Friday, August 17, 2018

ජීවිතය දුකයි

ලංකාවේ හාමුදුරුවරු ජීවිතය දුකයි , අරක දුකයි මේක දුකයි කිය කියා ජීවිතය මුස්පේන්තුවක් බව කියති. ඒ කියන ගමන් සමහර හාමුදුරුවරු හයි ෆයි අසපු හදාගෙන අලි ඇතුන් තියාගෙන ආතල් එකේ ජීවිත වින්දනය කරති. බුදුන් වහන්සේ ජීවිතය දුකයි කීවේ ජීවිතය යනු මුස්පේන්තුවක් කියා නොවේ. දුක්ඛ යන බුද්ධ වචනය ඉතා ගැඹුරුය. දුක්ඛ යනු සියළු වින්දනයන් (සැප සිට දුක දක්වා) අඩංගුය. දුක්ඛ යනු නිරන්තරයෙන් වෙනස් වන ලෝක ස්වභාවයට පුද්ගලයා දක්වන ප්‍රතිරෝධයි. දුක්ඛ යන බුද්ධ වචනය ඇනටෝල් ෆ්‍රාන්ස් විසින් ප්‍රංශ භාෂාවට පරිවර්තනය කරන්නේ සෆරොන්ස් කියාය. මෙය පසුකාලීනව සෆරිං හෙවත් දුක යන වදනට අර්ථ ගන්වයි. මේ දුක යන වචනය අල්ලාගත් අපේ භික්‍ෂූන් ජීවිතය දුකක් මළ ගෙයක් හෝම් පොලක් ලෙස අර්ථ දක්වමින් බෞද්ධයන්ව ජීවිතය පිලිබඳ මන්දඋත්සාහී කර දමති. මේ විකාර අසන බෞද්ධයා එලොවටත් මෙලොවටත් නැති ජීවිතයක් ගත කරයි. ඔහු පින්කම් කරනවා කියමින් ස්පිරිචුවල් ඉන්වෙස්මන්ට් එකක් කරයි. ඒ මරණින් පසු සැප ලැබීමට දෙව් ලොව යාමටය. ඔවුන් නිවන් යන්නේ දෙව් මිනිස් සැප කෙරවල වූ පසුය. ඔවුන්ට වර්තමාන ජීවිතය දුකින් පිරි ප්‍රෙහේලිකාවකි.  බුදුන් දෙසූ පරිදි අතීතය ගැන ශෝක නොකරන අනාගතයට බිය නොවන වර්තමානයේ ජීවත් වන පුද්ගලයා ප්‍රීතිමත් පුද්ගලයෙකි.   

Wednesday, August 15, 2018

නාලක ගුණවර්ධන සමග සංවාදයක්



1) නාලක ඔබ මගේ සමකාලීනයෙක් - ඒ කාලේ ඔබ ඉතා දීප්තිමත් සිසුවෙක්. බොහෝ දෙනාගේ ප්‍රාර්ථනය වූයේ ඔබ උසස් පෙළ විභාගයෙන් පසු  නියත ලෙසින්ම වෛද්‍ය  විද්‍යාලයට යනු ඇත කියායි. එහෙත් ඒ දේ එලෙස සිදු නොවූයේ ඇයි? 


මට ලාබාල වියේ පටන් මා යම් දිනෙක කරන්න කැමති කුමක්ද යන්න ගැන දැක්මක් තිබුණා. උසස් පෙළට ජීව විද්‍යා විෂයයන් හැදෑරුවේ විද්‍යාවට තිබූ ලැදියාව නිසාම මිස වෛද්‍යවරයකු වීමට නොවේ. 

මා කුඩා කල සිටම විද්‍යාව හා තාක්ෂණය ගැන බොහෝ සෙයින් උනන්දු වුණා. ඒ සමගම මට ලිවීමේ හා කථා කිරීමේ කුසලතාවන් ද තිබුණා. මේ දෙක එකතු කිරීමෙන් මා වයස 12 පමණ පටන් විද්‍යා මාතෘකා ගැන ගවේෂණය කරන්න, සොයා ගන්නා දැනුම අන් අයත් සමබ බෙදා ගන්න ක්‍රියා කළා. මුලදී එය කළේ 'විජය' ළමා පත්‍රය හා එවකට (1980 දශකයේ) තිබූ එකම රේඩියෝ සේවය වූ රජයේ ගුවන්විදුලියේ වැඩසටහන් හරහා. ගුවන්විදුලියේ ‘සරස්වතී මණඩපය’ නම් ළමා වැඩසටහනට මා පිටපත් ලියුවා වගේම කටහඬින් ද දායක වුණා. සාමන්‍ය පෙළ පන්තියට එන විට ජාතික පුවත්පත්වලත් මගේ ලිපි නිතර පළ වුණා.

උසස් පෙළ සිටියදී එවකට තිබූ ‘නුවණ’ හා ‘කල්පනා’ වැනි ජාතික සඟරාවලට මා ගවේෂණාත්මක විද්‍යා ලිපි ලියුවා. මේ ලිපිවල රචකයා පාසල් සිසුවකු බව කලක් යන තුරු කතුවරුන් දැන සිටියෙත් නෑ. මා ඒ කිසිවකු පෞද්ගලිකව හඳුනන්නෙත් නෑ. තැපෑලෙන් තමයි සියලු ගනුදෙනු කළේ. මාධ්‍යවල සන්නිවේදනයට අමතරව මා දැනුම මිනුම තරග, විවාද තරග, පරිසර සුරැකීමේ වැඩ ආදියේ නිරත වුණා. මා බෙහෙවින් ප්‍රීතිමත් හා තෘප්තිමත් පාසල් කාලයක් අත් වින්දා. පාසලෙන් නික්ම ගිය පසු ඒ කිසිවක එල්බ නොසිට, පසුතැවීම් හෝ දෙගිඩියාවෙන් තොරව මගේ හැකියාවන් හා ලැදියාවන් ඒකරාශී කරන මාවතකට පිවිසුණා.

2) වෛද්‍යවරයෙකු වීමට සිටි ඔබ මාධ්‍යවේදියෙකු වීම ගැන ඔබ සිතන්නේ කුමක්ද? 

ඉහත කී පරිදි මා වෛද්‍යවරයකු වීමට සැළසුම් කරමින් සිටියේ නෑ. මා වෛද්‍ය විද්‍යාලයට නොයාම ගැන මගේ සමහර ගුරුවරුන් කම්පා වූ බව නම් මතකයි. ඒත් මගේ පාසලේ විබාග ප්‍රතිඵල 'නම්බුව' රකින්නට අශ්ව රේස් දුවන්නට මා සූදානම්ව සිටියේ නෑ. මගේ දෙමවුපියෝ ඒ වන විට මා ස්වාධීන මනසක් ඇත්තකු බව දැන සිටියා. ඒ නිසා යම් මට්ටමකින් ඔබ්බට ඔවුන් දැඩි බලපෑම් කළේ නැහැ. 

වෘත්තීය විද්‍යාඥයෙක් වීමේ ආසාව නම් මට තිබුණා. එහෙත් එක් විද්‍යා ක්ෂේත්‍රයක ගැඹුරට හදාරනවාට වඩා පුළුල් විද්‍යා ක්ෂේත්‍ර ගණනාවක දැනුම සොයන හා ලබන විද්‍යා ලේඛක වෘත්තිය මා තෝරා ගත්තා. ඒ හරහා මා ජීවිත කාලය පුරා ශිෂ්‍යයකු හෙවත් ශාස්ත්‍රකාමියකු වනවා (learner for life). එය මා ලද භාග්‍යයක්. තමන් ආසා කරන දේ ජීවිකාව ලෙස කිරීමට ලැබීම කෙතරම් අපූරුද?

3) ඔබ අන් මාධ්‍යවේදීන්ට වඩා වෙනස් මාධ්‍යවේදියෙක්. ඔබ ලියන්නේ යම් විෂයක් ගැන ගැඹුරින් හදාරලා. මේ සංයමය ඇති වූයේ කොහොමද ? 

