මා සිර ගෙදරින් අධිකරණ අමාත්‍යාංශයට ගෙන ගියා. මා මේ හෙලි කරන දේ කිසිම තැනක ලේඛන ගත නැහැ. එම නිසා මේ සිද්ධිය කැරැල්ලෙන් දශක 3 පසුව මා පවසන අත්දැකීමක්.
එදා මා අධිකරණ අමාත්‍යාංශයට ගෙන ගොස් අමාත්‍ය ෆීලික්ස් ඩයස් ඉදිරිපිට පමුණුවනු ලැබුවා. අනෙකුත් නිලධාරීන් ඔහු ඉදිරියේ බයාදු ස්වරූපයෙන් සිටියදී මා එක එල්ලේ ඔහු දෙස බලා සිටියා. තමා චෝදනා වලට වරද කරු නොකීවේ මන්ද යැයි ඔහු මගෙන් විමසුවා. මා පැවසුවේ පවත්නා ක්‍රමයේ වරද නිසා අප කැරළිකරුවන් බවට පත්වූ බවත් එම නිසා අප අත වරදක් ඇති නම් ඒ තරමටම රාජ්‍ය යාන්ත්‍රණයද වරදකරුවෙකු වන බවයි.

ෆීලික්සA උත්සහ කළා මාව බලල් අතක් ලෙස යොදවාගෙන කැරලි නායකයන්ව බාල්දු කරන්න. ඔහු අනියම් ලෙස මට දීප්තිමත් අනාගතයක් ද පොරොන්දු වුවා. මා එයට එකග නොවු විට ඔහුගේ මුහුණේ කෝපය උතුරා යන අයුරු මගේ නිරීක්ෂණයට අසු වූයේ නිතැතින්. තමුසෙගෙ කට වැඩියි. තමුසේ තවමත් කැරලි කාරයෙක්. විධායකයේ අනුකම්පාව ලැඛෙන්නේ නෑ. මේ ෆීලික්ස් මට අවසානයට කියූ වදන්. මාව පෙරලා සිර ගෙදරයට ගෙන ආවා.

මම නිදහස් වුනේ 1977 දි. ට්‍රොස්කිවාදය හදාරා සිටි මම විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයට බැඳුනා. එහි මතවාදී ගැටුම්   නිසා මම කලා හා ලේඛන දිවියට වැටුනා. වසර 8 පමන මම චිත්‍රපට හා ලෙඛන කලාවට යොමුවී සිටියා.

1994 දි මම නියුමෝනියාවෙන්  පීඩා වින්දා. ශරීර වේදනා උග්‍ර වූ විට අසරණ වූ මා භාවනාවට සිත යොමු කළා. භාවනාව තුළින් මගේ ශරීර වේදනා අඩු වීම නිසා මා භාවනාවට වඩාත් යොමු වන්නට ඇති. මට මාර්ගෝපදේශය දුන්නේ අලව්වේ ජයසූරිය මහතා. මම පුරා වසර 12ක් භාවනා කළා. මගේ ආධ්‍යාත්මික විප්ලවය 71 විප්ලවයට වඩා ප්‍රබලයි. ඒ වගේම ඵලදායකයි. මම අද භාවනායෝගියෙක්. 

71 හා 88 යන වකවානු වල ආධ්‍යාත්මික හිඩැස අප අත් වින්දා. අප සමාජය තාමත් පාඩම් ඉගෙන ගත්තේ නැහැ. 71, 88 කැරළි, එල් ටී ටී ඊ
සංවිධානයේ ක්‍රියා, ව්‍යාජ දේශප්‍රේමයෙන් කුල්මත් කරන ලද දකුණ. මේ සියළු ප්‍රපංචයන්   දරා සිටින්නේ ලැබී ඇති ජීවිතය ආඪ්‍ය ලෙස භුක්ති විදිමින් මෙහි සකලාකාර සජීවි ඵල හා ආස්වාදයන් වින්දනය කර ගැනීමේ සංතෘප්තිය නොව පිටතින් පනවන ලද අරමුණු වෙනුවෙන් මරණයට කැප වීම. මේ ඛේදවාචකය අප රටෙත් ලෝකයේ වෙනත් ප්‍රදේශ වලත් දක්නට තියනවා.

