ලෙනින් රත්නායක යනු හිටපු මහේස්ත්‍රාත්වරයෙකි. මහව මහේස්ත්‍රාත්වරයා ලෙස සේවය කළ ලෙනින් රත්නායක විසින් ඒ වන විට අධිකරණයේ විභාගවෙමින් පැවති නඩුවක සැකකරුවෙකුගේ බිරිඳ ගම්පොල ප්‍රදේශයේ තානායමකට කැඳවා එහිදී දූෂණයට ලක් කළ බවටත්,පසුව තම නිල කාමරය තුළදීද වෙනත් ස්ත්‍රීයක දූෂණය කළ බවටත් චෝදනා එල්ල වී තිබුණි. මෙම විනිසුරුවරයාගේ අනිසි වෘත්තීය හැසිරීම නිසා ඔහු විසින් දූෂණය කල කාන්තාවකගේ සැමියා විසින් ලෙනින් රත්නායකට උසාවියේදී අසූචි වලින් පහර දුන් බවටද වාර්තා විය.
නීතිඥ කල්‍යානන්ද තිරාණගම විසින් ලෙනින් රත්නායකගේ ස්ත්‍රී දූෂණ සිද්ධිය පිළිබඳව අගවිනිසුරු ඇතුළු අධිකරණ සේවා කොමිසමට විධිමත් පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදි. මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා විසින් මෙම මහේත්‍රාත්වරයාගේ අපචාරී ක්‍රියා රාවය පුවත්පතින් හෙලි කරන ලද අතර ප්‍රවීණ සිනමාවේදී ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කරන ලද"උසාවිය නිහඬයි"චිත්‍රපටයටද පාදක වී ඇත්තේ හිටපු මහේස්ත්‍රාත් ලෙනින් රත්නායක විසින් නීතිමය බලය පදනම් කරගනිමින් සිදුකරන ලද ලිංගික අපරාධයි.
ලෙනින් රත්නායක යනු කවරෙක්ද ? නීතියට ඉහලින් යාමට ඔහුට හැකියාව ලැබුනේ කෙසේද ?
ලෙනින් රත්නායක ගේ චරිත ස්වභාවය පිලිබඳව සලකා බැලීමේදී ඔහු බරපතල අනන්‍යතා අර්බුධයක් (identity crisis) තුල ජීවත් වූ පුද්ගලයෙකු බව පෙනේ. ඔහු විවිධ නම් වලින් පෙනී සිටියි. එම නම් අතර රත්නායක බංඩා , ලේකම්ගෙදර රත්නායක බංඩා , බුලත්ගම ලේකම් මුදියන්සේ රාළහාමිලාගේ රත්නායක බණ්ඩාර , ලෙනින් රත්නායක යන නාමයන් ප්‍රධාන වෙයි.
ලෙනින් රත්නායකට නීත්‍යනුකූලව පියෙකු නොසිටි බව කියවේ. තදබල ලෙස පීතෘ වියෝග කාන්සාවට (Paternal Deprivation ) ලක්වී සිටි ඔහු පසු කාලයක තම පියා ලෙස මනංකල්පිත පියෙකු - බුලත්ගම ලේකම් මුදියන්සේ රාළහාමිලාගේ රත්නායක බණ්ඩාර නමින් ඉදිරිපත් කරයි.
1974 ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවෙහි 3 වන ශ්‍රේණියේ ලිපිකරුවකු ලෙස පත්වීමක් ලබන ලෙනින් රත්නායක මූල්‍ය වංචාවක් නිසා 1985 වසරේදී සේවයන් පහ කෙරේ. ඔහුගේ ජීවිතය දෝලනය වන්නේ සත්‍ය සහ ව්‍යාජය අතරය. එසේම තදබල ලෙස ෆැන්ටසියන්ට හෙවත් මනස්ඍෂ්ටීන්ට ඔහු එල්බගෙන සිටියි. ඔහුගේ ජීවිතය ගලා යන්නේ actuality - fake and fantasy යන ත්‍රිත්වය හරහාය .
ලෙනින් රත්නායක සීරියල් දූෂකයෙක්ද ? ඔහු සීරියල් දූෂකයෙකුගේ ගති ලක්ෂණ පෙන්වා තිබෙන බව ඔහුගේ ක්‍රියා කලාපය තුලින් බොහෝ විට විද්‍යාමාන වෙයි. ලෙනින් රත්නායක සීරියල් දූෂකයෙකු බවට රූපාන්තරණය වීම මූලික වශයෙන් ඔහුගේ අනන්‍යතා අර්බුධය , පීතෘ වියෝග කාන්සාව , අවිනිශ්චිතතාවන් මෙන්ම පෞරුෂ අක්‍රමතාවය හරහා වර්ධනය වූ බවට උපකල්පනය කිරීමේ සාධක තිබේ.
සීරියල් දූෂකයෙකු ලෙස ඔහු කෙතරම් කාන්තාවන් ප්‍රමාණයක් දූෂණය කලාද යන්න තවමත් හෙලිවී නැත. නමුත් හෙලිවූ සංඛ්‍යාවට වඩා වැඩි කාන්තාවන් ගනනක් ඔහු විසින් දූෂණය කල බවට සිතිය හැකි සාධක තිබේ. ඔහු විසින් කාන්තාවන් දූෂණය කිරීමේදී අතිශයින් සාහසික ක්‍රියා මාර්ගයන් අනුගමනය කොට තිබේ. වෘත්තීය ගරුත්වයකින් තොරව ඔහු සමහරක් විට කාන්තාවන් දූෂණය කොට තිබෙන්නේ අධිකරණය තුල ඔහුගේ නිල කාමරයේදීය. තවත් වතාවක ඔහු කාන්තාවක් දූෂණය කරන්නේ පිස්තෝලයක් පෙන්වා බිය ගැන්වීමෙනි.