උඩින් පල්ලෙන් හෝ ආවාට ගියාට කිසිම වැඩක් කිරීමට මා කැමති නෑ. මා ජීවිතය ජය ගත් හා දැනුමෙන් පරතෙරට ගිය අයගේ ජීවන චරිත මහත් ඕනෑකමින් හදාරනවා. ඔවුන් බොහෝ දෙනකු සාවධානව, පිළිවෙලට කොයි දෙයත් කළ අයයි. ‘යමක් කරනවා නම් එය ඉතා හොඳින් කරන්න’ [If a thing is worth doing, it's worth doing well] යැයි මා පාසල් සිසුවකුව සිටියදීම මාධ්‍ය සම්මුඛ සාකච්ඡාවකට ගොස් දැන හඳුනාගත් මහාචාර්ය කාලෝ ෆොන්සේකා 1985දී දුන් අවවාදය මට අදටත් ඉතා ප්‍රයෝජනවත්. 

හැබැයි මා තව දුරටත් මාධ්‍යවේදියකු නොවෙයි. දැන් මා නිදහස් විද්‍යා ලේඛකයෙක් හා නව මාධ්‍ය විශ්ලේෂකයෙක් (freelance science writer and new media analyst). මගේ වයස 20 ගණන්වල (එනම් 1987 සිට 1994 දක්වා) මා වසර කීපයක් මුද්‍රිත මාධ්‍යවල නිතිපතා වැඩ කළා. එසේ කළේ මා නොයෙක් දේ උගන්නා අතර freelancer කෙනකු ලෙසයි. කිසිදු ආයතනයකට පූර්ණ කාලීනව සීමා නොවීමට මුල සිටම මා ප්‍රවේශම් වුණා. නමුත් මා වැඩිපුරම වැඩ කළේ උපාලි පුවත්පත් සමාගම සමගයි. එහි The Island ඉංග්‍රීසි පත්‍රයේ විද්‍යා වාර්තාකරුවා හා පසුව විද්‍යා පිටුව භාර කතුවරයා ලෙස මා කළ වැඩ නිසා විද්‍යාභිවර්ධන සංගමයෙන් (SLAAS) වසරේ හොඳම විද්‍යා ලේඛකයාට පිරිනමන සම්මානය (ඉංග්‍රීසි මාධ්‍යය) දෙවරක්ම මට ලැබුණා (1988, 1989). තවත් ජාතික මට්ටමේ විද්‍යා සන්නිවේදන සම්මාන දෙකක් 1990-1992 වකවානුවේ මට පිරිනැමුණා.

බාහිරින් ලැබුණු මේ ඇගැයීම් නිසා පත්තර කන්තෝරුව තුළ සමහරුන්ට ඉරිසියාවක් මතු වන්න ඇති. මට වඩා බෙහෙවින් දෙටු මාධ්‍යවේදියෝ එළිපිටම මට කෙනහිලිකම් කරන්න ගත්තා (හැමදෙනාම නොවෙයි). උපාලි පුවත්පත් සමාගම ‘විදුසර’ සතිපතා පුවත්පත ආරම්භ කළේ 1987 අගදී. එයට උපදෙස් දීමට පත් කළ කමිටුවට කළමණාකාරිත්වය මාවද සම්බන්ධ කර ගත්තා. එහෙත් එහි සිටි එකම ද්විභාෂික මාධ්‍යවේදියා වූ මගෙන් හරිහැටි වැඩ ගන්නවා වෙනුවට නොයෙක් කොන් කිරීම් සිදු වුණා.

මේ නිසා මා වැඩි කලක් විදුසරට ලිව්වේ නැහැ. සිත් කම්පා වී ඉවත් වුණා. නමුත් The Island පත්‍රය සමග දිගටම වැඩ කළා. මෙරට මාධ්‍ය ආයතන තුළ තිබෙන කුහකකම්, කුලල්කා ගැනීම් හා ඉතා පහත් වෘත්තීයභාවය සමීපව නිරික්සූ මා, කෙමෙන් සමස්ත මාධ්‍ය ක්ෂේත්‍රයෙන් දුරස්ත වුණා. 1994-1999 වකවානුවේ මා සංරක්ෂණයට කැපවූ ජාත්‍යන්තර ආයතන දෙකක සන්නිවේදන විශේෂඥ ලෙස සේවය කළා. 2000න් පසු වසර ගණනාවක් විදේශ වාර්තාකරුවකු හා මාධ්‍ය පුහුණුකරුවකු ලෙස ආසියානු කලාපය පුරාම වාගේ වැඩ කළා.  තායිලන්තය, චීනය, ඉන්දියාව, පාකිස්ථානය, මාලදිවයින, මැලේසියාව, ඉන්දුනීසියාව වගේ රටවල් රැසක මා පුහුණු කළ මාධ්‍යවේදියෝ සිටිනවා.

2012දී විදුසර 25 වන සංවත්සරයට මගෙන් සම්මුඛ සාකච්ඡාවක් ඉල්ලූ විට මා එය නොපැකිල ලබා දුන්නා. මෙරට විද්‍යා සන්නිවේදනයේ වත්මන් අභියෝග ගැන මා එහි විග්‍රහ කළා. එය කියවන්න මෙතැනින්. https://nalakagunawardene.com/2012/11/07/vidusara-at-25-my-interview-on-science-communication-in-sinhala/

4) ඔබ ඉංග්‍රීසි මාධ්‍යයෙන් සන්නිවේදනයට යොමු වුණේ ඇයි? වැඩිපුර මේ දැනුම සමාජගත විය යුත්තේ දේශීය භාෂාවලින් නේද?

මගේ මවුබස ඉංග්‍රීසි නොවෙතත් බොහෝ කලෙක පටන් එය මගේ වෘත්තීය බසයි. අපි පාසලේ උගත්තේ සිංහල මාධ්‍යයෙන්. එකල මවුපියන් සිංහල නම් එබසින් පමණයි දරුවන්ට රජයේ පාසලක උගන්නට ඉඩ දුන්නේ. (අද මෙන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැනීමට අපට වරම් තිබුණේ නෑ). එහෙත් මගේ දෙමවුපියන් පේරාදෙණිය සරසවියේ 1950-1960 ගණන්වල උගත් ද්විභාෂිකයෝ. කුඩා වියේ පටන්ම මාත් ද්විභාෂික වීමට මහත් උත්සාහ කළා.
මා ඉංග්‍රීසි උගත්තේ ස්වොත්සාහයෙන් හා ධෛර්යයෙන්. මුලදී මගේ ඉංග්‍රීසි එතරම් ප්‍රශස්ත වූයේ නැහැ. 7 වෙනි පන්තියේදී ආනන්දයේ මා සමග සිටි, කොළඹ ප්‍රභූ පසුබිමකින් ආ මගේ සගයෙක් මට 'ගොඩයා' කියා විහිලු කළා. එයින් එයින් මොහොතකට සිත රිදුනත් සිදු වූයේ මා දිරිමත් වීමයි. කෙටි තරංග හරහා ආ BBC, Voice of America විදෙස් රේඩියෝ විකාශවලට සවන් දෙමින්, TIME, Newsweek, Reader’s Digest වැනි ජාත්‍යන්තර සඟරාවල පරණ පිටපත් සොයා ගෙන කියවමින් මා ලියන හා කියන ඉංග්‍රීසි දියුණු කර ගත්තා. උසස් පෙළට එන විට මා බොහෝ දුරට ද්විභාෂිකයි.

පුවත්පත් ආයතනයක වැඩ කරන්න පටන් ගත් විට භාෂා දෙකෙන්ම ලියන්න මා ඉතා කැමැත්තෙන් සිටියා. ඒත් මා වැනි අයකුගෙන් ප්‍රයෝජන ගන්න දිවයින හා විදුසර පරිසරය සූදානම් වූයේ නැහැ. 1990 වන විට මා සිංහලෙන් ලිවීම මුළුමනින්ම නතර කළේ විදුසරේ අමිහිරි අත්දැකීම් නිසා හට ගත් කළකිරීමෙන්. වසර 20කට වඩා මා සිංහල මාධ්‍ය ලොවින් සම්පූර්ණයෙන්ම ඈත්ව සිටියා.