දේශපාලන ප්‍රතිවාදින් පුද්ගලික සතුරන් ලෙස සැලකීම සහ ඔවුන් කායිකව විනාශ කිරීමේ උග්‍ර මනෝබද්ධතාව, විකෘති දහමක්. ආධ්‍යාත්මිකව අවධි නොවූ පුද්ගලයන්ට කිසිම විරදකාරී හැගීමකින් තොරව එය කරන්නට පුළුවන්. ආයුධ සංකල්ප, හා ප්‍රචණAඩ සංවිධාන මනස නොවැඩුනු නුපුහුණූ ඕනෑම කෙනෙකුට හදන්න පුළුවන්. ආයුධ වලට සමාජ විකාශයට ප්‍රබල බලපෑම් කරන්නට බැහැ. ඒත් ආධ්‍යාත්මය අවධි කිරීම තුලින් පුළුවන්. මම එය කියන්නේ මගේ 71 හා වර්තමාන අත්දැකීම් පදනම් කොට ගෙන.

අපේ සමාජය 71 දි මෙන්ම 88 දි කිසිම පසු අධ්‍යයනයක් කලේ නැහැ.
ඒකට අපේ කලාකරුවන්ටත් දෝෂාරෝපනය එල්ල වෙනවා. ඔවුන්ගේ නිද්‍රාශීලි බව කැරළි දෙකක අත්දැකීම් ග්‍රහනය කොට ඒවා නව නිර්මාණ වලට පාදක නොකර ගැනීම, ඒවා මගින් සමාජයට ප්‍රචන්ඩත්වයේ නිසරු බව සමාජයට නොදැක්වීම මගින් 71 දි මෙන්ම 88 දක්වා සිටි කලාකරුවන් තම ශ=ද්ධ මාතෘකාව මග ඇරලා.

කැරළි ඇති වන්නේ මන්ද ඒ හා බැඳුනු සමාජ ආර්ථීක ගැටළු මොනවාද සොයා බැලීමත් ආධ්‍යාත්මික දුර්වල බව තුරන් කිරීමත් ඉතා වැදගත් නැතහොත් යළිත් වරක් මරණයේ විනාශකාර දෝංකාරයම අපේ සමාජය අත් විදීවි.


වෛද්‍ය රුවන් එම් ජයතුංග 



18 comments:

  1. අපිට වධහිංසා පැමිණවීම (torture) සම්බන්ධයෙනුත් සාඩම්බර ඉතිහාසයක් තියෙන බව නැවත මතක් වුනා. ඇත්තෙන්ම සමහරු හිතන්නේ මේ වගේ සිදුවීම අසූව දසකයෙ පටන් ගත්ත ඒවා කියලා

    ReplyDelete
    Replies
    1. Dude 71 හැරවුම් මංසන්දියක් අපගේ සමාජය තිරිසන්කරණයට ලක් වෙනවා. අද අප අත් දකින්නේ එහි එල

      Delete
    2. නිවෙස් වල සිටින පුද්ගලයන් පැහැරගෙන ගොස් වධදී මරා දැමීමේ ක්‍රමය 1971 දියි මුල්වරට ක්‍රියාත්මක වුනේ. මෙම ක්‍රමය සිරිමාවෝ ක්‍රමය ලෙස නම් කරමු. ඒ ගෞරවය වෙන අයට දෙන එක අසාධාරණයි. විරෝධතා මර්ධනය කිරීමේ මේ ක්‍රම ඉරාකයේ සදාම්ගෙ පාලනය යටතේ පුහුණුවක් ලබා දුන්නා. එහෙම නැතිව ඊශ්‍රායල් ක්‍රමයක් නොවෙයි.

      1987 1989 කාලයේදී අලුත් වධ හිංසා ක්‍රම ආරක්ෂක අංශ විසින් සොයා ගත්තා. අපි බයිසිකලයක්වත් හදාගන්න බැරි ජාතියක් කියන අයට මේක හොඳ කනේ පාරක්.අපේ නිර්මාණ ශක්තිය ඉහළයි. ධර්ම චක්‍ර ක්‍රම, පී වී සී බට ගුදයට යැවීම වගෙ දේවල් අපේ හමුදාවල පොලීසිවල අයගෙ සොයා ගැනීම්. ඒ ගෞරවය ඒ අයට දෙන්න ඕන.

      පරපීඩාකාමුකත්වය ගැන ලිපි පෙළක්ම දාන්න කියල හිටියෙ. ඒ නාසීන් ගෙ යුධ අපරාධ ගැන ඔබෙගේ ලිපියක උත්තේජනයෙන් පසුව. නමුත් මම දැන් කොටස් වශයෙන් කතාවක් පළ කරනව ඊට පස්සෙ දාන්නම්.