ඔහු තම ගොදුරු සොයා යාමේදී serial predation නොහොත් සීරියල් විලෝපීයතාවක් පෙන්වා තිබේ. ඔහු ගොදුරු කරගත් කාන්තාවන් බොහෝ දෙනෙකු අඩු සමාජ ආර්ථික මට්ටම් වල කාන්තාවෝ වෙති. ඔවුන් ගේ සැමියන් නානා වරදවල් සඳහා රිමාන්ඩ් ගතව සිටියෝය. මෙම වින්දිත කාන්තාවන් ගේ අසරණකම අයුතු ලෙස යොදා ගනිමින් ඔහු මෙකී කාන්තාවන්ව දූෂණය කරන ලදි.
දූෂණයේදී දූෂකයා විසින් වින්දිතයා වෙත බලය පැතිරවීමක් කරයි. මෙම බලහත්කාරය මගින් දූෂකයා තමන් ගේ කැඩී බිඳී තිබෙන දුබල ඊගෝව ශක්තිමත් කර ගනියි. හීනමානය , තමා පිලිබඳ හීනවූ චිත්‍රය , අඩු ආත්ම සම්මානය ( low self esteem) , දුර්වල ආත්ම ශක්තිය අභිභවා වින්දිතයා වෙත බලය පැතිරවීම මගින් දූෂකයා තාවකාලික ලෙස තම ඊගෝව ඉහලට ඔසවා තබයි.
මනෝ වෛද්‍ය මහාචාර්ය ඇලෙක්සැන්දර් බුහනොව්ස්කි සිටිසන් - x යන කේත නාමයෙන් හඳුන්වන ලද රොස්ටොව් හි සීරියල් ඝාතක සහ සීරියල් දූෂක අන්ද්රේ චිකිතීලෝ තම හීනමානතා සාධකය ඉහල ගිය සෑම අවස්ථාවකම එය හානි පූර්ණ කර ගත්තේ වින්දිතයා දූෂණය කිරීමෙන් සහ ඔහු / ඇය මරා දැමීමෙන් බව පෙන්වා දෙයි.
ලෙනින් රත්නායක සම්බන්ධයෙන් මනෝ විද්‍යාත්මක තුලනීක්ෂණයක් ( Psychological Assessment ) මෙතෙක් නොකර ඇති නමුදු ඔහුගේ ක්‍රියා කලාපය පිලිබඳ විස්තර කියවීමේදී ඔහු Borderline personality disorder නම් පෞරුෂ අක්‍රමතාවයෙන් පෙලුනේද යන සැකය මතුවේ.
ඔහු විසින් පෙන්වන ලද හීනවූ සහකම්පනීය අවබෝධය - Lack of empathy ( මාස් ශුද්ධිය සැදී වේදනාවෙන් සිටි කාන්තාවක් නිර්දය ලෙස කිහිප වතාවක් දූෂණයට ලක් කිරීම ) ත්‍යජනය ( abandonment) මෙන්ම ප්රතික්ෂේපණය (rejection) කෙරෙහි අධි සංවේදීතාවක් පෙන්වීම , අනන්‍යතා අර්බුධ , අවදානම් සහිත චර්යා රටා , ශූන්‍යභාවී හැඟීම් (feelings of emptiness) , සද්‍යෝෂී මානවීය සබැඳියාවන් යනාදිය ගැන සලකා බැලීමේදී ලෙනින් රත්නායක තුල Borderline personality disorder නම් පෞරුෂ අක්රමතාවයේ ලකුණු දක්නට හැකි වෙයි.
ලෙනින් රත්නායක විසින් මෙම කාන්තා දූෂණයන් සිදු කොට තිබෙන්නේ අධි ලුබ්ධියටත් ( high libido ) වඩා තමා තුල පැවති හීනමානතා සාධකය මෙන්ම ශූන්‍යභාවී හැඟීම් පරාජය කිරීම සඳහා බව උපකල්පනය කල හැකිය. ලෙනින් රත්නායක තමාගේ සම්භවය පිලිබඳ අධික ලෙසින් පර්යසනයට ලක්ව සිටියේය. ඔහු තුල තමාට නෛතිකව ජීව විද්‍යාත්මක් පියෙකු නොමැති බව යන හැඟීම තද බල ලෙස වර්ධනය වන්නට ඇත. කැනේඩියානු ජාතික සීරියල් දූෂකයෙකු වූ පෝල් බර්නාඩෝ තුල කුඩා කාලයේ සිටම තද බල මානසික පීඩනයක් ගොඩ නැගෙන්නේ තමා අවජාතකයෙකු ලෙස උපත ලැබුවායි කියන සාධකය නිසාය. 1987 වසරේදී පමණක් ඔහු දූෂණ හතක් සිදු කරයි.
ඇරිසෝනා විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යා මහාචාර්ය Brooke De Heer පවසන දෙන පරිදි සීරියල් දූෂකයන් විසින් ඉතා ඉහල මට්ටමකට අපරාධී විදග්ධතාවන් (criminal sophistication) පෙන්වති. ලෙනින් රත්නායක දූෂකයාගේ භූමිකාව වසා ගැනීම සඳහා තම සිවිල් සබඳතා , ආගමික සංස්ථාවන් , දේශපාල සබඳතා සූක්ෂමව යොදා ගත් අතර මේ දක්වා ඔහු කිසිදු දඞුවමකින් තොරව නිදහස් සමාජයේ ජීවත් වෙයි. මේ අනුව ඔහු විසින් පෙන්වන ලද අපරාධී විදග්ධතායේ සාර්ථක භාවය පෙනී යයි.
වෛද්‍ය රුවන් එම් ජයතුංග