ආපසු ආවේ 2011දී එවකට ‘රාවය’ නියෝජ්‍ය කර්තෘ කේ ඩබ්ලියු ජනරන්ජන සතිපතා තීරු ලිපියක් ලියන්නට මා පොළඹවා ගැනීමෙන් පසුවයි. මට ඇත්තේ සාමන්‍ය පෙල දක්වා පමණක් විධිමත්ව උගත් සිංහල පරිචයක්. මා ලියන්නේ කථා කරන භාෂාවෙන්. මට සිංහල පණ්ඩිතකමක් කොහෙත්ම නෑ. මා හැමදේම ප්‍රශ්න කරන, ඒ හරහා උත්තර සොයා ගෙන යන්නෙක්. මුලදී චකිතයෙන් වගේ පටන් ගත් ‘සිවුමන්සල කොලුගැටයා’ කොලම මේ වන විට වසර හත හමාරක් නොකඩවා සතිපතා ලියා තිබෙනවා. (මේ කාලය තුළ ‘රාවය’ කතුවරුන් තිදෙනකු යටතේ මා ලියූ අකුරක්වත් වෙනස් නොකොට පළ කොට තිබෙනවා. මට පූර්ණ ප්‍රකාශන නිදහස් තිබෙනවා. මා ලියන දෙයට ගරුසරු ඇතිව සළකනවා. මෙය මෙරට මාධ්‍ය ක්ෂේත්‍රයේ දුර්ලභ දෙයක්.) මේ වන විට කොලම් 400කට ආසන්නයි. ඒවායෙන් තෝරා ගත් එකතු පොත් 3ක් හැටියට පළ කොට තිබෙනවා. සිතන පතන රාවය පාඨකයන් දක්වන ප්‍රතිචාර මා බෙහෙවින් දිරිමත් කරනවා.

5) නමුත් ඔබ මතභේධයට ලක් විය හැකි මාතෘකා හෝ දේශපාලන මාතෘකා ගැන ලිවීම අඩු ගතියක් පේනවා. ඊට යම් හේතුවක් තිබෙනවාද ?

මා නොදන්නා විෂයයන් ගැන ලියන්න තැත් කරන්නේ නෑ. පක්ෂ දේශපාලනය හා ක්‍රීඩා ගැන මගේ උනන්දුවක් නැති නිසා දැනුමත් අඩුයි. ආයතනගත වූ ආගම් සියල්ල මා එක සේ බැහැර කරන නමුත් ආගම්වල සාපේක්ෂ හොඳ නොහොඳ ගැන විවාද කිසිවකට එලඹෙන්නේ නැහැ. ඒවා ගැන විවෘතව කථා කිරීමට තරම් පරිනත බවක් අප සමාජයේ නැති නිසා.

නමුත් ආන්දෝලනාත්මක සමාජ ප්‍රශ්න ගැන මා සාක්ෂි සහිතව, දත්ත මත පදනම් වී කරන විග්‍රහයන් ‘සිවුමන්සල කොලුගැටයා’ තීරු ලිපියන් ඕනෑ තරම් හමු වනවා. ලක් සමාජයේ කිඳා බැස තිබෙන ලොකු කුඩා මිථ්‍යාවන් මා සෘජුවම අභියෝගයට ලක් කරනවා. රාවණා ප්‍රවාදයේ සිට නවීන ‘ලෝක විනාශ’ භීතිකා දක්වාත්, සිංහල ජාතිය හා භාෂාව ‘වඳ වී යනවා’ යැයි ජාතිවාදීන් පතුරු වන කුමන්ත්‍රණවාදී ප්‍රලාපයනුත් මා තර්කානුකූලව නිෂ්ප්‍රභ කරනවා.

ජාතිකවාදියා මානසික රෝගියෙක්ද? දිවි නසා ගැනීම්වල සමාජ විද්‍යාත්මක පසුබිම කුමක්ද? වස විසෙන් තොර ගොවිතැනකට කඩිමුඩියේ මාරු විය හැකිද? පරිසර සුරැකීමේ අරමුණු විකෘති වී අන්ත හරිතවාදයක් මෙරට පැතිරෙමින් තිබේද? අපේ දේශපාලකයන් සමාජ මාධ්‍යවලට මෙතරම් බිය ඇයි? ලිංගික සුලුතරයන්ගේ මානව අයිතීන් තහවුරු කරන්නේ කෙසේද? මෙවැනි බොහෝ කාලීන මාතෘකා මා විවෘතව සාකච්ඡා කරනවා. දේශපාලන නායකයෝ හා මාධ්‍ය කතුවරුන් රටම මුලා කරන බොරු බේගල් සමාජගත කරන සැටි මා උදාහරණ සහිතව පෙන්වා දෙනවා. 

මේවා පක්ෂ දේශපාලනය නොවූවත් දේශපාලනිකයි. අතිශයින් කාලීනයි. පොදු උන්නතියට අදාලයි. තවමත් බෙහෙවින් ගතානුගතික හා අර්ධ වැඩවසම් වන ලක් සමාජයේ මෙවන් දේ තර්කානුකූලව කථා කරන විට ප්‍රතිරෝධයන් එනවා. ලේබල් ඇලවෙනවා. එහෙත් මා සැලෙන්නේ නැහැ.

6) ඔබ ආතර් සී ක්ලාක් මහතා දැන හඳුනගෙන සිටි අයෙක්. පුද්ගලයෙකු ලෙස ඔහු කෙබඳු අයෙක්ද ?

ඔහු සමඟ වසර 20ක් සමීපව වැඩ කටයුතු කළ මගෙන් ඇතැම් දෙනා විටින් විට අසන ප්‍රශ්නයක් මෙය. මගේ කෙටි උත්තරය: බොහොම සැහැල්ලු හා විනෝදකාමී චරිතයක්. පොඩියක්වත් පණ්ඩිතකම නොපෙන්වා ඕනෑ ම කෙනකු සමඟ කථාබහ කළ කෙනෙක්. උගත්කමේ බොරු මාන්නයක්, උද්දච්චකමක් හෝ දෙබිඩි පිළිවෙත් නොතිබුණු සංවේදී මිනිසෙක්. මේ ගතිගුණ විදහා දක්වන උදාහරණ හා සිදුවීම් රැසක් මා අත් දැක තිබෙනවා. 

පොතපතින් පමණක් ඔහු හඳුනාගත් බොහෝ දෙනා දන්නේ ඔහුගේ චින්තනය හා බුද්ධිය ගැනයි. එහෙත් ගැඹුරු අදහස් සරල හා ව්‍යක්ත ලෙසින් සන්නිවේදනය කරන්නට ඔහුට උපකාර වූයේ ඔහු තුළ සහජයෙන් ම තිබූ හාස්‍යය හා උපහාසාත්මක ගුණයයි. සමච්චලය හෝ අවඥාව වැනි සෘණාත්මක අංග ඔහුගේ කථා කරන බසෙහි හෝ ලියන බසෙහි තිබුණේ නැහැ. ඉතා අභව්‍ය මතවාදයන් හා දැඩි උද්දච්ච මතධාරීන් හමුවේ පවා ඔහු ඉවසීමෙනුත්, සංයමයෙනුත් වාද විවාද කළා.

ක්ලාක් වචන හරඹයෙහි හා තර්කනයෙහි ගජ සමතෙක්. සමහර අවස්ථාවල යම් ප්‍රශ්නයක එක් කොණක් පමණක් අල්ලාගෙන දිගින් දිගට වාද කරන පණAඩිතයන්ව ඔහු නිරුත්තර කළේ ආචාරශීලීව හා සිනාමුසුවයි. විද්‍යා, තාක්ෂණය හා සාහිත්‍යය ගැන පුඟල් වූත් ගැඹුරු වූත් දැනුමක් තිබුණත් ආතර් සී. ක්ලාක් එයින් හිස උදුම්මාගත්තකු වූයේ නැහැ. හැම දෙයක් ම සමබරව විග්‍රහ කිරීමට, නිරවුල්ව තේරුම් ගැනීමට හා සැහැල්ලුවෙන් ගැනීමට ඔහුට හැකියාව තිබුණා.

20 වන සියවසේ පහළ වූ මහ මොළකාරයකු යයි විද්වත් තලයන්හි ලෝක මට්ටමින් පිළිගැනීමට පාත්‍ර වූවත් තමා බුද්ධිමතකු යයි ඔහු කියා ගත්තේ නැහැ. (‘බුද්ධිමතා’ යනු තමාගේ බුද්ධිය ඉක්මවා යන අධ්‍යාපනයක් ලැබීමෙන් පිම්බී ගිය කෙනකු යයි ඔහු නිතර කීවා.) කුඩා දරුවකු මෙන් කුතුහලය හා දැනුම් ගවේෂණයේ නොතින් ආශාවෙන් ජීවිත කාලය ම ගත කළා. මෙකී චරිතගති නිසා ක්ලාක් සමඟ එකට වැඩ කිරීම පහසු මෙන් ම විනෝද ජනකයි. 'අපේ වැඩ ඉතා බැරෑරුම් ලෙස කරන අතරේ අප ගැන එතරම් බැරෑරුම් ලෙස සිතීම හොඳ නැහැ' යයි ඔහු නිතර කී දෙයක්.