      Delete
    3. මධ්‍යස්ථ මතධාරියා ගොඩාක් හොඳයි , එය කියවීමට අශාවෙන් සිටිමි

      Delete
  2. මමත් මේ අන්ධානුකරණය දිගේ ගොස් නූලෙන් බේරුණා. ඒ මගේ පන්ති භාර ගුරුතුමාගේ දුර දක්නා නුවණ නිසයි. මාව මේ කණ්ඩායමෙන් ගලවාගෙන ගෙදර ගෙනියන ලෙස මගේ පියාට උපදෙස් දී තිබෙන්නේ මගේ පන්තිභාර ගුරුතුමා. (පසු කලෙක කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ වරයකුව සිට අභාවප්‍රාප්ත වූ කෑගල්ලේ කෑගලු මහා විද්‍යාලයේ ආදී ශිෂ්‍යයකු හා, මා එහි ඉගෙන ගන්නා කාලයේ එහිම ගුරුවරයකු වූ, කෑගල්ල, අඹන්පිටියේ විසූ M.R.විජේතිලක ගුරුතුමා) ඇත්තටම මෙහි විජේවීරගේ ගති ලක්ෂණ පැහැදිලිවම දක්වා තිබෙනවා. මා ඔහුව දුටුවේ, අන් අයගේ මතය නොඉවසන, කුකුල් කේන්ති කාරයකු ලෙසයි. සන්නද්ධ විප්ලවයක මූලික ලක්ෂනවත් නැති මහ විකාරයක් තමා 1971 දී සිදුවුණේ.

    ReplyDelete
    Replies
    1. විචාරක - කෑගලු මහා විද්‍යාලයේ , තෝලංගමුව මධ්‍ය මහ විද්‍යාලයේ බොහෝ සිසුන් 71 දී එක්වූවා. බොහෝ දෙනෙකු අද අධ්‍යාපනය අඩපන කරගෙන පසුතැවිලි වෙනවා

      Delete
    2. තෝලංගමුව ම.ම.වි. මා දන්න සිසුන් මැරුණා 1971 දි. මගේ බිරිඳ තෝලංගමුව ම.ම.වි. ආදී ශිෂ්‍යාවක්.

      Delete
    3. 71ට සහභාගි වී කෑගල්ලේ පබිලිස් නැමැති පුද්ගලයා උදැල්ලිකින් පහර දී පණ පිටින් වලලා දමන ලද්දේ ජයතිලක නම් තෝලංගමුව මධ්‍ය මහ විද්‍යාලයේ 16 සිසුවෙක්

      Delete
    4. උදැල්ලකින් පහර දී පබිලිස් මරපු එක මම රංජිත් හෙන්නායකගෙ ලිපියක කියවල කම්පා වුනා. දේශපාලන මතවාදවලින් ඔළුව සෝදා ගත් අය තමන්ට කිසිදා වරදක් නොකළ අය මරන්න පෙළෙඹෙන හැටි පුදුමාකාරයි.
      විජේවීර කළේ පොල්පොට් සේම මිනිසා තුල නිදා සිටින තිරිසනා අවදි කිරීම. නමුත් ඔහුට ආකර්ශනය වුනේ කෙබදු මිනිසුන්ද කියන එකයි විමසිය යුත්තේ.

      පබිලිස් කියන්නෙ රෝගියෙක්.ඔහුව මැරුවෙ අනෙක් අය බයගන්වන්නලු. අසාධ්‍ය පැපොල රෝගියෙක් පැහැරගෙන ගිහින් ඒ මිනිහ ලවාම වලක් හාරල උදැල්ලෙන් ගහල වලට දැම්ම ජේවීපී කාරයො කියන්නෙ අමු තිරිසන්නු. ජේවීපී එක ප්‍රචන්ඩත්වයට තල්ලු කළේ ආන්ඩුව. එහි විවාදයක් නෑ. නමුත් මේ තිරිසන්නුන්ගෙ වැඩ නිසා ආරක්ෂක අංශ උන්ට ගැලපෙන ඉන්ජෙක්ෂන් දුන්න. එය විය යුතුවම තිබුනා.

      Delete
  3. බොහොම වැදගත් තොරතුරු ටිකක් වගේම මතකයක්.. අපි ඉපදුනෙත් මේ කාලය පහුකරලා නිසා මේවා ගැන ඔබතුමන්ලා ලියන දේවල් වලින් තමයි කරුණු කාරනා දැන ගන්න තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. Dinesh ඉතිහාසය ඉතා වැදගත් විශයක් , ඉතිහාසය හරා තමයි අනාගතය නිර්මාණය වෙන්නේ

      Delete
  4. පෝස්ට් දෙකක් අතරේ දවස් තුනකවත් ගැෆ් එකක් තියන්න මහත්තයෝ , අපරාදේ කියවන අයට මිස්වෙයි , ෂේඩුල් කරල තිබ්බනං ඔටෝ පබ්ලිෂ් වෙන්න , පංකාදු හතයි.

    ReplyDelete
    Replies
    1. අටම්පහුර ඉදිරියේදී එහෙම කරන්න බලාපොරොත්තු වෙනවා

      Delete
  5. ජවිපෙ දේශපාලනය නිසා ජීවිතය අදුරු කරගත් විශාල පිරිසක් සිටිනවා.කිරි එකක් බොන්න යමු කියල අඩගහගෙන ගිහින් නතර වෙලා තියෙන්නෙ යුධ පිටියක. නිකම් යාළුවගෙ වචනෙ කඩන්න බැරිකමට ගිහින් තමන්ගෙ ජීවිතෙත් නැතිකරගෙන තියනව. කස්ත්‍රෝ 60 දෙනෙකුගෙන් විප්ලවය කෙරුව ,කරුමේ දෙතුන් දෙනෙකුගෙන් විප්ලවය කෙරුව කිය කිය දහ අටේ විස්සෙ කොල්ලො වීරත්වයකින් මංමුලා කෙරුව.
    1971 ට වඩා 1989 දි ඉස්කෝලවලට ගිහින් ජවිපෙ මහ විනාශයක් කළා.ඉස්කෝලෙ කොල්ලෙ ආමි එක ඉස්සරහට දාල ආමි එකෙන් මැරුම් කෑවම ඒ මිනී වෙන්දේසි කරන එකයි ජේවීපී ප්ලෑන් එක. ඒක හරිම භයංකාර අදහසක්.ජේවීපී නායකයො තමන්ගෙ ළමයින්ට ඔහොම කරන්නෙ නෑනෙ.
    දවසක් ජවිපෙ බිම් මට්ටමේ නායකයෙක් මාත් එක්ක සෝමවංශව විවේචනය කරන ගමන් කිව්ව. . සෝමවංසව දාල තියෙන්නෙ සී අයි ඒ එකෙන්. විජේවීර කෙළින්ම බැස්සෙ ඉස්කෝලවලට කියල.

    ජවිපෙ නිසා රටට ලැබුන දෙයක් තියනව. මම හිතනව ඔවුන් නිසා ජනතාවගෙ පෞර්ෂය වර්ධනය වුනා කියල. 1971 කියන්නෙ වැඩවසම් යුගයක්. ඔවුන්ගෙ ක්‍රියාකාරකම් යුගයට සාපේක්ෂව ඉදිරියෙන්. සන්නද්ධ විප්ලව නොකළානම් ලොකු සේවයක් කරන්න තිබුනා.

    විජේවීරට තිබුනෙ ගඩාෆිල වගෙ අඩුවයසෙන් පාලකය වෙලා මැතිවරන තියන්නෙ නැතුව චීනෙ රුසියාවෙ වගෙ අන්තනෝමතික පාලනයක් ගෙනයන්න. ඒකට රුකුලක් ලෙසයි විප්ලවය කලේ. 1971 දි දිනුවනම් ඉන්දියන් බිල්ල පෙන්නගෙන තවම රටේ නායකය. එහෙමන්න් ලංකාව උතුරු කොරියාව වගෙ පසුගාමී රටක්. තාක්ෂනය වගෙ දේවල් මොකවත්ම නෑ. විජේවීරගෙ පුද්ගලාභිවන්දනය විතරයි.

    ReplyDelete
    Replies
    1. මධ්‍යස්ථ මතධාරියා සමාජ පරිවර්තනයක් කිරීමට ආයුධ අවශ්‍ය නොවන බව ලෝකයේ බොහෝ සමාජ පරිවර්තන වලින් පෙන්නුම් කරා.

      Delete
    2. කරුමේ දෙතුන් දෙනෙකුගෙන් විප්ලවය කෙරුව කිය කිය දහ අටේ විස්සෙ කොල්ලො වීරත්වයකින් මංමුලා කෙරුව//
      කරුමේ යනු කර්මය නොවෙයි. කාටහරි පැටලෙයි කියලයි මතක් කළේ. කරුමේ යනු 1964 දී සැන්සිබාරයේ බලය ප්‍රචන්ඩ විප්ලවයකින් අල්ලා ගත් අමානි අබෙයිද් කරුමේ නම් පුද්ගලයායි.
      සැන්සිබාරය යනු නැගෙනහිර අප්‍රිකාවෙ පිහිටා තිබෙන තිතක් වන් කුඩා දූපත් රාජ්‍යයකි.