කාර්ය මණ්ඩලයේ අප දෙතුන් දෙනා සමඟ මෙන්ම මුණ ගැසීමට එන අමුත්තන්ගෙන් ද ඔහු බොහෝ දේ විමසනවා. විවිධ සංස්කෘතික, අධ්‍යාපනික පසුබිම්වලින් එන අය සිතන පතන ආකාරය ගැන ඔහු උනන්දු වුණා. තේරවිලි, ප්‍රහේලිකා හා බුද්ධි පරීක්ෂණ ආකාරයේ ගැටලුවලට ඔහු ඉතා ලැදියි. එමෙන්ම ඉංග්‍රීසි බසෙහි පද පෙරළි (puns) කරන්නටත්, සම්භාවය හා නූතන ඉංග්‍රීසි කාව්‍ය ඛණ්ඩයන් මතකයෙන් නිවැරදිව උපුටා දක්වන්නටත් ඔහු සමතෙක් වුණා. 

පර්යේෂන සහායකයකු ලෙස මා ඔහු සමග අර්ධ කාලීනව වැඩ කළේ ඔහුගේ වයස 70 සිට 90 දක්වා වකවානුවෙයි. පශ්චාත් පෝලියෝ රෝගය නිසා ඔහු ටිකෙන් ටික ගතින් දුබල වෙමින් සිටියදීයි මා ඔහුගේ කොළඹ කාර්යාලයට සම්බන්ධ වූයේ. එහෙත් ඔහුගේ මානසික හා චිත්ත හැකියාවන් වයස 90 පසු වන තුරුත් තීක්ෂණව පැවතියා. ඔහු 2008 මාර්තුවේ මිය ගියේ හවුලේ ලියූ අවසන් විද්‍යා ප්‍රබන්ධ නවකථාව අනුමත කළාට පසුවයි.

7) මාධ්‍යවේදියකු වීම සඳහා ඔබට මහත් සේ බලපෑම් ඇති කල පුද්ගලයන් කවුද ?

ජාත්‍යන්තර පිළිගැනීමට පාත‍්‍ර වූ ලාංකික පත‍්‍ර කලාවේදියකු හා කතුවරයකු වූ ටාසි විට්ටච්චි (Tarzie Vittachi, 1921-1993) ඒ අතරින් ප්‍රධානයි. 1950 දශකයේ ලේක් හවුස් ආයතනයේ පත්‍ර කතුවරයකු ලෙස අදීනව ක්‍රියා කළ ඔහු 1960 පටන් ලෝක මට්ටමින් ක්‍රියා කළා. වෘත්තීය ජීවතයේ අවසාන දශකයකට වැඩි කාලයක් ජාත්‍යන්තර මට්ටමින් සංවර්ධනය සන්නිවේදනයට කැප කළා. ඒ සඳහා ඔහු එක්සත් ජාතීන්ගේ විශෙෂිත සංවිධාන දෙකක සේවය කළා.

ටාසි ඉංග‍්‍රීසියෙන් චතුර ලෙස සන්නිවේදනය කළ නිසාවත්, දශක ගණනක් බටහිර රටවල විසූ නිසාවත් ඔහු ‘කඵ සුද්දකු’ වූයේ නැහැ. ඇත්තට ම ජාතිකත්වය කර තබා ගෙන චින්තනය මොට කර ගන්නවා වෙනුවට ඔහු කළෙ දියුණු වන ලෝකය ම වෙනුවෙන් අදීනවත්, සත්‍යවාදීවත් කථා කිරීමයි. මෙබදු අයට globalists යයි කියනවා. ලෝකවාදීන් නැතිනම් විශ්ව-වාසීන් යයි සිංහලෙන් කිව හැකියි.

ලෝකයේ විවිධ රටවල සන්නිවේදකයින්, චින්තකයන් හා විද්වතුන් සංවර්ධන සන්නිවේදනයේ (Development Communication) ටාසි විට්ටච්චි සළකුණ ගැන ඉතා ගෞරවයෙන් කථා කරනු මා අත් දැක තිබෙනවා. මා ටාසිට මුල් වරට සවන් දුන්නේ 1986දී ආනන්ද විද්‍යාලයයේ සියවස් සමරු දේශනයක් කළ අවස්ථාවේ. ලෝකයේ සංවර්ධන අභියෝග ගැන කාටත් තේරෙන බසින් විග‍්‍රහයක් කළ ඔහු, ලෝකයේ බලවත් ජාතීන් නියැලී සිටි යුධ අවි තරගයේ හා සීතල යුද්ධයේ ඔලමොට්ටල බව ගැන විවෘතව අදහස් පළ කළා. 

මෙබදු යෝධයන්ගේ උරහිස මත සිට යම් දේ කරන්නට ලැබීමත් මගේ භාග්‍යයක්. මීට අමතරව විද්‍යා සන්නිවේදකයන් ලෙස මහාචාර්ය කාලෝ ෆොන්සේකා, මහාචාර්ය නන්දදාස කෝදාගොඩ, ආතර් සී ක්ලාක් වැනි අයගේ ආදර්ශයන් ද මට බෙහෙවින් මග පෙන්වූවා.

8) වර්තමානයේ මාධ්‍යවේදියෙකු ලෙස ඔබ තෘප්තිමත් ද ? 

නව මාධ්‍ය හා ප්‍රධාන ධාරාවේ මාධ්‍ය යන දෙකෙහිම ස්වාධීන සන්නිවේදකයකු ලෙස මා උද්‍යෝගිමත්ව හා තෘප්තිමත්ව ක්‍රියා කරනවා. මගේ සමකාලීනයන් බොහෝ දෙනකුට මෙන් මට (ජීවිතයේ කර ගන්නට බැරි වූ යම් දේ ගැන) 'ඇරියස්' නැහැ. මට පාසලේදී ‘ගොඩයා’ කියා විසුලු කළ සගයාටත්, මා තරුණයකුව සිටියදී මට වෘත්තීය හිරිහැර කළ දෙටු මාධ්‍යවේදීන්ටත් මා පසු කලෙක ස්තුතිවන්ත වූවා. ඔවුන් නොදැනුවත්ව මා දිරිමත් කළ නිසා. මට මා ගැන හීනමානයක් හෝ අධිතක්සේරුවක් ද නැහැ. මා තරග දුවන්නේ පෙර දිනයක සිටි මා සමග පමණයි.

අඩු වැඩි වශයෙන් මා ද අයත් වන ලාංකික මාධ්‍ය කර්මාන්තය ගැන නම් මට බරපතල විවේචන තිබෙනවා. අපේ ප්‍රධාන ධාරාවේ පුවත්පත්, රේඩියෝ හා ටෙලිවිෂන් ආයතන තුළ ප්‍රබල ලෙස ගතානුගතිකත්වය හා අධිපතිවාදයන් ක්‍රියාත්මකයි. දේශපාලනික හෝ ව්‍යාපාරික අරමුණු වෙනුවෙන් පොදු උන්නතිය පාවා දෙන්න අපේ සමහර කතුවරුන් හා දෙටු මාධ්‍යවේදීන් පැකිලෙන්නේ නෑ. මේ හැම විසමතාවකටම වරද මාධ්‍ය හිමිකරුවන්ට පමණක් පවරන්න අමාරුයි. මාධ්‍යවල වෘත්තියභාවයේ පිරිහීමට ප්‍රධාන වශයෙන්ම වග කිව යුත්තේ ක්ෂේත්‍රයේ ප්‍රවීනයන්. මේ ගැන මා රාවය තීරුලිපියෙන් දීර්ඝ ලෙස විග්‍රහ කොට තිබෙනවා.

9) මාධ්‍යවේදියෙකුගේ සමාජ වගකීම ගැන ඔබ දරන මතය ?

පොදු උන්නතිය (public interest) වෙනුවෙන් පෙනී සිටීම, හා සියලු අධිපතිවාදයන්ට එරෙහි වීම මාධ්‍යවේදීන්ගේ මෙන්ම බුද්ධිමතුන්ගේ ද වගකීම යයි මා විශ්වාස කරනවා. එහෙත් මේ විපරීත කාලයේ බොහෝ මාධ්‍යවේදීන් මෙන්ම බුද්ධිමතුන් ද කල්ලි ගැසී, ගුරුකුල හදා ගෙන, අධිපතිවාදයන් ප්‍රවර්ධනය කරමින් සිටිනු අප දකිනවා.

රට, ජාතිය හා ආගම පෙරට දමා බඩ වඩා ගැනීමත් ජයට කැරෙනවා. ජන දුක මාකට් කරන, පීඩිතයන්ගේ පෞද්ගලිකත්වයට ගරු නොකරන,  ජනයා රවටන මිථ්‍යා ව්‍යාපාරවලට උඩ ගෙඩි දෙන ආකාරයේ මාධ්‍ය කලාවක් අද තිබෙන්නේ. එයින් අත් මිදී, ඩිජිටල් මාධ්‍ය හරහා තරුණ තරුණියන් සමග නව සන්නිවේදන කලාවක් බිහි කළ හැකි යයි මා සිතනවා. දැන් මගේ කාලය වැඩිපුර වැය කරන්නේ කුරුවල් වී හා කාලකන්නි වී ඇති මහා මාධ්‍ය යළි හරවත් කරන්න නොව, අලුත්ම ඩිජිටල් මාධ්‍ය පරපුරක් දිරි ගන්වන්නයි. අයාලේ ගිය අපේ මහා මාධ්‍ය ‘ඩයිනොසෝරයෝ’ වඳ වී ගියාවේ!

10) ආධුනික මාධ්‍යවේදීන්ට ඔබ දෙන අවවාදය කුමක්ද?

ලෝකයේ සිටි විශිෂ්ඨතම විද්‍යා සන්නිවේදකයකු වූ ආචාර්ය කාල් සේගාන් දුන් උපදෙසක් මට සිහිපත් වනවා. මා ගරු කොට ගන්නේ මෙයයි. "හැම දෙයක්ම තර්කානුකූලව විමසා බලන්න. නමුත් සංශයවාදී  වීමේත් (being sceptical) සීමා තිබෙනවා. හැම දේ ගැනම උවමනාවට වඩා සැක උපදවන්නට ගියොත් කිසිදු නව අදහසකට ඔබේ මනසට ඇතුල් විය නොහැකි වනවා. විවෘත මනසකින් ලොව දෙස බැලීමත් වැදගත්. එහෙත් මනස සීමා විරහිතව හැම දේටම විවෘත කළොත් වැදගත් හා නොවැදගත් අදහස් තෝරා ගන්නට නොහැකි වනවා. අපට අවශ්‍ය වන්නේ සංශයවාදී බවෙහි හා විවෘත මනසකින් යුතු වීමෙහි මනා තුලනයක් පවත්වා ගැනීමයි."


 සාකච්ඡා කලේ   වෛද්‍ය රුවන් එම් ජයතුංග,

විශ්ව විද්‍යාල ශිෂ්‍ය ත්‍රස්තවාදය


වෛද්‍ය යොහාන් කෝරලගේට පහර දීමෙන් පසු ලංකාවේ විශ්ව විද්‍යාල වල පවතින ශිෂ්‍ය ත්‍රස්තවාදය ගැන යම් කතිකාවක් ඇතිවී තිබේ. ලංකාවේ විශ්ව විද්‍යාල වල ශිෂ්‍ය ත්‍රස්තවාදය ආරම්භ වන්නේ 1971 පේරාදෙනියේ විශ්ව විද්‍යාලයේ මාර්ස් ශාලාවේ සිවිලිමේ බෝම්බ පිපිරීමත් සමගය. මෙම විශ්ව විද්‍යාල ශිෂ්‍ය ත්‍රස්තවාදය විසින් ජීවිත ගනාවක් මේ වන විට බිලි ගෙන තිබේ.  එහෙත් මෙකී ශිෂ්‍ය ත්‍රස්තවාදය සිවිල් සමාජය තවමත් හරි හැටි හඳුනාගෙන නැත. මෙය අපගේ සමාජයේ උඩු දුවන පිළිකාවක් බවත් මෙම  ශිෂ්‍ය ත්‍රස්තවාදයට එරෙහි වීමට සිවිල් සමාජයට කාලය පැමිණ ඇති බවත් වටහා ගත යුතුය. මෙම පිළිකාව වර්ධනය වුවහොත් බාඩර් මයිහොෆ් වර්ගයේ ප්‍රහාර සිවිල් සමාජය අත් විඳිනු ඇත. 

Monday, August 13, 2018

ජීවිත බේරා ගැනීම

 
මම  පරමාදර්ශී වෛද්‍යවරයෙකු හෝ  පරමාදර්ශී මිනිසෙකු නොවෙමි. එහෙත් මාගේ වෘත්තිය හරහා මට මිනිස් ජීවිත රැසක් බේරා ගැනීමට හැකි විය. ඉන්ටර්න්වරයෙකු ලෙස මාතලේ රෝහලේ ජීවිත අවදානම් සහිතව රෝහල් ගතවූ රෝගීන් බොහෝ දෙනෙකු හට  පළමු ප්‍රතිකාරය රෝහලේදී ලබා දී ඉන් පසු විශේෂඥ වෛද්‍යවරු හරහා අදාල දිර්ඝ ප්‍රතිකාරයන් ලබා ගැනීමට සලස්වා ඔවුන් ගේ ජීවිත බේරාගත්තෙමි.  වරක්  කඩු පහරවල් ලබා බොහෝ කැපුම් තුවාල සහ අධික රුධිර වහනය තිබූ රෝගියෙකු  ඉරිදා දිනයක සවස රෝහල් ගත කෙරුනි. එදින වාට්ටුවේ සියළු වෛද්‍යවරු නිවාඩු ගොස් සිටි අතර විශේෂඥ වෛද්‍යවරයා දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමටද නොහැකි විය. ඉන්ටර්න්වරයෙකු ලෙස මම අභියෝගය භාර ගෙන කැපුම් තුවාල මසා රුධිර වහනය නවතා ඔහුට රුධිරය පාරවිළනය කොට රෝගියාගේ ජීවිතය බේරා ගත්තෙමි. සඳුදා දහවල් දොලහත් පසුවී වාට්ටුවට ආ විශේෂඥ වෛද්‍යවරයා ඉතා උදාසීන දෙනෙත් වලින් මා කල වික්‍රමය ගැන අසා සිට පසුව කිසිවක් නොකියා වාට්ටුවෙන් පිටවී ගියේය. මගේ හිටපු බොස් යම් ආකාරයක වෘත්තීය දැවීමකට ලක්ව සිටි අතර මිනිසුන් ගේ ජීවිත බේරා ගැනීම නිසා ලබන සතුට ඔහුට වින්දනය කරන්නට නොහැකි විය. එය එක්තරා ආකාරයක අවාසනාවකි. 

පළමු පත්වීම ලබා ගෙන මිනිපේ ප්‍රදේශයේ නොදියුණු ග්‍රාම ප්‍රදේශයක තිබූ ග්‍රාමීය රෝහලකට ගිය අනෙකුත් බොහෝ වෛද්‍යවරු කලාක් මෙන්  පීපී කොට දුප්පත් ගොවි ජනතාව සූරා නොකෑවෙමි. ඒ මා තුල තිබූ යහ ගුණයක් නිසා නොවේ. බෙහෙත් ගැනීම සඳහා වී ගෝනියක් රුපියල් පණහට විකුනන , නිතරම බත් සමග මයියොක්කා කොළ මළවාගෙන කන ,දිනපතා  කසිප්පු බොන  අලසව දිවි ගෙවන  සහ  කපටි දේශපාලකයන්ව වන්දනා කරන  කෘෂවී ගිය ශරීර වලින් යුත් මනුෂ්‍ය පරාණ දැක ඇතිවූ කළකිරීම නිසාය. එහෙත්  මේ මනුෂ්‍ය පරාණ ගනනාවක් මා මගේ ශක්ති ප්‍රමාණයෙන් බේරා ගත්තෙමි. 

වරක් ඉතා බරපළ ලෙස ඇදුම සෑදී හුස්ම ගැනීම අවහිර වී මරණාසන්නයෙන් සිටි කාන්තාවකට මම මේ ග්‍රාමීය රෝහලේදී ප්‍රතිකාර කලෙමි. ඇයට ශිරා ගත කිරීම සඳහා ඇමීනොෆිලීන් නම් ඖෂධය දීමද ඉතා අපහසු විය. ඇයගේ ශිරා සියල්ලම ඇකිලී තිබුනි. මේ අසීරුතාවන් මැද රෝහලේ ලයිට්ද ගියේය. (ලයිට් යාමට හේතු වූයේ ප්‍රදේශයේ බීමත් මිනිසුන් විසින් බයිසිකල් චේන් කරකවා විදුළි වයර් වල පැටලීම සඳහා විසි කිරීමයි. පසුව මම ග්‍රාම නිලධාරීන් ලවා මේ ක්‍රියාවේ බරපතලකම  ජනතාවට පෙන්වා දුන්නෙමි )  ලයිට් ගිය විගස මට කුණුහරප මතක් විය. කෙසේ නමුත් ටෝච් එලියේ ආධාරයෙන් ශිරාවක් පාදාගෙන එම ඖෂධය එන්නත් කොට ඇයට ඔක්සිජන් ලබා දීම සඳහා ඇම්බු කලෙමි. මෙසේ පැය භාගයක් පමණ යන විට ඇය මඳ වශයෙන් හුස්ම ගන්නට වූවාය. මේ කාන්තාව සති දෙකක් පමණ රෝහලේ නැවතී සිට සුවය ලබා ගිය අතර ඉන් මාස තුනකට පමණ පසු තමන් ගේ කුඹුරේ ගොයම් පැල සිටවනවා දැක මට අසීමිත සතුටක් ඇති විය. 

නාරි හා ප්‍රසව ජේෂ්ඨ වෛද්‍ය නිලධාරී  ලෙස සේවය කල සමයේදී මම බොහෝ සංකූලතා තිබූ ඝර්භිනී මාතාවන් මෙන්ම බිළිදුන් ගේ ජීවිත බේරා ගත්තෙමි. එසේම ගබ්සාවන් කොට   ආසාදන සංකූලතා මෙන්ම ජීවිත අවධාන තිබූ කාන්තාවන් රැසකගේ ජීවිත බේරා ගත්තෙමි. මේ  කාලයේදී  මිය යාමට ආසන්නව සිටි සෙලවීම් රහිත නිසා භ්‍රෑණයා මිය ගිය බවට සැක කොට  වාට්ටුවේ පසෙකට දමා සිටි කාන්තාවක් ඉන්ටර්න් වෛද්‍ය චන්දන චන්ද්‍රසේකර සමග එක්වී හදිසි   සීසර්  ශල්‍යකර්මයකට ලක් කොට බිළිඳාගේ ජීවිතය බේරා ගත්තෙමි.   

නිර්වින්දන වෛද්‍යවරයෙකු ලෙස සේවය කරන සමයේදී ජීවිත රැසක් බේරා ගැනීමට සහාය දීමට මට හැකි විය. මේ අතරින් මට නිතරම සිහිපත් වන සිද්ධියක් තිබේ. වරක් බඩවැලේ සංකූලතාවක් නිසා ජීවිත අවධානම තිබූ දින හතරක් වයසැති බිළිඳෙක් හදිසි ශල්‍යකර්මයකට ලක් කිරීම සඳහා  ශල්‍ය වෛද්‍ය  විශේෂඥ බී.ජී.එන් රත්නසේන මහතා විසින් ගෙන එන ලදි. මෙම රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයෙකු නොසිටි අතර අවධානම තිබුනේ මගේ කර මතය. මම සාර්ථකව බිළිඳාව නිර්වින්දනය කලෙමි. අප දෙදෙනා විසින් බිළිඳා ගේ ජීවිතය බේරා ගත්තෙමු. මේ සිදුවීමෙන් පසු ශල්‍ය වෛද්‍ය  විශේෂඥ බී.ජී.එන් රත්නසේන මහතා තුල මා කෙරෙහි  ඇල්මක් ඇති විය. එසේම ඔහු මගේ හැකියාවන් විශ්වාස කලේය. මේ කාලයේ විදේශ වෛද්‍ය උපාධිධාරීන් සහ දේශීය වෛද්‍ය උපාධිධාරීන් අතර ඝට්ටන මතුවී තිබූ අතර වරක් ඔහු ශල්‍යාගාරයේදී විදේශ වෛද්‍ය උපාධිධාරීන් පිරිසක් විවේචනය කොට මාගේ සිත රිදේදෝ කියා සිතුනු නිසාදෝ "  අපි මේ කියන්නේ රුවන්  වගේ ෆොරින් ග්‍රැජුවෙට්ලා ගැන නෙවෙයි  කියා කීවේය. 

විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා යටතේ යුද හමුදා රෝහලේ මානසික සෞඛ්‍ය වාට්ටුවේ සේවය කරන විට විශාදය , පශ්චාත් ව්‍යසන අක්‍රමතාවය (PTSD)  වැනි මානසික රෝගී තත්වයන් වලට ලක් වීම නිසා දිවි නසා ගැනීමට යොමු වී සිටි සොල්දාදුවන් රැසකගේ ජීවිත බේරාගත්තෙමි. තවද  නිලධාරීන් ගේ සෙසු නිලයන් ගේ හිරිහැර වලට ලක්ව ජීවිත එපාවී සිටි සොල්දාදුවන්ටද අප සහාය වූයෙමු. මින් එක් සොල්දාදුවෙකු මගේ මතකයට එයි. ඔහු සේවය කලේ පනාගොඩ කඳවුරේය. ඔහුට එක් නිලධාරියෙකු විසින් නිරන්තරයෙන්ම හිරිහැර කරන ලදි. යුද හමුදා භාෂාවෙන් මේ වදයන්ට කියන්නේ වහ කරනවා  / ෆලෝ කරනවා කියාය. කෙසේ නමුත් මේ සෙබලා තමන්ට හිරිහැර කරන නිලධාරියාට සහ ඊට උපකාර කරන ජේෂ්ඨ සොල්දාදුවන් කිහිප දෙනෙකුටද වෙඩි තබා ඉන් පසු තමාටද වෙඩි තබාගෙන දිවි නසා ගැනීමට ප්ලෑන් කොට තිබුනි. අපගේ මැදහත්වීම මගින් මේ  ව්‍යසනය මැඞලනු ලැබීය. උක්ත සොල්දාදුවාට වෙනත් සහන සේවා ස්ථානයක් අප ලබා දුන්නෙමු. එසේම මේ හිරිහැර නිසා ඔහුට වැළඳුනු ආතති සහිත ක්ලමථ සමායෝගී ආබාධයද උපදේශනය සහ ඖෂධ මගින් සුව කලෙමු. සුවවූ පසු සෙබලා තමා සැලසුම් කර ගෙන සිටි මාරක ක්‍රියාවලිය පිලිබඳ මට හෙළි කොට අප විසින් ජීවිත ගනනාවක් බේරා ගත් බව ප්‍රකාශ කලේය. යුද හමුදාවේ සේවා කල කාලයේදී මා විසින් ප්‍රතිකාර කල සෙබළුන් ගේ අනුවේදනීය කතා එක් රැස් කොට සංග්‍රාමයෙන් පසු කියා පොතක් ලියූවෙමි. මෙම පොත 2005 වසරේදී  සරසවි ප්‍රකාශකයන් විසින් එළි දක්වන ලදි. 

කැනඩාවට පැමිණි පසු මට නිව් ෆවුන්ඩ්ලන්තයේ ෆැමිලි ෆිසිෂියන් හෙවත් පවුලේ වෛද්‍යවරයෙකු ලෙස රැකියාවක් ලබා ගැනීම සඳහා අවස්ථාවක් ලැබුණි. මේ සඳහා මූලික විභාගයන් ද සමත්ව තිබූ නමුදු මාගේ ආශාව වූයේ  වෛද්‍ය මනෝ චිකිත්සනය කෙරෙහිය. කෙසේ නමුත් මම දෙලොවක් අතර තනි වූයෙමි. නිව් ෆවුන්ඩ්ලන්තයේ පවුලේ වෛද්‍යවරයෙකු ලෙස රැකියාවක් ලබාගෙන ගියහොත් මට සිදු වන්නේ කැස්සට , උණට බෙහෙත් කරමින් සංකූලතා ඇති රෝගීන් විශේෂඥ වෛද්‍යවරුන්ට යොමු කරමින් ඒකාකාරී වෘත්තීය ජීවිතයක් ගත කිරීමටය. තවද පවුලේ වෛද්‍යවරයෙකු රෝගියෙකු බලන විට පැයකට ලැබෙන්නේ ඩොලර් 30 වැනි මුදලකි. එහෙත් මනෝ චිකිත්සනය සඳහා පැයකට ඩොලර් 150 - 200 අතර ප්‍රමාණයක් ලැබේ. මා මුදල් පසුපස නොපැන්නුවද මුදල්ද ජීවිතයේ වැදගත් සාධකයක් බවට පත් වෙමින් තිබුනි. මාගේ පුතාද තව වසර කීපයක් ඇවෑමෙන් ඇමරිකාවේ හෝ කැනඩාවේ විශ්ව විද්‍යාලයකට යනු ඇත. ඒ සඳහා විශාල මුදල් ප්‍රමාණයක් අවශ්‍ය වෙයි. මේ නිසා මම මනෝ විද්‍යාව සහ මනෝ චිකිත්සනය වැඩිදුර ඉගෙනීම පිණිස කැනඩාවේ යෝක් විශ්ව විද්‍යාලයටත් , සෙනෙකා මෙන්ම හම්බර් විද්‍යාල වලටත් ගියෙමි. නිව් ෆවුන්ඩ්ලන්තයේ ෆැමිලි ෆිසිෂියන් විකල්පය අත හැරීම ගැන මගේ මව මට බොහෝ සෙයින් දොස් කීවාය. එහෙත් මිනිසා කල යුත්තේ ඔහුට සිත ගිය දේය. 

වර්තමානයේ මම ඇඩික්‍ෂන් මෙඩිසින් හෙවත් මත්ද්‍රව්‍ය නිසා මනෝ කායික වශයෙන් රෝගී වූ පුද්ගලයන් සඳහා මනෝ චිකිත්සක ප්‍රතිකාර කරමි. එසේම  පශ්චාත් ව්‍යසන අක්‍රමතාවයෙන් පෙලෙන රෝගීන් සඳහා ප්‍රතිකාර කරමි. රෝහල් සහ ක්ලිනික් කිහිපයකට දිනපතා යමි. එසේම උතුරු ඇමරිකානු විශ්ව විද්‍යාල කිහිපයක ආරාධිත දේශකයෙකු ලෙසටද පශ්චාත් ව්‍යසන අක්‍රමතාවය පිලිබඳ පරියේෂකයෙකු ලෙසටද සේවය කරමි.  දිනපතා මගේ දැණුම වර්ධනය කර ගන්නෙමි. ආචාර්‍ය උපාධිය සඳහා සූදානම් වන්නෙමි. 

කැනඩාවේද මම ජීවිත බේරා ගන්නෙමි. මාගේ රෝගීන් ලෝකයේ විවිධ ජාතීන් වලට අයත් පුද්ගලයෝ වෙති. මම මනෝ සමාජීය පුනරුත්ථාපනය විශ්වාස කරමි. ඖෂධ මගින් පමණක් ජීවිත බේරා ගත නොහැකිය. ඒ නිසා මාගේ නිර්දේශයෙන් අඩු ආදායම්ලාභී රෝගීන් බොහෝ දෙනෙකුට ආබාධිත ශුභ සාධන ගෙවීම් මම ඔන්ටේ‍රියෝ රජය හරහා ලබා දුන්නෙමි. මොවුන්ට මසකට ඩොලර් 1300 පමණ ලැබේ. මේ මුදල් මගින් ඔවුන්ට නිවාස මෙන්ම අනෙකුත් මනෝ සමාජීය අවශ්‍යතා ඉටු කර ගත හැකි විය. බුදුන් වහන්සේද බණ කීවේ මිනිසුන් ගේ කුසගිනි නිවාය.එහෙත්  කැනඩාවේ වෙසෙන මාගේ සොහොයුරාට මා විසින් කරන මනෝ සමාජීය සේවය ගැන අවබෝධයක් නැත. වසරකට ඔහු තම වැටුපෙන් විශාල මුදලක් ටැක්ස් වශයෙන් ගෙවයි. " අපි ගෙවන ටැක්ස් ගෙවල් වල ඉඳගෙන ටීවී බලන  කුඩුකාරයන්ට ගෙවනවා " කියා ඔහු මැසිවිළි කියයි. යම් දිනක ඔහු මාගේ මනෝ සමාජීය සේවය තේරුම් ගනු ඇතැයි කියා මා සිතමි.

උතුරු ඇමරිකාවේදී මා විසින් බේරා ගත් ජීවිත ගනනාවකි. ඔවුන් සෑම දෙනෙකුටම තමාට ආවේනික අතුල්‍ය කතාවක් තිබේ. මා විසින් වර්තමානයේ ප්‍රතිකාර කරන මැන්ඩි (නියම නම නොවේ) කැනඩාවට එන්නේ පැරණි යුගෝස්ලාවියාවෙනි. වසර විස්සකට අධික කාලයක් නිසා විවිධ මත් ද්‍රව්‍ය භාවිතා කිරීම නිසා ඔහුගේ මනසත් ශරීරයත් ක්‍ෂයවී තිබේ. අධික විශාදයෙන් පෙලෙමින් නිවාස අහිමි මිනිසෙකු ලෙස ඉබාගාතයේ යමින් සිටි මැන්ඩි දිවි තොර කර ගැනීමට ආසන්නව සිටියේය. මම ඔහුට ආබාධිත ශුභ සාධන වැටුපක් ලබාදී ඔහුව ගෘප් හෝම් හෙවත් මානසික රෝග රැඳවියන් බලා ගන්නා නිවාසයක නතර කලෙමි. මත් ද්‍රව්‍ය භාවිතය නිසා ඔහුගේ දත්මුල් කුණුවී තිබූ අතර දන්ත ප්‍රතිකාර වෙත යොමු කොට ඒවා සුවපත් කලෙමි. මසකට වරක් ඔහු  මනෝ චිකිත්සන ප්‍රතිකාර සඳහා පැමිනෙයි. ඔහු තුල තිබූ විශාද තත්වය බොහෝ දුරට අඩුවී තිබේ. වර්තමානයේ ඔහුගේ ජීවන මට්ටම හොඳය. මිය යන තෙක් ඔහුට කරදරයකින් තොරව ජීවත් වීමේ හැකියාව තිබේ. ඔහු මාව හඳුන්වන්නේ මයි ගාර්ඩියන් ඒන්ජල් කියාය. මම ඒ පදවි නාමයට සුදුසු පුද්ගලයෙකු නොවෙමි. මා කලේ මගේ ඩියුටියයි.   

ඉතලියානු සම්භවයකින් යුත් ඩැනී (නියම නම නොවේ) මා වෙත මනෝ චිකිත්සනය සඳහා යොමු කරන්නේ මනෝ වෛද්‍ය පීටර් සෙලීනාය. ඔහු තුල ක්‍රොනික් ඩිප්‍රෙෂන් හෙවත් දුස්සාධ්‍ය විශාද තත්වයක් තිබේ. දෙවරක් ඔහු දිවි නසා ගැනීමට ගියේය. ප්‍රති විශාද ඖෂධ සඳහා ඔහු තුල ප්‍රතිරෝධයක් තිබේ. EMDR වැනි මනෝ චිකිත්සන ප්‍රතිකාර වලින් ඩැනී තුල තිබූ දුස්සාධ්‍ය විශාද තත්වය අඩු විය. තවද මම ඔහුව ආනාපානාසති භාවනාව කිරීමට පුරුදු කලෙමි. වර්තමානයේ දිවි තොර කර ගැනීමේ අදහසක් ඔහු තුල නැත. මීට සති කීපයකට උඩදී දුරකතනයෙන් මට කතා කල ඩැනී තමන් දැන් රැකියාවක නිරත වන බව කීවේය. 

සනී (නියම නම නොවේ) කැරිබියානු සම්භවයක් තිබෙන කැනේඩියානුවෙකි. ඔහු හිටපු උමං දුම්රිය රියැදුරෙකි. වරක් ඔහු දුම්රිය ධාවනය කරන විට එක් කාන්තාවක් ඔහුගේ දුම්රියට පැන්නාය. ඇයගේ ශරීරය කෝච්චියේ රෝද වලට යට වන කම්පනයද ඔහුට දැනුනේය. එම සිදුවීමෙන් පසු  ක්‍රමිකව  ඔහු තුල  පශ්චාත් ව්‍යසන අක්‍රමතාවය වර්ධනය විය. නින්ද නොයාම නිසා ඔහු මත් ද්‍රව්‍ය සහ මත් පැන් වලට ඇබ්බැහි විය. ඔහු රැකියාවටද නොගියේය. ඔහුගේ සේවා ස්ථානයේ ප්‍රධානියන් සනී ව්‍යාජව රෝග ලක්‍ෂණ පෙන්වන බවට සැක කොට ඔහුගේ වැටුප් අත් හිටවන ලදි. මේ නිසා ඔහු තවත් කළකිරීමට පත් විය. සනී මවෙත යොමු කිරීමෙන් පසු මම පුරා මාස තුනක් එක දිගට ඔහුට ප්‍රතිකාර කලෙමි. එසේම ඔහුගේ සේවා ස්ථානයේ ප්‍රධානියන් අමතා ඔවුන් ගේ සැක දුරු කලෙමි. මේ නිසා ඔවුන් සනී හට සහන කාලයක් දුන්නෝය. වරක් සනී " ඔබ මාගේ ජීවිතය බේරා ගත්තා කියා කීවේය " රෝගී තත්වය සහ ආර්ථික ගැටළු නිසා තමන් ඕවර් ඩෝස් හෙවත් ඖෂධ අධි මාත්‍රාවක් ගෙන දිවි නසා ගැනීමට සිතාගෙන සිටි බවත් මා විසින් ඔහුට සහනය සැලසූ නිසා ජීවිතය ගැන යළි විශ්වාසය ඇතිවූ බවත් ඔහු කීවේය.  

මෙලෙස වසර ගනනාවක් පුරා ජීවිත බේරා ගත් නිසා මා වීරයෙකු හෝ ප්‍රශංසනීය පුද්ගලයෙකු කියා මා නොසිතමි. මා කලේ මගේ රැකියාවයි. එසේම මා දන්නා වෛද්‍යවරු බොහෝ දෙනෙකු මටත් වඩා ජීවිත සංඛ්‍යාවක් ගලවාගෙන තිබේ. සමහරු දිනපතා ජීවිත විශාල ගනනක් බේරා ගනිති. ජීවිත බේරා ගැනීම අපගේ වෘත්තිය සමග බැඳී තිබේ. එම නිසා වර්ජන මගින් රෝගීන් ගේ ජීවිත අවදානමට පත් කිරීම නොසුදුසු බව මම සිතමි.   2000 වසරේදී තිබූ වෛද්‍ය වැඩ වර්ජනයකදී බසයකට හැපී උතුරු කොලඹ ශික්‍ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ගෙනා තරුණයෙකුට  වැඩ වර්ජනය පසෙකට දමා මම ප්‍රතිකාර කලෙමි. ඒ ගැන අද දිනයේ මම අවංකවම සතුටු වෙමි. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග

Sunday, August 12, 2018

ලංකාවේ විශ්ව විද්‍යාල වල ප්‍රචණ්ඩ ක්‍රියා වලට යොමු වන සිසුන්ව විශ්ලේෂණය කිරීම සඳහා ප්‍රශ්නාවලියක්

ඔවුන් එන්නේ කුමන පාසල් වලින්ද ? - නාගරිකද/ ග්‍රාමීයද ?      
ඔවුන් පාසලේදී සමාජශීලීව හිටපු අයද / නැද්ද?  
ඔවුන් පාසලේදී ක්‍රීඩා කරපු අයද / නැද්ද ?  
ඔවුන්ට තමන් උගත් පාසල පිලිබඳ තිබෙන්නේ අභිමානයක්ද ? / හීනමානයක්ද ?  
ඔවුන් ගේ සමාජ ආර්ථික මට්ටම මොකක්ද ? - ඉහලද / පහළද ? 
දරිද්‍රතාව නිසා පීඩා විඳි අයද / නැද්ද ?  
ඔවුන් ගේ පවුල් තම තමන් ගේ ගම් වල ගරුත්වය ලබනවාද / නැද්ද ?  
ඔවුන් තම ජීවත් වන ප්‍රදේශ වල සාමාජ කටයුතු වලදී නායකත්වයක් ගෙන ක්‍රියා 
කල අයද ?/ නැත්ද ?  
ඔවුන් තම තමන් ජීවත් වන ප්‍රදේශ වල කුල පීඩනයට ලක්වූ අයද ? / නැද්ද? 

ඔවුන් තුල හීනමානය / සමාජ පසුගාමීත්වය තිබෙනවාද / නැද්ද?   
ඔවුන් තුල සමාජ වයිරය තිබෙනවාද / නැද්ද?  
ඔවුන්  තමන්ට වඩා හොඳින් ජීවත් වන පුද්ගලයන් කෙරෙහි දක්වන්නේ 
උපේක්‍ෂාවක්ද ? / ඉරිසියාවක්ද ?  
ඔවුන් කුඩා කාලයේ අපයෝජන / මාතෘ දුරස්ථකරණව වැනි අබ්බග්ග වලට 
ලක් වෙලා තිබුනාද ? / නැද්ද?  

ඔවුන් පහසුවෙන් රැඩිකල් සිසු දේශපාලයට අනුගත වන අයද / නැද්ද ?  
ඔවුන් අන්‍යන්ව පීඩාවට ලක් කොට සතුටු වන අයද නැද්ද ?  
ඔවුන්   නවක වධය කෙරෙහි ලොල් බවක් තිබෙනවාද / නැද්ද ?  
ඔවුන්  නවක වධය අන්‍යන් කෙරෙහි බලය පැතිරීමට මෙන්ම අන්‍යන් 
පාළනය කිරීම සඳහා  උපකරණයක් ලෙස භාවිතා කරනවාද ? / නැත්ද ?  
ඔවුන් තුල ඉත පහසුවෙන් මොබ් මානසිකත්වය වර්ධනය වනවාද / නැද්ද ?  
ඔවුන් තම සෙසු සරසවි මිතුරන් අතරේ කැපී පෙනීම සඳහා දරුණු උත්සාහයක 
යෙදෙනවාද ? / නැත්ද ?  
ඔවුන් තම සෙසු සරසවි මිතුරන් අතරේ කැපී පෙනීම සඳහා අවදානම් ක්‍රියා පවා 
කිරීමට පෙලඹෙනවාද / නැත්ද ? 

ඔවුන් සමාජයේ  පීඩිතයන් යන කොටසට අයිතිද / නැද්ද ?  දියුණු රට වල විශ්ව විද්‍යාල 
වල තිබෙන CCTV වගේ නවීනත්වයට ඔවුන් එකඟද විරුද්දද ?  
ඔවුන් අන්‍ය සිසුන් වෙත තම බලහත්කාරය පටවනවාද / නැද්ද ?  
ඔවුන් අනෙකුත් සාමකාමී සිසුන් වෙත දක්වන්නේ වෛරී ප්‍රතික්‍රියාවක්ද ? / නැත්ද ?  
ඔවුන් නිතරම ක්‍රම විරෝධීද / නැත්ද ?  
ඔවුන් තුල තම පියා කෙරෙහි / ගුරුවරුන් කෙරෙහි / ආයතනික පාලකයන් කෙරෙහි  
හේතු රහිතව  නිරන්තර එදිරියක් තිබේද ? / නැත්ද ?  

කාන්තාවන් ගැන ඔවුන් ගේ ආකල්ප නවීනද ? / පසුගාමීද ? 
රූමත් නාගරික නවීන පන්නයට ඇඳගත් තරුණ නවක සිසුවියක් දකින විට ඔවුන් 
දක්වන  ප්‍රතික්‍රියාව කායික හෝ වාචික හිංසනයට බරය / බර නැත    
ඔවුන් ගේ චින්තනය පළල් ද / ලිං මැඩිද ?  
ඔවුන් සමානාත්මතාවය ඉතා තදින් අපේක්‍ෂා කරනවාද / නැද්ද ?  
හොඳ රැකියාවක් හෝ ආදායමක් අතට ලද වහාම ඔවුන් තම රැඩිකල් චින්තනයෙන් 
ඉවත්  වනවාද / නැද්ද? 
පසුකාලීනව ඔවුන් ඉතා කුහක ආත්මාර්ථකමී මිනිසුන් බවට රූපාන්තරණය 
වනවද / නැද්ද ? 


මේ ප්‍රචණ්ඩත්වයේ යෙදෙන සිසුන්ව ඇනලයිස් කරලා බලන විට යම් පැටර්න් එකක් 
පෙනෙන්නට තියෙයි. සමාජ විද්‍යාව මනෝ විද්‍යව වගේ විෂයක් කරන කෙනෙකුට හොඳ 
රිසර්ච් මැටීරියල් මෙතන තියනවා. මේ ප්‍රශ්න වල වැඩවසම් ස්වභාවයක් තියෙන බව 
යමෙකුට කියන්න පුලුවන්. ඒත් මේ සත්‍ය මඟ  හැරලා යන්න පුලුවන් ද ?

 

 



Find Us On Facebook