      Delete
  6. ජනතාවගේ නිශ්ක‍්‍රිය කාලය අවසන් වෙමින් පැවතුණි. ඔවුන් ප‍්‍රතිවිප්ලවය දෙසට අකර්ෂණය වෙමින් සිටින අයුරු නන් දෙසින් විද්‍යාමාන විය. පිටාර ගලා යමින් පවතින ප‍්‍රතිවිප්ලවීය චණ්ඩ මාරුතයෙන් ආරක්ෂා වීමට, අපි දහසක් දේ කළෙමු.

    ප‍්‍රතිවිප්ලවවාදීන් ලෙසින් සංවිධානය වෙමින් පැවති ජනතාවට, අනතුරු හැඟවීම බෙහෙවින් කාලෝචිත උපක‍්‍රමයකි. අනතුරු හැඟවීමට අප ප‍්‍රථමයෙන් තෝරා ගත්තේ, පරගම්මන ගමේ පැරණි පොලිස් ඔත්තුකරුවා වූ පබිලිස්ය. ඔහු තෝරා ගත යුතු යැයි යෝජනා කොට සිටියේ සෝමෙ අයියා විසිනි. සෝමෙ අයියා පක්ෂයට සම්බන්ධ වීමට පෙර නීති විරෝධි අරක්කු පෙරමින්, අලෙවි කරමින් ජීවත් වූවෙකි. ඔහු පබිලිස් සම`ග උරණ වී සිටියේ ඉතා දිගු කාලයක සිටය. පොලීසිය ඔහු ලූහු බැඳ ආවේ පබිලිස්ගේ ආධාරයෙනි.

    සෝමෙ අයියා පබිලිස් ගේ නම යෝජනා කරන විට, එයට එරෙහි වීමට හැකි මනෝභාවයක් හෝ ශක්තියක් කිසිවෙකුට නොතිබිණි. ඔහු අප සේනාංකය මෙහෙයවූ එක් සටන්කාමී නායකයෙකි.

    පබිලිස් මේ කාලය වන විට ( පූර්ව විප්ලවීය සමයේ ) නොවැදගත් පොලිස් ඔත්තුකරුවෙකු වී සිටියේ, සාම්ප‍්‍රදායික සමාජයේ ඔත්තු හැරුණු කොට, විප්ලවවාදී ව්‍යාපාරයකට සූක්ෂ්ම ලෙස ඇතුලූ වී ඔත්තු බැලීමට ඔහුට හැකියාවක් නොතිබූ බැවිනි. පොලීසියට තවදුරටත් සාම්ප‍්‍රදායික ඔත්තු ( කසිප්පු කරුවන් ඇල්ලීමට අදාල තොරතුරු වැනි දේ)අවශ්‍යව නොතිබීම හේතුවෙන්, පබිලිස් නොවැදගත් පුද්ගලයෙකු බවට පත් වී සිටි අතර ඒ හේතුව නිසාම, ඔහුට මෙතෙක් පැවති පොලිස් රැකවරණයද අහිමි වී තිබිණි.

    ගරු විනිසුරුතුමනි,
    ජයතිලක එක් උදෑසනක ප‍්‍රබෝධයෙන් යුතුව පැවසුවේ පෙරදින රාත‍්‍රියේ පබිලිස් මරා දැමූ ආකාරයයි. අපි යනකොට මිනිහ හිටියේ ලෙඩ ඇඳේ. පැපොල හැදිල. ගෙදර අය කීව සනීපවුනහම ගෙනියන්න කියල. ඒක ඉක්මනින් සනීප වෙන අසනීපයක්ද කියල සෝමෙ අයිය ඇහැව්ව. උන් උත්තර දුන්නෙ නැහැ. අපි පබිලිස් ගෙනෙන කොට ගෙදර අඳෝනා තිබ්බ. අපි තුවක්කු එල්ල කරල ඒ අය නිහඬ කළා. පාලූ තැනක පබිලිස්ට කියල අපි වළක් හෑරුවා. මිනිහ බොහොම වෙලා අරගෙන, කුඩා වළක් හෑරුවා. හරියට මරණය ප‍්‍රමාද කරන්න වගේ. ඊට පස්සෙ අපි කීව වළ ඉස්මත්තෙ ඉඳගන්න කියල. මිනිහ පොලීසියට වගේම, අපටත් කීකරු වුණා. සෝමෙ අයිය ඇහැව්ව මේ වළ හෑරුවෙ මොකටද කියල. පබිලිස් උත්තර දුන්නෙ නැහැ. එතකොට සෝමෙ අයියාම ඒකට උත්තර දුන්නා. පොලිස් ඔත්තුකාරයො වළලන්න කියල. පබිලිස් අවසාන උත්සාහයත් දැරුව, තමන් නිදොස් කියල කියන්න. ඒත් ඒකට අවසරයක් ලැබීමට පෙර මගේ උදලූ බඳ පහරෙන් හිස්කබල ගලවලා ගියා. ඒත් මැරුණෙ නැහැ. අපි පබිලිස් පණ පිටින් වළට තල්ලූ කළා. පබිලිස් මොනවදෝ කියනව වගේ ගොර ගොර ගාල පැහැදිලි නැති ශබ්දයක් පිටකළා. පබිලිස් හෑරුව වළේ, උගේ ශරීර කූඩුව ඔබන්න මදි. ඒක හින්ද ආයෙත් මම දණිස් පොල්කටු වලට උදැල්ලෙන්, ගහල කකුල් ඉස්සරහට නැමුවා, එතකොට කුරු මිනිහෙක්ගෙ තරමට පබිලිස් කොට උනා. ඊට පස්සෙ ගෙදර හදපු බල්ලෙක් මැරුණහම වළලනව වගේ, වැඩි ගැඹුරක් නැති වළට දමල පස් දැම්ම.

    ගරු විනිසුරුතුමනි,
    පරපීඩක කාමුකත්වයෙන් ආවේශ වූ අපි ජයතිලකගේ විප්ලවීය කැපවීම අගය කළෙමු. තෝලන්ගමුව මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි ශිෂ්‍යත්වලාභි දහසය හැවිරිදි ශිෂ්‍යයා, අප අතර නමක් දිනා ගත්තේ එලෙසය. ඔහු අනුව යමින් විප්ලවයේ උපරිම හැකියාව ප‍්‍රදර්ශනය කිරීම සඳහා තවත් බොහෝ දෙනෙකු ස්වකීය පංති වෛරය නිදහසේ මුදා හැරියෝය.

    ReplyDelete
    Replies
    1. මෙය වත්මන් ජවිපෙ නායකයන්ගෙන් පවා ඇසිය යුතු ප්‍රශ්නයකි. ඔබත් මා මෙන්ම සිතන්නෙක් බව පැහැදිලියි. ඇත්තෙන්ම අප මෙම පරපීඩක කාමුකත්වය ගැන විද්‍යාත්මක සත්‍යයන් හෙළිකර දේශපාලන ප්‍රචන්ඩකාරීන්ගේ සැබෑව හෙළිකළ යුතුයි.එවැනි අපරාධකාරයන්ට රාජ්‍ය බලය ගියොත් මොකකින් මොකක් වේවිද
      මේ අය කියන්නෙ ඔවුන් මනුෂ්‍යත්වය ඉගෙන ගත්තෙ පක්ෂයෙන් කියල. මේ වගෙ මනුෂ්‍යත්වයන් වෙන්නෙ ඇති ඉගෙන ගන්න ඇත්තෙ.

      මම අනුන්ගෙ විපතෙදි තදින් කම්පා වන්නෙක්. ඒ වගේම නිතරම ගන්නෙ දුර්වලයගෙ පැත්ත. ඔබත් මා වගේ සිතන අයෙක් කියා මට හිතෙනවා. මම පතුල වෙබ් අඩවියෙන් ඔය කොටස උපුටගෙන ඒක බ්ලොග් ලියන දැන් උපාසක සහ පණ්ඩිත පාට් රගන පරන ජේවීපී කාරයන්ගෙ බ්ලොග් වල කොමෙන්ට් එකක් විදියට දැම්ම.
      ජේවීපී උන් උන්ට එරෙහි ප්‍රචන්ඩත්වය ගැන කීවට උන්ගෙ බලුකම් කියන්නෙ නෑ.
      තමන්ගෙ මතයට එරෙහි ඕනම කෙනෙක් මරන්ඩ මුන් ලෑස්තිනෙ. පන්ති පහෙන් මුන්ව තිරිසන්නු කරල.

      Delete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook